Pages

Tuesday 25 September 2018

හදවත් තුළ මහා හිස්තැනක් ඉතිරි කරමින් " තාත්තා" නික්ම ගිය පසු.....


 


 
 
මම කලා නිර්මාණයක් නරඹා මුලින්ම දෑස තෙත් කර ගත් දිනය මීට වසර 40 කට පමණ පෙරදී සිදුවූවද එය අද ඊයේ මෙන් මගේ මතකයේ තැන්පත්ව ඇත. , මා අපේ තාත්තා සමඟ " හුලවාලී" සිනමාපටය නැරඹූදාය. එහි එන කථාවේ රැහේ නායකයාවූ " ධාරාට( ගාමිණී ෆොන්සේකා) රැහේම සගයෙකු පිහියෙන් ඇන මරා දමන ජවනිකාව නරඹා මම ඉකි ගසමින් හැඬූ බව මට මතකය. මෙය ඇත්තක් නොවේ චිත්රපටයක් පමණක්යැයි කියමින් තාත්තා මා නැළවීමට එදා කෙතරම් වෙහෙස වූවද ඉතා ළපටිවියේ වූ මට දුක කෙසේවත් වාවාගත නොහැකි විය.

ඉන් වසර කිහිපයකට පසුව මා වයසින් යම්තරමක් මුහුකුරා ගියද නැවතත් සිනමාපටයක් නරඹා මට හඬා වැටෙන්නට සිදු විය. " දෙවියනි ඔබ කොහිද" නම්වූ සිනමාපටය නරඹාය. එහි දී තමන් නොකළ වරදකට ගම්මුන්ගේ උදහසට ලක්වූ ගමේ පල්ලියේ පාදිලි තුමාට ( ගාමිණී ෆොන්සේකා) ගම්මුන් විසින් කටු ඔටුනු පළඳවා කුරුසියක් කරමතින් ඇදගෙන යාමට සලස්වා එදා ජේසුතුමන්ට දුන් වද මෙන්ම දස වද දෙන ජවනිකාව නරඹද්දී මට මගේ කඳුළු පාලනය කරගත නොහැකි විය. එදත් මම ඉකි ගසා හැඬුවෙමි.

ඉන්පසුව ගැටවර වියේදී මා නැරඹූ ධර්මසිරි ගමගේ සූරීන්ගේ " පූජා" චිත්රපටයේ අවසාන ජවනිකාවේ තමාගේම පුතාව( අමරසිරි කලංසූරිය) එල්ලා මැරීමට සිදුවන බන්ධනාගාරයේ අලුගෝසුවා වන පියාට( ජෝ අබේවික්රම) පුතා එල්ලීමට පෙර හෘදයාබාධයක් වැළඳී මැරී වැටෙන අවස්ථාවත්, " සඳකඩපහණ" සිනමාපටයේ තමාගේ බිරිඳ( මාලිනී ෆොන්සේකා) , ඇයගේ ආයතන ප්රධානියා සමඟ හෝටල් කාමරයක සිටිනවා දැක හෝටලයේ ඉහළ මහලින් බිමට පැන දිවි නසා ගන්නා සැමියෙකුගේ ( රවීන්ද් රංදෙනිය) සංවේදජනක අවස්ථාවත් මගේ හදවත සසල කොට දෑස් කඳුළින් තෙමා දැමීමට සමත් විය.

වයසින් මුහුකුරා වැඩෙත්ම මේ සිත සසලවීම් එතරම්ම සිදුනොවූ අතර සඳහා මග විවර කළ හැකි වූ නිර්මාණයක්ද මගේ නෙත නොගැටුනු බව අකමැත්තෙන් වුවද පැවසිය යුතුමය. එහෙත් මෑතකදී මා නැරඹූ නාමල් ජයසිංහ සහෝදරයාගේ " සහෝදරයා" ටෙලි නාට්යනම් හදවතේ යම් බරක් පතුරුවාලීමට සහ හදවත සසල කිරීමට සමත් වූ බව නම් මේ මොහොතේ මගේ සිහියට එයි.

එහෙත් මේ සති අන්තයේ නම් මීට වසර තිහකට හෝ හතළිහකට පෙර ඉකිගසා හැඬූ සුහුඹුල් කොල්ලාගේම තත්වයට නැවත අද මේ මැඳි වයසේ පසුවන මා ඇද වුටුනු බව ප්රකාශ කළහොත් සමහර විට ඔබ එය මුසාවකැයි සිතනු ඇත. මා විශ්වාස කරන්න. එය එසේම සිදුවිය. දෑස කඳුළින් පිරී දෘෂ්ටිය බොඳවී යද්දී මගේ හදවතේ ඉකිගැසුම ඊයම් බරුවක් සේ හදවතේ මහා බරක් පටවන බව මට දැනුණි. වෙන කිසිත් නිසා නොව ලලිත් රත්නායකයන්ගේ නිර්මාණයක් වූ " තාත්තා" ටෙලි වෘතාන්තය නැරඹීමෙනි.

 


 


කලකට පසුව වංක ගිරියක පිපි සුවඳැති පුෂ්පයක් සේ දසතම සුවඳ විහිදුවා ලාංකික රසික හද සන්ථානයන්හී උසස්ම තැනක තැන්පත් වන්නට " තාත්තා" හැකිවන බව මට හැඟුණේ එහි පළමු කොටස නැරඹූදාමය.

 
මෙහි කතා තේමාව, දෙබස්, තිර රචනය, අංග රචනය, සංගිතය, කැමරාව, ආලෝකකරනය සහ කලා අධ්යක්ෂණය පැවතියේ උසස්ම මට්ටමේය. රංගනයෙන් දායක වූ නළු නිළියන්ගේ දායකත්වය, අධ්යක්ෂකතුමන්ට හොඳින්ම ලැබී තිබිණි. ප්රවීණම සහ කෘතහස්ත රංගධරයකු වූ හේමසිරි ලියනගේ පටන් මෙහි රඟපෑ සුහුඹුල් ළමා නළුවා , සෙනෙරු රත්නායක දක්වාම දක්නට ලැබුණේ රංගනයේ විශිෂ්ටත්වයයි. තාත්වික බවයි. තම පියා පොලිසියෙන් අල්ලාගෙන යද්දී වයස හතරක පමණ වූ ළමා නළුවා හැඬුවේ හැබෑවටමය. ගැලූ කඳුළු හා මුහුණේ හැඟීම් තරමටම තාත්වික විය. අව්යාජ විය. මෙලෙසින් රඟපෑමට ඉගැන්වීමටනම් බැරි බව මගේ විශ්වාසයයි. මෙවන් ළපටි වයසේදීම මේ දරුවාගේ රංග ප්රතිභාව මෙලෙසින් නම් අනාගතයේ මහා රංගධරයෙකුගේ උපත මෙයම බැව් මට සිතේ. එමෙන්ම අයිරාංගනී සේරසිංහ, කෞෂල්යා ප්රනාන්දු, ශ්යාම් ප්රානාන්දු, දසුන් පතිරණ හා සමනලී ෆොන්සේකා ඇතුළු මෙයට රංගනයෙන් දායක වූ ප්රවීණ හා නවක නළු නිළි කැලම සිය මෙහෙය අකුරටම ඉටුකර තිබිණි. ගායනයෙන් හා සංගීත අධ්යක්ෂණයෙන් දායක වූ රෝහණ ධර්මකීර්ති ඔහුගේ කාර්යය ටක්කෙටම ඉටුකර තිබුණේ රසික දන මන අමන්දානන්දයට පත්කරලමිනි. මෙහි වූ ගීත ලියූ කුමාර ලියනගේ සහ නාරද විජේසූරියද තාත්තා නම්වූ අනර්ඝ මුතු පොටටම ඇමිණූ තවත් එවැනිම වටිනා මුතු ඇට දෙකක්ම විය. ගීත දෙක ඉදිරියේදීත් නාට්යයෙන් පරිබාහිරව රසිකයන් අතර ප්රචලිතව රැඳී තිබෙන බව සක්සුදක් සේ පැහැදැලිය.

 

 


අති විශාල සිනමා තිරයකට ඔබින අන්දමේ රූප රාමු සහ කැමරා කෝණයන් පුංචි තිරය පුරා ඇදී ගියේ මහා අභිමානයෙනි. සංස්කරණය, වර්ණ සංයෝජනය මෙම කතාව දිග හැරුණු මොනරාගල පළාතේ කර්කශ බව රසික දෙනයන මත සිතුවම් කළේ ඉතාමත්ම තාත්විකවය. එහි හමා ගිය සුළඟ අපගේ ගත වෙලා ගති. වෙල් එළියේ ගොයම් පුසුඹ නාසයට දැනුණි.

 
අවසානය දක්වාම කුතුහලය සහ සංවේදනාත්මක හැඟීම් පවත්වා ගැනීමට අධ්යක්ෂකවරයා ඉතා ඉහළින්ම සමත් විය. රූප රාමුවෙන් රූප රාමුවට යොදාගෙන තිබූ පසුතලය, ආලෝකයේ හැසිරවීම , කැමරාවේ නාභිගත කිරීම් සහ කැමරා කෝණයන් තිබුණේ ජාත්යන්තර මට්ටමේය. අපට ඇහැ මදකට හෝ ඉන් අහකට ගැනීමට නොසිතුණේ එබැවිනි.


කතාව පුරාවටම අප දුටුවේ බිරිඳගේ වියෝවත් සමඟ තනිවූ සැමියෙකු තම පුතු වෙනුවෙන් ගෙන යන ජීවන අරගලයයි. උත්තරීතර පීතෘ ප්රේමයයි. මෙයට සමකළ හැකි තවත් ප්රේමයක් නම් මෙලොව තිබේද? එලෙසම මෙවන් කැප කිරීමක් පියෙකුට හෝ මවකට හැර තම දරුවා වෙනුවෙන් කළ හැක්කේ නම් කාහටද?

මවකගේ කඳුළු අවතක්සේරු කරනවා නොව හැමවිටම කඳුළු සඟවා හදවතින් පමණක් හඬා වැටෙන පියෙකුගේ දෑසට කඳුළක් නැගෙන්නේ නිකමට නොවේ. අහම්බයකින් නොවේ. කඳුළු හරි බරය. හදවතකට උහුලාගෙන සිටීමට අසීරුය. එවන් පියෙකුගේ කඳුළු දකින අපට කඳුළක් නොහෙළා සිටිය හැකිද? විශේෂයෙන්ම පුතෙකුට කඳුළු හමුවේ රෝබෝවකු මෙන් සිටිය හැකිද? අපට හැඬුණේ එබැවිනි. ලලිත් රත්නායකයන් ඇතුළු නළු නිළි කැල අපව හැඬවූයේ මෙලෙසිනි. විශිෂ්ට අධ්යක්ෂණයෙනි. අද්විතීය රංගනයෙනි. අමිල සංගීතයෙනි.

 

 

 

 

ඉතිං වෙන නම් මා මේ පිළිබඳව කුමක් කියන්නද? මේ නිර්මාණයට දායක වූ සැමටම රසිකයන් වෙනුවෙන් කෘතඥතාවය පළ කරනවා හැර. අවසාන වශයෙන් සැමටම මගේ සුබපැතුම් පිරිනමන අතරම රසිකයන්ගේ හදවතටම ආමන්ත්රණයකරන ඔවුන්ගේ අධ්යාත්මය ස්පර්ශකරන මෙවැනි නිර්මාණ තව තවත් කිරීමට මා මිත් ලලිත් රත්නායකයන්ට හැකිවේවායි හෘදයාංගව පතමින් මම නිහඬ වන්නේ තවත් මෙවන් නිර්මාණ දකින අටියෙන් නොඉවසිලිමත් වූ දෑස්, ඔහු දෙසට දල්වාගෙනය.

 

 

 

 

චන්දන ගුණසේකර