Pages

Tuesday 29 April 2014

නිරුවත් දෙපයට තක්සලාව තහනම්ද.....?





නිරුවත් දෙපයට
තක්සලාව තහනම්ද.....?
හොඳින් ඇඳ ගත්තෝ
රඟද්දී නිරුවතින්..
අකුරක් ඉගැනුමට
කලිසමත් අඩුවක්ද..?

එබෙනු පුත
විවර දොර පලු තුළින්....
සිතට ගනු මැන
පිටුපස පෙළටත් පිටුපස
තවත් ඉඩ ඇති බව...

කොතැන සිට ලැබුවද 
ඇතිද වෙනසක් දැනුමෙහි....?
ලැබගත් පසුව,
ජාතකය කවුරු සොයත්ද.....??

සේයාරුව සුපුන් අත්තනායක සොයුරාගෙනි...

-චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය



Saturday 12 April 2014

අවුරුදු සිතිවිලි......


නාස් කුහර වල අයිතිය කැවුම් සුවඳ බදුඅරගෙන
සාස් පාන් හැම එකකම රස කැවිලිම රොදබැඳගෙන
'සූස්' හඬින් රතු මාමත් කෙසෙල් කැනට දුංපිඹගෙන
දාස් ගණන් ගියා කියපි අළුත් සරමකුත්මහගෙන
   
කොවුල් නදක් පැතිරෙද්දී කපුටන් හැම සිල් ගන්නේ
එරබඳු ගස් රතු පාටින් හිනැහී උඩඟුව ඉන්නේ
කජු පුහුලන් ඩැහැ ගන්නට මා වවුලන් පොර කන්නේ
බිත්ති පුරා හුණු අතුරන් හැම නිවසම හැඩ වන්නේ
   
ගස් වැල්වල මල් පිපිලා රජ උයනක සිරි ගත්තේ
බත බුලතින් සරු පාටයි සිනා ගලයි හැම පැත්තේ
ඔංචිල්ලාවක් පැද්දෙයි කරඹ ගහේ උඩ අත්තේ
පංච දාන ළඳුන් පිරෙයි ලොකු ආතාගෙ ගෙයි වත්තේ
   
බුලත් වැලේ කොළ කඩලා අතක් වෙන්න ගෙන හොඳටම
පරණ තරහ මරහා මකන් අද තුටුවෙයි හැම එකටම
අළුත් ඇඳුම් පුසුඹ හමයි කිරි බත් සුවඳත් සමඟම
සුබ නැකැතට වැඩ අල්ලා අවුරුදු කයි මහා ජයටම
   
සතුටින් සාමෙන් ඉන්නට හැකිනම් මේ ලෙස සැමදා
අවුරුදු වාගෙයි රටටම කිරි ඉතිරෙයි දුක නොරඳා
සිතට ගනිමු දුරලන්නට කළ අනුවණ කම් පෙරදා
සහෝදරත්වේ නාමෙන් එක්වෙමු දුසිරිත පරදා
   
   
ඔබ සියළු දෙනාටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!