Pages

Saturday 30 May 2015

පොසොන් සඳ නැග එද්දී නිල් අහස් තලයෙන් සමුගත් තාරකාවිය........



ඒ 1982 වසරයි. මාසය මට හරියටම මතක නැත. අනුරාධපුර මධ්ය මහා විද්යාලීය රංග ශාලාවේ වූයේ මහා තදබදයකි. පැමිණ සිටි මහා ජන ගඟේ ගසාගෙන ගිය මාද ශාලාවේ මුල්ලක සිරවුණි. 

මද වේලාවක් ගත විය. වසා තිබූ තිරය ඇරැණි. මහා කාලගෝට්ටියක්ව තිබූ ශාලාව ඉතා සැරපරැෂ විදුහල්පති තුමකු වේවැලක් ගෙන පංතියට ඇතුළුවනු දුටු සිසුන් කැලක් මෙන් නිහඬ විය. 

ඇසුණේ මගේ හදවත ගැහෙන හඬ පමණි. එය අන් අයටත් ඇසේදෝයි බියෙන් මා වටපිට බලනවිටම පළමු දර්ශනය වේදිකාවේ දිස් විය. 

මෙතෙක් කාලයක් චිත්රපට ඕනෑ පදම් නරඹා තිබුණත් මා කිසිදු වේදිකා නාට්යක් නරඹා නොතිබුණි. එදා මාගේ හිරිඔතප් බිඳු නාට්ය වූයේ සෝමලතා සුබසිංහ මහත්මියගේ " විකෘති " ය. 

එකල පාසල් සිසුන්වූ  අපගේ හදවත් විකෘති හා බද්ධ වූයේ කාන්දමකට ඇදී යන යකඩ කැබලි මෙනි. 

එදා දර්ශනය අතරවාරයේදී සිදුවූ ඇබැද්දියක් මට අද මෙන් මතකය. එහි එක් ජවනිකාවක සිසුන් පිරිසක් අත් අල්වාගෙන ඉතා වේගයෙන් රවුමට කරකැවෙන ජවනිකාවක් තිබිණි. ඔවුන්ගේ කැරකීම එන්න එන්නම වේගවත් වූ අතර හදිසියේම නරඹන්නන් විමතියට පත් කරමින් එක සිසු නළුවකු අත අතහැරී වේදිකාවෙන් පහළට වීසි වුණි. 

වහාම තිරය වසා අවශ්ය ක්රියාමාර්ග ගැනීමෙන් අනතුරැව දර්ශනය නැවත ඇරඹිණි. 

නාට්යයේ ඉතාම ජනප්රිය ගීතයක් වූ " විභාගෙ විභාගෙ කොහෙ බැලුවත් විභාගේ...... විභාගේ තමයි අපේ අභාගේ " අපගේ මුව නිරතුරැ රැඳිණි. නාට්යයේ ප්රධාන නිළිය වූ ළපටි චාන්දනී සෙනවිරත්න අපගේ හදවත් තුළ රැඳුණි. 

ඒ දවස් ටියුෂන් පංතිවල ආරම්භක අවධිය විය. සෝමලතා සුබසිංහ ඒ අධ්යාපනය සහ තරග විභාග වල බලපෑම සිසුන්ගේ පැත්තෙන් බලා තිබූ ආකාරය ඉතාම ප්රසංසනීයය. 

ඉන්පසු මම එතුමියව දුටුවේ රෑපවාහිනියේ මුහුදු පුත්තු නාට්යයේ දරැවකු නළවමින් ගීතයක් ගයන ජවනිකාවකිනි. 

1982 දීම තිරගත වූ තිස්ස අබේසේකරය්ගේ මහගෙදර චිත්රපටයේ එතුමියගේ රංගනය කෙසේ නම් අමතක කරන්නද?

සම්මානනීය නිළියක, අධ්යක්ෂිකාවක හා තිරනාටක රචිකාවක යන මෙකී නොකී අංශවල නිරතවෙමින් කලාවට මහා සේවයක් කළ එතුමිය වර්තමානයේ අපට සිටින උසස්ම චරිතාංග නිළියක වන කෞෂල්යා ප්රනාන්දුගේ මෑණියන්ද වෙමින් ඇගේ නම ගෙනියන්නට රත්තරන් දියණියකද හැදුවාය. 

2000 වසරේදී අශෝක හඳගමයන්ගේ මේ මගේ සඳයි සිනමා පටයේ මවකගේ චරිතයට පණ පෙව්වාය. තව රගපෑ චිත්ර පට රාශියකි. 

1993 දී ප්රංශ නාට්යක් වූ Le prix d'une femme හි කමලේශ් නම් චරිතයක් රඟමින් ජාත්යන්තර වේදිකාවටද තම රංඟප්රතිභාව විහිදුවාය. 

" නිල් අහාස් තලේ අගේ නෑ වලාකුලූ.....
ලාස්සනයි පුරා හඳේ රැස් විහිදිලා....."

මම පාළු අහස දෙස බලා සිටිමි. නිල් අහස් තලයක් පලාතකවත් නැත. කොහෙන්දෝ පාත්වූ වැහි වලාවකින් එය වැසී ගොසිනි. 

අද පොසොන් සඳ නගිමින් පවතින බව මම දනිමි. එහෙත් සඳ තබා තරැවක්වත් අහලක නැත. සඳ හා තරැ පවා වැලපෙන සෙයකි. 

අද උදෑසන ඇයත් අප අත හැර ගොසිනි. එහෙයින් සඳේ රැස් විහිදීමේ ඇති ඵළයක්වේදැයි මටත් සිතෙයි. 

මේ රාත්රියේ වෙනදාට වඩා සීතලක් මට දැනේ. ඒ මහා පාළු මූසල සීතලකි. 

මේ මොහොතේ සෝමලතා සුබසිංහ මැතිනිය කොහේ ඇතිද? අප ආවොත් යා යුතුමය. 

සමුගැන්මේ මොහොත ලං ළංව දැනේ. මැතිනියනී යළි අප ඔබ නොදකින බව ඇත්තකි එහෙත් ඔබ ඉතිරි කර ගිය අනඟි කලා නිර්මාණ අපෙනුත් පසුවත් කලා කෙතේ දිළෙමින් පවතිනු ඇත. 

ඔබට සුබ රාත්රියක්! 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Friday 22 May 2015

සමාවෙයං දුවේ..........



නිය පිටින් පහරක් නොගහ අප මලක්සේ දැඩිකල දුවේ
බියක් නොමවී පුංචි කාලේ මගේ තුරැලේ උන් දුවේ
හය හතර දන්නා වියේ සිට 'අප්ප' පසු පස ආ දුවේ
මිය ගියේ උඹ නොවේ මම අද දිවිය පුපුරා යයි දුවේ

උඹට දසවද දෙද්දි තනිකර කොහොමදෝ ඉවසුවෙ දුවේ
අප්පා කියලා කෙඳිරි ගෑවද අනේ ඇහුණේ නෑ දුවේ
මලක් පොඩිකර උන් කෙරෑ දෙය දෙවියොවත් නොදුටිද දුවේ
අම්ම එක්කල සිද්දවුණු දෙය කියන්නේ කෙලෙසද දුවේ

ඕන දෙයකට මගේ ළඟටයි දුවං ආවේ උඹ දුවේ
පේන නොපෙනෙන මානයේ මට ඉන්න බැරිවුනෙ ඇයි දුවේ
හීනයකි මෙය කෙලෙස මේ ගැන හිතන්නද මං සුදු දුවේ
බේරගනු බැරි වුණා අප්පට සමාවක් දෙනවද දුවේ

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

Sunday 17 May 2015

බොරදිය පොකුණ නැරඹුවෙමි........



හය හතර තේරෙන වයසේ සිටම චිත්රපට බැලීමේ පිස්සකුවූ මා ඒ කාලයේ නිකුත්වූ සිංහල චිත්රපටයක් නොබැලුවානම් ඒ ඉතාමත්ම කලාතුරකිනි. පස්වැනි මංඩලයේ සම්භාව්ය සිනමා පටයක් නම් අතහැරියේම නැත. 

චිත්රපට බැලුවා පමණක් නොව සෑම සති අන්තයකම ඒවා පිළිබඳව ගුවන්විදුලියේ ප්රචාරය වූ ප්රචාරක වැඩ සටහන් වලටද නැවත නැවත සවන් දීමටද ඇබ්බැහි වී සිටියෙමි. මේ හේතුව නිසා චිත්රපටවල බොහෝ දෙබස් කාණ්ඩ හා සිනමාහල් වල නම්ද මට ගිරවකුසේ කිව හැකි විය. 

ලංකාවෙන් පිටවූ පසු මේ පුරැද්ද කරගන යාමට නොහැකිවු නමුදු ලංකාවට නිවාඩුවට ගියවිටදී ඒ දිනවල ප්රදර්ශනයවූ චිත්රපට නැරඹුවත් බොහෝ හොඳ චිත්රපට මට ගිලිහී ගොස් තිබිණි. 

මේ කාලයේ නම් අන්තර් ජාලයේ හෝ සංගත තැටි මාර්ගයෙන් පැරණි චිත්රපට නැරඹිය හැකිවුවත් සිනමා ශාලාවකට ගොස් අඳුරේ ඉඳගෙන කඩල ඇටයක රස බලමින් විසල් තිරයක එය නරඹනවා වැනි ගතියක් ඉන් නොලැබුණි. 

මෑතකදී සිට එක් එක් සංවිධානයන්ට පිං සිදුවන්නට ලංඩනයේදී සිංහල සිනමා පට නැරඹීමේ අවස්ථාව සිනමා සාංකාවෙන් පෙළෙන මා වැනිම වූ ලංඩන් වාසී සහෘදයනට උදා වුණි. 

මේ ආකාරයෙන් අගෝරා කලා කවය විසින් සංවිධානය කොට ලංඩනයේ තිරගත කළ සත්යජිත් මාඉටිපේගේ බොරදිය පොකුණ නැරඹීමේ වාසනාව අද හැන්දෑ යාමයේ මට උදාවිය. 

මාඉටිපේ නාමය දකිනවිට මගේ සිතට නිතැතින්ම එන එක චරිතයක් ඇත. ඒ නම් අනුරාධපුරයේදී අපට ඉංග්රීසි ඉගැන්වූ මාඉටිපේ සර්ය. එතුමාවත් මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමි. 

බොරදිය පොකුණ. කුමක්ද මේ බොරදිය පොකුණ. ඇයි එය ලංකාවේ ප්රදර්ශනය තහනම් කළේ. ප්රශ්න වැළකි. මා මේ සැම හිතේ තබාගෙන ශාලාවට ඇතුළු වුණෙමි. 

බියගම නිදහස් වෙළඳ කලාපයේ ජීවිතය මසන යුවතියන් තිදෙනෙකු හා ගුවන් හමුදා සෙබළකු වටා ගෙතුණු කථාවේ එම යුවතියන් ගෙවන සැබෑ කටුක දිවිය මොනවට ප්රදර්ශනය වූණි. කලාපයේ පාලකයන්ගෙන් වන හිරිහැර මෙන්ම පළාතේ සල්ලාල තරැනයන්ගෙන් සිදුවන අඩම්තේට්ටම්වලටද මුහුණ දෙමින් ඔවුන් ගත කරන අපා දිවිය ප්රේක්ෂක හදවත් කම්පා කිරීමට සමත් විය. 



මේ තරැණියන් ඇඳුම් මසමින් සිටින අතරතුර එකියක විසින් කටක් කා අතින් අත යවන අම්බරැල්ලා ගැටයක් තලු මරමින් අනුභව කරන තරැණියන්ගෙන් ඔවුන් ඉන්නා තත්වය ගැන ඉඟියක් ඉතා සාර්ථකව ප්රේක්ෂකයාට ලබාදීමට අධ්යක්ෂකවරයා සමත්වී තිබිණි. 

එමෙන්ම බාහිර පෙනුමින් තරැනයන්ගේ ආකර්ෂණයට හසු නොවූ ගෝතමීගේ ( කෞෂල්යා ප්රනාන්දු) මානසික තත්වය මනාවටම පිළිඹිබු කෙරිණි. 

සුන්දර පෙනුමින් යුතු යුවතියක වූ මංගලා ( ඩිලානි අබේවර්ධන) හා විපුල අතර ආදර සම්බන්ධය නවතින තැනටම වැඩ සිද්ධ කළ ගෝතමී විපුලට ආදරය කළාය. ඒත් අවංක තරැණයකු වූ විපුල ආදරය කළේ මංගලාට පමණි. 



වරක් මේ තරැණියන් පිරිස විපුල ඇතුළු තරැනයන් සමඟ විනෝද චාරිකාවක් ගිය අතර එහිදී මංගලා හා විපූල අතර ඇතිවන ප්රාථමික ලිංගික ඇසුරක් ගෝතමීගේ ඇසට අසුවිය.

මෙහිදී තව දුරටත් එහි යෙදීම ප්රතික්ෂේප කළ මංගලා ඉවතට ගියපසු ස්වයං වින්දනයෙන් තම හැගීම පිටකරගන්නා විපුලගේ ඉරියව් බලා ගෝතමීද සැගවී සිට ස්වයං වින්දනයෙන් සුරතාන්තයට පත්වූවාය.  මේ අවස්ථාවේදී ඔවුන්ගේ මානසික තත්වය පිළිබඳ මනා පණිවුඩයක් අධ්යක්ෂකවරයා පේක්ෂකයාට ලබාදෙන අතර පසුතල රෑප සහ සංගීතයද එයට දුන්නේ අනගි සහයකි. මෙවැනිදේ සිදුවිය නොහැකිද? 


මෙතැන් සිට විපුලගේ ආදරය ලබාගැනීමට වෙහෙසෙන ගෝතමී සහ විපුලගෙන් වෙන්වීමට උත්සහ දරන මංගලාගෙත් මානසික අරගලය නිරෑපනය කෙරැනි. 

විපුල හා මංගලා බිඳවීමට කටයුතු කරන ගෝතමී මංගලා ගමේ ගියපසු විපුලට ළංවී ඔහු සමඟ යහන්ගතවීමට ඔහුව පොළඹවාගන්නීය.  මේ සම්බන්ධයෙන් ගෝතමීගේ කුසට දරැවකු පිළිසිඳ ගැනෙන අතර නැවත මංගලා හා විපුල සම්බන්ධ විය. ඉන්පසු ගෝතමී විපුල පසුපස ගියද විපුල විසින් ඇයව ප්රතික්ෂේප කරනු ලැබුණු අතර විපුලගේ මිතුන්ගේ ඇනුම් බැනුම් හා ගැරවුම් හමුවේ ගෝතමීට තම දරැවා සහ තම දිවිය රැකගෙන පලා යාමට සිදු වුණි. 

මෙහිදී ඇය වැටෙන මානසික තත්වය සහ විපුලගේ මානසික තත්වයත් ඉන්පසු හම්බන්තොට ප්රදේශයේ තමන්ගේ සොයුරියක ළඟ නවතින ගෝතමි හේන් වැඩ වල නිරත වෙමින් සිට දරැවා බිහිකරන අන්දමත් ඉන්පසු ඔවුන්ගේ ජීවිත ගෙවියන අන්දමත් තිරයේ දිග හැරැනි. 

අවුරැදු ගණනකට පසු වුවත් බොරදිය පිරි පොකුණු මෙන් අපහැදිලිවූ ඔවුන්ගේ ජීවිතවල ඉරණම කුමක්ද? ඒ බොහෝ දිවිමංවල ඇත්තේ මතුපිට සතුටින් වැසුණු අඳුරැ පැත්තක්ද? මේ ඛේදවාචකයේ අවසානය කුමක්ද? 
මෙය දස දහසක් ගෝතමීලා, මංගලාලා හා විපුලලාගේ කතාව නොවේද?



මේ සඳහා පිළිතුරැ මා විස්තර කරනවාට වඩා සිනමා පටය නරඹාම ඔබට දැනගත හැකිය. මා සියල්ලම කියන්නට ගියහොත් ඔබට මෙහි නරඹන්නට දෙයක් ඉතිරි නොවනූ ඇත. ඒ නිසා චිත්රපට විස්තරය මෙතැනින් නවතා මෙම සිනමා පටය ලංකාවේ ප්රදර්ශනය කරන්නට යෑමේදී මතුවූ ගැටලු කිහිපයක් ගෙනහැර දක්වන්නට සිතුවෙමි. 

මේ චිත්රපටය වාරණය කළේ ඇයි? 

මෙහි තිබෙන ලිංගික දර්ශන සහ සමහර තැන්වලදී භාවිතා කරන භාෂාව බාලවයස්කාර පොඩි දරැවන්ටනම් යෝග්ය නැත. එමෙන්ම අප හැදී වැඩී ඇති සංස්කෘතිය අනුව මුලු පවුලටම එකට සිට නැරඹියද නොහැක. එය මා පිළිගනිමි. මේ චිත්රපටය වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ආවේ ඒ හෙයිනි. එවිට පොඩි ළමුන්ට මෙය නැරඹීමට ඉඩක් නැත. ප්රශ්නය ඉවරය. 

එහෙත් අසභ්යයි කියා මෙය තහනම් කොට චිත්රපටය නිර්මාණය කළ අධ්යක්ෂකවරයාව අධෛර්ය කොට විනාශ කිරීමේ තැතක්වත් තිබුණාද කියා සාධාරණ සැකයක් මට ඇතිවේ. 

මේ ආකාරයට කලාකරැවන් කී දෙනෙකු නම් ජීවත්ව සිටියදීම ඝාතනය කළෝද? 

සුනිල් ශාන්තයන්ගේ සිට බොහෝ ගායකයින්, නිවේදකයින් , රචකයන්, නළු නිළියන් හා චිත්රපට අධ්යක්ෂකවරැ කීදෙනෙකුට නම් ශ්රේත්රය හා ලංකාවම එපාවන තැනට වැඩ සිද්ධකරේ නැතිද?

මෙය අසභ්යයි කීවේ කුමන සභ්යත්වයේ රාමුවක සිටද? ප්රශ්න වැලකි. 

ඒ කෙසේ වෙතත් සම්භාවනීය සිනමා පටයක් නම් නැරඹීමි. හැම රංගනයකදීම මෙන්ම කෞෂල්යා ප්රානාන්දුගේ රංගනය අති විශිෂ්ටය. අනෙක් නළු නිලියන්ද විශාල සාධාරණයක් ඉෂ්ට කර ඇත. බොහෝ කලකට පසු ධර්මසිරි බංඩාරනායකයන් දැකීමද සතුටකි. එතුමා ගෝතමීගේ සැමියා ලෙස අපූරැ රංගනරක යෙදුණි. එතුමා දකිද්දී මගේ සිහියට ආවේ එතුමාගේ හංස විලක් චිත්ර පටයයි. 

බොරදිය පොකුණ නරඹා හොඳ සිනමා පටයක් නැරඹුවා කියා තෘප්තිමත්ව ඉන්නා මේ මොහොතේ එයට අවස්ථාව සපයා දුන් අගෝරා කලාකවය පිළිබඳවත් වචනයක් සඳහන් නොකොළොත් එය මහා ගුණමකු කමක යැයි මට හැගේ. 

කලාවට හිතැති සහෘදයන් පිරිසකගෙන් සැඳුම්ලත් මේ කවයෙන් කලාවේ හා සාහිත්යයේ උන්නතිය සඳහා කෙරෙන සේවා රාශියකි. 

වරක් ඔවුන් ගීත විචාරාත්මක වැඩසටහනක් සංවිධානය කළහ. බොරදිය පොකුණ වැනි සම්භව්ය චිත්රපට ගෙන්වා ප්රදර්ශනය කළෝය. පාඨකයාගේ කියවීමේ රැචිය දියුණු කරනුවස් මෙතුවක් කලකට ලන්ඩනයේ සිදුනොවූ සාහිත්යමය කර්තව්යක්ද මේ වනවිට දියත් කොට ඇත. එනම් සිංහල නව කතා සහ පරිවර්තන කෘති ලංකාවෙන් ගෙන්වා ලංඩනයේ අලවි කිරීමයි. එමෙන්ම මුලු දවසක් පුරාවට පැවැත්වෙන කලා සහ සාහිත්ය දිනයක්ද මෙම වසරේ ජූලි 11 වෙනිදා පැවැත්වීමට කටයුතු යොදාගෙන ඇත. 

තව ඉදිරියට බොහෝදේ කලාවේ උන්නතියට ඔවුන් අතින් සිදුවන බැව් මට විශ්වාසය. එහෙයින් ඔවුනගේ මේ ව්යායාමයනට සහය වීම කලාවට ලැදි සහෘද සැමගේම යුතුකමකි. 

අවසාන වශයෙන් මෙම ලිපියේ මාතෘකාව වූ බොරදිය පොකුණ නැරඹීමට අපට අවස්ථාව උදාකළ අගෝරා කලාකවයට මගේ ප්රණාමය පුද කරන අතර මෙම සිනමා පටයේ අධ්යක්ෂක සත්යජිත් මාඉටිපේ මහතාට තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට අවශ්ය ශක්තිය හා ධෛර්ය නිරතුරැවම ලැබේවා යයිද කලාවේ නාමයෙන් ප්රාර්ථනා කරමි.. 

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

Monday 11 May 2015

කට හඬ 35 කින් ගී ගයන ගායකයා......




කට ඇති පුතෙකු හා රැව ඇති දුවකු ලැබීම සෑම දෙමාපියෙකුගේම පැතුමයි. 

ලංකා ඉතිහාසය ගත් කළ බොහෝ කට ඇති පුතුන් අපට සිටියහ. සමහරැන් දේශපාලනය පැත්තෙන් තම වැඩ පෙන්වූහ. තවත් සමහරෙකු ආගමික අංශයෙන් තම සේවය රටට කළහ. තව පිරිසක් තම කටින් වැඩ ගනිමින් නිවේදකයෝ සහ ගායකයෝ වූහ. මේ අතර තවත් ඇත්තෝ තම කට නිසාම දිවිය පවා අහිමි කර ගත්හ. ඒ කට අවියකට වඩා ප්රබල වූ විටය. එමෙන්ම කටින් බතල හිටවන්නෝ සහ කටින් ණයට කහින්නෝද මේ විෂම වූ සමාජයේ අපට හමු වූහ. 

මාළුවා නහින්නේද කට නිසාය. එහෙයින් කට පාවිච්චි කළ යුත්තේ හොඳින් සිතා බලා පරිස්සමටය. 

නමුත් මා අද කතා කරන්නට යන්නේ 
මේ කිසිවකුත් ගැන නොව ගායනය සඳහා තම කට හඬ නැනවත්ව හා දක්ෂ ලෙස යොදා ගත් ලංකා පුත්රයකු ගැනය. 

තම කට හඬින් වැඩ ගත් ගායකයන් මෙන්ම ඔවුන්ගේ කට හඬ යොදාගන තමන්ගේ වැඩ පෙන්වූ සංගීතවේදීන්ද අපේ රටේ මෙන්ම ලෝකයේත් බොහෝ උන්හ. 

යමෙකුගේ කට හඬ, තමන්ගේ ඇඟිළි සලකුණ මෙන්ම ඒ ඒ පුදගලයාටම අනන්යවූ සාධකයක් බව ජීව විද්යාත්මක සත්යකි. 

පියාගේ කට හඬ යම් ආකාරයට ජානමය සම්බන්ධයෙන් උරැම කරගත් පුතුන් පියාට බොහෝදුරට සමානව ගී ගැයූහ. එය එතරම් අරැමයක් නොවිණි. 

එහෙත් එක් ගායකයෙකුට තවත් ගායකයන් 35 දෙනෙකුගේ පමණ කට  හඬින් ගී ගැයීමට හැකිනම් එය ආශ්චර්යක්මය.  එමෙන්ම "ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත " යන්නද බොරැ කරමින් ඔහුට වාදනයද හොඳින්ම කළ හැකිනම් ඔහු සැබෑම දක්ෂයෙකු , වාසනාවන්තයෙකු විය යුතුය. 

මේ සියළුම හැකියාවන්ගෙන් නිපුන් කට ඇති ලංකා පුත්රයා හමුවී ඔහුගේ සංගීතයට දැහැන්ගත වීමට වාසනාව මට ඊයේ උදා විය. 

නිලන්ත සිරි පතිරණ ඔහුගේ නමයි. දකුණු ලකේ ගාලු පුරවරයේ උපත ලැබූ ඔහු නියම වැඩ කාරයෙකි. 

වේදිකාවේ උන්නේ ඔහු පමණි. විදුලි ඕගනය මනාවට හසුරවමින් කළින් දත්ත කැවූ සියලුම සංගීතෝපාංගයන්ගේ නාදයන් මුසු කරමින් ඔහු ගී ගැයීය. ගායකයින් තිස් පස් දෙනා හා මුළු වාදක මඩුල්ලම ඔහුම විය. 

වරෙක පංඩිත් අමරදේවයන්ගේ හඬින් ගැයූ ඔහු ඊළඟ නිමේශයේ සමන් ද සිල්වා විය. සුනිල් එදිරිසිංහයන්ගේ හඬින්ම ගැයු හෙතෙම ඉන්පසු කපුගේ ශූරීන්ගේ හඬට පණ පෙවීය. 

ක්ලැරන්ස්, ප්රියා, විජය කුමාරතුංගයන් හා මොහිදින් බෙග් වීමට ඔහුට ගතවූයේ තප්පරයකි. 

අප දෑස් දල්වා මේ අරැමය , හැකියාව බලා උන්නෙමු. 

එච් ඩී ප්රේමරත්නයන්ගේ සහරාවේ සිහිනය චිත්රපටයේ එන ප්රේමකීර්ති ද අල්විස් ශූරීන් ලියූ වළාකුලක් ගෙන මුවාකරමු හිරැ ගීතය විජයගේ හඬින් වේග රිද්මයෙන් ගයා ඊළඟ නිමේශයේ සුනිලුන්ගේ හඬින් ලයාන්විතව ගැයුවේ නරඹන්නන් අමන්දානන්දයට පත් කරවමිනි. 

ඉන්පසු ශබ්ද පරිපාලණය කළ ධම්මික සොයුරා ඕගනය වයද්දී නිමල් මෙන්ඩිස් ශූරීන් නිර්මාණය කළ ගඟ අද්දර මා ගීතය විජයගේ හඬින් අරඹා ඉන්පසු අමරදේවයන්, ප්රියා සූරියසේන, අතුල අධිකාරි, දයාන් විතාරන හා සමන්ද සිල්වාගෙන් අවසන් කළේ නරඹන්නන්ගේ ප්රීති ඝෝෂා මධ්යයේය. 

ධර්මදාස වල්පොල,කපුගේ, ටී එම් ජයරත්න , සෝමතිලක ජයමහ, සනත් නන්දසිරි , බෙග් මාස්ටර් හා අමරසිරි පීරිස් යන ගායකයන්ගේ ගී ගැයූ අපූරැව වර්ණනා කිරීමට මට වචන නැත. ඔබ එයට සවන්දිය යුතුමය. 

ලංකාවේ සිට කෙටි නිවාඩුවකට ලංඩනයට පැමිණි මේ නිහතමාණී වැඩකරැවා කටින් බතල හිටවන්නෙකු නොව නියම කට ඇති පුතකු බැව් ඔප්පු කොට හමාරය. 

ඉතාම කලාතුරකින් කෙනෙකුට පිහිටන මේ හැකියාවන්ගෙන් පිරිපුන් ජාතික වස්තුවක්වන් නිලන්ත සිරි පතිරණයන් ආරක්ෂාකර ගැනීම අප සැමගේම යුතුකමකි . මේ සටහන එතුමාට උපහාරයක්ම වේවා. 

මේ ගීතයන්ට සවන්දී බලන්න. 







චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

Wednesday 6 May 2015

කෝපි කඩේ සොමි නෝනා......


අපගේ ලංකා ඉතිහාසයේ චිත්රාවෝ බෙහෝ දෙනෙකු වූහ. ඉන් මුලින්ම මගේ මතකයට එන්නේ එදා රජ දවස එක්ටම් ගෙයක සිර කොට උන් උන්මාද චිත්රාවය. 

ඉන්පසු අපගේ කාලයේ සිංහල සංගීතයට විසල් මෙහෙයක් කළ පී එල් ඒ සෝමපාලයන්ගේ ආදරණී බිරින්ඳෑද චිත්රාවක වූවාය. ඇය නම් ප්රවීණ ගායිකා චිත්රා සෝමපාලය. 

එහෙත් අද මා කතාකරන්නට යන්නේ මේ මා ඉහත සඳහන් කල එකදු චිත්රාවක හෝ ගැන නම් නොවේ. නමුදු තවත් එක්තරා චිත්රාවක ගැනය. 

මට ඔබගේ වටිනා කාලයෙන් විනාඩි කිහිපයක් දෙන්න. ඔබගේ මතකය අවුරැදු ගණනකින් පසුපසට එනම් අසූව දශකයේ අගභාගයට රැගෙන යාමට අවසර . . . . 

ඒ 1987 වසරයි. ලංකා ඉතිහාසයේ තවත් එක්තරා අඳුරැතම කාලපරිච්ඡේදයයි. ජීවිතය තුට්ටුවට දමා මරණය වැජඹුණු යුගයයි. 

මිනිසුන් හෙටක් ගැන නොසිතූ සමයක රජකළේ කැලෑ නීතියයි. රටේ ප්රගතිය නැවතී විශ්ව විද්යාල වැසී ආත්මය එක තැන පල්වූ මොහොතක මිනිසුන් නිවෙස් තුළ සිරවී සිහිනයෙන්වත් සැනසීමක් නොලබා සිටියදී ඒ මූසල නිද්රාවෙන් අවදිකරන්නට පැමිණි මාධ්යකි. 

රෑපවාහිනිය නම්වූ ඇය වටා මිනිසුන් රොද බැඳ ගත්තේ මීයක් වටා එතෙන මියැසි කැලක් පරිද්දෙනි. 

මෙහිදී ලංකාවේ පහළවූ පළමු රෑපවාහිනී නාලිකාව වූ ස්වාධීන රෑපවාහිනිය මිනිසුන් අතර ප්රචලිත වූවේ සහ ඔවූන්ගේ හදවත් පැහැරගත්තේ මහා වේගයෙනි. 

එහි විකාෂණයවූ වැඩසටහන් අතුරින් 1987 බක් මහේ පළමුවෙනිදා ජනතාව අතරට ආ ' කෝපි කඩේ ' නම්වූ අපූරැ ටෙලි වෘතාන්තයක් කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. 

අද මෙන් ටෙලි නාට්ය හෝ මෙගා නාට්ය පොකුරැ පිටින් නොතිබූ එදා කෝපි කඩේ මිනිසුන්ට දැනුණේ අවාරයේ හටගත් පැණි බේරෙන වරක ගෙඩියක් මෙනි. 

මොන කාරිය තිබූණත් මිනිසුන් ඒ වෙලාවට රෑපවාහිනිය ළඟින් සෙලවුණේවත් නැත. ඔවුන් කතා කළේ කෝපි කඩේ ගැනය. එහි චරිත ගැනය. 

ඒ මිනිසුන්ගේ හදවත් පැහැරගත් චරිත අතර ' සොමි නෝනා' චරිතය 
ඔබට අමතක වන්නට හේතුවක් නැත. 

මේ සොමි නෝනා වෙන කවුරැවත් නොව මා කලින් කියු අනෙක් චිත්රාවය. චිත්රා. . . .. චිත්රා වාකිෂ්ට ඒ ඇයගේ නමයි. 

පුංචි තිරයේ කෝපි කඩේ සොමි නෝනා වූ ඇය සිංහල රිදී තිරය ආලෝකමත් කළේ ඇයගේ පළමු චිත්ර පටය වූ ' පොඩි පුතා' චිත්ර පටයේ රඟපාමිනි. ඒ 1955 වසරේදීය. 

එදා මෙදා තුර චිත්රපට 47 කට තම රංගන දායකත්වය සැපයූ චිත්රාවෝ රඟ පෑ අවසන් චිත්රපටය වූයේ නව තුෂාර චිත්රපටයයි . ඇය එහි මුල් තුෂාරා චිත්රපටයේද වසර 50 කට පෙර රඟපෑම දෛවෝපගත සිදුවීමක් විය. 

එදා මෙදාතුර අතිශය ජනතා ආකර්ෂණයට හා ආදරයට බඳුන්වූ තුෂාරා , ගොළු හදවත, යුගාන්තය , පරසතු මල්, ගැහැණු ළමයි, විශ්මය හා පාලම යට ඇය රඟපෑ චිත්රපට අතුරින් කිහිපයක් පමණි. 

ඇය ජීවය කැවූ යුගාන්තයේ පියල්ගේ මව - වැලිගම හාමිනේ හා ගැහැණු ළමයිහී කමලාවතී වැනි චරිත කෙසේ නම් අමතක කරමුද?

එදා මෙදා තුර රසික සහෘද සිත් සතන් සතපවාලූ ඇයට නම් දෛවය එතරම් කාරැනික වී නොතිබිණි. ඇයගේ පෙම්බර සැමියාවූ ලොයිඩ් වාකිෂ්ට මීට අවුරැදු 30 කට පමණ පෙර ඇය හැරදමා ගියේ පුතුන් තිදෙනකු හා දියණියක සමඟ ඇය මෙලොව තබාය. 

දැනට 46 වැනි වියේ පසුවන ඇයගේ එකම දියණිය සදාකාලික රෝගියෙකි. ඇයට උපතින්ම සුසුම්නාව පිහිටා නැත. කිසිදිනෙක ඇවිදීම සිහිනයක් වූ ඇය රාජගිරියේ වික්ටෝරියා නිවාසේ හිස් අහස දෙස බලාගෙන කිසිදු හෝ බලා පොරොත්තුවක් නොමැතිව පසුවන්නීය. 

ඇයගේ ලොකු පුතා විවාහ වී හෝකන්දර පදිංචිව සිටී. එහෙත් ඔහුද දැන් හෘද රෝගියෙකි. වැඩක් පලක් කිරීමට නොහැකිය. 

දෙවැනි පුතා වාසය කරන්නේ චිත්රා මහත්මිය සමඟය. අවාසනාව ඔහු සොයාද පැමිණ සිටියේ ඉතාමත්ම කුරිරැ අන්දමිනි. ඔහු මහා රෝහලේ උපසථායකයෙකු ලෙස සේවය කළත් දැන් සේවය කළ නොහැකි රෝගියෙකි. ඔහුගේ උකුල් ඇටය දියවීමේ රෝගයකට බඳුන් වී ඇත. 

සැමියාට හා දරැවන්ට කුරිරැ වූ දෛවය ඇයවද අමතක කොට නොතිබුණි. ඒ පියයුරැ පිළිකාවක මාර්ගයෙන් ඇය වෙත පැමිණ ඇයගේ පියයුරැ දෙකම ඇයට අහිමි කරමිනි. 

ස්වාධීන රෑපවාහිනියේ සේවය කරණ ප්රාන් වාකිෂ්ට ඇයගේ තුන්වැනි පුත්රයාය. ඔහු ඉද හිට පැමිණ ඇය ගැන සොයා බලා මුදලක් හදලක් දී යන බව පවසා සිටියේ නෙතු පිරි කඳුලැලි සඟවාගෙනය. 

හැත්තෑනම වැනි වියේ පසුවන මේ ප්රවීණ රංගන ශිල්පිනිය කලාකාරිනිය දැන් බොහෝ අසරණය. 

ඇයගේ සැමියා පුද්ගලික ආයතනවල සේවය කළ නිසා කිසිදු දීමනාවක් ඇයට නොලැබේ. දියණියට මසකට රැපියල් 500 ක් ගෙවිය යුතු අතර මුදල් හිඟ කම නිසා දැන් එයද නවතා ඇති බැව් පැවසුවාය. 

මසකට රැපියල් 5000 බැගින් අවුරැදු පහක් ගෙවන්නට දැන් ඇය වාසය කරන සිංහපුර ජනසෙවණ නිවාස යෝජනා ක්රමයේ නිවසක් ලබා දුන් විමල් වීරවංශ මැතිතුමාව ඇය ඉතාමත් කෘතඥතාපූර්වකව සිහිපත් කළාය. 

ඇයට ඇගට පණ නැත. ගමනක් පයින් යා නොහැක. නිවසේ සිටින විට බොහෝවිට නිදාගෙනම සිටින බව පැවසුවාය. 

ඇය සමඟ රිදී තිරයේ රංගනයේ යෙඳුණු මාලනී ෆොන්සේකා මහත්මියගෙන් ජනාධිපති තුමාටවත් කියා ත්රී වීලර් රථයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිබවත් එය අද දක්වාම ඉටු නොවුණු බව පැවසුවේ ඉතාමත්ම කලකිරීමෙනි. 

එදා මාලනිය ඇය සමඟ අත්වැල් පටලා ඉන්නට ඇත. 

ඇයට සිනෙස්ටා පදනමින් මසකට ලැබෙන රැපියල් 5000 සහ ටවර් හෝල් පදනමින් ලැබෙන රැපියල් 2000 ඇරැනු කොට කිසිදූ ආදායමක් නැත. ඊට අමතරව ප්රාන් , ඇයගේ පොඩි පුතාගෙන් යම් උදව්වක් ලැබුණත් ඇයගේ බෙහෙත් , ගමනා ගමනය, ලෙඩ දරැවන්ගේ වියදම්, ගෙදර කුලිය , වතුර, ගෑස් හා විදුලි බිල්පත් හා කෑමට බීමට යන වියදම් වලට ඒවා කිසිසේත්ම සෑහෙන්නේ නැති බව පවසා සිටියේ ඇඬූ කඳුළිනි. 

මෙය කියවන ඔබ සමහරවිට මෙසේ සිතනු ඇත. " ඇයි පුළුවන් කාලෙ හම්බකරපු සල්ලි වලට මොකද වුණේ? පුතාට බැරිද සලකන්න. නෑදෑ හිතමිතුරන් නැතිද?" 

මා ඔබට දොස් නොකියමි. මටද එසේ සිතිණි. ඒත් යම් අවාසනාවකට ඒ කිසිත් අප සිතන අයුරින් ධනාත්මකව සිදුවී නැත. ඒවාට පිළිතුරැද නැත. දැන් අපට කළ හැක්කේ සිදුවී ඇති දෙයට මුහුණදීම පමණි.

ඇයගේ රංගනයෙන් එදා අප මොහොතකට හෝ සතුටු වූයෙමු. අද ඇය අසරණව සරණක් පතන සඳ කළගුණ දන්නා මිනිසුන් වශයෙන් අපට අහක බැලිය හැකිද?

අප සැමටම විවිධ වූ කරදර හා අපහසුකම් ඇති බව මම දනිමි. සැවොම නිරතුරැවම දිවි සටනේ යෙදෙන බවත් මම දනිමි. එහෙත් අසරණ කෙනෙකුට අත දිය යුත්තේද අපමය. 

අප කිසිවෙකුත් ඊළඟ තප්පරයේදී අපට කුමක් සිදුවේදැයි නොදත්තෙමු. අප ස්තීරයටම දන්නා එකම දෙයනම් දිනෙක අනිවාර්යයෙන්ම මරැවා අප සොයාත් එන බවම පමණි. අපට ඒ මැරෙන මොහොතේ සතුටු විය හැකි දෙයක් වේද එයනම් අප අනුන් වෙනුවෙන් කළ හොඳ දෙයක්ම පමණි. 

අප මෙලෙසම නැසීගිය හරෑන් ලන්ත්රා ගායාකයාණන් වෙනුවෙන් එතුමාගේ අවසාන මාස කිහිපයේ පිංවතුන් කිහිප දෙනෙකුගේ ආධාරයෙන් ඇරඹි " සුළං කුරැල්ලෝ" අරමුදලින් විසල් මෙහෙයක් කළෙමු. මිය ගිය පසු කිඹුල් කඳුළු සලනවාට වඩා හුස්ම ගනිමින් සිටි එතුමාට කළ සත්කාරයේ තෘප්තිය අපට ඇත. 

ඒ එකතුවූ මුදලින් අප මාස් පතා චිත්රා වාකිෂ්ට කලාකාරිනියටත් යම් සහනයක් ලබා දෙන්නට බලා පොරොත්තු වෙමු. ඒත් එයින් එතුමියට සැලකිය හැක්කේ ටික කලකට පමණි. 

අප සැවොම මේ ලොවේ තාවකාලික නැවතුම් කරැවන් වෙමු. දිනෙක නියත වශයෙන්ම මින් සමුගෙන යාමට පෙර , සිත සිතා සතුටු විය හැකි සත් ක්රියාවක් කළහොත් එහි තෘප්තිය විස්තර කරන්නට වදන් නැත. 

ආදරණීය සහෘදයනී, තීරණය ඔබේය. එන්න අප හා එක් වන්න. දහස් ගණනින් අවැසි නැත. ඔබට හැකි පමණින් දෙන පුංචි ආධාර එකතුවූ විට විසල් සේවයක් අපට කළ හැක. 

ඔබ යම් උදව්වක් කිරීමට මනාප නම් මට පණිවුඩයක් තබන්න. එවිට මට ගිණුම් තොරතුරැ ආදිය සැපයිය හැක. 

පසුගිය කම්කරැ දිනයේ චිත්රා වාකිෂ්ට කලාකාරිනිය සොයා ඇයගේ නිවසට ගොස් මේ තොරතුරැ මට ලබා දුන් කල්යාණි ගොඩමුල්ල සොයුරියට සහ හරෑන් මහතාගේ අසල් වාසියෙකු වූ විපුල සහෝදරයා ඇතුළු පිරිසට මගේ ආචාරය පුද කරමින් මම නවතිමි. ඔබ සැමට ජය ශ්රි!




සටහන - චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය . 
ඡායාරෑප - කල්යාණි ගොඩමුල්ල

ඔබ යම් ආධාරයක් කිරීමට මනාප නම් ඔබගේ ආධාරය පහත ගිණුම් අංකයට බැර කරන මෙන් මනුෂ්යත්වයේ නාමයෙන් ඉල්ලා සිටිමි. 

G.M.K.N. Godamulla ,people,s Bank ,kegalle bazzar, A.C.number 299200118248815

ස්තූතියි!

Saturday 2 May 2015

බටහිර ලංඩනයට දෙවියන් වැඩමවූ නිහතමානී කලාකරැවා.......



යක්කුන්ට බයනම් සොහොනෙ ගෙවල් සාදන්නෙ නෑ කියන කථාවත් කැලේ මාරැ වුණාට කොටියගෙ පූල්ලී මාරැ වෙන්නෑ කියන කථාවත් අප කුඩා කල සිටම අසා ඇති ප්රසිද්ධ කියමන් දෙකකි. 

මේ කාරණා දෙකම සනාථ වන අන්දමේ සිද්ධියක් පසුගියදා බටහිර ලන්ඩනයේ ෆෙල්තම් පුරවරයේදී සිදුවුණි. 

මේ සඳහා මූලිකව කටයුතු කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාමත්ම නිහතමානී තරැණ කලාකරැවෙකි. මුවඟ රැඳුණු අවිහිංසක හා අව්යාජ සිනහව එතුමාගේ නිහතමානිබවේ ආභරණයක් ලෙස හැඳින්වුවහොත් එහි කිසිදු වරඳක් නැත. 

පද්මසිරි අත්තනායක එතුමන්ගේ සම්පූර්ණ නමයි. ඒත් සැවොම එතුමා ආමන්ත්රණය කළේ අත්තනායක නමිනි. 

ලංඩනයේ වාසය කරමින් කලාවට සහ එහි උන්නතිය වෙනුවෙන් කරන්නාවූ අනුපමේය නිහඬ සේවයට ඇගැයීමක් හා උපහාරයක් පිණිස ලිපියක් ලිවිය යුතු යැයි බොහෝ කලක පටන් සිතා සිටියද එය දිනෙන් දිනම මගහැරැනු අතර මේ පවත්වන්නට යෙදුණු කලා කටයුත්තෙන් එයට අවශ්ය නිමිත්ත මට පසුගිය සතියේ ලැබිණි. 

පසුගිය ඉරැදිණ හැන්දෑ යාමයේ එතුමන් සොයා තම ආදරණීය බිරිඳ සහ පුංචි සුරංගනාවියන් බඳු සිඟිති දියණියන් දෙදෙනා සමග එතුමා වෙසෙන ඒ සොඳුරැ කැඳැල්ලට මම පියනැගුවෙමි. 

සුපුරැදු සිනහවෙන් මුව සරසාගත් අත්තනායක යුවළ සිංහල චාරිත්රානුකුලව දෑත් එක්කොට "ආයුබෝවන් " කියා මා පිළිගත්හ. 

පුරා හෝරා දෙකක් පමණ එතුමන් සමඟ දොඩමළු වූ මට කාලය ගෙවී යනු නොදැනිණි. 

මෙතැන් සිට ඔබ වෙත මා ගෙන එන්නේ ලංකාවේ සිට බටහිර ලංඩනයේ පැවැත්වූ ගම් මඩුව දක්වා පැමිණි එතුමන්ගේ අධිෂ්ඨානයේ කතන්දරයයි. 



ගම්පහ දිස්ත්රික්කයේ පල්ලෙවෙල නම්වූ සුන්දර ගම්මානයේ පද්මසිරි අත්තනායක, අපේ කතා නායකයා උපත ලැබුවේය. 

දරැවන් සතර දෙනෙකු වූ ඒ සොඳුරැ පවුලේ වැඩිමලාවු පද්මසිරිට බාල සොයුරන් දෙදෙනකූ හා සොයුරියක වූහ. 

ගමේ පාසල වූ වල්බෝලානේ කණිෂ්ඨ විද්යාලයෙන් මුලික අධ්යාපනය ලැබූ අපේ ලොකු අත්තනායක සහෝදරයා ඉන්පසූ වේයන්ගොඩ මහා විද්යාලයට ඇතුළු වුණි. 

ලොකු මල්ලී චන්දන කුමාරසිරි අත්තනායකද චූටි මල්ලී සමන් රත්නසිරි අත්තනායකද වුවත් ගමේ හා පාසලේ කවුරැත් මේ සොයුරන් තිදෙනාව හැඳින්වූයේ 'ලොකු අත්තනායක' , ' පොඩි අත්තනායක' හා 'සමන් අත්තනායක ' යන ආදර නාමයන් ගෙනි.

බහ තෝරන වයසේ සිටම බුද්ධ රෑප හා දේව රෑප දෙස පැයගණන් බලාසිටීමට ප්රිය කළ අපේ ලොකු අත්තනායක අහුවෙන අහුවෙන කොළ කැබලි වල සහ නිවසේ බිත්තවල බුද්ධ රෑප හා දේව රෑප සිතුවම් කරන්නට පටන් ගත් බවත් කුඩා කල තම පියාගේ නිදන ඇඳ අසල බිත්තියේ ඇඳි සිතුවම් අදටත් එහි ඇති බවද මා සමඟ පැවසුවේ මනසින් ඒ අතීත සුව විඳිමිනි. 

එමෙන්ම බෙර හඬට තදින්ම ඇලුම් කළ හෙතෙම කුඩා අවධියේ හිස් කිරි ටින් දෙකක් එකට බැඳ තම්මැට්ටමක් සාදා එය කෝටු කැබැලි දෙකකින් ගසමින් සොයූරැ සොයුරියන් සමඟ නිවස වටා පෙරහැරේ ගොස් ඇත්තේ ඒ සඳහා ඇති ඔහුගේ අධික කැමැත්ත නිසාවෙනි. 

එපමණක් නොව එවකට සුබසෙත පත්තරයේ සතිපතා පළවූ දහඅට සන්නියේ එක් එක් සන්නි හා ශාන්ති කර්මවල විස්තරත් ප්රසිද්ධ නර්තන ශිල්පින්ගේ හා බෙර වාදකයන්ගේ පිංතූරත් කපා පොතක අලවා තබා ගැනීමට පවා කුඩා අවධියේ සිටම පෙළැඹී තිබිණි. 

මව්ගෙන් හෝ පියාගෙන්වත් ඒ ඒ පාර්සවයන්ගෙන්වත් නැටුම් හා බෙරවාධනය පිළිබඳ ජානමය පෙරහුරැවක් හෝ ආභාසයක් නොවූ නිසා පියා සැමවිටම වාගේ විහිළුවට " මු නම් ගිය ආත්මයේ නැට්ටුවෙක් එහෙමත් නැතිනම් බෙරකාරයෙක් වෙන්න ඇතැයි" බොහොම උජාරැවෙන් කීවෙළු. 

ලොකු අත්තනායක දෙක වසරේ ඉගෙනුම ලබද්දී පාසලට පැමිණි ආධුනික ගුරැවරැන්ට සමුදීම උදෙසා පාසලෙන් පැවැත්වූ සංදර්ශනයේ නැටුම් වලට, නැටුමට මෙතරම් ආශා කරන අත්තනායකයන් තෝරා නොගෙන නැටුමට කිසිදු උනන්දුවක් හෝ දක්කමක් නොමැති ළමුන්ව තෝරා ගැනීම අත්තනායකයන්ගේ ළපටි සිත බෙහෝසේ කලකිරීමට පත්කිරීමට හේතුවක් වුවත් ඒත් සමගම කෙසේ හෝ නැටූම් ඉගෙන ගෙන හොඳ නැටුම් ශිල්පියෙකු වෙනවාමයි යන අධිෂ්ඨානයද ඇතිවී තිබිණි. 

මේ අවධියේ දිනක් තම මව සමඟ ගමනක් යමින් සිටියදී මාර්ගය අසල නිවසකින් එන බෙර හඬක් ඇසී තම මවට ඇවිටිලි කොට ඒ නිවසට ගොස් තිබුණ අතර එය ප්රියන්ත කුමාර නම්වූ නැටුම් ගුරැවරයාගේ නැටුම් පංතිය බැව් දැනගන්නට ලැබී ඇත. අහම්බයෙන් වුවත් ඒ නැටුම් පංතියට බැඳී නැටුම් ඉගෙනුමට අපේ ලොකු අත්තනායකට හැකිවිය. 

නැටුම් කලාවේ අයන්න තමන්ට ඉගැන්වූ ප්රියන්ත කුමාර ගුරැතුමාව ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කළ අත්තනායකයෝ ඉන්පසුව ගිරාගම ගුරැ විද්යාලයේ කථිකාචාර්ය කෙනෙකුවූ එඩ්මන් ගනේගොඩ ගුරැ පියාණන්ගෙන් උඩරට නැටුම් හා බෙරවාදන ඉගෙනගත් බැව් පැවසීය. 

එයිනුත් නොනැවතුණු ලොකු අත්තනායක තව දුරටත් බෙර වාදනය ප්රගුණ කරගැනීම සඳහා පාරම්පරිකව දෙවොල් මඩු පවත්වන බලබෝව රංජිත් පද්මසිරි ගුරැ පියාණන් යටතේ පුහුණු වීම් ඇරඹීය. 

මේ අතරේදී තවත් දෛවෝපගත සිදුවීමක් සිදුවී තිබිණි. 

ගනේගොඩ ගුරැතුමා පෙරහැරක පහතරට නැටුම් කණ්ඩායමක් සඳහා අත්තනායකයන්ගේ චූටි මල්ලීව යොඳාගෙන තිබුණේ මේ කාලයේදීය. 

චූටි මල්ලී පහතරට නැටුමට විශාල දක්ෂකමක් පෙන්වා තිබූ අතර ඔහු නටනයුරැ දුටු ලොකු අත්තනායකයන්ටද පහත රට නැටුම් ඉගෙනුමට සිතක් පහළ වී තිබිණි. 

මේ සමයේදී අත්තනායකයන්ගේ ලොකු මල්ලී බෙර වාධනයටත් චූටි මල්ලී දෙවොල් මඩුවල නැටීමටත් යෙමුවී තිබුණු අතර පාසලේ හෝ ගමේ කළා කටයුතු වලදී මේ අත්තනායක සොයුරන්ට සැමවිටම ලැබුණේ මුල්තැනය. 

ඔවුන්ගේ පියාණන්වූ ඒ විලියම් මහතා සහ මෑණියන් වූ කේ ගුණවතී මහත්මිය බොහෝ දිනවල සැදෑ සමයේ රාස්සිගේ අව්ව ගෙයි වහලට මුවා වෙද්දී ගෙය ඉදිරිපිට තැබූ පුටු දෙකක විවේක සුවයෙන් වාඩිවී තේ පැන් උගුරක පහස ලබන අතර සොයුරන් තිදෙනාගේ නැටුම් හා බෙරවාදන බලා තුටු වීමට පුරැදුවී උන් බව මා සමඟ පවසා සිටියේ තම දෙමාපියන් ගැන උපන් මහා භක්තියකින් යුතුව බව හැගීමෙන් බරවූ මුහුණ හා කට හඬ හොඳම සාක්ෂිය විය. 

චූටි මල්ලී හොඳින්ම පහතරට නැටුම් ප්රගුණ කළ අතර ඔහුගෙන් තමා පහතරට නැටුම් ඉගෙන ගත් බවත් තමන්ගේ මුල්ම පහතරට නැටුම් ගුරැවරයා චූටි මල්ලී බවත් මා සමඟ පවසා සිටියේ තමන්ගේ නිහතමානීභව නැවතත් ප්රදර්ශනය කරමිනි. තමන්ට ශිල්පය දුන් ගුරැවරයා ගැන පවා කීමට මැලිවන පුහු මාන්නාකාරී මිනිසුන් පිරි මෙවන් සමයක තමන්ගේ පුංචිම මල්ලී තම මුල් ගුරැවරයා යැයි ආඩම්බරයෙන් පවසන අයියණ්ඩියක සැමටම ආදර්ශයක් නොවේද?

නැටුමට හා බෙරවාධනයට අති දක්ෂයින් වූ අත්තනායක සොයුරෝ ඔවුනගේ පියාගේ අඩි පාරේ යමින් කැටයම්, මූර්ති හා චිත්ර යන සියලුම කලාවන්ගෙන්ද ඉදිරියෙන්ම සිටියහ. 

අපොස සාමාන්ය පෙළ සමත්වී උසස් පෙළ හදාරමින් සිටින අවධියේ අත්තනායකයන්ගේ ආදරණීය පියාණන් ලෙඩ ඇඳට වැටුණු අතර එතුමාට රැකියාවෙන්ද සමු ගැනීමට සිදුවූයේ අපේ කතා නායකයන්ගේ සරසවි සිහිනය බොඳකරලමිනි. 

සහෝදරයන් දෙපළගේ සහ සහෝදරියගේ අධ්යාපන කටයුතු සහ නිවසේ වියහියදම් වලට තම අධ්යාපනය අමතක කළ හෙතෙම කොළඹ ගොස් එඩ්වඩ් ලොකු ලියනගේ මහතා ළඟ පෝරැ සෑදීම හා කැටයම් කැපීම වැනි කටයුතු කරදීමට තම ශ්රමය කැපකළේය. 

ඉන්පසුව හාපිටිගම මහා විද්යාලයේ ස්වේච්ඡා නැටුම් ගුරැවරයෙකු ලෙස සේවය කරමින් තමන් උගත් ශාස්ත්රය දරැවන්ට ලබා දීමට උත්සුක වූ අතර ඉන් ලද පුංචි වැටුප තම දෙමාපියන් හා සොයුරැ සොයුරියන් උදෙසා වැයකළේ මහා ආදර්ශයක් ලොවටම ගෙනහැර පාමිනි. 

මේ අවධියේදී ජාතික තරැණ සේවා සභාවේ නැටුම් කණ්ඩායමට තේරැනු අප ලොකු අත්තනායකයෝ එහි දස්කම් පාමින් සිටින අතරතුරැම යුඳ හමුදා තූර්ය වාදක කණ්ඩායමට බැඳීමටද අයදුම් පතක් දමා ඇත. 

ඔහුගේ සිහිනය මල්ඵල ගැන්වී 1996 දී හමුදා නැටුම් කණ්ඩායමට තෝරාගත් බැව් කියා ලියමනක් ලැබිණි. එදා ඔහුගේ අම්මා සහ තාත්තා ඇතුළු පවුලේ සැමගේම දෑස් තෙත් කළ සතුටු කඳුළු ගැන සිහි කරද්දී ඔහුගේ දෑසද තෙත්වී යනු මට පෙනිණි. 

1996 ඇසළ මස 31 වෙනිදා හමුදාවට බැඳුණු අත්තනාකයන් මාණ්ඩලික සැරයන් තිලක් විජේසිංහයන්ගේ මගපෙන්වීම යටතේ පිනුම් ගැසීම හා කැරකීම වැනි ශාරීරික අභ්යාස මැනැවින් ප්රගුණ කිරීමට සමත්වූ අතර විජේසිංහයන්ව බැතිබර සිතින් සිහිපත් කරන බවද මා සමඟ පැවසීය. 

යුඳ හමුදා තූර්ය වාදක කණ්ඩායමට බැඳීම තම දිවි ගමනේ තවත් වැදගත් හා තීරණාත්මක කඩ ඉමක්ද ජයගැනීමට ඉවහල්වනු ඇතයි අත්තනායකයනට සිතී නොතිබෙන්නට ඇත. 

එනම් අද දින තම ජීවිතයේ සැබෑ සහකාරිය වන නැටුම් කණ්ඩායමේම සිටි සුරෑපී රසිකා සංජීවනී මෙනවියගේ ආදරය දිනා ගැනීමයි. 

තූර්ය වාදක කණ්ඩායමත් සමඟ රට රටවල සංචාරයන් සඳහා අවස්ථාව උදාකරගත් අත්තනායකයෝ 2002 වසරේ තම විවාහයෙන් පසුව යුඳහමුදා සේවයෙන් සමුගෙන එංගලන්තය බලා ඒමට කටයුතු සම්පාදනය කර ගත්තේය. 

ඒ වනවිටත් ලන්ඩනයට පැමිණ සිටි යුඳ හමුදා තූර්ය වාදක කණ්ඩායමේම තම සඟයන්ගේ මගපෙන්වීම හා උපකාර මේ සඳහා ඉවහල් වූ බව සඳහන් කළේ ඔවුන් සැවොම ස්තූතිපූර්වකව සිහිපත් කරමිනි. 

ලංඩනයට පැමිණි අපේ ලොකු අත්තනායකයෝ මෙහි දිවිය අරඹන සැවොම මෙන් සීතලෙන් හා පවුලෙන් වෙන්වීමේ තනිකමින් මිරිකෙමින් සත්යයට මුහුණදී දිවිය ගොඩ නගා ගැනීමට වෙහෙස වී තිබිණි. 

මෙහිදී ඉඳුම් හිටුම් හා කෑම බීම දී තමන්ට රැකියාවක් පවා සොයාදුන් බටහිර ලංඩනයේ හීත්රෝ ප්රජා මධ්යස්ථානාධිපති කැප්පැටියාගොඩ ගුණවංශ හිමියන්ව සිහිපත් කළේ ගෞරව සම්ප්රයුක්තව හදපිරි ස්තූතිය පුදකරමිනි. 

උන්වහන්සේ තමන්ට , නැටුම් ඇඳුම් හා බෙර පවා ලංකාවෙන් ගෙන්වා දුන්බවත් මා හට පවසා සිටියේ දැන් පාවිච්චි කරන බෙරයත් උන්වහන්සේ සපයා දුන් බව මතක්කර දෙමිනි. 

මේ කාලයේ පංසලේදී අරැන ශාන්ත, අරැන පෙරේරා , සසිත් ප්රිය ආසිරි, දිනේෂ් ප්රියංකර , චාමර අනුරැද්ද , චමිල් ,නුවන්  ප්රනාන්දු , පණ්ඩුක වික්රමරත්න , අලපාත, ඉන්දික උදය කුමාර  හා චතුර ප්රියංකර යන සොයුරන් මුණ ගැසී තිබෙන අතර ඔවුන් සමඟ එකතු වී උත්සව අවස්ථාවන් සඳහා නැටුම් හා බෙර වාදනයේ යෙදිණි. 



අපේ අත්තනායකයන්ට මේ රටට පැමිණිදා සිටම ලංකාවේදීම මෙන් ගම් මඩුවක් ලංඩනයේ පැවැත්වීමට ඉතා තදබල ආශාවක් හා උවමනාවක් තිබී ඇත. මා මුලින්ම මේ සටහනේ " කැලේ මාරැ උණාට කොටියගෙ පුල්ලී මාරැ වෙන්නේ නැතැයි" සදහන් කළේ එහෙයිනි. 

මේ අවස්ථාවේ මම , මා හොඳාකාරවම නොදැන සිටි නිසා 'ගම් මඩුව හා දෙවොල් මඩුව යන වචන දෙකේ තේරැම එතුමාගෙන් විමසා සිටියෙමි. 

මේ දෙකම ගම්මුන්ගේ පිහිට ආරක්ෂාව සඳහා පවත්වනු ලබන යාතුකර්ම දෙකක් බව පැවසූ එතුමා එය ගමේ පවත්වන විට ගම්මඩුව ලෙසත් දේවාල භූමියක පවත්වනවිට දෙවොල්මඩුව ලෙසත් හඳුන්වන බව පැවසුවේ මගේ කුකුස දුරැ කරමිනි. 

එතුමාගේ සිතේ මේ අදහස කාලයක් තිස්සේ තිබී ඇතිමුත් ලංඩනයේදී ඊට උවමනා ශිල්පීන් , ගොක් කොළ, පොල් මල් හා කැවිලි පෙවිලි ආදිය සපයා ගැනීමේ අපහසුතාවය නිසා එය දිනෙන් දිනම කල් ගතවී තිබිණි. 

දිනක් මේ ගැන තම නැටුම් සගයන්ට දැන්වූ විට ඔවුන් එක පයින්ම ඊට සහය වීමට කැමැත්ත පළකොට තිබූ අතර ලංඩනයේ වෙසෙන කලාකාමී ජයරත්න බංඩාර මහතාගේ දිරිගැන්වීම හා මූලික සහය ඇතිව පසුගිය වසරේ බක් මස 27 වෙනිදා බටහිර ලංඩනයේ සෙල්කට් පුරවරයේදී එංගලන්තයේ ප්රථම ගම් මඩුව පැවැත්වීමට අප කතානායකයාට හැකිවුණි. 

මෙය වාර්ෂිකව පවත්වමු යැයි ජයරත්න බංඩාරයෝ කළ ඉල්ලීමට හිස නැමූ අත්තනායකයන් මෙම වසරේ බක් මස 19 වෙනිදා දෙවැනි වරට ගම් මඩුවක් බොහෝ අංගවලින් සර්ව සම්පූර්ණව බටහිර ලංඩනයේ ෆෙල්තම්හී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට සමත් වුණි. 

මේ සඳහා නන් අයුරින් සහයවූ ජයරත්න බංඩාර හා ටීලාරංජනී යුවළ , විජයරතන බංඩාර හා කුමාරි විජේරත්න යුවළ, දිසා සහ රම්යා යුවළ, ස්වර්ණා හා පුක්කුස වීරසිංහ යුවළ, අරැන පෙරේරා මහතා, ටිකිරි බංඩාර මහතා ,බාළමැණිකා හා කාන්ති මහත්මිය යන පිරිස එතුමා සිහි කළේ ඉතාමත්ම සෙනෙහසිනි. 

ශාලාව සොයා වෙන්කර ගැනීම, සැරසිලි , කිරිබත් හා කැවිලි සෑදීම වැනි කටයුතු ඔවුන්ගේ නොමද සහයෙන් සාර්ථක කරගන්නට හැකිවූ බව තව දුරටත් මා සමඟ පැවසීය. 

ඉන්පසුව එළැඹියේ අපේ සාකච්ඡාවේ රසවත්ම සහ බොහෝ දෙනෙකු හොඳින් නොදන්නා විස්තර හෙළිදරව් වූ හෝරාවය. 

එම විස්තරය තවත් දිනෙක ගෙන එන්නම්......

සටහන - චන්දන ගුණසේකර