Pages

Wednesday 14 November 2018

" සැනසුම කොතනද? අල්ලපු ගෙදර..."


 



මම පසුගිය සතියේ චිත්රපට දෙකක් නැරඹුවෙමි. මෙසේ පවසද්දී මගේ සිහියට එන්නෙ ආර් ආර් සමරකෝන් සූරීන්ගේ " කැලණි පාලම" නාට්යයේ එන දෙබසකි. අපෙන් සමු ගත් ජේ එච් ජයවර්ධනයන් මෙහිදී මැම්බර් මහතාගේ භූමිකාවට පණ පොවමින් පවසන මෙම ජනප්රිය දෙබස නම්,




" මම ළඟදි බැලුවා චිත්රපටි දෙකක්......

සැනසුම කොතනද....... අල්ලපු ගෙදර". 




" සැනසුම කොතනද" සහ " අල්ලපු ගෙදර" යනු එකල අතිශය ජනප්රිය වූ සිනමාපට ද්විත්වයක් වූ අතර නම් එකට ඈඳා පැවසීමෙන්, කැලණි පාලම නාට්යට අනුව හා මෙම්බර්ගෙ චරිතයට අනුව එයින් ගම්යවූයේ හාස්යයෙන් පිරි දෙපිට කැපෙන කතාවකි. එමෙන්ම එය අතිශය නිර්මාණශීලී විය. එපමණක් නොව ජේ එච් ජයවර්ධනයන්ගේ ප්රතිභා සපිරි වචන උච්චාරණයද මේ දෙබසට ගෙනාවේ අමුතුම නැම්මකි. විසල් ජවයකි. එහෙත් ගිය සතියේ මා නැරඹුවේ මෙම චිත්රපට නොවේ. ඉන් එකක් "The Neighbor " නම් වූ අතර අනෙක " Submission " නම් විය















මේ චිත්රපට අතර කිසිදු සම්බන්ධයක් නොමැති වූවත් අඩු වැඩි වශයෙන් මෙම දෙකෙහිම කතා තේමාවේ යම් සමානකමක් එසේත් නැතිනම් අවසානයේ එක සමානම ඉරණමක්ද දක්නට ලැබුණු හෙයින්, චිත්රපට දෙකම පිළිබඳව එකම ලිපියකින් මෙසේ විග්රහ කිරීමට මට සිත් විය




The Neighbor සිනමාපටයේ කතාව, මයික්( William Fichtner) නම් වූ මැඳි වයසේ පසුවන පුද්ගලයෙකුගේ ජීවිතය වටා දිව යයි. සිනමා පටය ඇරඹෙන්නේ තනිවම සිය දවස අරඹන මයික්ගේ ඒකාකාරී වූ දින චරියාවෙනි. Prison Break වැනි අති ධාවනකාරී රූපවාහිනී නාට්යමාලාවක ඉතාමත්ම උද්වේගකර දඩිබිඩි චරිතයක් වූ ඇලෙක්ස් නම් වූ රහස්පර්ක්ෂකයෙකුගේ චරිතයට පණ දෙන මෙම රංගනවේදියා, William Fichtner, මැදි වයසේ හා යම් කොඳුඇට පෙළේ ආබාධයකින් මෙන් පසුවන මිනිසකුගේ චරිතයට අවතීර්ණවන හා එය ජීවමානකරනා අන්දම අති විශිෂ්ටය





ඔහුගේ බිරිඳ ලීසා( Jean Louisa Kelly) රැකියාවකට යන අතර සැමවිටම රැකියාව ගැනම සිතනා බව ඔවුනගේ දින චරියාවෙන් ප්රේක්ෂකයාට ඒත්තු යයි. මෙවන් වයසේ පසුවන බොහෝ යුවතිපතීන්ට මෙන් ඔවුන්ට සිටින එකම පුත්රයාද නිවසින් පිට ඔහුගේ රැකියාව හෝ උසස් අධ්යාපනයේ නිරතවන හෙයින් නිවසේ දෙන්නාදෙමහල්ලන් නිවසේ වාසය කරන්නේ තනි තනිවමය. ඉතා සුලභව දක්නට ලැබෙන පරිද්දෙන් ඔවුනට ඇත්තේ නීරස හා ඒකාකාරී වූ යුඟ දිවියකි. කායික එක්වීමක් තබා සිප වැළඳගැනීමක් පවා අතීතයේ සිදුවූ දෙයක මතකයම පමණක් වන වාතාවරණයක දෙදෙනා දෙදෙනාටම ආවේණික දිවියන්හී තනි තනියෙන් දිවි ගෙවන බව අපට හැඟී යයි




මේ අතර ඔවුනගේ අල්ලපු ගෙදරට අලුතින් පැමිණෙන තරුණ යුවළ, විශේෂයෙන්ම නව යොවුන් යුවතිය, ජෙනා(Jessica McNamee) මයික්ගේ ඒකාකාරී අඳුරු දිවියට හදිසියේ වැටුණු හිරු එළියක් බඳු වන්නේ ඇය දැකීමෙන් ඔහුගේ මුහුණෙහි ඇඳෙන ප්රහර්ෂයෙනි. ප්රේමයෙන් විකසිත වූ ඔවුන් දකිනා මයික් අමුතුම සිහින ලොවක අතරමං වේ. කලකට පසුව ඔහුගේ බිරිඳ සමඟ බොහෝ අසීරුවෙන් කායිකව එක්වන්නේ යුවතිය දැකීමෙන් ඇතිවන උත්තේජනයෙන් වන අතර ඔහු කායිකව සිය බිරිඳ සමඟ නමුත් අධ්යාත්මිකව එම යොවුන් තරුණිය හා එක්වන්නේ ඔහුගේ මානසික ව්යාධිය ප්රේක්ෂක මනසේ මනා සේ සන්තර්පනය කරමිනි
 
 
 
 






ජෙනාගේ සැමියා වන ස්කොට් ( Michael Rosenbaum) කාර් විකුණන්නෙකු වන අතර ඔහු සහ ජෙනා අතර බොහෝ අවස්ථාවල ගැටුම් ඇතිවන බව ජෙනා පිළිබඳව විමසිල්ලෙන් පසුවන මයික්ට හැඟී යයි. ජෙනා නාන ඇඳුමින් ඔවුනගේ නාන තටාකය අසල සිටිනා දසුන් හා ඇය සහ ස්කොට් සිප වැළඳ ගන්නා සහ රණ්ඩු සරුවල් කරගන්නා දසුන් දකිනා මයික් තව තවත් අසහනයට සහ මානසික අවුලකට පත්වේ




ඔහු ජෙනාගේ දුක බෙදා ගැනීමට ඉදිරිපත්වන්නේ මේ නිසාය. ජෙනාද ඇයගේ දුක කීමට සහ ඉන් සහනයක් ලබා ගැනීමට මයික්ගේ සංගමයට ළංවන අතර ඔවුනගේ නිවසේදී ජෙනා විසින් මයික්ගේ තොල් සිප වැළඳ ගනු ලබයි. මේ සිද්ධිය නිසා මයික් වැටෙන්නේ කබලින් ලිපට වන අතර ජෙනා සහ ස්කොට්ගේ පුද්ගලික ගැටුම්වලට කෙළින්ම සම්බන්ධවීම දක්වා මෙම අධ්යාත්මික මෙන්ම ජෙනාගේ සිප වැළඳ ගැනීම නිසා යම්තාක් දුරට කායිකවද බැඳී ගිය මෙම අයථා එසේත් නැතිනම් සමාජ ව්යාවහාරයට අනුව අනියම් සබඳතාවය දුර දිඟ යයි




මෙය මයික්ගේ බිරිඳටද ඉව වැටෙනා අතර ඇය මයික්ව නිවසින් නෙරපා හරී. ඔහුගේ පුත්රයාද ඔහුව හෙළා දකින්නේ මයිකව තව තවත් අසරණ කරමිනි. ජෙනාද මයික්ට පිටුපාන්නේ ඔහු වඳින්නට ගිය දේවාලය ඔහුගේම හිස මත කඩා ඉහිරවිමිනි. අවසානයේ මයික්ට සිය විවාහ දිවිය, පවුල සහ සමාජයේ නිදහස් මිනිසකු ලෙස ජීවත් වීම පවා අහිමි වන්නේ මැඳි වයසේ පසු වූ ඔහුට හැඟීම්වලට වහල්වීමෙන් ලැබුණු දඬුවමක් විලසිනි. එහෙත් මේ තත්වයට ඔහු පත්වූයේ ඔහුගේම වරදින්ද? ඔහුගේ බිරිඳ, ජෙනා හා ඇයගේ සැමියාද මෙයට වගකිවයුතු නොවේද




අපි පැනයට පිළිතුරක් පසුව සොයමු. දැනට එය මඳකට අමතක කොට මා නැරඹූ අනෙක් චිත්රපටය වූ, Submission දෙසට හැරෙමු





මෙම සිනමාපටයද දිව යන්නේ මැඳි වයසේ පුද්ගලයකුගේ දිවිය වටාය. ගත් කතුවරයකු හා ප්රබන්ධ රචකයකු වන මහචාර් ටෙඩ් ස්වෙන්සන්( Stanley Tucci) විශ්ව විද්යාල කථිකාචාර්යවරයෙකි. ඔහු ලියූ එක්තරා සාර්ථක නවකතාවක් හේතුවෙන් බොහෝසේ ප්රසිද්ධවන අතර ඔහු ඔහුගේ දෙවන නවකතාව සඳහා සූදානම්වන කාලයයි. ඔහුගේ සුරූපී බිරිඳ සහ එකම දියණිය සමඟ ඔහුගේ සම්බන්ධය හා විවාහ ජීවිතය සාමාන්යවන අතර එහි කිසිදු අවුලක් හෝ විශේෂත්වයක් ප්රේක්ෂකයාට දක්නට නොලැබේ




මේ අතර ඔහුගේ සිසුන් අතර සිටිනා එක්තරා නව යොවුන් යුවතියක, ඇන්ජෙලා ආර්ගෝ( Addison Timlin) ඔහුගේ දිවිය උඩු යටි කුරු කරන්නේ ඔහුටත් නොදැනීමය. ඇය, ඇය ලියූ ප්රථම නවකතාවේ ( එහි නම 'eggs' ) පරිච්ඡේදයක් ඔහුට කියවන්නට ලබා දෙන අතර ඉතාමත්ම ශෘංගාරාත්මකව ලියා ඇති එම කතාවට ඔහු මනසින් වශී වන්නේ එහි තව තවත් කොටස් කියවීමට ඇයගෙන් ඉල්වා සිටිමිනි. ලියා ඇති කාමුක දෙබස් හා ශෘංගාරය උතුරායන විස්තර කියවන ඔහු ඒවාට ඇබ්බැහිවන අතර බිරිඳටත් හොරෙන් ඒවා කියවීමට ඔහු පෙළැඹේ. ඇය ලියන්නේ සිසුවියක හා පෙමින් වෙළෙනා ගුරුවරයකුගේ ලිංගික ජීවිතය පිළිබඳ අතිශය කාමුක වූ ශෘංගාරාත්මක කතාවක් වන අතර ඔහු මනසින් එයින් මහත්වූ ලිංගික සතුටක් ලබන බව ප්රේක්ෂකයාට ඒත්තු යයි





ඔහුටත් නොදැනීම මෙම සම්බන්ධය දුර දිග යන අතර එම සිසුවියගේම පෙළැඹවීමෙන් ඇය හා ලිංගිකව එක්වීමට මහාචාර්යවරයාට සිදුවේ. ඉන්පසුව ඇතිවන්නේ මහා ව්යාවෂණයකි. මෙම සිසුවිය ඇයගේ නවකතාව මහාචාර්යවරයාගේ ග්රන්ථ ප්රකාශකයා ලවා මුද්රණය කරවා ගැනීමට මෙම ලිංගික එක්වීම තුරුම්පුවක් සේ යොදා ගන්නා අතර එය කළ නොහැකි වූ විට ඇයට ඔහු බලහත්කාරකමක් කළා යැයි විශ්ව විද්යාල බලධාරීන්ට පැමිණිලි කරනු ලබයි. මෙයින් මහාචාර්යවරයාට තම පවුලත්, දීගයත්, රැකියාවත් සහ කීර්තියත් අහිමි වන අතර හැමදේම සිදුවූයේ සිසුවියට උදව් කරන්නට යාම නිසා බව අපට වැටහෙයි. එහෙත් ඔහුව වරඳට පෙළඹුවේ කවුරුන්ද? ඇයි ඔහු මනසින් දුර්වල වූයේ? මෙහිදී ඔහුටත් ඇතිවන්නේ The Neighbor සිනමාපටයේදීම මෙන් වඳින්නට ගිය දේවාලය හිසේ කඩා වැටීමක්ම නොවේද? හැඟීම්වලට වහල් නොවී සිටීමට එතරම් උගත් වූ මහාචාර්යවරයාට නොහැකිවූයේ මන්ද? මෙය අහම්බයක්ද? ප්රශ්න වැළකි. අවුල් ජාලයකි




මෙවන් කාරණාවලදී පෘථග්ජන මනස ක්රියාකරන ආකාරය ඉතාම බොළඳය. බොහෝ විට කාන්තාවකගේ ඉඟියක් හෝ පෙළඹවීමක් මෙවැනි අයාත සම්බන්ධයකට මූලික වූවත් පිරිමියෙකුගෙන්ද ඊට බුරුලක් , අනුග්රහයක් තිබිය යුතුය. කෙසේ වෙතත් මේ හැම දෙයකටම එකිනෙකට එකක් සම්බන්ධ වූ එහෙත් අපට එසේ නොපෙනෙන සිද්ධි දාමයක්ද පෙනෙන දෙයට පිටුපසින් ඇත. ඒවා භෞතික මෙන්ම අධ්යාත්මික සාධකද වන්නේය




මෙම සිනමාපට දෙකෙහිදීම මෙම සම්බන්ධ වූ පිරිමි පාර්ශවයට තමන්ගේම පවුලෙන් සහ සමාජයෙන් අන්තිම අනුකම්පා විරහිත ආකාරයට දඬුවම් ලැබුණ අතර එයට කෙළින්ම සම්බන්ධ වූ කාන්තා පාර්ශවයට ලැබුණේ අනුකම්පාවය. ඔවුන් කපටි ආකාරයට පිරිමින් මෙහෙය වූයේ ඔවුන්ගේම යහපත තකාය. දුර්වල පිරිමියා එහි ගොඳුරක් බවට පත් විය. එහෙත් එක අතකට අවසාන වශයෙන් මට මෙසේ සිතේ. වනයේ ඇති කාන්තා රූපයකට සමාන නාරිලතා පුෂ්පයකට කෙලෙස් නැසූ තවුසන්ගේ බවුන් වැඩීමට බාධා කළ හැකි නම්, ලෙයින් මසින් සැඳුණු ගැහැනියකට පෘථග්ජන පිරිමියෙකුගේ මනස ව්යාකූල කිරීම ගැන කුමන නම් කතාද?