Pages

Monday, 28 July 2014

හේලංකඩ.....


හේලංකඩ ඇන තියාන
මොකදෑ බර කල්පනාව
කොයි උඹෙ අර මල් හිනාව
වෙනදා ඔය මුව පැලැන්ද
සුදුබංඩයියේ... සුදු බංඩයියේ...

කොළදින් වැඩ පහු වුණාද
වැස්සෙන් කරදර වුණාද
මෙදා සැරෙත් ණය වුණාද
නැත්නං අර මක් වුණාද
සුදු බංඩයියේ... සුදු බංඩයියේ...

උඹේ සිහින පැතුම් කන්ද
බොල්වී හුලගේ ගියාද
කනේරැ මල් පිපෙන ලන්ද
අනේ මෙදා මල් වරන්ඩ
සුදු බංඩයියේ.... සුදු බංඩයියේ.....

ගේය පද: පූජ්ය කෝන්වැවේ අරියරතන හිමි
සංගීතය: දර්ශන රැවන් දිසානායක
ගායනය: තුෂාරි බොලුකඳුර

මෙම ගීතය බොහෝවිට ඔබ අසාත් ඇති. මට මේ ගැන දැනගන්නට ලැබුණේ පහුගිය සති අන්තයේ මේ ගීය ලියූ පූජ්ය කෝන්වැවේ අරියරතන හිමියන් හා දොඬමළුවන්නට මා ලද මහඟු අවස්ථාවට පින්සිදු වන්නටයි.

අප කවුරැත් දන්නා නැගී එන අනර්ඝ සංගීතවේදියකුවන දර්ශන රැවන් දිසානායකයන්ගේ සංගීතයට නවක ගායිකාවක වන  තුෂාරි බොලුකඳුර තම අව්යාජ ගැමි හඬින් ගයන මේ ගීතය වන්නි හත්පත්තුවේ ඉතා දුෂ්කර ගම්මානයකට මගේ හිත රැගෙන ගියේ මටත් නොදැනීමයි.

ගීතය පුරාවටම හමන්නේ ගැමි සුවඳ. ඉතාමත් දුකින් බලාගත් අත බලාන ඉන්න සුදුබංඩට තවත් තරැනියක්( ඔහුගේ පෙම්වතිය වන්නට පිළිවන්) එසේ ඉන්නේ මන්දැයි අසා සිටින පුවතකුයි මින් කියවෙන්නේ.

" හේලංකඩ ඇනතියාන 
මොකදෑ බර කල්පනාව"

මේ පළමු පදයෙන් කියවෙන "හේලංකඩ යනු කුමක්ද? සමහරවිට ඔබ දන්නවත් ඇති. අවංකවම මම දැනගෙන හිටියේ නෑ. මම හාමුදුරැවන්ගෙන් ඒ වචනයේ තේරැම විමසූ අවස්ථාවේ එතුමා බොහොමත්ම නිහතමානීව මට එය පැහැදිලි කළා.

හේලංකඩ කියන්නේ ගැමි කටුමැටි ගෙවල්වල එළියේ බිත්තිය පාමුල බිත්තියටම අල්ලලා සාදන වැටිය. මෙය මැටියෙන්ම අඩියක් පමණ පළලට හා පොළොවේ සිට අඩියක් පමණ උසටයි හදන්නේ. වැස්ස වැටෙන විට වහලේ පොල් අතු හෝ පිදුරැ දිගේ වෑහෙන වැහි වතුර ඉසී ගෙදර බිත්ති සේදී යාම වැළැක්වීමටයි මේ හේලංකඩ සාදන්නේ.

ඉතිං මේ සුදුබංඩා ඒ වැටිය උඩ ඇන තියාන ඒ කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඒ යුවතිය වෙනදා මූණේ තිබුණ මල් හිනාව කෝ කියා අසනවා.

බංඩයියගේ උත්තරයක් නෑ. දර්ශන ඉතාමත් මනරම් අයුරින් මේ අවස්ථාව සංගීතයෙන් අපට මවා පෙන්වනවා.

ඉන්පසු දෙවන කොටසින්, පිළිතුරක් නැති නිසා යුවතිය නැවත අසනවා...

"කොළදින් වැඩ පහුවුණාද
වැස්සෙන් කරදර වුණාද
මෙදා සැරෙත් ණය වුණාද
නැත්නං අර මක් වුණාද"

මෙහි මොනවද මේ කොළදින් වැඩ කියන්නේ? මෙහි තේරැමත් හාමුදුරැවෝ මට පහදා දුන්නා.
ගොයම් පැහුණු පසු ඒවා කැපීම,කමතට ගෙනඒම,ගොයං කොලේ තැනීම,පෑගීම හා බැත හුළං කිරීම වැනි වැඩකටයුතු සියල්ලට තමයි කොළදින් වැඩ කියන්නේ.

මේ යුවතිය අසා සිටින හේතු තමයි ගොවීන්ට සාමාන්යයෙන් තියන ප්රශ්න. එකකටවත් උත්තර නැතිනිසා ඇය ආයිත් අහනවා නැත්නම් අර මක් වුණාද කියලා.

ගීතයේ අවසාන කොටසේදී ඇය ප්රාර්ථනාවක් කරනවා.
"කනේරැ මල් පිපෙන ලන්ද මෙදා සැරේ මල් වරන්ඩ"
මෙයින් අදහස් කරන්නේ කුමක්ද? 

ඔබට මතක ඇති ණය ආපසු ගෙවා ගත නොහැකිවූ රජරට ගොවීන් කනේරැ ඇට අනුභව කර දිවි නසා ගත් පුවත.

ඉතිං මේ යුවතිය අනේ දිවි නසා ගන්න එපා නොකියා එය සිඳුවිය හැකි මඟක්වූ කනේරැ ඇට සෑදෙන මල් පිපෙන්නට එපා කියනවා. බලන්න එතුමා කෙතරම්නම් ලස්සනට එය ප්රකාශකරනවාද කියා.

මේ ගීතයට නිර්මාණය කර ඇති රෑප රචනයටනම් මගේ වැඩි මනාපයක් නෑ. ඔබත් රෑප නොබලම මෙම ගීතයට සවන් යොමුකළොත් ඒ ගැමි කටහඬේ සහ දර්ශනගේ ඉතාමත්ම මැනවින් නිර්මාණය කොට ඇති සංගීතය රස විඳීමට හැකිවන බැව් මගේ විශ්වාසයයි.

මේ ගීතය බිහිවූ ආකාරයත් ඉතාමත්ම රසවත් කතාවකි. එය අරියරතන හිමියන් මා සමග ඉතාමත්ම සතුටින් පවසා සිටියා.

අප කවුරැත් දැනගන්නටත් කලින් දර්ශන රැවන් හාමුදුරැවන්ගේ ළගම හිතවතෙක්. හාමුදුරැවෝ රජරට ප්රදේශයේ පාසලක සේවය කරණ වකවානුවේ මේ තරැණ ගැටයා සංගීතය හා ගීත රචනාගැන කතා බහ කිරීමට හාමුදුරැවන්ගේ පන්සලට ඒම පුරැද්දක් කරගෙන තිබුණා. දිනක් ඔහු හාමුදුරැවන් ලියූ ගීත අතපතගාමින් සිටියදී මෙම හේලංකඩ ගීතය ඔහුගේ ඇසගැටී හාමුදුරැවන්ගෙන් ඉල්ළිගෙන ගොස් තිබෙනවා. 

මෙය සිදුවී බොහෝ කලක් ගතවුණාට පසු හාමුදුරැවන්ට එය දර්ශනට දුන් බවත් දර්ශනට එය හාමුදුරැවන්ගේ නිර්මාණයක් බවත් අමතක වී තිබෙනවා.

ඔය කාල වකවානුවේ දර්ශන මේ තරම් සියුමැලිද කළුගල් නිර්මාණයත් සමග ජනප්රියතාවයේ හිනිපෙත්තටම පැමිණුනා. හාමුදුරැවොත් ලංඩනයේ වැඩ වාසය කළා.

දර්ශන මෙවැනි ගීතයක් සොයමින් සිටිනවිට ඔහුගේ බිරිඳ මෙම ගීතය ඔහුගේ ගී රචනා ගොනුවකින් සොයා ඔහුට ඉදිරිපත් කිරීමෙන් අනතුරැව මෙම ගීතය බිහිවුවත් ගීතය
ලියූ තැනැත්තා සොයාගැනීමට නොහැකි වී තිබෙන අතර දර්ශන මාධ්ය හරහා එය ලියූ තැනැත්තාට ඉදිරිපත්වන ලෙස ඉල්ලා තිබෙනවා. 

ඒ අවස්ථාවේ කිහිපදෙනෙකුම ඉදිරිපත්වී ඇති අතර පූජ්ය පල්ලේගම හේමරතන හිමියන් මේ ගීය අරියරතන හිමියනගේ බැව් හඳුනාගෙන ලංඩනයට කතා කොට අරියරතන හාමුදුරැවන් දැනුවත් කිරීමෙන් වෙන්නට ගිය කලා මංකොල්ලයට වැට බැඳ තිබෙන අතර ගීතයේ නියම නිර්මාණකරැ කෝන්වැවේ අරියරතන හිමියන් බැව් රංජිත් රෑපසිංහ මහතා විසින් දර්ශන රැවන් දිසානායකයන්ට දැනුම් දී තිබෙනවා.

මෙවැනි වටිනා නිර්මාණ කිරීමට අපේ අරියරතන හාමුදුරැවන්ට සහ දර්ශන රැවන් දිසානායකයන්ට ශක්තිය හා දහිරිය නිරතුරැවම ලැබේවායි පතමි.






Tuesday, 15 July 2014

නිවන් දැකපං මගෙ පුතේ....


කුසට හරිහැටි අහර නොමැතිව දැඩි කළේ නුඹ පොඩි පුතේ
ඇඟට ඉනු ලේ කිරට හරවා උස් මහත් කෙරුවේ පුතේ
දුකට විවරවු දොරටු වසලා සැපට මඟ තැනුවේ පුතේ
සැමට දිනයෙක නිවන් යන්නයි සසුන වෙත පිදුවේ පුතේ
   
පුතේ නුඹ හට දනක් පුදනට සැම දිනේ මා සිතනවා
හිතේ හයියට ගතු කියාගෙන ගතේ සවි මට රවනවා
නෙතේ ඇඳිරිය නුඹව දුටු විට පහව ගොස් මඟ බලනවා
අතේ දුරකින් නොසිටියත් හැම සිහිනයෙම ළඟ රැඳෙනවා
   
තාත්තත් දැන් ලෙඩ ඇඳේ මතකයත් හොඳ හැටියට නැතේ
මේවා නුඹහට කියනු කෙලෙසද ගලයි උණු කඳුලැලි නෙතේ
පාන්දර හීලයත් අරගෙන එනව හෙට පන්සල වෙතේ
වීසිකර මේ සසරෙ දුක් පොදි නිවන් දැකපං මගෙ පුතේ
   

Tuesday, 8 July 2014

ඇඹිලිපිටිය සහ එම් ජී......



පසුගිය වකවානුවේ කාරණා ද්විත්වයක් හේතුවෙන් ඇඹිලිපිටිය කාගේත් කතා බහට ලක්වුනි.

ඉන් පළමු කාරණය වනාහී අඟනුවර ඇතුළු රටේ අනෙකුත් ප්රදේශවලට දුම් බීම සඳහා කංසා එසේත් නැතිනම් ජනවහරට අනුව 'සූස්ති' සඳහා අවශ්යය කළමනා සපයන ප්රදේශය වශයෙනි.

අනෙක් කාරණය වූයේ ඒ 88/89 අඳුරැ යුඟයේදී ඇඹිලිපිටියේදී සිදුවූ අමානුෂික ශිෂ්යය ඝාතනයයි.

මේ කාරණා දෙකින්ම ඇඹිලිපිටිය කාගෙත් කතා බහට ලක්වූවත් ඒ ප්රසන්න ආකාරයට නොවේ.

