Pages

Monday, 16 December 2013

සපත්තු මහන්නා........



Photo Credit: flicker.com

මගේ මතකය නිවැරදිනම් මා මේ කියන්නට සැරසෙන කථාව සිදුවූයේ 70 දශකයේ අඟ භාගයේදී පමනය. එකල අප කෙලිදොලින් කල් ගෙවූ කුඩා දරුවන් වීමු.

මේ කාලයේ මගේ සිත ගත් එකිනෙකට හාත්පසින් වෙනස්වූ චරිත කිහිපයක් විය. ඔව්හූ මහා විශාල දේශය පාලනය කලවුන්වත් රිදී තිරයේ ජනප්රිය නළු නිළියෝවත් නොවූහ. සමාජයේ අපත් සමඟම විසූ ඔව්හූ අන්ත අසරණ එහෙත් අනුනට කරදරයක් නොවී තම හැකි පමණින් කීයක් හෝ උපයාගෙන එදා වේල ගැට ගසා ගත් අහිංසක මිනිසුන් කිහිප දෙනෙකි.
ඉන් මාගේ ප්රියතම චරිතය වූයේ ගෙයින් ගෙට පයින්ම ඇවිද යමින් කැඩුණු කුඩ හා සපත්තු අඵත්වැඩියා කොට එදා වේල උපයා ගත් දමිල සපත්තු මහන්නාය.

බුලත් කහටින් දුර්වර්නවු දත් දෙපෙල විරිත්තා පෑ ඔහුගේ සිනහව කෙතරම් අවිහින්සකද? ඒ අවංක සිනහාව පුරාම කෘතවේදී බව හා ලෙන්ගතු කම ගැබ්වී තිබුනි.

දූවිල්ලේ හා ගිනි කාශ්ඨකයේ පයින්ම ගාටා හෙම්බත් වූ, දින කීපයකින් රැවුල නොබෑ ඔහුගේ මුහුණ මට කියා පෑවේ ජීවත් වීමට ඔහු කරන අරගලයේ සාක්ෂිය.

දහඩියෙන් නැහැවී පෙගී තිබුණු කාකි පැහැති අත් කොට කමිසය හා කොට කලිසම ඇඟටම ඇලී තිබුනි.

දහස් ගනනකගේ කුඩ සෑදූ ඔහුට අව්වෙන් හෝ වැස්සෙන් ආරක්ෂා වීමට කුඩයක් නොතිබුනි.
සැමගේ සපත්තු සෙරෙප්පු සෑදු ඔහුට තිබුනේ අණ්ඩ දැමූ වර්ග දෙකක පාවහන් යුගලකි.
එයද පාදයටම ඇලී කඵ පැහැ ගැසී තිබුණි.
වැඩක් තිබුනත් නැතත් ඔහුට කෑමට හා බීමට යමක් දී අතේ කීයක් හෝ මිට මෙලවීමට එකල අපේ අම්මා පුරුදුව සිටියාය.

වැඩක් නිමකල පසු ඔහු කිසිවිටෙක ගානක් කියූවේ නැත. "කැමති ගානක් දෙන්න මාතියා" යැයි කියා කැඩුණු සිංහලෙන් පැවසූයේ ඒ සුපුරුදු අව්යාජ සිනහාවෙන්ම මුව සරසාගෙනය.
අපගේ ඇරයුම ඇත හෝ නැතා කඩුල්ලෙන් ඇතුලුවන ඔහු හිමින් සීරුවේ නිවසේ ඉදිරි පසට ගාටයි. ඉන් පසු නිවසේ ඉස්තෝප්පුවේ ඇනබා ගන්නා ඔහු කරන කියන හැම ක්රියාවක්ම නැරබීම එකල මාගේ ප්රියතම විනෝදාංශය වලින් එකක් විය. අනෙකුත් විනෝදාංශ වූයේ චිත්ර කථා හා පත පොත කියැවීමත්, චිත්ර පට බැලීමත්ය. ඒ පිළිබඳ තොරතුරු ඉදිරි කථාවකදී ඔබට හෙළිකරන්නම්.

ඉතිං ඔහුගේ ක්රියාවන් අතුරින් මා නැරබීමට ප්රියම කලේ වැඩක් අවසන් කල පසු ඔහු බුලත් විට කෑමට සැරසුනු  ආකාරයයි.

හරිබැරි ගැසී ඉදගන්නා ඔහු බඩතුරේ ගසා ඇති කුඩා මඩිස්සලය එලියට ගන්නේ මහා අනර්ඝ මැනික් පසුම්බියක ගන්නා ආකාරයෙනි.
එය හෙමින් ලිහන ඔහු අතපත ගා පුවක් කැබැල්ලක් ගෙන මුව රුවා ගනී. ඉනිකබිතිව බුලත් කොලයක් ගෙන හොදින් පිරිමැද නැට්ට හා අග කඩා මුවට ගෙන පරිස්සමින් හපන්නට පටන් ගන්නේ බොහොම වැදගත් අයුරිනි.
ඇඟිලි දෙක මුවට තබා සිහින් කෙළ පහරක් ගසන ඔහු බොහොම ප්රවේශමට දුම්කොළ කැබැල්ලක් හා හුනු ස්වල්පයක්ද හපයට එක්කරයි.

ඉතිරි හුනු වැකුනු ඇඟිලි කලිසම් කොටේ උලා ගන්නා ඔහු මෙවලම් පෙට්ටිය හිස මතට ගෙන නිමක් නොමැති දිවි ගමන අරබන්නේ හිස නමා අපෙන් සමුගනිමිනි.

මේ ආකාරයට අවුරුදු ගනනාවක් ගතවු අතර 1983 වසරේ ඇසළ පෝය ගෙවීයාමටත් මත්තෙන් ඒ ඊනියා දමිළ සිංහල කෝලාහළ ඇතිවිය. කොළඹින් ආරම්භ වූ කළබැගෑනිය මුළු රටම දවා අළුකර දැමූයේ කලකණ්ණි ලැව් ගින්නක් පරිද්දෙනි. නිවාස,කඩ හා සිනමා හල් ගිනිබත් විය. බොහෝ අහිංසක හා සිංහල ජන කොටස් හා මනාව බද්ධව ඔවුනොවුන් අතර සහජීවනයෙන් ජීවත් වූ දමිළ ජනයාට ජීවිතයෙන් පවා වන්දි ගෙවුමට සිදුවිය. බොහෝ සිංහලයන් තම ජීවිත පවා නොතකා තම මිත්ර දමිළ පවුල් තම නිවෙස් තුල සඟවාගෙන ජීවිත රැකුමට උත්සහා කලෝය. මහා අනර්ඝ සිනමා කෘති ශබ්දාගාරත් සමඟම පොළොවට පස් විය. ඉතා දක්ෂ දමිළ දොස්තරවරු, ගුරුවරු හා කළා කරුවන් ජාතියට අහිමි විය. ලංකාවේ ශ්රී නාමයට ලෝකය හමුවේ විශාල කළු පැල්ලමක් පමණක් ඉතිරි විය.

දින කීපයක් ඇදිරි නීතිය පනවා තිබුනි. සතියකට පමන පසුව විනාශ කල සුන්බුන් අතරින් පරිසරය සන්සුන් විය. 

එහෙත් එදායින් පසුව මට කිසිම දිනෙක ඔහු හමුවුයේ නැත. ඔහු ජීවත්වූ ස්ථානයක් වත් කිසිවකු දැන නොසිටියහ.

මේ ඊනියා ජාති ආලයෙන්, අවලං දේශපාලනයෙන් හා කුරිරු ත්රස්තවාදයෙන් මෙවන් අහිංසකයන් (දමිළ හෝ සිංහල වේවා ) දස දහසකගේ ජීවිත හා දේපල නැතිවුනිද? මෙය එක් කථාවක් පමණකි.

ඔහුගේ බුලතින් රතු වූ ඝන තොල් අතරවූ කහ පැහැති දත් විලිස්සා පෑ ඒ අව්යයාජ සිනහාව පමනක් කදුළු පිරි දෙනෙත් තුලින් තවමත් මට බොදවී පෙනෙයි. 

එම සිනහාව අප සමාජයේ නිරුවත දැක ඔහුගේ මුහුනෙහි ඇඳුණු සංකේතාත්මක සමච්චලයක්දෝ කියාත් දැන් නම් මට සිතෙයි.

ළබන සතියේ මා සිත් ගත් තවත් චරිතයක් වූ "පනං අටා"ගේ අන්දරයෙන් හමු වෙමු.

ඔබට හිතෙන ගුණ හෝ අගුණ මෙහි කොටා දමන මෙන් ඉතාමත් සෙනෙහසින් ඉල්ලමි. ඔබගේ එක වඳනක් නිර්මාණ කරුවකුගේ ඉදිරි ගමනට කෙතරම් වැඳගත්ද යන වග නිර්මාණ කාර්යයේ නියැලෙන ඔබ සැමට අමුතුවෙන් කිවයුතු දෙයක් නොවන බවද මම දනිමි........

29 comments:

  1. ඔහුත් සමහර විට ජාත්‍යාලයෙන් ඔද වැඩුනු මීහරකෙක්ගෙන් පිහිපාරක් කන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ සෙන්නා ....

      Delete
    2. ඒක ඇත්ත සෙන්නා! අපි විරැද්ධ විය යුත්තේ ත්‍රස්තවාදීනට මිසක් සාමාන්‍ය දමිළ ජනයාට නොවේ. මට මතකයි මම අහපු කථාවක්. 83 හොඳටම ගිනිදැල් ඇවිලෙන සමයේ දෙහිවල හංදියේදි අපේ ජාති ආලේ කොල්ලෝ කාරයක ආපු දමිළ මහත්මයෙකු එලියට ඇදලා අරං තියෙනවා. එතුමා මරන බයෙන් කොහොම හරි ගොත ගහ ගහ කියලා තියෙනවා " අනේ පුතාලා මට යන්න දෙන්න. මම තමයි සිරිපතුල චිත්‍ර පටිය හැඳුවේ කියලා" ඒත් මොන පිස්සුද හොඳටම බීලා ඔළුව විකාර වෙලා හිටපු රැළකට මොන සිරිපතුලද? ඔළුව කුඩුවෙන්න ගහලා ගිනි ගොඩට දාලා තියෙනවා.
      ඔය වගේ අවනඩු සිංහලයටත් වුනා. ඩොලර් ෆාම්,කෙන්ට් ෆාම් සංහාර හා අරංතලාව භික්ෂු ඝාතන මේ අතින් මුලට ඉන්නවා...

      Delete
    3. ඇත්ත තමයිසහන් මලේ ඒ ගැන දැන් කථා කරලා වැඩක් නෑ. හැමදාම කොයිපැත්තෙන් හරි අපියි මෝඩයෝ උනේ, අහිංසකයෝ තමයි නැතිවුනේ..

      Delete
  2. කව්රුත් මෙන්න මෙතන ගැන කතා කරන්නේ නැහැ චන්දන අයියේ.. මොකද අපේ නිරුවත් හෙළි වෙන්නේ මෙතනින් නිසා.. ප්‍රභාකරන් කෙනෙක් බිහි වුනේ අනුවණ සිංහල ක්‍රියාකාරකම් නිසා.

    අන්තිමට තැලුනේ දෙපැත්තේම අහිංසක මිනිස්සු .. අදටත් ඉහළ දෙමළ සමාජයේ අය සහ ඉහල සිංහල සමාජයේ අය යෙහෙන් වැජඹෙනවා. දෙපැත්තේම අහිංසක මිනිස්සු පාරවල් වලයි , කූඩාරම් වලයි දුක් විඳිනවා ..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සහන් මල්ලී. මේවා ජත්‍යන්තර කුමන්ත්‍රන. රටක මිනිස්සු සමඟිවෙලා රට දියුණු වෙනවට උං කැමති නෑ. කීයක් නම් ජාතිවාදී ආගම් වාදී කෝළහල අතීතයේ ආවද? ඉදිරියටත් එහෙමයි. හරියට අළු යට ගිණි පුපුරැ වගේ....

      Delete
  3. ජාතියට ආදරය කරනවා යයි කියන අයගෙ ඇස් අරවන කතාවක් ඔබ ලියා තිබෙනවා,මටත් මෙවැනි දුක්ඛිත සිදුවීම කීපයක්ම මතකයි.

    ReplyDelete
    Replies
    1. හැලප කඩේ මල්ලිට ස්තූතියි! සඳුන් සෙවනටත් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා!
      උඹට මතකද සරැංගලේ චිත්‍ර පටිය. ඒකෙත් කථාකලේ මේ වගේ දමිළ සිංහල සිද්ධියක්.

      Delete
  4. දකුනේ අපි සමහරු දෙමලුන් ලෙස දැක්කේ සපත්තු මහන්නා සහ සුරුට්ටු කඩකාරයා පමණක් වීමත් ඒ දිනවල එක්තරා ප්‍රශ්නයක් වෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. එහෙමත් කියන්න බෑ. මොකද ඉස්පිරිතාලවල දෙමළ දොස්තර වරැ සෑහෙන්න හිටියා. ඒ වගේම තමයි රජයේ කන්තෝරැවල. හැබැයි මේ සේරම වෙනස්වුනා 83 පස්සේ. සමහරැ මැරැම් කෑවා. කට්ටියක් යාපනයට ගියා. බහුතරය රටින් පිටවුනා. රටින් පිටවෙන්නත් ඒ අයට මේ අවනඩුවම පිටුවහලක් උනා.

      Delete
  5. බොහොම දුක හිතුනා...අර තරම් අවිහිංසක අව්‍යාජ මිනිහෙකු...ගහලා මරන්න තරම් අපේ ජාත්‍යලයෙන් ඔද වැඩී ගිය මී හරකුන්ට මොළයක් තිබුනෙ නැද්ද හැබෑටම...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා මලේ! ඒ තමයි අපි වරද්ද ගත්තු තැන. අපි අපේ නමත් කැත කරගෙන හොඳ මිනිස්සුත් නැති කර ගත්තා.

      Delete
  6. //එම සිනහාව අප සමාජයේ නිරුවත දැක ඔහුගේ මුහුනෙහි ඇඳුණු සංකේතාත්මක සමච්චලයක්දෝ කියාත් දැන් නම් මට සිතෙයි.//මට හිතෙන්නෙත් ඕකමයි බන්

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං අපි එකම පංතියේ, එකම රෑනේ කුරැල්ලෝ.......

      Delete
  7. ඔය කියන කාලේ වෙද්දී මම ඉපදිලාවත් නැහැ.. ඒත් ඒ කාලේ සිද්ද වුන දේවල් ගැන අහද්දීනම් මේකත් හුඟක් සිද්දී අතරට එකතු වෙනවා නේද කියලා හිතෙනවා.. සංවේදි කතාවක්..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලී මෙවැනි සිද්ධි දස දහස් ගනනින් ඇති. ඒත් අහිංසක අපිම තමයි දමිළ හෝ සිංහල වේවා රැවටුනෙත් බැට කෑවෙත්....

      Delete
  8. අතීතයේ අපේ වැරදි තියාගෙන අද දවසේ අපිට අනිත් අයට ඇගිල්ල දික් කරන්න අමාරුයි. අකැමැත්තෙන් හරි පිළිගන්න වෙනවා ඒක

    ReplyDelete
    Replies
    1. ඔබතුමාව සඳුන් සෙවනට ඉතාමත් සෙනෙහසින් පිළිගන්නවා! අපේ වැරදි ඇතිවුනේ දේශපාළුවන් විසින් අපේ හිත් කාපු නිසා. සුද්දෝ ගියේ ජාතිවාදී විෂබීජය කළු සුද්දන්ගේ මොළගෙඩිවලට එන්නත් කරලා. ඉතිං උං තිබ්බ සමඟිය කඩලා දැම්මා.

      Delete
  9. //මෙය එක් කථාවක් පමණකි.// ඔව්. මේ වගේ කතා දස දහස් ගාණක් සැඟවිලා ඇති.

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිලිනි! හැම කථාවකම අවසානයේ වුනේ අපිට හොඳ මිනිසෙකු අහිමි වීම හා අප දෙපාර්ශවය තව තවත් දුරස් වීම. ඇවිළෙන ගින්නට පිඳුරැ දාන අයනේ අපේ සමාජයේ වැඩි. පිරිත් පැන් ඉහින අය අඩුයි.

      Delete
  10. සෑහෙන දුක හිතෙන කතාවක්..
    කට්ටිය කියනවා වගේ මේ වගේ අහිංසක මිනිස්සු දැක්කහම තමා ජාත්‍යාලය වැඩි වෙන්නේ..
    උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ !

    ReplyDelete
    Replies
    1. ඔව් මධුරංග මලේ ජාතියක් ආගමක් වැඩක් නෑ මනුසත්භාවයයි වටින්නේ. ඒත් මොන කරැමයක්ද
      මන්දා හොඳ මිනිසුන්ට මේ ලෝකේ ඉන්න ආයුෂ අඩුයි....

      Delete
  11. මචෝ..ලියද්දි අර ඡේද වෙන් කරද්දි එක පේලියක ඉඩක් තිබ්බ නං කියවන්න මාර ලේසියි. වයසක අපි එක පේලිය දෙපාර කියවනවා මෙහෙම උනාම.. ඇත්තටම බං ඒ දවස් වල දෙමලාත් දැං දෙමලාත් අතර වෙනසක් තියෙනවා නේද.. දැං ගලිය සුද්ද කරන්නේ මොකාද කියල ඇහුවොත් අන්න ඌ නං දෙමලෙක් තමා කියල විතරක් කට්ටිය කියාවි..

    ReplyDelete
    Replies
    1. දැන් හොඳද බලන්න දේශක තුමා.

      Delete
  12. ඔබ මේ උඩ කමෙන්ට් එකෙන් කියන්නේ සිරි පතුල ඇතුළු තවත් සිනමා පට හැදු කේ. වෙන්කට් ගැන විය යුතුයි...ශ්‍රී ලාංකික කලා කෙතට බොහෝ දායක වුනු බොහෝ ද්‍රවිඩ ශිල්පීන්ට 1983 බොහෝ හානි පැමිනුවා...සිංහලයින් ම්ලෙච්ඡ ජාතියක් බවට ලෝකයා හිතන්න ගත්තා...මගේ මුල් පාසලේ මා සමගම එකම පංතියේ සිටි පොන්නයියාගේ පියා නුගේගොඩ හන්දියේ සපත්තු මහපු කෙනෙක්. ඔවුන්ට 1983 දී මොනවා වුනාද දන්නේ නැහැ..1983 බොහෝ දේ ඇසින් දුටු කෙනෙකු ලෙස මට ඇත්තේ ඒ යුගය ගැන තදබල වෛරයක් සහ ශෝකයක්.

    චන්දන මට උඹේ කවිත් හොඳයි..මේක ඊටත් වඩා හොඳයි. සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. හරියට හරි නෙරංජන් අයියේ එතුමා ගැන තමයි. සමාවෙන්න මට නම මතක නැති උනා.
      ඇත්තටම ඇයි අපි එහෙම තත්වයකට වැටුනේ. මම මෙහේ වැඩකරන සමාගමේ අධ්‍යක්ෂක වරයා දෙමළ මහත්මයෙක්. එතුමා ජාතිවාදී නම් මාව නොගෙන ඕන තරම් ඉන්න දෙමළ ඉංජිනේරැවෙකුට අවස්ථාව දෙන්න තිබුනා. එතුමා ජීවිතය අනූනමයෙන් බේරගෙන මෙරටට ආපු කෙනෙක්.
      මම ත්‍රස්තවාදියා මොකා උනත් ඌට විරැද්ධයි. ඒත් අයියේ අපි හැමෝම කූට තුප්පහි දේශපාළුවන්ට රැවටුනා. අපිට කොච්චර දේවල් අහිමි උනාද?
      උඹේ ඇඟැයීම මට විශාල දහිරියක් අයියේ. මම ගොඩකාලයකින් කෙනෙකුට අයියා කියලා අමතන්නේ. මොකද දැන් අපිත් එක්ක ඉන්න බහුතරය අපිට බාලයි. ඉතිං මල්ලිම තමයි. ඒත් උඹගේ කොමෙන්ටු වලින් හා උඹ ලියන අත්දැකීම් කියෙව්වට පස්සේ මම උඹට ගරැ කරනවා... ජයෙන් ජය පතමි!!!

      Delete
  13. සඳුන් අයිගේ කතාවක් පළමු වතාවට මං හිතන්නේ , මට මතක් වුනේ හැලපයියගේ සපත්තු මහගත්තු කතාව එකත් බලන්න වෙලාවක් තිබුනොත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පව්ලූෂා මලේ හැමදාමත්ම වගේ උඹේ දයාබරිත ඇඟැයීමට! මට විශාල ශක්තියක්! මම බලන්නම් ඒ කථාව ඉඩක් ලැබුනම... උඹට ජයෙන් ජය මලේ!!

      Delete