ඇය
බලා උන්නාය. වසන්තය නිමාවන තෙක් පමණක් නොව දිවියේ සැඳෑ සමය දක්වාද ඇය බලා උන්නාය. අවසානයේ ඔහු ආවේය. එය ඉතාමත්ම සංවේදීවූ තීරනාත්මක හමුවීක් විය. මට සැනෙකින් සිහියට ආවේ පංඩිත් අමරදේවයන්ගේ ගීතයකි.
" වසන්තයේ
මල් පොකුරු නෙළාලා
ඔබ
මා දෝතට ගෙනෙන තුරා.....
මඟ
බලමින් මා සිටියා
සොඳුරු
වසන්තේ ගෙවෙන තුරා...
සොඳුරු
වසන්තේ..... ගෙවෙන...තුරා....."
හදවතෙහි
උපන් ආදරයක් වෙනුවෙන් මෙතරම් නම් කාලයක් බලා සිටිය හැකිද? මෙතරම්ම කැපකිරීමක් කළ හැකිද? තම මියගිය නැඟෙණියගේ දරුවාට කිරි මව් වෙමින්, තමන් ආදරය කළවුන් එකිනෙකා තමන් හැර යද්දී තට්ට තනියමේ කිසිදු හව්හරනයක් නොමැතිව හුදෙකලා වෙද්දීත් ඇය ඔහු වෙනුවෙන් පෙර මඟ බලා සිටියාය. තමා දුන් පොරොන්දුව රකිමින් හා ඒ මතම ගැලෙමින් අනෙක් සියල්ලම අත හැරියාය.
අම්මා
කියන නමට පමණක් නොව ස්ත්රීත්වයට පවා නිඟාදෙන ක්රියා කරනා කාන්තාවන් සිටිනා සමාජයක ඇය ප්රතිපත්තිගරුක වූවාය. සත්යග්රාහී වූවාය. නියම ප්රේමවන්තියක වූවාය.
ලැයිසා
නම් වූ ඇය අරනෝලිස්ට අරනෝලිස්මව නැතිවූ යාමයේ එදා බැඳි ආදරයේ නාමයෙන් ලැයිසාම වූවාය. ඇයගේ ආදරය ගලායන ගඟක් සයුර ළඟදී නතරවන්නා සේ නතර වූයේ නැත. මතුපිටින් ගඟ නතරවූවාසේ පෙනුනද යටින් නිරතුරුවම ගඟ සයුර තුළටම ගලා යන්නා සේ ඇයගේ ආදරයද ඇය තුළම දිඟටම ගලා ගියේ හැමදාටම එය නැවුම් වෙමිනි.
අරනෝලිස්ගේ
දිවිය සුරැකී, මැණිකක් හමු වී සෙදෝනාට අයිතිව තිබූ දේපළවල අයිතියද හිමි වී රටම පිළිගන්නා මහා ධනවතකු වූයේ නිකම්ම නොවේ. ඇයගේ පාරමිතා බලයෙනි. ආදරය නාමයෙන් ඇය කළ සත්යග්රහයේ මහිමයිනි. මියගිය අප්පුච්චා වරින් වර ඔහුට උදව් කළ බව සැබැවි. එහෙත් හැමදේම පිටුපස ඇයගේ ආශීර්වාදය ඔහුට තිබිණි.
මේ
මා කියන්නේ කුමක් ගැනද කියා මෙය කියවන සමහරකට දැන් නම් ගැටළුවක් පැන නැඟ ඇතුවාට කිසිදු සැකයක් නැත. එහෙත් මේ ගැන දන්නා අයට නම් මේ මා කියන්නේ කුමක්ද යන වග සහසුද්දෙන්ම පැහැදිලි ඇති. මදක් ඉවසන්න. මා එය ඔබට පහදා දෙන්නම්.
මේ
පූර්විකාව පසුගිය සිකුරාදාවේ අවසන් වූ ටෙලි නාට්යක් සම්බන්ධයෙනි. කොටස් 121 කින් සමන්විත වූ මෙය පුරා මාස හතරකටත් වඩා වැඩි කාලයක් සිරස නාලිකාවේ විකාශිත චරිත් අබේසිංහ නම් වූ තරුණ අධ්යක්ෂකවරයාගේ නිර්මාණයක් වූ " මිණිගං දෑල" යි.
අති
විශාල නළු නිළි පිරිසකගේ හා එතරම්ම විශාල කාර්මික ශිල්පීන්ගේ සහයෝගයෙන් ප්රේක්ෂක ජනතාව වෙත ඉතා උසස් මට්ටමින් මෙය ගෙන ඒමට ඔවුන් සැම ගත් වෙහෙස, මහන්සිය හා උත්සහය වෙනුවෙන් පළමු කොටම මම චරිත් අබේසිංහ සහෝදරයාට කෘතඥ වෙමි.
ටෙලි
නාට්‍ය කලාව ඉතාමත්ම පහත් අඩියකට වැටී කිසිම ගුණයක් රහිත එහෙත් ඕක්කාර ගුණය පමණක් ඇති බහුතරයක් වත්මන් ටෙලි නාට්‍ය වසංගතය තුළ ඇත්තෙන්ම මෙම නාට්‍ය මිණි ගංගාවක්ම වූ බැව් මගේ විශ්වාසයයි. දැනට වසර සියයකට , එකසිය පනහකට ඉහත සිදු වූ කතා පුවතක් ජීවමාන කිරීම සුළු පටු කාරණයක් නොවේ. සීග්රයෙන් වෙනස්වන පරිසරයක් තූළ එදා පරිසරය ගොඩ නැඟීම, නිවාස, ඇඳුම් පැළදුම් හා නළු නිළියන් වෙස් ගැන්වීම ඉතා විශාල අභියෝගයක් වූ බැව් අපට නොරහසකි.
එමෙන්ම
සමාජයට හෙන ගසා ඇති මෙවන් කාලකන්නි යුගයක නාට්යක් කරන්නට සිතීමම අභියෝගයකි. හෙට දවස ගැන විශ්වාසයක් නැති රටක මිනිසුන් විනෝද වන්නේ නම් කෙසේද? ඔවුනට නාට්‍ය බලන්නට තරම් නිරවුල් මානසිකත්වයක් තිබේද? එසේ සිතා කලාකාරයන් නිර්මාණ කිරීම නතර කළහොත් සමාජයට එයින් සිදුවන අවැඩ, විනාශය විස්තර කිරීමට වචන නැත. මේ තත්වයන් යටතේ නාට්‍ය තැනීම සඳහා මුදල් වියදම් කිරීමට ආයෝජකයන් සොයා ගැනීම හා ඉන් පසුව ඒවා ප්රදර්ශනය කිරීම සඳහා නාලිකාවක් සොයා ගැනීමද අද දවසේ කලාකාරයනට ඇති ප්රධාන ගැටළු බැව් අමුතුවෙන් කිව යුතු නොවේ.
එහෙයින්
මෙවන් බාධක හමුවේ නොබියව මෙවැනි නාට්යක් කිරීමට අත ගැහීමම අතුරේ යෑම වැනි බියජනක ක්රියාවකි. එහෙත් චරිත් අබේසිංහ ඇතුළු පිරිස එයට අත ගැසූහ. එය ජය ගත්හ. තරුණයන් වශයෙන් ඔවුන්ගෙන් සමාජයට සිදුවිය යුතු මෙහෙය ඔහු මෙසේ කළේය.
මව්බිමට
ඇති ආදරය, මව් බසට ඇති ආදරය කොටින්ම අම්මාට ඇති ආදරය හීන වී යන වත්මන් සමාජයට තව තවත් මෙවැනි නාට්‍ය උවමනාය. මෙලෙස ඉතිහාසය ගැන සිතනා තරුණ පිරිසක් උවමනාය. එදා දේශපාලුවන්ගේ උවමනාවට අධ්යාපන විශය මාලාවෙන් ඉතිහාසය හා භූගෝලය ඉවත් කොට තමන් උපන් රටේ ඉතිහාසය හා පිහිටීම ගැන දැන ගැනීම සඳහා සිසුනට ඇති අවස්ථාවන් කප්පාදු කළ දේශාද්රෝහීන්ගේ බලාපොරොත්තු මෙවන් තම බසට හා දැයට ආදරය කරන පිරිස් ඇතිවීමෙන් පරාජය කළ හැක. එහෙයින් තව තවත් රටට හා මව් බසට ආදරය කරන තරුණ පිරිස් මෙලෙසින් බිහිවීම සතුටට කරුණකි.
මෙම
නාට්‍ය අවසන් වූයේ නොවැම්බර් 30 වෙනිදාය. එනම් මීට සතියකට පෙරය. එහෙත් යූ ටියුබයෙන් මට අවසාන කොටස නරඹන්නට හැකි වූයේ ඊයේය. එය යූ ටියුබයට මුදා හැරීමට පමා වී තිබිණි. එහෙත් ලංකාවේ වෙසෙන බොහෝ දෙනෙකු එය අවසන් වූදාම නරඹන්නට ඇති. එහෙත් එය අවසාන වීම ගැන මිණිගං දෑළ පිටුවේ තිබූ එක් ලිපියක් ඇරෙන්නට මට තවත් ලිපියක් නම් ඇස ගැටුනේ නැත. තවත් තිබී මට මඟ ඇරුනානම් සමාවන්න. එහෙත් කලා කෘතියක් රස විඳින්නට තරම් මානසිකත්වයක් අද දවසේ මිනිසුන්ට නැති බව නම් හොඳින්ම පෙනුණි. එය දැන් රටේ පවතින දේශපාලන අසූචි දුර්ගන්ධයෙන් වැසී ගියේද? හදට දැනෙන්නේ මහා විස්සෝපයකි. එකල අපි කෙතරම් නම් ගීත ගැන, නව කථා ගැන, චිත්‍ර කතා ගැන හෝ චිත්රපට ගැන කතා කළෙමුද? සංවාද පැවැත්වූයෙමුද? මේ ගඳ ගහන සමාජය කලාවේ සුවඳ හංගාගෙනද?
හුදෙකලා
වූ කලාවේ තවමත් පසුගාමී නොවී කලා නිර්මාණ කරන මේ තරුණයන් අප ඇගැයිය යුතුය. තමන්ගේ නිර්මාණය ගැන හොඳ බැරිනම් නරකක් හෝ අසා දැන ගැනීමට ඔවුන් ආසා කරනවා නොවේද?
හතු
බිහිවෙන්නක් මෙන් බිහිවන සමහර බාල නිර්මාණ අතරේ චරිත් අබේසිංහගේ මෙම වෑයම ඉතා උසස් මට්ටමක පැවති බව මගේ හැඟීමයි. අප එය නරඹද්දී මා මෙම නාට්‍ය ඇරඹුමේදී ලියූ විචාරයේදී මෙන් පතිරාජයන් තැනූ කඩුල්ල ටෙලි නාටකය හා සසැඳුවත්, මේ නිර්මාණකරුවන් හා සංවාදයෙන් පසුව අද දවසේ එලෙසින්ම රූ ගත කිරීමට ඇති බාධා හඳුනා ගතිමි. එහෙයින් මෙම ප්රයත්නය මම ඉතා අගයමි. එමෙන්ම මෙහි නළු නිළියන්ගේ රංගනයද, විශේෂයෙන්ම ලැයිසා, අරනෝලිස් හා ගිරිගෝරිස්ගේ රංගනයන්ද ඉතාම අගනේය. ලැයිසා මහළු අවධියට පණ පෙවූ අන්දම අති විශිෂ්ඨය. මෙයට දායක වූ ප්රවීණයන්ගේ රංග ප්රතිභාව කෙතරම් නම් උසස් අන්දමට තිබුනේද යන වග වෙනමම කිව යුතු නැත.
මෙවන්
විසල් නිර්මාණයක් කිරීමේදී විශේෂයෙන්ම අඩු වියඳමකින් කරන්නට යාමෙන් කෘතියට සිදුවන හානි එමටය. එහෙත් සීමිත මුදලක් ලැබෙද්දී අධ්යක්ෂකතුමන්ට උවමනා සෑමදේම ඒ ආකාරයටම කරන්නට බැරි බව අපි දනිමු. එහෙයින් එවැනි සුළු අඩුපාඩුකම් අපට ගනන් ගත නොහැක. ලැයිසා සහ අරනෝලිස් වසර ගණනාවකට පසුව හමුවන අවස්ථාව රඟ දැක් වූ ආකාරය නරකම නැත. නමුත් එය තවත් සංවේදී කළ හැකිව තිබිණි. එය නොසලකා හැරිය යුතු මට්ටමේ අඩුපාඩුවකි. ඒ අවස්ථාවේ පසුබිමින් වාදනය වූ නිලක්ෂි හැලපිටිය සොයුරිය විසින් ගයන, සමන් ලෙනින් සොයුරා සංගීතවත් කළ " ලිහිණි ගලයට " ගීතය ගැන නම් නොකියාම බැරිය. ඇයගේ ගැමි දුක්බර හඬ ඒ දුක්බර තනුවේ වෙළී අප වෙත ගෙන ආවේ ලැයිසාගේ දිවියේ අඬහැරයයි. එය විශිෂ්ඨ ගීතයක් බව මගේ හැඟීමයි.
එහෙත්
මෙහි අවසාන ජවනිකාවේ සිදුවූ අඩු පාඩුවක් නම් මෙම සටහන අවසන් කිරීමට මත්තෙන් පෙන්වා දීමට කැමැත්තෙමි. එය හුදෙක්ම කලාවට ආදරය කරන හා එහි උන්නතියට සැමදාම ආවඩන කෙනෙකු ලෙස මෙහි කලාත්මක බව වැඩි කිරීම පිනිස පවසනු විනා අබමල් රේණුවක තරමින්වත් චරිත් අබේසිංහ සොයුරාගේ ප්රයත්නය අවතක්සේරු කිරීම සඳහා නොවන බවද මෙහි සටහන් කරන්නට කැමැත්තෙමි.
වයසට
යත්ම අරනෝලිස්ට සැරයටියක පිහිටෙන් මඳක් පැත්තකට ඇලවී ගමන් කරන්නට සිදු විය. එය මනවා උද්දික ප්රේමරත්න සොයුරා නිරූපනය කළ බවට නම් කිසිදු විවාදයක් නැත. ඔහුගේ රඟපෑම හා ඔහුව වෙස් ගන්වා තිබූ අන්දම ඉතාම ඉහලය. එහෙත් අවසාන ජවනිකාවේ ඔහු තුවක්කුවක් රැගෙන ඉඳිරියට ආවේ එදා වයස 20 කොල්ලාගේ අභිනයෙනි. ගතින් දුබල වූවත් සිතින් ඔහු තරුණ ජවයෙන් යුතු චරිතයක් බව නොරහසකි. එහෙත් එක අතකින් සැරයටිය බිමට අනිමින් තනි අතින් අවිය දරාගෙන ඒ දුබල ගමනින් ඔහු ඉඳිරියට ආවනම් සහ සිය පුතා ඇතුළු පිරිසට නවතින ලෙසට කෑ ගසා සැරටිය ඔවුන් දෙසට විසි කොට පැත්තකට ඇලවී තුවක්කුව අසීරුවෙන් මානාගත්තා නම් මෙම ජවනිකාව කෙතරම් නම් තාත්වික වන්නට ඉඩ නොතිබුණිද? එමෙන්ම ඔහු මැරී වැටෙන අවස්ථාවේ නිකම්ම කෙසෙල් කඳක් සුළඟට කඩා වැටෙන්නාක් මෙන් බිමට පතනොබෑවී තුවක්කුව පහතට නැවී ඉන් එක අතක් ඉවත් වී පපුවේ වම් පස මිරිකාගෙන ඇස් උඩ ඉන්ද වී මුලින්ම දනින් වැටී ඉන්පසුව ක්රමයෙන් පැත්තකට ඇල වී ගියානම් එවන් ප්රබලයකුගේ ඇද වැටීම ප්රේක්ෂකයාට මනාවට දැනෙන්නට ඉඩ තිබිණි. එමෙන්ම ඔහුගේ දෑස් පියවෙද්දී මිය ගිය අප්පුච්චා ඔහුව කැඳවාගන්නා දර්ශනයක් වැනි යමක් ඉදිරිපත් කරන්නට හැකි වූවානම් මෙම අවස්ථාව ඉතාමත් අති සංවේදී වන්නටද ඉඩ තිබිණි.
ඔබට
ධර්මසිරි ගමගේ සූරීන්ගේ පූජා සිනමාපටයේ අවසාන ජවනිකාව මතක ඇතැයි මම සිතමි. එදා ජෝ අබේවික්රමයන්ගේ රංගනය අදටත් දෑස් පියා ගත් විට අපගේ මනසට නැගෙන්නේ එහි තිබූ විශිෂ්ඨත්වය නිසාය. මම එය මෙහිදී අනුගමනය කළා නම් හොඳ යැයි නොකියමි. එහෙත් මිණිගං දෑලේ අවසන් ජවනිකාව මෙයිට වඩා ප්රභලව, ප්රේක්ෂක මනසේ රැඳෙන අයුරින් කළ හැකිව තිබූ බව පමණක් පවසා සිටිමි.
ඒ
කෙසේ වෙතත් සමස්ථයක් වශයෙන් මෙම නාට්‍ය සාර්ථක වූ බවද පසක් කර සිටිමි. ඉඳින් ,චරිත් අබේසිංහ සොයුරා ඇතුළු මේ නාට්‍ය කිරීමට දායක වූ සැමටම රසික ප්රජාව වෙනුවෙන් මගේ ප්රණාමය පුදකරමින් මෙම සටහන අවසන් කරන්නේ ඉඳිරියේදීත් තව තවත් ඔවුන්ගේ නිර්මාණ රස විඳීමට ඇති නොසිදෙන ආශාවද පෙරදැරි කරගෙනය.