Pages

Tuesday 19 August 2014

කුඩාගමේ....


කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ නිවා
හූරි කඳුපෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළදන්නයි සොබා....

මගේ පැලට නුඹ කැන්දං පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ළමැද වසා ගනිං කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කරලන්නට වරම් නැතුව ගියා.....

ආලවඩන අකුරැ පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙක සකී
ආලෙ බිඳුනදා කුමකට කඳුළු හෙළනු සකී
ආලවඩන යන තේරැම බෝසත් කම සකී......

ගේය පද:  ධර්මසිරි ගමගේ
ගායනය: සුනිල් එදිරිසිංහ
සංගීතය: වික්ටර් රත්නායක

සුනිල් එදිරිසිංහයන් විසින් "හුලවාලී" නම්වූ මනරම් සිනමා පටයට ගැයූ මේ ගීතය සවන් වැකෙන සෑම මොහොතකම මගේ සිත 1976 එක්තරා සුන්දර සැන්දෑවකට ඇදී යනවා.

දවස පුරා පෑයූ ගිනිකාෂ්ටක අව්වෙන් හෙම්බත්වූ මුළු අනුරාධපුරයම හැන්දෑයාමයේ බලබිඳී මියයමින් සිටිනා හිරැට ඔච්චම් කරන්නාක් මෙන් වැව් තල පිස හමා එන සිසිල් සුළඟින් නැවුම් සිහිලක් විඳින්නට පටන් ගන්නවා.

මේ හැන්දෑයාමයේ නැගෙණිය හා සෙල්ලම් කරමින් මිඳුලේ හුන් මා ඇමතූ අපගේ පියා චිත්රපටයක් බලන්නට යමුදැයි මගෙන් විමසා සිටියා. චිත්රපට බැලීමේ පිස්සුව එකල සිටම ඔළුවට ගසාසිටි මට එය සුරාවට ලොල්වූ අයෙකුගෙන් පොඩි අඩියක් ගහමුදැයි ඇසුවාක් මෙන් වුණා.

තප්පරයෙන් දුවිලි සෝඳා සැරසුණු මා ඊළඟ නිමේෂයේ නතරවූයේ තාත්තාගේ බයිසිකලයේ පොල්ල මතයි. මගේ සිතේ එවෙලේ ඇතිවූ කලබලය සංසිදුනේ අනුරාධපුරයේ සිත්තම්පලම් සිනමා ශාලාවේ අසුනකට බරවූ පසුවයි.

චිත්රපටයේ පසුබිම් ගීතයක් වූ මේ ගීතය එදා මුල්වරට ඇසූවෙලේ සිටම මගේ හදවත තුළ ලැගුම් ගත්තේ සංසාරේ පුරාවටම මා හා බැඳී ආ ගීතයක් වගේ.

දයා රාජපක්ෂයන්ගේ කතාවක් වූ මෙය රොඩී ජන කොටසක් වටයි ගෙතී තිබුණෙ. ඒ රැහේ නායකයා ධාරා. රැහේ බසින් නායකයට කිව්වේ රැහේ හුලවාලියා කියලා. සිනමා පටයේ නාමය " හුලවාලී" වූයේ එලෙසින්.

රැහේ හුලවාලියාට පණ දුන්නේ සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා මහතා. ඔහුගේ ඇඹේණිය වූයේ අග්රගණ්ය නිලියකවූ සුවිනීතා කෝන්ගහගේ මහත්මියයි.

රැහේ හුලවාලියාවූ ධාරා ජීවත්වූයේ කැලයේ දඩයමේ ගොස් සපයා ගන්නා දඩමස්, සතුන්ගේ පදම් කළ හම් හා මීපැණි ගමට එන යන වෙළෙන්දාට විකිණීමෙනි. වෙළෙන්දා ලෙස රඟපෑවේ ටෝනි රණසිංහයන්ය. 

මේ එන යන අතරතුර ධාරාගේ බිරිඳ සුභා සමග ආලයෙන් බැඳෙන වෙළෙන්දා, ඇයවත් රැගෙන ගම්මානයෙන් පලා යද්දී සුභා සොයමින් වනයේ බොහෝදුකින් ඇවිදයන ධාරාට ඇලපාරක තිබී ඔහු සුභා කැටුව ආ දිනයේ ඇයගේ ළැම වසාගැනීමට දුන් රෙදිකඩ ඇස ගැටෙනවා. කඳුළු සලමින් ඒ රෙදිකඩ දෝතින් වැළදගන්නා ධාරා තිරයේ දිස්වනවිටම මේ ගීතය පසුබිමින් අපගේ දෙසවනට ගලාගෙන එනවා.

මහා ශෝකී වාදනයෙන් ඇරඹෙන ගීතයේ පළමු කොටසින් මෙහෙම කියැවෙනවා.

" කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ නිවා
හූරි කඳුපෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළදන්නයි සොබා...."

ධාරට එකවිටම සිහියට නැගෙනවා ඔහු වන්නි වනපෙතේ දඩයමේ ගිය හැටි. ඒ ගිහින් එකතුකරගත් දේ විකුණලා සෙනෙහසේ නාමයෙන් ඇයට ඇති ආලවන්ත කමට කරට දාන්න රිදී පොටක් ගන්න එක තමයි ඔහුගේ ඒකායන බලාපොරොත්තුව හා සිහිනය වෙලා තිබුණේ.

දෙවැනි කොටසින් මෙහෙම කියනවා....

" මගේ පැලට නුඹ කැන්දං පැමිණි දොහේ එදා
මල් ගොමර පිපුණු ළමැද වසා ගනිං කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කරලන්නට වරම් නැතුව ගියා....."

එදා කරකාර බැඳලා ඇයව තමන්ගේ පැලට කැන්දාගෙන ආ දිනයේ මල්ගෝමර පිරැනු ළමැද වසා ගන්නට දුන් සළුව ඔහුට සිහිවෙනවා. ඒ සළුව තමයි දියපාරේ දමා ගොස් තිබී ඔහුට හමු වෙන්නේ.

එතකොට මොනවද මේ මල් ගෝමර කියන්නේ. දැන්නම් කාන්තාවෝ මේවා හමේ මතුවෙනවට කැමතිනෑ. මේවා තමයි අළුහම් කියලත් කියන්නේ. ඒත් කවියා මේ මල් ගෝමර පිරැනු ළමැදේ ලස්සනක් දුටුවා. එය ස්වභාවික ආභරණයක් සේ සැලකුවා.

ඉතිං ධාරා දුක්වෙනවා ඒ සළුවෙන් ළමැද වසා ගිය ඇයගේ කර පලන්දන්න ඒ පෙරැම් පුරාගෙන සිටි රිදී පොට පළදන්නට වරම් නැතිව ගිය එක ගැන.

ගීතයේ අවසාන කොටසින් තමයි සැබෑ ප්රේමයේ පරිත්යාගශීලී බව අපට නැවත නැවතත් පුන පුනා කියන්නේ.

" ආලවඩන අකුරැ පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙක සකී
ආලෙ බිඳුනදා කුමකට කඳුළු හෙළනු සකී
ආලවඩන යන තේරැම බෝසත් කම සකී......"

සැබෑ ආලයේ තේරැම මොකක්ද කියලා ධාරා අපෙන් අහනවා. මෙතන් පටන් රෑට පැලේ තනියම නිදාගන්න සිදුවෙනවා වගේම සිහිනයකවත් දැන් මේ ආලය තිබෙයිද කියලා විමසනවා. අවසානයේ බිඳුණු පෙම ගැන අඬා වැලපිලා තේරැමක් නැතිබව ඔහුම තේරැම් අරගෙන පෙරැම් පුරනා බෝධිසත්වයෙකු සතු ගුණයක් වගේ ඇයට මෛත්රී කරන්නට හිත හදාගන්නවා. 

කිසිඳු ආරෝවක් නොකොට හඬමින් හිස් අතින්ම ධාරා පැලට එනවා. මේ මෛත්රීසහගත පරිත්යාගශීලී පැවැත්ම බියගුලු හා නිවට කමක් බවත් එය රැහේ හුලවාලියාට තරම්නොවන බවත් පවසමින් මුලසිටම ධාරා සමග තරහින් සිටි හා පළිගැනීමට අවස්ථාවක් එනතුරැ බලා සිටි ඒ රැහේම එකෙකු( විමල් කුමාර ද කොස්තා) ධාරාට මේ අසරණවූ අවස්ථාවේදී පිහියකින් ඇන මරා දමනවා. 

ගීය මතකයේ රැදුනා මෙන්ම මේ අවස්ථාවත් මගේ සිතේ නොමැකී පවතිනවා. ඉන්පසු රැහේ දෙවැන්නා(මර්වින් ජයතුංග) අතින් කොස්තාද මැරැම් කන අතර වෙළෙන්දෙකු ලෙසට ගමට පැමිණි සිදාදියේ ධනවත් පුද්ගලයෙකු වූ ටෝනි රණසිංහයන් සමග සුභා විවාහ වෙනවා. හුලවාලී සිනමා පටයේ කතාව සැකෙවින් මෙයයි.

එදා පටන් මේ ගීතය කණ වැකෙන හැම මොහොතකම මේ සිනමා පටයත්, මගේ පියා සමග එය නැරඹීමට ගිය අවස්ථාවත් චිත්රපටයක රෑප රාමුපෙළක් සේ මගේ මනසේ ඇඳී යනවා. 

බලන්න ඔබත් මේ ගීතයට සවන් දී......