Pages

Tuesday 17 June 2014

හැඟුමන් පරදා බුද්ධියෙන්......



යුද ගිනි නිවී පස් වසරයි ගත වූයේ
කුස ගිනි පමණි ගින්නක් සේ මතු වූයේ
මරණයෙ ශීත සාමෙන් උණුසුම් වූයේ
මගෙ රට දියුණු වී එන ලකුණකි පෑයේ
   
ධර්මදාස සිංහල ගීයක් ලියුවා
කන්දසාමි මනරම් තනුවක්යෙදුවා
මොහොමදු අයිය හරි රහ කර එය ගැයුවා
මුළු සිරි ලකම තාලෙට අත් පුඩි තැළුවා
   
ගංදිය ගලා ජන කැල හෙම්බත් වෙද්දී
පන්සල් පල්ලි සෙවණේ හැම රොක් වෙද්දී
එක පත අනා කා සොයුරන් සේ ඉද්දී
දුටුවේ එකම සිහිනෙකි රෑ නිදි යද්දී
   
සිරුරේ දුවන්නේ එක රුදිරය නොවෙද
දුප්පත්කමයි ඇති පොදු ගැටලුව නොවෙද
සොහොයුරු පෙමින් බැදුනේ අප සැම නොවෙද
සිරිලක් මවගේ වටිනා දරුවන් නොවෙද
   
අනුන් බහට ඇයි අප සැම නතුවන්නේ
බොරවුණු දියේ මාළුයි උන් ඩැහැගන්නේ
නැතිවුණු දිනේ සාමය මරු රජයන්නේ
ඔළුවෙන් ක්රියා කොට රට දැය සුරකින්නේ
   

Friday 6 June 2014

කෙසේ පිළිතුරු සොයමුද...?

දිනය: 2014 පොසොන් මස තුන්වැනි අඟහරුවාදා

ස්ථානය: එංගලන්තයේ බර්මින්ග්හැම් නුවර එජ්බැස්ටන් ක්රීඩාංගණය

එංගලන්නය හා ශ්රී ලංකාව අතර පස්වැනි හා අවසාන තීරණාත්මක අන්තර්ජාතික ක්රිකට් තරගය....


එංගලන්තයේ කිසිවිටෙක විශ්වාසයේ තැබිය නොහැකිවූ කාලගුණය මෙදිනත් මොනවට සනාථ කරමින් කඩින් කඩ මඳ වැසි ගතිය ඇතිවෙමිනුයි පැවතුණේ. ලංඩනයෙන් ඈත්වූ පිටියක් නිසාවෙන්ද සතියේ මැද වැඩ දිනයක් වූ හා කාලගුණයේ තිබුණු අකාරුණිකභාවය නිසාවෙන්ද ලාංකීය නරඹන්නන් වැඩිපුර ප්රමාණයක් ක්රීඩා මංඩපවල දකින්නට සිටියේ නෑ.


නියමිත වේලාවට කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම කාලගුණය ගැනද ඊට පසුව එන ඔවුන්ම හදාගත් ඩක්වත් හා ලුවිස් න්යායද සැලකිල්ලට ගනිමින් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා.

පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් අපගේ දක්ෂ පන්දු යැවීම් හමුවේ ඉතාමත් සුපරික්ෂාකාරී පිතිහරඹයක නිරත වුණා.

මුලින්ම මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ බෙල්ද ඉන්පසුව පිළිවලින් බැලන්ස්,ජෝ රූට් හා කුක්ද දැවී ගියා. 

ජෝ රූට් හා කුක් දැවී ගියේ තරගාවලියේ වැඩිම විකට් ලාභියාවූ සචිත්ර සේනානායකගේ අනර්ඝ පන්දු හමුවේ. එදින උදේ සිටම විස්තර විචාරකයන්ගේ කතා බහට ලක්වූයේ සචිත්ර. එයට හේතුව වූයේ ඔහුගේ පන්දුයවන ඉරියව්වෙහි වූ යම්කිසි සැකසහිත භාවයක්.

එදා ඕස්ට්රේලියාවේදී එවකට නැඟී එන තරුණ මුරලිගෙන් එල්ලවිය හැකි තර්ජනය කලින්ම දුටු සුද්දෝ මුරලිගේ ක්රීඩා දිවිය විනාශ කිරීමට මාන බැලූ අයුරු මට සිහිවෙනවා. අපගේ එඩිතර නායක අර්ජුන හා මුරලිට උපතින්ම ලැබී තිබූ ඔහුගේ අතෙහි වූ විකලංඝ භාවයට පින්සිදුවන්නට ඔවුනගේ එම උත්සහය ව්යාර්ථවී ගියා.


මේ තරගාවලියේදී ඔවුන් තවත් නැඟී එන අනාගතයේ ඔවුනටම තර්ජනයක් විය හැකි ක්රීඩකයෙකු දුටුවා. ඔහු පන්දුවට පමණක් නොව පිත්තටත් එකසේම හපනකු බැව් ඔවුන් දැනසිටියා. සචිත්ර විනාශ කිරීමේ පළමු පියවර ආරම්භ වුණා. චෝදනාව වූයේ සචිත්ර පන්දුව දමා ගසනවා යන්නයි. එය විභාග කරනතෙක් දින විසි එකක් යනතුරු සචිත්රට ක්රීඩා කිරීමට අවසර ලැබී තිබුණා.


මෙම තරගයේදී සචිත්රගේ පළමු ගොඳුරවූ ජෝ රූට්ගේ දැවීයාම විනිසුරු විසින් නිෂ්ප්රභා කළා. තමන්ගේ අත වැදි පන්දුව තමන්ටම නොදැනුණ ලෙසට හැසිරී සංඝාට එම උඩ පන්දුව රැක ගැනීම අසීරුවන සේ එයට බාධා කරමින් රූට් මහතා ක්රීඩාවේ මහත්මා ගුණ මනාවට ප්රදර්ශනය කළා. කෙසේ හෝ තුන්වැනි විනිසුරු විසින් දැවීයාම ස්ථීර කිරීමෙන් අනතුරුව රූට් ක්රීඩාගාරයට රූටා ගියා.


ඉන්පසු එලැබියේ තරගයේ තීරණාත්මක අවස්ථාව හා ජවනිකාව. එවෙලේ සචිත්ර විසින් තරගයේ 43 න් වැනි පන්දුවාරය ක්රියාත්මක කරමිනුයි පසුවුනේ. එවෙලේ පන්දු යවන අන්තයේ සිටියේ මීට පෙර තරගයේ වීරයාවූ ජොස් බට්ලර්. කුස්සියේ හිටි කුක්ලා හා බට්ලර්ලා අපේම පන්දුයවන්නන් විසින් සඳලුතලයට ඔසවා තැබීමේ ප්රතිඵලයක් වශයෙන් බට්ලර්, මාස්ටර් කෙනෙකුටත් වැඩියෙන් පිම්බීයි පසුවූයේ.


ජොස් බට්ලර්ට මීට පෙර තරගයේදී හා මෙම තරගයේ 41 වැනි පන්දුවාරයේදී පන්දුයවන්නා විසින් පන්දුව අතින් නිදහස් කිරීමට පෙර තම සීමාවේ නොසිට ලකුණු සඳහා දිවයාම ආරම්භ කිරීමට එරෙහිව අනතුරු හඟවා තිබුණා.

43 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදි ජොස් විසින් එම වරදම කිරීමේ ප්රතිඵලයක් වශයෙන් සචිත්ර විසින් පන්දුව නොයවා එම අන්තයේ බේල්ස් ඉවත්කිරීමෙන් ඔහුව දුවද්දී දැවීයාමට හසු කළා. එහිදී සචිත්ර අනුගමනය කළේ සුද්දන් විසින් පනවා තිබූ ක්රිකට් නීතියක් අකුරටම අනුගමනය කිරීම පමණයි. එහිදී ශ්රී ලංකා පිලේ නායක මැතිව්ස් විසින් එම දැවී යාම අනුමත කිරීමෙන් අනතුරුව නීතිය උල්ලංඝනය කිරීමේ වරදට දැවී ගිය බට්ලර් තරහින් පුපුරමින් හා හිස දෙපසට වනමින් ක්රීඩා ගාරයට පල්ලම් බැස්සා.


මෙහිදී වෙන කටයුතුවලදී මෙන් සුද්දගේ නීතිය අකුරටම ක්රියාත්මක කළ අප, මානව අයිතිවාසිකම් කඩ කළ අයුරින් ඔවුන් හැසිරුනා. ඔවුන් එවැනි නීතියක් ක්රියාත්මක කරන විට එය නීතිගරුක මහත්මා ගතියක් බැව්ද අප එයම ක්රියාත්මක කරන විට මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙසද සැලකීම කාටනම් පහදා දෙමුද?
 

ජෝ රූට්ෂේ දැවී නොගිය අයුරින් හැසීරීම අප කළානම් අප මහා බොරු කාරයන්සේ හංවඩු නොගසාවිද? මේවාට පිළිතුරු නැත. එය හරියට හැත්තෑව දශකයේ සිනමා පටයක තිබූ දෙබසක පැනයකට පිළිතුරක් නොමැති බැව් පෙන්වීම සඳහා ඉදිරිපත් කළ උපමවක් මෙනි. 
" කුරුල්ලෙකුගෙන් අහපං ඇයි ඌ සිංදු කියන්නේ කියලා... ඒ උපමාව සුන්දර වැඩිනම් බල්ලෙකුගෙන් අහපං ඇයි පඳුරක් දැක්කම කකුල උස්සන්නේ කියලා.. ඕවට උත්තර නෑ මල්ලී." ඒ වගේ මේවට උත්තර නැත. උත්තර දිය යුත්තේ පන්දුවෙන් හා පිත්තෙන්ම පමණකි....