අප කුඩා සංදියේ අපට , දැන් කාලයේ අපේ දරැවන්ට මෙන් ජංගම දුරකථන, එක්ස් බොක්ස් ( XBOX) හෝ ප්ලේ ස්ටේෂන්(Play Station) ආදී වීඩියෝමය ඉලෙක්ට්රෝනික සෙල්ලම් බඩු නොතිබුණි. ඒ වෙනුවට අප ඇබ්බහිවී උන්නේ පොත පත කියවීම, චිත්රකතා හා චිත්රපට බැලීම වැනි දේටය. එයිනුත් චිත්ර කතා හා චිත්රපට පිස්සකුවූ මා මෙන්ම මගේ සමකාලීනයන්ට එකල කියවූ කතා හා නැරඹූ චිත්රපට අද ඊයේ මෙන් මතකයේ ඇත්තේ ඒවා අපේ සිරුරු වලටම ජීර්ණයවූ නිසායැයි සිතමි. මේ ලිපියේ අරමුණ සිනමාව හා ඉන්පසු අපට රූපවාහිනියත් සමඟ ලැබුණු ටෙලි නාට්ය සම්බන්ධයෙන් රටේ නමක් දිනා ගත් අපේ කාලයේ විශිෂ්ට සිනමාකරුවකු පිළිබඳව නිසා චිත්රකතා හා පොත පත ගැන මෙහිදී වැඩිදුර කතා නොකරමි.
අප හැත්තෑව දශකයේ හා අසූව දශකයේ නැරඹූ සිනමා පට අතුරින් ළමුන් සඳහා නිර්මාණයවූ අපූරු චිත්රපට දෙකක් පිළිබඳව මගේ මතකය අවදිවෙයි.
මහා ගත්කරු මාටින් වික්රමසිංහයන්ගේ කෘතියක් වූ " මඩොල්දූව" නව කතාව ඇසුරින් තැනූ මඩොල්දූව සිනමාපටය ඉන් පළමුවැන්නයි. පොත කියවා උපාලි ගිනිවැල්ලේ හා ජින්නා යන චරිත සහ මඩොල්දූව සිතින් මවාගෙන වුන් මට එය එලෙසින්ම තිරයේ දැකගන්නට ලැබීම මගේ දෑස් අදහාගත නොහැකි අපූරු අත්දැකීමක් විය. ඔවුන් ගම ඉන්නා සමයේ කළ දඟවැඩ හා මඩොල්දූවේ ගත කළ ජීවිතය මා අමන්දානන්දයට පත් කෙරුණි.
ඉන්පසු තිරයට ආ ටයි මහත්තයා( ටයිටස් තොටවත්ත) නිර්මාණය කළ " හඳයා " චිත්රපටයද මා ගෙන ගියේ අමුතුම ලෝකයකටය. එය පෝනියෙකු වටා ගෙතී තිබූ කතාවක් වූ අතර එය නරඹා පෝනියෙකු ලබා ගැනීමට මා සිහින මැවූ අයුරු අදද ඉඳහිට සිහියට එන්නේ සුන්දර සිනහවක් මුවඟේ ඉතිරි කරමිනි.
ඉන්පසු 1982 ඇරඹි රූපවාහිනියෙන් අපගේ නිවසටම පැමිණි ටෙලි නාට්ය කලාවද අප මහත් අබිරුචියෙන් වැළඳ ගතිමු. ඒ නාට්ය ඉතා උසස් ගණයේ කලාත්මක නාට්යවූ අතර අප ඒවා නැරඹීමට රූපවාහිනී වටා රොද බැන්ඳෙමු.
මේ නාට්ය අතර එවකට කුඩා ළමුන්වූ අපගේ හදවත් පැහැරගත් නාට්යක් නිර්මාණයක් වුණි. එයද නව කතාවක් ඇසුරින් සැකසුණු අතර මම එම පොත කියවා තිබීම ඒ පිළිබඳව මගේ උනන්දුව හා එයට පෙම් බැඳීමට මුල්වූ තවත් හේතුවක් වන්නට ඇත.
එය වෙන කිසිවක් නොව ටී බී ඉලංගරත්න සූරීන්ගේ " අඹයාළුවෝ" කෘතිය ඇසුරින් නිර්මානිත " අඹයාළුවෝ" ටෙලි වෘතාන්තයයි. එහි අධ්යක්ෂකවරයා වූයේ සුදත් දේවප්රිය නම්වූ අපූරු තරුණ සිනමාවේදියෙකි.
ඒ කාලයේදීම වාගේ සිනමාවේ සහ නාට්ය කලාවේ සුදත්ලා කිහිප පොලක්ම වූහ. සුදත් මහදිවුල්වැව හා සුදත් රෝහණ නම් ඔවුන්ගෙන් මා ආදරය කළ දෙදෙනෙකි. එවකට සිනමාවෙන් පිස්සු වැටී වුන් මා හට සිනමාවට සම්බන්ධ කවුරුන් සමඟ හෝ කතා බහ කිරීමට , ඇසුරු කිරීමට තිබුණේ පුදුම උණකි. එහෙත් අවාසනාවන්ත ලෙස එය සිහිනයකටම පමණක් සීමා වුණි.
එහෙත් මේ නවීන තාක්ෂණයේ , මුහුණු පොතට පිංසිදුවන්නට මා එකල පෙම් බැඳි සිනමාකරුවන්, ගත් කතුවරයන් හා මාධ්යවේදීන් මගේ මිතුරු ලැයිස්තුවට එක්කරගත හැකිවුවත් ඒ කිහිප දෙනෙකු හැර බොහෝ අය මිතුරු ලැයිස්තුවේ තිබෙන නාමයකටම පමණක් සීමා විය.
එහෙත් පසුගිය මාසයේ මා ගුණදාස කපුගේ සූරීන්ගේ හැත්තෑවන ජන්ම සංවත්සරය වෙනුවෙන් ලියූ ලිපිය කියවූ මේ මා ආදරය කළ එක් සිනමා අධ්යක්ෂකවරයෙකු මට පුද්ගලිකවම කතා කොට එම ලිපියට සුබ පැතුවේ මා පුදුමයට පත් කරමින් හා මහා හයියක් සිතට කාන්දු කරමිනි. එවැනි නිහතමානී ප්රවීණයන් ඌන වර්තමානයේ, මා වැනි අංකුරයෙකු වෙනුවෙන් කාලය මිඩංගු කළ එතුමා වෙන කවුරුන් හෝ නොව අඹ යාළුවෝ ටෙලි වෘතාන්තය අපට දායද කළ සුදත් දේවප්රියයන්මය.
එතුමා ඉතාමත් සුහඳව මා සමඟ සංවාදයේ යෙදුණේය. මට ඒ මොහොතේ අඹ යහළුවෝ රූප රාමු මැවී පෙනුණි. සුදු අප්පෝ ,
සුදු අප්පෝගේ මව ( අනුලා කරැණාතිලක) හා පියා. ගල්බංඩා( හේමසිරි ලියනගේ). කළ විශිෂ්ට රංගනයන් මගේ සිහියට ආවේ විදුලි වේගයෙනි. ළමා නළුවන් ඇතුළු මේ ප්රවීණ නළු නිළියන්ගේ රංග ප්රතිභාව මෙම නාට්ය උදෙසා උකහා ගත්තේ එතුමන්ය.
මා සමඟ කලක සිට දැනගෙනවුන් මිතුරකු ලෙසද විටෙක සොයුරකු ලෙසද අල්ලාප සල්ලාපයේ යෙදුණු එතුමාගෙන් මම එතුමා පිළිබඳව මෙතෙක් දිනක් දැන නොසිටි බොහෝ වැදගත් කරුනු දැන ගන්නට ලැබිණි. ඒ තොරතුරු දැන ගැනීමට එතුමාගේ රසිකයන්ටද බොහෝ උවමනා ඇතිබව මම දනිමි. එහෙයින් මෙතැන් සිට එතුමාගේ සිනමා දිවිය සැකෙවින් ඔබ වෙත ගෙන එන්නට මට අවසර දෙන්න.
වයස අවුරැදු 12-14 වැනි කොළුකාර හිරිමල් වයසේ සිටම චිත්ර පටයක හෝ නාට්යක රඟපෑමේ උනින් පෙළුණු අප කතා නායකයා , හමුවීමට නොගිය නාට්ය හෝ චිත්රපට අධ්යක්ෂකවරයෙකු නොවීය. එහෙත් ඒ කිසිම කෙනෙකු ඔහුට අවස්ථාවක් ලබා දීමට ඉදිරිපත් වූයේ නැත. එහෙත් තම උත්සහය අත නොහැරෑ දේවප්රිය තරුණයා 1981 එක්තරා දිනකදී තම සිහනය සැබෑකර ගැනීමට සමත් විය. ඒ සුසිල් ගුණරත්න සූරීන්ගේ " නුඹ විතරක් තලඑළලුයි " වේදකා නාට්යයේ රඟපෑමට අවස්ථාවක් උදා කර ගැනීමෙනි.
ඉන්පසු 1983 වසරේදී සෝමලතා සුබසිංහ මැතිනියගේ ළමා හා යොවුන් රංග පිටයට ඇතුළුවීම තරුණ දේවප්රියගේ කලා දිවියට වැටුණු ශක්තිමත් අඩිතාලම මෙන්ම කලා දිවියේ හැරවුම් ලක්ෂයද කියූවොත් නිවැරදිය.
මෙහි ප්රතිඵලයක් ලෙස සෝමලතා සුබසිංහ මැතිනියගේ " විකෘති " වේදිකා නාට්යයේ දර්ශනවාර සියයක පමණ පියාගේ චරිතය රඟ දැක්වීමට අවස්ථාව උදාකර ගත්තේය. මෙහිදී මවට රඟපෑවේ චාන්දනී සෙනවිරත්න වූ අතර ඇයද එවකට අධුනික තලයේවූ නව යොවුන් නිළියක වූවාය.
1983 වසරේ දහඅට හැවිරිදි භද්රයෞවනයේ පසුවූ තරුණ ජවයේ කෙලපැමිණවුන් ඔහුට ජාතික රූපවාහිනියේ පුහුණුවන සහය අධ්යක්ෂකවරයෙකු වශයෙන් සේවය කිරීමට ලැබීම කලාවට පෙම් බඳින අපගේ භාග්යකටම සිදුවූවක් යැයි මම තරයේම විශ්වාස කරමි.
වසර පහක පමණ කාලයක් මෙලෙස රූපවාහිනියේ ගෙවී ගිය අතර ඔහුගේ හිතේ නිතරම සිහිනයක්ව තිබූ නාට්යයක් නිර්මාණය කිරීමේ බලවත් පිපාසය නැවතත් මතුවී එන්නට විය.
එහි ප්රතිඵලය වූයේ 1988 වසරේදී " අඹයාළුවෝ" නම් ඒ විශිෂ්ට ටෙලි නාට්ය එතුමා අතින් බිහි වීමයි. එවකටත් වයස 23 ක පැඟිරි කොලු ගැටයකු වූ එතුමා මෙම නාට්ය නිර්මාණය කරද්දීද පුහුණුවන සහය අධ්යක්ෂකවරයකුම වීම අපට සිතීමට බොහෝ දේ ඉතිරි කරයි. එමෙන්ම එතුමාගේ අධ්යක්ෂණයට තිබූ උග්ර උවමනාව සහ අතිමහත් කැපවීමට මෙයම නිදසුනක් නොවේද? අඹයහළුවෝ , 1990 ජර්මනියේ පැවති Pri- Jenuess සිනමා උළෙලේදී ජූරියේ සම්මාණයකටද පාත්ර විය.
එතැනින් නොනැවතුණු දේවප්රියයන් ජාතික රූපවාහිනියට " මඩොල්දූව" ටෙලි වෘතාන්තයක් ලෙස නිර්මාණය කළේ දශක ගණනාවක් මඩොල්දූව පොත කියවා සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ මඩොල්දූව සිනමා පටය නරඹා එහි චරිත හා දෙබස් සිරුරටම ජීර්ණයවී වුන් ප්රේක්ෂක ජනතාවකට කිසිදු පැකිළීමක් නොමැතිව නිර්භයව වීමම එතුමාගේ සිනමාකරුවකු වශයෙන් තිබිය යුතු බාධක කඩා බිඳගෙනයාමේ හා නොපැකිලීව තීරණ ගැනීමේ ගුණය මොනවට විද්යාමානවෙයි.
ඉන්පසුව එතුමා පිළිවෙලින් සංගිලි පාලම, නාමල්ගොල්ල හා වංකගිරිය යන ප්රාසාංගික ටෙලි නාට්යයන් ජාතික රූපවාහිනිය වෙනුවෙන් නිර්මාණය කළේය.
එහෙත් අපගේ අවාසනාවට එකල රූපවාහිනියේ තිබුණු වාතාවරණය ගැන කලකිරැනු මෙතුමා 1990 දී හිස් සාක්කුවල අත්දෙක රුවාගෙන එහෙත් කොන්ද හා ඔළුව කෙළින් තබාගෙන ගෙදර ගියේය.
මෙසේ කලකිරී ගෙදර ගිය , කලාවෙන් ඈත්වූ පළමු වෙනියාවත් අවසානයාවත් එතුමා නොවන්නේය. මේ ක්රමය වෙනස්වන තුරු අනාගතයේදීත් මේදේම සිදුවනු ඇත.
