Pages

Friday, 26 December 2014

සුළං කුරැල්ලෝ නත්තලට නෑ ගම් ගියහ........




" සුළං කුරැල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අර ගෙන එන්නේ"

ආදරණීය හිතවතුනී ඔබ සැමගේම උදව්වෙන් අද අපට ඔවුන්ගේ පාළු ලොවට මල් සුවඳක් රැගෙන යාමට හැකිවූ බව පවසන්නේ අති මහත්වූ නමුත් ඉතාමත්ම නිරහංකාරවූ ප්රීතියක් හිත දරාගෙනය. එය මා කෙසේ නම් වචන වලට පෙරළම්ද?

නත්තලේ සැබෑ අරැත අද මට දැනුණි. එයට සම්මාදම් වූ ඔබ සැමත් මාගේ සිතිවිල්ල සැබෑවක් කර ගැනීමට නොබියව උරදුන් ඒ දිරිය කත කල්යාණි නිලන්තිකා ගොඩමුල්ල සොයුරියත් මේ අවස්ථාවේ සිහිපත් කරන්නේ හද පිරි බැතියෙනි.

කල්යාණියනී ඔබ සියලු බාධක පසෙක ලා මේ උදාර කර්තව්යයට ඉදිරිපත් නොවන්නට මෙය නම් සැබෑවක් නොවන්නේ මැයි.

මා ඒ දුෂ්කර වචන හරඹය මෙසේ අරඹන්නම්.

60-70 දශකයේ සුළං කුරැල්ලෝ,මගෙ නාමලී ආදී අමරණීය ගීත ගැයූ ඒ අසහාය ගායකයා ඔබ සැමට මතක ඇතැයි සිතමි. ඒ වෙන කිසිවෙකුත් නොව හරැන් කුමාර් ලන්ත්රා මහත්මායි.

මට එතුමාගේ වර්තමාන තත්වය අළලා නිපැයූ ඉතාමත්ම අනුවේදනීය වීඩියෝ පටයක් මුහුණු පොතින්ම දැකගන්නට ලැබුණේ මීට මාස දෙකකට පමණ පෙර දිනයකදීයි.

එහිදී මුහුණු පොතින්ම හඳුනාගත් සංවේදී සැබෑ මිනිසුන් කොටසක් මාගේ ඉල්ලීම කන්දී තම ශක්ති ප්රමාණයෙන් එතුමාට යම් උදව්වක් කිරීමට මුදල් එවූහ. සමහරැ තමන්ගේ අගහිඟ කම් මා හට නිහතමානීව පැවැසූහ. ඒ සියල්ලන්නටම මගේ ප්රණාමය.

ඒත් බොහෝ පින් කම් කරන සමහර මිතුරන් මුනිවත රකිමින් මගේ ඉල්ලීම ඉවත හෙළූහ.

එහෙත් අපට රැපියල් 160,000 පමණ එකතුකරගත හැකිවිය.

ඊළඟ ප්රශ්නය වූයේ මා ඇතුළු මුදලින් දායකවූ බොහෝ දෙනෙකු ලංකාවෙන් පිට වාසය කිරීම නිසා කාගේ ගිණුමකට මුදල් යවන්නේද යන්නයි.

එහිදී මගේ කල්පනාවට ආවේ මා මුහුණු පොතින්ම හඳුනාගත් කල්යාණි ගොඩමුල්ල සොයුරියයි. 

මා ඇයව ඒ කෙටි කලට හඳුනාගෙන සිටියෙමි. ඇය කිසිදු බාධකයක් තඹයකට ගණන් නොගෙන ඇයගේ ගිණුම් අංක මා වෙත එව්වාය.

මුදල් දස දෙසින් ගලා එන්නට විය. ඒත් ඒ සැප පුටුවල තපිමින් අනුන් තලා මරා සෙවූ මුදල් නොවනි.

ඒ දිවා රෑ නොඹලා සීතලේ හෝ ගිනි රශ්මියේ බොහෝ වෙහෙස මහන්සිවී උපයාගත් රන් කහවණුයි. එයින් හැමු දහඬිය සුවඳ එයට සාක්ෂි දරනු ඇත.

හරැන් මහතාගේ නිවසට හොරැ පැන මුදල් කොල්ල කෑවේ මේ කාලයේදීමය.

මේ ගැන බියවූ සමහරෙක් මේ ගැන කියා පස්ස ගහන්නට පටන් ගති. ඒත් කල්යාණිය නොසැලුනාය. ඈ කියූ වදන් මට අද මෙන් මතකය.
" මල්ලී බෙල්ල ගහලා ගියත් ඔයාට මම මේ පොරොන්දු වූ වැඩය කරනවා"

මෙවැනි මිනිසුන් සහයට සිටිනවානම් කල නොහැක්කේ කුමක්ද? අවාසනාවට අප අතර වැඩිපුර සිටින්නේ ඉදිරියට යන්න නොව පසුපසට අදින්නට වලි කන උදවිය වීම අපේම අවාසනාවය.

කෙසේ හෝ මේ එකතුවූ මුදල එකවර හරැන් පවුලට නොදී මාස්පතා වියළි ආහාර විලසින් ප්රදානය කිරීමට තීරණය කෙරැණි.

එම සිහිනය පසුගිය මාසයේ අපට සැබෑ කරගන්නට හැකිවුණි. නොවැම්බර් 25 වෙනිදා රැපියල් 10,000 වටිනා ආහාර ද්රව්ය ඔවුනට ගෙනගොස් දුනිමු.

කෑගල්ලේ සිට පැමිණි කල්යාණි සොයුරියට සහය වීමට කෙටි කලකට මව් බිමට ගිය මටද හැකිවීම මගේ දිවියෙහි මා ලද විශාලතම භාග්ය සේ සලකමි.

එදා ඒ නිවසට ගිය අපට ඔවුනට හැම අතින්ම ඇති අඩුපාඩු පෙනුණි. හැම මසකම 25 වෙනිදා ඔවුනට අවැසි දේ රැගෙන නෑ ගම් යාමට කල්යනි සොයුරිය පොරොන්දු වූවාය.

එහි ප්රතිඵලයක් ලෙස සැබෑ නත්තල් අසිරිය ඔවුනට අද දිනයේ ලබා දීමට අපට හැකි විය.

කල්යාණි සොයුරිය මේ දිනවල කඩා හැලෙන වර්ෂාවද නොතකා කෑගල්ලෙන් පාන්දරම පිටත්වී තිබිණි.

ඒ ගමනට එක්වූ ඇයගේ සහෝදරයාගේ ප්රත්ර රත්නය මනුජ විරාජ් තරැනයා මේ අවස්ථාවේ සිහිකළ යුතුමය. අපෙන් පසු මෙවැනි කටයුතු ඉදිරියට ගෙනයා යුත්තේ ඔවුන් නිසාවෙනි.

ඊයේ සිටම කල්යාණි සොයුරිය මුහුණු පොතින් මා අමතමින් ගමනට ලක ලැහැස්ති විය. අද කිරිබත්ගොඩින් බැස හරැන් යුවලට අවැසි ඇඳුම් ආයිත්තම් ගැනීමට ඇය මනුජ පුතුත් කැටිව පැය තුන හතරක් වැය කළාය.






අද මේ නත්තල් නිවාඩුවේ තමන්ගේම ළඟම නෑදෑයෙකුවත් වැඩකට යැවිය හැකිද යන වග මා මෙන්ම පිටරට වෙසෙන මිතුරෝ දනිති.

එහෙත් මනුසත්වයේ නාමයෙන් හඳුනාගත් ඇය මට දුරකථනයෙන් අමතමින් ඇඳුම් කැඩුම් තෝරාගෙන කැලණියෙන් හරැන් යුවලට අවශ්ය කෑම බීමද රැගෙන ඔවුනගේ නිවසට යන විට හවස පහටත් කිට්ටු වී තිබිණි.

ඇය මට එහි සිට දුරකථනයෙන් අමතා ඔවුන් අළුත් ඇඳුම් දැකීමෙන් ලද සතුට විස්තර කළාය. මෙහි ඇති පිංතූරවලින් ඔබට එය වැටහේවි.








මෙහිදී අසල්වාසී විපුල මහතා සහ නිලන්ති මහත්මියගේ අනුග්රහය මතක් නොකරම බැරිය. 

මා සමඟ දුරකථනයෙන් කතා කළ විපුල මහතා අපට පිං දෙමින් මේ ලෙසට හරැන් යුවලට යමෙකු සලකන අයුරැ ඔහු දුටුපළමු අවස්ථාව බැව් ප්රකාශ කළේය.

ඉතිං සහෝදර සහෝදරිය මීටත් වඩා තව නත්තලක් තිබේද? මීට වඩා තව පිනක් තිබේද? මීට වඩා තව නිරාමිස සතුටක් තිබේද?

ඒ සියල්ලම ලැබීමට අපට සහය දුන් ඔබ සැවොම පුණ්යවන්තයෝය.

හෙටම ඔවුනට වටිනා කියන කිසිවක් තබාගැනීමට කුඩා කැබිනෙට්ටුවක් සපයා දීමටත් ලබන මස 25 වෙනිදා අළුත් තීන්ත ආලේප කොට නිවස ශුද්ධ පවිත්ර කර දීමටත් අප ඔවුනට පොරොන්දු විමු.

මෙතරම් අධික වැඩ රාජකාරි මධ්යයේ මේ උදාර කර්තව්යයට තම කාලය හා ශ්රමය මිඩංගු කළ කල්යාණි ගොඩමුල්ල සොයුරියටත් ඇයගේ සොහොයුරාගේ පුත් මනුජ තරැණ මහතාටත් මගේ අවංක ප්රණාමය පුද කරමි. 

කල්යාණි අක්කේ, ඔබ නොවන්නට මෙය සිහිනයක්ම පමණක් බව මම නැවත කියමි.

එමෙන්ම මුදලින් උපකාර කළ මා මිත්ර ඔබ සැම නොවන්නටද මේ ව්යායාමය සිතිවිල්ලක්ම පමණි. ඔබ සැමටම මේ පින අයිතිය.

එමෙන්ම හරැන් මහතාගේ අසල්වාසී විපුල මහතා සහ නිලන්ති මහත්මියද
ඉතාමත්ම ආදරයෙන් සිහිපත් කරමි.



සැබෑ නත්තලක අසිරිය විඳි අප සැබෑම පින්වන්තයෝය. ජේසුනී ඔබ වහන්සේ බලාපොරොත්තු වූයේද මෙයම බැව් මා දනිමි.

දූ දරැවන් නැති, කාත් කවුරැවත් බලන්නට එන්නෙ නැති එදා රටක් නැලවූ හැමවිටම පිරිසක් වටේ සිටි අද කතා කරගන්නටවත් නොහැකි හරැන් මහතාට මොනවා සිතෙනවා ඇතිද?

ඔවුන් කුඩා දරැවන් සේ අද තුටු වූයේ එබැවිනි.

මේ ලෙසම ලබන මසත් අප එනතුරැ ඔවුන් බලා සිටීවි. ඒ සඳහා ශක්තියක් වීමට ඔබ තවම පරක්කු නැත. විශේෂයෙන්ම ඔවුන්ගේ සෞඛ්ය තත්වය බැලීමට අපේ හිතවත් වෛද්යවරැන්ගේ සේවය අත්යාවශ්යමය. 

සංවේදී වෛද්ය මිතුරණී ඔබටයි මේ කාරැණික ආයාචනය..

ඔබ සැමටම සුවබර සාමකාමී නත්තලක් පතමින් මා නවතිමි.ජය ශ්රී!!

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

Wednesday, 17 December 2014

අපේ කාලයේ යෝධයන් දෙදෙනකුගේ සමුගැන්ම.....



අපේ පුංචි ශ්රී ලංකාව ලෝකයේ ප්රසිද්ධ වුණේ අද ඊයෙක ඉදලා නොවේ. එක් එක් වකවානුවල විදේශිකයින් අපේ රට ආක්රමණය කළේ අපේ රටේ පිහිටීමත් එහි ඇති ස්වභාවික සම්පතුත් හේතුවෙනුයි.

අපේ රට විදේශිකයින් ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියා හැදින්වූයේ ඒ නිසයි. 

අවුරැදු සියයක් පමණ අපේ රට පාලනය කළ බ්රිතාන්ය ජාතිකයින් සිලෝන් නමින් අප රට හැදින්වූ අතර අපේ රටේ වැවූ තේ සහ කෝපි නිසා කා අතරත් අප රට ප්රචලිත වුණා."සිලෝන් ටී " කියූ විට අපේ රට නොදන්නා කෙනෙකු නැති තරම් වුනේ ඒ නිසයි.

ඒත් මෑත කාලයේ අපේ රට අන්තර්ජාතික ප්රජාවේ කතා බහට ලක්වූයේ මා ඉහත කී එකදු කරැණක් වත් නිසා නොවේ.

කරැනු දෙකක් නිසා විදේශිකයින් ලංකාව ගැන කතා කළා.

පළමු කරැන අපේ රටේ පැවති කොටි ප්රශ්නයයි. දෙවැන්න නම් ක්රිකට් ක්රීඩාවයි. 

මගේ මේ ලිපියේ අරමුණ ක්රිකට් ක්රීඩාවට සම්බන්ධ නිසා මා ඒ ගැන කතා කරන්නම්.

සුදු මහත්වරැන්ගෙන්ම ඉගෙන ගෙන ඔවුන්ගේම රටේදී දුලිප් මෙන්ඩිස්ලා , රෝයි ඩයස්ලා ඇතුළු අපේ කොල්ලන් ඉයන් බොතම්ලාට දුවන්න පිති හරඹය දියත් කළ දිනයේ ක්රිකට් ලෝකයේ ඇස් අපේ රට දෙසට හැරෙන්නට පටන් ගත්තා.ඒ තරගය වාර්තා කළ සුදු මහත්වරැම කීවේ මෙන්ඩිස්ව දවා ගන්නට බොතම්ට හතරේ සීමාවෙන් පිටත පන්දු රකින්නන් යෙදවිය යුතු බවයි.

මේ තරගාවලියෙන් පසු 1982 දී අපේ රටට ටෙස්ට් තත්වය පිරිනමනු ලැබුවා.

එහෙත් සැබැවින්ම ක්රිකට් නිසා අපේ රට ලෝකයේ ප්රසිද්ධ වුණේ 1996 ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුවයි. 

අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ අරවින්ද, මහානාම,ගුරැසිංහ,ජයසූරිය ඇතුළු අපේ කොල්ලෝ ලංකා නාමය ක්රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලිවූහ.

ලංකාවෙන් පිට විදේශයනිහී වාසය කරන ශ්රී ලාංකිකයින්ට නියම සිංහයින්සේ ඔළුව කෙළින් තියාගෙන ආඩම්බරයෙන් ක්රියාකිරීමට මේ නිසා අවස්ථාව උදාවිය. 

1996 ඒ දිනය මතක් වන විට අදත් අපට ඒ සතුට එන්නේ ඒ නිසාය.

මින් පසුව අපේ රට දෙස සැවොම බලන්නට පටන් ගත්හ. ක්රිකට් ක්රීඩාවේ අසීමිත දියණුවක් ඇතිවිය. 

මුරලි, ජයසූරිය වැනි සුපිරි ක්රීඩකයන් බිහිවිය.

කාලය මෙසේ ගතවෙද්දී 1997 දී කොළඹ ආනන්ද විද්යාලයෙන් නවතම සුපිරි ක්රීඩකයෙකු ලංකා පිළට එක්විය.

දෙනගමගේ ප්රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන ඔහුගේ සම්පූර්ණ නම විය. 

එනමුත් ඔහු කවුරැත් හැදින්වූයේ මහේල ජයවර්ධන නමිනි. ක්රිකට් ලෝලීන්ගේ හදවතේ ඔහු ආදරණීය මයියා විය.

මේ අතර වසර 2000 දී මහනුවර ත්රිත්ව විද්යලයෙන් ශ්රී ලංකා පිලට එක්වූ හුරැබුහුටි ක්රීඩකයෙකු කඩුලු රැකීමෙන් හා පන්දුවට පහර දීමෙන් කාගෙත් ඇස් අරවන්නට සමත් කම් දැක්වීය. 

කුමාර් චොක්ෂණාද සංගක්කාර ඔහුගේ සම්පූර්ණ නාමයයි. නමුදු ක්රිකට් ලෝකයේ ඔහු සැවොම දන්නා කුමාර් සංගක්කාරද ක්රිකට් ලෝලීන්ට සදාදරණීය සංගාද විය.

මේ සංගා හා මයියා අතර සුසංයෝගය සංගීත ලෝකයේ අමරදේව-සේකර ,වික්ටර්-ප්රේම් සුසංයෝගය මෙන්ම ශ්රී ලංකාවේ පමණක් නොව ක්රිකට් ක්රීඩා කරන සියලුම රටවල ප්රසිද්ධ විය.

දෙදෙනා එකතුව පිතිහරඹයේ යෙදී වාර්තා පිට වාර්තා තැබූහ. ඔවුන් පන්දුවට දින ගණන් පහර දුන්හ. පන්දු යවන්නෝ පන්දුවෙන් පන්දුවට පන්දු රකින්නන් වෙනස් කළ අතර ප්රතිවාදී නායකයාට තම පන්දු යවන්නා හා පන්දුවෙන් පන්දුවටම සාකච්ඡා පවත්වන්නට සිදුවිය.

සංගා පොතේ හැටියටම එල්ල කළ කවර් ඩ්රයිව් හා කට් පහරවල් කෙතරම් නම් නිවැරදිද? කෙතරම් නම් දැකුම්කළුද? විචාරකයෝ ඒ පහරවල් ගැන මහා ඉහළින් වර්ණනා කළහ. පුන පුනා විස්තර කලහ.

මයියා පන්දුව යන්නට ඉඩ හැර ගසනා ලද කට් පහරවල් හා ඇගටපතට නොදැනී එල්ල කළ හතරේ සහ හයේ පහරවල් නම් කොතෙක්ද? මේ කුසලතාවයන් නිසාම විචාරකයෝ චීකි ප්ලේයර්, ටච් ප්ලේයර් යන නම් වලින් මයියා හැදින්වීමට පුරැදු වූහ.

සංගා කඩුලු රකින විට පෑ පෙළහර කෙසේ නම් අමතක කරමුද? ඔහු කඩුල්ල පිටුපස නම් පිතිකරැ නිකමටවත් තම සීමාව පැන්නේ නැත. මක් නිසාද ස්ටම්ප් කිරීමේ කප්පිත්තෙකු කඩුලු රකිනා වූ බැවිනි. 

තමාගේ දකුණතට හෝ වමට පනිමින් සංගා කඩුල්ල පිටුපස සිට රැක ගත් උඩ පන්දුම නම් කොතෙක්ද?

එලෙසම මයියා ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් රැක ගත් උඩ පන්දු ගැනද කතා නොකරම බැරිය.

හිතා ගන්නටවත් කාලයක් නොදී තමා වෙත එන උඩ පන්දුවක් මයියා අත හැරියේම නැති තරම්ය.

මෙලෙස කාලය ගතවන විට මයියා ශ්රී ලංකා පිලේ නායකත්වයට පත්විය. ඒ සමයේදී අප ලෝක කුසලානය අබියසටම ආවද අවසාන තරගයේ කාලගුනයටද පැරදී කුසලානය අහිමි කරගන්නා ලදී.

ඉන් පසු සංගා නායකත්වයට පත්විය. එහිදීද ලෝක කුසලාන අවසාන තරගයට නැවතත් සුදුසුකම් ලැබූ අප ජයග්රහණය පෙනී පෙනී කවර හෝ හේතුවක් නිසා ඉංදියාවට පැරදුණි. එදා නායක සංගාගේ කඩා වැටී මැලැවුණු මුහුණ මට මේ මොහොතේත් මැවී පෙනෙයි.

මෙලෙසින් කාලය ගත වී දෙදහස් දාහතරෙහි දෙසැම්බර මස දහසය වෙනිදාටත් උදාවිය.

එදින කොළඹ ඛෙත්තාරාම ජාත්යයන්තර ක්රිකට් ක්රීඩාංගනයට ලක්ෂසංඛ්යාත ජනකායක් එක් රොක් වූයේ එංගලන්තය හා ලංකාව අතර සත් වැනි හා අවසාන එක්දින තරගය නැරඹීමටම පමණක් නොවේ.

එදින ලංකාව ඉතා විශිෂ්ට ජයග්රහණයක් අත් කරගත්තද ක්රීඩා ලෝලී නරඹන්නන්ගේ ප්රීති ඝෝෂා වෙනුවට ඔවුන්ගේ ඇස් පිරී තිබුණේ කඳුළිනි.

ඒ තම වීරයන් දෙපලකගේ සමු ගැනීම නිසා උපන් උණු කඳුළුයි.

සංගා හා මයියා ලංකාවේදී සෙල්ලම් කරන අවසාන එක්දින තරගය මෙය විය. ඉතිං කෙසේ නම් ක්රීඩා ලෝලීන් ඉවසන්නද?

ලොවෙහි සත්යය මෙයයි. අපට දිනෙක සමු ගන්නට වෙන්නේමය. කිසිම දෙයක් සදා කාලික නොවේ. 

අපට ඇති එකම සැනසීම නම් සංගා හා මයියා දෙදහස් පහළොවේ ලෝක කුසලානයට ක්රීඩා කිරීමයි. එම තරගාවලියෙන් පසු ක්රීඩා දිවියෙන්ම ඔවුන් සමු ගනු ඇත. 

සංගා හා මයියා සුසංයෝගය ඉතිහාසයට එක්වනු ඇත. ඒත් එක් දෙයක් නම් පැහැදිලිය. ඒනම් ඔවුන් සදාකල්හීම ජනතාවගේ හදවත් වල ජීවත් වන බවය.

සංගා , මයියා ඔබලා ලංකා මාතාව වෙනුවෙන් කළ සේවයට අප ඔබ දෙපළට සදා ණය ගැති 
වෙමු.

ඔබලා අපට ගෙන දුන් කීර්තියට බොහෝමත්ම ස්තූතියි.

අපට ලබන වසරේ ලෝක කුසලානය දිනා ගත හැකිවුවහොත් ඔබ දෙපොළට දෙත හැකි උපරිම සමු දීම එයම වන්නේය.

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

Friday, 12 December 2014

එම්බා මධුවිත....



මධුවිත ඇයි නුඹ 
කුරිරැ වූයේ මෙතරම්
නුඹට පෙම් කල මිනිසුන්ට
උරැම කෙරැවේ ගැරහුම්....?

මත් කරවා ඔවුන්
ඉන්දවා පොළවට උඩින්
සැනසුවේ බොරැවටද 
දැන්වත් කියන්....

තබා ගුවනේ මොහොතක්
කරකවා බොරැවට වටයක්
බිමට වට්ටා මරා දැමුවේ
නොමැතිව කිසිදු බුරැලක්....

අවුල් කරවා පවුල් හැම
උරැම කෙරැවේ සෝ තැවුල් කිම
නුඹට මිනිසුන් පුද කරන පෙම
විහිළුවට ගත්තෙහිද කිව මැන....

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

Sunday, 7 December 2014

කසුරි.....



මගේ මතකයේ හැටියට ඒ 1986 වර්ෂයයි. එක්තරා ඉරිදාවක දිවයින ඉරිදා සංග්රහයේ පළවූයේ අපූරැ ලිපියකි. ඊට දින කිහිපයකට ප්රථම පකිස්තානයේදී පකිස්තානුවන්ටම එරෙහිව තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ තරැණ ක්රිකට් ක්රීඩක අරවින්ද ද සිල්වා එම ලිපියේ කතා නායකයා විය.

ලිපිය ලියා තිබූ සුන්දර හා නැවුම් විලාසය එවේලේම මගේ සිත පැහැර ගැනීමට සමත් විය. ලිපිය ආරම්භ කොට තිබුණු අයුරැ මට අදටත් මතකය. ඒ අයුරින්ම ලිවීමට මතකය අවදි නොවූවත් එහි වූයේ මෙවැන්නකි.

" අරවින්ද කියූ සැණින් අපගේ මතකයට එන්නේ මඩෙන් ඉපැදී දියෙන් උඩට මතුවී බිඟුන් සනසන සහ බුදුන් පුදට ගන්නා නෙළුම් මලය."

"අනෙක් අරවින්ද නම් මාටින් වික්රමසිංහ සූරීන්ගේ විරාගයේ අරවින්දය. "

"මා කියන්නට යන්නේ මේ අරවින්දයන් දෙකම ගැන නොව තවත් අරවින්දයක් ගැනය."

මේ ආකාරයෙන්ම නොව විරාගයේ අරවින්ද හා නෙළුම ගැන කියා ඉතාමත්ම රසවත් අන්දමින් අරවින්ද ද සිල්වා ගැන රචකයා ලියා තිබුණි.

ඒ රචකයා නම් පසුගිය දිනෙක අප අතරින් සඳහටම සමුගත් කරැණාදාස සූරියආරච්චි නම්වූ අසහාය ලේඛකයාය. නැතිනම් අප කවුරැත් දන්නා කසුරිය.

කසුරිගේ අරවින්ද ගැන ලියූ ලිපියෙන් එතුමාගේ ලේඛන කලාවට පෙම් බැඳි මා එතුමා පුවත් පත්වලට ලියූ සෑම ලිපියක්ම අකුරක් නෑර මහත් කෑදර කමින් කියැවූයෙමි.

එතුමා ජෝතිපාලයන් ගැන ලියූ ලිපිය මට අදටත් මතකය. දැන් පිරිස් ජෝති වන්දනාවේ ගියද ජීවමාන ජෝතිට එකල මිනිසුන් ගැරවූහ. කසුරිගේ ලිපිය ඔවුනට මරැ පහරක් විය. 

ලිපිය ගැන පිරිස් වාද කළහ. වාදයට පිළිතුරැ වශයෙන් ජෝතිපාලයන්ම ඉතා නිහතමානීව "ඔවුන් ප්රබුද්ධ නම් අපි පීචං " යැයි ලියු තිබුණි. එයින් කිපුණු නිහාල් නෙල්සන් ඊට පසු සතියේ " ඔවුන් ප්රබුද්ධ නම් අපි සුප්රබුද්ධ" යැයි ලිවීය. මෙලෙස මහා වාදයකට හා ආන්දෝලනයකට තුඩු දුන් ලිපි රාශියක් එතුමා නිර්භයව ලියන ලදී.

1995 වසරේදී පොළොන්නරැවේ සේවය කළ රජයේ සේවකයන්ගේ හමුවකට සහභාගීවීමට මට භාග්යක් ලැබුණි. ඒ මාගේ බිරින්දෑගේ පියාණන් වූ පොළොන්නරැව දිසාපතිලෙස සේවය කළ ඤාණවිපුල මුණසිංහ මහතාට පිංසිදු වන්නටය. එදා ඒ හමුවට කසුරිද පැමිණ සිටියේය. එහි මෛත්රිපාල සිරිසේන මැතිතුමාද විය.

මගේ මාමංඩියගේ මාර්ගයෙන් මට කසුරි සමඟ කතා බහ කරන්නට අවස්ථාව ලැබුණි. බැඳපු වැව් මාළු කෑල්ලක් සමඟ පොල් අරක්කු වඩියක රස බලමින් ඒ සුන්දර රාත්රියේ අප දොඬමළු වූ අයුරැ මට අදත් සිහියට එයි. එතුමා ඉතාමත්ම නිහතමානී පුද්ගලයෙකු බව එදා මා තේරැම් ගතිමි.

පොළොන්නරැවේ ගුරැවරයෙකු ලෙස සේවය කොට පසුව විවිධ පුවත් පත් වල සේවය කළ එතුමා සියලුම වර්ගයේ ලිපි ලිවීය. ශාස්ත්රීය ලිපි,උපහාසාත්මක ලිපි,දේශපාලන ලිපි හා ක්රීඩා ලිපි ඒ අතර වැදගත් විය. කාහටත් තේරැම් යන සරල සුමට රසවත් බස් වහර සැම සිත් සතන් වශී කිරීමට සමත්විය.

සම්මානනීය නවකථා රාශියක්මද එතුමා විසින් ලියා පළ කරන ලදී. ඒ අතරින් බොහෝ පොත් රාජ්ය සම්මාණ සඳහාද නිර්දේශ විය.

ජීවත්ව සිටියදී එතුමාට හරිහැටි ඇගැයීමක් ලැබුනාදැයි මම නොදනිමි. එහෙත් පළමු අවමගුල් සංවත්සරයනම් මහා ඉහලින්ම පවත්වනු ලබන බව මම දනිමි. පුදුමයක්ද නැත. මොකද මේ ශ්රී ලංකාවය.

නිවසේ නාන කාමරයේදී ලෙස්සා වැටීමෙන් සිදුවූ හදිසි අනතුරකින් රෝහල් ගත කිරීමෙන් අනතුරැව අප හැරයද්දී එතුමා හැට හත් වන වියේ පසුවිය.

ලේඛන කලාවෙන් මෙතරම් රටට සේවය කල හා පුවත් පත් එතුමාගේ ලිපි වලින් ජනප්රිය කල එතුමා ගැන පුවත් පත් වල පළවූයේ ඉතාමත්ම අල්ප හා කුඩා ලිපිය. මේ ශ්රී ලංකාව නිසා මා පුදුම නොවිමි. 

තව ටික දිනකින් එතුමා සදහටම අමතකව යනු ඇත. 

එහෙත් සබඳ ඔබට ආදරය කළ අපගේ හදවත් තුළ ඔබ සැමදාම ජීවත්වනු ඇත.

ඔබ ගැන ගාමිණි සුමනසේනරයන් ලියූ කවියක අවසාන පදයත් සමඟින් මට සමුගන්නට අවසර.

" ඔබ අද ගියා අප සැම හෙට යන ගමන...."

කසුරි, අප යම් දිනෙක නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ ගමන්!!

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

Monday, 1 December 2014

සුළං කුරැල්ලෝ ගගන සැරෑහ....



උපන්දා සිට කරපු පව් වලින් මිදීමට කැලණි විහාරය වරක්වත් වැඳපුදා ගතයුතු බව මා අසා තිබුණද විහාරය අබියසටම ගොස් විහාරය වැඳපුදා ගැනීමටනම් මට නොහැකි විය. ඒත් ඒ වෙනුවට ඒ අසබඩම වෙසෙන වරෙක තම හඬින් රටක්ම නැලැවූ එහෙත් අද තම කට හඬ පවා පිටකරගත නොහැකිව තම බිරිඳ සමඟ පාළු නිවහනක තනිවූ රටටම අමතකව ගිය එක්තරා අසහාය ගායකයෙකුගේ මුහුණේ බොහෝ කලකට පසු සතුටු සිනහවක් ඇතිකිරීමටනම් සමත් විමි.

ඒ දෙදහස් දාහතරේ නොවැම්බර මස විසිපස් වැනි අඟහරැවාදාවයි. කලින් යොදාගත් පරිඳි උදෑසන නමයට කැලණි පුරවරයේ තොරණ හංදියේදි ඇය මට හමු විය. 

නමින් කල්යාණි ගොඩමුල්ලවූ ඇය දිවියේ පළමු වරට කැලණියේදීම හමුවීම දෛවෝපගත සිදුවීමක්ම විය. 

මුහුණු පොතින් හදුනාගත්තද දුටු පළමු සැනින්ම ඇය සසර පුරාවටම හදුනාගෙන සිටි අයුරක් මා සිතට දැනුණි.

තම හිතමිතුරන් හා නෑදෑයින් ඇයට අනතුරැ හඟවද්දී හා අහක යන කරදර ඇඟේ එල්ලා නොගන්නා ලෙස අවවාද කරද්දී නිර්භයව මට පොරොන්දුවූ පරිදි අප රට රටවල සිට එවු මුදල් තම ගිණුමට බැරකිරීමට ඉදිරිපත්වූ සංවේදී කාන්තාව ඇයයි.

කාර්යාලීය දිනයක්වූ බැවින් ඇයට මේ ගමන යෑම සඳහා එක්වීමට පොරොන්දුවූ කිහිප දෙනෙකුම අන්තිම මොහොතේ ඒමට නොහැකිබැව් දන්වා සිටීමෙන් කනස්සලුවූ ඇයගේ වත මා දුටු විගසම උදෑසන හිරැ මඬල මෙන් පැහැපත් විය.

කල්යාණි සොයුරිය උදෑසනම කෑගල්ලේ සිට පැමිණ සිටියාය. මම පානදුරේ සිට මගේ ආදරණීය බිරින්දෑගේ මව් හා රියදුරැ ප්රේමසිරිත් සමඟ ඒ දින කිහිපයේදී පාවිච්චියට මිතුරෙකුගෙන් ඉල්ලා ගත් වෑන් රථයෙන් පැමිණියෙමි.

අපගේ පළමු කාරිය වූයේ කලින් කතිකාකරගත් පරිඳි රැපියල් දස දහසක් වටිනා වියළි ආහාර ද්රව්ය එතුමා සඳහා මිලදී ගැනීමයි. ඒ සඳහා නැවත නුවර පාරට යෑමට අපට සිදුවිය.

අවැසි බඩු බාහිරාදිය මිලදීගැනීමෙන් අනතුරැව තොරණ හංදියෙන් හැරී පොල්හේන නිවාස සංකීර්ණයේ පිහිටි එතුමාගේ නිවස බලා ඒ අනුවේදනීය ගමන ඇරඹීමු.

ඒ දින කිහිපයේම වර්ෂාවෙන්නම් කිසිදු අඩුවක් නොවීය. කටවචනයට කියනවානම් වැස්සේ 'පැල් බැඳගෙනය'. එහෙත් අපගේ මේ උතුම් ක්රියාව පිළිබඳ පැහැදීදෝ වලාකුළු වැහිබිඳු සඟවා හිරැ කිරණ අප වෙත එවීමට මඟ එළිපෙහෙළි කොට තිබුණි.

එතුමා දෙස නොබැලුවද කුළුණු නෙතින් බලා වැඩවසන බුදුහිමි අනුරැව කිහිපයකින්ම යුක්තවූ මංසන්ධි කිහිපයක්ම පසුකිරීමෙන් අනතුරැව අප එතුමා සිටින ඉසව්වට අවතීර්ණ විමු.

අපගේ මේ සත්ක්රියාවට දායක වෙමින් මීට මසකට පමණ පෙර එතුමා බැලීමට ගිය මාමිත්ර ජයන්ත සුබසිංහ සොයුරාගෙන් හඳුනාගත් විපුල නම්වූ අපගේ අසහාය ගායකයාණන්ගේ අසල්වැසියා අපට එතුමාගේ නිවසටම යාමට මඟ පෙන්වීය.

මොහොතකින් අප සිටියේ රටක් නැලැවූ දැයක් සැනැහූ ඒ අමරණීය ගායක හරැන් ලන්ත්රා මහතාගේ නිවස ඉදිරිපිටයි.

