කුඩා අවධියේ මගේ ළපටි සිත තුල ලැඟුම් ගත් චරිත අතර විශේෂ ස්ථානයක් මා මේ කියන්නට යන කථාවේ කථා නායක මහළු දර පලන්නාට හිමිවීම වැලැක් විය නොහැකි කරුණකි.
ඔහුටද සන්තකටම තිබු එකම ඇඳුම වුයේ කාකි කබායකි. මෙම කබායෙන් හා හම්පඩ ගැසුණු සරං කොටයකින් සැරසී පොරෝ කෙටියකින් සන්නද්ධ වන ඔහු උදෑසනම පාරක් පාරක් ගානේ දර පලන රැකියාව සොයා මෙහෙයුම ඇරඹුවේය. දර පලා ලැබෙන මුදලකින් දිවි ගැට ගසා ගත් ඔහුට හරියට ඉන්න හිටින්න තැනක් හෝ නෑයෙක් මල්ලෙකු සිටින වගක් කවුරුන් හෝ දැන සිටියේ නැත.
ඒ කාලයේ ගොන්නු දෙන්නා බැඳි දර කරත්ත ඉතා ඈත පිටිසර ගම්මාන වල සිට සිදාධියට වෙළදාම සඳහා ඒම ඉතාම සුලභ දර්ශනයක් විය. අපේ නිවස ඉදිරි පිට බොරළු පාරේද උදෑසන කාලයේ කරත්ත කීපයක්ම කිරි කිරි හඬ නගමින් ගාටනු අපට හොඳින් හුරු පුරුදු දසුණකි.
අපට දර අවශ්ය වූ විට උදෑසනම තාත්තා දර කරත්තයක් අප නිවස පිටුපස මිඳුල් කෑල්ලට බා ගනු ලැබුවේය. බොහෝ විට මෙම දර ගොඩ පලා ගැනීමේ කාරිය අප පැවරුවේ මා මේ කියන දර පලන්නාටය.
ඔහුගේ නමක් හෝ ගමක් අප කිසිවකු දැන සිටියේ නැත. එහෙත් එක් දෙයක් නම් මුළු නගරයේම වැසියෝ දැන සිටයෝය. එය නම් "පනම් අටා" නම් වූ ඔහුගේ අනවර්ත නාමයයි.
එහෙත් එම නමින් හැඳින්වීම ඔහු කෙතරම් පිළිකුල් කලාද යත් එම නම ඇසුණ විගස ඕනෑම කෙනෙකුට අමු තිත්ත කුණු හරුපයෙන් බැණ වැදීමට ඔහු කිසි විටෙකවත් පසුබට නොවූයේය. සෑම දිනෙකම පාහේ නොසන්ඩාල කොල්ලෙකු ඔහුට "පනම් අටා" යැයි කියා කෑ ගැසූ විට අම්මා මුත්තා මතක් කර බැණ වැදීමට ඔහු පෙලැබුනේය.මෙයින් තුටුවූ කොල්ලන් දිගින් දිගටම ඒ නම කියා කෑ ගැසීමට පුරුදුව සිටියෝය.
ඔහුට "පනම් අටා" කියූවේ මන්ද හා එයට ඔහු කිපුනේ මන්ද යන වග අප කිසිවෙකුත් දැන සිටියේ නැත.
දර ගොඩ පැලීම බාර ගත් පසු කාකි කබාය ගලවා අසල ගසක එල්ලන ඔහු සරමද කැහැපොට ගසා ගෙන දර පැලීම පටන් ගන්නේ ඇඟිලි තුඩින් පොරවේ මුවහත පිරිස්සා බැලීමෙන් අනතුරුවය. ගසන හැම පොරෝ පහරකටම පසුව "හහ්"යැයි හඩක් නිකුත් කිරීම ඔහුටම ආවේනික වූ අන්යයතාවයක් විය.
ඔහුගේ වැහැරී,හෙම්බත් වූ කැහැටු කකුල් දර ගොඩෙහිම වූ දර ඉපල් සේ දිස් විනි. පයින්ම ගාටා පාදයටම ඇලී ගිය අංඩදැමූ පාවහන් යුවලය සෑම විටකම ඔහුගේ දෙපා වල විය.
මද වේලාවක් දර කොටයක් සමඟ ඔට්ටුවන ඔහු මදකට විඩා නිවා ගැනුමට ඇනබා ගත් කල කහට කෝප්පයකින් සංග්රහ කිරීමට අපේ අම්මා වග බලා ගත්තාය. කහට කෝප්පයෙන් සප්පායන් වන ඔහු කණේ ගසා ගෙන ආ බීඩියක්ද දල්වා ගෙන නැවත වැඩ ඇරඹුවේ මුළදීට වඩා බොහෝම හිමිනි.
හිරු මුදුන් වී මද්දහන උදාවන තුරු දර පලන ඔහු දහවල් බත සඳහා වැඩ නතර කොට අපේ වත්ත පහල ළිඳෙන් මුණ කට සෝදා ගෙන දනට වඩින හිමි නමක් සේ අපේ කුස්සියට සේන්දු වී ඇනබා ගන්නේය. ඉන් පසු අම්මා බෙදා දෙන බත් පත දෑතින්ම පිළිගෙන හිරවී හිරවී කෑමට පටන් ගන්නා ඔහු හිමිහිට බත අහවර කලේ මහත් භක්තියකිනි.
ඔහු කෑම බුදින ආකාරයේද අපූරු සුන්දරත්වයක් විනි. අතින් බත් පිඟානේ පැත්තෙන් පැත්තට තල්ලු කරමින් කෑම කනු මා දැක තිබුනේ ඔහුගෙන්ම පමණි.
අම්මා දෙන වතුර වීදුරුවද උඟුරට දෙකට අහවර කොට කරාමයෙන් අත කට සෝදා ගෙන පිඟානද හෝදා කුස්සියෙන් තබන ඔහු බුලත් විටකයකින්ද සප්පායන් වීමට අමතක නොකලේය.
මින් පසු හිරු අවරට යන තෙක්ම දර පලා වෙනම ගොඩකට ගසන ඔහු දවසේ වැඩ නිම කොට පහල ලිදෙන් දිය නා නැවත පුරුදු සරමට හා කාකි කබායට බසින්නේ දවසේ ගතමනාව ලැබෙන තුරුය.
පැලූ දර ගොඩ විශාල කර පෙන්වීමට ඔහු අනුගමනය කරන උපක්රමයක් පසුව අපගේ අතටම හසු විය.ඒනම් පැලීමට දුෂ්කර කොට කැබලි පැලූ දර යටින් ඔබා ගොඩ වැඩි කර පෙන්නීමයි.
ඒ කෙසේ වෙතත් අම්මා හෝ තාත්තා ඔහුට කිසිත් නොකීවෝය. දවසේ ගතමනාව අම්මාගෙන් ලබාගත් ඔහු කොහේ හෝ රාත්රිය ගත කරන ස්ථානය බලා පිටව ගියේය.
මේ ආකාරයෙන් කාලය ගත වු අතර මගේ උසස් අධ්යාපනය සඳහා ගමින් පිටව වාසය කිරීමට මට සිදුවිය. මේ කාලයේ ඉගැනුම සඳහාම මාගේ අවධානය යොමු වු අතර දර පලන්නා පිළිබද මතකය මුළුමණින්ම පාහේ මසිතින් බැහැර විය.
අවුරුදු කීපයකට පසු ගම ආ මට හදිසියේම මෙන් අප දර පලන්නාව සිහි විය. අම්මාගෙන් ඔහු ගැන විමසූ මට සතුටුදායක ආරංචියක් නොලැබුනි. ඇගේ පිලිතුර වුයේ මාස කීපයකින් ඔහුව නොදුටූ බවයි.
කුතුහලය නිසාම මා නගරයේ දන්නා හදුනන කිහිප දෙනෙකු ගෙන්ද ඔහු ගැන විමසීමි. දින කීපයකට පසුව නගර සභාවේ සේවය කල මගේ මිතුරෙකුගෙන් ඒ දුක්බර පුවත මා හට දැන ගන්නට ලැබුනි.
එය නම් දින කීපයකට ඉහත දී ඔහුගේ දේහය පාළු ගොඩ නැගිල්ලක තිබී හමු වූ බවත් නගර සභාවේ වියදමින් එය මිහිදන් කල බවත්ය. ඔහුගේ මිනිය බාර ගැනීමට කිසිවකු නොසිටියත් ඔහුගේ පොරව ඒ වන විටත් අතුරුදහන්ව තිබු බව මගේ මිතුරා පැවසුවේ මුළු සමජය ගැනම කල කිරීමෙන් යුක්තවය.
අවසාන මොහොතේ හෝ ඔහුට කිසියම් උදව්වක් කල නොහැකි වීම ගැන මට මා ගැනම කලකිරීමක් ඇතිවිය.
ඔහුත් මාත් අතර කිසිම සම්බන්ධයක් නොතිබුනත් කාලයක් තිස්සේ ඔහු කල කී දෑ සහ කැහැටු වී ගිය ඔහුගේ මුහුණ සිහි වීමෙන් මාගේ දෑස් තෙත් වන බවක් මට හැඟුණි.
සමාජයට බරක් වී සැමටම කරදරයක් වන මිනිසුන් බහුල සමාජයක කාහටවත් වදයක් නොවී අවිහංසකව ජීවත් වූ ඔහු වන් මිනිසුන් නිතර දකින්නට නොමැති බව මට සිහි විනි.
ඔහුට මිනිසුන් "පනම් අටා" කියූවේ සහ එයින් ඔහු අධික ලෙස කෝප වී බැන අඬගැහුවේ ඇයිද යන්න අදටත් මට ගැටළුවකි.....
///ඔහුත් මාත් අතර කිසිම සම්බන්ධයක් නොතිබුනත් කාලයක් තිස්සේ ඔහු කල කී දෑ සහ කැහැටු වී ගිය ඔහුගේ මුහුණ සිහි වීමෙන් මාගේ දෑස් තෙත් වන බවක් මට හැඟුණි. /// මේ වගේ අපි අසරණ වෙන අවස්ථා වලදී තමයි දැනෙන්නේ අපේ ඇතුලේ ඉන්න සංවේධි මනුස්සය ගේ තරම ,, පව් එයා නේද ,, අහිංසක මිනිස්සුන්ට නම් හදන එක කොච්චර නරක දෙයක් වුනත් අපේ සමාජේ ඕක කරනවමනේ,,හොද ලිපියක්
ReplyDeleteස්තූතියි අපූර්වී ඔයාගේ ඇඟැයීමට! ඔව් ඇත්තටම පුංචි ළමයයි,සංවේදී මනුස්සයයි, යක්ෂයයි ආදී මේ සියළුම චරිත ඉන්නේ අපේ හදවතෙයි. වෙනස තියෙන්නේ එයාලා එලියට එන සහ හැසිරෙන ආකාරයේ සහ වෙලාවෙයි. එයාලා අපිට නතු නොවී අපි එයාලට නතු උනොත් අපේ අවසානය එතන තමයි. අපට පැවැත්මක් නැති වෙනවා... ඔබට ජය නඟේ!!!
Deleteඔහොම අන්වර්ථ නාම තියෙන අය ගොඩ දෙනෙක් ඒ කාලේ හිටියා මටත් මතකයි , ඒ නම හැදුනු විදිහ කවුරුවත් දන්නේ නෑ. හැබැයි ඒ නම කිව්වම තද වෙන බව හැමෝම දන්නවා. මාර වැඩක් තමයි එක.
ReplyDeleteඅනිත් කාරනාව තමයි ඒ වගේ මිනිහෙකුගේ පොරොව හොරකම් කරන්න තරම් මනසක් තියෙන එකෙක් ගැන හිතාගන්න බෑ ,
මට දැන් හිතෙනවා මලේ ඒ කලේ ලංකාවේ භාවිතා වුනේ පවුම් හා සිලිං නේ. පනං කියන්නේ පවුමට. මතකද අර කවිය. " මගේ පුතා හරි හපනා
Deleteදවසට කොළඹට යනවා
පනං හතක් පඩි කනවා
ඉන් පනමක් මට දෙනවා"
ඉතිං මිනිස්සු මෙයාගෙන් පවුම් අටටද දන්නෑ වැඩ ගත්තේ?
මැරැන අයගේ කණ් ඇඟිලි කපාගෙන යන කළේ රත්තරං ගන්න පොරොවට වැඩක් දෙන එක ටොයිස් වැඩක් අපේ අයියලට...
උඹට ජය වේවා!!
කාටවත් කරදරයක් නැති මනුස්සයෙක් නේද ? පොරව හොරකම් නොකලනම් තමා පුදුම වෙන්න ඕනා. පුදුම සමාජයක් මේක. සුනාමිය වෙලේ රත්‍රන් බඩුත් කොල්ල කෑවෙ...
ReplyDeleteඅපේ පැත්තෙත් ඔය වගේ මනුස්සයෙක් හිටියා. පොඩ්ඩක් විතර සිහි මද ගතියකුත් තිබුනා. එයාගෙන් වෙලාව කීයද කියලා ඇහුවොත් ඉඳලා හමාරයි.. කුණුහරුප වැලයි...
ඒක නම් ඇත්තම ඇත්ත සෙන්නා! ඒකම තමයි මම පවුලූෂා මලයටත් කිව්වේ..
Deleteගමක ඉන්නවා මේ වගේ ගොඩාක් සුන්දර මිනිස්සු. හරිම සරලයි. ඒ උණාට එදිනෙදා දකින චරිත වලට වඩා ගොඩාක් වෙනස්.
ReplyDeleteඔව් මේ වගේ තව අහිංසක මිනිහෙක් හිටියා. හැබැයි කම්මැලි ගහක්. මිනිහට තිබුන පිස්සුව තමයි නිළියෝ ඉන්න කැලැන්ඩර පිස්සුව. හැමදාම ඒවාමයි ඉල්ලන්නේ... දැං නම් පවු කියලා හිතෙනවා...
Deleteඅනේ මන්දා. මොකක් හරි පරණ කතාවකින් ආපු නමක් වෙන්න ඇති... මොනව වුණත් සමාජයට බරක් නො වී ජීවත් වුණු කෙනෙක් වගේ.
ReplyDeleteදිලිනි නංගී මම පව්ලූෂා මලයටත් කිව්වේ මට දැන් හිතෙනවා පනං කිව්වේ පවුම් වලට ඉස්සර. ඉතිං මිනිස්සු මෙයාගෙන් පවුම් අටකට වැඩ ගන්න කථා කලාද දන්නේ නෑ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඒ මිනිස්සු දුක් විඳලා දුටම හුරැ වෙලා. අව්ව වැස්සට පදං වෙලා. සමාජය මෙවැනි කොතරම් නම් අපූරැ චරිත වලින් පිරිලද?
Deleteගිය වර වගේම සංවේදී කථාවක්...මම මේ ලගදි රූපවාහිනී ආයතනයක වගකිව යුතු පුටුවක ඉන්න මිතුරෙක්ට යෝජනා කලා මේ වගේ සමාජයෙන් ගැරහුම් මිස පැසසුම් නොලබන...වැඩ කරන ජනතාව වෘත්තිය අනුව පෙළ ගස්වලා කල හැකි සජීවී වැඩසටහනක් පිළිබද ඔත්තුවක්....ඉදිරියේදී එය ක්‍රියාත්මක වුනොත් මේ වගේ මිනිසුන්ගෙ ලොවක් නොදුටු ලස්සන දකින්න හැකි වේවි....
ReplyDeleteඅපේ අම්මත් ඔබේ මෑණියන් වගේම තමයි...කලට වෙලාවට තේ එක, බත් එක වගේම වැඩේ එයාට සෑහීමකට පත්වෙන්න පුලුවන් විදියට නිම කරලා නම් වැඩිපුර ගානකුත් දෙනවා...
ඒක තමයි සිරා මලේ එය තමයි සිඳුවිය යුත්තේ.
Deleteඒ කාළේ කොච්චර සුන්දරද? මිනිස්සු මිනිස්සුන්ට කොච්චර ආදරේද? සීමිත අවශ්‍යයතාවයකින් සෑහිලා අනුන්ට ණය නොවී සතුටින් හා සහයෝගයෙන් හිටියා.
හිඟා කන්නේ නැතිව හොරකම් නොකර තමන්ගේ ශක්තියෙන් මැරෙනකම්ම ජීවිකාව සරි කර ගත්තු එකම වටිනවා
ReplyDeleteඒක තමයි මචං ඒ හරිම ලස්සන අව්‍යාජ මිනිස්සු. මට පුදුම ආදරයක් ඒ මිනිස්සු ගැන හිතද්දී ඇතිවෙන්නේ.
Deleteඔන්න ඔය සමාජ තීරුව තමයි හැමෝටම අමතක වෙන්නේ. ඒ අයට තමයි බොහෝවිට ලෝකය අකාරුණික වෙන්නේ. ඒ අය වෙනුවෙන් අපේ රටේ සමාජ ආරක්ෂණ වැඩ පිලිවලක් එදා තිබුනෙත් නැහැ. අදත් නැහැ. හෙට වෙන පාටක්වත් නැහැ. ඔය වගේ අයට තමන්ට හැකි විදිහට පෞද්ගලිකව උදව්වක් කරන එක තමයි වෙන්නේ. මගේ බිරිඳගේ අම්මා එවැනි දේ නිහඬව කරා. අපිත් ඒවා ඉගෙනගත්තා.
ReplyDeleteඒක නිරංජන් අයියේ අපේ සමාජයට වෙලා තියෙන්නේ. රටේ දුප්පත් කම් වැඩි වෙලා. මේ රටවල දවසෙම බියර ගහගෙන නන්නත්තාර වෙලා ඉන්න බුවාලටත් ආණ්ඩුවෙන් ගානක් හම්බ වෙනවා.
Deleteඋඹ හරි පුද්ගලිකව හරි අපි ටික ටික උදව් කරමු. උඹගේ ඒ කථාත් බලන්න මම ආසාවෙන් ඉන්නවා.
උඹට ජය!!
මේ කතාව ඉතා සරලව කියවිය හැකි ලෙසට ලියා ඇති ආකාරය කදිමයි.
ReplyDeleteඔබ කියා ඇති ආකාරයට කෑම කන මිනිසුන් දැක තිබෙනවා ගමේදී.
ඔවුන් බොහොම කඩිසරව තමන් කන කෑම කට අනාගෙන පිගාන අයිනක තබාගෙන ලොකු ඇගිලි හතරෙන් දෙතුන් වරක් වටේ තිබෙන දෑ පිටුපසට තල්ලු කරල තමයි බත් කට කන්නෙ.
මැරුණ අහිංසකයාගේ ආයුදයටත් කෙලින කාලකන්නි ඉන්න රටක් අපේ රට.
ස්තූතියි කෙන්ජි මලේ ඇඟැයීමට! වැඩ අධික කමින් පිළිතුරැ පමා වුනා. නත්තලට කෝච්චි වැහුව නිසා අපේ කොම්පැණියෙන් මගී පාළමක් සවි කරා දුම්රිය මාර්ග 6 ක් උඩින්.
Deleteපුදුම තුප්පහි සමාජයක් අප්පා මිනිස්සු මලමිනිත් විකුණගෙන කන තරම් පහත තත්වෙට වැටිලා ඉන්නේ
ReplyDeleteසමාවෙන්න පිළිතුරැ ප්‍රමාද උනාට කෝරළේ මහත්තයෝ මේ නත්තල් සමයේ අපේ රැකියාවේ වැඩ තවත් වැඩිවුනා.
Deleteඒ ගැන නම් කියලා වැඩක් නෑ. සුනාමි කාලේ අත් ඇඟිලි කපං ගිහිං තිබුනේ මුඳු හා ඔරලෝසු ගන්න. එහෙව් සමාජයක් මේක..
චන්දන,
ReplyDeleteපණං අටා මල්ලි මමත් දන්නව. 1977-80 කාලෙ විතර නිවාඩුවට ගෙදර ආහම ඔය පණං අටා දර පලනව මාත් බලා ඉඳල තියනව. දර කරත්ත තමයි අපිත් ගත්තෙ.කරත්තයක් බාගත්තම සතිදෙහෙකට තුනකට වගෙ ඇති. පණං අටා ඔය දර තොගේ දවසකින් පලල දානව.
පණම කියන්නෙ අටසිය අනූගණං නවසිය මුල කාලෙ එහෙම භාවිතා වෙච්චි මුදල් වර්ගයක්. පණම = සත 6 යි. එතකොට සත පණහ තමයි පණං අට. ඔය මනුස්සය සමහරවිට මුල් කාලෙ පණං අටක් ඉල්ලන්ට ඇති දර පැලීමේ ගාස්තුව හැටියට. කොල්ලො එහෙම නම දාන්ට ඇත්තෙ ඒ නිසා වෙන්න ඕන.
එක කාලයක් මිනිහ නුවර වැව ඉස්මත්තෙ පොඩි පැල් කොටයක් අටවගෙන හිටිය කියලත් මට මතකයක් තියනව. අපෙ මාම එක්ක මම නුවර වැවේ නාන්ට යනව තානායම පිටිපස්සෙන් වැව් බැම්මට ගොඩ වෙලා. එතකොට දවසක් මාම පෙන්නුව මතකයි දකුණු පැත්තෙ සියඹලා වගෙ ලොකු ගහක් යට පැලක් " අන්න අරකෙ තමයි පර පණං අටා ඉන්නෙ " කියල.
ස්තූතියි චන්දන අතීත මතකයන් යලි සිහිපත් කලාට.
ගොඩක් ස්තූතියි රවී අයියේ ඔබගේ ඇඟැයීමට! මුලින්ම සඳුන් සෙවනට මම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මට ගොඩක් සතුටුයි අනුරාධපුරයේ තවත් සෘර්දයෙකුගේ හමුවීම ගැන. ඒ සොඳුරැ අතීතයේ සැමරැම් තමයි අපව ජීවත් කරවන්නේ.
Deleteඔබ මගේ දමිළ සපත්තු මහන්නාගේ කථාව කියව්වොත් අනිවාර්‍යයෙන්ම ඔහුවත් දන්නවා ඇති.
පනම ගැන දැණුවත් කිරීමටත් බොහොම පිං! නැවත මේ පැත්තේ
එන ලෙස සුහඳ ආරාධනා......