නාට්ය කලාව හා සිනමාව සිරුරේ දුවන ලේ වල තිබූ එතුමාට කලාවෙන් ඈත්වී සිටීම කෙසේවත් කල නොහැකි විය. එතුමා 1990 දීම මේ තිබුණු සිනමා "උණ" නිසා තම මිතුරන් කිහිප දෙනෙකු සමඟ එකතු වී " එළිවෙන දවස" නමින් චිත්රපටයක් නිර්මාණය කළේය.
එයටත් ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. එය කාලයක් තහනම්ව තිබී පසුව ප්රදර්ශනයට අනුමැතිය ලැබුණත් ප්රදර්ශනය සඳහා පිටපත් නිෂ්පාදනය කිරීමට එතුමන්ට සහ මෙම සිනමාපටය සෑදීමට මුදල් වියඳම් කළ එතුමාගේ මිතුරාට තවත් මුදල් නොතිබිණි. මේ හේතුව නිසා යන්තම් පුළු පුළුවන් අයුරින් තිබුණු මුදල් ගැට ගසා ඉංග්රීසි උප සිරසි සහිතව චිත්ර පටයේ එක් පිටපතක් පමණක් නිපදවා ගන්නට ඔවුනට සිදුවිය. ඛේදවාචකය මෙයයි.
දැවෙන තරුණ ප්රශ්න අළලා සැකසුණු මෙම සිනමා පටය මීට වසර ගණනාවකට පෙර "කැන්බරා ජාත්යන්තර සිනමා උළෙලේදී" ශ්රී ලංකාව නියෝජනය කළත් එය ලංකාවේ ප්රදර්ශනය කර ගැනීමට අවශ්ය සම්පත් ඔවුන් සතු නොවීය. 1990 වසරේ ලංකාවේ පැවති ජාතික යොවුන් උළෙලේදී හොඳම තිර රචනය සඳහා පිදෙන සම්මානයට පවා පාත්රවූයේ මෙම සිනමා පටයයි. එහෙත් අදටත් මේ සිනමාපට කොපිය ලොවින් වහන් වී , දුහුවිල්ලෙන් සහ අඳුරින් වැසී එතුමාගේ ඇඳ යට සුසුම්ලමින් වැතිර සිටින වග එතුමා මා සමඟ පැවසුවේ මුළු ලොවම කෙරෙහිවූ මහා කලකිරීමකින් බව මට එතුමාගේ මුහුණ නොපෙනුණත් කට හඬේ ස්වරයෙන් තේරුම් ගත හැකි විය.
ඉන්පසු 1992 දී ඉතාමත්ම සොඳුරු සිනමා නිෂ්පාදිකාවකවූ ප්රවීණ සිනමා නිළි ශ්රියානි අමරසේන සමඟ එක්වී " තරණය" චිත්රපටය නිර්මාණය කළේය. 1993 පැවති සරසවි, ජනාධිපති සහ OCIC සිනමා උළෙලයන්හිදී හොඳම අධ්යක්ෂක සඳහා නාම යෝජනාවටද එතුමා පාත්ර විය. එම චිත්රපටය තුළින් එම් ඩී මහින්දපාල නම් කැමරා ශිල්පියාව සිංහල සිනමාවට හඳුන්වා දීමටද එතුමාට හැකිවිය. එම් ඩී මහින්දපාලයන් පිළිබඳව ඉතාමත්ම ගෞරවයෙන් සඳහන් කළ එතුමා ඔහු ඔවුනට වටිනා ගුරැවරයෙකු බව පැවසීය.
එසේම අප අතරින් වියෝවූ තිස්ස අබේසේකරයන් පිළිබඳවද ඉතාමත් ගෞරවයෙන් හා කෘතඥතාපූර්වකව සිහිපත් කළ එතුමා, තිස්ස අබේසේකරයන් විසින් චිත්රපට තැනීමට ණය මුදල් ලබා දීමට කටයුතු කිරීම එතුමා වැනි චිත්රපට හැදීමට මුදල් නොමැතිව අතරමංවූ තරුණ , නිර්මාණශීලී සිනමාකරුවන්ට තැනුණු මහා විසල් අත්වැලක් බව වැඩිදුරටත් පැවසීය.
තිස්ස අබේසේකරයන් දියත් කළ ඒ සිනමා ව්යාපෘතියට පිං සිදු වන්නට සුදත් දේශප්රියයනට " උඩුගංයාමය" සිනමා පටය නිර්මාණය කිරීමට හැකිවුණි. ඒ 2005 වසරේදීය.
එම වසරේ ලංඩන් , නවදිල්ලී, CANNS, ප්රංශ හා ඩුබායි සිනමා උළෙලයන් නියෝජනය කළ උඩුගංයාමය 2007 වසරේදී සරසවි, ජනාධිපති හා සිග්නිස් සම්මාණයන්ගෙන්ද පිදුම් ලැබුවේ හොඳම චිත්රපටය, හොඳම තිර රචනය හා හොඳම අධ්යක්ෂක යන සිනමා උළෙලක වැදගත්ම සම්මාන ත්රිත්වය එතුමාට උරුම කර දෙමිනි. එම උළෙලයන්හිදී චිත්රපටය සඳහා ලැබුණු මුළු සම්මාන සංඛ්යාව විස්සකි.
ජීවිතය කෙතරම් නම් සුන්දරද ? ඔබට එසේ සිතෙනවා ඇති. එයට මම දොස් නොකියමි. ඒ ඔබට මතුපිටින් පෙනෙන දේය. එහෙත් කල නිර්මාණ අතළොස්සෙන්ම මෙතරම් සම්මානයට පාත්රවූ මේ දක්ෂ සිනමා කරුවාගේ දිවියේ යථාර්ථවාදී ශෝකාලාපය මම දැන් ඔබ වෙත ගෙන එන්නෙමි.
එතුමා සිනමාව පිළිබඳව එම් ඒ උපාධිය හැදෑරීමට එංගලන්තයේ සිනමා ඇකඩමියට යාම සඳහා මුදල් සොයාගැනීමට බැංකුවෙන් ණය මුදලක් ගෙන " දියමංකඩ" නමින් කොටස් 32 ක නාට්යක් නිර්මාණය කළේය. ඒ මීට සය වසරකට පෙර 2009 වසරේදීය.
එංගලන්ත සිනමා ඇකඩමි සිහිනය , සිහිනයක්ම වෙද්දී මෙවන් අපූරු සිනමාකරැවකුට අත්වූ ඉරණම ඔබ විශ්වාස නොකරනු ඇත. එහෙත් සිදුවූ යථාර්ථයද එයමය.
එතුමා තවමත් එම නාට්ය විකුණා ගැනීමට දගලමින් සිටිනවායැයි කියූවොත් මා උන්මාදයෙන් මෙය පවසනවා යැයි නොසිතන්න. ඔබට තව දුරටත් දරාගැනීමේ ශක්තිය ඇතිනම් එතුමා මා සමඟ අවසානයට පැවසූ මේ වදනටත් සවන් දෙන්න. " මම තාමත් ඒ නාට්ය විකුණා ගන්න දගලනවා චන්දන. ඒත් ඒ උපාධිය ගන්නවත් සිනමාව ඉගෙන ගන්නවත් නොවේ. බැංකුවට වෙච්චි ණය මුදල ගෙවලා දාන්න".
ඔබ තවමත් අසා සිටීනම් මෙසේ සිතන බව මම දනිමි. මෙයද අපගේ විශිෂ්ට සිනමාකරැවකුගේ ඉරණම? සුදත් දේවප්රිය වනාහී මෙවැනි තත්වයක් උදාවූ පළමු කලාකරැවා නොවේ. එලෙසින්ම ඔහු අවසානයාද නොවනු ඇත. නූතන සිංහල සිනමාවේ හා ලාංකීය කලාවේ ඉරණමයි මේ.
අපට සිටි බොහෝ විශිෂ්ට කලාකරැවන් දැනටමත් අපගෙන් සදහටම සමුගෙන ගොස්ය. ඉන්නා ටික දෙනාද ස්වයංවාරණ දමාගෙන නිශ්ශබ්දය. ගීත රචකයෝ සිංදු නොලියති. ගායකයෝ සිංදු නොගයති. සිනමාකරැවෝ නිර්මාණ නොකරති.
එතුමා සමුගැනීමට පෙර තවත් එක්ම එක් කරුණක් මා හමුවේ තැබීය. එනම් එතුමා ජීවිතයේ මෙතෙක් විඳි දුක්ඛ දෝමනස්සයන් කැටිකොට රචිත " අරවින්ද" නම් කාව්ය සංග්රහය පිළිබඳවයි. එය පිටවූදාට අපට එතුමාගේ පමණක් නොව සිංහල සිනමාවේ සහ අපේ මුළු සමස්ත සමාජයේම ඛේදවාචකය කියවාගත හැකිවනු ඇත.
සටහන: චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය