දස මසක් කුස දරමින් හා සියලුම දුක් ගැහැට විඳිමින් , මවක තම දරුවා මෙලොව එළිය දකින තුරු බලා සිටිනවා වැනි සතුටකින් හා බලාපොරොත්තුවකින් මම එදා දිනය එළැඹෙන තෙක් දෑස් දල්වා බලා ගෙන සිටියෙමි. ඒ පසුගිය දහවෙනිදා වනතුරුයි.
මීට මාස කිහිපයකට පෙර, මුළු රටම අමතක කර තිබූ ඒ සත්යවාදී පත්තරකාරයා, සුනිල් මාධව ප්රේමතිලක, ආදරණීය සුනිල් අයියා බොරැල්ල ආයූර්වේද රෝහලේ හුදෙකලාව වැතිර සිටියේය. එදා ඒ බව පුංචි ලිපියකින් ඔබ , අසංගී විජේසූරිය සොයුරියේ ලොවට නොකියන්නට අද එතුමා උන්නද මළාදවත් දන්නා කිසිවකු නොවන්නට ඉඩ තිබිණි. ජීවත්ව සිටියදීම ලබාදුන් මේ විසල් සම්මානය සිහිනයක් පමණක් වන්නට තිබිණි. " නොනිමි ජීවිත කතාව" ඇඳ යට වේයන්ගේ රස බොජුනක් වන්නට ඉඩ තිබිණි. අද මේ අවදි වී සිටින , එතුමා ගැන හරබර ලිපි ලියන ප්රවීණ කවීන්ට ,ලේඛකයන්ට හා මාධ්යවේදීන්ට ඒවා එතුමා මිය ගිය දිනෙක කිඹුල් කඳුළු හෙළමින් කළ හැකිව තිබිණි. තමන් බලයේ සිටියදී සුනිල් අයියාව අමතක කොට මේ හදිසියේ එතුමන්ව සිහිවූ දේශපාලුවන්ට අවමගුලේදී හරබර දෙසුම් දෙසාබෑමට තිබිණි.
එදා , මේ එතුමා නැවත කියවන අය, "ආදරණීය " , " කඳුළු " වැනි වචන දිරවන්නේ නැති හා ඒවා විප්ලවකාරයෙකුගේ චරිතය දියාරු කරතැයි නන් දොඩවන අය අහලකවත් නොවූහ. එතුමාගේ ලෙඩ දුක් හා එතුමා කෑවද බීවද බලන්නට කිසිවෙකු සිටියේද නැත.
අප ආදරය කළේ සුනිල් අයියා කියන මිනිසාටය. අපට පක්ෂයක් ,පාටක් හෝ එතුමා විප්ලවවාදියෙකුද නැද්ද යන්න අදාළ නොවීය. මට අවශ්යවූයේ එතුමා හැකි කලදී අපට කළ සේවයට කෘතඥතාවය පළ කොට එතුමාගේ ආර්ථික තත්වයට යම් සහනයක් ලබා දීමයි. මන්ද එතුමා ලියූ දෙයින් අප ජීවිතය උගත්තෙමු. පන්නරය ලැබුවෙමු. එහිදී මගේ ඇරයුම පිළිගෙන හා මාව විශ්වාස කොට මා වෙත මුදල් ආධාර එවූ මුහුණු පොතින් හඳුනාගත් කෙදිනකවත් දැක නොමැති සහෘදයනී , නම් වශයෙන් සඳහන් නොකළත් ඔබ සැමගේ සහය නොවන්නට මට මේ අයුරින් අසංගී සෙයුරියගේ ව්යායාමයට සහයෝගය දීමට නොහැකිවනු ඇත. මම , මෙහිදී නිතර දෙවේලේ හමුවන මිතුරන් අහක බලද්දී ඉතා ඈත දුරු රටවලින් පවා ආධාර එවූ ඔබ සැම සිහිකරන්නේ ඉතා ආදරයෙනි. හදපිරි බැතියෙනි.
අප එකතු කළ මුදලින් එතුමාගේ ජීවිත කතාව මුද්රණය කිරීමටත් අසංගී සොයුරිය පුද්ගලිකවම බර දැරූ සුනිල් මාධව සමරු උත්සවයේ කටයුතුවලට සුළු සහයක් දීමටත් හැකිවූවා යැයි ඔබට පවසන්නේ ඉතාමත්ම නිහතමානී සතුටිනි. කොතරම් හයිකාරකම් කළත් අනුන්ට ගැරහුවත් නැතත්, උදව් කළත් නැතත් අපි සැවොම දිනයෙක මිය යන්නෙමු. එහෙත් හෙට මිය ගියත් අපට මේ සතුට විඳිමින් මිය යා හැක.
හුදෙකලාවී ජීවිතය එපාවී කලකිරීවුන් සුනිල් අයියා මේ ක්රියාකාරකම් එතුමන්ට නව ජීවයක් ලබා දුන්බව ප්රකාශ කිරීමම කෙතරම් අගනේද? ඒ ගැන සිතීම පවා හිතට කෙතරම් නම් සහනයක්ද?
ඉතිං අසංගී සොයුරිය , ඔබ අභීතව කළ මේ වීර ක්රියාව ඇගැයීමට මට වචන නැත. අවස්ථාවාදී පාප මිත්රයන්, දිය යටින් ගින්දර ගෙණියන්නන්, දිය රෙද්දෙන් බෙල්ල කපන්නන්, බොර දියේ මාළු බාන්නන් හා කලදුටුකළ වල ඉහගන්නන් වැනි මෙකී නොකී සියල්ලන් සමඟම සහ එල්ලවූ මරණ තර්ජන, බොරු චෝදනා සහ අපවාද හමුවේ ඉන්ද්රඛීලයක් සේ නොසැලී ඉදිරියටම ගිය ඔබ අපේ කාලයේ වීරවරියකි. කිසිත් නොකොට දොස් කියන්නන්ට අප අනුකම්පා කරමු. තමන් ජීවත්ව සිටියදීම තම පුතුට ,ජනතාව පිදූ ඒ හරසර දැක එදා ඒ මවගේ දෑසින් ගලා ගිය සතුටු කඳුළු බිඳුවක් පාසා ඔබට ආශීර්වාද ලැබෙනවා සොයුරිය. එය ඒකාන්තයි. අප සැමවත් මේ යහකටයුත්තට සම්බන්ධකර ගත්තාට ඔබට ස්තූතියි!
චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය