Pages

Friday 29 January 2016

අද දිනට යෙදෙන කීර්ති පැස්කුවල් මහතාගේ ජන්ම සංවත්සරය වෙනුවෙනි.



අගය කළ යුතු චරිත......

ඒ පේරාදෙණිය සරසවියේ අක්බාර් ශාලාවේ ගෙවුණු එක්තරා අඳුරු රාත්රියක් විය. පහුවෙනිදාට නියමිතව තිබූ විභාගයකට පාඩම් කොට හෙම්බත්වී වුන් අප පසුවූයේ පාං කියා ගන්නටවත් බැරි තත්වයෙනි. තවත් පාඩම් කරන්නට නම් මට හිත දුන්නේම නැත. ප්ලේන්ටියක්වත් ගහමුයි කියා කරා ( කරවිට) කළ යෝජනාව මට ඇසුණේ දෙව්ලොවින් ආ ඇමතුමක් ලෙසිනි. අප කැන්ටිමට යන අතර මහ නුවරින් ඉංජිනේරු පීඨයට පැමිණි , විභාග දවස් නිසා යහළුවකුගේ කාමරයක ගජේ ගසා වුන් මුස්ලිම් සොයුරෙකු වූ හුසේන් හමු වූයේ අහම්බයෙනි. 

විභාගයට නැහී ඔහුත් සිටියෙ බාගෙට මැරිච්ච ගානට බව ඔහුගේ විඩාබර දෙනෙත් අපට කියා පෑවේය. විභාගය ගැන මහා කන්දොස්කිරියාවක් හිතට නැගුණු ප්රශ්න කිහිපයක් අප අතර හුවමාරුවෙන් අනතුරුව හුසේන් ගෙනාවේ අපූරු යෝජනාවකි. 

එනම් මහනුවර කින්ග්ස්වුඩ් විද්යාලයේ පැවැත්වෙන සැනකෙළියක අවසාන දිනයවූ එදා සංවිධානය කොට තිබූ අවසාන මහා සංගීත රාත්රිය නැරඹීමට යමුද යන්නයි. ආයෙත් මොනව හිතන්නද අප කැමතිවූයේ දියට පනින්නට පෙරුම් පුරමින් වුන් ඉබ්බන්ව දියට වීසි කළා වැනි සතුටකිනි. 

ඊළඟ මිනිත්තුවේ අප සිටියේ ගම්පොළ පාරෙය. නුවර බලා යන බසයක එල්ලුණු  අප කින්ස්වුඩ් විද්යාලය ළඟින් බසිනවිට සංගීතය ඇරඹුණා පමණි. එහෙ මෙහෙ සැරිසරන ගිනි කිරිල්ලියන් හා සුර ලියන්ගේ දසුනින් නෙත් සතපාවාගනිමින් හා ඔවුනට මල් හී සැර විදිමින් අපේ කල්ලිය උත්සව භූමියට ඇතුළු වූයේ බඹර කැලක් මෙන් සැහැල්ලුවෙනි. 

කින්ගස්වුඩ් විදුහලේ ආදී සිසුවකු වූ හුසේන්ට ඔහුගේ පැරණි යහළුවන් හා අසල්වාසීන් බොහෝ හමු වූයේ මේ අතර වාරයේදීය. ඒ අතර ඔහුගේ නැන්දණියකද වූ අතර ඇය සමඟ ඇයගේ පියකරු දියණියද වූවාය. නැන්දණිය අප සමඟද බොහෝ සුහදව කතා බහ කළත් දියණිය සිටියේ වෙනම ලෝකයකය. වරෙක ඇය ඇඟිලි තුඩුවලින් ඉස්සෙමින් හා බෙල්ල හරව හරවා වේදිකාව දෙස කොරවක්කියක මෙන් බලමින් සිටියේ කවුරුන් හෝ එතැයි මහා බලාපොරොත්තුවකින් සිටින බව අප සැමටම ඒත්තු ගන්වමිනි. හුසේන් හෝ අප , එහි වුන් බව ඇය අධෝ වාතයක් තරම්වත්  ගාණකට නොගත්තාය. 