මේ අතර එම් ජී යන නාමයද දකුණු ඉංදියාවේ ඉතාමත්ම ප්රබලව වැජැඹුණු යුඟයක් විය. ඒ එම් ජී රාමචන්ද්රන් නම්වූ දකුණු ඉංදියානු සිනමා නළුවා නිසාවෙනි. 'එම් ජී ආර්' නමින් පතල වූ ඔහු සිනමාවේ මෙන්ම දේශපාලන කරලියේද පිනුම් ගැසුවේය. එහෙත් ඔහු පිළිබඳවත් ජනතාව අතර එතරම් ප්රසාදක් නොවීය.

මේ අතරේදී තවත් එම් ජී කෙනෙකු පසුගිය සතිඅන්තයේ ඇඹිලිපිටියෙන් මුළු සිරිලකම කතා කරන චරිතයක් බවට පත් විය. ඒ නවක සංගීත අම්බරේ නව සඳක් ලෙස කිරැළ පළදිමිනි.

ඔහුගේ නම එම් ජී ධනුෂ්කය. ඒ එම් ජීගෙත් මේ එම් ජීගෙත් වෙනසවූයේ මේ එම් ජී මහා පොළොවේ පය ගසා ජීවත් වීමය. ගිනි කාස්ටකයේ පොළව සමග ගැටී තම දරැවන් රැකි උතුම් ගොවි රජෙකු ඔහුගේ පියා විය. 

දෙරණ නාලිකාව සහ ඒ විද්වත් සංගීතයෙන් පිරිපුන් විනිසුරැ මඬුල්ල මේ එම් ජී සොයා නොගන්නට ඔහුත් තවත් කැලයේම පිපී කැලයේම පරව යන කැලෑ මලක් වන්නට ඉඩ තිබුණි.

පළමුකොටම ඔවුනට මගේ හදපිරි උත්තමාචාරය.

දැන් අප, අපේ කතා නායකයා දෙසට
හැරෙමු.

ඔහු අපගේ දිවංගත බයිලා චක්රවර්තී එම් එස් ප්රනාන්දුගේ ගීතයන්ට නව ජීවයක් කැවීය. එතරම්ම හොඳින් එම් එස්ගේ ගීත ගායනා කරන වෙනත් අයෙකු මෑත භාගයේදී සිටියාදැයි සැක සහිතය.

"මම එන්නේ ඩුබායි රටේ ඉඳලා" " රන් වන් වත බබළන්නේ වැනි එම් එස්ගේ ගීත කෙතරම් නම් මනරම්ව හා විශිෂ්ට අයුරින් ඔහු ගැයීද?
ඒ පමණක් නොවේ එච් ආර් ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි හා මිල්ටන් පෙරේරා ඇතුළු වෙනත් ඕනෑම ගායකයෙකුගේ ගීත ඉතා අපූරැවට ගායනා කිරීමට ඔහුට හැකිවිය.

ඔහුට වාසනාව ළඟා කරදුන් ගීතය වූවේ " හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී" ගීතයයි. එය නීල් රෑපසිංහගේ දැන් මතකද චිත්ර පටයට එච් ආර් ජෝතිපාලයන්, මිල්ටන් පෙරේරා හා අල්හාජ් මොහිදින් බෙග් යන ගායක ත්රිත්වය විසින් එම් කේ රොක්සාමිගේ සිත් සතන් පැහැර ගන්නා කන්කලු තනුවකට ගයන ලද ගීතයකි. 

එම ගීතය කෙතරම් හොඳින් ඔහු ගැයූවාද කියතොත් අති මහත් ප්රේක්ෂක පුතිචාර ගලා එන්නට විය.

එදා සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේදි අවසාන මහා තරගයටද එම් ජී එම ගීතය ගැයීය.

එහි මුල් පෙළවල අසුන්ගෙන සිටියේ එසේ මෙසේ පිරසක් නොවේ. දශක ගණනාවක් පුරාවට රිදී තිරය හා වේදිකාව ගායනයෙන්, සංගීතයෙන් හා රංගනයෙන් දිග්විජය කළ කලා කරැවන් සමූහයකි. 

ඔව්හූ කුල්මත් කිරීම සාමාන්ය ජනතාව කුල්මත් කිරීම මෙන් පහසුකාරියක් නොවේ මන්ද ඔහුවු මේ සෑම කළා අංගයකින්ම කෙළ පැමිණියෝ වීමය.

එහෙත් අපේ එම් ජී ඒ අසීරැ කාරිය මනාවටම කළේය. නළුවෝ අත්පුඩි තැලුවෝය. සමහරැ තම අසුන්වලම හිදිමින් රංගනයන් කළෝය. 

මුළු ශාලාවම එකම හඬකින් ගිඟුම් දෙන්නට පටන් ගති. ඒ "එම් ජී! එම් ජී යන නාමයයි.

අපේ එම් ජීගේ අහිංසක පියා සතුටු කඳුළු වගුරවමින් මේ ආශ්චර්ය්ය දෙස දෑස් දල්වා බලා සිටියේය.

සැමගේ පැසසුම් මධ්යයේ ඒ සුබ මොහොත උදාවිය. මෙවර සිහින කිරැළ හිමි කරගන්නේ එම් ජී ධනුෂ්ක යැයි නිවේදක තමෝ ප්රකාශ කරනවාත් සමගම මුළු ශාලාවම ප්රීති ඝෝෂාවෙන් පිරී ඉතිරී ගියේය.

එම නිවේදනය කණ වැකුණු සැණින් අපේ එම් ජී තම පියා වෙත දිව ගියේය. ඒ දසුන් දුටු සැමගේම ඇසට තුටු කඳුළක් එකතුවූයේ නිරායාසයෙන්මය.

සංගීත අම්බරයට පෑයූ මේ නවතම සඳේ සහන් එළියෙන් අව් කාස්ටකයට කරවී තිබණු එම් ජීගේ පියාගේ වත මඬල හා අදුරැ යුඟයෙන් කළු ගැහුණු ඇඹිලිපිටිය ඒකාලෝකවනු දක්නට ලැබුණි.

දයාබර එම් ජී , ඔබගේ කළා දිවිය හිස් ටින් එකක් වාගේ නොවී දිනෙන් දිනම සාර්ථක වී , අපේ සංගීත ලෝකයට අනඟි නිර්මාණ ඔබගෙන් බිහිවේවායයි අවංකවම හද පිරි සෙනෙහසින් යුක්තව ප්රාර්ථනා කරමි. 



Thursday, 3 July 2014

ඉතිං සමුදෙමි රොබරෝසියා.......

පේරාදෙණිය සරසවියේ 'වළ' නමින් ප්රචලිත එළිමහන් රංගපීඨය මධ්යයේ තිබූ විසල් රොබරෝසියා ගස මැරී ඇදවැටී ඇති අයුරු දැකීමෙන් කම්පාවට පත් මා අතින් පහත නිසදැස ලියැවුණි.


වසන්ත කාලයේ රෝස පැහැයෙන් ගසත් බිමත් වසාලූ මෙම වෘක්ෂය නැති රංඟපීඨය නළු නිළියන් නොමැති නාට්යයක් වනු ඇතැයි මට සිතිනි.........





හන්තාන නිසසලයි
මහවැලිය ඉකි බිඳියි
හමන මද පවන් රොද
මළගමේ ගීතයයි......


වළේ ඇති පලේ කිම
නොමැති දා නුඹේ වත....?
රෝස පැහැ මලින් පිරි
නුඹයි එහි පැහැසරය......


මණමෙ හා සිහබාහු
සමඟ දික්තල නැගූ,
ඒ මහා විසල් ගොස
ගොළුවෙලා වගෙයි අද......


නුඹ තරම් රැඟුම් දුටු
මෙපමණට දෙබස් ඇසු
කෙනෙකු තව මේ ලොවේ
සිටීදැයි සැක සිතේ.......


මෙලොව අනියත බවත්,
කිසිදු තිර නැති වගත්
පසක් කර යළි නොඑන 
ගමන් යන නුඹට මම




පතන්නෙමි නිවන් සුව...!
දයාබර රොබරෝසියා.......