කාලය මෙසේ ගත වූ අතර අසූව දශකයේදී සිංහල සිනමාවේ පස් වැනි මංඩලයේ සිනමාහල්වල තිරගත වූ එක්තරා සිනමා පටයක්ද මේ කාරණයම සම්බන්ධයෙන් මා සිත කැළඹීය. එහි නම " සුරඹි දෙන" වූ අතර සිය බිරිඳගෙන් දරුවකු ලබා ගත නොහැකි වූ සහ තමන් වඳ නැතිබව ඔහුගේ රහස් ක්රියාකාරකම් නිසා හොඳින්ම දැන සිටි වලව්කාර ධනවතකු ( රවීන්ද්‍ර රංදෙනිය) , තමාගේ දිළිඳු සේවකයකු වූ (සොමී රත්නායක) ගේ නව යොවුන් සුරූපී බිරිඳ( අනෝජා වීරසිංහ) සමඟ ඔවුනට මුඳල් ගෙවා යහන් ගත වී තම දරුවකු ඇයගේ කුස තුළින් සාදා ගන්නා කතා පුවත සිනමා පටයේ තේමාව විය . මෙහිදී පසුව ඇතිවන ඛේදවාචකය හා එහි වූ සදාචාරාත්මක විරෝධී ස්වභාවය සහ මානූෂීය අස්ථාවරය නිසා ඇතිවන හැල හැප්පීම් ප්රේක්ෂකයා වෙත සිනමාරූපීව ගෙන එනු ලැබිණි.
සුරඹි දෙන යනු තම ගර්භාෂය කුලියට දෙන කාන්තාව යන්නයි. වෙනත් අයුරකින් කිවහොත් පිටස්තරයකුගේ දරුවකු තම කුස තුළ වඩනා කාන්තාවයි. පුරාණයේ මෙම සිරිත පැවතී ඇත. එහෙත් එය සිදුවූ ආකාරය නම් සිවිල් සමාජය තුළ එතරම් සදාචාරාත්මක අන්දමට තුඩුදුන්නා නම් නම් නොවේ. එක ගෙයි කෑමද සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබූ එකල සමාජයේ මෙයද රහසිගතව හෝ සිදුවී ඇත.මෙහිදී සිදුවූයේ දරුවන් නැති පවුලක සැමියෙකු කුස කුලියට දෙන පිටස්තර ස්ත්රියක සමඟ ස්වාභාවිකව ලිංගිකව එක් වීමයි. මේ සඳහා ඒ පවුලේ විවාහක ස්ත්රිය කෙසේ හිත හදා ගත්තේදැයි යන කාරණය වෙනමම සාකච්ඡා කළ යුතු දෙයකි. ඒ දැනෙන අපහාසය හා අවමානය දරුවන් නැති දුකට දෙවැනි කොට ඇය සිත සනසා ගන්නට ඇත. එහෙත් දරුවකු පිළිසිඳ නොගැනීම ස්ත්රියකගේ ශාරීරික වරදකින් මෙන්ම පුරුෂයාගේ සරුබවේ අඩුවකින්ද සිදුවිය හැකි බව දැන් අප දන්නා මුත් පුරුෂාධිපත්යට නතුවූ සමාජයේ ඇඟිල්ල දික්වූයේ ස්ත්රියටම පමණි. එහෙයින් සුරඹිදෙනකගෙන්
දරුවකු සාදා ගැනීමට යොමුවූයේ පිරිමියා පමණක් වූ අතර ඔහු සරු තැනැත්තෙකු නොවුණා නම් දරුවකු සාදා ගැනීමේ විකල්ප මඟක් විවාහක ස්ත්රියට නොතිබිණි. ඒ කෙසේ වෙතත් එදා තිබූ මෙම ක්රමය එහි සදාචාරාත්මක පැත්ත සහ දරු උපතින් පසු සිදුවූ මානුෂික අරගල හා නීතිමය කරුනු නිසා සමාජයේ එතරම් ප්රචලිත හෝ ප්රසන්න දෙයක් වූයේ නැත.
එහෙත් විද්යාවේ දියුණුවත් සමඟ මෙම කෘතිම දරු උපත් ක්රියාවලිය එනම් නල බබුන් තැනීම ඉතාමත්ව සදාචාරාත්මකව සහ ක්රමවත්ව සිදු කිරීමට වෛද්යවරුන් හා විද්යාඥයින් සමත් වූහ. විශේෂයෙන්ම ඉන්දියාව වැනි වෛද්‍ය විද්යාවෙන් පමණක් නොව තොරතුරු තාක්ෂණයෙන් හා පරිගණක තාක්ෂණයෙන් හිනිපෙත්තටම නැඟි රටවවල් මෙම කෘතිම දරු උත්පාදනය යහමින් මුදල් හම්බකරනා ජාවාරමක් බවට පත් කර ගත්තේ මනුසත් ගුණය කුණු බක්කියටම තල්ලුකර දමමිනි.
මම මේ කරුනු මෙසේ ගොනු කළේ මා පසුගියදා කියවා නිම කළ අපූරු නව කතාවක් ගැන ඔබට කියන්නට ගන්නා ප්රවිශ්ටයක් ලෙසිනි. පොත ඉන්දියානු ජාතික කිස්වාර් දේසායි නම්වූ කීර්තිමත් ලේඛිකාව විසින් ලියන ලද්දකි. ඉංග්රීසි බසින් Origins of Love නමින් ලියා තිබූ එය " ආදර
අංකුර" නමින් සිංහලට හරවා තිබුණේ අපට සිටින එවැනිම කීර්තිමත් හා කෘතහස්ත ලේඛකයෙකි. ඒ වෙන කවුරුන් හෝ නොව සමන් අතාවුදහෙට්ටී නම් වූ සහෘද කලාකරුවායි. පොත ලියූ කිස්වාර් දේසායි සහ අපේ අතාවුදහෙට්ටි
අතර ඇත්තේ ඉතාමත්ම සමාන වූ ලේඛන කලාවට සම්බන්ධ වට පිටාවකි. මම ඒ බව පොතේ පසු පිට කවරයෙන් මෙසේ උපුටා දක්වමි.
" ඇය සිය මාධ්‍ය ජීවිතය ඇරඹූයේ පුවත් පත් කලාවේදිනියක ලෙසිනි. පසුව විද්යුත් මාධ්‍ය සමඟද සම්බන්ධ වූවාය. රූපවාහිනී වැඩසටහන් පූරකවරියක, නිෂ්පාදිකාවක
හා නාලිකා ප්රධානියක ලෙසද ඇය කටයුතු කර තිබේ. එමෙන්ම ඇය පුවත් පත් තීරු ලිපි රචිකාවකි.කීර්තිමත් ලේඛිකාවකි."
" ඔහු සිය මාධ්‍ය ජීවිතය ඇරඹූයේ ගුවන් විදුලි මාධ්යවේදියෙකු ලෙසිනි. පසුව මුද්රිත මාධ්‍ය සමඟද සම්බන්ධ වූයේය. රූපවාහිනී වැඩසටහන් පූරකවරයකු , නිෂ්පාදකයකු හා නාලිකා ප්රධානියෙකු ලෙසද ඔහු කටයුතු කර තිබේ. ඔහුද පුවත්පත් තීරු ලිපි රචකයෙකි. කීර්තිමත් ලේඛකයෙකි"
මෙහි සදහන් නොවූ ඔහු ගැන මා ආදරය කරන තව දෙයක් මම කියමි. ඔහු හොඳ ගීත රචකයෙකි.රසවතෙකි.
මෙහි කතා නායිකාව සිම්රන් සිං නම් වූ මැදි වයසේ අවිවාහක කාන්තාවකි. ඇය ගතානුගතික ඉන්දියානු කාන්තාවක් නොවන , තරමක් රැඩිකල් , බටහිර ගති පැවතුම් ඇති සමාජ සේවිකාවක බව කතාව කියවාගෙන යාමේදී අපට වැටහේ. ඇය තම මව සමඟ කතා බහ කරන ආකාරය , ඇය සමාජය දෙස බලන අයුරු සහ රතු වයින් හා විස්කි වඩියක් බීමට ඇති පුරැද්ද වැනි දෙයින් අපට ඒ ගැන පැහැදිලිවේ.
කතාව ඇරඹෙන්නේ ඇයගේ අහිමිවූ ළමා වියේ ප්රේමයක් පිළිබඳව අනුවේදනීය පුවතකිනි. සිත කලඹන මේ පුවත නම් ඇයගේ කුළුඳුල් යොවුන් පෙම්වතා ඔහුගේ දෙමාපියන් සමඟ ගමන් ගත් ගුවන්යානය අනතුරට පත් වී මුහුඳට කඩා වැටීමය.එහෙත් ඉතාමත්ම අස්වභාවික නමුත් සිදුවිය හැකි දෙයක් ලෙස ඔහු නොමැරී නමුත් සිහිවිසංඥව එසේත් නැතිනම් කෝමා තත්වයට පත් වී ඔවුනට සම්බ වීම සිතේ බලාපොරොත්තවක පොහොට්ටුවක් ජනිත කරවන පුවතක් වේ. එහෙත් එදායින් පසුව ඇයට ඔහුව දකින්නට නොලැබෙන්නේ කොහේ හෝ ඈතක රෝහලකට ඔහු රැගෙන යන හේතුවෙනි.
සිම්රන්ගේ කථාවත්, ලංඩනයේ වෙසෙන කේට් හා බෙන් නැමැති අඹුසැමි යුවළගේ කථාවත්, දිල්ලියේ කෘතිම දරු උපත් සායනයක් පවත්වා ගෙන යන දොස්තර පාංඩෙලාගේ කථාවත් සහ මුම්බායිහී රේගුවේ ලොක්කා වන නසීර් අලී සහ ඔහු යටතේ සේවය කරන රේගු නිලධාරී දිවාන් නාත් මේතාගේ කථාවත් වෙන වෙනම කොටස් හතරක් වශයෙන් වුවත් ඒවායේ එකිනෙකට ඇති සම්බන්ධය ඉතාමත්ම මනාවට පවත්වා ගනිමින් කතාව ගලා යන්නේ ඉතාමත්ම අපූරු හා නැවුම් ආකාරයටය. කිසි විටෙකත් කියවන්නා වෙහෙස කිරීමක් හෝ කම්මැලිකමට පත් කිරීමක් හෝ නොමැතිව කුතුහලය හා ඊළඟ කොටස වහා වහා කියවීමේ රැචිය ඇතිකරමින් මෙය ලියා ඇති ශූර විදිහ ඉතාමත්ම අලංකාරය. සිත් ඇදගන්නා සුළුය. එයට හේතුව ඇය යොදා ගෙන ඇති බස් වහරයි. ගතානුගකික මහා පණ්ඩිත වචන නොව එදිනෙදා අප භාවිතා කරන ශබ්ද කෝෂයයි.
සිම්රන් ගේ කතාව තම මව සහ ඇය දරුකමට හදා ගන්නා යුවතියන් අතර ගෙවෙන ඇගේ ජීවිතය අපට විදහාපාමින් ගලා යන අතර ලංඩනයේ සිද්ධියෙන් ඉන්දියාවෙන් සැතපුම් දහස් ගණනක් ඈත වෙසෙන කේට් සහ බෙන් නම් යුවලකගේ විවාහ ජීවිතයේ හැල හැප්පීම්ද අප වෙත ගෙන එයි. කේට් සහ බෙන්ගේ දරුවන් ලැබීමේ සිහිනය කිහිප විටක්ම ගබ්සාවීම් මගින් ඔවුනගෙන් ගිලිහී යද්දී කෘතිමව හෝ දරුවකු තනා ගැනීමට ඔවුන් සොයා එන්නේ ඉන්දියාවේ දරු උපත් සායනයයි. එහි සිටින දොස්තර පාංඩේ සහ ඔහුගේ වෛද්‍ය බිරිඳත් එහිම සේවය කරන දොස්තර ගංගුලිගේ කපටි ක්රියාවන් සහ දරු ගැබ් කුලියට දෙන අන්ත අසරණ දිළිඳු සුරඹි දෙනුන්(
Sarogate Mothers) හා ඔවුනව රවටා ඉතා සුළු මුඳලක්( එහෙත් ඔවුනට එය විශාල මුඳලක්) දී සල්ලී ලක්ෂ ගණනින් වංචනිකව හම්බ කරගැනීමට ඒ කාන්තාවන් සොයා දෙන ශර්මා නැමති කපටි අන්තුවාගේ වැඩ පිළිවෙලත් රචිකාව අප වෙත ගෙන එන්නේ අපද එතන සිටිනවායි යන හැඟීම සිතෙහි ජනිත කරමිනි.
එමෙන්ම මුම්බායි වල රේගුවේ සිදුවන අකටයුතු හා අසාධාරණ ලෙස සල්ලී සූරාකෑම හා අල්ලස් ගැනීම් වැනි දේ ඇය චරිත කිහිපයක් මඟින් පාඨකයා වෙත ගෙන හැර පාන්නේ වදින තැනට වද්දවා රිද්දවීමේ යටි අදහසද සිතේ තබාගෙනය. එහි සිටින රේගු ලොක්කා ඔහුගේ නෝංජල් සේවකයා වැනි අය අපේ සමාජය තුළද සුලභය. කථාවේ චරිත අපට වඩ වඩාත් සමීප වන්නේ එහෙයිනි.
කතාව මෙසේ ගලා යද්දී දිල්ලියේ පාංඩෙලාගේ සායනයේ නල බබකු උපත ලබයි. ඒ සඳහා අවශ්‍ය කළලය ඉන්දියාවට ගෙන එන්නේ ලංඩනයේ පිහිටි කළල බැංකුවකිනි. එහෙත් නොසිතූ ලෙස ඒ උපත ලබන බිළිඳියට ඒඩ්ස් රෝගය උපතින්ම වැළඳී තිබීමත් ඇයව භාර ගැනීමට මුඳල් බැඳ සිටි භාරකාර දෙමාපියන්ගේ අභිරහස් මරණත් කතාව පාඨකයාව නොසන්සුන්තාවයට
පත් කරයි. ඉන්පසු ඒ පසුපස වූ ගැටය ලිහා ගැනීමට මේ කළලය සඳහා ශුක්රාණු සැපයූ දානපතියා සොයා ලංඩනයට යන සිම්රන් සහ එහිදී ඇයට මුහුණ පාන්නට සිදුවන නොසිතූවිරෑ අලකලංචි සහ එම දානපතියා සමඟ ඇයගේ ලියලා වැඩෙන සුහුඹුල් ආදර අන්දරය, කතාව තවත් මානයකට ගෙන යන්නේ අපටත් නොදැනීමය.
අවසානයේ තවත් බොහෝ සිදුවීම් අතර සිම්රන්ගේ යොවුන් වියේ ප්රථම ප්රේමය වන ගුවන් අනතුරට පත්වී කෝමා තත්වයට පත් වූ තරුණයාව වසර ගණනාවකට පසු හදිසියේම හමු වීම දක්වා කතාව විහිදී යයි. ඉතාම අනුවේදනීය අයුරින් මේ හැම සිද්ධියක්ම රචිකාවිය පෙළ ගස්වා ඇත්තේ ඉතාමත්ම නවමු සහ විශිෂ්ට අන්දමිනි. අවයව විකිණීම් වැනි ඉතාමත්ම පහත් මට්ටමේ අකටයුතු සිදුවන ඉන්දියාවේ නල බබුන් තනමින් අහිංසක ගැහැනුන්ගේ බඩවල් පමණක් නොව ඩිම්බද සූරාගෙන ඔවුනට සොච්චමක් දී ලක්ෂ ගණන් හම්බකරගන්නා වෛද්‍ය වෘතියටද නිඟා දෙන පාපතර දොස්තර මුඳලාලිගේ ක්රියා පටිපාටිය හීන් සීරුවේ ඇය මේ කතාව තුළින් සමාජයට හෙළි කරන්නේ ඒ හිරිකිත වැඩය නින්ඳාවට පත්කරමින් හා එහි හෙළුව ඇඟට පතට නොදැනී නිරාවරණය කොට ලොවටම පෙන්වා දෙමිනි.
කතාව ඒ අයුරින් කෙතරම් විශිෂ්ට වූවත් අපට අපේම කතාවක් ලෙස දැනෙන්නේ එය අපේ බසින් ලියූ පරිවර්තනය කියවීමෙන් පසුවය. මම පරිවර්තන කෘති බොහෝ කියවා ඇත්තෙමි. එහෙත් පරිවර්තකයාගේ
බස හැසිරවීමත් මනා සංයමයත් හා පරිකල්පනයත් උසස් අයුරකින් නොවුණහොත් අපට එය අපේම කතාවක් ලෙස දැනෙන්නේ නැත. මීට පෙර මා කියවූ "අරනකට පෙම් බැඳ"නව කතාවේදී චින්තා ලක්ෂ්මියද " සෝබා නම් ග්රීකයා" කෘතියේ වඬිගමංගාව මහතාද සහ " අන්තිම දුම්රිය" කෘතියේදී කුලසේන ෆොන්සේකා සූරීන්ද මෑතක මා කියවූ පොත්වල මෙම පෙළහර පෑ තිදෙනකු පමණි. මා මේ ගොන්නටම සමන් අතාවුදහෙට්ටි මහතාද දැමීමට කැමැත්තෙමි. ඔහු ඉතාමත්ම අඟනා අයුරින් මෙම පරිවර්තනය අපේම කර ඇත. සමහර අවස්ථාවල මුල් කෘතිය අභිබවා යන වදන්ද යොදා ඇති බැව් මට හැඟේ. ඔබට එය හොඳින්ම විඳීමට පොතේ මා සිත පැහැරගත් අපූරු තැන් කිහිපයක උපුටන මෙසේ දක්වා සිටිමි.
පළමුව මෙම වර්ණනය දෙස බලන්න. මෙහිදී මේ යොදාගෙන ඇති උපමාවට ස්වාධීන රචිකාවට අපේ ගෞරවය හිමි විය යුතුය. මන්ද එය ඇයගේ අදහසක් බැවිනි.
" දකුණු ලන්ඩනයේ සන්සුන් වීදියක දෙපස, එකිනෙකට මුහුණ ලා ඇති මේ එක වගේ ගෙවල් පේළි, යුද්ධයට සැරසී සිටින පසමිතුරු පාබල හමුදා භට පේළි දෙකක් වගේ වුණත් , ඔවුන් එකිනෙකාට කඩා පැනීම වළක්වාලන්නට මෙන්, ඝන ඕක් ගස් තීරු දෙකක් ගෙවල් ඉදිරිපිට පදික මං පෙත් දිගේ ඉහළ නැගී තිබුණා." ( පිටුව 20)
මෙවන් දසුන් සැමදා මගේ නෙතු ගැටුණත් මෙවන් අපූරු දෙයක් නම් මට සිතී නොතිබිණි.
බලන්න මේ උපමාව. " ඇත්
දළ පැහැ පියයුරු මත පිපුණු ළා දුඹුරු තනපුඩු"
( පිටුව 37). මෙවන් දසුනක් විස්තර කිරීමට මීටත් වඩා වෙන මොන නම් උපමාද?
මේ යෙදුම් හා පහත ඇති සමන් අතාවුදහෙට්ටි මහතාගේ පරිවර්තනය ඔබව කුල්මත් කරනු ඇත.
" මේ පරයි හැම වෙලාවෙම බලන්නෙ අපේ ඇට මිරිකන්නෙ කොහොමද කියලයි."(පිටුව 48)
" එඩ්වඩ් වෝල්ටර්ස් පැදුර පෑගුවත් බඩු හරි"( පිටුව 57)
" ගංගුලිගෙ මේ වගේ ජල්තරවලට ගෑවෙන්න ඔහුගේ කැමැත්තක් නෑ"( පිටුව 85)
" අර ගෑනිගෙ නූලට නැටවෙන පොන්න පෙන්දෙක්"(
පිටුව 85)
" මේ කාලෙ ඉන්න මාධ්‍ය හුකාරිස්ලා පොල් ලෙලි ගස්සන්නෙත් ගෑනුන්ට කියල."( පිටුව 104)
" නසීර් අලී කියන නස්කූනියා"(
පිටුව 119)
" පාරෙ වැරදි පැත්තෙන් පිඹගෙන ඇවිත්"( පිටුව 132)
" ඕකව චුරු කරල , චොර කරල මරලා දානවා"(පිටුව 138)
" ඔහුගේ හිත තවමත් කීරි ගස්සනවා"(පිටුව 143)
"ආයෙත් කේට් දුන්නෙ කිරි ගහට ඇන්නා වගේ උත්තරයක්."(
පිටුව 154)
" ඔහු දෙවුර ගැස්සුවා. අරුමෙකි සෝබා සංසාරේ!"(
පිටුව 156) මෙය නම් පොතෙන් එහා ගිය යෙදුමක් යැයි මට සිතේ.
"අඩු තරමින් ඇයට වද දෙන කොඩිවිනේවත් මේ ගමනින් කැපිල යනව නම්"( පිටුව 156)
" බඩවෙලා කියල තාම පේන්නෙවත් නැති තරම් වුණත්"( පිටුව 157)
" උඹ බැලුවෙ මට මොත්තෙ දාලා පැනල යන්නද"( පිටුව 160)
" මූ පකෙන්තුවෙක්."
( පිටුව 161)
" ගොන් බඩුවක්",
" ජල්තරස් කේස් එකක්", " අබිලික් බබෙක්", " වරත්තු බේබදු ස්වාමිපුරුෂයා"(
පිටුව 164)
" මේ අලකලංචියෙන්"(පිටුව 167)
"මේ වේස පරයෝ", " තවත් හැමනෙන්නෙ නැතුව පලයන්."(පිටුව 173)
"අමර වරම හිමි තරුණ බඹරු"( පිටුව 351)
" සුවිනීත ලාලනී සිගරැට්ඉරුවෙ ඉතා ම අවිනීත විදිහට".(පිටුව 402)
මේ මගේ සිත්ගත්, කතාව අපේම කළ සමන් අතාවුදහෙට්ටි
මහතා විසින් නිර්භයව යොදා ගත් අපිටම ආවේණික වූ යෙදුම් කිහිපයක් පමණි. මෙවැනි අපේ වචන පොතේ බොහෝ ඇත. කතාව කියවන විට එය අපේම යැයි හැඟෙන්නේ එහෙයිනි.
ඔහු කෙතරම් නම් ශූරව මෙම පරිවර්තනය කර ඇති බවට තවනම් කුමන සාක්ෂිද? අපේ සාහිත්යට තව තවත් මෙවැනි පරිවර්තන කෘති අවැසි කාලයක, මේ ග්රන්ථය ඉඩෝරයට වට අමා වැස්සකැයි මට සිතෙන්නෙ එහෙයිනි.
මෙම පොතින් කතා කරන්නේ කාලීන ව්යවසනයකි. විද්යාවේ දියුණුවෙන් අපට දැන් දැන් බොහෝ දේ කළ හැකිය. මෙහිම විස්තර කොට ඇති අයුරින් ලදරු කළල යොදාගෙන තිරිහන්වීම්
, සුව කළ නොහැකි ලෙඩ සුව කිරීම් කළ හැක. තමන්ටම උවමනා ආකාරයේ දරුවන්(Designer
babies) හදා ගත හැක. කැමති කෙනෙකුගේ ශුක්රාණු තවත් කෙනෙකුගේ ඩිම්භ සමඟ සිංචනය කොට වෙනත්ම කාන්කාවකගේ ගර්භාෂයේ තැන්පත් කොට දරුවා ඉපැද්දිය හැක. මෙහිදී එකිනෙකාට දරුවාගේ ඇති සම්බන්ධය කුමක්ද? එකම ආකාරයෙ බබ්බුද අවැසි නම් සෑදිය හැක. එවිට ඔවුනගේ අනන්යතාවය කුමක් වේද? අප කෙතරම් දියුණු වූවද සොබා දහමට එරෙහි වීමට අපට හැකිද? එයට පිටුපා යා හැකිද? එලෙසින්ම ජනතා මුදල් මිලියන ගණනින් වියදම් කරමින් ලබා ගන්නා මෙම විද්යාවේ දියුණුවෙන් බැට කන්නේද , දූෂණය වන්නේද දිළඳු හා පීඩිත පංතියමයි. ඔවුනට කවදා නම් නිවනක් ලැබේද? අනාගතයේදී මිනිසා විසින් කුමක් නම් නොකරයිද? අපට අනාගතයේදී අප සිහිනයෙන් හෝ නොසිතූ දෙයට මුහුණ දීමට සිදුවනු ඇත. විසදුමක් නම් පෙනෙන තෙක් මානයක වත් නැත්තේය.