මෙසේ විනාඩි කිහිපයක් ගත වුණි. හදිසියේම අඳුර තුළින් මතුවූ පිරිමි රූ ඡායා කිහිපයක් දුටු ඇයගේ දෑස් හදිසියේම අමාවක රෑක පෑ සුපුන් සඳක් මෙන් ඒකාලෝක විය. පැමිණි පිරිමි තිදෙනා අතර වූ උස කඩවසම් පුද්ගලයාගේ අතේ ඇය එල්ලුණේ හැන්දෑවට ගෙදරට එන තම පියාගේ අතේ එල්ලෙන කුඩා ළදැරියක සිහි ගන්වමිනි. ඔහු , ඔහු අත වූ රාමු කළ ඡායාරූපයක් ඇය අත තැබුවේ අප විමතියෙන් ඇස් ගෙඩි ලොකු කරන් මේ වෙන්නට යන්නේ කුමක්දැයි බලා සිටියදීය. ඇය සහ නැන්දණිය සමඟ මද වේලාවක් සුහද කතා බහක යෙදුණු ඔහු ඒ දෙස දෑස් දල්වා වුන් අප දුටුවේය. එකෙණෙහිම අප දෙසටද හැරුනු ඔහු මනරම් සිනාවක් අප වෙත පා අත වනා අප සැමගෙන්ම සමු ගනිද්දී මම ඔහු කවුදැයි හඳුනා ගතිමි. 
රූපවාහිනී තිරයේ ඔහුගේ මනබඳින ගැයුම් හා ගිතාරු වාදනයන් අනත්තවත් දැක ,අසා රස විඳ තිබුණත් ඔහුව මෙතරම් ළඟට හැබැහින් නම් දැක්කේ එදාය. ඒ වෙන කවුරුන් හෝ නොව එදා මෙන්ම අදටත් යුවතියන්ගේ සිහින කුමරාවූ කීර්ති පැස්කුවල්ය. තමන්ට පිස්සු වැටී සිටිනා දහසකුත් රසිකාවියන් අතර හුසේන්ගේ ඥාති සොයුරිය සොයා ඇය ළඟටම පැමිණ තම අත්සන සහිත ඡායාරූපයක් දීමට තරම් නිහතමානීවූ ඔහු ගැන එදා අපට ඇතිවූයේ විස්තර කළ නොහැකි තරමේ ප්රසාදයක් සහ ආදරයකි. 

සරසවියෙන්ද රටින්ද සමුගත් මට එතුමා ගැන නැවත සිහිවූයේ වරෙක ලංකාවට ගිය දිනෙක එකල අතිශය ජනප්රියතාවයට පත්ව තිබූ එතුමන්ගේ " කඳුළ ඉතිං සමාවෙන්න" ගීතය ශ්රවණය කිරීමෙනි. සවන්දුන් පළමු නිමේෂයේම මම ඊට පෙම් බැන්ඳෙමි. 

මෑතකදී එතුමා රූපවාහිනී නාලිකාවක හත්දින්නක් තරු නම්වූ වැඩ සටහනකට පැමිණ සිටිනු මට දැකගන්නට ලැබිණි. එදා එතුමා මහනුවර හෝටලයක ගීත ගයා ඇරඹි තම සංගීත දිවියත් ඉන්පසු සුපර් ෆෝචූන්ස් වැනි සංගීත කණ්ඩායම් වල ගිතාරු වාදකයකු ලෙස සම්බන්ධ වූ අයුරුත් විස්තර කළේය. සිංහල ගීත වංශ කථාවේ බොහෝ අමරණීය ගීතවල මුල්ම පටිගත කිරීම්වලට ගිතාරුව වයමින් තමන් සහභාගීවී ඇති බව පැවසුවේ ඉතාමත්ම නිහතමානීව , කවදාවත් වයසට නොයන ඒ අව්යාජ සිනාවෙන් මුව සරසාගෙනය. ඇත්තටම එතුමා වයසට ගොස් නැත. අසූව දශකයේ දුටු ඔහුමය අදත්. 

එතුමා එදා කවුරුත් නොදන්නා රහසක්ද හෙළි කළේය. වසර ගණනාවකට පෙර එතුමා සංගීත සංදර්ශනයකට ගී ගැයීමට ගිය බවත් තමන්ට ගී ගැයීමට ලැබුණො බයිලා චක්රවර්තී එම් එස් ප්රානාන්දු මහතාට පසුව බවත් පවසමින් මතකය අවඳි කළ එතුමා ,එදා එම් එස්  මහතාට රසිකයන්ගේ බලවත් ඉල්ලීම නිසා ගීත රාශියක්ම ගැයීමට සිදුවූ බවත් වාදනය සැපයූ වාදක මඩුල්ලේ නොහැකියාව නිසා සමහර ගීත වල අන්තර් සංගීත කන්ඩ එතුමන්ට කටින්ම වාදනය කරන්නට සිදුවූ බවත් පැවසීය. කෙසේ හෝ සිංදු බර ගාණක්  ගයා වේදිකාව බැස ආ එම් එස් මහතා හදිසියේම වේදිකාව බලා පිය නගමින් වුන් තමන්ගේ ඇගට ඇලවී ආ බවත් එවෙලේ සිහි කල්පනාව නැතිව වුන් එතුමාව , ගීත ගැයීම පසෙකලා තම වාහනයට පටවාගෙන රෝහල වෙත රැගෙන ගියද ඒ මූසල රාත්රියේ එම් එස් දැයට අහිමි වූ බවද පැවසුවේ කඳුළින් දෙනෙත පුරවාගෙනය. ඊට වසර ගණනකට පසු එක්තරා මූසල බක් මාසයක කපුගේ සූරීන් ගුවන්තොටේ ඇදවැටුණු මොහොතේ කීර්ති පැස්කුවල් වැන්නෙකු ළඟ සිටියානම් කපුගේ කෙනෙකු තවමත් අපට සිටිනවා නොවේදැයි කියා මට නිකමට සිතුණි. 

ඒ කෙසේ වෙතත් මේ හැමදේම අපේ දෛවය අනුව සිදුවූවායැයි සිතා සිත සනසවාගන්නවා හැරෙන්නට වෙන කළ හැකි අන් දෙයක් නැත. 

මෑතකදී පැස්කුවල් මහතා නිතර රූපවාහිනියේ දැක ගන්නට ලැබිණි. ඒ ආධුනික යථාවාදී ගී ප්රසංග විනිසුරු වරයෙකු වශයෙනි. එහිදීත් ඔහුගේ මුවින් නික්මෙන අව්යාජ වදන් හා සුදුස්සන් සුදුසු තැන තබා ගෞරව කිරීමේ ගුණය හා නිහතමානීබව නිරතුරුවම කැපී පෙනෙන බව නොරහසකි. එතුමා වයසට නොගොසින් එදා මෙන්ම යෞවනයකුසේ සිටින්නේ එතුමාගේ මේ ලස්සන හදවත නිසාය. 

ඇත්තම පවසතොත් කීර්ති පැස්කුවල් මහතා ගැන යමක් ලිවිය යුතුයැයි මා කලකට පෙර සිටම සිතේ හිරකරගෙන වුන් සිතිවිල්ල මේ හදිසියේ මල් ඵළ දරා මේ ලිපිය විලසින් කල එළි බහින්නට හේතුවූයේ මෑතකදී එතුමන් සම්බන්ධවූ අපූරු සිද්ධියකි. නව කථාවක හෝ චිත්රපටයක හැරෙන්නට මෙවැනි සිදුවීම් නම් මේ කෲර ලෝකයේ සැබැවින්ම විරලය. එහෙත් මීට සති දෙකකට පමණ පෙර එය සැබැවින්ම සිදුවිය. 

මරණාසන්නව ලෙඩ ඇදේ වැතිර සිටි යුවතියක  වෙනුවෙන් ඇයගේ ප්රියතම ගීතය ඇයගේ ඇඳ අබියසම සිට ඔහු ගැයීය. ගිතාරුව වයමින් සහ ඇය දෙස ආදරයෙන් බලමින් ඔහු ගීතය ගයන ඒ අනුවේදනීය දර්ශනය නැරඹූ සුවහසක් ප්රේක්ෂක ජනතාවගේ සහ එම යුවතිය වටා ඒ මොහොතේ වුන් ඇයගේ ඥාතීන්ගේ දෙනෙත් තෙත් කළ දසුනක් විය. ගායනය අවසන ඇයගේ හිස අතගා ආදරයෙන් ඔහු ඇයගෙන් සමුගත් අතර ඇයද මුළු ලොවින්ම සමු ගත්තේ ඒ සුන්දර, ආදරබර මොහොත සිතින් තුරුළු කරගෙනය. 

මුදලටම සියලුමදේ තීරණය වන  වර්තමාන යුගයේ මෙම යුවතියගේ අවසාන මොහොතේ ඒ කිසිවක් නොසිතා ඉතාමත්ම නිහතමානීව එතුමන් විසින් කළ මේ උතුම් ක්රියාව සැමටම ආදර්ශයකි. ආදරය දනවන්නකි. තම දෙමාපියන්ගෙන් පවා මුදල් අයකරන මිනිසුන් වසන මේ ලොවේ එතුමන් ඉතා උතුම් මිනිසෙක් බව තේරුම් ගැනීමට මෙම ක්රියාව ඉතා සංවේදීවූත් අමිලවූත් උදාහරණයකි. 

කෙනෙකුට මඩ ගැසීම්, චරිතයන් ඝාතනය කිරීම් ,තම මඩිය තර කර ගැනීම්, ළමා අපචාර,මිනී මැරුම් ,ජාති හෝ ආගම්වාදී කුලල් කා ගැනීම්  වැනි ඉතා කුහක හා පහත් තොරතුරු නිරතුරුවම අසන්නට ලැබෙන වත්මන,  මේ පුවත පන්සලක ඇසෙන පිරිත් සජ්ගායනාවක් නැතිනම් දේවස්ථානයක ගැයෙන ගීතිකාවක් එසේත් නැතිනම් දේවාලයක කියැවෙන දේව යාතිකාවක් මෙන් අප සැමගේම කනට ප්රියය. හදවතට සමීපය. හැගුම්බරය. ආදරණීයය. 

මෙවැනි සත් ක්රියාවන්හී නිරතවෙමින්, තරුණ පරපුරට උදව් උපකාරකරමින් හා අපව එතුමාගේ ලයාන්විත හඬින් තව චිරාත් කාලයක් සතපවමින් කටයුතු කිරීමට එතුමන්ට ශක්තිය,දහිරිය,නීරෝගි සුවය සහ සිතේ සැනසීම නිරතුරුවම ලැබේවායි මම අවංකවම ප්රාර්ථනා කරමි. 

චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

Saturday 16 January 2016

අප හැර ගිය කෝපි කඩේ අබිලින්


ඒ අසූවේ දශකයයි. අසූව දශකය ඇරඹුණේම මුළු රටටම මහා අභාග්යයක් උදාකරලමිනි. එකදහස් නමසිය අසූවේ රජයේ සේවකයන් වැටුප් වැඩිවීමක් ඉල්ලා කළ වැඩ වර්ජනයේදී එවකට රජකළ පාලකයන් වැඩ වර්ජිතයින්ව සිත් පිත් නැතිසේ සේවයෙන් නෙරපා හැරියේ ලක් ඉතිහාසයේ නින්දිතම මානව හිමිකම් කඩ කිරීම වාර්තා කරමිනි. ඉන්පසුව අසූ තුනේදී ඇතිවූ කළු ජූලිය ඇතුළු උතුරේ හා දකුණේ ජනතා පිබිදීම් හා එලෙසින්ම ඇතිවූ නිල හා නිල නොවන ත්රස්තවාධයෙන්ද මුළු ලංකා වාසීන්ම දිවි ගෙවූයේ මරණයේ සෙවනැල්ලෙන් මුළු සියොලඟම වසා ගෙනය. අසූ හත , අසූ අට හා අසූ නමය මේ ව්යවසනයන්හී  උච්චතම අවධිය විය. මරණය ගැන සිතනවා හැරෙන්නට ජනතාවට වෙන කළ හැකි කිසිත් නොවුණි. සරසවි තිබුණේ වසාය. හරියට විදුලි බලයක් නොතිබිණි. ව්යාපාර අඩාල විය. උතුම් මිනිසුන් තම ජීවිත වලින් වන්දි ගෙවූහ. 

මේ සමයේ නිවසටම සිරවී වුන් මිනිසුන් පසුවූයේ හිස් අහස දෙස බලා හිස් බැල්මෙනි. ඒ අතර බොහෝ නිවැසියන්ට තිබූ එකම සහනය වූයේ රේඩියෝවට සවන් දීම හෝ රූපවාහිනිය නැරඹීම පමණි. රූපවාහිනියේ විකාශනය වූ සිංහල , දමිළ , ඉංග්රීසි හෝ වෙන ඕනෑම භාෂාවකින් වූ වැඩසටහනක් අප අත නොහැරියෙමු. 

මේ අතර 1987 වසරේදී ස්වාධීන රූපවාහිනියේ පටන් ගත් නාට්යමය වැඩ සටහනක් පිළිබඳව ජනතාව කතා බහ කරන්නට වූහ. එවකට ස්වාධීන සේවය මුළු ලංකාව පුරාම විකාශනය නොවූ හෙයින් අනුරාධපුරයේ විසූ මට මෙම නාට්ය මුලින්ම දැක ගත හැකිවූයේ කොළඹට පැමිණි එක්තරා දිනකදීය. 

එදා රාත්රියේ මා නැවතුණු නෑදෑ නිවසේ සැවොම ලහි ලහියේ කරමින් වුන් වැඩ කටයුතු නවතා රූපවාහිනී යන්ත්රය වටා රොද බැඳ ගත්තේ උපාසක උපාසිකාවන් පිරිසක් ප්රසිද්ධ හාමුදුරුනමක් වටා මධුර බණ දෙසුමක් ශ්රවණය කිරීමට වාඩි වෙන්නා සේ බැතියෙනි. උනන්දුවෙනි. 

එක්තරා වාදනයකින් අනතුරුව තිරයේ " කෝපි කඩේ" යන්න දිස් වෙද්දී මුළු නිවසම මීයකට පිම්බාක් මෙන් සන්සුන් විය. ඉන්පසු ඇරඹුණේ හාස්යය, උපහාසය සමඟ ඉගෙනීමටද යමක් ඇති කෝපි කඩේ නාට්යයයි. එහිවුන් කුරුං ගුරුං, සොමි නෝනා, අබිලිං , එන්සිනා හා ඩිංගි මහත්තයා ඇතුළු එහි රඟපෑ චරිත අප සමාජයේ එදිනෙදා අපට හමුවන චරිතම විය. තේවිස් ගුරුගේ හා ඇන්ඩෲ ජයමාන්න මෙහි නිර්මාතෘවරු වූ අතර එහි රඟපෑ සියළුම නළු නිළියන් තම වගකීම අකුරටම ඉටු කළහ. 

පුරා වසර 28 කටත් වැඩියෙන් කාලයක් විකාශනය වන කෝපි කඩේ මෑතකදී එහි 1500 කොටසත් පසු කළ අතර එදා ජනප්රියත්වය අදද පවත්වාගෙන යාමට සමත්වීම එහි ඇති විශේෂත්වයයි. එදා මෙන් නොව ටෙලි නාට්ය හතු පිපෙන්නා සේ බිහිවන මේ සමයේ ජනතා ආකර්ශනය හා ප්රසාදය එදා මුල්ම කොටසේදීම මෙන් රඳවා තබා ගනිමින් කෝපි කඩේ පෑවේ පෙළහරක්මය. 

එහි රඟ පෑ සමහර චරිත මේ වන විට අප හැර ගොස්ය. සමහරු ලෙඩින්ය. ඊයේ දිනයේ පුරා වසර 28 ම කෝපි කඩේ අබිලින් ලෙස රඟපෑ චන්ද්රසිරි කොඩිතුවක්කු රංගනවේදියාද අප හැර ගියේය. චාලි චප්ලින් එසේත් නැතිනම් හිට්ලර්ගේ රැවුල් කට් එක තියා ගෙන මුහුණින් හැසීරීමෙන් එතුමා කෝපි කඩේ අබිලින් ලෙස රඟපෑ අපුරුව මට දැන්ද දෑස් පියා ගත් විට සිනමාපටයක්සේ මනසේ දිස්වේ. එතුමා චන්ද්රසිරි කොඩිතුවක්කු නමින් නොව අබිලින් නමින්ම කා අතරත් ප්රසිද්ධ වූයේ එතුමාගේ ඒ අව්යාජ හා ජීවමාන රංගනය නිසාය. ගීත ගායනයටද දස්කම් දැක්වූ එතුමා පසුගියදා වකුගඩු සම්බන්ධ රෝගී තත්වයකට රෝහල් ගත කළ අතර ඊයේ අපගෙන් සදහටම සමු ගත්තේය. 

සහෘද මිනිසුන් වූ ඔවුන් සැවොම අපගෙන් සමුගෙන යන්නට පටන් ගෙන. ප්රවිණ ගීත රචකයකු වූ ශාන්ත දේශබන්දු මහතාද අප හැර ගියේ ඊයේය. අපද ඒ කැඳවීම එනතුරු තවම මේ සසර සැරිසරන්නෙමු. ඒ කවදා දැයි නොදන්නෙමු. එහෙයින් අබිලින් උන්නැහේ , දයාබර චන්ද්රසිරි කොඩිතුවක්කු මහතාණෙනි මේ නිමක් නොමැති සසර ගමනේ දිනෙක නැවත අප හමුවන තුරු ඔබට සුබ ගමන්!

චන්දන ගුණසේකර

මහා ජනප්‍රිය ගීත ගොන්නක් අපට දායාද කොට අප්‍රසිද්ධියේම අප හැර ගිය ගීත රචකයා....



ඒ පසුගිය වසරේ මැයි මාසයේ විසි දෙවැනිදාය. මම එදින ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහන නරඹමින් පසුවූයෙමි. එදා පැමිණ සිටි ආරාධිතයින් වූ ප්රවීණ හා නව පරපුරේ ගායක ගායිකාවන් සහ නළු නිළියන් අතර සිටි මැදි වියේ මහතෙකි. වැඩ සටහන මෙහෙය වන්නා ඔහුව ප්රවීණ ගීත රචකයෙකු වශයෙන් හඳුන්වා දුන් අතර එතුමාගේ නමද කියැවුණි. මම දස අතේ කල්පන් කර බැලුවද එවැනි නමක් ඇති කෙනෙකු ලියූ ගීතයක් මේ උපන්තේකට අසා නැතිබව සිහියට නැගුණි. 

මට තරු විසි වුයේ එතුමා කතා කරන්නට පටන් ගෙන එතුමා විසින් ලියූ ගීත ගැන පවසද්දීය. මම සේනානායක වේරලියද්ද නම් ගායකයා හඳුනා ගෙන තිබුණේ ඔහු ගයන " මල් වියනින් බැඳි මහ බැද්දේ වුන්" ගීතයෙනි. එපමණක් නොව වේරලියද්දම ගයන " සාගරය බඳු වේදනාවෝ" , " මල් පබා" හා " මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්රාර්ථනා" යන ගීත සතරම ලියා තිබුණේ මේ ගීත රචකයාය. වේරලියද්ද කියා කෙනෙකු ලංකාවේ මිනිසුන්ද හඳුනා ගත්තේ මේ ගීත වලිනි. එමෙන්ම ප්රසංග වේදිකාවේ නැතිවම බැරිවූ මෙම ගීත සේනානායක වේරලියද්දව රටම පිළිගත් ගායකයකු වශයෙන් ඉහළම තලයට ඔසවා තැබීමට සමත් වුණි. 

එපමණක් නොව දමිත් අසංක නම් ගායකයාව මුළු ලංකාවම හඳුනා ගත් " මගෙ හිත ගාව දඟ දාපු මනමාලියේ" ගීතය හා ප්රසංග වේදිකාව බැබළවූ " මට දුන් දුක් ගින්න ඇවිලෙයි ඉතිං" හා " පායන සඳේ සීතල රැයේ" යන ගීත ඇතුළු  ඉතාම ජනප්රියවූ ගීත දහයක්ම එතුමා විසින් දමිත් අසංකට ලියා දී තිබිණි. 

එමෙන්ම ප්රසංග වේදිකාව දෙවනත් කළ චරිතයක්වූ " පොඩි ළමයා" , දීපාල් සිල්වා ගයන අතිශයම ජනප්රිය ගීත වූ " මඳුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්ඩ" , "එල්ලුම් ගහ මුල් ඇදලා දලුත් ඇවිල්ලා " සහ " යුද්ධය මොකටද සහෝදරා" යන ගීත ලියා තිබුණේද මෙතුමාය. 

තවද ලංකාවේ අතිශය ජනප්රිය වූ සාජන් නල්ලතම්බී නාට්යයේ " දවාලෙ පායන චන්ද්රයා" ගීතය ලියා ඇත්තේද මෙතුමන්ම බැව් දන්නේ නම් කීයෙන් කීදෙනාද? නිහාල් සිල්වා සහ ඊට පසුව ගායකයන් කොතරම් පිරිසක් මෙම ගීතය ප්රසංග වේදිකාවේ ගයන්නට නම් ඇද්ද?

මේ ගායකයන්ව අප හඳුනා ගත්තේද මෙම ගීත වලිනි. එමෙන්ම ඔවුන්ව නොදන්නා කෙනෙකු දැන් නම් ලංකාවේ නැත. එහෙත් ඔවුනට එතැනට එන්නට මග සැලසූ ගීතවල රචකයා ගැන මා ඇතුළු බොහෝ පිරිසක් නොදත්තෝය. ඛේදවාචකය මෙයයි. මට ඇතිවූයේ මා ගැනම කලකිරීමකි. එමෙන්ම මෙවැනි ප්රතිභාපූර්ණ ගීත රචකයන් අමතක කරන මාධ්ය සහ එම ගීතවලින් ජීවිතය හදා ගෙන එම ගීත ලියූ රචකයාව අමතක කළ ගායකයන් ගැන පිළිකුලකි. 

අප හොඳින්ම දන්නා අපගේ මුවඟ රැව් දෙන ඒ ගීත සියල්ලම ලියූ එතුමාගේ නම  ශාන්ත දේශබංදුය. ඒ නම කිසිම වේදිකා ප්රසංගයක කියැවුනාදැයි මම නොදනිමි. එහෙත් මා නැරඹූ ප්රසංග වලදී නම් කියැවුනේ නැත. 

මම එදිනම එතුමා ගැන ලිපියක් ලිවිය යුතුයැයි තරයේ සිතා එතුමාගේ නමද මගේ සටහන් පොතේ ලියා ගතිමි. ඒ ගිය වසරේ මැයි මස විසි දෙවැනිදාය. එහෙත් අද, දෙදහස් දහසයේ ජනේරු පහළොස් වෙනිදා වනතුරුම එය මට ලියා ගත නොහැකි විය. අද මා මොනවා ලියූවත් එහි කිසිම අරුතක් හෝ අගයක් නොමැති බව මම දනිමි. ඒ අද දින එතුමන් , ඒ කිසිදු ප්රසිද්ධියක් නොලැබූ ගීත රචක ශාන්ත දේශබංදු සූරීන් සදහටම අපගෙන් සමුගෙන ගොස් ඇති නිසාවෙනි. එදා වැඩ සටහනින් පසු මාස හතක් වැනි කෙටි කලකදී එතුමා මේ යළි නොඑනා ගමන යාවියැයි මම සිහිනයෙන් හෝ නොසිතුවෙමි. එහෙත් ලොවෙහි ඇති එකම සත්යවූ දිනෙක අප සැවොම යායුතුම ගමන එතුමා අද තනිවම ගොස් ඇත්තේය. 

එදා , මා ඉහත කී ගායකයන් ගැන එතුමා කතා කළේ බොහෝ කලකිරීමකිනි. ඒ කලකිරීමෙන්ම තම පුතුට දිනෙක කී වදනක්ද එතුමා අප හමුවේ තැබීය. එනම් " පුතේ නුඹ නොවන් ගීත රචකයෙක්. වෙන්න ගායකයෙක්" යන්නයි. එතුමා මිය යාමට පෙර රෝගීව පසුවූ අවස්ථාවේ එතුමා ලියූ ගීත වලින් නමක් දිනා ගායකයන් වූ මොවුන් එතුමා බලන්නට ගොස් තම යුතුකම් ඉටු කළාදැයි මම නොදනිමි. එහෙත් මහා පුස් දේවල් පුන පුනා ප්රචාරය කරන මුහුණු පොතේ නම් ශාන්ත දේශබංදු සූරීන්ගේ වියෝව පිළිබඳව මා දුටුවේ එකම එක ලිපියක් පමණි.  මම මේ දුක්බර පුවත දැනගත්තේ ඒ ලිපියෙනි. එය පළ කර තිබුණේ ප්රවීණ ගීත රචක හා නිවේදක කැළුම් ශ්රීමාල් මහතා විසිනි. තම සහෝදර ගීත රචකයාගේ ගුණ හඳුනාගත් එතුමා නොවන්නට ශාන්ත දේශබංදු මහතාගේ අභාවයද අප්රකට වන්නට ඉඩ තිබිණි. 

ජීවත්ව සිටියදී කිසිදු ඇගැයීමක් නොකොට නොසලකා හැරිය එතුමා අප හැර ගිය අද දිනේ මේ කරන ඇගැයීමෙන් කිසිදු ඵලයක් නැති බව මම දනිමි.  ඒ දෝෂාරෝපණයෙන් මිදීමට අප කාටවත් දැන් පුළුවන් කමක් නැතත් දැන් කළ හැකි වෙන කිසිත් නැත්තේය. එහෙයින් එතුමා මිය ගිය දිනයේවත් කලාවට හා ගීතයට එතුමා කළ සේවය ඇගැයීමට හා මතු පරපුරේ දැන ගැනීමට මේ සටහන ඉතාමත්ම කණගාටුවෙන් හා පසුතැවීමෙන්ද යුක්තව ලියා තබමි. අවසාන වශයෙන් දේශබංදු මහතාණනි , ඔබට සුබ ගමන් පතමින් මම නිහඬ වෙමි. 

චන්දන ගුණසේකර

එතුමා සහභාගී වූ පසුගිය වසරේ විසි දෙවැනිදා විකාෂණයවූ චැට් ඇන්ඩ් මියුසික් වැඩ සටහන මෙතැනින් නරඹන්න. http://youtu.be/7Nub3w6lGUQ