ඒ අසූව දශකයේ මුල් බාගයයි. අප නිවසේ සිට හූවක දූරින් පිහිටි මා ගිය පාසල වූ අනුරාධපුර ශාන්ත ජෝශප් විදුහලට මම ආවේ ගියේ පයින්මය. මෙසේ එන යන අතරතුර කිහිප දිනක්ම මගේ ඉදරියට හමුවූ අමුත්තකු පිළිබඳ මගේ අවධානය යොමු වූයේ නිරායාසයෙනි. එයට හේතුව වූයේ ඔහුගේ අපූරැ පෙනුමයි.
කෙට්ටු උස පුද්ගලයෙකු වූ ඔහු කොණ්ඩය දිගට වවා තිබිණි. බෙල් බොටම් වර්ගයේ කලිසමක් හා සාමාන්ය තාලේ කමිසයකින් සැරසීවුන් හෙතෙම පැළඳ සිටියේ පාවහන්ය. සමහර දිනවල වයලීනයක්ද දෑතේ විය. ඔහු තමන්ගේ පාඩුවේ තනිවම පයින්ම ගමන් කරමින් උන්නේය.
මම ඒ දිනවල ඔහු කවූදැයි දැන නොසිටියත් ඒ වෙන කවුරැවත් නොව ලොවක් වටිනා සංගීතවේදී හා මහා ගායක එමෙන්ම මේ සැමටත් වඩා මානව හිතවාදී විශාරද ගුණදාස කපුගේ සූරීන් බැව් දැන ගත්තේ තාත්තාගෙනි.
ප්රේමකීර්ති ද අල්විස් සූරීන් හා ස්වර්ණ ශ්රී බංඩාරයන් වැනි මහා දෑවැන්තයන් තම දඩුවම් මාරැ හැරවුම් ලක්ෂ කරගත් රජරට සේවය මහා ඉහළින් වැජඹුණු ඒ යුගයේ රජරට සේවයේ සංගීත අංශයේ සිටියේ කපුගේ සූරීන්ය. පාසල නිමවී ගෙදර එමින් වුන් මට හමූයේ එතුමා රජරට සේවයට සේවය සඳහා යද්දීය.
මේ මහා පුරැෂයන්ගේ ආනුභාවයෙන් වැජඹුණු රජරට සේවය කලා කෙතක් විය. එයින් බොහෝ අස්වනු දැයට ලැබිණි. සංගීතවේදී නාලක අංජන කුමාර, ගායනවේදී කරැණාරත්න දිවුල්ගනේ, ජානක වික්රමසිංහ හා ක්රිශාන්ත එරන්දක යන කලාකරැවන් ඉන් කිහිප දෙනෙකු පමණි. ඒ ස්වර්ණම යුගයේ බොහෝ වටිනා අමරණීය නිර්මාණද මේ උතුම් කලාකරැවන්ට පිංසිදු වන්නට අපට ලැබිණි. ඒ මට මුලින්ම එතුමා හමුවූ අවස්ථාවයි.
ඉන්පසු මට එතුමා දැක ගන්නට ලැබුණේ පේරාදෙණිය විශ්ව විද්යාලයේ ක්රීඩාගාරයේ යම් අරමුදක් උදෙසා සංවිධානය කර තිබූ එතුමාගේ ඒක පුද්ගල සංගීත ප්රසංගය වූ ' කම්පන' සඳහා ගී ගයන්නට පැමිණ වෙළේය. එතුමා එහි ගී ගයන්නට තඹ සතයක් හෝ අය කළේ නැත.
එහිදී එතුමා "දවසක් පැල නැති හේනේ" ගීතය ගයද්දී ඒ මහා විශාල රසික සමූහය මීයකට පිම්බාක් මෙන් කෙතරම් සන්සුන්ව නිශ්ශබ්දව සිටියාදැයි කියූවොත් එකෙකුගේ හද ගැහෙන රාවය ඊට පේළි දහයට පමණ එහා සිටින තවෙකෙකුට පවා පැහැදිලිව ඇසුණි. තම මව්වරැන්ගෙන් ඈත්ව හුදෙකලාවූ අපගේ ඇස්වලට ඉනූ කඳුලු කැට අඳුරේ අහස පුරා පැතිරැනු තරැ කැටමෙන් දිලිසුණි. හැමගේම සුසුම් පොදින් මද පවන් රැළි හමා ඇදිණි. ඒතරම් හැගුම්බරව ගැඹුරැ හඬකින් ඒ ගීතය එතුමන්ම හැර වෙන නම් කිසිවෙකුත් ගයනු මෙතුවකට මට නම් ඇසී නැත.
එමෙන්ම සරසවියේ මිතුරන් හා එක්ව කාන්සියට ගී ගයද්දී එතුමා ගැයූ ගීයක් අපට නොගයාම බැරිවිය . " නින්ද නැති රැයේ", " මං මුළාවී", දම් පාටින් ලා සඳ බැස යනවා " සහ " උන්මාද සිතුවම්" යන ගීත එහි අනිවාර්යයෙන්ම තිබිණි. හීනියට මධු විතතකින් සප්පායම් වී දෑස් පියාගෙන එතුමන්ගේ හඬට සමවැදුණු විට එය අපට සුයාමයක්ම විය.
එක්ටැම් ගේ චිත්රපටයේ තිබූ " උන්මාද සිතුවම්" ගීතය ඇසූ පළමු නිමේෂයේම මගේ හද තුළ තැන්පත් වුණි. එතුමාගේ හඬ පාළු හේනක කාන්සිය මකා නැගුණු වස්දඩු රාවයක් විය, වැව් තාවුල්ලක් පිස හමා ඇදුණු මදනලක් විය , බෝ කොළ වලින් නැගෙන සිලි සිළිය විය, බුදු මැඳුරක සජ්ගායනා වෙන පිරිතක් මෙන් සිත නිවාලීය.
නැවත වතාවක් පේරාදෙණිය ක්රීඩාගාරයේ එතුමා දුටුවේ නම් එතරම් ප්රසන්න අයුරකින් නොවේ. වෙනත් බොහෝ අව්යාජ සොඳුරැ කලාකරැවන් මෙන් එතුමන්ද මධුවිතට පෙම් බැන්දේය. එදානම් ගීත ගැයීමටත් පෙර එතුමාගේ සීමාව පැන තිබිණි. මත්පැන් බොන්නන් අතර එවැනි සීමාව නොපැන්නූ කෙනෙකු ඇද්දැයි විමසීම හරියට නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගෙන ඒමට කිව්වාක් වැනිය.
එදා එතුමාට හොඳින් ගීත ගයා ගැනීමට නොහැකි විය. මුව පුරා රඳවාගත් සිනහවෙන් යුක්තව ඒ මේ අත වැනෙමින් එතුමා වේදිකාවේ සිට ගෙන සිටියේද මහත් ආයාසයෙනි. එවෙලේ වේදිකාවේ උන් නන්දා මාලිනිය එතුමන්ව වත්තම් කරගෙන මෙන් වේදිකාවෙන් සමුගත්තාය.
එහෙත් ඒ දස දහස් ගණනක් වූ සරසවි සිසුන් එය විහිළුවට ගත්තේවත් හූ කියා කෑගැසුවේවත් නැත. කිසිදු හැලහොල්මනක් නොමැතිව එතුමාගේ හැම ඉරියව්වක්ම සාවධානව බලා වුන් ඔවූහූ කපුගේ සූරීන් හරියට ගීතයක්වත් ගායනාකර ගැනීමට අපොහොසත් වී වේදිකාවෙන් බැස යද්දී ලබා දුන්නේ මුළු ශාලාවම හෙල්ලී යන අන්දමේ මහා ඔල්වරසන් නාදයකි.
මම මේ කතාව සඳහන් කළේ එතූමාට අබමල් රේණුවක තරමින් හෝ අවමානයක් කිරීමට නොව එතුමා එවන් තත්වයක සිටිද්දී පවා රසික ප්රසාදයට හා ජනාදරයට පත්වූ අන්දම ඔබට ඒත්තු ගැන්වීමටය. ඒතරමටම එතුමා ජනතාවගේ හදවත් තුළ ජීවත් විය. ජනතාව එතුමාට ආදරය කළේ හා ගරැ කළේ එහෙයිනි.
මේ ආකාරයට වෙන අයෙකු වේදිකාවේ විකාරයක් කළේ නම් ඔහුට හෝ ඇයට විඳින්නට සිදුවන ඉරණම ඔබට විස්තර කරන්නට උවමනා නැතැයි සිතමි.
මට අවසාන වරට එතුමා මුණ ගැහුණේ මීට අවුරැදු පහළොවකට පමණ පෙර ලංඩනයේදීය. ලංඩනයේ ප්රසංගයක් සඳහා පැමිණ සිටි එතුමා මගේ මස්සිනාගේ නිවසට පැමිණි අවස්ථාවේ ලගින්ම සිට කතා බහ කරන්නට හා ගීත අසන්නට ලැබීම මේ ජීවිතයේ මා ලද උසස්ම භාග්යයක් සේ සලකමි.
අපත් සමග හීනියට මධුවිතකින් සප්පායම් වූ එතුමා සාලේ බිම වාඩිවී ගීත ගැයීම ඇරඹීය. එහෙන් මෙහෙන් සොයාගත් වාද්ය භාණ්ඩ වලින් එලෙසින්ම සොයාගත් යම් වාද්ය හැකියාවක් තිබූ වාද්ය ශිල්පීන් තාලය ඇල්ලූහ. මේ නිහතමානී විසල් මිනිසා ඒ වාදනයට අනුව ගී ගැයීය. වරක් තබ්ලාව ගැසූ මිතුරාට තබ්ලාව ගසා පෙන්වා ඒ ආකාරයට ගසන්නැයි ඉතා නිහතමානීව ඉල්ලා සිටියේය. එතුමාගේ ගීත කිහිපයක් ගයා ඉන්පසු වෙනත් ගායකයෙකුගේ ගීතයක් ගයමුයැයි කියා මර්වන් පෙරේරා මහතා ගැයු " මේ නගරය " ගීතය ගායනා කළේය. එතුමා එම ගීතය අවසාන කළේ ඉතාමත් නව ආරයකට උච්ච ස්වරයෙනි. මේ තුංග මිනිසා ඉදිරියේ වාඩිවී ලිලිපුට්ටන් සේ වුන් අපේ හද ගැහෙන රාවයට එතුමාගේ හදවතද ගැහුණේ එතුමා කෙතරම් නම් අව්යාජ, නිහතමානී හා ජනහිතකාමී මිනිසෙකුද යන වග ලොවටම හඬගා කියමිනි.
මෙලෙසම වරක් ලංඩනයට පැමිණි භාතිය හා සංතුෂ්ව අප නිවසටම ගෙන්වා ගෙන ඔවුන්ගෙන් එක සිංදුවක කොටසක් හෝ ගායනාකරවා ගත නොහැකිව මගේ ඇරයුමින් නිවසට රැස් කරවා ගත් මිතුරන් ඉදිරියේ ලැජ්ජාවූ අවස්ථාව කපූගේ නම්වූ උතුම් මිනිසාගේ මේ නිහතමානී හා ආදරණීය ගුණය ගැන සිතා අමතක කර දැමුවෙමි.
ඉන් පසු මට කවදාකවත් කපුගේ සූරීන් හමුවූයේ නැත. එක් පාළු සීතල බක් මහේ දිනෙක කණ වැකුණු ඒ මහා අවාසනාවන්ත පුවත මගේ හදවත දෙදරවාලීය. හඬන්නට නෙතු අග කඳුළු නොවිණි. ඒ ඒවා හදවතත් සමඟම ගල් වූ නියාවෙනි.
නොසිතූ මොහොතක නොසිතූ අයුරින් එතුමා අපගෙන් ඈතට යන්නටම ගොස් තිබිණි. ඉදිරියේදී කරන්නට බලාපොරොත්තුව උන් " ප්රකම්පන" නම් වූ ප්රසංගය රස විඳීමට අප කර තිබූ පින් මදි විය.
එතරම් අනුන් ගැන උණුවූ මානව හිතවාදියෙකු නම් මා දැන නොසිටියෙමි. වැටී සිටි දරිද්රතාවයෙන් මිදී ගෙයක් දොරක් සාදා ගන්නට කීයක් හෝ සොයා ගන්නට සන්ෆල්වර් සංගීත කණ්ඩායමේ සංගීතයට තම ගීත දන්දුන් එතුමා , සොයාගත් මුදල තවත් එවැනිම කලාකරැවකුගේ ලෙඩදුක් අබියස පුද දුනි. ඒ සුගතපාල ද සිල්වා නම් වූ සොඳූරැ ආඥාදායකයාගේ හදවත් සැත්කම වෙනුවෙනි.
එතුමා අපට අහිමිවූයේ එවන් කලාකරැවන් සිටිය යුතුම යුගයකය. ඒ හඬට අදටත් ආදේශකයක් නොමැත. ඒ සොඳුරැ තනු අදටත් අද්විතීයය. අද එතුමා ජීවත්ව සිටියානම් පසුගිය අගෝස්තුවට හැත්තෑවන වියට පාතබන්නට තිබිණි. තව තව නව නිර්මාණ බිහිවන්නටද ඉඩ තිබිණි. එහෙත් ඒ රැදුරැ මරැවා ඒ සියල්ලම අපට අහිමි කළේ ඉතා කුරිරැවය.
ආදරණීය කපුගේ, ඔබ ගැන ලියා අවසන් කළ නොහැක. එහෙත් අප යමක් ඇරඹුවහොත් එය අවසන් කළ යුතුමය. එහෙයින් මේ ලිපිය මම මෙසේ අවසන් කරමි.
ජනතාවාදී ,ජනහද දිනූ පොඩි මිනිසුන් සමඟ සිටි ඔබ මියගියද ඔබ තබා ගිය ගුණ සුවඳ සදා අමරණීයය. එය යුග යුග පාසා ජනතා හදවත් තුළ ජීවමානව රැඳී පවතිනු ඇත. මේ සසර කතරේ දිනෙක නැවත අප හමු වෙමු.
චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය.