Pages

Tuesday 31 March 2015

කුණාටුව.....



හිරැත් සැඟවිලා අඳුරැ අහස් කුස වැහි බීරැම දස අත පැතිරී
තවත් දවසකට අරැනළු දෙන්නට බලා හිඳියි අලසව වැතිරී
කොළත් හැලී ගිය හරිතය වියැකුණු ගස් වැල් හැම තැනකම විසිරී
මටත් හොරා ඉකි බිඳුමට සැරසෙයි මහා දුකින් හදවත ඇහිරී

වැස්ස මුදාහල බරකින් නිදහස් වළා රොදේ සිනහව උතුරයි
දස්ස කමක් කළ පොඩි දරැවකු මෙන් සුළඟේ එතෙමින් ගී මුමුණයි
කෙස්ස වනාගත් ළඳකගෙ හැඩයට වැල් කොළ වැහි වතුරේ සෙලැවෙයි
ඉස්ස ර දවසක මාත් ඔවුන් මෙන් තුටුවූ සැටි සිහියට එළැඹෙයි

කුණාටුවට පෙර තිබුණු නිහඬ බව ඉන්පසුවත් ඉවරයක් නැතේ
වලාකුලට පෙම් බැඳි කවුරැන්වත් වැස්සෙන් පසු අහලකත් නැතේ
පිපාසයට දිය බිව් ගස් වැල් වල විඩාව නිමවූ  වගක් නැතේ
අරෝවකට මා හැරදා ගමගිය අඹුදරැ ළඟ එන හැඩක් නැතේ

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

Thursday 19 March 2015

අනුරාධපුර ශාන්ත ජෝෂප් විදුහලේ ජන්ම සංවත්සරය.....



ඒ 1978 සීතල දුරැත්තයි. අනුරාධපුර නිවත්තක චේතිය ප්රාථමික විදුහලින් සමුගත් මා අනුරාධපුරයේ ශාන්ත ජෝශප් විදුහලට ඇතුළු වූ වසරයි. 

තෙවසරක්ම මිශ්ර පාසලක උගත් මට හතරවන ශ්රේණියේදී ඇතුළු වූ පිරිමි ළමුන් පමණක් සිටින නව පාසල් දිවිය විශාල අභියෝගයක් විය. 

මා වැටුණු 4බී පංතිය ඉතාමත්ම දක්ෂ ළමුන්ගෙන් මෙන්ම අති මහත් දරැනු ළමුන්ගෙන්ද පිරී පැවතුණි. 

උපතින්ම ඉතා නිහඩ සිසුවකු වූ මා හට ඔවුන්ගෙන් බලපෑම් එල්ල වූවත් ගුරැවරැන් නම් මට බෙහෙවින්ම ආදරය කළහ. 

අපගේ පංතිභාර ගුරැ මෑණියන්වූ කුලතිලක මහත්මිය සහ අපට ඉංග්රීසි ඉගැන්වූ කරැණාරත්න ගුරැ මෑණියන්වත් අතිමහත් භක්ති ප්රණාමකව සිහිපත් කළ යුතුමය.

මා සමඟ හෝඩියේ පංතියේ සිටම එකට සිටි රවී ගලගොඩ මිතුරාද මාත් සමඟම මේ නව පාසලේ මගේ පංතියටම වැටීමද මට මහත්මවූ රැකුලක් විය. 

මෙසේ කාලය ගෙවී යද්දී නව මිතුරන්ද ලද මා පාසලට කෙමෙන් හුරැ වන්නට පටන් ගතිමි. 

එම වසරේ මාර්තුවද උදා විය. මගේ කුතුහලය ඇවිසුවාවූ සිදුවීම් රාශියක් මේ දිනවල පාසලේ සිදු විය. පංති කාමර වල මකුළු දැල් කඩා බිත්තිවල අළුත් සමර ආලේප කෙරිණි. වත්ත පිටියේ හා ක්රීඩා පිඨයේ වල් පැල ගැලවී කල එළි වුණි. එපමණක් නොව ගුරැවරැන් හා සිසුන්ගේ මුහුණුද ඔප වැටී තිබුණේ උදා හිරැ කිරණ වැදී දිස්නෙ දෙන තිසා වැවේ ජල තලය මෙනි. 

තවත් මේ අරැමය ඉවසා සිටීමට නොහැකී වූ තැන මා මේ පිළිබඳව පංතියේ පැරණි සිසුවකුගෙන් විමසා සිටියෙමි. ඔහුගෙන් පැවසුණේ මාර්තු 19 වෙනිදා පාසලේ College Day එක එනම් පාසල් දිනය බවයි. 



අදද මාර්තුවේ දහනම වෙනිදාවකි. මගේ පාසල් මාතාව අද දිනයේ ඇයගේ 117 වැනි ජන්ම දිනය සමරන්නීය. 

මේ වසරට මා පාසලින් සමු ගෙන වසර 28 ක් හා මව් බිමින් ඈත්වී වසර 20 ක් සපිරෙයි. එහෙත් සෑම මාර්තුවකම දහනම වෙනිදා අලුයම මා හට පාසල් මාතාව සිහියට එන්නේ සිහිනෙන් ගෑ සුවඳක් පරිද්දෙනි. 

පාසල මතකයට එන සෑම නිමේෂයකම ඒත් සමඟම මගේ සිතිවිලි අතරට එන උතුම් චරිතයක්ද ඇත. ඒ නම් පුරා අවුරැදු 34 ක් අඛණ්ඩව පාසලේ විදුහල්පති ධූරය ඉසිලූ ආර් ස්ටැනිස්ලෝස් ගුරැ පියාණන්ය. 



යාපනයේ ජන්ම ලාභය ලද ද්රවිඩ ජාතිකයෙකු වූ එතුමාගෙන් තොරවූ ශාන්ත ජෝශප් විදුහලක් ගැන මතකයක් මගේ සිතට නොඒ. මන්ද එතුමා හා පාසල ඒ තරමටම බද්ධ වී තිබුණු නියාවෙනි. පාසල එතුමාම විය. එතුමා පාසලම විය. 

1979 වසරේ අප පස්වන ශ්රේණියේ සිසුවන් විමු. එතුමාගේ යෝජනාවක් අනුව පාසල් දිනයදා පංතිවල බත් හා මාළු පිනි පිස සැවොම එක්වී අනුභව කිරීමට තීරණය විය. එතෙක් කලක් සිදුවූයේ සිසුන් විසින් බාර්ලි,කොකා කෝලා වැනි බීම හා කේක් ,පැටිස්, රෝල්ස් වැනි කෑම ජාති පාසලට ගෙනවිත් කා බී ප්රීති වී පාසල් දිනය සැමරීමයි. 

ගුරැ මෑණිවරැන්ගේද සහයෝගය ඇතුව පාසලේ ලිප් බැද කෑම පිසීමෙන් අප මහත් ආස්වාදයක් ලදිමු. 

එහෙත් ඊළඟ වසරේ සිට සිසුන්ට බත් හා මාළු පිනි නිවෙස් වලින් පිළියෙල කරගෙනම ඒමට නියම වුණි. 

පාසල් දිනය දා සිසුන් අමතා වෙනදාට වඩා වැඩි වේලාවක් කතා කරන ස්ටැනිස්ලෝස් මහතා ගුරැ මංඩලයේ කිහිප දෙනෙකු සමඟ පංතියෙන් පංතියට පැමිණ සිසුන්ගේ සංග්රහ භුක්ති විඳීමෙන් අනතුරැව අපේ වාරය පැමනේ. තම පංතිය අනෙක් පංතිවලට වඩා ලස්සනට සැරසීමට සෑම සිසුවකුම පාහේ උත්සහ ගත්හ. 

එක් වසරක උසස් පංතියක සිසුන් කණ්ඩායමක් පාසල් දිනයදා පාසලට හොරෙන් මත් පැන් බෝතලයක් ගෙනැවිත් ඇතිබැව් එතුමාට ආරංචි වී තිබිණි. 

ඒ පංතියම පීරා බෝතලය සොයාගත් එතුමා මුළු පංතියම වහාම නිවෙස් වලට යැවීය. එම සිසුන්ගේ පාසල් දිනය එතනින්ම නිමා වුණි. 

පහුවදා සිසුන් රැස් කළ එතුමා බෝතලය පාසලට ගෙනා පංතියේම ළමයෙකු ලවා මත් පැන් බෝතලය විවෘත කරවා ඔහුට එහි සුවඳ ආඝ්රහණය කිරීමට අණ කළේය. ඉන් පසු එය බිමට හලන්නට කියා ඊට ගිනි කූරක්ද දැමීය. බෝතලය ගෙනා පංතියේ ළමුන්ගේ මුහුණුද ඒ ගින්නටම අසුවී මැලවී යනු දක්නට ලැබිණි. 

පාසල් දිනය සමරන අද දවසේ ස්ටැනිස්ලෝස් මහතා ගැන පැවසීමට මට බොහෝ දේ ඇත. මම නැවතත් කියමි. එතුමා ගැන කතා කිරීම පාසල ගැන කතා කිරීමක්ම වන්නේය. මක් නිසාද එතුමාගෙන් තොරවූ පාසලක් එකල නොතිබූ නියාවෙනි. 

තම උපන් බිමවු යාපනයෙන් පිටමං වී සිංහල දරැවන්ගේ හෙට දිනය වෙනුවෙන් තම දිවියම කැප කළ එතුමාට තමන්ට කියා හරි හම්බ කරගත් වස්තුවක් නොවීය. 

වර්තමානයේ ලක්ෂයට කොඩි දමා වෙසෙන සමහර විදුහල් පති තුමාලට මෙන් එතුමාට වසන්නට මාලිගයක් නොතිබිණි. ගමන් බිමන් යාමට යාන වාහන තිබුණේ නැත. පාසලේ ක්රීඩා භාණ්ඩ කාමරයට යාබදව තිබූ ඉතා කුඩා කුටිය එතුමාගේ නිවහන විය. හුදෙකලාව එහි විසූ එතුමාට ගමන් බිමන් යාමට තිබුණේ පරණ පා පැදියක් පමණි. 

එතුමාගේ පවුල බැලීමට ඉතාමත් කලාතුරකින් යාපනේ ගිය එතුමා පාසල් නිවාඩුව පවා බොහෝ විට ගත කළේ අනුරාධපුරයේය. 

එතුමාගේ නෑදෑයෙකු කියා මේ කාලය තුළම මා දුටු එකම පුද්ගලයා වූයේ එතුමා බැලීමට ඉදහිට පැමිණි එතුමාගේ පුත්ර රත්නයයි. ඉතා නිහඩ පුංචි පුද්ගලයෙකු වූ ඔහුට තිබුණේ ප්රිය මනාප පෙනුමකි. 

බොහෝ දුරට සුදු පැහැ ගැන්වී තිබූ තම කොණ්ඩය මනාවට පසු පසට පීරා උන් ස්ටැනිස්ලෝස් මහතා දිනපතාම තම රැවුල බා හොඳින් මැඳි පිරිසිදු ඇඳුම් කට්ටලයකින් සැරසී සිටියේය. 

ඉතා තියුණු උකුස්සෙකුගේ වන්වූ එතුමාගේ කරැනාව පිරි දෙනෙත් තරහ ගියවිට දරැනු ව්යාඝ්රයෙකුගේ මෙන් විය. ඔළිඳ ඇට මෙන් රත් පැහැ වී ඳොඹ ගෙඩි මෙන් එළියට නෙරීය. 

කෝප වූ එතුමාට සිසුන් ඉතා අධිකව බියවූහ. කෝපාවිෂ්ට පෙනුමට අමතරව අත රැඳි අඩි 3 ක් පමණ දිග කෝටුවේ රස දැනසිටීම එයට හේතුවයි. ළමයෙකු වරදක් කළ විට පස්ස පැත්තට ඉන් පහරවල් හයක්ම දුන්නේ කිසිදු අනුකම්පාවක් නොමැතිවය. 

අධික ශබ්දයෙන් යුතු පංති කාමර හිටි අඩියේ මීයකට පිම්බාක් මෙන් කිසිදු හැලහොල්මනක් නැතිව නිශ්ශබ්දව යනවිට එතුමා ළඟ පාතක බැව් අප ඉවෙන්ම දැන ගතිමු. 

යතුරැ පැදි අනතුරකට ලක්ව පෝලියෝ හැදුනාක්මෙන් පුංචි වී තිබූ එතුමාගේ එක පාදයක් අනෙකට වඩා කොටවූ නිසා එතුමා ඇවිද්දේ නොන්ඩි ගසමිනි. ඒ පාදයේ පැළඳි සපත්තුව ලෝහ පටි සවිකොට විශේෂයෙන්ම ඒ පාදයටම ගැළපෙන්නට සාදා තිබිණි. එය පැළඳ එතුමා ඇවිදින විට කොඤොක්.....කොඤොක්... වැනි ශබ්දයක් සපත්තුවේ හම හා ලෝහ පටි එකට ඇතිල්ලීමෙන් නිරතුරැවම නිකුත් විය. 

හැමදාම උදෑසන එතුමා විදුහල් පති කාර්යාලය ඉදිරිපිට සිටගෙන ළමුන්ට සහ ගුරැවරැන්ට Good morning යැයි කියමින් ආචාර කිරීම පුරැද්දක් කොට සිටියේය. සෑම සිසුවකුම පාහේ නමින්ම දැන සිටි මෙතුමා හැම ළමයෙකුගේම නිල ඇඳුමේ පිළිවෙළ හා ඔවුන්ගේ කොණ්ඩ පිළිබඳව ඉතාමත්ම තදින් හා විමසිල්ලෙන් සිටියේය. 

පාසලට නොගැලපෙන හෝ උවමනාවට වඩා දිගු කොණ්ඩයක් දුටු විට එතුමා වචනයක් වත් කතා කළේ නැත. කළේ අදාළ සිසුවාගේ කොණ්ඩය දෙසට ඇඟිල්ලක් දිගු කොට අනෙක් අතින් කතුරේ හැඩය පෙන්වීම පමණයි. පහුවදා උදයේ එම සිසුවා කොණ්ඩය නොකපා පැමිණියහොත් එදාට ඔහුට පාසලට ඇතුල් වීමට වරම් ලැබුණේ නැත. 

එතුමා සිසුන්ව ඉංග්රීසි ඉගෙනුමටද විශාල වශයෙන් යොමු කළේය. පාසලට පැමිණෙන මග දිගට වූ තාප්පයේ "Speak English now. Don't regret later " වැනි උදෘත පාට ලියැවීය. එතුමාගේ සිංහල කතාව ඉතාමත් දුර්වල වූ අතර හැම විටම වාගේ කතා කළේ ඉංග්රීසියෙනි. මේ හේතුව නිසාද එතුමා හමුවට යාමට අප බිය වීමු. ඒත් අපට බේරි සිටිය නොහැකි විය. 

එතුමා උදෑසන රැස්වීම ඉංග්රීසියෙන් අමතා කවුරැන් හෝ ශිෂ්යයෙකුව වේදිකාවට කැඳවා එතුමාගේ කථාවේ සිංහල අනුවාදය ඉදිරිපත් කිරීමට නියම කළේය. මේ හේතුව නිසා සිසුන් එතුමාගේ කතාවට හොඳින් සවන් දුන් අතර ඒ මගින් ඉංග්රීසි ඉගැනුමටද මග පෑදුණි. එදවස එය කරදරයක් සේ හැඟුණත් එහි පළ විපාක දැනෙන්නේ දැන්ය. 

සිංහල කතාව හොඳින් බැරිවූ එතුමා සිංහලෙන් කතා කිරීමට යාමේදී සිදුවූ ඉතා හාස්යජනක සිද්ධීන් කිහිපයක් මගේ සිහියට එයි. ඒවා මා මෙහි සඳහන් කරන්නේ හුදෙක් විනෝදාස්වාදයට විනා එතුමාට අබ මල් රේණුවකවත් අවමානයක් කිරීමට නොවේ. මට ඒ තරමින් වත් දෙමළ කතා කිරීමට නොහැකි වීම ගැන මම අදද දුක් වෙමි. 

ඉතුමාට නහුතයට තරහ ගිය විට සිසුන්ට බල්ලා කියා සැරවූ අවස්ථා තිබිණි. එහෙත් එතුමාට තිබූ ආදරය නිසා කිසිවෙකුත් ඉන් උරණ නොවිණි. නමුත් එතුමා එය කියූවේ මෙසේයි. " අඩා භල්ලූ " ....... බල්ලා වෙනුවට කෑගැසුවේ භල්ලූ කියාය. 

ඊටත් වඩා ඉතා අපූරැ දෙයක් තවත් වරෙක සිදු විය. එතුමා එක් සැන්දෑ යාමයක තම පාපැදියේ මල්වතු ඔයේ පාලම උඩින් ගමන් කරද්දී ඔයේ නාමින් සිටි එක්තරා නොසන්ඩාල කොලු ගැටයකු විසින් හූවක් කියා එතුමා ඒ දෙස බලන විටම ජලය යටට ගොස් ඇත. කොලුවා විසින් මේ විහිළුව කිහිප විටක්ම කර තිබූ අතර මේ සිද්ධිය සම්බන්ධව රතු කට්ට පැන තිබූ එතුමා පහුවෙනිදා උදේම රැස්වීම කැඳවා සිද්ධිය විස්තර කළේ මෙසේයි. 

" අඩේ මේක මම ඊයෙ මල් වතු ඔය උඩින් යනකොට එක නරක කොල්ලා හූ කානවා යට යනවා. හූ කානවා යට යනවා" කියායි. ගුරැවරැන් හා අපිද මුහුණින් මුහුණ බලා සිනහව තද කරගෙන සිටියෙමු. පසුව අපට කාරණය වැටහුණි. එතුමා කියා තිබුණේ හූ ගානවා . යට යනවා කියාය. එහෙත් 'ගා' වෙනුවට දෙමළ උරැවට ශබ්ද වී තිබුණේ ' කා 'යන්නයි. 

1978 හා 1983 දී ඇතිවූ ඒ ඊනියා ජාතිවාදී කලබල සමයන්හිදී ආරකාෂාකාරී ස්ථානයකට යන මෙන් ඉල්ලමින් අනෙකුත් සිංහල ගුරැවරැන් එතුමාට නොවැන්ඳා පමණි. එහෙත් එතුමා කොහේවත් ගියේ නැත. කාටවත් වරඳක් නොකළ එතුමාට කිසිවෙකුගෙන් කරදරයක් නොවන බව එතුමාට විශ්වාස විය. එයට හේතුව වූයේ අනුරාධපුර ටවුමේ සියලුම කොල්ලන් එතුමාගේ ගෝලයන් වීම හා එතුමාට ආදරය කිරීමයි. 

පාපන්දු ක්රීඩාවට තදින්ම ඇලුම් කළ මෙතුමා පාසල ක්රීඩා කරන සෑම තරගයකටම ගොස් සිසුන් සමඟම වාඩිවී එම තරග නැරඹුවේය. 

විශ්රාම යන තුරැම ශාන්ත ජෝශප් විදුහලටම තම දිවිය කැප කළ එතුමාගේ මළ ගමට රටේ නොසිටිය නිසා මට යාමට නොහැකි විය. එහෙත් මහත් හරසරින් යුක්තව එය සිදුවූ බව මම දනිමි. පාසලේ ක්රීඩාගාරයද එතුමාට උපහාර පිණිස ආර් ස්ටැනිස්ලෝස් නාමයෙන් නම් කෙරිණි. 

මගේ පාසල් මෑණියගේ ජන්ම දිනය වූ අද මා එතුමාවද ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්නේ එතුමාගෙන් තොර පාසලක් මා නොදුටු නිසාය. 

මම තවත් එකම එක වගන්තියක් පමණක් ලියා තබා මේ සටහනට විරාමය තබමි. ගරැතර ස්ටැනිස්ලෝස් මහතාණනි, ඔබවන් පුතුන් ලක් මවට ලැබෙන්නේ බොහොමත්ම කලාතුරකිනි. මේ සසර ගමනේ යම් දිනෙක නැවත අප හමු වෙමු. 

- චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Wednesday 18 March 2015

මයියා සහ සංගා සමු ගත්හ.......



ඔබ සමුගත් දින
අහසත් වැලපුණි
ඒ දුක ඉවසා ගනූ බැරිවී.......

ක්රීඩා පිටියම අඳුරේ
සැඟැවුණි
සඳ තරැ කඳුලැලි මත සිරවී......

ඔබගෙන් හිස්වූ පිටියේ සැම අත
හද පෙලු සුසුමක හඬ ඇසුනී.......

බලා සිටිමි මම අසරණ දෑසින්
හිරැ සඳු සමු ගෙන යනු දුකිණී...........

ආදරණීය මයියා සහ සංගා ඔබ දෙදෙන අද ක්රීඩා පිටියෙන් සමු ගත්තද අපේ හදවත් තුළින් කෙදිනකවත් සමු නොගනු ඇත. ඔබ දෙපළ රටට ගෙනදුන් කීර්තියට අප සදා ණයගැතියි. .......



-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

Sunday 15 March 2015

අම්මා...........

අදට යෙදී ඇති මව් වරැන්ගේ දිනය වෙනුවෙනි.......



සැමටම කලින් අලුයම පිබිදෙන්නීය
කාටත් පසුව නිදි ලොව වෙත යන්නීය
පවුලක සියලු බර කර මත ගන්නීය
නිවසේ පහන විලසින් බැබලෙන්නීය

දස මස කුස හොවා බර උසුලන්නීය
මුළු දිවි පුරාවෙම බිම නොතබන්නීය
ගත ලේ පොවා දරැ කුස් පූරවන්නීය
දුක් ගිනි සිත රඳන් මදහස දෙන්නීය

නව ලොව තනන්නට දර දිය ඇද්දාය
දරැවන් නිසා නින්ඳා හැම වින්ඳාය
ඔවුනට එකම විලසට පෙම් බැන්ඳාය
සෙනෙහස පොවා වෛරයෙ මුල් සින්දාය

හිරැගේ එළිය ගෙන සිසිලස බෙදන්නී
නිවසේ වහල උසුලාගෙන සිටින්නී
පවුලේ මුඳුන් මුල වී සවි දෙවන්නී
අම්මා නුඹයි අප හැම දුක් දරන්නී

එක්සත් රාජධානියේ අද සමරණ මව් වරැන්ගේ දිනය හරියටම පාස්කු ඉරිදාවට සති තුනකට පෙරාතුව සැමරෙයි. අද දිනයට Mothering Sunday කියාද කියනු ලැබේ. 

චන්දන ගුණසේකරඑක්සත් රාජධානිය

Friday 13 March 2015

කාල නදී ගලා බසී.........



කළුතර බෝධිය අසබඩින් මහ මුහුද සිප ගන්නා කළු ගඟට මා පෙම් බැන්ඳේ ඉතාමත්ම කුඩා කාලයේ සිටය. අප ගම නමින් හැදින්වූ යටඳොලවත්තට අනුරාධපුරයේ සිට දුම්රියෙන් එද්දී දකුණු කළුතර දුම්රිය පළට සේන්දුවන හැම අවස්ථාවකම කළු ගඟ දෙස බලා මම සතුටු වූයෙමි.

ඉන් පසු කළු ගඟ පිළිබඳව වූ මගේ මතකය අලුත්වූයේ 80 දශකය අග භාගයේදී පමණ රෑපවාහිනියේ විකාශනය වූ " කඩුල්ල" ටෙලි නාට්ය නරඹද්දීය. මා එය හා බද්ධ වූයේ ඉතාමත්ම තදිනි. කරන්නාගොඩ රාළහාමි, මනුවෙල් උන්නැහේ හා කුරැස මුදලාලී මගේම නෑදෑයන් සේ මට දැනුණි. මම කළු ගඟේ ඔවුන් සමඟ පිනුම් ගැසුවෙමි.

ඒත් මා අද ඔබට කියන්නට සැරසෙන්නේ මා කුඩා අවධියේ ගමේ ගිය තොරතුරැවත් කඩුල්ල ටෙලි නාටකය පිළිබඳවත් නොවේ. ඊටත් වඩා මගේ හදවත කළු ගඟට බද්ධ කළ මගේ හදවත සොරාගත් සාහිත්ය ගෙත්තමක් පිළිබඳවයි.

එනම් සාදිරිස්ලාගේ,තන්ඩලේගේ,පැණිගල අයියාගේ,ගෝවින්නගේ,පාරැ සයිමාගේ හා කුමතේරිස්ගේ දිවි ගමන පිළිබඳව වූ වෘතාන්තය ගැනයි.

ඒ ඈත අතීතයේ පාරැවෙන් කළු ගඟ ජය ගත් ඔවුන්ගේ සුසුම් වැල් මට අදද දැනෙයි. ඔවුන්ගේ ජීවන සුවඳ දැනුත් දසත හමනවා වැනියි.

පාරැ ජීවිතය පිළිබඳ මා එතරම් දැන නොසිටියෙමි. ඒ මට ඒ ගැන අත්දැකීමක් ලැබීමට වටපිටාවක් හෝ අවස්ථාවක් නොලැබුණු නිසාය. ඒත් පහුගිය සති කිහිපයේ මා ජීවත් වූයේ තන්ඩලේගේ පාරැවේ ඔවුන් සමඟ කළුගඟේ යාත්රා කරමිනි. 

අටුවා ටික අවශ්ය නැත. මා මේ කියන්නට සැරසෙන්නේ ප්රවීණ ලේඛක නෝබට් අයගමගේ සූරීන්ගේ සම්මානනීය නව කතාව වන "කාල නදී ගලා බසී " කෘතිය පිළිබඳවයි. මම එය ගිය සතියේ කියවා නිම කළෙමි.