එය අහස උසට බැඳි තාප්පයන්ගෙන් වටව මුරකාරයින්ගෙන් සන්නද්ධවූ විසල් මංදිරයක් නම් නොවීය. 

පාර අද්දරටවූ ගරා වැටුණු ඒ කුඩා නිවසේ මුළුතැන් ගෙයි සිට ඇය පැමිණියාය. ඒ හරැන් මහතාගේ දුකට හා සැපට සිටින එතුමාගේ ආදරණීය බිරිඳයි.

ඒ මොහොතේ තම කුඩා දියණියද සමඟ අසල් වාසී නිලූ මහත්මිය එතුමාගේ ගේදොර අතුපතු ගාමින් පසුවූවාය.

අප සාදරයෙන් පිළිගත් ලන්ත්රා මහත්මියට අප ආ කාරණය සැලකොට සිටීමෙන් අනතුරැව එතුමිය අපට වාඩිවන ලෙස ආරාධනා කළාය.

ඒ මොහොතේ යම්කිසි කටයුක්තකට හරැන් මහතා හන්දියට ගොස් සිටි බැවින් එතුමා එනතුරැ අප හරැන් මහත්මිය හා දොඬමළු විමු.

කඳලු පිරි දෙනෙතින් ඔවුනට සිදුවූ අකටයුතු(මෑතකදී සිදුවූ සොරකම) පිළිබඳවත් එය සැලවී ජනාධිපතිතුමා දුරකථනයෙන් කතා කොට ඔවුනට මුදල් දුන් බවත් පවසා සිටියාය.

ඔවුන් දැන් වසන මේ නිවස ලබා දී අවැසිවිට ඔවුනට දෙවියෙකුසේ උදව් උපකාර කරන සනත් ගුණතිලකයන් ගැන එතුමිය පැවසුවේ අතිමහත් ආදරයකින් හා භක්තියකිනි. 

තම පුතකුමෙන් සනත් ගුණතිලකයින් කරනා මේ අනඟි කටයුතුවලට ඇය පින් දුන්නාය.

අප ඇයට අප ගෙනගිය බඩු බාහිරාදිය භාර දුනිමු. අප ගෙනගිය බටර් වැනි ආහාර ද්රව්ය ඔවුන් සතුව ශීතකරණයක් නොමැති හෙයින් ඔවුන්ගේ දුකට සැපට සිටින අසල්වාසී විපුල මහතාට භාර දුනිමු.

අප මේ අවස්ථාවේ නිවස පිරිසිදු කරමින් සිටි නිලූ මහත්මියටද කතා කිරීමට අමතක නොකළෙමු. ඇය පැවසුවේ ලන්ත්රා යුවළගේ වයෝවෘධභාවය හා අමතකවීම නිසා ගේ දොර කෙතරම් පිරිසිදු කළත් නිතරම අපිරිසිදුවන බවයි.

හරැන් මහතා බී එහෙ මෙහේ දැමූ බීඩි කොට ඉස්තෝප්පුවේ සෑම තැනකම විය.

දුහුවිල්ලෙන් වැසී මකුළුවන්ගේ පහස ලබමින් පසුවූ ඒ දුර්වර්ණ සම්මාන,සහතික හ සමරැ ඵලක කැඩුණු මේසයක් මතහිඳ අපට කියා පෑවේ මේ දිවියේ අනියතබවේ සත්යයයි.

මා නිලූ මහත්මියගෙන් ගේ දොර පිරිසිදු කර කෑම උයා පිහාදීමට සේවකයෙකු හෝ සේවිකාවක් නැවැත්වීම පිළබඳව විමසා සිටියෙමි. එවිට ඇය එක හෙළාම පැවසුවේ එවැනි දෙයකට හරැන් මැතිනිය අකමැතිබවත් ඇයටම කෑමබීම පිළියෙල කරගැනීමට අවැසිබවත්ය.

එවිට මා නිලූ මහත්මියට මසකට වැටුපක් ගෙවිය හැකිබවත් ඔවුනගේ වැඩකටයුතු බලාගන්නා ලෙසත් ඉල්ලා සිටියෙමි.

සිනාමුසු මුහුණින් කාරැණිකව ඒ ඉල්ලීම ප්රතික්ෂේප කල ඈ වැටුප් අවැසි නැතිබවත් තම කැමැත්තෙන් මේ ආකාරයෙන් ඔවුනට උදව් කල හැකි බවත් පවසා සිටියාය.

හරැන් මහතා මාමයිට් කෑමට ප්රිය කරන බව අප දැන ගත්තේ හරැන් මහත්මියට අප ගෙන ගිය බඩු පෙන්වා දෙද්දීය. අප මාමයිට් මිලට නොගත් බව සිහිවූයේ එවිටයි. ඒ අවස්ථාවේදී ලොකු මාමයිට් බෝතලයක් ගෙනදීමට නිලූ මහත්මියට අප මුදල් දුනිමු.

මේ ආකාරයෙන් කාලය සෙමින් ගතවෙමින් තිබියදී ත්රිවිලර් රථයක් පැමිණ නිවස ඉදිරිපිට නතරවිය. පසුපස අසුනේ පඩංගුවී ගිය සරම් කඩමල්ලකින් හා බීඩි වැටී පිළිස්සීමෙන්වූ සිදුරැවලින් ගහන කමිසයකින් සැරසී අපිළිවෙළ කොණ්ඩයවසා කැප් තොප්පියක් පැළඳි කැහැටු සිරැරැති මහලු මිනිසෙකු වාඩිවී සිටියේය.

අතේ ඩයරියක් වැනි පොතක් විය. සාක්කුවට අත ඔබා එළියට ගත් උණ්ඩිවී ගිය මුදල් නෝට්ටු කිහිපයක් රියදුරැ අත තැබූ මේ පුද්ගලයා රියදුරැගේ ආධාරයෙන් බොහෝ අමාරැවෙන් බිමට බටහ.

මා කෙසේ නම් දෙනෙත් අදහාගන්නද? ඒ ඔහුය. 

හැටේ හා හැත්තෑවේ දශකයේදී ඔහු ගමන් යන්නට ඇත්තේ අති සුඛෝපභෝගී වාහනයකිනි. අද තිබුණේ ත්රීවීලරයකි.

එදා ගත සැරසූ වටිනා කලිසම් කමිස වෙනුවට අද තිබුණේ හම්පඩ ගැසුණු සරමක් සහ හිල්වී ගිය කමිස කඩමල්ලකි.

එදා මුහුණ පෙනෙන්නට දිස්නෙ දුන් සපත්තු යුඟලය අද නොවීය. කැඩීගිය සෙරෙප්පු ජෝඩුව දෙපා සැරසීය.

එදා රථයෙන් බැසීමට දොර ඇරදුන් කිසිවෙකු ළඟක නොවිණි. අප නිවස තුළ සිට විමතියෙන් හා ශෝකයෙන් මේ දෙස බලා සිටියදී මා රියදුරැ ප්රේමසිරි මහතාට වාරැවී දෙපා අද්දමින් එහෙත් ඒ අව්යාජ සිනහවෙන් මුව සරසාගෙන එතුමා නිවසට ඇතුළු විය.

ඒ එදා සුළං කුරැල්ලෝ, හංස රානී හා මගෙ නාමලී ආදී අමරණීය ගීත ගැයූ ඔහුමය. අසහාය ගායක හරැන් ලන්ත්රාය. 

අප මොහොතකට කිසිවක් කියාගත නොහැකිව ගල් ගැසී සිටියෙමු.

එතුමා රැළිවැටී ගිය ඒ කෙට්ටු දෑත් එක්කොට අපට ආයුබෝවන් කීවේය. මා එතුමාගේ ඒ සීතලවූ දෑත අල්වා ගතිමි.

අපටද වාඩිවීමට අතින් සන් කළ එතුමා දුර්වර්ණවී ගිය ඒ කිලුටු සැටියේ වාඩිවිය. මා එතුමා ළඟට කිට්ටු වී අපගේ අරමුණ පැහැදිලි කළෙමි. කල්යාණි සොයුරියද මට එක් වුවාය.

මා එතුමාට " මා ඔබගේ සුළං කුරැල්ලෝ ගීතයට බෙහෙවින්ම ප්රියකරමි" යැයි පැවසූවිට " ඇයි.... මගෙ නාමලී....."යැයි බිඳුණු ස්වරයෙන් ඉතා ආයාසයෙන් උඟුර යටින් එතුමා පවසා කටෙහිවූ එකම දත පෙන්වා අහිංසක ලෙස සිනා සැලීය.

එතුමාගේ උගුරේ ආබාධය නිසා හොඳින් කතා කළ නොහැකිබවත් ඒ සඳහා ශල්යකර්මයක් කළයුතු බවත් හරැන් මහත්මිය පැවසුවාය. ඒත් ඒ පිළිබඳ ඇති බිය නිසා ඇය එය කිරීමට ඉඩ නොදෙන බවද වැඩිදුරටත් කියා සිටියාය. " මට ඉන්නේ ඔච්චරයි. මේ මගේ පණ" ඒ ඇයගේම ආදරණීය වදන්ය.

අප ගෙන ගිය බඩු හරැන් මහතාට දුනිමු. චායාරෑපයක් ගැනීමට අවැසිබැව් අප පැවසූ විට කැප් තොප්පිය ගලවන්නදැයි මගෙන් සිනාසී විමසීය. ඉන්පසුව එතුමා සිනාමුසු මුහුණින් අප සමඟ ඡායාරෑප වලට මුහුණ දුනි.

කෙමෙන් අප සමු ගන්නා මොහත උදාවුණි. හරැන් මහතාගේ නිවස ඉදිරිපිට වෙසෙන ගරාජයක් පනත්වාගෙන යන විපුල මහතා තම
වැඩ කටයුතුද අතපසුකොට ඒ සම්පූර්ණ කාලයේම අප සමඟ සිටීම අපට විශාල ශක්තියක් හා පිටුවහලක් විය. ලන්ත්රා යුවලම විපුල මහතා ගැන ඉමහත් ප්රශංසා මුඛයෙන් කතා කළහ.

අප මේ කරන්නාවූ සත් ක්රියාව පැසැසූ විපුල මහතා මෙතුවක් කාලයකට හරැන් මහතාට මෙවන් උදව්වක් කරනු දුටු පළමු අවස්ථාව මෙය බැව් පැවසීය. අප අපගේ ඉදිරි කටයුතු සඳහා අවශ්ය වුවහොත් මුදල් යැවීමට විපුල මහතාගේ ගිණුම් අංක ආදිය ඉල්වා ගතිමු.

හරැන් යුවළ හා කළ කතා බහේදී ඔවුනට ඇඳුම් පැළදුම් වලින් බොහෝ අඩුපාඩු ඇතිබැව් දැනගන්නට ලැබුණි. 

මීට මසකට පෙර ජයන්ත සොයුරා ගිය දිනයේ ඇඳ සිටි කමිශයෙන්ම මෙදිනත් හරැන් මහතා සැරසී සිටීම එයට හොඳම සාක්ෂිය විය. 

දෙසැම්බර විසිපස් වෙනිදා ඔවුනට අවශ්ය ඇඳුම් පැළඳුම් අප සුළං කුරැල්ලෝ අරමුදලෙන් මිලදී ගෙන ඔවුනට ලබාදීමට කල්යාණි සොයුරිය පොරොන්දු වූවාය.

අප ඔවුනගේ දෙපා නමැද සමු ගතිමු. දිවියේ පළමු වරට හැබැහින් හමුවුවද මා කුඩාකළම හඳුනාගත් එතුමාගේ හඬ නිසා මට මහත්වූ දුකක් ඇතිවිය. 

අපට සමුදීමට ඉස්තෝප්පුවට පැමිණි එතුමා මා ඇඳසිටි ටී ෂර්ටය
අල්ලා මෙවැන්නක් තිබුණොත් හොඳයැයි හස්ත මුද්රාවෙන් පැවසූවිට මට ඇතිවූ දුක මා කෙසේනම් ඔබට විස්තර කරන්නද? මා වහාම වෑන් රථයට ගොස් මාගේ දෙතුන් වරකට වඩා ඇඳ නැති ටී ෂර්ටයක් හා අත්කොට කමිසයක් ඉමහත් භක්තියෙන් එතුමාට ප්රදානය කළෙමි.

ඒ අවස්ථාවේ එතුමාගේ මුහුණේවූ හැඟීම් විස්තර කිරීමට අවැසි වදන් මා තවමත් සොයමි.

ඉන්පසුව විපුල මහතා සහ එම මහත්මියගේ කාරැනික ආරාධනයෙන් ඔවුනගේ නිවහනට ගොඩවැදී උණුසුම් තේ කෝප්පයක සංග්රහ විඳගතිමු.

මින් පසුව සෑම මසකම කල්යාණි සොයුරිය විපුල සොයුරාගේද සහය ඇතුව හරැන් යුවලට අවශ්යදේ සපයා දීමට අප කතිකා කර ගතිමු. දෙසැම්බරයේ ඔවුනට අවශ්ය ඇඳුම් පැළඳුම් ලබාදීමටත් කල්යාණි සොයුරියගේ හිතවතුන් යොදවා ගේ දොර පිරිසිදු කොට අලුතින් තීන්ත ගෑමටද තීරණය කළෙමු.

ඊළඟ මාසයේදී ඒ දිරායමින් පවතින සම්මාන සහතික ගොන්න ආරක්ෂාකොට තැන්පත් කොට තැබීමට කැබිනෙට්ටුවක් ප්රදානය කිරීමටද ගිවිස ගතිමු.

අවසන අප ඔවුනගෙන් සමුගෙන ආපසු යාමට පිටත් වීමු. එතරම් සතුටින් සිටි දිනයක් මට මතක නැත. එතුමාට උදව් කිරීමට තීරණය ගත් දිනයේ සිටම එය හැබෑවක්වී මල්ඵල ගැන්වුණු මොහොත දක්වාම මගේම දෙමාපියන්ට සලකනවා වැනි හැගීමකින් මා සිත පිරී තිබුණි.

මේ සඳහා දායකවු පිංවත් ඔබසැම නොවන්නට මෙයත් තවත් එක් සිතිවිල්ලක්ම පමණක් වනු ඇත. මගේ ඉල්ලීම පිළිගෙන මා විශ්වාස කොට තම ශක්ති ප්රමාණයෙන් සහය වූ ඔබ සැවොම මම අද සිහිපක්කරන්නේ අපිරිමිත සෙනෙහසිනි. භක්තියෙනි. නම් වශයෙන් සඳහන් නොකළත් ඔබ සැම කළ සේවය අමරණීය බවද පවසණු කැමැත්තෙමි.

විශේෂයෙන්ම තම ගිණුමට මුදල් බැරකිරීමට ඉඩ සලසා දෙමින් සෑම මසකම හරැන් මහතා බැලීමට ගොස් ඔවුනට අවැසිදේ සපයා දීමේ පිංවත් ක්රියාවේ වගකීම තම කරට ගත් කල්යාණි ගොඩමුල්ල සොයුරියනි ඔබ අපට විශාල ශක්තියකි. සැමටම ආදර්ශයකි. ඔබ ඉදිරිපත් නොවන්නට මට මේ කාර්ය කිරීම බොහෝ දුෂ්කර වනු ඇත.

මගේ ආරාධනය පිළිගෙන හරැන් මහතා හමුවී මූලික තොරතුරැ අපට සැපයූ ජයන්ත සුබසිංහ සොයුරාටත් මගේ අවංක ස්තූතිය පුද කරමි.

හරැන් මහතාගේ අසල්වාසීන් වූ විපුල මහතා සහ නිලූ මහත්මියටද අප සැමගේම ගෞරවාදරය මේ අවස්ථාවේදී පුදකරමි.

නම් වශයෙන් නොකීවත් මේ සඳහා නන් අයුරින් සහය වූ ඔබ සැවොම මේ අවස්ථාවේ සිහිපත් කරන අතර මේ ලිපිය කියවන ඔබ සැමටම විවෘත ආරාධනයක් කිරීමටද මේ අවස්ථාව යොදා ගනිමි.

එන්න අප හා එක්වන්න. ඔබ සැම අප හා එක්වුවහොත් හරැන් මහතා පමණක් නොව එදා අප සනසා අද අසරණව සිටින සියලුම කලාකරැවන්ගේ හෙට දවස ලස්සන කිරීමට අපට හැකිවනු ඇත. හිත හිතා නොසිට එය ක්රියාවට නංවන්න. තීරණය ඔබේය.

ඒ සමඟම මෙය කියවන අපගේ වෛද්යවරැන්ටයි මේ ආරාධනය. ඔබට හැකිවිටෙක හරැන් යුවළ හමුවීමට යන්න. එතුමාගේ කටහඬ අවදිකිරීමට ඔබට හැකිදැයි බලන්න. 
එතුමාගේ අත් රතු පැහැවී තිබුණා. මා ඒ ගැන විමසූ විට විපුල සොයුරා හරැන් මහතා මහ මඟ ඇඳ වැටීමෙන් එය සිදුවී ඇතිබැව් පවසා සිටියා. ඔවුනට අවශ්ය වෛද්ය ප්රතිකාර ඔබට දිය හැකියි. අපගේ අරමුදලින් ඒ සඳහා අවශ්ය වියපැහැදමක්වුවද දැරීමට අප සූදානමින් බව පවසන්නේ ඉතාමත්ම සතුටිනි.

ඉතිං සහෝදර සහෝදරිය සුළං කුරැල්ලෝ මේ අයුරින් එදා ගගන සැරෑබව අවසාන වශයෙන් ඉතාමත්ම සංතෝෂයෙන් හා තෘප්තියෙන් යුක්තව ඔබට පවසමින් මා අදට සමුගනිමි. ඔබ සැමටම ජය ශ්රී!!

Saturday, 15 November 2014

ඔබ සැමටම ස්තූතියි...!!



සුළං කුරැල්ලෝ, මගෙ නාමලී වැනි හැටේ සහ හැත්තෑවේ දශකයේ ඉතාමත්ම ජනප්රියවූ ගීත ගැයූ ඒ අසහාය ගායක හරැන් ලන්ත්රා මහතාගේ දැන් තත්වය පිළිබඳව වීඩියෝ පටයක් මාහට දැකගන්නට ලැබුණේ මීට සති කිහිපයකට පෙරය. එය දුටු මට ඇතිවූ සංවේගය වචනයෙන් කෙසේ නම් විස්තර කරන්නද?


මා එවෙලේම එතුමාට යම් උදව්වක් කරන්නෙමි යැයි අදිටන් කර ගතිමි. මුහුණු පොතින් හඳුනාගත් හා ලංඩනයේ වෙසෙන මගේ මිතුරැ මිතුරියන්ට පණිවුඩ මගින් මේ පිළිබඳව දැනුවත් කොට යම් උදව්වක් කල හැකිදැයි විමසා සිටියෙමි. 


එසැනින්ම බොහෝ දෙනෙකු මාහා එක්වූහ. පහත දැක්වෙන්නේ ඒ උදව් කළ පිංවතුන්ගේ නාම ලේඛනයයි.


අප සැමටම කරදර ඇතිබව මම දනිමි. සමහරැ ඒ අයට ඇති කරදර මට පැවසූහ. පසුව උදව්කරන බවටද පොරොන්දු වූහ. සමහරැ උපදෙස් හා අනුශාසනා වලින් මට උදව් විය. එහෙත් මේ අතර සමහරෙක් එවැනි පණිවුඩයක් ලදබවවත් නොහඟවා මුනිවත අනුගමනය කළහ. මා ඔවුන් සමඟ අමනාප නැත. හැමගේම හදවත් එකසේම උනුනොවන බව මම දනිමි. එසේ වූවානම් මේ ලෝකය කෙතරම් නම් ලස්සන තැනක් වනු ඇතිද?


මේ මාහා එක්වූ පිරිසයි.


පහන් තරැව සොයුරිය රැ 10,000

සිෆ්නි ෆාතිමා ෆාරැක් රැ 20,000

නයනසේන වන්නිනායක රැ 10,000

මාර්ක් ඇන්තනී කුමාරගේ රැ 5,000

අශෝකා විජේසූරිය රැ 2500

අරැන නිරංජන් රැ 3000

චන්දන ගුණසේකර රැ 10,000

තරංග සිල්වා රැ 9,900

ඇනට් ෆොන්සේකා රැ 10,000

මොනිකා බංඩාරනායක රැ 500

රත්න ජයසේකර රැ 4118.27

බුද්ධි ප්රියානි රැ 2500

අනූෂා නිලන්තිකා රැ 5,000

හිමාලි ද අල්විස් £20/-

ගොඩ්ෆ්රි ද සිල්වා £25/-

රේණුකා විමලරත්න £25/-

මංජුලා මහානාම £50/-

ජයන්ත හේරත් £50/-

සන්ධ්යා සේනාරත්න £50/-

රැශාන්ත ජයසේකර £25/-

ශාන්ත ඉලංදාරිදේව £20/-


සම්පූර්ණ එකතුවූ මුදල රැ 149,360.27


මේ මස 25 වෙනිදා අප පහත සඳහන් වියළි ආහාර( රැපියල් 10,000 වටිනා) හරැන් ලන්ත්රා මහතාට ප්රදානය කරන්නෙමු. ඉන්පසුව මාස්පතා රැපියල් 10,000 වටිනා අත්යාවශ්ය ආහාර ද්රව්ය සපයන්නටද බලාපොරොත්තු වෙමු.


වියළි ආහාර ලැයිස්තුව


2 X සස්ටජන් = Rs 1650 x2 = Rs 3300

2 X මාමයිට් ලොකු =Rs 465X 2= Rs 930

අරලිය සම්බා කිලෝ 10ක් = Rs 880. 

පරිප්පු කිලෝ 1ක් = Rs176 . 

කරවල කීලන් කිලෝ 1ක් = Rs1000. උම්බලකඩ ගැරැම් 100ක් = Rs 180; 

2 X ඇන්කර් කිලෝ 1ක් =950 X 2 = Rs 1900

2 Xමල්ටි විටමින් සිරප් 1ක් =250 X 2 = Rs 500

13X මැගි නුඩ්ල්ස් පොඩි 1ක් =Rs 611

ඇන්කර් බටර් 100g = Rs235. හයිලන්ඩ් බටර් 200g = Rs 250


Total amount = Rs 9962/-


ආධාර කළ ඔබ සියලු දෙනාටම මගේ භක්ති ප්රණාමය. කෙදිනකවත් හමුවී හෝ දැකනැති මාගේ ඉල්ලීමකට ඇහුම්කන් දී මා සමඟ මේ සත් ක්රියාවට එක්වූ මුහුණු පොතේ සහෝදර සහෝදරියන් හා ලංඩනයේ මාහා දුක සැප බෙදාගන්නා මට සහයවූ සහෝදර සහෝදරියනී ඔබ සැමටම බොහොම පිං. 


මුදල් තමන්ගේ ගිණුමට බැරකිරීමට අවසර දුන් හා මාස් පතා හරැන් මහතා බැලීමට යාමේ වගකීම භාර ගත් කල්යාණි ගොඩමුල්ල සොයුරියට අප සැමගේම ප්රණාමය.


දයාබර සංවේදී හදවත් ඇති මිනිසුනේ ඔබ සැමටම ජය ශ්රී!!!!

Saturday, 8 November 2014

කොක්‍නි ඇක්සන්ට්......



1995 අග භාගයේදී එංගලන්තයට පැමිණි මා උතුරැ ලංඩනය ආසන්නයේ පිහිටි වොට්ෆඩ් පුරවරයේ මා ප්රිය බිරිඳ හා දරැදෙදෙනා සමඟ ජීවත් වෙමි. 

වොට්ෆඩ් නගරයට ඒමට පෙර ලංඩනයේ කොලින්ඩේල් නම් පෙදෙසේ වාසය කළෙමි. 

බහු ජාතීන්ගෙන් පිරි ලංඩනයේ අඩුවෙන්ම ඇත්තේ ඉංග්රීසි ජාතිකයින් යැයි කියූවොත් එය අතිශෝක්තියක් නොවේ. මන්ද බැලූ බැලූ අත පෙනෙන්නේ යම්විටෙක කළු ජාතිකයෙකි. එසේත් නැතිනම් ඉන්දියානු හෝ පකිස්ථානු වැනි ආසියතිකයෙකි. නැතිනම් අරාබිකරයේ වැසියෙකි. මෑතක සිටනම් පෝලන්ත හෝ රැමේනියානු වැනි නැගෙනහිර යුරෝපීය වැසියෙකි.

එංගලන්තය යුරෝපීය සංගමයට බැදුණු පසු ඔවුන් වැඩි වැඩියෙන් එංගලන්තයට ඇදී ආහ.

වෘතියෙන් සිවිල් ඉංජිනේරැවකු වන මට ඉදිකිරීම් කර්මාන්තයේදී මේ සියලුම ජාතීන් සමඟ වැඩකිරීමේ අවස්ථාව උදාවුණි.

මීට අවුරැදු දහයකට හෝ පහළොවකට පෙර ගොඩනැඟිලි,මංමාවත් හා රථගාල් වැනි ඉදිකිරීම්වල ශ්රම හමුදාව වූයේ බොහෝවිට අයර්ලන්ත ජාතිකයිනි. ඔවුහු බොහෝ දෙනෙකු පාහේ අවුරැදු 20 හෝ 30පෙර දකුණු අයර්ලන්තයේ සිට ලංඩනයට සංක්රමණය වූවන්ය. 

සැමවිටම ඉංග්රීසියෙන්ම කතා කල ඔවුහු කිසිවිටෙක ඔවුනගේ මව් භාෂාව පාවිච්චිකලේ නැත. අමුතුම උරැවකට ඉංග්රීසි වචන උච්චාරණය කළ ඔවුන්ව තේරැම් ගැනීමට මුල් කාලයේදී මට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. 

වේල්සයේ හා ස්කොට්ලන්තයේ වැසියන්ද අප සමඟ වැඩකළහ. ඔවුහු නොපෙන්නුවාට සෑම විටම වාගේ ඉංග්රීසින් හෙළා දුටුවහ. එංගලන්තයේම වැඩකොට ලැබෙන දෙයින් යැපෙමින් ඔවුනගේ රටටම ආවැඩූහ.

ඉංග්රීසි ජාතිකයින් බොහෝවිට කළමනාකරණ අංශයේ රැකියාවන්හී යෙඳුණු අතර මඩ අතපතගාන රැකියාවලින් බැහැරව සිටියහ. කම්කරැ රැකියා කළේ අඩු ඉංග්රීසි ජාතිකයින් කිහිප දෙනෙකි.

කෙසේ වෙතත් බොහෝ ඉංග්රීසි ජතිකයින්ගේ කොහෙන් හෝ අයර්ලන්ත ජාතික කොනක් තිබිණි. ඒ තරමටම යුඟ ගණනාවක් තිස්සේ ඔවුහු මිශ්රව සිටියහ. 

අයර්ලන්ත ජාතිකයින් හැඳින්වූයේ "පැඩීස්(paddies)" යන අනවර්ථ නාමයෙනි. එංගලන්තයේදී අයර්ලන්ත දෙමාපියන්ට දාව උපන් ළමුන් plastic paddies යනුවෙන් හැදින්විණි.

මේ කෙසේවෙතත් ගොඩනැඟිලි හා ඉදිකිරීම් අංශයේ 90% ක් පමණම ඉංජිනේරැවන් අපේ පුංචි ශ්රි ලංකා මාතාවගේ දරැවන් වීම අපට ඉතාමත්ම ආඩම්බර විය හැකි කරැනකි.

එමෙන්ම වෙලහලදාමේ හා ඉන්ධන පිරවුම් හල් පාලනයේද සැලකිය යුතු ප්රමාණයකට ශ්රී ලංකාවේ නියෝජනය තිබිණි. විශේෂයෙන්ම දමිළ ජාතිකයින් වෙළදාම් ඉතා සරැවට කළහ.

නැගෙනහිර යුරෝපීයයන්ගේ ආගමනයත් සමඟ තත්වය වෙනස් විය. ඉදිකිරීම් අංශයේ කම්කරැ හමුදාව පෝලන්ත,රැමේනියානු,ඇල්බේනියානු හා ලිතුවේනියානුවන්ගෙන් පිරී ගියේය. මේ පිළිබඳව ඉංග්රීසි හා අයර්ලන්ත ජාතිකයින් අකමැතිවූවත් අඩු පඩියක් දී වැඩය කරගත හැකිවූ නිසා නැගෙනහිර යුරෝපිකයින්ටම රැකියා අවස්ථා හිමිවිය.

රියදුරන්,රෝහල් සේවකයින් පමණක් නොව මෙකී නොකී සෑම අංශයකම ඔවුහු සේවය කළ අතර විශාල වෙළහෙළදාම් පවා ඔවුන් සතු විය.

එමෙන්ම එංගලන්තයේ විශේෂයෙන්ම ලංඩනයේ එක් එක් පෙදෙස් විවිධ ජන කොටස් සඳහා ඉබේම වෙන්විය.

ලංඩනයේ වෙම්බ්ලි,ඊලින්ග් හා සවුත්හෝල් වැනි පෙදෙස් ඉන්දියානු ජාතිකයින්ගෙන් ගහන විය. දකුණු ලංඩනය හා විල්ස්ඩන් ,නීස්ඩන් හා හැක්නි කළු ජාතිකයින්ගෙන්ද ඊස්ට හැම් ,බාකින් හා ඉල්ෆඩ් වැනි පෙදෙස් පකිස්තානුවන්,බංග්ලාදේසීන් හා ශ්රී ලාංකිකයින්ගෙන්ද පිරැණි.

ඉදිකිරීම් අංශයේදී මා කතා බහ කල බොහොමයක් ඉංග්රීසි, අයර්ලන්ත ,වේල්ස් හා ස්කොට්ලන්ත ජාතිකයින්ගේ පවුල් ජීවිත බොහෝවිට අවුල් හෝ සංකීර්ණ විය. වැඩිප්රමාණයක් පළමු හෝ දෙවැනි විවාහයෙන් දික්කසාදවී දෙවැනි හෝ තෙවැනි සහකරැ සමඟ විසූහ. 

බොහෝදෙනෙකු අවුරැදු ගණන් එකට සිට ළමුන්ද හදමින් ජීවත් වුවත් විවාහ වී නොතිබුණි. සමහරෙකු මැදි වයසේදී හෝ මහලු වයසේදී විවාහ උත්සව පවත්වා විවාහ වූහ. සමහරැන්ට වෙන වෙන විවාහ වලින් හෝ සහකරැවන්ගෙන් ලැබුණු දරැවන්ද සිටියහ.

සැවොම නිවාස ගත්තේ බැංකුවලින් මෝගේජ්(mortgage ) ලබාගෙනය. එය කරගැනුමට බැරි උදවිය කුලී ගෙවල විසහ. හොඳටම පෝසත් කෙනෙකුට හැරෙන්නට ගෙයක්දොරක් සාදා ගැනීම සිහිනයක්ම විය.

මොවුන් කතා කල භාෂාවද වාසය කරන පෙදෙස අනුව වෙනස් විණි. ලංඩන් වාසීන් කතා කළේ අමුතුම උරැවකටය. එය "කොක්නි ඇක්සන්ට් " එක නමින් හැදින්විණි.

බර්මින්ග් හැම්,මැන්චෙස්ටර් හා ලිවර්පූල් වැසියන්ට තිබුණේ වෙනස්ම උරැවකි.

නිව්කාසල් වැසියන්ගේ කතා කිරීමේ විලාසය ඊට හාත්පසින්ම වෙනස්විය.

සැවොම පාහේ fu....ing යන වචනය නිතර භාවිතා කළහ. එය බොහෝවිට පාවිච්චි කලේ විශේෂන පදයක් වශයෙනි. උදාහරණයක් ලෙස ඉතා ලස්සන දෙයකට fu....ing beautiful යැයි කීහ. ඒතරම්ම මේ වචනය සමාජයේ එක් කොටසක් අතර පාවිච්චි වුණි.

රැජිනගේ ඉංගීසි කතා කල "පොෂ් "පිරිස මේ වචන නිතර භාවිතා නොකළහ.

ක්රිකට් ක්රීඩාවේ උපත එංගලන්තයේ සිදුවූවත් බොහෝ පිරිස ප්රිය කළේ පාපන්දු ක්රීඩාවටයි. පුවත් පත්වල අවසාන පිටු සේරම පාහේ පාපන්දු ක්රීඩාවේ පුවත් වලින් පිරැණි.

පබ්(pub) නමින් හැදින්වූ බාර්වලට වැදී පාපන්දු තරග නරඹමින් බීර තොල ගෑමට බහුතරය ප්රියකළහ. විස්කි බ්රැන්ඩි වැනි hard liquor පාවිච්චිය බොහෝ අඩුවිය. බොනවිට එකා බීර පයින්ට් දහය පහළව බිව්වේ ජලය පානය කරන්නාක් මෙනි.

කොයිදේ කළත් බ්රිතාන්ය වාසීන් ඉතාමත්ම නීතිගරැක වූහ. නීතියට හා පොලීසියට ඉතා බය පක්ෂපාතීත්වයෙන් කටයුතු කළහ. 

කිසිවිටෙක බීමතින් රිය පැදැවූයේ නැත. මත්පැන් පානය කල විට පොදු ප්රවාහන සේවාවන් හෝ කුලී රථයක සේවය ලබා ගති. 

හැමවිටම පෝලිම් ක්රමය අනුගමනය කළහ. ඕනෑම විටෙක තම වාරය එනතුරැ පෝලිමේ සිටියහ.බසයකට දුම්රියකට ගොඩවීමේදී සංසුන්ව රථයෙන් බසින්නන්ට ඉඩදී පෝලිමේ සිට රථයට ගොඩවූහ.

මහා මාර්ගයේ රථවාහන පැදවීමේදි කිසිවිටෙක මාර්ග තීරැ කැපුවේ නැත. අදාළ තීරැවේ වාහන පැදවූ අතර වාහනයේ නළාව කිසිවිටෙක හඬවනු නොඇසිණි. හෝනය නාද කරනු ලැබුවේ යම් කෙනෙකු සංඥාවක් නොදා වාහනය නැවැත්තුවොත් හෝ අතුරැ පාරකට හැරවුවහොත් වැනි රථවාහන හා මාර්ග නීති රීති උල්ලංඝනය කල විටෙක පමණි.

මේ අතර සියලු ජන කොටස්,වර්ණ,ආගම් හා ඇතිහැකි/නැතිබැරි අය අතර සමානාත්මතාවයට බෙහෙවින් ගරැ කළහ. කායික හා මානසික දුබල පුද්ගලයන් සඳහා රථගාල් වල කොටසක් වෙන්වුණි. ඔවුන් සඳහාම සැකසූ වැසිකිළි හා ඇතුල්වීමේ හා පිටවීමේ පහසුකම් සැපයිණි.

සේවා ස්ථානවල කිසියම්ම හෝ ආකාරයකින් සමානාත්මතාවය බිඳෙන දේවලට ඉඩ අහුරා තිබිණි. බෙහෙවින් මුදල් වියදම් කරමින් සේවකයින්ට ඒ පිළිබඳ දැනුම හා උපදෙස්ද ලබා දීමද නිරතුරැවම සිදු කෙරැණි. 

ඉංග්රීසි ජාතිකයින් ලිංගික ක්රියාකාරකම් ගැන විවෘතව කතා කරති. පාසල් වල පවා ඒ ගැන ඉගැන්වීම් හා සාකච්ඡා විෂය මාලාවට ඇතුළත් කොට ඇත.

ඒ නිසා තරැණ පරපුරට ඒ ගැන අපේ රටේ දරැවන්ට මෙන් කුතුහලයක් නැත. බොහෝදේ කිරීමට නිදහස ඇත. 

මහ මඟ ගෑනු දරැවකුට නිදහසේ ඇවිදයාමට අපේ රටට වඩා මෙහි ඉතා හොඳ වටපිටාවක් ඇත. එහෙත් මේ අසීමිත නිදහසින් හොඳ මෙන්ම නරකද ලැබීම විස්මයට කරැණක් නොවේ. ලොව ලාබලතම මව්පිය යුවළ බිහිවූයේද එංගලන්තයෙනි. කොයිදේ වුවත් මොළය කල්පනාවෙන් නොකළොත් සිදුවන විපාකනනම් මෙයයි.

මෙහි කවුරැන් හෝ තමන්ගේ රැකියාව ප්රසිද්ධියේ කීමට මැලි නොවෙති. මම කම්කරැවකු එහෙමත් නැතිනම් පෙදරේරැවකු කියා ඔවුන් පවසන්නේ ආඩම්බරයෙනි. එමෙන්ම ඔවුන්ටත් වාහනයක් පවිච්චිකරමින් දොස්තරයෙකු,ඉංජිනේරැවකු හෝ ඉහල විධායක නිලතල දරන්නකු මෙන්ම සැපවත් දිවියක් ගත කළ හැක. 

මේ රටේ පවත්නා නොයෙකුත් බදු නිසා මුදලක් ඉතුරැකිරීමට අපහසු වුවත් ලැබෙන පඩිය නැණවත්ව වියදම් කළහොත් හොඳ සැපවත් දිවියක් පහසුවෙන් ළඟාකරගැනීමට දොරටු විවරව ඇත.

රජය සියට දෙසීයක පමණ බදු මුදක් ඉන්ධන, ගුවන් තොටුපළ ගාස්තු වැනි දේ වලින් අයකර ගනී. 

ඉන්පසු ආදයම් බදු,වාහන බදු, වාහන යෝග්යතා සඳහා ගාස්තු වරිපනම් ගාස්තු ආදී නොගෙවා බැරිම දේ ජනයාගෙන් ලබා ගනී.

එහෙත් වාහන පද්ධතිය හා දුම්රිය සේවය ඉතාමත්ම ඉහළය. බස් හා දුම්රිය බොහෝ විට තප්පරයටම නිවැරදි වෙලාවට ධාවනය වේ. 

හදිසි අනතුරකදී පොලීසිය, ගිනිනිවන හමුදාව, ගිලන් රථ තප්පරයෙන් එතනය.

මේ රටේ ඡන්දය පවත්වන ආකරයත් හරිම අපූරැය. ඡන්දයට ඉදිරිපත්වන්නන් තාප්ප බිත්ති වනසමින් පෝස්ටර් නොගසති. වේදිකාවල ගිරිය පුප්පා කෑ නොගසති. තම ප්රතිඵත්ති මාලාව තැපෑලෙන් ඡන්ද දායකයන්ට යැවේ. විද්යුත් මාද්යතුළින් ජනතාවට කරැනු පැහැදිලි කෙරේ. වාද විවාද කෙරේ. ඡන්දය දවස වෙනදටත් වඩා සාමකාමීය. පොලිසිය අහලකවත් නැත. ඡන්ද පොළ කියා ඊතලයකින් පෙන්වන පාසලට හෝ දේවස්ථානයට මිනිසුන් එකා දෙන්නා ගොඩවී තම ඡන්දය පාවිච්චි කර නිවෙස් කරා ඇදෙති. මහජන මුදල් නාස්තියක් මිනී මැරැම් ගිනි තැබීම් බෙහෙතකට නැත.

අධ්යපනය හා සෞඛ්ය සේවය ඉතාමත්ම ඉහළය.

අපේ රටට මොවුන්ගෙන් උගතහැකි පාඩම් නම් රාශියකි. එහෙත් ඒ හොඳදේ වෙනුවට මේ රටේ වැරදිදේම අප බදා වැළඳ ගැනීම අපේ අවසානාවය. මේ රටින්ම අධ්යාපනය ලැබු අපේ රටේ පාලකයන් මේ රටේ බොහෝ ඇති හොඳ පුරැදු හා ක්රමවේද ලංකාවේ ක්රියාත්මක නොකිරීම අපේම නොලැබීමය.

චන්දන ගුණසේකර එක්සත් රාජධනියේ සිට........ 


Thursday, 30 October 2014

කන්ද උඹ සතුටින්ද.....??






ඉපැඳුණුදා පටන් අප ළඟ සිටිකන්ද
හැම උදයකම මිහිඳුම් සළු ඇඳිකන්ද
මළ හිරු සමඟ අඳුරේ සැඟැවුණුකන්ද
අප සෝ සුසුම් හැමවිට ඉසිලුවකන්ද
   
ඇළ දොළ දිගේ නුඹෙ කඳලැලි එවුකන්ද
ගොවිතැන් බලා නිරතුරු තුටුවුණුකන්ද
අපි ඇදවැටෙද්දී නැඟිටං හිටිකන්ද
නින්දට ගියෙත් නුඹහට වැඳලයිකන්ද
   
කවුරුද නුඹට කේලම් කීවේකන්ද
හොඳටම උරණවී ගම යට කළකන්ද
නුඹහට හිතැති අපසැම වැලලූකන්ද
නුඹ සතුටින්ද දැන්වත් කියපංකන්ද
   

Tuesday, 28 October 2014

හරුන් කුමාර් ලන්ත්‍රා මහතාගේ අද දවස... හෙට...??

ඔබ සැම ආදරය කළ  රටක් තම හඬින් කුල්මත් කළ  සොඳුරු ගායකයාහරුන් කුමාර් 
ලන්ත්රා අද දවසේ ගතකරන ජීවිතය.
දස දහස් ගණනක් රසිකයින් පිරිවරා සිටි ඔහු ළඟ නැති බැරිදා ඇත්තේ මෙතුවක්කල් 

දුක සැප බෙදා ගත් ආදරණීය බිරින්ඳෑ පමණකි.













එතුමාගෙන්
සැනසුණු අපේ මිනිසුන් නැතිබැරිදා එතුමාට සලකනු වෙනුවට
 ඔවුනවකබලෙන් ලිපටම ඇද දමා ඔවුන් සතු මුදලක්ද පැහැරගෙන ගියේ මෑතකදීය.
මෙම පිංතූර මා වෙත එවන ලද්දේ මගේ ආරාධනය පිළිගෙන හරුන් මහතාව
බැලීමට ගිය මා හිතාදර සොයුරු ජයන්ත සුබසිංහයන් විසිනි
.
ඔහුට මගේ හදපිරි ප්රණාමය පුද කරමි


Friday, 24 October 2014

සුළං කුරැල්ලෝ.........


" සුළං කුරැල්ලෝ සෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අර ගෙන එන්නේ
ආදර උයනේ දොරටුව ඇරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ
සුළං කුරැල්ලෝ සෙමින් ඉගිල්ලී....."

දයාබර සොයුරැ සොයුරියනි, හැටේ/ හැත්තෑවේ දශකයේදී සුව හසක් රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කළ මේ ගීතය ඔබත් අසා රස විඳ ඇතුවාට කිසිදු සැකයක් නැත. 

එමෙන්ම මගෙ නාමලී, හංසරානී ආදරේ... වැනි ගීතත් ඔබගේ හදවතේ ලැගුම් ගෙන ඇති.

මේ අමරණීය ගීත ඇතුළු තව ගීත රාශියක් රටට තිළිණ කළ ඒ අසහාය ගායකයා හරැන් ලන්ත්රා දැන් කොහේද ඔහුට කුමක් සිදුවී ඇතිද කියා අපට මොහොතකටවත් සිතුණිද?

මීට දින කිහිපයකට පෙර මුහුණ පොතින් හඳුනාගත් යහළුවකු විසින් එක්තරා වීඩියෝ පටයක් මා වෙත එවා එය අවසානය තෙක් නරඹන ලෙස ඉල්ලා සිටියා. 

ඔහුගේ ඉල්ලීම අනුවයි මා එය නැරඹීමට පටන්  ගත්තේ. ඒ හද කම්පා කරන දසුන් දුටු මට මේ සිදුවී ඇත්තේ කුමක්දැයි අදහාගන්නට නොහැකි වුණා. මගේ හද ගැස්ම මොහොතකට නතරවූ ලෙසයි මට දැනුණේ.

සුළං කුරැල්ලෝ, හංසරානි,මගේ නාමලී නම්වූ අමරණීය ගීතයන් ගයමින් රටක් නැළවූ ඔහුමද ඒ?

බොහෝ වයෝවෘර්ධව, හුදෙකලාවී කතාකරගන්නට පවා නොහැකිව ඉතාමත්ම අසරණවූ ඔහු දෙස මා කෙසේ නම් බලන්නද? 

කොණ්ඩය හා රැවුල වැවී මුහුණ හා  ඇඟපත වැහැරී ජරා ජීර්ණ වූ ඇඳකබලක ඔහු වාඩිවී සිටියා. පකිස් පෙට්ටියක් වන් කුඩා කුටියේ දෑස් ගිලී ගිය ඔහු අනන්තය දෙස බලා සිටියේ කිසිම හැඟීමකින් තොරව.

වීඩියෝ පටය අවසානයේ ඔහු කැමරාව දෙස බලා පෑ අව්යාජ අවිහිංසක ඒ සිනහව මම කෙසේ නම් අමතක කරන්නද?

මේ අවස්ථාවේ එම වීඩියෝ පටය නිමවා අපව දැනුවත් කළ ඒ උත්තම පුද්ගලයන්ට මගේ හෘදයාංගම ප්රණාමය පුදකරන්නේ හිතේ තෙරපෙන දුක් දෝමනස්සය මොහොතකට සඟවා ගෙනයි.

අප කුමක් කරමුද? ජීවිතයේ හැටි ඔහොම තමයි කියා සිත රවටාගෙන නිහඬ වෙමුද? 

ලෙයින් මසින් හැදී මව් කිරිබී වැඩුණු අපට එසේ කළ හැකිද?

බොහෝ කලා කරැවන්ගේ අවසානය මෙසේ ඛේදනීයව නිමවූ බැව් මම දනිමි. රටක් හිනැස්සූ ෆෙඩී සිල්වා හා රටම ආදරය කළ අසහාය නළු ජෝ අබේවික්රම මහතා ඔවුන්ගෙන් දෙදෙනෙකු පමණි.

ඇති හැකි කාලයේ , කීර්තියෙන් ඔවුන් වැජබුණු යුගයේ ඔවුන් සමඟ සිටි සුවහසක් ජන කැල ඔවුන් අසරණවූ කල දකින්නටවත් සිටියාද? 

මෙවන් කලා කරැවන්ට ඒ ඒ වැඩට පුළුවන් කාලයේ ලැබෙන මුදලට අමතරව හරිහමන් විශ්රාම වැටුපක් ලබා දෙන ක්රමවත් වැඩපිළිවෙළක් ක්රියාත්මක වේදැයි මම නොදනිමි. එසේ වූවානම් හරැන් ලන්ත්රා වැන්නන්ට මේ ඛේදනීය ඉරණම අත්වන්නේ නැත.

මේ සංසාර චක්රයේ සැරිසරන අපගේ ජීවිතවලට ඉදිරියේදී කුමක් සිදුවේදැයි අප කිසිවෙකුත් නොදන්නෙමු. කුමන ලෙඩ දුකක් ඇතිවේද මහ මඟ මිය පරලොව යාද ? කියත නම් හැක්කේ කාටද?

එමනිසා දයාබර සොයුරැ සොයුරිය මේ අවස්ථාවේ "අහෝ ජීවිතය " යැයි කියමින් කම්පා වෙමින් නොසිට අපව කලකදී ගීතයෙන් නැළවූ ඒ ගායකයාණන් හරැන ලන්ත්රා මහතාට යම්කිසි පිළිසරණක් වීමට උත්සහා කරමු.

ඒ සඳහා වැඩපිළිවෙළක් කරගෙන යන අතර ඔබගේ ශක්ති ප්රමාණයෙන් එයට දායක වෙතැයි මා හුදෙක්ම බලාපොරොත්තු වෙමි. අප සියල්ල ලබාදෙන පුංචි ආධාර එකතුවූ විට අපට එතුමාට විශාල සහයෝගයක් ලබා දිය හැකි බව මගේ විශ්වාසයයි. 

කලාවේ නාමයෙන් කරන්නාවූ මේ සත්ක්රියාව අප මිය යන මොහොතේ හෝ අපේ සිතට සහනයක් ගෙන ඒවි.

ගිණුම් අංක ආදිය සොයාගත් පසු ඔබට ඒ පිළිබඳ සියලු විස්තර දැනුම් දෙන්නම්.

එතෙක් ඔබට ආයුබෝවන්!

සැමටම ජය හා සතුට! 

Friday, 17 October 2014

ප්‍රේමකීර්ති නැවත කියවමු


අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න අහසමයි ඊළඟ නිමේෂයේ මහා බියකරැ වැහි වලාකුළු මවලා ඉර මුවා කරලා පළාතම අඳුරැ කරන්නේ.

ඒ වගේ තමයි සමහර දිනක සතුටින් පිරිලා තියෙන අපේ හිත ඊළඟ මොහොතේ එහෙමත් නැතිනම් ඊළඟ දවසේ මහා මොකක්දෝ පාළුවක්,තනිකමක් හෝ දුකකින් වෙළෙන්නේ. සමහර වෙලාවට අපට එයට හේතුවක් හෝ එය ඇතිවූ වෙලාවක් හෝ සොයා ගන්න බැරිවෙනවා.

පහුගිය දිනකිහිපයේ මගේ සිතත් මොකක්දෝ පාළුවකින් හා දුකකින් වෙලී ඇතිබව මට හැඟුණා. මගේ බිරිඳ හා දරැවෝ ලස්සනට පායපු ඉර වගේ මගේ සිත් අහස ලස්සන කළා. ඒත් ඒ ඉර පායලා තියෙද්දිම කොහෙන්දෝ පාත්වූ වැහි වලාවක් මගේ සිත අඳුරැ කළා.

මම දස අතේ කල්පනා කළත් මෙයට හේතුව නම් සිතේ අහලකටවත් ආවේ නෑ. ඒත් අන්තිමේදි සිතට වඳ දුන් ඒ හේතුව අහම්බෙන් වගේ මගේ සිහියට නැගුණා.

ඒ තමයි පහුගිය දවස් ටිකේම කියවලා ඊයේ අහවර කළ පොත. ඒ මම බොහෝම ආදරය කළ දැනටත් ඒ ලෙසම ආදරය කරන සංවේදී කලා කරැවකුගේ චරිතාපදානය. ඒ වෙන කවුරැවත් නොවේ රටක් ආදරය කළ රටක් තම හැකියාවෙන් සැනැහූ රටේම අභාග්යයට අපට අහිමි කළ ප්රේමකීර්ති ද අල්විස් සූරීන්.

පොතේ නම "සසර සැරිසරන තෙක් ප්රේමකීර්ති නැවත කියවමු"

ගීතනාත් කුඩලිගමයන් විසින් සම්පාදිත මෙම කෘතිය මගේ සිතට මෙතරම් පෙරළියක් කරතැයි මම කිසිවිටෙකවත් සිතා නොසිටියෙමි.

පොත කියවා ආතුරවූ මගේ සිතේ ඇතිවූ පීඩනය ලිහිල් කරගෙන යම් සැනසීමක් ලැබීමට මේ සටහන අකුරැ කරනවා විනා මගේ හැගීම් නතර කිරීමට මේ පොත සමත්විය. ඇතිවූ හැගීම දුකක්ද, පසුතැවීමක්ද ඊටත් වඩා වෙනයම් හැගීමක්ද යනවග පසක් කරගැනුමට මම මේ මොහොතේදීත් වෙහෙසෙමි.

මම මෙලෙස පටන් ගන්නම්. සුභාවිත ගීතයට ළැඳි මගේ මස්සිනාලා හෝ වෙනත් යහළුවකු සමඟ මධුවිතින් සැනැහුණු එකදු සැන්දෑවක් හෝ එතුමා ගැන කථාවකින්,ගුණ වැයුමකින් හෝ නැතිවූ පාඩුව ගැන දුක්වීමකින් තොරව ගෙවුණා යැයි මට සැක සහිතය. අප එතරම්ම එතුමන්ගේ ගීත සාහිත්යට හා සංනිවේදන කලාවට ප්රිය කළෙමු.

එතුමා පිළිබඳ අතන මෙතන තිබූ විස්තරත් එතුමා සමඟ වැඩකළ හා සමීපව ඇසුරැ කළ වික්ටර් රත්නායකයන් වැනි කලා කරැවන් කළ ප්රකාශත් හැරැනු කොට එතුමා ගැන පැහැදිලි සම්පූර්ණ විස්තරයක් මා මෙතුවක් කලකට කියවා නොතිබිණි. ඒ විස්තර දැනගැනීමේ දොළදුකකින් මා බොහෝ කලක් තැවුණෙමි.

එතුමා කුරිරැ ලෙස ඝාතනය කොට විසිපස් වසක් සපිරි පසුගිය ඇසළ මාසයේ එතුමා පිළිබඳ මේ පොත නිකුත් විය.

එතුමා පිළිබඳ බොහෝදේ මේ පොතෙහි අඩංගුය. උපතේ පටන් ඝාතනය දක්වා කළ කී දෑ, ඇසුරැ කළ අය බිරින්දෑ හා දරැවන් ගැන මෙහි සම්පූර්ණයෙන්ම විස්තර කොට ඇත.

එතුමාගේ පළමු බිරිඳවූ දයා ද අල්විස් මහත්මියගේ සටහන් මගේ හදවත නතර කිරීමට සමත් විය. ඉතාමත් සංවේදීව හා අවංකව පෙළ ගස්සවා තිබූ ඇයගේ සටහන් කියැවූ මට මහත් දුකක් ඇතිවිය.

මෙතරම් සංවේදී මිනිසෙකුට මෙවැනි ආදරණීය දෑ ලියූ මිනිසෙකුට මෙසේ වෙනස් විය හැකිද? මෙසේ හැසිරිය හැකිද? වරක් ඔහු ඇය හා තමන්ගේ ලෙයින් හැඳුණු අසනීපයෙන් සිටි දුවව රාත්රියේ ගෙදරින් එළියට දමා දොර වැසීමට තරම් සාහසික විය.

එය කෙසේ නම් සිදුවිය හැකිද? දයා මහත්මියම පවසන ආකාරයට ඒ හැසිරී තිබුණේ ඔහු නොවේ ඔහු තුළ ක්රියාත්මකවූ මත් පැන් රකුසාය. මට මහා කණගාටුවක් දැනිණි. ලොවක් සැනහූ දැයක් නැලැවූ ඔහුගේ කුටුම්බය ගිනි ගොඩක් වූ හැටි?

මෙය කර්මය හෝ ලබා උපන් හැටියැයි කියා අපට හිත හදාගත හැකිද? ඔළුවට මහා බරකි.

ඇයට අසීමිතව ආදරය කළ ඔහු විසින්ම ඇයව සැක කරන ලදී. බහින්බස්වීම් හා අඩදබර දෙදෙනා වෙන්වන තැනටම වැඩ සිද්ධ කරන ලදී. ඒ සඳහා උල්පන්දම් දුන් හා ඔවුන්ගේ විනාශය පැතූ බොහෝ දෙනෙකු එවිට සතුටුවන්නට ඇත.

මොනදේ සිදුවූවත් දයා ද අල්විස් මහත්මිය ප්රේමකීර්තීන් පිළිබඳ අඹමල් රේණුවක තරමින්වත් අහිතකින් හෝ තරහකින් සිටින බවක් මේ සටහන් වලින් නොපෙනුණි. ඒත් මේ සිදුවීම් නිසා මා සිත ඇතිවූ කනගාටුව පහව නොගියේ මා එතුමාට අවංකවම ප්රිය කළ නිසායැයි මට හැගේ.

ඉන්පසුව එතුමා විවාහ වූ නිර්මලා ද අල්විස් මහත්මියගේ සටහන්ද පළමු විවාහයේ දියණිය සුරංගී හා දෙවැනි විවාහයේ පුතුගේ සටහන්ද මගේ දුක හා පසුතැවිල්ල වැඩි කළා මිස අඩු නොකෙරැණි.

එතුමාගේ ගුරැවරැ,මිතුරන් හා එකට වැඩ කළ කලා කරැවන්ද පැවසුවේ එතුමාගේ මානුෂික ගුණ හා තිබුණු අසාමාන්ය හැකියාව ගැනය.

ඔවුන් සැවොම කියන්නාක් මෙන් එතුමා වයස අවුරැදු 42 වැනි අඩු වයසකින් වියෝ වූවත් වයස 84කදී පවා යමෙකුට කල නොහැකි සේවාවක් කලාවට කල බැව් මගේද හැගීමයි.

මේ පොත කියවන තුරැම සැමවිටම මම එතුමාගේ අකල් වියෝව පිළිබඳව දුක් වුණෙමි. දැන් හිටියානම් තව තව කෙතරම් නම් නිර්මාණ ගොන්නක් කල හැකිව තිබුණාදැයි සිතුවෙමි. ඒත් මම දැන් එසේ නොසිතමි. එතුමා කල්ප කාලාන්තරයක් තිස්සේ පෙරැම් පුරමින් එක්රැස් කළ දැනුම් සම්භාරය අපට දී අවසානය. එතුමා මේ ලෝකයට පැමිණි කාරණය ඉෂ්ට කොට අවසානයේ මේ ලොවින් නික්ම ගියේය. මා දැන් මෙසේ සිතා සැනසෙමි.

ඒත් එවැනි සමාජයට වැඩදායී පුද්ගලයන්ගේ ජීවිත මෙසේ විනාශවූයේ ඇයි හා ඔවුන්ගේ පවුල් දිවිය අවුල්වූයේ ඇයි යන ප්රශ්න මගේ සිතේ දෝංකාර දෙමින් මා සිත කම්පනය කිරීමනම් තවමත් අඩුවී නොමැත.

අවසානයේ මම මෙසේ කියමි...

දයාබර ප්රේම් ඉක්මනින්ම නිවන් නොදැක නැවත අප අතර ඉපදී අප සනසවනු මැනවි....!

එහෙත් මෙය මහා ආත්මාර්ථකාමී පැතුමක් බව මම දනිමි. එහෙත් මගේ හිත හදා ගැනුමට වෙන විකල්පයක් නැත. කල හැකි වෙන දෙයක් නැත.

ඔබත් ඉඩක් ලදවිට මේ පොත කියවන්න. එය අපගේ දයබර ප්රේම්ට කරන්නාවූ උපහාරයක්ම වේවි.