Pages

Saturday, 29 March 2014

නික්ම යෑම.....




විසල් මුහුනේ පුංචි නෙතු අඟ කඳුළු බිඳු ඇත වේලිලා
පෙළහරම පෑ පෙරහැරේ ගිය මගේ පුතු බිම බෑවිලා
කුංචනාදයෙ හඬත් අද නැත කෙඳිරිලිත් යයි නෑසිලා
හොඬය ඔසවා බලාපං පුත එක් වරක් නෙතු මානලා
   
මගෙම පුතු ලෙස හැඳු නුඹ අද යන්න යනවද මා දමා
පොඩි දොහේ සිට හිටියෙ එකටම කෙලෙස විඳ ගමි දුක මෙමා
යම් දිනේ අප වෙන්ව යනවා ලොවේ සත්යය එය තමා
එහෙත් ඇයි නුඹ මුලින් ඇදුනේ මරුවා වෙත නොම වී පමා
   
රිදෙයිදෝ පුත උඹේ බඳ තව ඇන්න පහරට මා එදා
කඳුළු පිරෙනවා දුටිමි නෙතු අඟ හැඬුවා ඒ හෙණ්ඩුවබදා
හිතේ තරහක් තිබෙනු නොදිටිමි සිටියා මට සෙනෙහස පුදා
මතු භවේදිත් පුතුව ඉපැදී සනසපං මගෙ දිවිසදා
   

Saturday, 22 March 2014

ගල් වඩුව, නුඹට දොස් නොකියමි.......


වෙස්ස ගිරිය පාමුල ඇති වන අරණේ
එක පවුලක් විලසින් සිටියා පොරණේ
නර පතිඳුගෙ අණකට නතු වී දෙරණේ
අම්මා ගෙන ගියා නැති වුනි තිබු සරණේ
   
කපා කොටා ඔප දමලා   මවගෙ වත
මණරම් පෙම් වතුන් යුවලක් අඹා ඇත
නොදුටුව නමුඳු කඳුළින් පිරි ඇයගෙ නෙත
දුටු හැම දනෝ තම සිතු පහදවා ගත
 

  
පියා හිරවුනේ මුර ගල් රුවට වැසී
සොයුරා වැතිර ගති සඳකඩපහණෙ පිසී
නැඟෙණිගෙ විලාපය ඇය ගෙන යද්දි ඇසී
හෙලුවා කඳුළු මිස වෙන මා කරනු කිසී
 

  
නුඹගේ විස්කමින් හැම දන තුටුවූවා
උසස් කලා නිමැවුම් යැයි පැසැසූවා
එකටම සිටිය අප පවුලෙන් වෙන්වූවා
අප නැඟු දුක් සුසුම් ගල් තුල සිරවූවා
 
All the photos have been taken from the internet.

Sunday, 16 March 2014

සිංහල සිනමාව සහ මම 3



මේ කාලයේ බොහෝ විශිෂ්ඨ ඝනයේ අධ්යක්ෂකවරු කරළියේ පිණුම් ගසමින් සිටියෝය. ඒ අතරින් සිකුරුලියා තැනූ එච් ඩී ප්රේමරත්නයන් වටිනාම චරිතයකි.  වානිජ හා සම්භාව්ය සිනමාව නමින් සිනමාව අන්ත දෙකක ගමන් කරද්දී එතුමාගේ චිත්ර පට මැඳ මාවතේ ගමන් ගති. ඒ නිසාම විචාරකයෝ එතුමාට 'මැඳ මාවතේ සිනමා කරු' යන නම පටබැන්දෝය. හැමවිටම එතුමාගේ චිත්ර පටයක ප්රධාන චරිතයකින් නවක නළුවකු රටට දායාද කිරීමට වඟ බලා ගැනීම එතුමාගේ විශේෂ ලක්ෂණයකි.

බංධුල ගළගෙදර හා අමරසිරි කලංසූරිය එලෙස එතුමා මතු කල මැණික් වුවත් ඒවා ඔපමට්ටම් කර තව තවත් අනඟි වැඩ ගන්නවා වෙනුවට ඔවුන් අයාලේ යැවීම අපගේ අවාසනාවය. සිකුරුළියා, පරිත්යාග, පූජා හා මංගල තෑග්ග එකල මා ආසාවෙන්ම නැරඹූ චිත්රපට විය. පරිත්යාග චිත්රපටයේ අයියා තම නැඟෙණිය වෙනුවෙන් කරන කැපැවීම දුටු මට අයියා කෙනෙකු වශයෙන් විශාල ආඩම්බරයක් ගෙන දුනි. මංගල තෑග්ග කෙතරම් මනරම්ද? එහි තිබු සුනිල් එදිරිසිංහයන් ගැයූ ගීතයට සනත්,රවීන්ද්ර, මනෝ හා ශ්රියාන්ත මෙන්ඩිස් රැඟූ රංගනය කෙලෙසනම් අමතක කරම්ද? එම ගීතය හැම කලටම ගැලපෙන අපූරු ගීතයකි.





ඉන්පසු පූජා චිත්ර පටයේ තම පුතාව පෝරකයේ එල්ලීමට සිදුවූ අළුගෝසුවා (ජෝ) කල රංගනය නෙතට කඳුළක් නොගෙනාවේ කාටද? එම දර්ශනයට පසුබිමින් වාදනය වූ අමරදේවයන්ගේ "පූජා" ගීතය සවනට වැටෙන ඕනෑම මොහොතක චිත්ර පටයේ රූප රාමු අප මනසේ ඇදෙන්නේ ඒ නිර්මාණවල ඇති නිර්මල විශිෂ්ඨ ගුණය නිසාය.

එතුමාගේ සහරාවේ සිහිනය විජයගේ අකල් වියෝව නිසා සාර්ථක නොවූ නමුත් එතුමා ඉන්පසුව නිර්මාණය කල සප්තකන්යා චිත්රපටය වාර්ථා බිඳ හෙලමින් රිදී තිරය ඒකාලෝක කලාය.

සේන සමරසිංහයන් සක්විති සුවය, නිල්ල සොයා, ආශා දෑසින් හා ඈතින් ඈතට යන සිනමා පට අපට දායාද කලේය.  මේ චිත්රපට සමුදායේ ගාමිණිගේ රංගනයන් මගේ සිත තදින්ම පැහැර ගති. ජෝති පාලයන්ගේ හා මිල්ටන් මල්ලවාරච්චිගේ මධුර මනෝහර ගායනයන් මේ චිත්රපට කරා රසිකයන් ඇද බැඳ ගත්තේ පැණි හැළියට ඇදී එන්නා වූ ඇඹලයන් පරිද්දෙනි.




මේ චිත්රපට වල නම් කියා " සේන සමරසිංහගේ ඒ චිරාගත සම්ප්රදාය" යැයි ප්රචාරය කෙරුනේ එතුමාගේ චිත්රපට පිළිබඳ ගුවන් විදුලි ප්රචාරක වැඩ සටහන් වලදීයි.

ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, කේ ඒ ඩබ්ලිව් පෙරේරා, ටයිටස් තොටවත්ත, ධර්මසිරි බංඩාරනායක, සුනිල් ආරියරත්ත, ගාමිණී ෆොන්සේකා, තිස්ස අබේසේකර ඒ කලයේ වැජඹුණු අධ්යක්ෂක වරුන් කිහිප පොලක් පමණි.

දඩයම, කරුමක්කාරයෝ, බැද්දේගම,බඹරු ඇවිත්, සරුංගලේ, ආරාධනා, සඳකඩපහන,සාගරයක් මැඳ, මලට නොඑන බඹරු, ගොළු හදවත, තුන්වැනි යාමය,මහ ගෙදර,සිරිබෝ අයියා,දෑස නිසා, එක්ටැම්ගේ,මල්දෙණියේ සිමියොං, සුද්දිලාගේ කථාව, සිරිපතුල, සොල්දාදු උන්නැහේ,  මාතලං, සත්වෙනිදවස, රක්තා, මුවන් පැලැස්ස, දුලීකා, සසර චේතනා, චන්ඩි පුතා, චන්ඩි ශ්යාමා, මගේ නංගී ශ්යාමා, ටිකිරා හා රත්තරන් අම්මා වැනි චිත්රපට නරඹා මා ඒවායේ සැරිසැරුවෙමි. ජීවත් උනෙමි.




ඒ කාලයේ බොහෝ වානිජ චිත්රපටවල තේමාව වූයේ කොල්ලා කෙල්ල ඔවුන්ගේ යහළුවන් හා දුෂ්ඨයා විය. කොල්ලාට බොහෝ විට ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ටෝනි රණසිංහ, කලං හෝ පසුකලෙක සනත් ගුණතිලක වු අතර කෙල්ලට මාලණී ෆොන්සේකා, නදීකා, නීටා, ගීතා, ස්වර්ණා , සුමනා,ශ්රියාණි හෝ මැණික් වැන්නියකු රඟ පෑහ. මගේ කාලයට පෙර විශාල නළු නිළි සංඛ්යාවක් මෙම භූමිකා කලෝය. අප දන්න දා සිටම දෙනවක හාමිණේ අම්මා හෝ ආච්චීම වූවාය.


මුලදී ජෝ අබේවික්රම, විමල් කුමාරද කොස්තා, ජයසේකර අපෝන්සු විකට නළුවන් වූවත් පසුව විශේෂයෙන්ම ජෝ අපට නැතුවම බැරි මහා චරිතාංග නළුවකු විය. ඔහු බැද්දේගම,සිරිබෝ අයියා,මල්දෙණියේ සිමියොන්, පූජා,බඹරු ඇවිත්,සිකුරුලියා හා මෑතකදී පුරහඳ කළුවර ආදී හා මා නොකී බොහෝ චිත්රපටවල කල රංගනයන් කෙසේ නම් අමතක කරම්ද? 

තව විකට නළුවන් වූයේ ෆෙඩී,දොන් සිරිසේන,ඇන්තනී සී පෙරේරා,බී එස් පෙරේරා, හියුගෝ මාස්ටර් වැන්නවුන්ය. එකල බංදු සමරසිංහ පොඩි කොල්ලාය. 

ඩොමී ජයවර්ධන,රෙක්ස් කොඩිප්පිලි, බංදු මුණසිංහ,පියදාස ගුණසේකර,පූජිත මෙන්ඩිස්,පියදාස විජේකෝන් ,සොමී රත්නායක හා මර්වින් ජයතුංග රිදී තිරයේ දුෂ්ඨයාම විය. 

ඇලෙක්සැන්ඩර් ප්රනාන්දු හා  රොබින් ප්රනාන්දු සටන් නළුවන් වූහ.

බොහෝ චිත්රපටවල රාත්රී සමාජ ශාලාවල දර්ශන තිබූ අතර ඒවයේ නාට්යාංගනාව වූයේ හෙලන් කුමාරි හෝ ෆරීනා ලායි නැමැති නිළියන්ය. ඔව්හු ඒ කාරිය අකුරටම කලෝය.




එච් ආර් ජෝතිපාල, එම් එස් ප්රනාන්දු, මිල්ටන් මල්ලව ආරච්චි, මිල්ටන් පෙරේරා,ලතා වල්පොල,ඇන්ජලින් ගුණතිලක,සුජාතා,බෙග් මාස්ටර් හා ක්ලැරන්ස් වැනි ගායක ගායිකාවන් මගේ කාලයේ රිදී තිරය ඔවුනගේ මධුර මනෝහර ස්වරයෙන් මෝහනය කලෝය. 

බෙග් මාස්ටර් ,සුනිල් එදිරිසිංහ,අමරසිරි පීරිස්,නන්දා මාලණී හා අමරදේවයන්ගේ හඬ බොහෝ විට චිත්රපට පසුබිම් ගායනයට යොදා ගැනුනි.

මේ කාලයේ අවුරුද්ද පුරා ඉතා අනර්ඝ චිත්රපට තුනක් හෝ හතරක් පිටවීමද විශේෂ කරුනකි. ඒ කෙසේ වෙතත් සිනමා ශාලා සැමවිටම වාගේ ප්රේක්ෂකයන්ගෙන් පිරී පැවතුනි. 

බොහෝ රැකියා මාර්ගද මේ සමඟ බිහිවුනි. චිත්රපට වලට කෙලින්ම සම්බන්ධ නළු නිලියන්, කාර්මික ශිල්පීන් හැරුනු කොට සිනමා ශාලාවල කඩල විකිණූ කොළු ගැටයා පවා සිනමාවෙන් යැපුනි. 

රූපවාහිණිය, සිවිල් යුධ වාතාවරණය හා සිනමාවේ ප්රමිතිය බාලවීමත් සමඟම මෙම ආදායම් මාර්ග වලටද කණ කොකා හැඬුනි.

සිනමාවට සම්බන්ධව දමිළ අධ්යක්ෂකවරු හා කාර්මික ශිල්පීන් රාශියක් ඔවුනගේ උපරිම කැපවීම ඒ කාලයේ සිංහල සිනමාව උදෙසා යොදා තිබිනි. බොහොමයක් සිනමා ශාලා,රසායනාගාර හා ශබ්දාගාරද අයිතිව තිබුනේ දමිළ ජාතිකයන්ට වීමද විශේෂ කරුණක් වූ අතර සිනමාවේ උන්නතිය සඳහා එම ජන කොටසේ සහභාගිත්වයද එයින්ම කැපී පෙනුනී. එනමුත් ලංකාවේ අවාසනාවට ඇතිවූ ඒ ඊනියා ජාති ආලය විසින් මෙම සිනමා ශාලා ඇතුළු ශබ්දාගාර හා රසායනාගාර අළුත්ම චිත්ර පටත් සමඟම පිටපතක්වත් රහිතවම අපට අහිමි කලේ සිංහල සිනමාව වල පල්ලටම ඇද දමමිනි.

ඒ අතරම සිනමාවට නැතිවම බැරිවූ විජය මරා දැමිනි. රිචඩ් ද සොයිසා හා ප්රවීන ගීත රචක ප්රේමකීර්ති වැන්නවුන් අපෙන් සදහටම පැහැර ගත්තේ කලාවට සහ සමස්තයක් වශයෙන් මුලු ලංකාවටම ගැසු අතුල් පහරක් පරිද්දෙනි. අප මහා අවාසනාවන්තයින් වීමු.





මේ අතරම ජෝති,එම් එස්, මිල්ටන් පෙරේරා,ශෙල්ටන් පෙරේරා,මිල්ටන් මල්ලවආරච්චි වැනි ගීත කෝකිලයින්ද ඉතාමත් අඩු වයසින් දැයෙන් සමු ගැනීමද ඒ හැත්තෑවේ දශකයේ ස්වර්ණමය යුඟය තව දුරටත් නැතිවීමට රුකුලක්ම විය.

ඒ කාලයේ සිනමා ශාලා තුල දුම්බීමේ තහනමක් නොවූ අතර ශාලාව අඳුරු කොට චිත්රපටය තිරයමත දිඟ හැරෙද්දී ප්රොජෙක්ටරයේ සිට තිරය දක්වා විහිදෙන ආලෝක කදම්භය සිඟරට් දුමින් ඒකාලෝක වූ ආකාරය මට දැනුදු මැවී පෙනෙයි. දර්ශනය අවසන එලියට එද්දී කොණ්ඩයෙන් වහනය වූ සිඟරට් ගන්දස්සාරය මේ දැන් පවා නහයට දැනී යයි.ඒ අතරම සිනමා ශාලාවලටම ආවේනික සුවඳද ඒ ගැන මෙනෙහි කරද්දී නහයට දැනී යාම කෙසේවත්  නොවැලක් විය හැකි කරුණකි. එය අමුතුම සුවදකි. ඒ සුවද හදේ කොනක තබා ගෙනම මේ සිනමා මතකයට සමු දෙන්නට තීරනය කලෙමි. ගාමිණී එතුමාගේ සාගරයක් මැද චිත්ර පටය අවසනදී කිව්වාක් මෙන් මෙය " අවසානය නොවේ" තව තව ඉදිරියේදී දස දහස් ගනනින් චිත්ර පට නිපැදේවි. අපත්
වයසට යාවි. ඒත් ඒ සොඳුරු මතකයෝ තව තවත් තිරිහං වෙමින් හද තුලම රඟ දේවි. 

සමුගෙන යන්නට පෙර හුදු විනෝදය පතා එකල චිත්ර පට බලා සහ ගුවන් විදුලියෙන් අසා සිතේ කෙටුනු චිත්ර පට දෙබස් කිහිපයක් මෙහි ලියා තබමි. ඔබට ඒ ඒ අදාල චිත්ර පටය ලියා තබන මෙන් ආදරයෙන් ඉල්ලමි. සැමට ජය හා සතුට!!

1) " ගියා නෙමේ මල්ලියේ.. ග්රහයා අරං ගියා.."
2) " තෝ කියන්නේ ඇත්ත නම් තොගෙ අතේ දිය පට්ට නෑ. තෝ කියන්නේ කෙප්ප නම් තොගෙ අතේ දියපට්ට. දාපං තෙල් තාච්චුවට අත! "
3) " අඩෝ මහත්තයා මම හොඳින් කියන්නේ අද යන්ඩ එපා"
4) "කැලේ හිටියා කුළෙක්.. ඌ පාඩුවේ තණ කකා හිටියේ. වැදුනා ඌට වෙඩිල්ල"
5) " අපේ අම්මා මං වගේ තව එක පුතෙක් හැදුවා නම්"
6) " මල්ලී කැලේ මාරු උනාට කොටියගේ පුල්ලී මාරු වෙන්නේ නෑ"
7) " මීට වඩා හොඳයි මට වහ දුන්නා නම්"
8) " මිණිස්සු කථා හදලා. මං ගැන!
මමයි බතියි ගැන"
9) " පච්චේ අම්මා බුදුවේවා කියලා කොටපං"
10) " මේ අසාධාරන ලෝකේ යුක්තිය හා සාධාරණය වෙනුවෙන් සටන් කරන මිනිහෙක් මං"

තව මෙවැනි දෙබස් කන්ඩ ඔබටත් මතක නම් මට මතක් කර දෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ජය!!


All the photos have been taken from the internet.

Saturday, 1 March 2014

ළිඳේ හෙළූ දියණියගෙන්.........

අම්මා කෙනෙකු තම දියණියද සමඟින් ළිඳකට පැන දිවි තොර කර ගත් පුවතක් රජරට පෙදෙසින් අසන්නට ලැබුනා. එය අලලා මගේ සිතට නැඟුනු  හැඟීමක් මෙසේ ලියා තබන්නට සිතුනා. මෙය හුදෙක් මගේ සිතිවිල්ලක් පමනයි.......







අම්මේ මෙතැන ඝන අදුරුයි හරි

සීතයි
වෙනදා නාන ළිඳමද නොදැනෙන ගානයි
මගෙ ගත සැහැල්ලුයි සිත හැම අත පීනයි
කිසිවක් නොතේරෙයි දිවි ඔබහට බාරයි
   
මාවත් අතින් ගෙන ඔබ මෙහි පැන්නාද
කාටත් හොරෙන් එන්නට සිත කිව්වාද
ඊයෙත් තාත්තා හොඳටම බැන්නාද
ආයෙත් නෙතේ උණු කඳුළක් නැග්ගාද
   
අම්මේ මගේ ගුරුවරු මඟ බලං ඇතී
යවනට හිතයි පණිවුඩයක් පවනේ එතී
පවුලේ කවුරුවත් කිසිදා ගියපු නැතී
තැනකට යන්න තිබු සිහිනය මිලින වෙතී
   
මගෙ කෙටි දිවියේ ඇරඹුම ඔබමයමව්නී
එලෙසින් එහිම අවසන ඔබගෙන් මැවුනී
සිහි වී පියාණන් මට හොඳටම හැඬුනී
හිත පිරි පැතුම් ළිඳ තුල සැඟැවී ගිලුනී