එතුමා ප්රවේශයේ ලියූ මේ වදන් වැලින්ම මා කෘතියට පෙම් බැඳීම ඇරඹුවෙමි. 

" එකම ගඟට දෙවරක් බැසිය නොහැකියයි කියමනක් තිබේ. එසේය. ගඟ සෑම නිමේෂයක් පාසාම වෙනස් වන්නේය. ගඟ දිය අලුත් වන්නේය."

" ගඟ දිය මත යාත්රා කරන්නෝද එසේමය. වරෙක කෝපයෙන් වියරැ වැටෙති. වරෙක ප්රේමයෙන් ආතුර වෙති. තම සාම්ප්රදායික ජල යාත්රාව මත තම මුළු ජීවිත කාලයම ගෙවා දමන ඔව්හු, හැමදාමත් අලුත් ගම් බිම් දකිති. අලුත් මිනිසුන් ඇසුරැ කරති."

" ලෝකය වෙනස්වන අයුරැ මුලින්ම දකින්නේ ඔවුහුය." 
( පිටුව 9)

සුදු අධිරාජ්යවාදීන්ගේ රබර් වැවිල්ලෙන් ඇරඹෙන කතාව සාදිරිස් නම් කොලු ගැටයකු වටා ගෙතී අපූරැවට දිව යයි. මව් අහිමි පිය සෙනෙහසින් දුරස්වූ සාදිරිස් තම පුංචි අම්මාගෙන්ද සහනයක් නොලැබීය. මව්ගේ මරණින් පසු තම පියා හා දීඝ කෑ මව්ගේ නැඟෙනිය වූ පුංචි අම්මාට වහ වැටුණු ගමේ චණ්ඩියාවූ ගවරාගෙන්ද සාදිරිස්ට නිවනක් නොවීය. ඔහුට තිබි එකම සැනසුම වූයේ තමන්ට වඩා වසර කිහිපයකින් වැඩිමහලු මැගිලින් අක්කාගේ සෙනහස, ආදරය පමණි.

දිනෙක සාදිරිස්ගේ ඉවසීමේ සීමාව අවසන් විය. ගවරාට ජීවිත කාලයටම පාඩමක් උගන්වා ගමෙන් පැන ගිය ඔහු නතර වූයේ තන්ඩලේගේ පාරැවේය.

එතැන් පටන් දිවෙන සාදිරිස්ගේ අන්දරය ත්රාසය,භීතිය,කුතුහලය හා ප්රේමයෙන් සන්නද්ධව දිගටම ගලා යන්නේ කළු ගඟටත් වඩා වේගයෙනි. විටෙක චණ්ඩ වී ඉවුරැ පොඩි කරමින් ගලා ගිය එය තවත් වරෙක ඉවුරටත් නොදැනී ගලා බසිනා පුංචි දිය පාරක් වුණි.

එක පිටුවක් කියවූ විට අනෙක් පිටුව කියවා නිමකිරීම සහ එක ඡේදයක් කියවූ විට අනෙක් ඡේදයත් කියවීමට අප පොළඹවන කුමක්දෝ රසයක් පොත පුරාවටම පැතිරී තිබිණි. සිත් ගන්නා වාග් මාලාවත් නැවුම් උපමා උපමේයත් මෙම ඇබ්බැහි වීමට පිටුවහලක් වූ බව මගේ හැගීමයි.

සාදිරිස්ට පෙම් බැඳි තරැනියෝ දෙදෙනකු වූහ. එකියක ඉතා ධනවත් පවුලක එකම දියණිය වූ අතර ඇයගේ ජීවිතය කළු ගඟට බිලි වීමට නොදී බේරා ගැනීමට සාදිරිස් සමත්විය. සාදිරිස් ඇයව දුටුවේ සුපිපි දෝතළු මලක් විලසිනි.

අනෙක් තරැණිය දිළිඳු පවුලක එකියක වූ අතර ඇයගේ සිනහව පිරි මුහුණ වර්ණනා කිරීමට කතුවරයා යොදාගත්තේ බෝ පත්රයයි. 

චිත්ත රෑප මවමින් අපව ඒ පරිසර වල ජීවත් කරවීමටත් ඒ ඒ පුද්ගලයන්ව හොඳින් හඳුනා ගැනීමටත් නෝබට් අයගමගේ සූරීන් සමත්ව තිබුණේ ඉතාමත්ම විශිෂ්ට අයුරිනි.

එතුමා යොදාගෙන තිබූ උපමා උපමේයන්ගේ තිබුණේ අති නැවුම් බවකි.

" මෙය නම් 'ජෝන් බාස්' පමණක් නොව ජෝන් බාස්ගේ බාප්පාද ගස් යන වැඩකි"
(පිටුව 232)

" නාගස ළපලු දළුපත් මඟින් පවන් සැලුවේය. හීතල පිනි අහුරැ උණුසුම් කොපුල්තල තෙත මාත්තු කරමින් ඇද හැළුණේය.යුවතියගේ පිටේ ඇතිල්ලෙමින් තිබුණු හීන් බට පඳුරේ රිකිල්ලක් ඔහුගේ දෑත්ලට හිරවී තැලී මිරිකී ගියේය."

" දෙවියන්ගේ රාත්රියේදී ඇය එකම එක නිමේෂයක් තුළ දෙවියන් හැබැහින් දුටුවාය. දේවදාසිය සිහින් කෙඳිරියක් නැඟුවේ ඒ මොහොතේය."
( පිටුව 234)

මේ ඒ අවස්ථාවේ ප්රේමය හා ප්රේම ආලින්ඝනයත් , එය අවසන ලැබූ සුරතාන්තයත් එතුමා විස්තර කළ අයුරැයි. කෙතරම් නම් ලස්සනද? විනීතද?

" අපි ගින්දර කෑවොත් පුතේ , වමාරන්න වෙන්නේ අඟුරැ"
( පිටුව 234) මේ තන්ඩලේ සාදිරීස්ට අනතුරැ හැඟවූ ආකාරයයි.

" දෝතළු ඇල්ල ආවේශ වූවා සේය. අකීකරැ දිය පහර, දෙගල්දොරැ අතරින් රිංගා යමින් දෙපස නෙරැ කිති කවමින් දොරැ දෑලේ වැඩුණු දියහවරියා පඳුරැ පීරා යමින් ගලා ගියේය. එය වරෙක ප්රචණ්ඩකාරී විය. වරෙක මෘදු මන්ද රිද්මයක් ගත්තේය. වරෙක සුමට, ලිස්සනසුලු පාෂාණ නිම්න තලාවේ ලැසි ලෙස ඇතිල්ලෙමින් ගලා බැස්සේය. මෙලෙස බොහෝ වේලාවක් ගතව ගියේය. ඇල්ලට ඉස්පාසුවක් තිබුණේම නැත.
( පිටුව 309)

ප්රේමයෙන් ආතුරවූ දෙදෙනකුගේ සම්භෝගය, රමණය විස්තර කරන්නට එතුමා දෝතළු ඇල්ලේ චරියාව යොදා ගත්තේ එසේය. 

ඉන්පසුව එතුමා පවසන මේ වදන් කෙතරම් නම් සුන්දරද? නිර්මාණශීලීද? චිත්ත රෑප මැවෙනවා නොවේද?

" අහසේ සිනිඳු වලා සේද සේලයක් එහෙට මෙහෙට වී තිබුණේය. එහෙත් , අහසට ඒ ගැන නිනව්වක්වත්, ගනිච්චියක්වත් නොවීය.එය එකලස් කර ගන්නටද සිතුවේ නැත. නිරැවත් අහසට තවත් සඟවා ගන්නට හෝ රැක ගන්නට දෙයක් නොවීය."
(පිටුව 310)

කෙතරම් නම් අපූරැවට ඒ සිද්ධවූ සංසිද්ධිය අප අවට පරිසරයම යොදා ගනිමින් එතුමා අප වෙත ගෙනා අයුරැ ප්රශංසා සහගතය.

පරම්පරා ගණනක් පුරා පැවත එන වෛරයක් සමඟම වස්තුවකට ඇති තණ්හාව නිසා නැතිවන මිනිස් ජීවිත වලින් අපට ගෙන එන පාඩම තණ්හාවේ ආදිනව කියාපාන කැඩපතක් පරිද්දෙන් මුළු කතාව පුරාම දිස්නේ දෙයි.

විදේශීය ආක්රමණත් සමඟම රටේ ඇතිවූ දේශපාලනික, ආර්ථික හා සංසකෘතික පරිණාමය එතුමා විස්තර කරන ආකාරය ඉතාමත්ම අපූරැය. 

සමස්තයක් වශයෙන් ගත් කළ ඉතාමත්ම සාර්ථකව බස හැසිරවූ නවකතාවක් බව මගේ හැගීමයි. මා ඉතාමත්ම ආශාවෙන් , එයටම බද්ධ වී හා එහිම ජීවත් වෙමින් කියවූ නව කතාවක් බවද නොකියාම බැරිය.

මෙවැනි සාරවත් නව කතාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් නෝබට් අයගමගේ සූරීන්ට මගේ ප්රණාමය පුදකරන අතර මෙවැනි නිර්මාණ තව තවත් බිහිකිරීමට අවශ්ය ශක්තිය, ධෛර්ය, හිතේ නිදහස හා නිරෝගි සුව එතුමාට නිරතුරැවම ලැබේවායී ප්රාර්ථනා කරමින් මගේ සටහන අවසන් කරමි.

-චන්දන ගුණසේකර-

Tuesday 10 March 2015

පාපෝච්චාරණය........


සීගිරි කැටපත් පවුර කොණ්ඩ කටුවෙන් සීරෑ වරඳට සිරගත කළ යුවතියගේ පාපෝච්චාරණය......

අනේ මහතුනි මගේ කරැමෙට රෑමතිය වී ඉපැදුනා
වනේ පළ වැල සොයා යනවිට නිරිඳු නෙතු අග රැඳවුනා
දිනේ මතකයි බලෙන් ගෙනආ කඳුළු ඇති තුරැ වැලැපුණා
හෙනේ ගෙනදුන් මගේ ඉඟ සුඟ පවුර මත්තෙහි බැබලුණා

වසර සිය ගණනකට පසුවුව පෙර බවය මට සිහිවුණා
එදා දැනි ඒ විලි බියම මට තවත් වැඩිවී ඇතිවුණා
ලොවම දකිනා මගේ පියයුරැ වැසීමට මා පෙලැබුණා
කියන් සකිසඳ කවුද නිවැරදි සිරගෙයට මා දැක්කුනා

-චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Saturday 7 March 2015

යටඳොලවත්ත 6 - මඟුල් ගෙදර.....



එවර අප නිවාඩුවට ලොකු ලොකු අම්මලාගේ නිවසට යන විට අපේ අම්මා වෙනදාට වඩා බොහෝ උනන්දුවෙන් ඇඳුම් කට්ටල සකසා ගනු දක්නට ලැබිණි. එය යම් වෙනසක් වුවත් මා එය හාරඅවුස්සන්නට නොගියෙමි.

සුපුරැදු පරිදි දිඟු දුම්රිය හා බස් ගමන්වලින් අනතුරැව හෙම්බත්වී සිටි අප ලොකු ලොකු අම්මලාගේ නිවසට ළඟා වූයේ දවසේ වැඩ බොහෝදුරට නිමා කළ හිරැ, ගේ ඉදිරිපිට තිබූ රබර් ගස් පිරි විසල් කන්ඳට මුවාවෙමින් සිටියදීය.

එහෙත් ලොකු අම්මලාගේ නිවසේ වැඩනම් අහවර වී නැති හැඩක් තිබූ කලබලකාරී පරිසරය නිසා අපට දුරටම පෙනුණි.

තැනෙක පොල් අත්තක් බැඳගත් අයෙකු මකුළුදැල් කැඩුවේය. තවෙකෙකු අතේ වූයේ තීන්ත බුරැසුවකි. ඔහු ඉහින් කණින් තීන්ත නාගෙන තවත් කිහිපදෙනෙකු සමඟ බිත්තිවල අළුත් තීන්ත ආලේපයේ යෙදිණි.

තවත් කිහිප දෙනෙකු වත්ත පිටිය ශුද්ධ කරනු දක්නට ලැබිණි. 

පාරේ සිට ගෙවත්තට ගොඩවූ ගල් පඩි පෙළ වෙනුවට ලස්සන වෙට්ටුවක් දමා කිතුල් ගස අබියසින් නිවසේ පෝටිකෝව දක්වාම දිවෙන අළුත් පාරක් කපා තිබිණි.

බිත්තිවල ගෑ නව තීන්ත සුවඳ පරයා කුස්සිය දෙසින් හමනා කැවුම් කොකිස් වල සුවඳින් මගේ නාසය පිරී ගියේය.

නංගිලාටත් මටත් වූයේ කුතුහලයකි. අම්මලාට ඒ ගැන වගේ වගක් ඇති බවක් පෙනෙන්නට නොතිබිණි. මාමද පෙනෙන්නට නොසිටියේය. මේ අගෝස්තුව නිසා අවුරැද්ද වන්නටත් බැරිය. අපට වූයේ උභතෝකෝටික ප්රශ්නයකි. බැරිම තැන තාත්තාට කිට්ටු වූ මම මේ වෙනස කුමක්දැයි විමසා සිටියෙමි.

ලොකු ලොකු අම්මාගේ දුවක විවාහ වෙන්නට යනවා යැයි තාත්තා මා සමඟ පැවසීය. අපව වඩාගෙන තරගයට පින්වලට දිව් චූටි අක්කා ඇය විය. ජීවිතයේ කවරමදාකවත් විවාහ උත්සවයකට සහභාගී වී නොසිටි මම මේ දකින්නට ලැබෙන අරැමය නිසා සතුටුවූවත් චූටි අක්කා අපෙන් ඈත්වී අප නොහදුනන අයියා කෙනෙකු සමඟ යනවානේදෝයි ඇතිවූ සංකාවෙන්ද පීඩා විඳිමින් දෙලොවක් අතර සිරවී සිටියෙමි.

මේ දිනවල ලොකු ලොකු අම්මාට හා මාමාට බොහෝ වැඩ තිබිණි. අප සමඟ කතා බහටවත් වෙලාවක් ඔවුනට නොවීය. අපේ අම්මා හා තාත්තාද තව පැමිණ සිටි නෑදෑයෝද අළුත් දොර ජනෙල් වලට තිර දැමීම, ලීබඩු ශුද්ධ පවිත්ර කිරීම ආදී කටයුතු වල නිරතවූ අතර මා පොළොවට පොලිෂ් ගා මැඳීමේ කාරියට සහය විමි. එමෙන්ම තාත්තාගේ හා තව නැදෑ අයියලාගේ සපත්තු පොලිෂ් කිරීම වැනි වැඩද මට පැවරිණි.

මම චූටි අක්කාව දැක්කේ කිහිප සැරයකි. අප දුක් වූවත් ඇයගේ මුහුණනම් සතුටින් පිම්බී පාට වැටී තිබිණි. මඟුල් දිනය ළංවන විට මුහුණ තව තවත් එළිය වූයේ හුළං ගසන්නට ගසන්නට එළිය විහිදමින් ආලෝකමත් වන පෙට්රල් මැක්සයේ මැන්ටලය මෙනි.

මඟුල්දාට පෙරදා හැන්දෑවේ සිටම සාලේ ගොක්කොළ, පොල් කොළ හා මල් ගස්වල කොළ ආදිය සමඟ ඔට්ටුවන පිරිසකි. තාත්තාද ඔවුන් ළඟට කිට්ටු වී අදාළ බීමවර්ගයන්ගෙන් ඔවුන්ට උත්තේජනයක් සපයමින් තෙමේද විනෝද වෙමින් සිටියේය. මම තාත්තාගෙන් මේ හදන්නේ කුමක්දැයි ඇසූවිට මඟුල් පෝරැව යැයි කියූවත් එහි හරි අරැත සහ එය කුමක් සඳහාදැයි හරියටම තේරැණේ පහුවෙනිදාය.

තව පිරිසක් සමඟ එකතුවූ මාමා මිදුලේ ලස්සන මඩුවක් සදමින් සිටියේය. එහි සැරසිලි කොට විශාල මේසයක් හා ඒ වටා පුටුද තැබිණි.

කුස්සියට යාබදවද එවැනිම කුඩා මඩුවක් ඉදිවී තිබිණි. එහි බැඳි විශාල ලිප් මත මහා ලොකු කල්දේරම් තබා ගැහැණු පිරිමි කිහිප දෙනෙකුම කෑම ඉවීම පටන් ගත්තේ රාත්රී නමයට පමණය. මේ අසිරි බලමින් එහේ මෙහේ ඇවිදිමින් සිටි මා නින්දට ගියේ අම්මා මට සැරවූ විටය. එතකම්ම මේ සිදුවන අරැමයන්ගෙන් මත්වී සිටි මට නිදි මතක් දැනුණේම නැත.

එදින උදේම නැඟිටගත් අප සැවොම ලහි ලහියේ අලුත්ම හොඳ ඇඳුම් වලින් සැරසුණෙමු. අම්මා අපට අළුත් ඇඳුම් කට්ටල ගෙනා හේතුව මට වැටහුණේ එවිටය.

උදේ සිටම අප මෙන්ම හොඳින් ඇඳ පැළඳ ගත් නෑදෑපිරිස් එකා දෙන්නා නිවසට ඇදෙනු දක්නට ලැබිණි. අපේ මාමාද සුදෝසුදු ජාතික ඇඳුම් කට්ටලයකින් සැරසී කිරි කොකෙකු මෙන් එහේ මෙහෙ උජාරැවට යමින් වැඩ කටයුතු පිළිබඳව සොයු බලමින් පසුවිය. ඒ අතර ජැන්ඩියට කළු කෝට් බෑයක් දමා කළු කුඩයක්ද රැගෙන නිවසට ගොඩවූ යමෙකු හදිසියේ මා නෙතු ගැටුණි. ඔහුගේ මුහුණේ තම බලාපොරොත්තු ඉටුවූ ජයග්රාහී සහ තෘප්තිමත් සිනහවක් රැදී තිබිණි. ඔහුනම් වෙන කිසිවෙකුත් නොව අප කපු සීයා නමින් හැදින්වූ කපු උන්නැහේය.

ඔහු පැමිණ පෝරැවත්, මඟුල් මඩුවත් දෙස බලා පැමිණ සිටි පිරිස් සමඟ සතුටු සාමීචියේ යෙදෙනු දක්නට ලැබිණි. 

මම හැමතැනම දුවමින් චූටි අක්කාව සොයන්නට විමි. ඈ පෙනෙන්නට නොසිටියාය. ඇයගේ කාමරයේ දොර වසා තිබුණු අතර ගැහැණු උදවිය එයට යනු එනු දක්නට ලැබිණි. මා දොර දෙස බලා සිටිනු දුටු මා නැඟෙණියද මා වෙත මුහුණ ඇඳ කොට ඔලොක්කු සිනහවක් පා ඒ කාමරය තුළට ඇදුනාය. මට ඇතිවූ කුතුහලය නිම් හිම් නැතිවිය. 

හිමින් සීරැවේම ගේ පිටුපසින් ඒ කාමරය දෙසට ඇදුණු මා කාමරයේ ජනේලය හැර තිබෙනු දුටුවෙමි. වහාම ඊට කිට්ටු වී කාමරයට කරපෙවූ විට කණ්ණාඩි මේසය ඉදිරිපිට වාඩිවී සිටින මා පොත්වල දැක තිබූ සුරංගනාවියක් දක්නට ලැබිණි. සිනිදු සුමුදු වේලයකින් ඇයගේ හිස සහ මුහුණින් අඩක් වැසී තිබිණි. කාන්තාවක් ඇයගේ හිස කෙස් සකසමින් සිටියාය. ලොකු ලොකු අම්මා, පොඩි ලොකු අම්මා සහ අපේ අම්මා මේ සුරංගනාවිය දෙස ආදරයෙන් බලා සිටියහ. පොඩි ලොකු අම්මා යනු අපේ අම්මාගේ දෙවැනි අක්කාය. අනෙක් අක්කලාත් කාමරයේ සිටි නමුත් චූටි අක්කා පෙනෙන්නට සිටියේ නැත.

කෙසේ හෝ එතැන වැඩි වේලාවක් බලා සිටීමට මට නොහැකි වූයේ අම්මා මා අමතනු කණ වැකුණු හෙයිනි.

වෙලාව මෙසේ ටික ටික ගතවිය. හදිසියේම කාර් කිහිපයක් පැමිණ ගේ ඉදිරිපිට නවතනු හඬ ඇසී මා නංගී සමඟ ගේ ඉදිරිපිටට දිව ගියෙමි. එකෙණෙහිම කං අඩි පුපුරැවා යන හඬින් මහා රතිඤ්ඤා වැලක් පුපුරා ගියේය. වාහන වලින් බට පිරිස් මහත් උජාරැ ලීලාවෙන් ගේ දෙසට ඇවිද ආහ. ලොකු ලොකු අම්මා සහ කැම්පස් කොල්ලා( ලොකු ලොකු අම්මාගේ පුතා) ඇතුළු නෑදෑ පිරිස පැමිණි උදවියට ආචාර කරමින් පිළිගෙන අසුන්ද පැනවූහ. කපු සීයාද තමන්ගේ නැතිවූ ඥාතියෙකු හෝ මිතුරකු හදිසියේම හමුවූවාක් වැනි ප්රීතියෙන් පැමිණි පිරිස අතරට වදිනු දුටු මට කපු සීයා නාදුනන කෙනෙකු නැතැයි සිතිණි.

පැමිණ පිරිස අතර ජැංඩි පහට සැරසී සිටි තරැණ ඉලංදාරියා මනමාලයා බැව් මා දැනගත්තේ පෝරැවට නැංගේ ඔහු නිසාවෙනි. 

අපේ මාමා අර මා කාමරයේ දුටු සුරංගනාවියව අතින් අල්ලාගෙන කැදවාගෙන විත් පෝරැවේ වම්පසින් මනමාලයත් සමඟම පෝරැව මතට නැග්ගවීය. පෝරැව වටා රැස්ව සිටි පිරිස මැදින් රිංගා ලගටම ගිය මට සුරංගනාවියගේ මුහුණ පැහැදිලිවම පෙනුණි. ඇය මා දෙස බලා ආදරයෙන් සිනහසුණාය. 

සිනහව ඉතාමත්ම හුරැ සිනහවකි. මා නැවතත් ඈ දෙස තවත් උනන්දුවෙන් බැලුවෙමි. ඒ උදේ සිටම පෙනෙන්නට නොසිටිය චූටි අක්කා බැව් වැටහුණේ එවිටය.

පෝරැවේ පැයක් පමණ ඔවුන් සිටුවා වයසක ආතා කෙනෙකු පිරිත් හා අෂ්ටකද (ඒ කියු දේ වලට කියන්නේ අෂ්ටක බැව් පසුව අම්මාගෙන් මා අසා ගතිමි) ඊට පසුව තවත් දැරිවියන් කිහිප දෙනෙකු ජයමංගල ගාථාද සජ්ගායනයෙන් අනතුරැව තවත් චාරිත්රවාරිත්ර කිහිපයක්ම සිදු කළත් මට ඒවා හොඳින් නොපෙනුණි. 
එහෙත් ඔවුන් පෝරැවෙන් බිමට බහිද්දීම රෙදි මාමා( ලොකු ලොකු අම්මලාගේ ගෙදරට ආ ගිය රෙදි අපුල්ලන ඩෝබිට අප කිව්වේ රෙදි මාමා කියාය) දුන් කැති පහරින් දෙකට බිඳී ගිය පොල් ගෙඩියේ හඬින්නම් මම මඳක් තැති ගතිමි.

ඉන්පසුව කෑමබීම හා සතුටු සාමීචි කතාද ඉන්පසුව දිවා භෝජනයද පිළිගැන්විණි. කෑමෙන් පසුව නෑදෑ දෙපාර්ශවය වෙනුවෙන්ම කිහිප දෙනෙකු කතා පැවැත්වූහ. 

සියල්ල අවසානයේ චූටි අක්කා අප නාදුනන ඒ මනමාලයා සමඟ යන මොහොත උදාවිය. මට ඇතිවූයේ මහත්ම වූ දුකකි. ලොකු ලොකු අම්මාගේ,මාමාගේ හා අපේ අම්මාගේ කඳුළු පිරි දෙනෙත් දුටු මට සිතේ තදකරන් සිටි දුක් කන්දරාව තවත් සඟවාගෙන සිටීමට නොහැකි බව හැඟුණි.

සැමගේම සතුටු කඳුළු මැද චූටි අක්කා පිටත්ව ගියාය. මහා කුණාටුවකට පසු පාළුවී හේබා ගිය උයන් තෙරක් සේ සැමතැනම දිස්විය. 

රාත්රියට හරියට ආහාරයක් වත් නොගත් අප තම තමන්ගේ ඇඳන් වලට වැටුණේ වෙනදාට වඩා බොහොම කලිනි.

රාත්රියේ ලොකු ලොකු අම්මාගේ කාමරයෙන් ඇසුණු ඇයගේ සුසුම් එවෙලේ ගස් අඹරමින් හැමු වැහි සුළඟේ හඬ පරයා මට ඇසිණි.

තව කොටසක් ලබන සතියේ....


පළමුවන කොටස https://www.facebook.com/chandana.gunasekera/posts/10205699402714803:0

දෙවන කොටස https://www.facebook.com/chandana.gunasekera/posts/10205760375399082:1

තෙවන කොටස https://www.facebook.com/chandana.gunasekera/posts/10205808428520380:1

හතරවන කොටස https://www.facebook.com/chandana.gunasekera/posts/10205859610119888:1

පස්වන කොටස https://www.facebook.com/chandana.gunasekera/posts/10205915955488487:0

-චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය