Pages

Thursday, 28 November 2013

ගතින් දුබලමුත් හිත හයියයි අම්මේ.....

   ස්වාධීන රූපවාහිණියේ වෙනස වැඩ සටහනෙහි පසුගියදා විකාශණය කෙරුණු හද කම්පා කරවන අම්මා කෙනෙකුගේ කථාවක් දැකීමෙන් මෙම කවිය නිර්මාණය කිරීමට මට සිත් විය. ඔබට හැකිනම් එම වැඩ සටහන සොයා ගෙන නරඹන මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි. 
කථාව සැකෙවින් මෙසේයි. 
මෙම මෑණියෝ දරුවන් එකොලොස් දෙනෙකුගේ මවකි. දෛවයේ සරදමකින් ඉන් සත් දෙනෙකු මන්ද මානසික හා ඉතා දරුණු අන්දමින් ශාරීරක දෝෂ වලින්ද පෙලී ඇති අතර දරුවන් පස් දෙනෙකුම අඩු වයස්වලදීම ජීවිත වලින් සමු ගෙන ඇත. ඉන් පසුව නීරෝගිව සිටි දරුවන් සතර දෙනා දෙමව්පියන් අතහැර ගොස් ඇති අතර පියාද ජීවිතයෙන් සමු ගෙන ඇත. 
දැන් මේ මව අවුරුදු 31 ක්වු මන්ද මානසික දියණිය හා අවුරුදු 28 ක්වූ මගේ කවියේ කථා නායක ශාරීරික ආබාදැති පුත්රයා සමඟ දිවියට උර දෙයි. ඔවුනට ඉන්න හිටින්නට ගෙයක් දොරක් නැත. ඇයට ඇගේ නෑදැයින් මෙම දරු දෙදෙනා මඩමකට බාරදී ඔවුන් ළඟට එන ලෙස ඇරයුම් කලත් මේ ආදරණීය අම්මා ඔවුන් දෙදෙනාත් සමඟ විසුමට තීරනය කොට ඇත. ඉතිං මේ පුතා තම අම්මා හා අක්කාට විසුමට නිවසක් තනා දීම සඳහා රෝද පුටුවේ සිටම ගෙන යන අරගලය දෑසට කඳුළක් නොගෙනාවොත් ඔබ මනුස්සයෙකු දැයි මට සැකයක් උපදී. ඔහු දෙවියන්ගෙන් ඉල්ලන්නේ එකම එක දෙයකි. එයනම් අම්මාට කළින් තමන් මිය යන ලෙසයි. නමුත් ඊට පෙර ඔහුගේ සිහිනය අම්මාට ගෙයක් සාදා දීමයි. අඩි එකහාමාරක්වත් උස නැති මෙම තරුණයාගේ  කකුල් දෙකක් ඇත්තේම නැත. මුළු වැඩසටහන පුරාවටම එම ප්රදේශය සරමින් ආවරනය කර ගෙන සිටි ඔහු කිසි විටෙක කඳුළු සැලුවේත් උදව්වක් ඉල්ලුවේත් නැත. අම්මා ඔහුව ඇයගේ පියා යනුවෙන් හඳුන්වද්දී එතරම් වේලාවක් මා ඇස්වල තදකරන් සිටි කඳුළක් එලියට පැනීම මට කෙලෙසකවත් නතර කර ගැනීමට නොහැකි විය.
එතරම් ආබාධ ඇතිවත් ඔහු හඳුන් කූරු වෙළදාමේ හා ඩ්රම්ස් වාදනයේ යෙදෙමින් මුදල් සෙවීමට ගන්නා වෙහෙස හොඳින් අත පය ඇති කාහටත් මහඟු ආදර්ශයකි.
මෙය කියවා බලා ඔවුනට අපගේ යම්කිසි උදව්වක් කල හැකි වුවොත් මගේ උත්සහය සාර්ථක විනි යැයි සිතා මට ආඩම්බර විය හැක. ස්වාධීන රූපවාහිණියෙන් ඔවුන් පිළිබඳ කිසියම් තොරතුරක් ලබා ගතහොත් අප සැමගේ දැනගැනීම පිණිස පළකරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. අපට තනිවම ලොකු උදව්වක් කලනොහැකි නමුත් අප සැවොම පොඩි උදව් සමඟින් එකතුවූ කළ ලොකු උදව්වක් කලහැකි බව ඔබට මතක් කරමින් අදට නවතින්නම්...

පහත ලින්කයෙන් එම වෙනස වැඩ සටහන ඔබට නැරඹිය හැකිය..




දෙපයට පොලොවේ පහසක් කිසිදා දැණිලා
නැත බුදු අම්මේ මම නෑ ඒ ගැන සිතලා
රෝද පුටුවේ මා ඉපැඳුණ දා ඉඳලා
විඳිනා දුකට නැත මා කඳුළැලි සලලා
   
අයියලා පස් දෙනෙකු මියැදුණි බාලවියේ
ඇති හැකි සොයුරු සිව් දෙන අප අතැරගියේ
දුක උහුලනු බැරි තැන අප්පච්චිලයේ
අප තනිකර දෙව් ලෝකෙට ඉඟිලගියේ
   
මඳ බුද්ධියෙන් යුතු සොයුරිය හාමවට
විසුමට හිසට සෙවනක් ඉඳිකරදෙන්ට
හඳුන් කූරු විකුණා එනසොච්චමට
කොයි කල්පයක් ගතවෙද නොදැනේසිතට
   
කඩේ ඉදිරි පිට ගිනි අව්වේ තැපලා
හඳුන් කූරු විකුණමි පුටුවේ ඉඳලා
රාත්රියට සංදර්ශන වල නැඟලා
බෙර පද මෙහෙයවමි යයි අතැඟිළිපැළිලා
   
මට ලොකු පැතුම් නැත දෙවියන්ගෙන්ගන්න
ඇති එක සිහිනේ නම් අම්මටසලකන්න
ගෙයකුත් තනා දුන් පසු ඔවුනටඉන්න
අප්පච්චී හමුවට මාඇරලන්න

Image: livingfithealthyandhappy.com
  

ප්‍රේමයේ වියෝගය........


Photo credit: thefourhourworkday.com
දැනුත් ඉඳහිට දකින විට පුර පස සඳේ උණුසුම් කැළුම්
මගේ මතකෙට හනික එන්නේ එදා දුන් ඔබේ පෙම් බැළුම්
තාම මතකයි පාළු කමතේ සැදෑ යාමේ පෑ රැඟුම්
කොහොම මං අද දරාගන්නද වෙනස් වූ හැටි ඔය තරම්
   
එදා මා අත වෙලී සිටියා ලොවම අමතක කර ඔයා
හිරුත් හොරැහින් බලා සිටියා වළා අතරින් කර පියා
මිමිණුවා ඔබ වදන් සුමිහිරි පුරවමින් ආදර දයා
එහෙම සිටි ඔබ සැඟවුනා මා පාළු අඳුරක බහා තියා
   
ගොයම් පෑගූ කමතේ හමනා සුවඳ තවමත් එලෙසමයි
දෙණියේ ළිඳ ළඟ කුඹුක් සෙවනේ සිසිල තාමත් සුමිහිරියි
පහළ ඇල දිග රංචු ගැහෙනා දන්ඩි තවමත් හරි දඟයි
එකම වෙනසට මට පෙනෙන්නේ ඔයා මේ ගම නැති කමයි
   
ඔබේ සුකොමල බඳ වටේ සුදු සේලයක් ඔතනට නඟේ
ලැමේ පිපි පෙති ගෝමරත් මුඳු සළුපටින් වසනට නඟේ
ගෙලේ රේඛා වැසෙන්නට රන් පලඳවන්නට හරි අගේ
හැම දොහේ මං හීන දැක්කා හැබෑ නොවුනේ ඇයි නඟේ
   
ඔබේ මංගල ගමන බැලුවෙමි පාළු කමතේ තනි වෙලා
වියළි සුළඟක් හමා ඇදුණා මගේ දුක ඔබ වෙත සලා
හිතේ කහටක් නැහැ නඟේ මුළු හදවතින් මා පෙම් කලා
තවම නොදනිමි ඇයිද ඔබ ගියේ මගෙන් මේ ලෙස වෙන් වෙලා
 

Photo credit: overdepressionwordpress.com
  

යථාර්තය........


පුහු ආටෝපයෙන් වැසුණු
නුබේ ඔය වත කමල
බහුරූ කෝළමක දුටු
කවටයෙකු සිහි කරයි.....

ඇහි දෙබැම රැහැ දමා
ඉරි දෙකක් ගසා ඇත.....
වතේ සම නොපෙනෙන්න
පුයර තලි උලා ඇත....

ඇහි පියළි කඩෙන් ගත්
ලාබ බෝනික්කි මෙනි.....
තොල් සඟල ඔප දැමූ
අකීකරු සිත්තමකි......

කොට කෙරූ වරලසද
සුනඛ නැට්ටක වැනිය.....
ඇගෙහි ලූ වස්ත්රයෙද
කිසිදු හැඩ තල නැතිය.....

කැඩපතක් ළඟට ගොස් 
බලනු මැන හිතවතිය.....
බලා පවසනු මැනව
ඉන්නේ ඔබමද කියා???



Sunday, 24 November 2013

සිර කරුවාගේ විලාපය........


ළන්දේ වණ පෙතේ දුව පැන නැටු කාළේ
ගම් මැද එළියමේ චක්ගුඩු ගැහු තාලේ
කොල්ලන් එක්ක තරඟෙට කවි කියු ලීලේ
පෙර භවයෙදී කල දේ මෙන් දැන් සිහිවේ
  
කුරුලන් මියුරු ලෙස කව් ගී කියපු හැටි
මහා කඳු මුඳුන් තලයෙන් හිරු බැහැපු හැටි
මලින් මලට සමනල් කැල පියැබු හැටි
පෙණ පිඩු බබලමින් ගඟ දිය ගලපු හැටි
  
බලමින් සිටියා මතකයි ගම ගොඩදි මම
පුරවා සැණසුනා නිදහස් සුලඟ ලැම
පැසසුම් කලා හැමවිට ගුරු දෙගුරු සැම
ඒ මටදැයි දැන්නම් සිතනුවේ කොහොම
  
නිදහස කියන වචනයේ වටිනා අගය
මේ කඳවුරේ කොතැනත් දක්නට නැතිය
පාළු කුටිය තුල මතුවන සීතලය
මකලා දමන්නට හිරු දහසක් මදිය
  
මේ සිර මැදිරියේ සීතල පිරි පොලොව
බොහොම රළුයි සිරුරම මොර දෙයි බැරුව
අම්මේ නුබේ උණුහුම පිරි හද මළුව
සිහිනෙන් විඳින්නට එමි මා හැම වරුව
  
කුඩා කවුළුවෙන් සඳ කැන් ගලපු වම
පසලොස්වක අහස මනසින් මවමි මම
මල්වල සුවඳ'විත් මැදිරියේ පිරුන හම
පෙති වල මෙලෙක සිහිනෙන් අත්විඳිමි මම
  
මා වරදක් නොකෙරුව බව නම් අම්මේ
ඔබ හැර කවුරුවත් සිතනුවේ නෑ අම්මේ
මා ඒ පුතුම බැව් ඔබ දන්නවා අම්මේ
දැන්නම් දුක් නොවෙමි මං මෙය පුරුවේ කරුමේ
  
මා හදවතින් මියගොස් දැන් අවසන්ය
වරඳට නියම වූ දින ඒ මළගමය
මගේ දිවි ගමනේ කෙළවර දැන් අතළඟය
පෝරකයට යමි හෙට මා නිවැරදිය
  
මළ බැව් අසා අම්මේ ඔබ නොහඬන්න
ආයුෂ මෙපමණයි එය සිහියට ගන්න
ඔබ පෙව් කිරි වලට කළ ගුණ සලකන්න
මතු භවයෙවත් එමි අම්මේ මා ඔන්න


Tuesday, 19 November 2013

අභිසරුළියණි........



මේ පාළු වීදියේ
මූසල වූ ඇඳිරියේ
දැකගතිමි නුබේ රුව
අහම්බෙන් යුවතියේ......

සැඳෑ අහසේ අඳුර
දුටිමි නුබෙ නෙත් තුලින්.......
සුළං රොදෙ ඉකිබිඳුම
ඇසිනි නුබෙ සුසුමකින්.......

හද නඟන අඳෝනා
පෙනුනි නුබෙ වත මලින්......
කෙසේ මම් සැනසෙම්ද
දැවෙන මේ සිරුරකින්......

ඔබෙ නග්න සිරුර මට
කිසිඳු හැඟුමක් නොදෙයි......
මොහොතකට පෙර ඇසුණු
නුබෙ වදන් හද පෙළයි.......

නුබේ කය උරා බිව්
කිසිවෙකුට නුබේ හඬ.....
මට ඇසුණ අයුරින්ම
ඇසුණෙදැයි නොම දනිම්.......

එහෙත් මා සබැඳියේ
මේ මුදල අත තබමි.....
එය රැගෙන නුබෙ පැතුම්
වෙත හනික දිව යන්න.....

එයට පෙරලා නුබේ
කයේ සුව නොම පතමි......
රාග සිතිවිලි වලා
පෙමින් පලවා හරිමි.....

Sunday, 17 November 2013

අම්මා.......

අද උපන් දිනය සමරණ මගේ ආදරණී අම්මාට ඉතාමත් ආදරයෙන් හා කෘතගුණ පූර්වකව පිළිගන්වමි. මේ කවි ටිකින් සාගරයක් බඳු වූ ඔබ ගුණ කඳත් අහස් තලය සේ අනේක දුක් උසුළමින් අප හදා වඩා මේ තත්වයට අප පත්කළ ආකාරයත් එළිදැක්වීම කිසිසේත් ප්රායෝගික කටයුක්තක් නොවන බව මම දනිමි. එහෙත් එයින් අල්ප මාත්රයක් හෝ පිළිඹිබු වේනම් මාගේ උත්සහය යම්තරමකට සාර්ථකවී යැයි මා විශ්වාස කරමි.
ඔබ අපෙත් ආයුෂ ලැබ යහතින් හා සංතෝෂයෙන් ජීවත්ව සසර කෙළවර
මෛත්රී බුදුන් දැක නිවන් දකිත්වායි මා එක සිතින් ප්රාර්ථනා කරමි!!!

අම්මා......

සඳ එළිය සමඟ ඔබෙ සිසිල මටදැනෙනවා
හමන මඳ පවනේ ඔබෙ හඬ නිතරඇහෙනවා
මල් සුවඳ පරයමින් ඔබෙ සුවඳහමනවා
යොඳුන් දහසක් දුරින් ඔබේ ගුණවැයෙනවා
   
මරු කතරෙ පිපාසෙට අමා දිය දහරඔබ
ඉඩෝරය නිමකරන් වැටුණු මල් වැස්සඔබ
ගිලන් වූ දිවි මඟට සදාතන ඔසුවඔබ
මම කියා කෙනෙකු අද ඉන්නේ සිටි නිසයිඔබ
   
දස මසක් කුස හොවා මා හැදූඅම්මේ
ඇඟේ ලේ කිරි පොවා මා වැඩූඅම්මේ
ඔබ නොකා මගේ කුස පිරෙව්වාඅම්මේ
ඔබේ ගුණ ගයන්නට වචන මදිඅම්මේ
   
ඔබ මට පෙන්වා දුන් පාරේඅම්මේ
පිය මැන ගියා අදටත් යනවාඅම්මේ
ඔබෙන් උගත දේ දරුවන්ටත්අම්මේ
කියලා දෙනවා හැම පින ඔබටයි අම්මේ
   
ඔබේ හිස සුදු වෙලා ගතේ සම රැලිවෙලා
කුළුණු බර දෙනෙත් ඔබෙ කාලයෙන්මැලවිලා
ගතින් මහළුව ගියත් සිතින් තිරිහංවෙලා
සොම්නසින් හිඳිනු මැන දරු පැටව් සිහිවෙලා
   
හැම දේ අනියතයි බියකරු ලෝතලයේ
ඔබගේ සෙනෙහේ පමණයි නොවෙනස්වූයේ
කරුණා ගුණ කඳත් එක්වූ විටආයේ
මහා ගුණ සයුරකිය දරුවන් වෙතපෑයේ
   
අම්මේ අද දිනේ ඔබගේ ජන්මදිනයි
ඔබ පෙව් කිරි සුවඳ මටනම් තවමදැනෙයි
නිදුක් නිරෝගිව ඔබෙ දිවි ගතවෙන්නයි
පැතුමන් පතමි අම්මේ ඉටුවනු නියතයි
   

Sunday, 10 November 2013

බලාපොරොත්තුව..........



Art by A. Lloyd

වැහි බරින් ගැබිනි වූ
ආකහේ ඉරාගෙන
චන්ඩ හිරු කිරණයක්
පොලෝ තල සිඹිනවා.........

කොහේදෝ සැඟව සිටි
මඳ පවන් වැල් පොදක්
අතු පතර පිසැලමින්
මියුරු තනු මවනවා...........

කුඩා වැහි බිංදුවක්
හිරු කිරණ හා වෙලී
ආකහේ පළාතක්
වර්ණවත් කරනවා..........

ඉඩෝරෙන් ඉරි තැලී
නග්න වූ මිහි තලය
වැහි බිඳක් උරලන්න
පෙර බලන් හිඳිනවා........

Monday, 4 November 2013

මිනී මරුවාගේ විඳිල්ල......


Photo: freegeorge.us

මකා දැමූයෙමි
නුබේ සිනා රැලි...
උදුරා ගත්තෙමි
සුසුම් පවන් වැල්....
වැනසූයෙමි මා
සුපිපුණ කුසුමන්
නැවතුම තැබුවෙමි
නුබේ ජීවිතයට........

අන්ධකාරයේ
දෑස වැසූ සද
නුබේ කඳුළු පිරි
දෑස දකින්නෙමි..
ජීවය ඉල්ලා
හඬා වැටුන හඬ
දෙසවන පුපුරා
ශ්රවණය කරනෙමි...

පාළු මැදිරියේ
නුබ දිවි සොරකම
හැමදා විඳිමින්
මා වැනසෙන්නෙමි......
සැම දිනයෙම මා
අවමන් ලබමින්
ඉපැදී මැරෙමින්
වන්දි ගෙවන්නෙමි.......