මගේ සියළුම මිතුරැ මිතුරියන් හා ලෝ වාසී සැමට සුභම සුභ නව වසරක් වේවා!!!
Happy 2014 to all of you!!!!
ගස් වල කොළ හැලී අතු පමණක් | රැඳුනා |
ඒ මත හිම ඇලී සුදු පැහැයෙන් | දිලුනා |
සීතල පවන් වැල් සවනඟ කිති | කැවුනා |
නත්තල් අසිරියෙන් සැම හද ඔප | වැටුනා |
උත්සව සමය වෙනුවෙන් පාසල් | වැසුනා |
තෑගි බෝග ගන්නට මිනිසුන් | පිරුනා |
නත්තල් ගස් වලට කප්පාදුව | ලැබුනා |
අසරණ කළුකුමා මස් වී ගෙට | ඇඳුනා |
නත්තල් සීයා හැම නිවසෙම දිස් | වූවා |
නත්තල් ගසින් සාලය හැඩ වැඩ | වූවා |
පිනි මුව පැටව් රංචුව සබයට | ආවා |
මුළු පරිසරය නෙක පැහැයෙන් ඔප | වූවා |
පල්ලිය දිහාවට කවුරුත් නොම | ඇඳුනා |
එහි ඇති කුරුසයේ දුහුවිලි මල | බැඳුනා |
සාමයේ කුමරු ඇති බවවත් නොම | හැඟුනා |
එතුමාටත් හොරෙන් සුභ නත්තල | ගෙවුනා |
ආදරණීය අම්මේ මට | නොබනින්න |
පෙම්බර පියාණනි සැර වැර | නොකරන්න |
පංතිය ඇරී නිවසට මා | පියමැන්න |
හේතුව ඔයාලට පහසුව | සලසන්න |
පාරේ දකුණතින් මම ඇවිදං | ආවා |
කහ ඉර මතින් යන්නට පා | එසැවූවා |
එතනින් පසුව මුළු ලොව අඳුරින් | නහවා |
මගෙ සියොළඟම සැහැල්ලු වී | පියඹෑවා |
අම්මේ දන්නවද සීයා හමු | වූවා |
ගඟේ ගිලුණු මල්ලිත් සිටිනවා | දුටුවා |
තව සැර මාමෙකුත් ඉඳහිට මට | රැව්වා |
මා යට කරන් ගිය මාමගෙ හැඩ | මැව්වා |
තාත්තේ මෙතැන තියෙනවා නම් | ලැයිස්තුවක් |
තිබුනා එතන අයියා කෙනෙකුගෙත් | නමක් |
අද බලද්දි ඒ නම නෑ තිබුනේ | ඉරක් |
ඔහු තුල තිබෙනවා මා දුන් | වකුගඩුවක් |
මාමා කෙනෙකු සිටියා මෙහෙ එන්න | කියා |
හොඳටම බීලා අක්මාවත් දියැවී | ගියා |
ඔන්න අද උදේ කියනවා නොඑයි | කියා |
මගේ අක්මාව ගෙන මාමා ගෙදර | ගියා |
නංගී කෙනෙකු සිටියා ලොව පෙනෙන් | නැතී |
මගේ ඇස් දෙකින් ඇය දැන් ලෝකය | දකිතී |
දුක් නොවන්න මා ඔබෙ ලොව නම් | නොමැතී |
ඒත් පස් දෙනකු මා වෙනුවට | හිඳිතී |
වර්ණ භේද වාදය නම් | අසූචියේ |
දුඟඳ නසන් පිපි කුසුමකි පිනට | දැයේ |
සුදු කළු වෙනස මකනට ඔබ කරන් | ගියේ |
නිදහස් සටන අප කාගෙත් මතකෙ | තියේ |
අවුරුදු විසි හතක් ඔබ හිරබත් | කෑවා |
දිවියේ යොවුන් කල අඳුරෙහි තනි | වූවා |
ඔබේ දිවි පසෙක ලා සටනට පන | පෙව්වා |
ජාතියේ නාමයෙන් හැම දුක | ඉවසූවා |
දඟ ගෙදරින් විත් නිදහස දිනූ | දැයේ |
කළු ජනපති විය හැත්තෑ සවෙනි | වියේ |
සදහට නික්ම යන ඔබ මේ පාළු | රැයේ |
එක්වී සිහිකරයි සුදු කළු වෙනස | නොයේ |
සංගීත අම්බරේ පෑ සුපුන් සඳය | ඔබ |
ලඹ සවන් පිනා ලූ අමා ගී දහර | ඔබ |
ගතින් මහළුව ගියද සිතින් තිරිහංය | ඔබ |
හැමදාම දිලෙනු මැන අපේ ආයුෂත් | ලැබ |
කොළොම් තොට මහළු නැත අවන්හල | එලෙසමයි |
හන්තානේ කඳු මතින් හැමු පවන් | සිසිලසයි |
අඩවන්වු දෙනෙතකින් ගැලු කාන්තිය | සුවයි |
අපට ඇති සරණ නම් ගී පොතයි මී | විතයි |
දශක අටකටත් වැඩි ඔබෙ සොඳුරු දිවි | පෙවෙත |
මියුරු කට හඬින් ඔබ සුවකලා බිඳුනු | සිත |
හොඳින් අස්වැද්දුවා සත් සරින් පුරන් | කෙත |
සඳා වාසනා ඔබ සනසන්න සියළු | සත |
Photo Credit: ravayanews.wordpress.com
සොඳුරු ගාන්ධර්වයාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!!
|
දෙපයට පොලොවේ පහසක් කිසිදා | දැණිලා |
නැත බුදු අම්මේ මම නෑ ඒ ගැන | සිතලා |
රෝද පුටුවේ මා ඉපැඳුණ දා | ඉඳලා |
විඳිනා දුකට නැත මා කඳුළැලි | සලලා |
අයියලා පස් දෙනෙකු මියැදුණි බාල | වියේ |
ඇති හැකි සොයුරු සිව් දෙන අප අතැර | ගියේ |
දුක උහුලනු බැරි තැන අප්පච්චි | ලයේ |
අප තනිකර දෙව් ලෝකෙට ඉඟිල | ගියේ |
මඳ බුද්ධියෙන් යුතු සොයුරිය හා | මවට |
විසුමට හිසට සෙවනක් ඉඳිකර | දෙන්ට |
හඳුන් කූරු විකුණා එන | සොච්චමට |
කොයි කල්පයක් ගතවෙද නොදැනේ | සිතට |
කඩේ ඉදිරි පිට ගිනි අව්වේ | තැපලා |
හඳුන් කූරු විකුණමි පුටුවේ | ඉඳලා |
රාත්රියට සංදර්ශන වල | නැඟලා |
බෙර පද මෙහෙයවමි යයි අතැඟිළි | පැළිලා |
මට ලොකු පැතුම් නැත දෙවියන්ගෙන් | ගන්න |
ඇති එක සිහිනේ නම් අම්මට | සලකන්න |
ගෙයකුත් තනා දුන් පසු ඔවුනට | ඉන්න |
අප්පච්චී හමුවට මා | ඇරලන්න |
Image: livingfithealthyandhappy.com |
දැනුත් ඉඳහිට දකින විට පුර පස සඳේ උණුසුම් | කැළුම් |
මගේ මතකෙට හනික එන්නේ එදා දුන් ඔබේ පෙම් | බැළුම් |
තාම මතකයි පාළු කමතේ සැදෑ යාමේ පෑ | රැඟුම් |
කොහොම මං අද දරාගන්නද වෙනස් වූ හැටි ඔය | තරම් |
එදා මා අත වෙලී සිටියා ලොවම අමතක කර | ඔයා |
හිරුත් හොරැහින් බලා සිටියා වළා අතරින් කර | පියා |
මිමිණුවා ඔබ වදන් සුමිහිරි පුරවමින් ආදර | දයා |
එහෙම සිටි ඔබ සැඟවුනා මා පාළු අඳුරක බහා | තියා |
ගොයම් පෑගූ කමතේ හමනා සුවඳ තවමත් | එලෙසමයි |
දෙණියේ ළිඳ ළඟ කුඹුක් සෙවනේ සිසිල තාමත් | සුමිහිරියි |
පහළ ඇල දිග රංචු ගැහෙනා දන්ඩි තවමත් හරි | දඟයි |
එකම වෙනසට මට පෙනෙන්නේ ඔයා මේ ගම නැති | කමයි |
ඔබේ සුකොමල බඳ වටේ සුදු සේලයක් ඔතනට | නඟේ |
ලැමේ පිපි පෙති ගෝමරත් මුඳු සළුපටින් වසනට | නඟේ |
ගෙලේ රේඛා වැසෙන්නට රන් පලඳවන්නට හරි | අගේ |
හැම දොහේ මං හීන දැක්කා හැබෑ නොවුනේ ඇයි | නඟේ |
ඔබේ මංගල ගමන බැලුවෙමි පාළු කමතේ තනි | වෙලා |
වියළි සුළඟක් හමා ඇදුණා මගේ දුක ඔබ වෙත | සලා |
හිතේ කහටක් නැහැ නඟේ මුළු හදවතින් මා පෙම් | කලා |
තවම නොදනිමි ඇයිද ඔබ ගියේ මගෙන් මේ ලෙස වෙන් | වෙලා |
Photo credit: overdepressionwordpress.com |
ළන්දේ වණ පෙතේ දුව පැන නැටු | කාළේ |
ගම් මැද එළියමේ චක්ගුඩු ගැහු | තාලේ |
කොල්ලන් එක්ක තරඟෙට කවි කියු | ලීලේ |
පෙර භවයෙදී කල දේ මෙන් දැන් | සිහිවේ |
කුරුලන් මියුරු ලෙස කව් ගී කියපු | හැටි |
මහා කඳු මුඳුන් තලයෙන් හිරු බැහැපු | හැටි |
මලින් මලට සමනල් කැල පියැබු | හැටි |
පෙණ පිඩු බබලමින් ගඟ දිය ගලපු | හැටි |
බලමින් සිටියා මතකයි ගම ගොඩදි | මම |
පුරවා සැණසුනා නිදහස් සුලඟ | ලැම |
පැසසුම් කලා හැමවිට ගුරු දෙගුරු | සැම |
ඒ මටදැයි දැන්නම් සිතනුවේ | කොහොම |
නිදහස කියන වචනයේ වටිනා | අගය |
මේ කඳවුරේ කොතැනත් දක්නට | නැතිය |
පාළු කුටිය තුල මතුවන | සීතලය |
මකලා දමන්නට හිරු දහසක් | මදිය |
මේ සිර මැදිරියේ සීතල පිරි | පොලොව |
බොහොම රළුයි සිරුරම මොර දෙයි | බැරුව |
අම්මේ නුබේ උණුහුම පිරි හද | මළුව |
සිහිනෙන් විඳින්නට එමි මා හැම | වරුව |
කුඩා කවුළුවෙන් සඳ කැන් ගලපු | වම |
පසලොස්වක අහස මනසින් මවමි | මම |
මල්වල සුවඳ'විත් මැදිරියේ පිරුන | හම |
පෙති වල මෙලෙක සිහිනෙන් අත්විඳිමි | මම |
මා වරදක් නොකෙරුව බව නම් | අම්මේ |
ඔබ හැර කවුරුවත් සිතනුවේ නෑ | අම්මේ |
මා ඒ පුතුම බැව් ඔබ දන්නවා | අම්මේ |
දැන්නම් දුක් නොවෙමි මං මෙය පුරුවේ | කරුමේ |
මා හදවතින් මියගොස් දැන් | අවසන්ය |
වරඳට නියම වූ දින ඒ | මළගමය |
මගේ දිවි ගමනේ කෙළවර දැන් | අතළඟය |
පෝරකයට යමි හෙට මා | නිවැරදිය |
මළ බැව් අසා අම්මේ ඔබ | නොහඬන්න |
ආයුෂ මෙපමණයි එය සිහියට | ගන්න |
ඔබ පෙව් කිරි වලට කළ ගුණ | සලකන්න |
මතු භවයෙවත් එමි අම්මේ මා | ඔන්න |
සඳ එළිය සමඟ ඔබෙ සිසිල මට | දැනෙනවා |
හමන මඳ පවනේ ඔබෙ හඬ නිතර | ඇහෙනවා |
මල් සුවඳ පරයමින් ඔබෙ සුවඳ | හමනවා |
යොඳුන් දහසක් දුරින් ඔබේ ගුණ | වැයෙනවා |
මරු කතරෙ පිපාසෙට අමා දිය දහර | ඔබ |
ඉඩෝරය නිමකරන් වැටුණු මල් වැස්ස | ඔබ |
ගිලන් වූ දිවි මඟට සදාතන ඔසුව | ඔබ |
මම කියා කෙනෙකු අද ඉන්නේ සිටි නිසයි | ඔබ |
දස මසක් කුස හොවා මා හැදූ | අම්මේ |
ඇඟේ ලේ කිරි පොවා මා වැඩූ | අම්මේ |
ඔබ නොකා මගේ කුස පිරෙව්වා | අම්මේ |
ඔබේ ගුණ ගයන්නට වචන මදි | අම්මේ |
ඔබ මට පෙන්වා දුන් පාරේ | අම්මේ |
පිය මැන ගියා අදටත් යනවා | අම්මේ |
ඔබෙන් උගත දේ දරුවන්ටත් | අම්මේ |
කියලා දෙනවා හැම පින ඔබටයි | අම්මේ |
ඔබේ හිස සුදු වෙලා ගතේ සම රැලි | වෙලා |
කුළුණු බර දෙනෙත් ඔබෙ කාලයෙන් | මැලවිලා |
ගතින් මහළුව ගියත් සිතින් තිරිහං | වෙලා |
සොම්නසින් හිඳිනු මැන දරු පැටව් සිහි | වෙලා |
හැම දේ අනියතයි බියකරු ලෝ | තලයේ |
ඔබගේ සෙනෙහේ පමණයි නොවෙනස් | වූයේ |
කරුණා ගුණ කඳත් එක්වූ විට | ආයේ |
මහා ගුණ සයුරකිය දරුවන් වෙත | පෑයේ |
අම්මේ අද දිනේ ඔබගේ ජන්ම | දිනයි |
ඔබ පෙව් කිරි සුවඳ මටනම් තවම | දැනෙයි |
නිදුක් නිරෝගිව ඔබෙ දිවි ගත | වෙන්නයි |
පැතුමන් පතමි අම්මේ ඉටුවනු | නියතයි |
පසලොස්වක ගෙවී දෙදොහයි ගත | වූයේ |
කිරි සඳ එළියේ අඩුවක් හෙම නෑ | ආයේ |
එනමුත් මගේ හද තුල ඇති සිත් | යායේ |
අමාවකයි නිතරම හොල්මන් | පෑයේ |
කුරහං පීදිලා සුලඟේ ළෙල | දෙනවා |
වට්ටක්කා වැලෙත් ලොකු ලොකු ගෙඩි | එනවා |
වැටකොළු පතෝලත් මැහි වල | වැජඹෙනවා |
මෙදා කන්නේ මගෙ අටු කොටු | ඉතිරෙනවා |
දහවල භෝග පක්ෂින්ගෙන් රැක | ගන්න |
රෑ තුන් යමේ වණ සතුනව | පන්නන්න |
සීතල හිමේ මගේ මේ දුක දුරු | වෙන්න |
මේ තනි හිතට කවි සිතිවිලි | පූදින්න |
ඔබ කැන්දන් ඇවිදිල්ලා | සුන්දරියේ |
මේ පෝයට එක සතියයි | ගතවුයේ |
ගෙදර ඇඳේ ඉන්නා විට ඔබ | තනියේ |
හේනේ පැලේ කෙලෙසක සැනසෙම්ද | රැයේ |
කිසි දින නොදැණුනා මෙතරම් | සීතලයක් |
ගිනි මැල ගසා ඇති මුත් එහි නෑ | අඩුවක් |
ඔබ ළඟ යහනේ වැතිරී ඉන්නට | පිරියක් |
ඇතිවී හිත හඬයි වෙන මා කරනු | කුමක් |
හේනට නොආවොත් අටු කොටු හිස් | වෙනවා |
ඔබේ ගෙල රනින් වැසුමට මට බැරි | වෙනවා |
ආදර සිනා වා තලයට මුහු | වෙනවා |
රැවුලයි කැඳයි රැකුමට පැල වෙත | එනවා |
කුරහං කපන තුරු මැණිකේ | ඉවසන්න |
එලවළු ටිකත් ළඟදිම හැක ගෙට | ගන්න |
ඒ හැම විකුණලා මසුරං | උපයන්න |
වණ සතුරනේ මෙහාට නෑවිත් | ඉන්න |
ඩිංගිත්තක් මගේ ඇහැ පියැ වුන | විටදී |
ඔබ මුව කමල සිහිනෙන් හද තුල | උපදී |
දෙණියේ ලිඳෙන් නා ගෙන හෙට | දහවලදී |
මා එමි පතිනියේ ඉනු හොඳැහින් | කන්දී |
Photo credit: aminddivided.com
ගස් කොළන් ඵල බරින්
පිරී ගිය වසන්තය...
සුවඳ දෙන නෙක මලින්
වැසී ගිය උයන් පෙත...
බිඟු නදින් මත් වෙලා
ගී ගැයූ සැදෑ යම...
හිරැ රැසින් පන පෙවී
දිස්නේ දුන් සයුරැ තෙර...
ඇයිද අද ගොළු වෙලා
වෙන වෙනම ලෝක වල.....
අඳුර ඇත දැඩිවෙලා
සියළු එලි සැගැවිලා...
කාටනම් කියැනෙමුද?
තනි වෙලා අප සැවොම...
ඒත් මා ලබැඳියේ
එකක් නම් පැහැදිළිය...
ශීත කළ එලැඹිලා...
ශීත කළ එලැඹිලා........
සේයාරැව දෙව්නි ඒකනායකගෙනි.
මහ මඟ කවුරුවත් ළඟ නැහැ | පෙනෙන්නේ |
වෙළදම් උනොත් පමණයි කුස | පිරෙන්නේ |
අඳුරට කළිනි පොත් පාඩම් | කරන්නේ |
කවදද හිරු අපේ ලොවට | වඩින්නේ |
සේයාරැව මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී.
නුඹේ නිවහන මෙය තමයි දුව
එපා ඒ ගැන නුඹ සිතන්නට
ගවුමේ රැලි ටික හොඳින් නැතුවට
පහළ ගඟුලින් සේදුවෙමි එය...
යන්න දියණිය අකුරැ කෙරැමට
පමා නොම වී තක්සලාවට
හෙට දිනේදී නුඹට හැකිවෙයි
මේ වලෙන් ගොඩවී දිලෙන්නට.....
ඉපැඳුණ දා පටන් හැම හෙලනා | කඳුළු |
හද පිරි සෝ සුසුම් ලෝකෙට දෙන | කඳුළු |
කරුන කිම උවත් සංවේදියි | කඳුළු |
සමහරු බොරුවටත් වඟුරනවා | කඳුළු |
බිළිඳා කඳුළු වඟුරයි කුස ගිනි | විටදී |
මවගේ තුටු කඳුළු ඔහු කුස පිරි | විටදී |
දරුවකු හෙලන කඳුළැල් කොයි | මොහොතකදී |
උවඳ දෙමව්පියෝ වෙනවා | සංවේදී |
පියාගේ කඳුළු මවගේ මෙන් පෙනුනේ | නැත |
හදවත හඬයි එකසේ පිට පනින් | නැත |
මව්පිය කඳුළේ අවංක කම පිරී | ඇත |
කඳුළු වලින් බැඳීම් තර වෙලා | යත |
සතුන්ගේ කඳුළු නොපෙනේ හැමටම | එකසේ |
හැගීම් බරිත ඔවුනුත් දුක් වෙයි | සැමසේ |
වාසිය පතා මිනිසුන් වඟුරන | රහසේ |
කඳුළු අඟය නැත පෙන්වූවත් | දුකසේ |
ළූණු කපන විට වුව ඇස් තෙත් | වෙනවා |
දූලි වැටුනමත් කඳුළැලි | බේරෙනවා |
වෙනකකු කඳුළු දුටුවත් නෙතු රතු | වෙනවා |
නමුත් සැබෑ කඳුළු හදින් නික් | මෙනවා |
ජීවත්වන විටදි පැත්තක් නොබැලු | අය |
මිය ගිය දිනේ වඟුරති පියැවුමට | ණය |
ලෝකයාට පෙන්වන්නට කරන | මෙය |
විඟඩමක්ම පමනකි හැම දනිති | එය |
කඳුළු එක වගේ පෙනුනත් හැම | විටම |
පරිස්සමින් හැඳිනිය යුතු වෙයි | අපම |
කඳුළෙහි අඟය නැතිවෙන්නට නොම | හැරම |
වැඟිරිය යුතුයි මොලයට තැන දී | සැවොම |
සුදු දියණියනි නුබ අප දිවියට | ලැබිලා |
පහලොස් වසක් ගොස් ඇත නොදැනිම | ගෙවිලා |
නුබ ලද දිනේ මගෙ හදවත තුල | පිරිලා |
ඉතිරුන පිය සෙනේ හැමවිට යයි | වැඩිලා |
නුබ කල දෑ සිහිවෙනවා සිඟිති | වියේ |
සුරතල් කිරි සිනාවෙන් ගේ පිරිලා | ගියේ |
මහන්සි වී ගෙට ගොඩ වන විටදි | රැයේ |
නුබ මුව කමල දැක්මෙන් හැම පහව | ගියේ |
මගෙ ලැම මත දිගාවී උණුසුමට | නුබ |
නිදනා විටදි බිම තැබුමට සිතෙයි | ලොබ |
පෙන්නා දෙමින් හැමවිට පැත්තක්ම | සුභ |
ටික ටික වැඩුණි කාගෙත් සුභ පැතුම් | ලැබ |
නුබ ගීතයක් ලියලා එය | ගයද්දී |
ගිටාරය වයා තව හැඩ | දමද්දී |
අම්මා එක්ක මා එය රස | විඳිද්දී |
උපන් කඳුළු සගවමි ඇස | පෙලෙද්දී |
මගෙ සුදු දුවේ මේ ඔවදන් | අහගන්න |
චරිතය නුබේ ජීවය මෙන් | රැකගන්න |
කිසිවිට දොසක් නැගුමට ඉඩ | නොතබන්න |
සිහි බුද්ධියෙන් යුක්තව දිවි ගෙන | යන්න |
නුබ දැන් යුවතියකි හැම නෙත් සිත් | බඳින |
මට නම් සිඟිති දුවමයි මගෙ හද | රැඳුන |
ලෝකය හරිම දරුණුයි දුදනන් | වසන |
දිවි මගෙ කැප කරමි ඉන් නුබ රැක | ගන්න |
පොහෝ දා සඳ කිරණ කිරි මුහුද ගැලුවා | සේ |
පලාතම නහවලා සොඳුරු සිතුවමක් | සේ |
පිච්ච මල් සුවඳ මුසු මඳ පවන | නිදහසේ |
හමා යයි මුළු ලොවම නලවලා | මදහසේ |
සඳ එළිය සමඟ මුසු සඳ සිසිල | පැතිරිලා |
සොහොන් කොත් කිරි ගරැඬ මුවා සේ | දිලිසිලා |
නිශාචර පක්ෂි කැල අතු පතර | සැඟවිලා |
සඳ සමඟ මා දෙසට නෙතු හෙලයි දුක් | වෙලා |
පෙර දිනේ ඔබ සමඟ දුටුවේ මේ | සඳමදෝ |
අද හමන මඳ පවන ඒ දිනෙත් | හැමුවදෝ |
එදා මා අද්දරම ඔබෙ සුසුම් | රැඳුනිදෝ |
හැම ඇතත් මා අවට ඔබ කොහේ | ගියාදෝ |
කී දිනක් අප එකට සඳ එළිය දැක | ඇතිද |
හමන මඳ පවන් සුව කොපමනක් විඳ | ඇතිද |
එහෙත් සඳ ඇගේ අඩුව ඔබට දැනිලා | නැතිද |
මඳ පවන වියෝ ගී ගයනුවේ | කවදාද |
සිඟිති පුතු මා අතේ සීතලට | ගුලිවෙලා |
මගෙත් මුළු සියොලඟම වියෝවෙන් | මිරිකිලා |
කිසිත් මට හිතාගැනුමටත් තව | බැරිවෙලා |
පුතුව මා අතට දී ඔබ ගියා | සැඟවිලා |
කිසි දිනෙක පුතු උපත සමරම්ද මා | කෙසේ |
අපි තැනූ මාළිගා සුණු වෙලා ගොස් | මෙසේ |
පුතුව මම රැක ගනිමි ඔබේ නමත් | දිලෙණසේ |
ඉන් පසුව මමත් එමි ඔබේ ළඟට | නිදහසේ |
බාල නඟේ මහා ගෙදරට තනි | රකින |
අප මවු පියන්ගේ දුක සැප නිති | බලන |
ඔබ මස්සිනා සමඟින් සැමදා | කරන |
අඟනා මෙහෙය වැනුමට මට නැත | වචන |
ඉන්න නිසා ඔබ මට ඇති බර | අඩුය |
දුරු රට වසමි වෙන විකල්පයක් | නැතිය |
ළඟ සිට මව් පියන් බැලුමට ඇති | පිරිය |
සිහිනයක්ම පමණකි හැබැහින් | බැරිය |
දෙපා නොමැති පියාගේ වැඩ ඉටු | කරමින් |
මෑණියන්ගේ දුක සැප හැමවිට | බලමින් |
දරුවන් දෙදෙනාවත් හරි මඟ යොමු | කරමින් |
ඔබ දිවි ගෙවයි පින් කන්දක් | කරමින් |
පොඩි මස්සිනේ ඔබවන් අය සුලභ | නැත |
ඔබ කරනා කාරිය සුළු පටුද | නැත |
මා ළඟ නැති අඩුව ඔබ පුරවලා | ඇත |
මම ණය ගැතියි මල්ලියේ වෙන වදන් | නැත |
නුබ තනි වෙලා යැයි කිසිවිට | නොසිතන්න |
ගතින් ළඟ නැතත් හිත ඔහේ | දැනගන්න |
දෙමාපියන් හා ඔබ සැම දැක | ගන්න |
ළඟදිම ගෙදර එමි නංගියේ මා | ඔන්න |
වැඩ නැති සුනඛයා හට හෙමිහිට | ගමනක් |
නැත පැවසුවේ තතු හරියට නොදුටු | කෙනෙක් |
එනමුඳු සුනඛ වරිගය සලසන | මෙහෙයක් |
පෙන්වා දෙමින් හැදුවේ නම් නෑ | පදයක් |
අන්ධ අයට කන වැල අල්ලා | දෙමිනේ |
යුධ බිම බෝම්බත් සෙව්වේ | ඉවෙන්මනේ |
මත් කුඩු පැතිර යාමට වැට | බඳිමින්නේ |
කරණා සේවේ වටිනාකම නිම | නෑනේ |
සෙබළුන් බේරලා තම දිවි කැප | කෙරුවා |
පිට සක්වල ගමනටත් එදිනේ මුල | පිරුවා |
උන් හැම නමින් ස්මාරක ගොඩ | නැඟුවා |
උතුම් මිනිස් කැළ උන් නම සිහි | කෙරුවා |
එනමුඳු මේ ලොවේ ගුණවත් අය | අඩුය |
දුදනන් කරණ වැඩනම් හරි "බලු" | වැඩය |
හැම උන් ඇමතුවේ "බල්ලන්" | කියමින්ය |
අපේ සුනඛයට ඒ නම හරි | නැතිය |
මෑතක සිට අප නිවසේ | වසන්නා |
සුනඛ රජා "බෙන්ජී" නම් | දරන්නා |
එකටම අවදි වී එකටම | සිටින්නා |
වැඩ නිමවා එනවිට විත් පිළි | ගන්නා |
මා උදයේ රැකියාවට යන | එසදේ |
මගේ දරු පවුල පසු වෙනවා සුව | නින්දේ |
බෙන්ජී එනවා පසු පස හැමදාම | උදේ |
උගේ ඇස් වලින් පවසයි හද තුල | ඇතිදේ |
තිරිසන් ආත්මය ලැබුවත් නුඹ | මෙලොව |
නුඹ සතු ගුණ ඇතිද බොහෝ මිනිසුන් | සතුව |
හොඳ වැඩිවෙයි නුඹ විසුමට මේ | පොලොව |
මතු භවයේ ඉපැදේවා දෙව් | ලොවම |
බැලු බැලු අතේ මහා දියඹයි | පෙනෙන්නේ |
පොල් ගස් තරම් උස රළ ගෙඩි | ගහන්නේ |
සුළඟේ සැරට රුවලත් පණ | අදින්නේ |
දෙව් මෑණියනි අප පිහිටට | වඩින්නේ |
රළ පහරේ සැරට දිය ඔරුවේ | පිරිලා |
දැලි බැඳි ලන්තෑරුමේ එළියත් හීන | වෙලා |
මහා කරදියට අපෙ කඳුලත් එකතු | වෙලා |
පැදපං මස්සිනේ තව වීරිය | යොදලා |
මාළු අයින හමු වන තුරු | පදින්නේ |
ගසන හැම හඹල් පහරම | වටින්නේ |
විසිරෙන දියෙන් දරු පවුලයි | පෙනෙන්නේ |
වැඩියෙන් මාළු ඇම ගිල්ලොත් | හොඳයිනේ |
තෝරු මෝරු අපේ දැලට | අහුවෙනවා |
පුංචි එවුන් අපේ දැලෙන් | රිංගනවා |
මුහුදෙදි ලොකු මාළු අපහට | බියවෙනවා |
වැල්ලෙදි ලොකු එවුන් අපහට | ඔරවනවා |
වැල්ලේ පැලේ නිදනා මගේ | පෙම්බරියේ |
හරියට දුටුවෙ නෑ එන විට | කඩිමුඩියේ |
ගොඩ බිම ළඟා වෙමි මම හෙට | හිමිදිරියේ |
ආ විට වැලඳ ගන්නෙමි ඔබ කිටි | කිටියේ |
නුවර වැව උඩින් මළ හිරු බැස | යනවා |
කැදලි කරා සියොතුන් පෙළ | පියඹනවා |
සුපුරුදු රැහැයි හඬ සවනඟ රැව් | දෙනවා |
මා සිත පාළුවේ හස්තෙන් මිරි | කෙනවා |
පහුගිය දිනේ මෙවැනිම සැන්දෑ | වරුව |
ගත කල අයුරු සිහි වෙයි සතුටින් | යුතුව |
ඔබගේ සුමුඳු අතැඟිලි පහසින් | තුටුව |
සිටි මා තනි වෙලා ඔබ නෑ මා | සතුව |
වැව් ඉවුරේ ගල් පොත්තක මා | ළඟම |
හිටියා එදා අමතක කර මුළු | ලොවම |
ගොම්මං අඳුර වට පසුවත් සමු | ගැනුම |
බැරි වුන අයුරු මට සිහිවෙනවා | තවම |
මා නොමැතිව එක් දිනයක් වත් | විසුම |
කරනවා තබා ඒ ගැන නිකමට | සිතුම |
බැහැ කිව් ඔබම අමතක කර හැම | පැතුම |
මා හැර ගොසිනි පොඩි කර පිපි පෙම් | කුසුම |
මුළු ලෝකයම ඔබ ගැන බොහො දේ | කිව්වා |
එනමුඳු එක හදින් මා මගේ පෙම | පිදුවා |
මා දැනුවත්ව කිසි විට නෑ හිත | රිදුවා |
ඒත් ඔබ ගියා මහදේ දුක | රඳවා |
නියඟලා අලය වස බව මා දැන | දැනම |
පියකරු මලට පෙම් කෙරුවෙමි හැම | විටම |
නටුවේ ඇතත් සම විද යන විස | කටුම |
තුරුලට ගතිමි මල විඳගෙන හැම | රිඳුම |
මා ඇදැහුවේ ඔබගේ වචනය | පමණයි |
මිරිඟුව හඹා ගිය බව දැන් මට | වැටහෙයි |
ඔබ පෙම් නොකල බව හොඳටම | විශ්වාසයි |
සිත මගේ හදා ගමි පසු තැවුමක් | නොමවෙයි |
|