Pages

Saturday, 24 October 2015

සොඳුරැ ආඥාදායකයා....


අද වප් මහේ විසි හතර වෙනිද. පළාතම මූසල කරගෙන අහසට මෝදුවෙලා තියෙන විසල් වැහි වලාකුලු වලින් හැමතැනකම තියෙන්නේ මහා පාළු අඳුරක්. චිරි චිරි වැස්සෙ තෙතමනය අඳුරටත් උරාගෙන වගෙයි. හිරැ එළියක් අහලකවත් නෑ. ස්වභාවධර්මයත් වැලපෙනවාදෝයි කියා මට සිතෙනවා. 

මට එයට දොස් කියන්නට බෑ. මොකද අද ඒතරමටම සෝබරිත දිනයක්. විශේෂයෙන්ම ලාංකීය සිංහල සංගීතයේ පතාක යෝධයන් දෙදෙනෙකුම අප අතරින් වෙන්වූයේ අදවන් දිනෙක. ඒ , ජේ ඒ මිල්ටන් පෙරේරා නම් අසහාය ගායකයාණන් සහ සංගීතයේ සොඳුරැ ආඥාදායකයාවූ ප්රේමසිරි කේමදාසයන්. 

ජේ ඒ මිල්ටන් පෙරේරා සූරීන් අප හැර ගියේ මීට වසර විසි හතරකට පෙර 1991 වසරේදී. ප්රේමසිරි කේමදාසයන් වසර හතකට පෙරදීයි. එනම් 2008 වසරේදි. ඒ විසිහතර වෙනිදාටම තවත් ප්රවීණ රංගදරයෙකු හා ගායන ශිල්පියෙකුද වන ක්රිස්ටි ලෙනාඩ් පෙරේරා සූරීන්ද එකතු වෙමින් අද දිනයේ එතුමාද අප හැර ගොස් ඇති බව දැන ගන්නට ලැබුණා. එතුමා සාමදානයේ සැතපේවායැයි පතමින් මෙම ලිපියේ මුක්ත අරමුණවූ ප්රේමසිරි කේමදාසයන්ගේ ගුණ සැමරැම මෙතැන් සිට අරඹන්නම්. 

1937 දුරැතු මස වාද්දූවේදී උපත ලද ප්රේමසිරි කේමදාසයෝ ගැටවර වියේ පටන්ම ඉතාමත්ම දක්ෂ බටනලා වාදකයකු විය. මේ හැකියාව එතුමාට ඉතාම ළාබාල වයසේදීම ලංකා ගුවන්විදුලියේ වාදක මංඩලයේ සාමාජිකයෙකු වන්නට මංපෙත් විවරකරලීය. 

එතුමාගේ සංගීත දිවියේ සංධිස්ථානයක්වූ එමෙන්ම කේමදාස ලකුණ ලාංකීය සංගීතයේ සනිටුහන්වූ සිංහල සිනමාවේ සංගීත අධ්යක්ෂණයට එතුමා අත්පොත තැබුවේ සිරිසේන විමලවීර සූරීන්ගේ පොඩි කෙල්ල චිත්රපටයෙනි. 

ඉන්පසු ධර්මසේන පතිරාජයන්ගේ බඹරැ ඇවිත් හා පාර දිගේ, ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ ගොළු හදවත හා නිදානය, ධර්මසිරි බංඩාරනායකයන්ගේ හංසවිලක් හා තුන්වෙනි යාමය, අග්නි දාහය, යස ඉසුරැ , කලියුගය, යුගාන්තය , සඳකඩපහණ ඇතුළු තවත් සිනමා පට රාශියක සහ අවසාන වශයෙන් ලෙස්ටර් සූරීන්ගේ අම්මාවරැනේ සිනමා පටයට එතුමාගේ අද්විතීය සංගීතය මුසු කළේය. 

'කේමදාස මාස්ටර්' නමින් සිරි ලක පතල වූ එතුමාගේ සංගීතය ඉතා ගැඹුරැ විය. දෙසවනට භාවනාවක් විය. අසන්නා අමුතුම ලෝකයකට ගෙනයාමට සමත් විය. විශේෂයෙන්ම එතුමා සංගීතවත් කළ සිනමා පට අමරණීය වන්නට ඒ සංගීතය කෙළින්ම බලපෑබව රහසක් නොවීය. 

සිනමාව මෙන්ම වේදිකා නාට්යද එතූමාගේ සංගීතයෙන් තරැ ලකුණු ලැබීය. සුගතපාල ද සිල්වා සූරීන්ගේ මරාසාද්, ජයන්ත චන්ද්රසිරියන්ගේ මෝරා සහ අත් මෙන්ම ධර්මසිරි බංඩාරනායකයන්ගේ මකරාක්ෂය හා දවලභීෂණ නම් ඒ නාට්යයෝය. 

එතැනින්ද නොනැවතුණු එතුමා අපගේ පිනට ටෙලි නාට්ය කිහිපයකටමද සංගීතය නිර්මාණය කළේය. ජයන්ත චන්ද්රසිරිගේ විසල් නිර්මාණයක්වූ දඬුබස්නාමාණය ටෙලිනාටකයේ කේමදාසයන්ගේ සංගීතය වනාහී එතුමා පෑ මහා පෙළහරකී. එමෙන්ම ජයන්ත චන්ද්රසිරි සූරීන්ගේම වෙඳහාමිනේ, අකාල සන්ධ්යා හා සතරදෙනෙක් සෙන්පතියෝද ධර්මසේන පතිරාජයන්ගේ ඇල්ල ළඟ වලව්ව,ගඟුලෙන් එගොඩට හා පුර සක්මන මෙන්ම බංදුල විතානගේ ශූරීනගේ අසල්වැසියෝද එතුමාගේ ඒ අපූර්වතම සංගීතයේ පහස ලද්දෝය. එතුමාගේ අවසාන ටෙලි නාට්ය සංගීතය සැපැයූවේ දේවින්ද කෝන්ගහගේ නිර්මාණය කළ සදිසි තරණය ටෙලි නාට්යටය. 

මානසවිල , දොරමඩලාව හා අග්නි වැනි භාවාත්මක හා ප්රතිභාපූර්ණ ඔපෙරාවන්ද ලාංකීය රසික ප්රජාවට දායාද කළේය. පිරිනිවන් මංගල්ය වැනි සංධ්වනීන් ද එතුමාගේම නිර්මාණයන්ය. දැනුම් සම්භාරයක් හිස දරා වුන් එතුමා සංගීතයෙන් මුළු ලෝකයම කියැවූයේය. ප්රකාශ කළේය. 

සිංහල ගීත වංශ කථාවේ සදා නොමැරෙන ගීත සමුදායක් රන් අකුරින් ලියා තබන්නටද එතුමා සමත් විය. අමරසිරි පීරීස් සූරීන් ගයන ළඳුනේ හා කන්යාවී එච් ආර් ජෝතිපාලයන් ගැයූ මා ප්රාර්ථනා ආශාවෝ , ආදර මල් පවනේ හා ශීත මෝසම් ගීත නාදෙන්, ඇන්ජලින් ගුණතිලක ගයන මට ආසයි හිනැහෙන්න, නන්දා මාලිනිය ගයන අම්මාවරැනේ, සනත් නන්දසිරි හා ලතා වල්පොල ගයන දේදුන්නෙන් එන සමනලුනේ, ෆෙඩී සිල්වා ගැයූ පරණ කෝට්, ජෝතිපාලයන් හා එම් එස් ගැයූ ගෙදර හිටිය රෝස කැකුළ රෝසා වැනි එකකට එකක් හාත්පසින්ම වෙනස් ගීත ගැන සංසන්දනය කිරීමේදී සෑම ඉසව්වක් පිළිබඳවම එතුමාගේවූ විපුල දැනුම අපට මනාවට අවබෝධ වෙයි. මේ අතරට උදුම්බරා වැනි ගීතයක් ගත්විට එහි ඇති අතිශය නාට්යමය ප්රකාශනය එතුමා සප්ත ස්වරයෙන් කළ අන්දම අති විශිෂ්ටය. 

සංගීතය අමුතුම මානයකට ගෙනගිය එතුමා අමරසිරි පීරිස් හා සමන්ත පෙරේරා ඇතුළ ගායක ගායිකාවන් රැසකට සංගීත ලොවේ දොරටු විවර කර දුන්නේය. එසේම සංගීතයේ නැවුම් හා අපූරැ සංස්කෘතියක් එතුමා අතින් බිහි වුණි. එතුමා අපට අහිමිවූයේ එතුමා වන් සංගීතඥයන් රටට හා සිංහල සිනමාවට අවශ්යම මොහොතකය. එහෙත් මරණය හැර කිසිම දෙයක් ස්තීරයටම නොමැති මෙලොවේ අප සැමටම දිනකදි සිදුවෙනවා මෙන්  එතුමාටද මෙලොවින් යන්නට සිදුවිය. එහෙත් එතුමා අපට තබා ගිය ඒ අපූරැ නිර්මාණයෝ නම් සදාකාලිකව අප අතර පවතිනු ඇත. සොඳුරැ ගාන්දර්වයාණෙනි මේ පුංචි සටහන ඔබට උපහාර පිණිසම වේවා!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

ජේ ඒ මිල්ටන් පෙරේරා



" ඇස රැඳුණු රැඳුණු තැන්වල මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා "

ඔබව මා කෙසේ නම් අමතක කරන්නද? හීනියට මධුවිතින් සප්පායම්වූ සීතල සැදෑවල ඔබ ගැයූ ගීතයක් මුමුණමින් අප කෙතරම් නම් වරක් උණුසුම් වී ඇතිද? අද බිනර මහේ විසි හතර වෙනිදාට ඔබ අපගෙන් වෙන්වී වසර විසිහතරකි. 

මංජුල වෙඩිවර්ධනයන් පැවසුවාක් මෙන් ඔබවන් මිනිසුන් කිසිදිනක මිය නොයන බැවින් මම ඔබට ආයුබෝවන් කියා පිළි ගනිමි. 

පුර පස සඳ පසළොස්වකට සේන්දුවෙමින් පවතින මේ සීතල රාත්රීයාමයේ මගේ කුටියේ කවුළුවෙන් පෙනෙන සඳ දෙස බලාගෙන මම ඔබ සිහිකරමි. සැම තැනම නිසලය. පසළොස්වක නැතත් සඳ දියෙන් මුළු ලොවම වැසී ගොසිනි. මට එදා ඔබ සිකුරැලියා චිත්රපටයට ගැයූ " සිකුරැලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා " ගීතය සිහිපත් වෙයි. 

ඒ ගැඹුරැ කට හඬ එදා රිදී තිරය පසුබිමින් නිම්නාද දුන් අයුරැ මගේ සිහියට එයි. සාරවිට චිත්රපටයේ සාරයියා ගයන " සිරි සාර බුලත් විට කාලා වරෙං" ගීතය කෙතරම් නම් සුන්දරද? ජීවමානද? 

එකල එච් ආර් ජෝතිපාලයන් හා එම් එස් ප්රානාන්දු සමග ඒ තලයේ අපට සිටි අසහාය ගායකයා ඔබය.. 

ගීතයට මෙන්ම පියාගේ අඩිපාරේ යමින් දක්ෂ තබ්ලා වාදකයෙකූද වූ ඔබ ගැයූ ගීත අදටත් ජනප්රියය. ඔබ අමරණීය යැයි මා පැවසුවේ එහෙයිනි. 

වැඩි සද්දයක් බද්දයක් නැති සිරැරින්ද පුංචි මිනිසෙකුවුවද ඔබගේ හඬ මහා යෝධයෙකුගේ මෙන් සිංහල සිනමාව සහ ලාංකීය ගීත සාගරය කැළැඹීමට සමත් විය. 

ඔබගේ පුතුන් අද ඔබගෙ හඬ ඉදිරියට ගෙනයාම අපට ඇති එකම සැනසීමය. මේ පුංචි සටහන මීට වසර විසි හතරකට පෙර අදවන් දිනෙක අපව අතහැර ගිය ජේ ඒ මිල්ටන් පෙරේරා නම්වූ ඒ අමරණීය ගායන ශිල්පියාට උපහාර පිණිසය. 

" සඳුන් ගසක පිපි සමන් ලතාවක මල් පරවී යනවා
ඔබේ නමට පිදු මගෙ හදවත් මල තවමත් පිබිදෙනවා" 

මට කීමට ඇත්තේ එපමණකි. මේ සංගීත පිපාසිත දනන්ගේ සරතැස නිවාලන්නට ඔබ නැවතත් අප අතරම ඉපදේවා!

චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

Thursday, 22 October 2015

කාන්තාරයේ කුසුම..........



ඇය නිමක් නොපෙනෙන කාන්තාරය මැදින් අඳුරේම තම ජීවිතය සොයා දිව ගියාය. ගල් මුල් වල වැදී නිරැවත් දෙපා රිදුම් දෙද්දී , තුවාල වී ලේ ගලා හැළෙද්දී ඇයට නතරවීමට අවකාශ නොතිබිණි. ගිනි කාෂ්ටක අව්වේ තිබහට දිය පොදක් නොමැතිව කුස ගින්නට කන්නට දෙයක් නොමැතිව සිතේ තිබූ අධිෂ්ඨානය නැමති ශක්තියෙන් ඇය සැතපුම් සිය ගණනක් දිව ගියාය. 

තිරිසන් සතකුවූ සිංහයෙකුගෙන් අභයදානය ලැබූ ඈ මිනිස් වෙසින්වූ තිරිසනුන්ගේ පහත් කාමතුර ආශාවන්ට ගොඳුරැ නොවී බේරැනේ ඇයගේම දක්ෂකමටය. එතරම් අසරණ තත්වයේ ඉතාමත්ම දුර්වලවී වුන් ඇයට පිහිට වෙනවා වෙනුවට මිනිස් වෙසින්වූ ඒ කාමතුරයන් කළේ තම පහත් ආශාවන් සතපවාගත හැකි තවත් එක් ගැහැණු සිරැරක් ලෙස ඇය දෙස බැලීමයි. මේ ම්ලේච ක්රියාකාරකම් කියැවීමේදී පිරිමියෙකු වශයෙන් මට ඇතිවූයේ මහාම ලැජ්ජාවකි. ඒ පාපතර අමනයන් කෙරෙහි විස්තර කළ නොහැකි ක්රෝධයකි. 

පිරිමින්ගේ උවමනාවට තමන්ගේ මුලික ස්ත්රී අයිතිවාසිකම් අහිමිවූ ඉතාමත් නින්දිත හා කෘර අන්දමින් චර්ම ඡේදනය නම්වූ ඒ පාපතර සංස්කෘතික අවලම් ක්රියාවලියෙන් බැට කෑ ඇය තවත් එක් දැරියක පමණක් නොවේ. එවන් පාපිෂ්ඨ සංස්කෘතියක් ඇති සියලුම රටවල සමස්ත අසරණ ස්ත්රී වර්ගයාගේම නියෝජනයයි. 

එදා කාන්තාරයේ ගලක් මත ඒ නන්නාදුනන අහිකිණ්ඨික ගැහැනියගේ මලකෑ බ්ලේඩයෙන් තම ස්ත්රී අවයව අමු අමුවේ කැපී සුනුවිසුනු වී යද්දී ඇයට ඉවසාගත නොහැකි වේඳනාවෙන් කෑ ගසනවා හැරෙන්නට වෙන කළ හැකි අන් කිසිවක් නොවුණි. පූර්ණ ස්ත්රියක වශයෙන් ලිංගික සුරතාන්තයක උපරිම සුවය ඇයට අහිමිවූවා පමණක් නොව ඒ කැපූ අවයව මසා දැමීම හේතුවෙන් ඇයට මුත්රා කිරීමට පවා අපහසු තත්වයක් ඇති විය. වැඩිවියට පත්ව මාස් ශුද්ධිය ඇතිවීමේදීද මසකට වරක් ඇය ඒ හේතුවෙන් අපා දුක් වින්ඳාය. 

උපන්දා සිටම බැටළුවන් හා ඔටුවන් බලා ගත් ඉතාම දුෂ්කර දිවියක් ගෙවූ එඬේර කෙල්ලකවූ ඇයව , ඇයගේ පියා විසින්ම තවත් ඔටුවන් කිහිපදෙනෙකු ලබාගැනීමේ අරමුණින් මහලු මිනිසෙකුට සරණපාවා දීමට තැත් කිරීම කෙතරම් නම් නින්දිතද? ඒ පිරිමින් තම මවට, සොයුරියට, බිරිඳට හා දියණියට කළහැකි උපරිම අවමාන චිරාත් කාලයක් තිස්සේම කළහ. නීති තැනුවේ ඔවුන්මය. ස්ත්රිය ඔවුන්ගේ කාම ආශාව සතපා ඉන්පසු වහලියකමෙන් ඔහු ඇතුළු ඔහුගේ දරැවන් බලා ගන්නා තවත් හුස්ම ගන්නා ප්රාණියකු පමණක් විය. ඒ ජීවිතවල කිසිදු වටිනාකමක් නොතිබුණි. මෙවන් තත්වයක් යටතේ ඇය තමන් මෙන්ම අසරණ තම මෑණියන්ට පමණක් දන්වා තම ජීවිතය සොයා පලා ගියාය. 

ඒ පලා ගිය එඬේර කෙල්ලට විඳින්නට වූ දුක් ගැහැට නම් අපමණය. තම නෑදෑයින්ගෙන් පවා ඇයට සරණක් නොලැබිණි. එහෙත් ඇය තුළවූ අධිෂ්ඨානය හා ධෛර්ය අවසානයේදී ඇය දිවියේ උසස්ම තැනකට ගෙනයාමට සමත් විය. 

දුක දිනා දිවිය ජයගත් ඇය තමන්ට ඒ කෘර චාරිත්ර නිසා විඳින්නට වූ වේදනාව හා අවමානය අනෙකුත් ස්ත්රීනට උරැම නොවන්නට කටයුතු කරන්නට පෙරමුණ ගත්තාය. හඬ නැගුවාය. 

වාරිස් ඩයිරි නම්වූ ඒ එඬේර කෙල්ල අවසානයේ ලෝක ප්රසිද්ධ මෝස්තර නිරෑපන ශිල්පිනියක් වීමේ සත්ය කතා පුවත " කාන්තරයේ කුසුම" නමින් සිංහල පාඨකයා වෙත එළිදක්වා ඇත. මෙම ග්රන්ථය රංජිත් කුරැප්පු මහතා විසින් " Dessert Flower " නම්වූ ඉංග්රීසි පොත අනුසාරයෙන් සිංහලට නැගීය. 

මම මේ පොත පසුගිය සති අන්තයේ කියවා නිම කළෙමි. මෙය සත්ය කතාවක් නිසා සහ දිවියට යමක් ගතහැකි අපූරැ අධිෂ්ඨානශීලී ගැහැනියකගේ චරිතාප්රදානය නිසා කෙතරම් අවිවේකීවුවත් මට ඉතා ඉක්මනින්ම පොත කියවා නිම කළ හැකි විය. 

පොත කියවා ඇතිවූ කුතුහලය නිසා ඉංග්රීසි පොතද මිලදී ගෙන සමහර සිද්ධීන් සහ වාක්ය සසදා බැලුවෙමි. බොහෝදුරට රංජිත් කුරැප්පු මහතා ඒ ඉංග්රීසි වාක්ය ඉතා සීරැමාරැවට එලෙසින්ම සිංහලට හරවා ඇති බවක් මට හැගුණි. එහෙත් මීට වඩා තව නිර්මාණශීලී අයුරින් අපේ කනට හුරැ වචන යොදා පරිවර්තනය කළා නම් මෙය තවත් අනර්ඝ විය හැකිව තිබුණ බව මගේ හැගීමයි. 

මම උදාහරණයක් ලෙස සද්ධාතිස්ස වඩිගමංගාව මහතා පරිවර්තනය කළ " සෝර්බා නම් ග්රීකයා" කෘතියේ එන එක යෙදුමක් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමි. එනම් සෝර්බා බොහෝ අවස්ථාවල භාවිතා කළ " ලොක්කා " යන වචනයයි. ඉංග්රීසි පොතේ තිබෙන්නේ "Boss" කියාය. එය ලොක්කා කියා යෙදීමෙන් කතාව අපට වඩාත් සමීප වූවා පමණක් නොව අපේ කතාවක්ම මෙන් සිංහල පාඨකයාට දැනුණි. 

ඒ කෙසේ වෙතත් එතුමා පොත කියවා රස විඳ එය තමන් ළඟම තබා නොගෙන සිංහල පමණක්ම කියවන පාඨකයන්ටද එහි ගුණ සුවඳ විඳ ගන්නට සැලසීම ප්රශංසා කළ යුතුය. 

මම මීට වඩා කථාවේ විස්තර කියා ඔබගේ රස වින්ඳනයට බාධා කිරීමට අදහස් නොකරමි. 

එහෙයින්, වාරිස් ඩයිරි නම් වූ ඒ සෝමාලියානු එඬේර කෙල්ල මුළු ලොවෙහිම පතල මෝස්තර නිරෑපිකාවක් බවට පත්වීමේ ලේ සහ කඳුළින් පිරි ඒ අධිෂ්ඨානයේ කතන්දරය කියවා රස විඳ ඉන් දිවියට යමක් එකතුකරගන්නා ලෙස යෝජනා කරමින් මම නිහඬ වෙමි. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය



Wednesday, 14 October 2015

අගය කළ යුතු චරිත- වසන්ත කොටුවැල්ල



ඒ 1982 වසරයි. රෑපවාහිනිය ලංකාවට හඳුන්වා දී තම නිවසේ සිටම ශ්රව්ය දුශ්ය මාධ්යක රස පහස 
විඳින්නට ලාංකීය ජනතාවට ඉඩ ප්රස්තාව ලබා දුන් වසරයි. ඒත් සමගම ක්රම ක්රමයෙන් එතෙක් කලක් සිනමා ශාලාවකට ගොස් සිනමා පටයක් නරඹා සතුටක් ලැබූ ප්රේක්ෂක ප්රජාව සිනමා හලෙන් ඈත්වීමේ ප්රවණතාවය ආරම්භ වූවත් ඒ දශකයේ නිර්මාණය වූ අපූරැ චිත්රපට කිහිපයක් ඔවුන්ව සිනමා ශාලාවලම රඳවා තබා ගැනීමට සමත් විය. ඒවා අතුරින් ඔබගේ අවධානය සිනමා පට දෙකකට යොමුකරන්නට කැමැත්තෙමි. " මලට නොඑන බඹරැ(1982)" සහ " තුන්වෙනි යාමය(1983)"  නම් එම චිත්රපට දෙකයි. 



වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ තිරගතවූ මෙම චිත්රපට දෙකම පිටවූ සැනින්ම සිනමා ශාලාවකට ගොස් නැරඹීමේ භාග්ය එවකට මට නොහැකිවූවත් රෑපවාහිනියේ විකාෂණයවූ ප්රචාරක වැඩසටහන්වලින් හා පුවත්පත්වල පළවූ ලිපි වලින් සිනමා පට ගැන මනා අධ්යනයක් ලැබීමට මම සමත් වූ අතර පසු කලෙක රෑපවාහිනියේ විකාශනය වෙද්දී නැරඹීමටද අවස්ථාව උදාකර ගතිමි. 

මේ අතරින් " මලට නොඑන බඹරැ " සිනමාපටයේ නමින්ම එහි අන්තර්ගතය පිළිබඳ යම් අවබෝධයක් ප්රේක්ෂකයාට ලැබුණත් " තුන් වෙනි යාමය" එහි නාමයේ පටන්ම යම් ගුප්තභාවයක් ඉසිලීය. 

මහා සිනමාවේදී ධර්මසිරි බංඩාරනායකයන්ගේ දැවැන්ත අධ්යක්ෂණයක් වූ තුන් වෙනි යාමයට ආචාර්ය ප්රේමසිරි කේමදාසයන් එක්කල ඒ අද්විතීය සංගීතය , වසර 30 කට පමණ පෙර නිර්මාණය වුවත් අදට වඩා කෙතරම් නම් ඉදිරියෙන් තිබුණාදැයි ඔබට වැටහෙනු ඇත. 

එහි අපූරැ කතා තේමාවක් තිබූ අතර සංගීතයෙන් එය තව තවත් තීර්ව කෙරිණි. කතාව සැකෙවින් වූයේ මෙසේයි. තම මව සහ පියා ලිංගික කාර්යයේ යෙදී සිටියදී මහ රෑ හදිසියේම ඔවුන්ගේ කාමරයට යන කුඩා පුතණුවන්ට එම සංසිද්ධිය අහම්බෙන් දකින්නට ලැබේ. එයින් වියරැ වැටෙන පියා දරැවාට ඉතා දරැනු ලෙස පහර දෙන අතර දරැවා වැඩිහිටියෙකුබවට පත්ව විවාහවූ දිනයේ මෙම සිද්ධිය දෝංකාර දෙමින් ඔහුගේ සිත දෙවනත් කර සිය බිරිඳ හා ලිංගිකව එක්වීම කරගත නොහැකිව දරැනු මානසික අවුලකට පත්වන අතර අවසානයේ ඔවුන් සියල්ලන්ගේම ජීවිත කාලකණ්ණි වී දිවිය පවා නැතිකර ගන්න තත්වයට වැඩ සිද්ධ වෙයි. 

මේ අවාසනාවන්ත සිඳුවීමේ ගොඳුරබවට පත්වූ එම දරැවාගේ තරැණ අවධිය ( පර්සි පීරිස්) නිරෑපනය කළේ හුරැබුහුටි නළුවෙකි. මේ චිත්රපටය අතිශය ජනප්රියවූ අතර මෙම තරැණ නළුවාද ඉතාමත් ප්රචලිත විය. කාලයාගේ ඇවෑමෙන් ඔහු තව චිත්රපට සඳහාද තම රංගන දායකත්වය සැපයූ අතර පුංචි තිරයේ දිගැරැනු චරිත තුනක් හා ගම්පෙරළිය ඇතුළු ටෙලි නාට්යන්ටද අවතීර්ණ විය. 

චරිත තුනක්හී සහෝදරයන් තිදෙනා අතුරින් ඉගෙන ගන්නා බාලම මල්ලීගේ චරිතය හා ගම්පෙරළියේ පියල්ගේ චරිතය ජනතා සිත්සතණහී ජීවමාන වන ලෙස ඔහු රඟ දැක්වීය. ඔහුටම ආවේණික වූ කතා විලාසය සහ සිනහව ඔබ සැමට තවමත් මතක ඇතුවාට සැකයක් නැත. 


මේ කාලයෙන් පසු පැවතියේ දිගු නිහඬතාවයකි. ඔහු කිසිදු කලාමාධ්යක හෝ ප්රසිද්ධ වේදිකාවේ දැක ගන්නට නොහැකි විය. එහෙත් ඊයේ රාත්රියේ අන්තර් ජාලයට පිංසිදු වන්නට මා නැරඹූ පසුගිය ඉරිදා ජාතික රෑපවාහිනියේ විකාශිත " සිහිනයකි රෑ" වැඩ සටහනට ඔහු පැමිණ සිටියේය. ඔහු ගීත දහය තේරීමටත් අනුරාධපුරයෙන් ගී අඹරට පායා ආ ක්රිශාන්ත එරන්දක ගී ගැයීමටත් පැමිණ වුන්හ. 

මදක් වියපත් වූවත් අසූව දශකයේ අප දුටු ඒ පෞරසයම ඔහු සතුවිය. ඒ සිනහවම සහ කතාව ඇසුණු විට අසුරැ සැණින් මගේ සිත ඒ සොඳුරැ අතීතයට පියාඹිණි. මේ නම් වෙන කවුරැන් හෝ නොව අප එදා ආදරය කළ අදත් එලෙසම ආදරය කරන රංගවේදී වසන්ත කොටුවැල්ලයන්ය.

ඒ පැය දෙක මම සමාධියකට දැහැන්ගත වුණෙමි. එතුමා තෝරාගෙන පැමිණ තිබූ ගීතත් ක්රිශාන්ත එරන්ධකයන් ඒවා ගැයූ සුමියුරැ ආකාරයත් මැව්වේ සුයාමයක්මය. 

ඒ ඒ ගීතය තේරීමට පාදක වූ කරැනු වසන්ත කොටුවැල්ලයෝ කිසිඳු පැකිලීමකින් තොරව අව්යාව ඉදිරිපත් කළ ආකාරය මා ඇතුළු එය නැරඹූ සුවහසක් ප්රේක්ෂක ප්රජාවේ ප්රශංසාවට හා ගෞරවයට පාත්රවිය. 

අතීත ප්රේමයන් හා බිඳුණු ප්රේමයන් පිළිබඳව රචිත අමරණීය ගීත එතුමා ගෙනවිත් තිබුණා පමණක් නොව තම පැරණි පෙම්වතියන් හා පළමු පෙම්වතිය වෙනුවෙන් ඒවා තෝරාගත් බව අවංකවම පැවසීය. ඉතාමත්ම නිරහංකාරව හා ලෙංගතුව එම පැය කිහිපය එම වැඩසටහන වෙනුවෙන් කැප කළ එතුමා සාමාන්යයෙන් ප්රසිද්ධ පුද්ගලයකු නොකරන දෙයක්ද වැඩසටහන නිමවීමට පෙර කළේය. එනම් තම පෞද්ගලික ජංගම දුරකථන අංකය රෑපවාහිනී නාලිකාව ඔස්සේ ප්රකාශයට පත් කිරීමයි. 

වැඩ සටහන අවසාන වී ඒ අතීත සිහිනයේම නින්දට ගිය මම අද උදෑසනම එතුමාට ඇමතුමක් ගතිමි. එවිට ලංකාවේ වෙලාව තුනට හතරට වන්නට ඇති. දුරකථන දෙතුන් විටක් නාද විය. අනෙක් කොනින් ගලා ආවේ ඒ හඬයි. 

මගේ අංකය දුටු එතුමා දුරැ රටක සිට නේදැයි කතා කරන්නේ අසා කලක් තිස්සේ දැන හැදිණ වුන් මිතුරකුසේ ඉතාමත්ම ලෙංගතුව හා මහා සතුටකින් යුක්තව මාහා කතවට එක් වූයේය. ලංකාවට නැවත ආවිට හමුවෙමුයි කී එතුමාගෙන් මම දැනට එතුමා කුමක් කරන්නේදැයි විමසා සිටියෙමි. කලා කටයුතුවලින් තම පෞද්ගලික හේතුවක් නිසා හුදෙකලාවී සිටින බවත් එහෙත් ලිවීමෙහි ආදී කටයුතුවල නිරතවෙන බවත් පැවසීය. දැනට දකුණු ආසියානු සංස්කෘතික කේන්ද්රයේ අධ්යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන බව පැවසූ එතුමා එහි වෙබ් ලිපිනයද මා වෙත ලබා දුන්නේය. ( saarc cultural centre) එතුමා මගෙන් සමුගත්තේ ලංකාවට ආ දිනක අනිවාර්යයෙන්ම හමුවෙමුයි ඉතාමත්ම ලෙංගතුව පවසා මට ජයද ප්රාර්ථනා කරමිනි. 

මේ අවස්ථාවේ අපට මෙවන් රස වින්ඳනයක් ලබා දෙමින් අපගේ සිහින අළුත් කරන ජාතික රෑපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහනේ නිවේදකතුමා ඇතුළු කාර්ය මංඩලයට මුළු මහත් රසික ප්රජාව වෙනුවෙන් අපගේ කෘතඥතාවය පළ කරන අතර වසන්ත කොටුවැල්ල මහතාටද දීර්ඝායුෂද ප්රාර්ථනා කරමි. එමෙන්ම ළඟදීම හොඳ කලා නිර්මාණයක එතුමා දැකගන්නට ලැබේවායිද පතමි. 

සිහිනයකි රෑ මෙතනින් නරඹන්න. http://youtu.be/BfDpgasleEg

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Saturday, 10 October 2015

"අරණකට පෙම් බැඳ......"



මම දැනුම් තේරැම් ඇති වයසේ සිටම සඳට පෙම් කළෙමි. වනාන්තරයේ ඇති ගස් කොළට, වන මල් වලට හා අතු අතර සැඟවී සිට මිහිරි ගී ගයන කුරැල්ලන්ට ආදරය කළෙමි. පුරාණ වැව් හා නටඹුන් අතර වරැ ගණන් ගත කිරීම තරම් මා ප්රිය කළ වෙනත් දෙයක් පිළිබඳව මට සිතාගන්නටවත් බැරිය. 

අප කුඩා කාලයේ අප නිවස ඉදිරිපිට පාර අද්දරට වන්නට පිහිටියේ විසල් කෝන් ගසකි. හොඳින් වැඩුණු මිනිසුන් හය හත් දෙනෙකු රවුමට සිට දෑත් විහිදුවත් බදා අල්ලාගත නොහැකි තරම් විශාල කඳක් මේ කෝන්ගස් රාජයා සතුවිය. එහිම පැලවූ නුග ගසක්ද එක් පැත්තකින් කෝන් කඳ බදා අල්ලාගෙන පොළවට ඇදී තිබිණි. නුග ගසින් පැන නැගි ඉහළ අතුවල සිට පහළට විහිදුණු රැහන් බඳු මුල් වල එල්ලී එකල අප ඔන්චිලි පැද්දයුරැ මට අදටත් සිහිවන්නේ ඒ ගස කපා දමා පාර පළල් කොට දැන් එහි ඇති හිස් අවකාශය දකිද්දීය. 

කඳු වලින් තොර අනුරාධපුර නගරයෙන් හිරැ බැස ගියේ බොහෝ පමාවීය. පුර පසළොස්වක දිනට එකිනෙහිම වාගේ රත්තරන් රබානක් සේ ඒ විසල් කෝන් ගහට පිටුපසින් සඳ නැගී ආවාය. ඒ තරම් විශාලෙට මම සඳ කොතැනකදීවත් දැක තිබුණේ නැත. 

එකල එතරම් ජනාකීර්ණ නොවූ අප නිවස යාබද ඉඩම්වල හා පාර දෙපසද වූයේ සුන්දර වන ලැහැබකි. ලේන්නුන්, පක්ෂීන්, සාවුන් හා මා එක දිනක් පමණක් දුටු විශාල බළලකු වන් කොළ දිවියෙකුද මේ වනයේ විසූහ. තලගොයින්, මුගටින් හා සර්පයින්ගෙන් නම් නිමක් නොවුණි. 

වනය පුරා වැවී තිබූ කහට, කූරටියා, ටොක් ඇට හා අන්දර වැනි වෘක්ෂයෝද එරමිණියා හා පොඩිසිඥ්ඥොමරං වැනි පඳුරැ හා ඔළිඳ හා කෝවක්කා වැනි ලතාවෝද පැතිරැනූ සඳ වතුරේ නැහැවී කිරි පාටින් බැබළුණේ මෙවැනි සඳ පහන් රාත්රී වලදීය. 

පාර දෙපස වූ වරා පඳුරැ වල හා ටොක් ඇට ගස්වල මල් පිරී තිබූ අතර වරා ගෙඩි පුපුරා එහිවූ බීජ සුළඟේ පාවී ගියේ යානයක සිට උඩුගුවනින් පැරෂූට් දමාගෙන පොලවට පාවී එන භට හමුදාවක් සිහි ගන්වමිනි. 

මම පෝය දිනයට පූජා නගරයේ නටඹුන් මැඳ සිට හෝ රැවන්වැලි සෑයේ මළුවට වී සඳ දෙස බලා සිටියෙමි. එසේත් නැතහොත් තිසා වැව හෝ නුවර වැව බැම්මේ නැවතී සිට වැව පිස හමන මදනලින් මත්වී සඳ දෙස බලා වුන්නෙමි. 

මේ සඳ හා තිබූ ගනුදෙනුව මා අනුරාධපුරයෙන් පිටව පේරාදෙණිය සරසවියට ගිය පසුත් එලෙසම පැවතිණි. හන්තාන කඳු වැටියත් සඳත් මහවැලි ගඟත් මගේ ජීවිතයේම අංගවූයේ එහෙයිනි. 

ඒ වසර විස්සකට පෙරය. මව්බිමෙන් වෙන්වී එංගලන්තයට පැමිණියත් සෑම පුර පෝය දිනකම වලාකුළු රහිත රාත්රියක් වේනම් මම එලෙසින්ම සඳ දෙස බලා සිටියෙමි. මේ ජනාකීර්ණ නගරවල ඇති අධික විඳුළි ආලෝකය නිසා මා අනුරාධපුරයේදී සඳ දුටු පරිසරයම මෙහි නොතිබුණත් මට සිතින් ඒ සුව විඳගන්නට ලංඩන් අහසෙහිද එතරම් ගැටලුවක් නොපෙනුණි. 

මට හදිසියේම මේ සඳ පහන් රැය හා වනාන්තර ගැන සඳහන් කරන්නට සිත්වූයේ අද උදයේ මා කියවා නිම කළ අපූරැ පොතක් නිසාවෙනි. 

මෙහි ගෙවන අධික කාර්යබහුල දිවියේ මට කියවන්නට මදක් හෝ අවකාශ ලැබුණේ , දුම්රියෙන් සේවයට යන එන අතරවාරයේය. එසේ ගමන් කරද්දී මේ පොතට මා කෙතරම් දැහැන්ගතවූවාදැයි කියූවොත් කිහිප විටක්ම මට දුම්රියෙන් බසින නැවතුම පවා අතපසු විය. දුම්රිය ගමන තවත් දික්වූවානම් හොඳ යැයි සිතුණු අවස්ථාද එමටය. 

ඒ කෙසේ වෙතත් මා දුම්රියේ ගතින් වාඩිවී උන්නත් සිතින් සිටියේ භාරතයේ පූර්ණියා දිස්ත්රික්කයේ ලොබ්ටූලියාවේය. එසේත් නැතිනම් සරස්වතී වැව අසල වන අරණේ යුගලප්රසාද් නම් වූ ඒ අපූරැ මිනිසා , පරිසරකාමියා විසින් රෝපණය කළ ස්පයිඩර් ලිලී මල්වල සුවඳ විඳිමිනි. තවත් විටෙක මහාලිකාරෑප කඳුවැටිය පිටුපසින් හිරැ බැස යන අයුරැ නරඹමිනි. එසේම වනයෙන් වැසුණු මිටියාවත ඉහළින් සඳ රබානක් සේ නැගඑන අයුරැ බලමිනි. 

ඇත්තෙන්ම මෙය සය වසරක් මේ වන අරණේ ගත කළ සත්යා නම් තරැණ බෙංගාලි ජාතිකයාගේ කතාව නොව මගේ කතාව යැයි මට සිතිණි. මම යුගලප්රසාද් සමඟ මල් පැල රෝපණය කිරීමට ගියෙමි. අකාලයේ දිවියෙන් සමුගත් ධාතූරියාගේ නැටුම් බැලුවෙමි. කුන්තා සහ පිංචී යන අහිංසක කාන්තාවන් ගැන දුක්වුණෙමි. රාජු පාංඩේ සමග ඔහුගේ හේනට ගොස් තේ බිව්වෙමි. රජදහන අහිමි දෝබරැ පන්නා රජතුමා බැහැදැක්කෙමි. රජතුමාගේ මිනිබිරිය භානුමතී කුමරිය සමඟ රැක්අත්තන මල් සුවඳේ මත්වී දංජරී පර්වතයට නැංගෙමි. මටකුණාථ ගුරැවරයා සිසුන්ට ශිල්පය දෙන අයුරැ බලා සිටියෙමි. 

මට ඇසුණේ ගෝන රංචු හා කුළ හරක් රංචු කැලේ බිඳගෙන දුවන හඬයි. දිවියන් කහින සහ හයිනාවන් සිනහවෙන හඬයි. මට පෙනුණේ වලසුන් මසං කන්නට මසං ගස් අවට සැරිසරන අයුරැ හා කුරැල්ලන් ගී කියමින් කැලෑ මල් වටා රඟන ආකාරයයි. 

ඒත් අද ඒ සියල්ලක්ම සිහිනයක් සේ සිතේ ඉතිරිකරගනිමින් සත්යා වන අරණින් සමුගෙන කල්කටාවට ගියාමෙන් පොත කියවා අවසන් කොට මාද යථාර්ථයට මුහුණ දිය යුතුය. එහෙත් සිහිනලෝකයේ කිමිදී වුවත් මා කියැවූයේද දිවියේ යථාර්ථයයි. 

දැන් නම් ඔබට මා මේ කියන්නේ කුමක් ගැනදැයි යන්න වැටහී ඇති. මේ පොතනම් මහා ගත්කරැ විභූතිභූෂණ බන්ද්යොපාද්යයන් විසින් " ආරණ්යක්" නමින් වංග බසින් ලියූ කිසිදු ඇගැයීමක් නොමැතිව කවුරැත් නොදැනීම අපෙන් සමුගත් චින්තා ලක්ෂ්මී සිංහආරච්චි නම්වූ ඒඅපූරැ ලේඛිකාව විසින් " අරනකට පෙම් බැඳ" නමින් සිංහල බසට නැගූ ඒ මහා රස ගුලාවයි. 



එතුමිය විසින් මේ සත් ක්රියාව නොකරන්නට වංග බසින් වූ මේ රසාලිප්තය සිංහල පාඨකයාට ස්වප්නයක්ම වනු ඇත. 

විභූතිභූෂණ බන්ද්යොපාද්යයන් විසින් තම සය වසරක වන අරනක ගෙවූ දිවිය ඇසුරින් රචිත මේ ග්රන්ථය මගේ කතාව ලෙස හැගුණේ චින්තා ලක්ෂ්මිය විසින් යොදාගත් ඒ සුමට බස් වහරයි. " සඳ පහන් රැය" , " දිගු සෙවනැලි වැතිරෙද්දී" වැනි වදන් ගැන මදක් සිතා බලන්න. " සොබාදහම් රැජිනිය" ," වනස්පති" කෙතරම් අපූරැ වචනද? වංග බස ඉගෙනගෙන එතුමිය මේ කටයුත්ත කිරීමට කෙතරම් නම් පරිශ්රමයක් ගන්නට ඇතිද? එමෙන්ම එතුමිය විසින් බන්ද්යොපාධ්යන්ගේම ලෝක ප්රකට නවකථා වූ " පොතෙර් පංචාලි" සහ " අපූර් සංසාර්" නම් කෘති " මාවතේ ගීතය", " අපරාජිත ජීවිතයක්" හා " අපූගේ ලෝකය" නමින් සිංහලට නගා ඇත. එමෙන්ම තව බොහෝ අපූරැ පරිවර්ථන කෘති ඇය පළ කළාය. 



ජීවත්ව සිටින කාලයේදී බොහෝ කෙනෙහෙළිකම් වලට ගොඳුරැවූ ඇය ඒ සියලු දුෂ්කරතා මධ්යයේ අපට තිළිණ කළ මේ අපූරැ ග්රන්ථයෝ එතුමියගේ නාමට උපහාරයක්ම වේවායැයි පතමි. පිටිසරින් ලේඛන ලෝකයට පිවිස කාගේ නැතත් පාඨක රසික ප්රජාවගෙන් ලැබෙන ගෞරවය හා ආදරය , ඇය සදාකල්ම ජීවමාන කරනු ඇත. ඔබටත් ඉඩක් ලද විට මේ පොත් කියවන්නට ඇරයුම් කරමින් මම නිහඬ වෙමි. 



චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

Thursday, 1 October 2015

ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත - සුනිල් හෙට්ටිආරච්චි



සුනිල් එඩ්මන් හෙට්ටිආරච්චි. උප්පැන්නයේ ඔහුගේ නම සඳහන්වූයේ එසේය. එහෙත් කවුරැත් ඔහු හැදින්වූයේ සුනිල් හෙට්ටිආරච්චි නමිනි. ඔහුට ආදරයට කීවේ ' සුනිල් අයියා' ය. 1937 වසරේ කොළඹ දිස්ත්රික්කයේ නාවලදී උපත ලද සුනිල් හෙට්ටිආරච්චි ලංකාවේ පතල වූයේ විකට නළුවකු වශයෙනි. 

ඔහු ගැන මතකය අවදි කරද්දී මගේ මතකය අසූව දශකයේ මුල් භාගයට දිව යන්නේ නිතැතින්මය. ඒ, රෑපවාහිනියේ සංක්රමණයත් සමගම එතෙක් ජනතාවගේ දෘශ්ය මාධ්යවූ සිනමාව , පුංචි තිරයේ නිවසේම සිට නැරඹිය හැකිවූ ටෙලි නාට්ය කලාව මගින් අතික්රමණය කළ යුගය විය. 

ඒ දිනවල විකාශනය වූ උසස් ගණයේ ටෙලි නාට්ය අතර " ලා හිරැ දහසක්", " පළඟු මැණිකේ", "මැණික් නදිය ගලා බසී" හා " යශෝරාවය" වැනි ටෙලි නාට්යවලට ලැබුණේ ඉතාමත් ඉහළ ජනතා ප්රසාදයකි. මේ නාට්ය වලට මෙන්ම ඊට පසුව නිර්මාණය වූ කඩුල්ල, වෙද හාමිනේ, දූ දරැවෝ හා දඬුබස්නාමාණය වැනි ටෙලි නාට්යද ජනතාවගේ සිත් සතන්වලට කිදා බැස්සේ විශාල ඊයම් බරැ මෙනි. 

මේවායිනුත් සුදු හාමිනේ හා වීරසේකර යන චරිත තිබූ යශෝරාවය , රසිකයන්ද එහිම වැටී හුස්ම ගන්න හා ජීවත්වන තරමට ඔවුනට සමීප වූ ටෙලි නාට්යක් විය. ඒ තරමටම ඒ චරිත ජීවමාන විය. තාත්වික විය. 

යශෝරාවයේ , පවුලේ ලොකු පුතා බලදාස( ලකී ඩයස්) තමා උගන්වන පාසලේම ගුරැවරියකවූ සුවිමාලි( ගීත කාන්ති) සමග විවාහ වෙයි. සුවිමාලි මුඩුක්කු ගෙදරක හැදී වැඩුනත් උගත් හා සංවර තරැනියකි. ඇයගේ පියා ' ලොකු තුවක්කු' නම් විය. රැවුල වවා වුන් ඉතාමත් කෙට්ටු හිනෑදෑරි ලොකු තුවක්කුට තිබුණේ තට්ට හිසකි. බැලූ බැල්මට විකට පෙනුමක් වූවත් යශෝරාවයේ ලොකු තුවක්කු මදක් වගකීම් සහිත බැරෑරැම් චරිතයකි. මෙයට පණ දුන්නේ සුනිල් හෙට්ටිආරච්චිය. නැතිනම් අපේ ආදරණීය සුනිල් අයියාය. එතුමා ගැන මගේ මතකය ඇරඹෙන්නේ යශෝරාවයේ මේ චරිතයෙනි. 

ඉන්පසු මගේ මතකයට එන්නේ "බෝඩිම" නම්වූ හාස්ය රසයෙන් පිරි නාටකයයි. එහි තේමා ගීතය පවා තුඩ තුඩ රැව්දුන්නේ එහෙයිනි. 

බෝඩිමේ සුනිල් අයියාගේ චරිතය වූයේ තම බිරිඳට පණ බය ඒත් බය නැති ආකාරයට හැසිරෙන මහා හාස්ය රසයෙන් අනූන චරිතයකි. එය ඔහු කෙතරම් අපූරැවට කළේද යත් ඉන් පසු ඔහු නිකන් දකිනවිටත් අපට සිනහව නවතා ගත නොහැකි විය. එතුමා ටෙලි නාට්ය රාශියකට තම රංගන දායකත්වය සැපයීය. 

මෑතකදී , එතුමා මහත් ජනප්රියට පත්වූ " පබා" ටෙලි නාට්යයේද රඟ පෑවේය. 

එතුමාගේ ටෙලි නාට්ය දායකත්වය මෙසේ තිබෙද්දී එතුමාගෙන් විශාල දායකත්වයක් ලැබුණේ රිදී තිරයටය. 1982 වසරේදී නිර්මාණය කෙරැනු කඩවුණු පොරොන්දුව නව නිපැයුමේ සේවකයකුගේ චරිතයට පණ පොවමින් තම සිනමා චාරිකාවට අත් පොත තැබූ එතුමා සිනමාපට රාශියක නානාවිධ චරිතයන් නිරෑපනය කළේය. 

සුනිල් අයියාට බොහෝ විට ලැබුණේ වාණිජ චිත්රපටවල සුළු විකට චරිතය. එතුමා ඒවාට හොඳින් පණ දුන් බවට එම චිත්රපට නැරඹූ සුවහසක් සිනමා ලෝලීන් සාක්ෂි දරනු ඇත. 

එතුමා රඟපෑ වාණිජ චිත්රපට නාමාවලිය ගතහොත් එය මෙසේ දිස්වේ. 

කඩවුණු පොරොන්දුව- වික්ටර්ගේ සේවකයා (1982), හිතවතිය- සිරිල් (1984), හිත හොඳ චණ්ඩියා- සුද්දා( 1987), නැව ගිලුණත් බෑන් චූන්- මඟුල් කපුවා( 1988), රජ දරැවෝ- මරතේලිස්( 1992), වැලි සුළඟ- බට්ටා (1993), කම් ඕ ගෝ චිකාගෝ- බාසුන්නැහේ( 1993), දෙමෝදර පාලම- කවි කොලකාරයා(1995), චණ්ඩියගෙ පුතා- චුට්ටිගේ තාත්තා( 1995), චෙරියෝ කැප්ටන් -ටාසන්( 1995), නරලොව හොල්මං- ෆ්රැන්ක්ලීන් සල්ගාදු ( 1996), ඇය ඔබට බාරයි- බොරැල්ල කනත්තෙ පිස්සා, ජූලියස්( 1998), කොලොම්පූර්- ඕපාත( 1999), හායි හූයි බභි ආච්චි- පුස්සාලි( 2001), ජොන්සන් ඇන්ඩ් ගොන්සන්( 2001), සොමි බෝයිස්( 2002), වැලා ඉන් ලංඩන්- වැලාගේ තාත්තා( 2003), ක්ලීන් අවුට්- රොසලින්ගෙ තාත්තා( 2004), ඔහොම හරිද- වීරසිංහ මුදලාලි( 2004), වැඩ බැරි ටාසන්- සිල්වා(2007) හා මචං- ආමොස්( 2008) 

එමෙන්ම සුනිල් අයියාගේ රංඟන ප්රතිභාව දුටු තිස්ස අබේසේකර හා එච් ඩී ප්රේමරත්න වැනි සම්භාව්ය සිනමා අධ්යකවරැන් ඔවුන්ගේ උසස් සිනමා කෘතීන්වූ පිළිවෙලින් විරාගය ( 1987) හා කුලගෙය ( 1992) යන සිනමා පටවල සුළු එහෙත් වැදගත් චරිත වලට සුනිල් හෙට්ටිආරච්චිව යොදා ගත්හ. 

තවත් එතුමා රංගන දායකත්වය සැපයූ සම්භාව්ය සිනමා පට වූයේ ලින්ටන් සේමගේගේ මී හරකා( 1994) සහ අශෝක හඳගමයන්ගේ මේ මගේ සඳයි( 2001) යන චිත්ර පටයි. 

මෙයින්ද නොනැවතුණු එතුමා The jungle book two හා Mother Theresa. යන බටහිර සිනමාපටවල රඟපාමින් අන්තර් ජාතික සිනමාවටද එක්විය. 

ලංකාවේ විකට තුන් කට්ටුව වූ ඇනස්ලි, බර්ටි හා සැමුවෙල් සමග එක්ව විනෝද සමය විකට වැඩසටහනේද එතුමා කටයුතු කළේය. 

සිනමාවේ හා පුංචි තිරයේ විකටයෙකු වූවත් එතුමා සැබෑ ජීවන රඟමඩලේ සිය දරැවන්ට ඉතාමත් වගකීම් සහිත ආදරණීය පියෙකු විය. අන්යන්ට හිතවත් වූ ඉතාම සරල මිනිසෙකු විය. තම ආදරණීය බිරිඳගේ වියෝවින් එතුමාගේ තනි කර මත පැටවුණු දරැවන්ගේ වගකීම් හා යුතුකම් අකුරටම ඉටු කළේය. 

එහෙත් රටක් හිනැස්සූ මේ සොඳුරැ මිනිසාට දෛවය එතරම් කාරැනික වූයේ නැත. කලක් පාකින්සන් රෝගයෙන් පෙළුණු එතුමාගේ තත්වය අද දවසේ බොහොමත්ම අබලන්ය. එතුමාට මතකයක් නැත. දරැවන්ව පවා හඳුනාගත නොහැක. අංශභාගය නිසා ශරීරයෙ පැත්තක කිසිදු ප්රාණයක් නොමැත. කතා කිරීමටද පවා නොහැකි එතුමා දැන් ඉතාමත්ම අසරණය. 

මිනිසුන් හඬවන්නට ඉතාම පහසුය. එහෙත් හිනැස්සීම ඉතාම අසීරැ කාරියකි. එතුමා එය අපූරැවටම කළේය. එහෙත් අද සිනහසෙනවා පවා හඬන්නටවත් එතුමාට කඳුළු නැත. 

කලෙක අපව සැනසූ ඒ සුන්දර කලාකරැවා අසරණවී සිටින අද දින එතුමාව අමතක නොකිරීම කළගුණ දන්නා අපගේ පරම යුතුකමක් නොවන්නේද? එතුමාට කෙනෙකු හඳුනාගත නොහැකි වුවත් ඔබ දුටු විට එතුමාගේ යටි සිත සතුටු වේවි. එතුමා තනි වී නැති බැව් සිහියට නැගේවි. 

අප සැවොම කාර්යබහුල බැව් මම හොඳින්ම දනිමි. එහෙත් සහෘද හිතවත , ඔබගේ වටිනා කාලයෙන් විනාඩියක් වැය කොට ඒ පවුලේ උදවියට කතා කරන්න. ඉඩක් ලැබුණු විට එතුමාව බලන්නට යන්න. එතුමාගේ රෝගී තත්වය නිසා මානසිකව පහළම අඩියට වැටී ඇති එතුමන්ගේ දූ දරැවන්ට එය විශාල ශක්තියක් වේවි. 

මේ පිළිබඳ මඳක් සිතන්නට ඔබට ඉඩ දෙමින් මම නිහඬ වෙමි. 

එතුමාගේ ලිපිනය: නො. 2 බී, රම්යා පෙදෙස, 
මාලිගාවත්ත මහල් නිවාස,
කොළඹ 10
දුරකථන අංකය: 0112423473



සුනිල් හෙට්ටිආරච්චි කලාකරැවාගේ ලිපිනය හා දුරකථන අංකය මට සොයා දුන් මා හිතවත් උදිත ලක්මාල් සහෘදයාට මගේ ප්රණාමය. 

මෙම සටහනෙහි එතුමා රඟපෑ සිනමාපට නාමාවලිය හා ඡායාරෑප ලබාගත්තේ අන්තර් ජාලයෙන් බවද කරැණාවෙන් සලකන්න. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය