Pages

Sunday, 16 March 2014

සිංහල සිනමාව සහ මම 3



මේ කාලයේ බොහෝ විශිෂ්ඨ ඝනයේ අධ්යක්ෂකවරු කරළියේ පිණුම් ගසමින් සිටියෝය. ඒ අතරින් සිකුරුලියා තැනූ එච් ඩී ප්රේමරත්නයන් වටිනාම චරිතයකි.  වානිජ හා සම්භාව්ය සිනමාව නමින් සිනමාව අන්ත දෙකක ගමන් කරද්දී එතුමාගේ චිත්ර පට මැඳ මාවතේ ගමන් ගති. ඒ නිසාම විචාරකයෝ එතුමාට 'මැඳ මාවතේ සිනමා කරු' යන නම පටබැන්දෝය. හැමවිටම එතුමාගේ චිත්ර පටයක ප්රධාන චරිතයකින් නවක නළුවකු රටට දායාද කිරීමට වඟ බලා ගැනීම එතුමාගේ විශේෂ ලක්ෂණයකි.

බංධුල ගළගෙදර හා අමරසිරි කලංසූරිය එලෙස එතුමා මතු කල මැණික් වුවත් ඒවා ඔපමට්ටම් කර තව තවත් අනඟි වැඩ ගන්නවා වෙනුවට ඔවුන් අයාලේ යැවීම අපගේ අවාසනාවය. සිකුරුළියා, පරිත්යාග, පූජා හා මංගල තෑග්ග එකල මා ආසාවෙන්ම නැරඹූ චිත්රපට විය. පරිත්යාග චිත්රපටයේ අයියා තම නැඟෙණිය වෙනුවෙන් කරන කැපැවීම දුටු මට අයියා කෙනෙකු වශයෙන් විශාල ආඩම්බරයක් ගෙන දුනි. මංගල තෑග්ග කෙතරම් මනරම්ද? එහි තිබු සුනිල් එදිරිසිංහයන් ගැයූ ගීතයට සනත්,රවීන්ද්ර, මනෝ හා ශ්රියාන්ත මෙන්ඩිස් රැඟූ රංගනය කෙලෙසනම් අමතක කරම්ද? එම ගීතය හැම කලටම ගැලපෙන අපූරු ගීතයකි.





ඉන්පසු පූජා චිත්ර පටයේ තම පුතාව පෝරකයේ එල්ලීමට සිදුවූ අළුගෝසුවා (ජෝ) කල රංගනය නෙතට කඳුළක් නොගෙනාවේ කාටද? එම දර්ශනයට පසුබිමින් වාදනය වූ අමරදේවයන්ගේ "පූජා" ගීතය සවනට වැටෙන ඕනෑම මොහොතක චිත්ර පටයේ රූප රාමු අප මනසේ ඇදෙන්නේ ඒ නිර්මාණවල ඇති නිර්මල විශිෂ්ඨ ගුණය නිසාය.

එතුමාගේ සහරාවේ සිහිනය විජයගේ අකල් වියෝව නිසා සාර්ථක නොවූ නමුත් එතුමා ඉන්පසුව නිර්මාණය කල සප්තකන්යා චිත්රපටය වාර්ථා බිඳ හෙලමින් රිදී තිරය ඒකාලෝක කලාය.

සේන සමරසිංහයන් සක්විති සුවය, නිල්ල සොයා, ආශා දෑසින් හා ඈතින් ඈතට යන සිනමා පට අපට දායාද කලේය.  මේ චිත්රපට සමුදායේ ගාමිණිගේ රංගනයන් මගේ සිත තදින්ම පැහැර ගති. ජෝති පාලයන්ගේ හා මිල්ටන් මල්ලවාරච්චිගේ මධුර මනෝහර ගායනයන් මේ චිත්රපට කරා රසිකයන් ඇද බැඳ ගත්තේ පැණි හැළියට ඇදී එන්නා වූ ඇඹලයන් පරිද්දෙනි.




මේ චිත්රපට වල නම් කියා " සේන සමරසිංහගේ ඒ චිරාගත සම්ප්රදාය" යැයි ප්රචාරය කෙරුනේ එතුමාගේ චිත්රපට පිළිබඳ ගුවන් විදුලි ප්රචාරක වැඩ සටහන් වලදීයි.

ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, කේ ඒ ඩබ්ලිව් පෙරේරා, ටයිටස් තොටවත්ත, ධර්මසිරි බංඩාරනායක, සුනිල් ආරියරත්ත, ගාමිණී ෆොන්සේකා, තිස්ස අබේසේකර ඒ කලයේ වැජඹුණු අධ්යක්ෂක වරුන් කිහිප පොලක් පමණි.

දඩයම, කරුමක්කාරයෝ, බැද්දේගම,බඹරු ඇවිත්, සරුංගලේ, ආරාධනා, සඳකඩපහන,සාගරයක් මැඳ, මලට නොඑන බඹරු, ගොළු හදවත, තුන්වැනි යාමය,මහ ගෙදර,සිරිබෝ අයියා,දෑස නිසා, එක්ටැම්ගේ,මල්දෙණියේ සිමියොං, සුද්දිලාගේ කථාව, සිරිපතුල, සොල්දාදු උන්නැහේ,  මාතලං, සත්වෙනිදවස, රක්තා, මුවන් පැලැස්ස, දුලීකා, සසර චේතනා, චන්ඩි පුතා, චන්ඩි ශ්යාමා, මගේ නංගී ශ්යාමා, ටිකිරා හා රත්තරන් අම්මා වැනි චිත්රපට නරඹා මා ඒවායේ සැරිසැරුවෙමි. ජීවත් උනෙමි.




ඒ කාලයේ බොහෝ වානිජ චිත්රපටවල තේමාව වූයේ කොල්ලා කෙල්ල ඔවුන්ගේ යහළුවන් හා දුෂ්ඨයා විය. කොල්ලාට බොහෝ විට ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ටෝනි රණසිංහ, කලං හෝ පසුකලෙක සනත් ගුණතිලක වු අතර කෙල්ලට මාලණී ෆොන්සේකා, නදීකා, නීටා, ගීතා, ස්වර්ණා , සුමනා,ශ්රියාණි හෝ මැණික් වැන්නියකු රඟ පෑහ. මගේ කාලයට පෙර විශාල නළු නිළි සංඛ්යාවක් මෙම භූමිකා කලෝය. අප දන්න දා සිටම දෙනවක හාමිණේ අම්මා හෝ ආච්චීම වූවාය.


මුලදී ජෝ අබේවික්රම, විමල් කුමාරද කොස්තා, ජයසේකර අපෝන්සු විකට නළුවන් වූවත් පසුව විශේෂයෙන්ම ජෝ අපට නැතුවම බැරි මහා චරිතාංග නළුවකු විය. ඔහු බැද්දේගම,සිරිබෝ අයියා,මල්දෙණියේ සිමියොන්, පූජා,බඹරු ඇවිත්,සිකුරුලියා හා මෑතකදී පුරහඳ කළුවර ආදී හා මා නොකී බොහෝ චිත්රපටවල කල රංගනයන් කෙසේ නම් අමතක කරම්ද? 

තව විකට නළුවන් වූයේ ෆෙඩී,දොන් සිරිසේන,ඇන්තනී සී පෙරේරා,බී එස් පෙරේරා, හියුගෝ මාස්ටර් වැන්නවුන්ය. එකල බංදු සමරසිංහ පොඩි කොල්ලාය. 

ඩොමී ජයවර්ධන,රෙක්ස් කොඩිප්පිලි, බංදු මුණසිංහ,පියදාස ගුණසේකර,පූජිත මෙන්ඩිස්,පියදාස විජේකෝන් ,සොමී රත්නායක හා මර්වින් ජයතුංග රිදී තිරයේ දුෂ්ඨයාම විය. 

ඇලෙක්සැන්ඩර් ප්රනාන්දු හා  රොබින් ප්රනාන්දු සටන් නළුවන් වූහ.

බොහෝ චිත්රපටවල රාත්රී සමාජ ශාලාවල දර්ශන තිබූ අතර ඒවයේ නාට්යාංගනාව වූයේ හෙලන් කුමාරි හෝ ෆරීනා ලායි නැමැති නිළියන්ය. ඔව්හු ඒ කාරිය අකුරටම කලෝය.




එච් ආර් ජෝතිපාල, එම් එස් ප්රනාන්දු, මිල්ටන් මල්ලව ආරච්චි, මිල්ටන් පෙරේරා,ලතා වල්පොල,ඇන්ජලින් ගුණතිලක,සුජාතා,බෙග් මාස්ටර් හා ක්ලැරන්ස් වැනි ගායක ගායිකාවන් මගේ කාලයේ රිදී තිරය ඔවුනගේ මධුර මනෝහර ස්වරයෙන් මෝහනය කලෝය. 

බෙග් මාස්ටර් ,සුනිල් එදිරිසිංහ,අමරසිරි පීරිස්,නන්දා මාලණී හා අමරදේවයන්ගේ හඬ බොහෝ විට චිත්රපට පසුබිම් ගායනයට යොදා ගැනුනි.

මේ කාලයේ අවුරුද්ද පුරා ඉතා අනර්ඝ චිත්රපට තුනක් හෝ හතරක් පිටවීමද විශේෂ කරුනකි. ඒ කෙසේ වෙතත් සිනමා ශාලා සැමවිටම වාගේ ප්රේක්ෂකයන්ගෙන් පිරී පැවතුනි. 

බොහෝ රැකියා මාර්ගද මේ සමඟ බිහිවුනි. චිත්රපට වලට කෙලින්ම සම්බන්ධ නළු නිලියන්, කාර්මික ශිල්පීන් හැරුනු කොට සිනමා ශාලාවල කඩල විකිණූ කොළු ගැටයා පවා සිනමාවෙන් යැපුනි. 

රූපවාහිණිය, සිවිල් යුධ වාතාවරණය හා සිනමාවේ ප්රමිතිය බාලවීමත් සමඟම මෙම ආදායම් මාර්ග වලටද කණ කොකා හැඬුනි.

සිනමාවට සම්බන්ධව දමිළ අධ්යක්ෂකවරු හා කාර්මික ශිල්පීන් රාශියක් ඔවුනගේ උපරිම කැපවීම ඒ කාලයේ සිංහල සිනමාව උදෙසා යොදා තිබිනි. බොහොමයක් සිනමා ශාලා,රසායනාගාර හා ශබ්දාගාරද අයිතිව තිබුනේ දමිළ ජාතිකයන්ට වීමද විශේෂ කරුණක් වූ අතර සිනමාවේ උන්නතිය සඳහා එම ජන කොටසේ සහභාගිත්වයද එයින්ම කැපී පෙනුනී. එනමුත් ලංකාවේ අවාසනාවට ඇතිවූ ඒ ඊනියා ජාති ආලය විසින් මෙම සිනමා ශාලා ඇතුළු ශබ්දාගාර හා රසායනාගාර අළුත්ම චිත්ර පටත් සමඟම පිටපතක්වත් රහිතවම අපට අහිමි කලේ සිංහල සිනමාව වල පල්ලටම ඇද දමමිනි.

ඒ අතරම සිනමාවට නැතිවම බැරිවූ විජය මරා දැමිනි. රිචඩ් ද සොයිසා හා ප්රවීන ගීත රචක ප්රේමකීර්ති වැන්නවුන් අපෙන් සදහටම පැහැර ගත්තේ කලාවට සහ සමස්තයක් වශයෙන් මුලු ලංකාවටම ගැසු අතුල් පහරක් පරිද්දෙනි. අප මහා අවාසනාවන්තයින් වීමු.





මේ අතරම ජෝති,එම් එස්, මිල්ටන් පෙරේරා,ශෙල්ටන් පෙරේරා,මිල්ටන් මල්ලවආරච්චි වැනි ගීත කෝකිලයින්ද ඉතාමත් අඩු වයසින් දැයෙන් සමු ගැනීමද ඒ හැත්තෑවේ දශකයේ ස්වර්ණමය යුඟය තව දුරටත් නැතිවීමට රුකුලක්ම විය.

ඒ කාලයේ සිනමා ශාලා තුල දුම්බීමේ තහනමක් නොවූ අතර ශාලාව අඳුරු කොට චිත්රපටය තිරයමත දිඟ හැරෙද්දී ප්රොජෙක්ටරයේ සිට තිරය දක්වා විහිදෙන ආලෝක කදම්භය සිඟරට් දුමින් ඒකාලෝක වූ ආකාරය මට දැනුදු මැවී පෙනෙයි. දර්ශනය අවසන එලියට එද්දී කොණ්ඩයෙන් වහනය වූ සිඟරට් ගන්දස්සාරය මේ දැන් පවා නහයට දැනී යයි.ඒ අතරම සිනමා ශාලාවලටම ආවේනික සුවඳද ඒ ගැන මෙනෙහි කරද්දී නහයට දැනී යාම කෙසේවත්  නොවැලක් විය හැකි කරුණකි. එය අමුතුම සුවදකි. ඒ සුවද හදේ කොනක තබා ගෙනම මේ සිනමා මතකයට සමු දෙන්නට තීරනය කලෙමි. ගාමිණී එතුමාගේ සාගරයක් මැද චිත්ර පටය අවසනදී කිව්වාක් මෙන් මෙය " අවසානය නොවේ" තව තව ඉදිරියේදී දස දහස් ගනනින් චිත්ර පට නිපැදේවි. අපත්
වයසට යාවි. ඒත් ඒ සොඳුරු මතකයෝ තව තවත් තිරිහං වෙමින් හද තුලම රඟ දේවි. 

සමුගෙන යන්නට පෙර හුදු විනෝදය පතා එකල චිත්ර පට බලා සහ ගුවන් විදුලියෙන් අසා සිතේ කෙටුනු චිත්ර පට දෙබස් කිහිපයක් මෙහි ලියා තබමි. ඔබට ඒ ඒ අදාල චිත්ර පටය ලියා තබන මෙන් ආදරයෙන් ඉල්ලමි. සැමට ජය හා සතුට!!

1) " ගියා නෙමේ මල්ලියේ.. ග්රහයා අරං ගියා.."
2) " තෝ කියන්නේ ඇත්ත නම් තොගෙ අතේ දිය පට්ට නෑ. තෝ කියන්නේ කෙප්ප නම් තොගෙ අතේ දියපට්ට. දාපං තෙල් තාච්චුවට අත! "
3) " අඩෝ මහත්තයා මම හොඳින් කියන්නේ අද යන්ඩ එපා"
4) "කැලේ හිටියා කුළෙක්.. ඌ පාඩුවේ තණ කකා හිටියේ. වැදුනා ඌට වෙඩිල්ල"
5) " අපේ අම්මා මං වගේ තව එක පුතෙක් හැදුවා නම්"
6) " මල්ලී කැලේ මාරු උනාට කොටියගේ පුල්ලී මාරු වෙන්නේ නෑ"
7) " මීට වඩා හොඳයි මට වහ දුන්නා නම්"
8) " මිණිස්සු කථා හදලා. මං ගැන!
මමයි බතියි ගැන"
9) " පච්චේ අම්මා බුදුවේවා කියලා කොටපං"
10) " මේ අසාධාරන ලෝකේ යුක්තිය හා සාධාරණය වෙනුවෙන් සටන් කරන මිනිහෙක් මං"

තව මෙවැනි දෙබස් කන්ඩ ඔබටත් මතක නම් මට මතක් කර දෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ජය!!


All the photos have been taken from the internet.

53 comments:

  1. ම් මේ වගේ විස්තර වලට මම ඇත්තටම ආසයි මොකද මම චිත්‍රපට පිස්සෙක් නිසා... ස්තූතියි මතකයට යමක් තිළිණ කලාට...
    මොකද යංශය රකාරාංශය එක්ක ජාති තරහක් වත් තියේද...ඒ සිකේත එක්ක භාශාව ලස්සන වෙනව... පුලුවන් තරං උත්සාහ කරන්න ඒ සංකේත භාවිතා කරන්න... අපි සිංහලනෙ නැද්ද... බැරි වෙන්න විදියක් නෑනෙව..

    අක්ෂර වින්‍යාස දෝශ අධිකයි පුලුවන් තරම් උත්සාහ කරන්න නිවැරදි කරගන්න..


    ReplyDelete
    Replies
    1. ඔබගේ ඇගැයීමට හා දැනමුතුකමට බොහෝම ස්තූතියි! ඇත්තටම මම එය නිහතමාණීව පිළිගන්නවා. සමහර අක්ෂර දෝෂ මම නොදන්න කමට වූ බව කියන්න මම ලැජ්ජා වෙන්නේ නෑ. ඒත් සමහර අකුරැ මම දැනගෙන හිටියත් මම භාවිතා කරන අකුරැ කොටන මෙවළම එයාට ඕන විදිහට තමයි දාන්නේ. ඒත් ඒක ගැන බලන්න ඕනේ. ඒ කෙසේ වෙතත් සඳුන් සෙවනට ඔබව ඉතාමත් සෙනෙහසින් පිළිගන්නවා. ජයම වේවා!!

      Delete
  2. හරි...නියම ලිපිය ගුණේ...
    එච්,ඩී,ප්‍රේමරත්න සිනමාවට හඳුන්වා දුන් බන්ධුල ගලගෙදර තමයි සිකුරුලියා එකේ මිටි පුද්ගලයාගේ චරිතය රඟපෑවේ. කලංව අපේක්ෂා චිත්‍රපටියෙන් තමයි ජනප්‍රිය වුනේ. මම ඕක කිහිපවරක් බැලුවා. දැන් කලංට වයස 75ට කිට්ටුයි.

    මංගල තෑග්ග කතාකලයුතු බොහෝ දේ ඇති ෆිල්ම් එකක්. මනෝට මේකේ හොඳම සහාය නළුවාට සම්මාණය ලැබුනා. ඔය නාඹර වස්සා ගීතය සුනිල්/එඩ්වඩ්/බන්ධුල විජේවීර ගැයුවේ. අර හතර දෙනාගේ ඩාන්ස් එක මතක් කරන්නේ මගේ තරුණ කාලේ. ඕක ප්‍රේම් ලිව්වේ. එච්.එම්. මියුසික්.

    සේන සමරසිංහගේ ෆිල්ම්ස්වලින් තමයි මිල්ටන් මල්ලවාරච්චිගේ සිනමාගීත ජනප්‍රියවුනේ. සේනගේ ආශා දෑසින් චිත්‍රපටියෙ මගේ මස්සිනා රඟපෑවා. විජේ /ප්‍රේම්/රිචඩ් සොයිසා ගැන එහෙම ලියන්න දේ බොහොමයි ගුණේ.

    හරූන් ලන්ත්‍රාත් සිංහල සිනමාවට ලොකු දායාදයක් ඉතිරිකරා ගී වලින්. ලියන්න දේවල් නම් බොහොමයි. මෙහෙම ටිකෙන් ටික එකතුකරමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරෑ! ඇත්තටම පුදුම සතුටක් සිතට දැනෙන්නේ ඒ කාළේ අපි බලපු චිත්‍රපට ගැන කථා කරනකොටත්.
      අන්තර් ජාලයට පිං සිද්ධ වෙන්න ඒ චිත්‍ර පට ගීත අපට නරඹන්න පුළුවන්. මට තව නමක් ගැන සඳහන් කරන්න බැරිවුනා. එතුමා චිත්‍රපට සංරක්ෂනයට ඉතා විශාල අයුරින් දායක වුනා. ඒ තමයි තිස්ස නාගොඩවිතාන. තිනා.
      ඒ වගේම චිත්‍රපට නම් තිරගත වූ වර්ෂ ඇතුළු සියළුම විස්තර කට පාඩමින් ගිරවෙක් වගේ කියන ඒ ජගතාගේ නමත් මඟහැරැනා. මට මතකයට එන්නේ නෑ.
      කොස්තා නම් දැන් ටෙලිනාට්‍ය වල දකිනවා. කලංව එකමත් එක කලෙක කියලා රෑපවාහිණියේ ගිය වැඩසටහනකින් බලන්න අවස්ථාව ලැබුනා.
      අරෑ උඹ ප්‍රේම් අයියා ගැන ලියපං. අපි මධුවිතින් සැනැහෙන සෑම නිමේශයකම එතුමාගේ ගුණ කියනවා.
      කෝ බං දෙබස් අවස්ථා සම්බන්ධය නෑනේ. මම හිතුවේ වෙඩි වගේ
      උඹෙන් එයි කියලා. තාම රවී අයියා හා හැලපයියා( විහිළුවට) දැකලා නෑ. උත්තර කීපයක් ලැබිලා තියෙනවා.
      උඹේ මස්සිනාත් නළුවෙක් එහෙනම්. ජයම වේවා මචෝ!!

      Delete
  3. ඒ කාලේ චිත්‍රපට අපිට මිලදී ගන්න නොලැබෙන එක අඩුවක්. ඩී වීඩි වශයෙන් මිලදී ගන්න විදියක් තිබුනා නම් හෝ අන්තර්ජාලයෙන් අපිට බලන්න ිතබුනා නම් ඒවායින් අපිට ආදර්ශ අරගන්න ිතබුනා.

    ReplyDelete
    Replies
    1. තියේ තියේ... ටොරාන උං ගාව... එකක් 750.00 වෙනව... ගන්නනද

      Delete
    2. අමිල මල්ලී ඒවා මහේෂ් කිව්වා වගේ ටොරානා එකෙන් ගත්තෑකි. එහෙම නැත්නම් යූ ටියුබ් එකේ තියෙනවා. හැබැයි ඉතිං රෑපවාහිණියේ ප්‍රචාරය වුන ඒවා විතරයි. තාම මට මල්දෙණියේ සිමියොං චිත්‍ර පටය හොයා ගන්න බැරිවුනා. ජය!
      ඔබව සඳුන් සෙවනටත් සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  4. වැඩිය දන්නේ නෑ අනිත් ඒවා ගැනනම් චන්දන. නමුත් මේ කෑල්ල නම් බැද්දේගම සිළිඳු නේද කියන්නේ?

    "කැලේ හිටියා කුළෙක්.. ඌ පාඩුවේ තණ කකා හිටියේ. වැදුනා ඌට වෙඩිල්ල"

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හෙන්රි ඔබගේ පිළිතුර නිවැරදියි. තව ටිකක් කට්ටියට හිතන්න දීලා ඉතුරැ ඒවා හෙලි කරන්නම්. ජය!!

      Delete
  5. හම්මේ මාත් ආසයි පරණ ෆිල්ම් බලනවාටත් වඩා බලපු අය ඒවා ගැන කියන මේ කතා අහන්ට. අපේ තාත්තත් ඉස්සර ෆිල්ම් පිස්සෙක් නිසා නිතර කියනව ඕවගෙ කතා. ස්තූතියි චන්දන අයියේ මේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවාට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සි නඟේ. ඔයාලා වගේ ළපටි අය හින්දි චිත්‍රපට පස්සේ දුවන කාලයක අපේ චිත්‍ර පට ගැන උනන්දු උනාටත් ස්තූතියි! ජයම වේවා!!

      Delete
  6. මචං සක්විති සුවය ඩිරෙක් කලේ සේන සමරසිංහද ...?????එකේ කොල්ලුපිටියෙ ෂූටින් තිබුන දවසක ගාමිණි F ගේ ළමයි 4 එක්ක මම ගොල්ෆේස්වල ග්‍රවුන්ඩ් හිටිය...
    එවෙලෙ ලොකු කෙල්ල කිව්ව කැහ ලියට තාත්ති මාව සෙට් කරන්න හදනව කියල..
    මම දන්නෙ පොඩ්ඩ නිසයි ඇහැව්වෙ ...???

    ReplyDelete
    Replies
    1. කෙන්ජි........සක්විති සුවය ඩිරෙක්ටර් ගාමිනි..ප්‍රොඩියුස් කලේ ඔය කෙහෙක් ලෙල්ලා . නියම සෙට් එකක් හිටියා ෆිල්ම් එකේ.

      Delete
    2. ඔව් කෙන්ජි අරෑට ස්තූතියි! සේන සමරසිංහගේ නම තමයි සක්විති සුවය ගැන වැඩිපුර ප්‍රචාරය වුනේ. නිවැරදි කිරීමට ස්තූතියි අරෑට. මේක
      දයා රාජපක්ෂයන්ගේ චිත්‍ර කථාවක් ඇසුරින් තමයි කලේ. උඹට ජය කෙන්ජි මලේ!'

      Delete
  7. සිංහල සිනමාව නමැති මහා ගංගාවෙන් දියදෝතක් අරන් පෑවාට බොහොම ස්තුතියි. 1960 දශකයේදී චිත්‍රපටි පිස්සුව හදාගත් නිසා ඔබ මෙහි සඳහන් කර ඇති සමහර චිත්‍රපටිවල මංගල දර්ශනය බලපු හැටි මතක්වුනා. සිනමා ඉතිහාසය කොටස්වලට කඩාගෙන ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක තුමා! මේ මගේ හිතේ සිංහල සිනමාව ගැන පැලපදියම් වූ සිතිවිලි හා අත්දැකීම් සමුදායක් පමණයි. අපි ටිකටික ලියමු. සඳුන් සෙවනට ඔබව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ජය!

      Delete
  8. ෆිල්ම් බලනවාට වඩා ගති එන්නේ මේ කතා ටික කියවනකොට ...ඔය වගේ දෙබස් මතක ඇති අපේ කෙන්ජයියට, අරූට ,හැලපෙට, එහෙම . ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන් මලේ! අරෑගෙනුත් අවස්ථා සම්බන්ධය ලැබුනේ නෑ. දැනට නිවැරදි පිළිතුරැ කිහිපයක් ලැබිලා තියෙනවා. උඹට ජය!!

      Delete
  9. ඒ කාලේ සිනමාවට තිබුන තැන අද නැතිවෙන්න හේතුවක් තමයි නූතන තාක්ෂනය

    ReplyDelete
    Replies
    1. ඔබ හරි කෝරලේ මහත්තයෝ... රෑපවාහිණියේ හා අන්තර්ජාලයේ සංක්‍රමණය තදින්ම බලපෑවා. ඒත් තාක්ෂණ දියුණුව උසස් ඝනයේ චිත්‍රපට නිපදවන්න යොදා ගන්න තිබුනා. ඉංදියාව ඇමෙරිකාව වගේ. ඔබට ජය!!

      Delete
  10. රසවත් සටහනක්...අර දෙබස් එක්කල අදාළ ෆිල්ම්ස් වල නමුත් දැම්මා නම් තවත් හොඳයි අපි වගේ වැඩිය දන්නේ නැති කට්ටියට... මට මීටර් උනේ දෙක තුනක් විතරයි..
    4) "කැලේ හිටියා කුළෙක්.. ඌ පාඩුවේ තණ කකා හිටියේ. වැදුනා ඌට වෙඩිල්ල" : මේ බැද්දේගම සිළිඳු වෙන්න ඕනේ...
    8) " මිණිස්සු කථා හදලා. මං ගැන! මමයි බතියි ගැන": ම්ම් විරාගය?
    5) " අපේ අම්මා මං වගේ තව එක පුතෙක් හැදුවා නම්" : පුරන් අප්පු ද? රවීන්ද්‍ර ද මන්දා හිටියේ...

    ReplyDelete
    Replies
    1. ස්තූත්යි නීරෝ මලේ! ඔබගේ පිළිතුරැ නිවැරදියි... ඔව් වීර පුරං අප්පු එකේ රවීන්ද්‍ර තමයි.
      ඔක්කොම නොදැම්මේ කට්ටියට ටිකක් හිතන්න ඉඩතියන්න ඕන නිසා. පසුව ඒවා ලියන්නම්. ජය වේවා!!

      Delete
    2. හික් මලේ නෙමේ නගේ කියල දාගන්න :D :D

      Delete
    3. සමාවෙයං නඟේ කොහේද හරි නමක් දානවයැ. පිංතූරෙත් හරියට දැක්කේ නෑ. නඟා අමනාප නොවෙයි කියලා හිතනවා..
      ඔයාව සඳුන් සෙවනටත්‍ ඉතාමත් ආදරයෙන් පිළිගන්වා. ජය!!

      Delete
    4. අපොයි මොන අමනාපයක්ද සහෝ...දිගටම සඳුන් සෙවන කියවන්නට බලාපොරත්තු වෙනවා :)

      Delete
  11. 2) " තෝ කියන්නේ ඇත්ත නම් තොගෙ අතේ දිය පට්ට නෑ. තෝ කියන්නේ කෙප්ප නම් තොගෙ අතේ දියපට්ට. දාපං තෙල් තාච්චුවට අත! "

    සත්වෙනි දවස වෙන්න ඕන...

    3) " අඩෝ මහත්තයා මම හොඳින් කියන්නේ අද යන්ඩ එපා"

    සක්විති සුවය ...

    9) " පච්චේ අම්මා බුදුවේවා කියලා කොටපං"

    සිරිපාල සහ රන්මැණිකා

    10) " මේ අසාධාරන ලෝකේ යුක්තිය හා සාධාරණය වෙනුවෙන් සටන් කරන මිනිහෙක් මං"

    උතුමාණනි!

    ඔහොමයි මතක මල්ලි ..හරිද නම් ෂුවර් නැත ..:)

    / මේ චිත්රපට වල නම් කියා " සේන සමරසිංහගේ ඒ චිරාගත සම්ප්රදාය" යැයි ප්රචාරය කෙරුනේ එතුමාගේ චිත්රපට පිළිබඳ ගුවන් විදුලි ප්රචාරක වැඩ සටහන් වලදීයි. /

    ඒක කිව්වෙ බං මෙහෙම " ඒ චිරාගත ජනප්‍රියත්ව සම්ප්‍රදායෙන් "

    මේ අමතක නොවන දෙබස් මතකද?

    " මම මගෙ ජීවිතේට ආදරේ කලේ උඹට විතරයි කෙල්ලෙ. ඒත් උඹ මට ආදරේ කලේ නෑ. ඒකට කමක් නෑ. මම නැති දවසක මළඉරු බැහැගෙන යනකොර මගෙ සොහොන ළඟට ඇවිල්ල ටිකක් මා දිහා බලාගෙන ඉඳල පලයන්. ඒ මට හොඳටම ඇති "

    " කුරුල්ලෙක්ගෙන් අහපන් මල්ලි ඌ සිංදු කියන්නෙ ඇයි කියල..ඒ උපමාව සුන්දර වැඩිනම් බල්ලෙක්ගෙන් අහපං ඌ පඳුරකට කකුල උස්සන්නෙ ඇයි කියල..එව්ව උත්තර නැති ප්‍රශ්න මල්ලි. මම බොන්නෙ ඇයි කියලනෙ උඹ ඇහුවෙ. ඒ ප්‍රශ්නයක් අන්න ඒ වගෙ උත්තර නැති ප්‍රශ්නයක් "

    " අසිත, මම උඹට ආදරේ කල තරම උඹ දන්නව. උඹ මංකොල්ලකාරයෙක් උනාට පස්සෙත් ඒ ආදරේ බිංදුවක්වත් අඩු උනේ නෑ. ඒත් පුතේ මේ පාර උඹ කරල තියෙන්නෙ සමාවක් දෙන්නම බැරි අපරාධයක්..ඇයි පුතේ උඹ අර අහිංසක කෙල්ලට ඒ අපරාධය කලේ? මට කියපං ..ඇයි? ඇයි? ඇයි? "

    " සමහර බල්ලො ඉන්නව හදන්ඩම බෑ , උංගෙ වැඩේ දඩාවතේ යන එක, උං එක්කො මරල දාන්ඩ ඕන නැත්තං බැඳල දාන්ඩ ඕන."

    ReplyDelete
    Replies
    1. මේ අන්තිම දෙබස කිව්වේ ජෝ අබේවික්‍රමද?

      Delete
    2. අන්තිම එක නම් දඩයම නේද?

      Delete
    3. ඔය තියෙන්නේ රවී අයියේ වෙඩි වගේ!! මගේ හදවත කීං ගෑවා මේවා දකිනකොට.
      මම දාපු දෙබස් වලින් සත්වෙනි දවස විතරයි හරි. පච්චෙගේ දෙබස ටිකක් ළඟට ඇවිත් තියෙනවා. තව ටිකක් හිතපං බලන්න.

      //මම මගෙ ජීවිතේට ආදරේ කලේ
      උඹට විතරයි කෙල්ලෙ. ඒත් උඹ මට ආදරේ කලේ නෑ. ඒකට කමක් නෑ. මම නැති දවසක මළඉරු බැහැගෙන යනකොර මගෙ සොහොන ළඟට ඇවිල්ල ටිකක් මා දිහා බලාගෙන ඉඳල පලයන්. ඒ මට හොඳටම ඇති "// මතක නැත.

      " කුරුල්ලෙක්ගෙන් අහපන් මල්ලි ඌ සිංදු කියන්නෙ ඇයි කියල..ඒ උපමාව සුන්දර වැඩිනම් බල්ලෙක්ගෙන් අහපං ඌ පඳුරකට කකුල උස්සන්නෙ ඇයි කියල..එව්ව උත්තර නැති ප්‍රශ්න මල්ලි. මම බොන්නෙ ඇයි කියලනෙ උඹ ඇහුවෙ. ඒ ප්‍රශ්නයක් අන්න ඒ වගෙ උත්තර නැති ප්‍රශ්නයක් "
      මේ දෙබස මේ දැන් ඇහෙනවා වගේ මතකයි. ඒත් චිත්‍ර පටය මතක නෑ. ආශා දෑසින් වද්ද??

      " අසිත, මම උඹට ආදරේ කල තරම උඹ දන්නව. උඹ මංකොල්ලකාරයෙක් උනාට පස්සෙත් ඒ ආදරේ බිංදුවක්වත් අඩු උනේ නෑ. ඒත් පුතේ මේ පාර උඹ කරල තියෙන්නෙ සමාවක් දෙන්නම බැරි අපරාධයක්..ඇයි පුතේ උඹ අර අහිංසක කෙල්ලට ඒ අපරාධය කලේ? මට කියපං ..ඇයි? ඇයි? ඇයි? "
      මේක මතක නෑ බං...

      " සමහර බල්ලො ඉන්නව හදන්ඩම බෑ , උංගෙ වැඩේ දඩාවතේ යන එක, උං එක්කො මරල දාන්ඩ ඕන නැත්තං බැඳල දාන්ඩ ඕන."
      මේක නම් හොඳටම මතකයි.. ඒත්
      චිත්‍ර පටයේ නම හිතට එන්නේ නෑ.

      හරිම සතුටක් ලැබුවා රවී අයියේ. ස්තූතියි සේන සමරසිංහයන්ගේ වගන්තිය නිවැරදි කලාටත්. හිතින් ඒ සොඳුරැ කාළයට ගියා. ජයම වේවා!!

      Delete
    4. @aru
      නෑ ස්වර්ණා මම හිතන්නේ .. ඔය කෑල්ල නිතරම ටීවී එකේ ගිය හින්දා මතක මිසක් දඩයම බලලා නම් නැහැ :(

      Delete
    5. නීරෝ නංගි හරි. බල්ලෝ දඩාවතේ යන දෙබස දඩයම තමයි. මම හිතන්නේ ස්වර්ණා කියන්නේ.
      අරෑ ඒක ජෝ නෙමේ ස්වර්ණා කියන්නේ..

      Delete
    6. මම වයිෆ්ව යාළුවෙලා ඉන්න කාලේ ඉස්සෙල්ලාම අරන් ගියේ දඩයම බලන්න. අප්පේ දඩයම බැලුවාද දඩයම් කෙරුවාද මන්දා එදා :

      නිරෝ.....ලෝන්ග් ටයිම් නෝ සී....දඩයමේ ගියාද :

      Delete
    7. අරෑ ත් මරැ ඒවා බලන්නනේ මුලින්ම ගිහිං තියෙන්නේ. මුලින්ම යන්න තිබුනේ "සැනසුම කොතනද" බලන්න. බැඳලා ඉවර වෙලා බලන්න තිබුනේ "මරැවා සමඟ වාසේ( විහිළුවට)"

      Delete
    8. / පච්චෙගේ දෙබස ටිකක් ළඟට ඇවිත් තියෙනවා. තව ටිකක් හිතපං බලන්න. /

      එහෙනං " මරුවා සමඟ වාසේ "

      " මම මගෙ ජීවිතේට ආදරේ කලේ උඹට විතරයි කෙල්ලෙ. ඒත් උඹ මට ආදරේ කලේ නෑ. ඒකට කමක් නෑ. මම නැති දවසක මළඉරු බැහැගෙන යනකොර මගෙ සොහොන ළඟට ඇවිල්ල ටිකක් මා දිහා බලාගෙන ඉඳල පලයන්. ඒ මට හොඳටම ඇති "

      පරසතුමල් මල්ලි...බොනී මහත්තය ( ගාමිණී ) අන්තිමට මරණාසන්න උනහම පුණ්‍යා ස්වාමියත් එක්ක ( ටෝනි ) එනව බොනී මහත්තයව බලන්ට. ඒ වෙලාවෙ ගාමිණී ඔහොම කියන්නෙ..මට අදත් මතක් වෙනකොටත් කඳුළු එනව බං..

      78 වගෙ කොළඹ රීහල් එකි තිබ්බ සම්භාව්‍ය සිංහල චිත්‍රපට උළෙලක්. ආරාධිතයින්ට පමණයි. නැත්තං ලොකු ගාණක් ගෙවල කලින් ආසන වෙන් කරව ගන්න ඕන. ඒත් ෂෝ එක පටන් ගන්න විනාඩි 10 තියල ආපු නැති අයගෙ සීට් සාමාන්‍ය මිලට විකුණුව. ඕකෙ හැමදාම පෝලිමේ මුලම ඉඳල මම බැලුව, සත් සමුදුර, නිධානය, පරසතු මල්, දෙලොවක් අතර, තුංමං හන්දිය. ඒ කාලෙ බං ඩී.වී.ඩී. රූපවාහිනී, යූ ටියුබ් තිබ්බ එකක්ය. ඔහොම නැත්තං ඔය වගෙ ෆිල්ම්ස් බලන්න වෙන්නෙ නෑ.

      පරසතුමල් ගැන පෝස්ට් එකක් ලියන්න ඕන..මේ පරසතුමල් චිත්‍රපටයෙ අවසානය.. මේ සෝබර කවිය ගාමිණීගෙ කටහඬින්ම ඇහෙන කොට හිත වාවන්නෙ නෑ. ලිව්වෙ සේකර...

      බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
      දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ
      මා ආදරය දුටුබව නොම හැඟුණාවේ
      මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ…..


      " කුරුල්ලෙක්ගෙන් අහපන් මල්ලි ඌ සිංදු කියන්නෙ ඇයි කියල..ඒ උපමාව සුන්දර වැඩිනම් බල්ලෙක්ගෙන් අහපං ඌ පඳුරකට කකුල උස්සන්නෙ ඇයි කියල..එව්ව උත්තර නැති ප්‍රශ්න මල්ලි. මම බොන්නෙ ඇයි කියලනෙ උඹ ඇහුවෙ. ඒ ප්‍රශ්නයක් අන්න ඒ වගෙ උත්තර නැති ප්‍රශ්නයක් "

      මහගෙදර - තිස්ස අබේසේකර..

      විජය තිස්සගෙ මල්ලි. විජය අහනව අයිය ඔහොම බොන්නෙ ඇයි කියල..එතකොට තමයි තිස්ස ඔහොම කියන්නෙ..ඒ දෙන්නගෙ අම්මට හිටියෙ සෝමලතා සුබසිංහ, නංගි ගීතා කුමාරසිංහ..අධ්‍යක්ෂණය කලෙත් තිස්ස අබේසේකරමයි.

      " අසිත, මම උඹට ආදරේ කල තරම උඹ දන්නව. උඹ මංකොල්ලකාරයෙක් උනාට පස්සෙත් ඒ ආදරේ බිංදුවක්වත් අඩු උනේ නෑ. ඒත් පුතේ මේ පාර උඹ කරල තියෙන්නෙ සමාවක් දෙන්නම බැරි අපරාධයක්..ඇයි පුතේ උඹ අර අහිංසක කෙල්ලට ඒ අපරාධය කලේ? මට කියපං ..ඇයි? ඇයි? ඇයි? "

      අඩේ. අසිත කියල නමත් තියෙන නිසා මම හිතුවෙ උඹට මතක් වෙයි කියල..ෆිල්ම් එක අනුපමා..ඔහොම කියන්නෙ මාර්තා ( මාලිනී ෆොන්සේකා ) අසිතගෙ අම්මා. අසිතට පිහියෙන් ඇනල මරන්න ඉස්සරවෙලා ...අනුපමාට රඟපෑවෙ සුවිනීතා

      " සමහර බල්ලො ඉන්නව හදන්ඩම බෑ , උංගෙ වැඩේ දඩාවතේ යන එක, උං එක්කො මරල දාන්ඩ ඕන නැත්තං බැඳල දාන්ඩ ඕන."

      niRo හරි, ඒ දඩයම ....ස්වර්ණා මල්ලවාරච්චි

      Delete
    9. @ ගුණේ......විහිළු කරන්න එපා (විහිළුවට )

      Delete
    10. උඹනම් සිනා සාගරයක් රස ආකරයක් බං! පුදුම සතුටක් දැනුනේ
      ඒ විස්තර අහලා. ඒ දෙබස් හා ජවනිකා කිසිදාක අපේ සිතින් බැහැරව යන්නේ නෑ. ඉක්මනටම පරසතු මල් චිත්‍රපට කථාව ලියපං. අපි ආසාවෙන් බලං ඉන්නවා.
      උඹට මතකද නිධානය, වැලිකතර, යකඩයා වගේ චිත්‍රපටවල ගාමිණීගේ රංගනය? අපි ඒවයේ ජීවත් වුනා බං.ජෝ මහත්තයාගේ රංගනයන්. ඒ හැමෝම නියම නළුවෝ. කට්ටිය එකතු වුනාම කොහොම තියෙන්න ඇද්ද? ආයෙත් ඒ කාළයට යන්න හිතෙනවා.

      Delete
  12. ''කැලේ හිටියා කුළෙක්.. ඌ පාඩුවේ තණ කකා හිටියේ. වැදුනා ඌට වෙඩිල්ල"
    " අපේ අම්මා මං වගේ තව එක පුතෙක් හැදුවා නම්"
    මිණිස්සු කථා හදලා. මං ගැන!
    මමයි බතියි ගැන"
    " පච්චේ අම්මා බුදුවේවා කියලා කොටපං"
    බැද්දේගම
    වීර පුරන් අප්පු
    විරාගය
    සිරිපාල සහ රන්මැණිකා
    ඉතුරු ටික මතකෙට එන්නෙ නෑ මචං.ලිවිල්ල නං සුපිරියි හිතින් අතීතෙට ගියා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලප අයියේ! පච්චෙගේ දෙබස හැර අනික්වා හරි. ඒකත් ටිකක් හිතුවානම් එයි. රවී අයියා වගේ උඹත් ළඟටම ඇවිත්. ජය!!

      Delete
  13. බයස්කෝප් පේළියම ආපහු බැලුවා වගේ තමයි. උඹේ මතකය හා කරුණු පෙළ ගැස්සීම අනර්ඝයි මචන්. ඒත් අර මිත්‍රයෙක් කිව්වා වගේ අකුරු ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න බලමු .මම ලියන එවාගේත් අකුරු අඩුපාඩු එමටයි.

    ReplyDelete
    Replies
    1. උඹට ගොඩක් ස්තූතියි තිලකේ. ඔව් බං අකුරැ හරියට ඉගෙන ගන්න ඕනේ. සිංහල මව් භාෂාව හරියට ලියන්න බෑ කියන්නේ වස ලැජ්ජාව තමයි. උඹට ජය!!

      Delete
  14. අයුක්තිය අසාධාරනය පිරිච්ච ලෝකේක යුක්තිය සාධරනත්වය වෙනුවෙන් සටන් කරන මිනිහෙක් මම

    ReplyDelete
    Replies
    1. හරි ජේ පී ඒක තමයි දෙබස් කාණ්ඩය. විජේ කියන්නේ. චිත්‍ර පටය රජ වැඩකාරයෝද එහෙම නැත්නම් නොම්බර දාහතද? මතක නෑ.
      ඒක නෙමේ ඔබව සඳුන් සෙවනට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ජය වේවා!!

      Delete
  15. රසවත් විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. උඹට ස්තූතියි චන්දන!!

      Delete
  16. THANK YOU CHANDANA G.FOR YOUR WONDERFUL DESCRIPTION.I WENT DOWN MEMORY LANE WITH YOUR CINEMA HISTORY.I GREW UP IN THAT ERA. I HAVE WATCHED ALMOST ALL THE MOVIES SPECIALLY THE GAMINI FONESEKA'S FILMS.ALSO ALL POPULAR DIRECTORS MOVIES & NEW COMERS TO THE FILM INDUSTRY.KEEP UP YOUR GOOD WORK.I WANT TO READ MORE ARTICLES FROM YOU. I LIKE YOUR STYLE OF WRITING.THANK YOU & GOOD LUCK.

    ReplyDelete
    Replies
    1. Thank you very much! You are warmly welcome to my blog.

      Delete
  17. ඔන්න ඔන්න මගේ ෆිල්ම් පිස්සුව තද වෙනවා... හි.. හි...
    ඔය ඔක්කොම දෙබස් මට මතකයි... ඔක්කොටම හරියට උත්තර දීල තියෙන හින්ද මම ලියන්න ඕනේ නැහැ මම හිතන්නේ...

    අර පුරන්අප්පු එකේ තව ලස්සන දෙබස් තිබ්බ..
    මතකද අර පන්සලේ හාමුදුරුවන්ට වෙඩි තියනකොට හාමුදුරුවෝ කියපු කතාව? ඒ වගේම දෙබස් වලට වඩා සමහර සීන්... විශේෂයෙන්ම පුරන් අප්පු අහුඋනාට පස්සේ ඔහුගේ තේජස පෙන්නන දර්ශන!

    ආසයි කියවන්න .. ස්තුති

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උපේක්ෂා! දැන් කෝ එවැනි චිත්‍රපට? මතක හිටින දෙබස්.. තිස්ස අබේසේකර හාමුදුරැවන්ගේ චරිතය කෙතරම් අපූරැවට කළාද? හම්......

      Delete
  18. බොහොම ලස්සනයි. බැරිද අපේ වෙබ් අඩවියේ විචාරකයෙක් වෙන්න. www.films.lk

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! මම සතුටින් බාරගන්නවා.

      Delete
  19. RAJA DEKMATA AWSARDA = WELIKATARA

    ReplyDelete
  20. අර සේන සමරසිංහගෙ චිත්‍රපට පේලියෙ මුල් එක සක්විති සුවය නොවෙයි 'කස්තුරි සුවඳ' අනිත් එක
    'මල් කැකුළු'
    හර්ෂ

    ReplyDelete