Pages

Saturday, 21 November 2015

මගේ දිනපොත-3



දෙදහස් පහළොවේ නොවැම්බර 9

සති අන්තයේ කිසිම දෙයක් කරන්න හිතේ නිදහසක් තිබුණෙම නෑ. මුහුණු පොතේ , යතිවරයෙකුගේ වියෝවත් සමඟය ඇරඹි සීතල යුද්ධය තවම නිමවන හැඩක් නෑ. ඕවත් හිතේ තියාගෙනම තමයි උදේම වැඩට ආවෙ. 

මගදි වාහනේ රේඩියෝවට ඕනවට එපාවට ඇහුම්කන් දීගෙන එනකොට අසූව දශකය අඟ භාගයේදී මම හිතන්නේ එකදහස් නමසිය අසූ අටේදි පමණ මා සවන් දුන් සහ ඉතාමත්ම ප්රියකළ ඉංග්රීසි ගීතයක් වාදනය වන්නට පටන් ගත්තා. ඒ තමයි පෙට් ෂොප් බෝයිස්( Pet shop boys) ගායනා කරන it's a sin ගීතය. 

ගීතයත් සමගම මගේ හිතත් අවුරුදු විසි පහකට පමණ පසුපසට ගියා. ඒ දවස්වල අපි සිංදු ඇහුවෙත්, මුවන්පැලැස්ස,මොණරතැන්න ආදී ගුවන්විදුලි නාට්යවලට සවන් දුන්නෙත් ගුවන් විදුලියෙන්. රෑපවාහිනියක් තියා මට මතකයි පාසලේ පාඩමකට රෑපවාහිනියක පිංතූරයක්වත් මට සොයාගන්නට බැරිවුණා. මම රේඩියෝවෙන් තමයි ඒ දවස්වල චිත්රපට වෙළඳ ප්රචාරක වැඩසටහන් වලට, හින්දි ගී,බයිලා ගී,විරිඳු හා සරල ගී වලට සවන් දුන්නෙ. අපට කැසට් රෙකෝඩරයක් ඒ දිනවල තිබුණෙ නෑ. ඒ වගේම සිංහල සිංදු මිසක් ඉංග්රීසි සිංදු වලට ඇහුම්කන්දීමේ උවමනාවක් හෝ අවස්ථාවක්වත් තිබුණෙ නෑ. 

මේ කාලයේ තමයි අපේ ගෙදරට අල්ලපු ගෙදරට අළුත් පවුලක් පදිංචියට ආවේ. ඔවුන්ගෙ පුතාලා දෙන්නා ඉගෙන ගත්තෙ මහ නුවර ත්රිත්ව විද්යාලයේ. නිවාඩුවට තමයි දෙන්න ගෙදර ආවේ. නිවාඩුවට ආපු වෙලාවේ ඉදන්ම දෙන්නම කරන්නේ පුංචි කැසට් ප්ලේයර්(Walkman) එකක් තියාගෙන ඉයර් ෆෝනයක් කනේ ගහගෙන සිංදු අහන එක. එයාල අපිත් එක්ක ටික ටික යාළු වුණාට පස්සෙ මටත් ඒවා අහන්න දුන්නා. එය කනට ගහ ගත්තම රේඩියෝවෙන් අහනව වගේ නොවෙයි මාව අමුතුම ලොවකට ගියා මට මතකයි . ඔවුන් ඇහුවෙ ඉංග්රීසි සිංදු. ඒ හේතුවෙන් මටත් it's a sin, Hotel California, manic Monday, hello, I just call , sacrifice, lady in red වැනි ඒ කාලයේ ලංකාවේ එක පංතියක මිනිසුන් අතර අතිශය ජනප්රියවූ ගීතවලට සවන් දීමට අවස්ථාව උදා වුණා. මේවා හිතමින් ආපු මාව පියවි සිහියට ආවෙ රථයේ වේගය අඩු නිසා පසුපසින් ආ රියදුරා මාව උඩ යන්න ගහපු හෝන් පාරට. 

ඒත් එක්කම it's a sin සිංදුව ඇහිලා වැඩිය ඉංග්රීසි දැනුම නැති අපේ ව්යාපෘතියේ ඉංදියාවෙන් පැමිණි සීක් කම්කරැ සගයකු කී කතාවක් මතක් වෙලා මට තනියම හිනා. මේක අහල මිනිහ මට කියනව " බලපං සුද්දො අපි ගැනත් සිංදු හදලනෙ" කියලා. ඒ පාර මම තවත් හොඳට මේ සිංදුවට කන් දුන්නා මේකා මේ කියන කතාව මොකක්ද කියල බලන්න. පස්සෙයි වැඩේ තේරැනෙ. It's a sin කියන එක මිනිහට ඇහිලා තියෙන්නෙ මිස්ටර් සින්ග් ( Mr Singh) වගේ. 

වැඩ පොළෙත් කවුරැත්ම හිටියේ නෑ උදේම ඇවිත් ව්යාපෘතියේ Quantity Surveyor ඇරෙන්න. එයාගෙ නම ජැකී. මම එනකොට එයා සයිට් ඔෆිස් එකේ දොර ළඟ එළියෙ දුම්වැටියක් දල්වාගෙන දැහැන් ගත වෙලයි හිටියෙ. ඇයට සුබ උදෑසනක් කියල සුබ පතලා මමත් එතැන මොහොතකට නතර වුණේ ඇය සමඟ වචනයක් දෙකක් කතා කරන්න. සාමන්යයෙන් , කොහොමද සති අන්තය? හොඳට විවේක ගත්තද? පොඩි අඩියක් ගැහුවද වගේ සඳුදා උදේට ඇහෙන ඒකාකාරී ප්රශ්න. 

ඇය ඉතා සුහදශීලී කාන්තාවක් නිසා මේ එදිනෙදා ප්රශ්නෝත්තර මාලාවෙන් පස්සෙ මට හිතුණා ඇයගේ මේ දුම්බීම ගැනත් අහන්න. ඇය ඉතා අධික ලෙස එයට ඇබ්බැහි වී සිටියා. සෑම පැයකම වගේ එළියට යනවා දුම්බීමට. සාමන්යයෙන් සුද්දො අනුන්ගෙ පුද්ගලික දේවල් වලට ඇඟිලි නොගසන නිසා ඔවුන්ගෙ පුද්ගලික දේටත් ඇඟිලි ගැසීම සදාචාරාත්මක නැති හෙයින් මම ඇයගෙන් මුලින්ම ඒ ගැන අහන්න අවසර ගත්තා. 

මම ඇයගෙන් ඇහුවා , "ඔබ අධික ලෙස දුම් පානය කරනවා. එය සෞඛ්යට හොඳ නෑ නේද ?" කියා. ඇය දුන්න උත්තර වලට ඇත්තටම මට පුදුම සහ ඇය කෙතරම් විවෘත සහ සැහැල්ලුවෙන් ජීවිතය දෙස බලන කාන්තාවක් නේදැයි සිතුණා. ඇය දැනටමත් ජානමය හේතුවකින් ඇට මිඳුලු පිළිකාවකින් පෙළෙන බව මා සමඟ මුළින්ම පැවසුවා. ඔබ විශ්වාස කරන්න ඇය එය පැවසුවේ අප දත් කැක්කුමක් හෝ හිසේ ඇම්මක් ගැන හෝ පවසනවාටත් වඩා සැහැල්ලුවෙන්. එමෙන්ම මෑතකදී ඇයගේ පෙනහලු පරික්ෂා කළ බවත් ඒවා අවුරුදු 25ක තරැණියකගේ මෙන් නිරෝගී බවත් පැවසුවේ සියුම් ආඩම්බරයක්ද ඇතිවයි. ඒත් දුම්බීමට සෑහෙන වියදමක් යනවා නේදැයි මා ඇසූවිට ඇයට දරුවන්  නැතිබවත් ඇය සහ සැමියා හොඳට හම්බ කරන නිසා කිසිම ආර්ථික ප්රශ්නයක් නැතිබවත් පවසා සැමියාද ස්නායු රෝගියකු බවත් ඔහු රෝද පුටුවේ සිට සේවය කරන බවත් පවසා මේ කෙටි දිවියෙ සතුටින් සිටින බව මා සමඟ වැඩිදුරටත් පවසා සිටියා. මට ඇතිවුණේ ඇය ගැන ඉතා ආඩම්බරයක්. අප ජීවිතයේ සමහර විට කෙතරම් පුංචිදේට මානසිකව වැටෙනවාද? මෙවන් නොසැලෙන චරිත දෙස බලන විට මට මා ගැන ඇතිවූයේ ලැජ්ජාවක්. 

එමෙන්ම ඇය ඔහු සමඟ අවුරුදු දහසයේ පටන් අද දක්වා අවුරුදු විසි පහක් එකට ජීවත්වන බවත් මේ කාලයටම ඔවුන් අතර බහින්බස් වීම් ඇතිවී ඇත්තේ හතර සැරයක් බවත් මා සමඟ පැවසුවේ ඇසක්ද අඩවන් කරමින් දඟකාර සිනහවක් පාමින්. 

දෙදහස් පහළොවේ නොවැම්බර් 10

ඊයෙ පැවති විස්සයි විස්සෙ තරගයෙනුත් ලංකාවට ජය ලැබිල. මට අපේ කොල්ලො ගැන ආඩම්බරයක් සහ සතුටක් ඇතිවෙන ගමන්ම බටහිර ඉංදීය කොඳෙව්වන් ගැනත් ඇතිවුණේ පුදුම කණගාටුවක්. කොහොමට හිටපු කණ්ඩායමක්ද? මුල්ම ක්රිකට් සූරතා තරඟ දෙකේදිම ලෝක ශූරයන් වුණේ ඔවුන්. සර් ගාෆීල්ඩ් සෝබර්ස්ලා, ජොයෙල් ගානර්ලා, රිචී රිචඩ්සන්ලා, ඩෙස්මන් හේන්ස්ලා ලෝකයම හොල්ලන් වුන් හැටි මට සිහිවුණා. හැම රටකම හැම දේටම රිංගන අවලං දේශපාලනය කොඳෙව්වන්ගෙ ක්රිකට්වලටත් රිංගලා වගේ. 

කොහොමටත් කොඳෙව්වන්ට , ජැමෙයිකානුවන්ට මම කැමතියි. නැව ගිලුණත් බෑන් චූන් වගේ නිතරම සතුටින් සැහැල්ලුවෙන් සිංදුවක් කියාගෙන ඉන්න ජාතියක්. ලෝක පූජිත බොබ් මාලේ ගායකයාව මට සිහිවුණා. ඔවුන්ගේ තියෙන්නෙ අමුතු ආගමක්. සමකයට ආසන්න රටවල මිනිස්සු හැමදාම ලැබෙන හිරුගේ කිරණ සහ උණුසුම හින්දද මන්දා ශීත රටවල බුම්මගෙන ඉන්න මිනිසුන්ට වඩා දුප්පත් වුණත් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නෙ. ඔවුන්ට මුදල් ඇරෙන්න අනෙක් හැමදේම තියෙනවා. 

සුද්දො ක්රිකට් සොයාගත්තට අපේ රටවල් තමයි එහි ඵලය නෙලා ගත්තේ. මෙහෙ බහුතරයක් මිනිස්සු කැමති පාපන්දු සහ රග්බි වලට. සීමිත එක පංතියක පිරිසක් තමයි ක්රිකට් ලෝලියො. ක්රිකට් නිසා අපේ රටට මුළු ලෝකයෙම කීර්තියක් අත්කරදුන්න අපේ කොල්ලන්ට මම හැමදාම ආදරෙයි. 

ඊයෙ රෑ හුග කාලෙකට පස්සෙ ගෙදර ඉදල ඉංග්රීසි චිත්රපටයක් නැරඹුවා. එහි නම Dessert Flower. කාන්තාරයේ කුසුම. දුක දිනා ජීවිතය ජයගත් ඒ අධිෂ්ඨානශීලී සෝමාලියානු එඬේර කෙල්ල වාරිස් ඩයරිගේ කතාව. මම මෑතකදි තමයි ඇගේ කතාව සිංහලෙන් කියෙව්වෙ. ඒ රංජිත් කුරැප්පු මහත්තයා ලියපු පරිවර්තන කෘතියෙන්. ඉංග්රීසි පොතත් ටිකක් කියෙව්වා. ඒත් චිත්රපටයනම් මා සිතූ තරම් විශිෂ්ට කෘතියක් නොවන බව මගේ හැගීමයි. මහා හදිසියකින් කතාව ඉවර කරන්න අධ්යක්ෂකට ඕනවෙලා වගේ මට හිතුණෙ. ඔයිට වඩා ලස්සනට චිත්රපටය ගලා යන්නට තිබුණා. සමහර සිද්ධීන් පොතට වඩා බොහොම වෙනස්. පොතක් සිනමා පටයකට නැගුවම මෙහෙම වෙන බව මම දන්නවා. බොහෝ චිත්රපට පොත මෙන් සාර්ථක නැතිබවත් මම දන්නවා. 

ඒත් ලංකාවෙ හිටපු , අපේ අවාසනාවට අකාලේ අපෙන් සමුගත් ශූර තිරපිටපත් රචක මහා සිනමාවේදී තිස්ස අබේසේකරයන් මට මතක් වෙනවා. එතුමා කළ නිර්මාණ කිහිපයෙනම එතුමා කෙතරම් දක්ෂයෙකුදැයි සිතා ගන්නට පුළුවන්. 

ඉතාමත්ම පුංචි කෙටිකතාවක් වූ ජී බී සේනානායකයන්ගේ "නිධානය"  ට එතුමා ලියූ තිරපිටපතින් හා ලෙස්ටර් සූරීන්ගේ අධ්යක්ෂණයෙන් මහා විශාල සිනමා නිර්මාණයක් බිහිවූ බව ඔබට මතක ඇති. එයට හේතුව වූයේ තිස්ස අබේසේකරයන්,  ඒ කෙටි කතාව වෙනුවෙන් ලියූ අති විශිෂ්ට එමෙන්ම ප්රබල තිර රචනය. ඒ වගේම තමයි විරාගය. මාටින් වික්රමසිංහයන්ගේ පොත නරකයි කියනවා නොවෙයි. එහෙත් චිත්රපටය පොත අභිබවා ගිය විශිෂ්ට කෘතියක් වුණා. අබේසේකරයන් තිරපිටපත ලියූ ගුණදාස අමරසේකරයන්ගේ කරැමක්කාරයෝත් ඒ වගේමයි. 

තිස්ස අබේසේකරයන්ට ලෝක සිනමාව ගැන පමණක් නොවේ භාෂාව, ඉතිහාසය, සංගීතය ඇතුළු සියලුම විෂය ධාරාවන්හී නිපුණත්වයක් තිබූ බව එතුමා ලියූ " අයාලේ ගිය සිතක සටහන්" පොත කියෙව්වොත් ඔබට වැටහේවි. 

ඒ වගේම ලෙනාඩ් වුල්ෆ් ලියූ village in the Jungle කෘතිය ඇසුරින් නිර්මාණයවූ බැද්දේගම සිනමාපටය විශිෂ්ට කෘතියක් වුවත් පොතේ සිලිඳුගේ අධ්යාත්මය සහ බුදු දහම ගැන කරණ ගැඹුරැ විග්රහය ඒ තරමටම සිනමා පටයට අන්තර්ගත වෙලා නැතිබව මගේ විශ්වාසයයි. කොහොමටත් අවසාන නිගමනය තමයි පොතකින් තරම් කලාතුරකින් ඇරෙන්න චිත්රපටයකින් රසිකයාගේ අධ්යාත්මයට ඇමතිය නොහැකි බව. 

අද උදේ වැඩට එන ගමන්  රුසියාවෙ ක්රීඩකයන්ගේ තහනම් උත්තේජක පාවිච්චිය ගැන කියැවුණු ප්රවෘතියක් මගේ සවන් වැකුණා. ක්රීඩාවෙත් මහත්මා ගති නැතිවේගෙන යන යුගයක් මේ. හැමදේම  රුපියල් ශත වලට යටවූ මේ යුගයේ බුකි කාරයන්ගේ මල්ල තර කරන්නට තරඟ පාවාදීම් නිරතුරුවම ඇසෙනවා. ඒ අතරට මේ තහනම් උත්තේජක භාවිතයත් ඇවිත්.  රුසියානු ක්රීඩකයන් එය දිගින් දිගටම කරගෙන යන හෙයින් ඔවුනට අන්තර්ජාතික ක්රීඩාවලට සහභාගීවීම තහනම් කිරීමට තීරණයක් ගන්න යනවා. 

මට රුසියාව ගැන ඇත්තටම දුක හිතුණා. කොහොමත් අන්තර් ජාතිකය ඒ කියන්නෙ විශේෂයෙන්ම ඇමෙරිකාව එංගලන්තය ,කොන්ඳ නමන් නැතිව ඔළුව කෙළින් තියාගෙන ඉන්න රුසියාව , ඉරානය හා කියුබාව වගේ රටවල් එක්ක ජන්ම වෛර බව අප දන්නවා. සදාම් හුසේන්ට සහ ගඩාෆිට තම ජීවිත වලින් වන්ඳි ගෙවන්න වුණේ ,ඔවුන්ගේ පදේට නටපු නැති නිසා කියන එක කවුරුත් දන්නා ප්රසිද්ධ රහසක්. 

අභ්යවාකාශ තරණයේදී ඇමෙරිකාව සමග කරට කර සිටි රුසියාව , මහා සාහිත්ය විප්ලවයකින් ලොව හෙල්ලූ රුසියාව , ලෙනින්ලගෙ , මැක්සිම් ගෝර්කිලගේ සුවඳ රැදුණු රුසියාව කෙතරම් අගේට සිටියද? ඒ දවස්වල මැක්සිම් ගෝර්කිගේ " අම්මා" කියවද්දී ," වානේ පන්නරය ලැබූ හැටි", " පෙරළූ නැවුම් පස " වැනි විප්ලවීය නවකථා කියවද්දී ඒ උත්තේජනය අපටත් දැනුණා.  රුසියාවෙ මහා විපලවයට මේ ලේඛකයෝ තම පන් හිඳෙන් කළ සේවය අනූනයි. කම්කරැවො ගැන, ගොවියො ගැන විශේෂයෙන්ම පීඩිත පංතියේ දුක් විඳින ජනතාව ගැන හිතේ ආදරයක් ඇතිවුණේ ඒ කාලෙ ඔය පොත්වලින් ලද පන්නරයෙන්. 

කොහොමටත් ධනපති මුදලාලිලා හෝ අවලං දේශපාලුවන්ට වඩා මුඩුක්කුවෙ සෝමෙලා හා වැල්ලෙ මාළු සංජීවලා මට හැමදාම වටිනවා. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Monday, 16 November 2015

හෙතෙම සුදත් දේවප්‍රිය නම් වන්නේය......



අප කුඩා සංදියේ අපට , දැන් කාලයේ අපේ දරැවන්ට මෙන් ජංගම දුරකථන, එක්ස් බොක්ස් ( XBOX) හෝ ප්ලේ ස්ටේෂන්(Play Station) ආදී වීඩියෝමය ඉලෙක්ට්රෝනික සෙල්ලම් බඩු නොතිබුණි. ඒ වෙනුවට අප ඇබ්බහිවී උන්නේ පොත පත කියවීම, චිත්රකතා හා චිත්රපට බැලීම වැනි දේටය. එයිනුත් චිත්ර කතා හා චිත්රපට පිස්සකුවූ මා මෙන්ම මගේ සමකාලීනයන්ට එකල කියවූ කතා හා නැරඹූ චිත්රපට අද ඊයේ මෙන් මතකයේ ඇත්තේ ඒවා අපේ සිරුරු වලටම ජීර්ණයවූ නිසායැයි සිතමි. මේ ලිපියේ අරමුණ සිනමාව හා ඉන්පසු අපට රූපවාහිනියත් සමඟ ලැබුණු  ටෙලි නාට්ය සම්බන්ධයෙන් රටේ නමක් දිනා ගත් අපේ කාලයේ විශිෂ්ට සිනමාකරුවකු පිළිබඳව නිසා චිත්රකතා හා පොත පත ගැන මෙහිදී වැඩිදුර කතා නොකරමි. 

අප හැත්තෑව දශකයේ හා අසූව දශකයේ නැරඹූ සිනමා පට අතුරින් ළමුන් සඳහා නිර්මාණයවූ අපූරු චිත්රපට දෙකක් පිළිබඳව මගේ මතකය අවදිවෙයි. 

මහා ගත්කරු මාටින් වික්රමසිංහයන්ගේ කෘතියක් වූ " මඩොල්දූව" නව කතාව ඇසුරින් තැනූ මඩොල්දූව සිනමාපටය ඉන් පළමුවැන්නයි. පොත කියවා උපාලි ගිනිවැල්ලේ හා ජින්නා යන චරිත සහ මඩොල්දූව සිතින් මවාගෙන වුන් මට එය එලෙසින්ම තිරයේ දැකගන්නට ලැබීම මගේ දෑස් අදහාගත නොහැකි අපූරු අත්දැකීමක් විය. ඔවුන් ගම ඉන්නා සමයේ කළ දඟවැඩ හා මඩොල්දූවේ ගත කළ ජීවිතය මා අමන්දානන්දයට පත් කෙරුණි. 

ඉන්පසු තිරයට ආ ටයි මහත්තයා( ටයිටස් තොටවත්ත) නිර්මාණය කළ " හඳයා " චිත්රපටයද මා ගෙන ගියේ අමුතුම ලෝකයකටය. එය පෝනියෙකු වටා ගෙතී තිබූ කතාවක් වූ අතර එය නරඹා පෝනියෙකු ලබා ගැනීමට මා සිහින මැවූ අයුරු අදද ඉඳහිට සිහියට එන්නේ සුන්දර සිනහවක් මුවඟේ ඉතිරි කරමිනි. 

ඉන්පසු 1982 ඇරඹි රූපවාහිනියෙන් අපගේ නිවසටම පැමිණි ටෙලි නාට්ය කලාවද අප මහත් අබිරුචියෙන් වැළඳ ගතිමු. ඒ නාට්ය ඉතා උසස් ගණයේ කලාත්මක නාට්යවූ අතර අප ඒවා නැරඹීමට රූපවාහිනී වටා රොද බැන්ඳෙමු. 

මේ නාට්ය අතර එවකට කුඩා ළමුන්වූ අපගේ හදවත් පැහැරගත් නාට්යක් නිර්මාණයක් වුණි. එයද නව කතාවක් ඇසුරින් සැකසුණු අතර මම එම පොත කියවා තිබීම ඒ පිළිබඳව මගේ උනන්දුව හා එයට පෙම් බැඳීමට මුල්වූ තවත් හේතුවක් වන්නට ඇත. 

එය වෙන කිසිවක් නොව ටී බී ඉලංගරත්න සූරීන්ගේ " අඹයාළුවෝ" කෘතිය ඇසුරින් නිර්මානිත " අඹයාළුවෝ" ටෙලි වෘතාන්තයයි. එහි අධ්යක්ෂකවරයා වූයේ සුදත් දේවප්රිය නම්වූ අපූරු තරුණ සිනමාවේදියෙකි. 



ඒ කාලයේදීම වාගේ සිනමාවේ සහ නාට්ය කලාවේ සුදත්ලා කිහිප පොලක්ම වූහ. සුදත් මහදිවුල්වැව හා සුදත් රෝහණ නම් ඔවුන්ගෙන් මා ආදරය කළ දෙදෙනෙකි. එවකට සිනමාවෙන් පිස්සු වැටී වුන් මා හට සිනමාවට සම්බන්ධ කවුරුන් සමඟ හෝ කතා බහ කිරීමට , ඇසුරු  කිරීමට තිබුණේ පුදුම උණකි. එහෙත් අවාසනාවන්ත ලෙස එය සිහිනයකටම පමණක් සීමා වුණි. 

එහෙත් මේ නවීන තාක්ෂණයේ , මුහුණු පොතට පිංසිදුවන්නට මා එකල පෙම් බැඳි සිනමාකරුවන්, ගත් කතුවරයන් හා මාධ්යවේදීන් මගේ මිතුරු ලැයිස්තුවට එක්කරගත හැකිවුවත් ඒ කිහිප දෙනෙකු හැර බොහෝ අය මිතුරු ලැයිස්තුවේ තිබෙන නාමයකටම පමණක් සීමා විය. 

එහෙත් පසුගිය මාසයේ මා ගුණදාස කපුගේ සූරීන්ගේ හැත්තෑවන ජන්ම සංවත්සරය වෙනුවෙන් ලියූ ලිපිය කියවූ මේ මා ආදරය කළ එක් සිනමා අධ්යක්ෂකවරයෙකු මට පුද්ගලිකවම කතා කොට එම ලිපියට සුබ පැතුවේ මා පුදුමයට පත් කරමින් හා මහා හයියක් සිතට කාන්දු කරමිනි. එවැනි නිහතමානී ප්රවීණයන් ඌන වර්තමානයේ, මා වැනි අංකුරයෙකු වෙනුවෙන් කාලය මිඩංගු කළ එතුමා වෙන කවුරුන් හෝ නොව අඹ යාළුවෝ ටෙලි වෘතාන්තය අපට දායද කළ සුදත් දේවප්රියයන්මය. 

එතුමා ඉතාමත් සුහඳව මා සමඟ සංවාදයේ යෙදුණේය. මට ඒ මොහොතේ අඹ යහළුවෝ රූප රාමු මැවී පෙනුණි. සුදු අප්පෝ , 
සුදු අප්පෝගේ මව ( අනුලා කරැණාතිලක) හා පියා. ගල්බංඩා( හේමසිරි ලියනගේ). කළ විශිෂ්ට රංගනයන් මගේ සිහියට ආවේ විදුලි වේගයෙනි. ළමා නළුවන් ඇතුළු මේ ප්රවීණ නළු නිළියන්ගේ රංග ප්රතිභාව මෙම නාට්ය උදෙසා උකහා ගත්තේ එතුමන්ය. 

මා සමඟ කලක සිට දැනගෙනවුන් මිතුරකු ලෙසද විටෙක සොයුරකු ලෙසද අල්ලාප සල්ලාපයේ යෙදුණු එතුමාගෙන් මම එතුමා පිළිබඳව මෙතෙක් දිනක් දැන නොසිටි බොහෝ වැදගත් කරුනු දැන ගන්නට ලැබිණි. ඒ තොරතුරු දැන ගැනීමට එතුමාගේ රසිකයන්ටද බොහෝ උවමනා ඇතිබව මම දනිමි. එහෙයින් මෙතැන් සිට එතුමාගේ සිනමා දිවිය සැකෙවින් ඔබ වෙත ගෙන එන්නට මට අවසර දෙන්න.  

වයස අවුරැදු 12-14 වැනි කොළුකාර හිරිමල් වයසේ සිටම චිත්ර පටයක හෝ නාට්යක රඟපෑමේ උනින් පෙළුණු අප කතා නායකයා , හමුවීමට නොගිය නාට්ය හෝ චිත්රපට අධ්යක්ෂකවරයෙකු නොවීය. එහෙත් ඒ කිසිම කෙනෙකු ඔහුට අවස්ථාවක් ලබා දීමට ඉදිරිපත් වූයේ නැත. එහෙත් තම උත්සහය අත නොහැරෑ දේවප්රිය තරුණයා 1981 එක්තරා දිනකදී තම සිහනය සැබෑකර ගැනීමට සමත් විය. ඒ සුසිල් ගුණරත්න සූරීන්ගේ " නුඹ විතරක් තලඑළලුයි " වේදකා නාට්යයේ රඟපෑමට අවස්ථාවක් උදා කර ගැනීමෙනි. 

ඉන්පසු 1983 වසරේදී සෝමලතා සුබසිංහ මැතිනියගේ ළමා හා යොවුන් රංග පිටයට ඇතුළුවීම තරුණ දේවප්රියගේ කලා දිවියට වැටුණු ශක්තිමත් අඩිතාලම මෙන්ම කලා දිවියේ හැරවුම් ලක්ෂයද කියූවොත් නිවැරදිය. 
මෙහි ප්රතිඵලයක් ලෙස සෝමලතා සුබසිංහ මැතිනියගේ " විකෘති " වේදිකා නාට්යයේ දර්ශනවාර සියයක පමණ පියාගේ චරිතය රඟ දැක්වීමට අවස්ථාව උදාකර ගත්තේය. මෙහිදී මවට රඟපෑවේ චාන්දනී සෙනවිරත්න වූ අතර ඇයද එවකට අධුනික තලයේවූ නව යොවුන් නිළියක වූවාය. 

1983 වසරේ දහඅට හැවිරිදි භද්රයෞවනයේ පසුවූ තරුණ ජවයේ කෙලපැමිණවුන් ඔහුට ජාතික රූපවාහිනියේ පුහුණුවන සහය අධ්යක්ෂකවරයෙකු වශයෙන් සේවය කිරීමට ලැබීම කලාවට පෙම් බඳින අපගේ භාග්යකටම සිදුවූවක් යැයි මම තරයේම විශ්වාස කරමි. 

වසර පහක පමණ කාලයක් මෙලෙස රූපවාහිනියේ ගෙවී ගිය අතර ඔහුගේ හිතේ නිතරම සිහිනයක්ව තිබූ නාට්යයක් නිර්මාණය කිරීමේ බලවත් පිපාසය නැවතත් මතුවී එන්නට විය. 

එහි ප්රතිඵලය වූයේ 1988 වසරේදී " අඹයාළුවෝ" නම් ඒ විශිෂ්ට ටෙලි නාට්ය එතුමා අතින් බිහි වීමයි. එවකටත් වයස 23 ක පැඟිරි කොලු ගැටයකු වූ එතුමා මෙම නාට්ය නිර්මාණය කරද්දීද පුහුණුවන සහය අධ්යක්ෂකවරයකුම වීම අපට සිතීමට බොහෝ දේ ඉතිරි කරයි. එමෙන්ම එතුමාගේ අධ්යක්ෂණයට තිබූ උග්ර උවමනාව සහ අතිමහත් කැපවීමට මෙයම නිදසුනක් නොවේද? අඹයහළුවෝ , 1990 ජර්මනියේ පැවති Pri- Jenuess සිනමා උළෙලේදී ජූරියේ සම්මාණයකටද පාත්ර විය. 

එතැනින් නොනැවතුණු දේවප්රියයන් ජාතික රූපවාහිනියට " මඩොල්දූව" ටෙලි වෘතාන්තයක් ලෙස නිර්මාණය කළේ දශක ගණනාවක් මඩොල්දූව පොත කියවා සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ මඩොල්දූව සිනමා පටය නරඹා එහි චරිත හා දෙබස් සිරුරටම ජීර්ණයවී වුන් ප්රේක්ෂක ජනතාවකට කිසිදු පැකිළීමක් නොමැතිව නිර්භයව වීමම එතුමාගේ සිනමාකරුවකු වශයෙන් තිබිය යුතු බාධක කඩා බිඳගෙනයාමේ හා නොපැකිලීව තීරණ ගැනීමේ ගුණය මොනවට විද්යාමානවෙයි. 

ඉන්පසුව එතුමා පිළිවෙලින් සංගිලි පාලම, නාමල්ගොල්ල හා වංකගිරිය යන ප්රාසාංගික ටෙලි නාට්යයන් ජාතික රූපවාහිනිය වෙනුවෙන් නිර්මාණය කළේය. 

එහෙත් අපගේ අවාසනාවට එකල  රූපවාහිනියේ තිබුණු වාතාවරණය ගැන කලකිරැනු මෙතුමා 1990 දී හිස් සාක්කුවල අත්දෙක රුවාගෙන එහෙත් කොන්ද හා ඔළුව කෙළින් තබාගෙන ගෙදර ගියේය. 

මෙසේ කලකිරී ගෙදර ගිය , කලාවෙන් ඈත්වූ පළමු වෙනියාවත් අවසානයාවත් එතුමා නොවන්නේය. මේ ක්රමය වෙනස්වන තුරු අනාගතයේදීත් මේදේම සිදුවනු ඇත. 

නාට්ය කලාව හා සිනමාව සිරුරේ දුවන ලේ වල තිබූ එතුමාට කලාවෙන් ඈත්වී සිටීම කෙසේවත් කල නොහැකි විය. එතුමා 1990 දීම මේ තිබුණු සිනමා "උණ" නිසා තම මිතුරන් කිහිප දෙනෙකු සමඟ එකතු වී " එළිවෙන දවස" නමින් චිත්රපටයක් නිර්මාණය කළේය. 

එයටත් ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. එය කාලයක් තහනම්ව තිබී පසුව ප්රදර්ශනයට අනුමැතිය ලැබුණත් ප්රදර්ශනය සඳහා පිටපත් නිෂ්පාදනය කිරීමට එතුමන්ට සහ මෙම සිනමාපටය සෑදීමට මුදල් වියඳම් කළ එතුමාගේ මිතුරාට තවත් මුදල් නොතිබිණි. මේ හේතුව නිසා යන්තම් පුළු පුළුවන් අයුරින් තිබුණු මුදල් ගැට ගසා ඉංග්රීසි උප සිරසි සහිතව චිත්ර පටයේ එක් පිටපතක් පමණක් නිපදවා ගන්නට ඔවුනට සිදුවිය. ඛේදවාචකය මෙයයි. 

දැවෙන තරුණ ප්රශ්න අළලා සැකසුණු මෙම සිනමා පටය මීට වසර ගණනාවකට පෙර "කැන්බරා ජාත්යන්තර සිනමා උළෙලේදී" ශ්රී ලංකාව නියෝජනය කළත් එය ලංකාවේ ප්රදර්ශනය කර ගැනීමට අවශ්ය සම්පත් ඔවුන් සතු නොවීය. 1990 වසරේ ලංකාවේ පැවති ජාතික යොවුන් උළෙලේදී හොඳම තිර රචනය සඳහා පිදෙන සම්මානයට පවා පාත්රවූයේ මෙම සිනමා පටයයි. එහෙත් අදටත් මේ සිනමාපට කොපිය ලොවින් වහන් වී , දුහුවිල්ලෙන් සහ අඳුරින් වැසී එතුමාගේ ඇඳ යට සුසුම්ලමින් වැතිර සිටින වග එතුමා මා සමඟ පැවසුවේ මුළු ලොවම කෙරෙහිවූ මහා කලකිරීමකින් බව මට එතුමාගේ මුහුණ නොපෙනුණත් කට හඬේ ස්වරයෙන් තේරුම් ගත හැකි විය. 

ඉන්පසු 1992 දී ඉතාමත්ම සොඳුරු සිනමා නිෂ්පාදිකාවකවූ ප්රවීණ සිනමා නිළි ශ්රියානි අමරසේන සමඟ එක්වී " තරණය" චිත්රපටය නිර්මාණය කළේය. 1993 පැවති සරසවි, ජනාධිපති සහ OCIC සිනමා උළෙලයන්හිදී හොඳම අධ්යක්ෂක සඳහා නාම යෝජනාවටද එතුමා පාත්ර විය. එම චිත්රපටය තුළින් එම් ඩී මහින්දපාල නම් කැමරා ශිල්පියාව සිංහල සිනමාවට හඳුන්වා දීමටද එතුමාට හැකිවිය. එම් ඩී මහින්දපාලයන් පිළිබඳව ඉතාමත්ම ගෞරවයෙන් සඳහන් කළ එතුමා ඔහු ඔවුනට වටිනා ගුරැවරයෙකු බව පැවසීය. 

එසේම අප අතරින් වියෝවූ තිස්ස අබේසේකරයන් පිළිබඳවද ඉතාමත් ගෞරවයෙන් හා කෘතඥතාපූර්වකව සිහිපත් කළ එතුමා, තිස්ස අබේසේකරයන් විසින් චිත්රපට තැනීමට ණය මුදල් ලබා දීමට කටයුතු කිරීම එතුමා වැනි චිත්රපට හැදීමට මුදල් නොමැතිව අතරමංවූ තරුණ , නිර්මාණශීලී සිනමාකරුවන්ට තැනුණු  මහා විසල් අත්වැලක් බව වැඩිදුරටත් පැවසීය. 

තිස්ස අබේසේකරයන් දියත් කළ ඒ සිනමා ව්යාපෘතියට පිං සිදු වන්නට සුදත් දේශප්රියයනට " උඩුගංයාමය" සිනමා පටය නිර්මාණය කිරීමට හැකිවුණි. ඒ 2005 වසරේදීය. 

එම වසරේ ලංඩන් , නවදිල්ලී, CANNS, ප්රංශ හා ඩුබායි සිනමා උළෙලයන් නියෝජනය කළ උඩුගංයාමය 2007 වසරේදී සරසවි, ජනාධිපති හා සිග්නිස් සම්මාණයන්ගෙන්ද පිදුම් ලැබුවේ හොඳම චිත්රපටය, හොඳම තිර රචනය හා හොඳම අධ්යක්ෂක යන සිනමා උළෙලක වැදගත්ම සම්මාන ත්රිත්වය එතුමාට උරුම කර දෙමිනි. එම උළෙලයන්හිදී චිත්රපටය සඳහා ලැබුණු මුළු සම්මාන සංඛ්යාව විස්සකි. 

ජීවිතය කෙතරම් නම් සුන්දරද ? ඔබට එසේ සිතෙනවා ඇති. එයට මම දොස් නොකියමි. ඒ ඔබට මතුපිටින් පෙනෙන දේය. එහෙත් කල නිර්මාණ අතළොස්සෙන්ම මෙතරම් සම්මානයට පාත්රවූ මේ දක්ෂ සිනමා කරුවාගේ  දිවියේ යථාර්ථවාදී ශෝකාලාපය මම දැන් ඔබ වෙත ගෙන එන්නෙමි.

එතුමා සිනමාව පිළිබඳව එම් ඒ උපාධිය හැදෑරීමට එංගලන්තයේ සිනමා ඇකඩමියට යාම සඳහා මුදල් සොයාගැනීමට බැංකුවෙන් ණය මුදලක් ගෙන " දියමංකඩ" නමින් කොටස් 32 ක නාට්යක් නිර්මාණය කළේය. ඒ මීට සය වසරකට පෙර 2009 වසරේදීය. 

එංගලන්ත සිනමා ඇකඩමි සිහිනය , සිහිනයක්ම වෙද්දී මෙවන් අපූරු සිනමාකරැවකුට අත්වූ ඉරණම ඔබ විශ්වාස නොකරනු ඇත. එහෙත් සිදුවූ යථාර්ථයද එයමය. 

එතුමා තවමත් එම නාට්ය විකුණා ගැනීමට දගලමින් සිටිනවායැයි කියූවොත් මා උන්මාදයෙන් මෙය පවසනවා යැයි නොසිතන්න. ඔබට තව දුරටත් දරාගැනීමේ ශක්තිය ඇතිනම් එතුමා මා සමඟ අවසානයට පැවසූ මේ වදනටත් සවන් දෙන්න. " මම තාමත් ඒ නාට්ය විකුණා ගන්න දගලනවා චන්දන. ඒත් ඒ උපාධිය ගන්නවත් සිනමාව ඉගෙන ගන්නවත් නොවේ. බැංකුවට වෙච්චි ණය මුදල ගෙවලා දාන්න". 

ඔබ තවමත් අසා සිටීනම් මෙසේ සිතන බව මම දනිමි. මෙයද අපගේ විශිෂ්ට සිනමාකරැවකුගේ ඉරණම? සුදත් දේවප්රිය වනාහී මෙවැනි තත්වයක් උදාවූ පළමු කලාකරැවා නොවේ. එලෙසින්ම ඔහු අවසානයාද නොවනු ඇත. නූතන සිංහල සිනමාවේ හා ලාංකීය කලාවේ ඉරණමයි මේ. 

අපට සිටි බොහෝ විශිෂ්ට කලාකරැවන් දැනටමත් අපගෙන් සදහටම සමුගෙන ගොස්ය. ඉන්නා ටික දෙනාද ස්වයංවාරණ දමාගෙන නිශ්ශබ්දය. ගීත රචකයෝ සිංදු නොලියති. ගායකයෝ සිංදු නොගයති. සිනමාකරැවෝ නිර්මාණ නොකරති. 

එතුමා සමුගැනීමට පෙර තවත් එක්ම එක් කරුණක්  මා හමුවේ තැබීය. එනම් එතුමා ජීවිතයේ මෙතෙක් විඳි දුක්ඛ දෝමනස්සයන් කැටිකොට රචිත " අරවින්ද" නම් කාව්ය සංග්රහය පිළිබඳවයි. එය පිටවූදාට අපට එතුමාගේ පමණක් නොව සිංහල සිනමාවේ සහ අපේ මුළු සමස්ත සමාජයේම ඛේදවාචකය කියවාගත හැකිවනු ඇත. 

සටහන: චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

Wednesday, 11 November 2015

මගේ දිනපොත -2



දෙදහස් පහළොවේ නොවැම්බර් 3

ඊයෙ සුනිල් මාධවයන්ට කතා කළාට පස්සෙ හිතට දැනුණෙ මහ පුදුම තනිකමක්. ප්රේමකීර්ති ද අල්විස් සූරීන්ගේ චරිතාප්රදානය කියවලා ඉවරකළ දවසෙත් මෙවැනිම හැගීමක් තිතට දැනුණු බව මට මතකයි. ඒක වචනයෙන් විස්තර කළ නොහැකි අමුතුම හැගීමක්. මම , මොනවද අපෙන් කෙරෙන්න ඕන කියල ඇහුවම මොනවත් ඕන නෑ හැමදාම සහෘදව ඉන්න කියපු එක තමයි මගේ හදවතට තදින්ම කා වැදුනෙ. 

අදත් එතුමට කතා කළා. හරිම සතුටුයි. එක වෙලාවක ඒ පැත්තෙන් කිසිම හඬක් නැති නිසා ඔබතුමාට මාව ඇසෙන්නේදැයි මම විමසුවම " ඔව් ඔව් ඇහෙනවා ඒත් මට සතුටටයි දුකටයි කතා කරගන්න බැරිවයි ඉන්නෙ " කියල එතුමා කිව්වහම මගේ දෑස් වලට පිරුනු කඳුළු නවත්වාගත්තෙ බොහොම අමාරැවෙන්. මේ තමයි අව්යාජ සංවේදිත්වය. එතුමා එකක් හිතේ තියාගෙන තව එකක් ලියපු කෙනෙක් නෙමෙයි. සැබෑම කලා කරැවකු නම් තමන් ලියන කියනදේ තමන්ගෙම ආත්මයම විය යුතුයි යන්න මගේ විශ්වාසයයි. එසේ නැතිනම් එහි ඇත්තේ රඟපෑමක් පමණයි. 

කලා කරැවන් ගැන , විශේෂයෙන්ම අපේ රටින් බිහිවූ අය ගැන මගෙ හිතේ තියෙන්නේ අසීමිත ආදරයක්. ඒ මම ඔවුනගේ නිර්මාණ මගේ ආත්මයම කරගෙන සිටින නිසා වන්නට ඇති. මේ අය වයසට ගියාම පුදුම විදිහට අසරණ වෙන්නේ. එංගලන්තය ඇමෙරිකාව වැනි රටවල නම් ඔවුන් කළ නිර්මාණ වලින්වත් ඔවුන්ට ආදායමක් ලැබෙන විදිහටයි ක්රමවේදීන් සකස්කරලා තිබෙන්නෙ. ඒත් ලංකාවෙ කොහෙද එහෙම වැඩ පිළිවෙළක්. 

පොදු ජනතාවත් සමඟ ඉතා විනෝදෙන් සහ සැහැල්ලුවෙන් ගත කළ අති සංවේදී බහුතරයක් කලාකරැවන් පුළුවන් කාලේ අනාගතයට යමක් හරි හම්බ කර නොගත් එකට සමහරු ඔවුනට දොස් කියන්න පුළුවන්. ඒත් මම නම් එහෙම හිතන්නෙ නෑ. කලාව වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතයම කැප කළ ඔවුන්ගේ ඒ දුර්වලතා අමතක කොට අපට හැකි පමණින් ,ඔවුන් අප වෙනුවෙන් කළ සේවයට කෘතගුණ සැලකීමයි අප අතින් විය යුත්තේ. 

මෙවන් වැඩ වලට මූලික වෙල වැඩ නොකොළොත් එය හරියට නොකෙරෙන බව මා අත්දැකීමෙන් දන්නවා. එමෙන්ම එහෙම වැඩවලට අතගැහුවම ඒවා කරන්න අය නැති වුණාට දොස් කියන්න, වැරඳි හොයන්න නම් ඕනතරම් අය ඉන්න බවත් අත්දැකීමෙන්ම මම දන්නවා. ඒත් හොඳ වැඩක් කරල ඒ අසරණයන්ගේ මුහුණෙ සිනහවක් දකිනවිට ඒ ලැබෙන දෝෂාරෝපණ මට අමතක කරන්න පුළුවන්. 

දෙදහස් පහළොවෙ නොවැම්බර් 4

බ්රිතාන්යයේ වසරකට දික්කසාද වන සංඛ්යාව ලක්ෂ දෙකක්ලු. අද උදේ සේවයට යන අතරෙ නිවුස් වල කියනව ඇහුණා. බඳින උන් ඔක්කොම දික්කසාද වෙනවද මන්දා. මේක මහා අබුද්දස්ස කාලයක්. 

අපි කුඩා සංදියේ ලංකාවෙ දික්කසාදය කියන වචනයත් හරියට මිනී මරනවා වගේ කවුරැත් කරන්න සහ කියන්න පවා බියවූ වචනයක්. ඒත් දැන්නම් ලංකාවෙත් දික්කසාදය සාමන්ය දෙයක් බව ඇසෙන කතා වලින් පෙනෙනවා. අපේ අම්මලගෙ කාලෙ ඉතිං බැන්ඳොත් බැන්ඳම තමයි. මොන දුකක් හරි දරාගෙන එකට උන්නා. විශේෂයෙන්ම දරැවො නිසා. ඒත් එහෙමත් ඕන නෑ කියලත් හිතෙනවා. නමුත් මෙවැනි දෙයින් අසරණ වෙන්නෙ දරැවෝ. පුදුම වැඩේ කියන්නෙ පෙම්වතුන් විදිහට හොඳින් සිටින අයම විවාහය කියන නීතිමය ලියවිල්ලට යටත් වුණාම වෙනස්වන ආකාරයනෙ. 

මේ රටවල සංස්කෘතිය අනුව නම් එයාලා එකට ජීවත් වෙලා දරැවොත් ලැබුණට පස්සෙ තමයි තමන්ට විවාහ වෙලා එකට ඉන්න පුළුවන්ද බලන්නෙ. මෙහෙ දහ දෙනෙකුට කතා කළොත් නම දෙනෙකුම දික්කසාද වෙලා. එක්කො එකට ජීවත් වෙනවා විවාහ වෙලා නෑ. බහුතරයක් එකට ඉන්නවා ඒත් පහුගිය විවාහ වල ළමයි දෙන්නටම ඉන්නවා. හරිම සංකීර්ණ සහ සම්බන්ධතා. ඒත් හරිම සැහැල්ලුවෙන් ඉන්නවා. 

විවාහය හෝ ආදරය කියල දෙකක් නෑ. දෙකම එකයි. එකිනෙකා කෙරෙහි අවබෝධය, කැපවීම හා එකඟතාවය තමයි මේදේවලට මුල්වෙන්නේ. ආදරය කරන්න ඕනෙ කැපකිරීමෙන් සහ ආපිට දෙයක් බලාපොරොත්තු නොවී. එතකොට දුකක් නෑ. ජීවිතය කොච්චර නම් කෙටිද? කවුරුත් මේ ගැන හිතනවනම් ප්රශ්ණ සෑහෙන දුරට අඩුවෙයි. 

මේවා ගැන හිත හිත ඔළුව තෝන්තු වෙලා ගෙදර යන කොට තමයි ලස්සන මුතු අකුරින් මගෙ නමට ලංකාවෙන් ආපු ලිපයක් මේසෙ උඩ තියෙනවා දැක්කේ. තාක්ෂණයේ දියනුවත් සමඟ අතින් ලියුම් ලිවීමේ සංස්කෘතිය වැළලී ගිය මේ යුගයේ අවුරුදු  පහළොවකට පමණ පස්සේ මට ලබුණු මේ ලිපිය විවෘත කළේ ඉතාම නෙඉවසිල්ලෙන් හා කුතුහලයෙන්. 

ලියුම එවලා තිබුණේ සම්මානනීය සිනමාකරැවෙක්. අඹ යහළුවෝ ටෙලිනාට්ය නිර්මාණය කොට අපේ හදවත් දිනාගත් සුදත් දේවප්රිය එතුමයි. මේ තාක්ෂණයට පිංසිදුවන්නට එතුමා දැන් මගේ සමීපතම හිතවතෙක්. මගේම සහෝදරයෙක්. මා කපුගේ සූරීන් ගැන ලියූ ලිපියට සහ එතුමා ගැනම ලියූ ලිපියටත් ස්තූති කරමින් ලියා තිබූ ඒඅව්යාජ ලිපිය මම හදවතට තුරුළු කරගත්තේ ඉතාමත්ම සෙනෙහසින්. සුදත් දේවප්රියයන් කෙතරම් නම් නිහතමානී සුන්දර පුදගලයෙක්ද? එතුමාට මගේ ආචාරය. 

අසරණ මිනිසුන්ට සුබ සෙත සලසන්නට සහ සිනමාවේ අභිවෘද්ධියට විශාල සේවාවක් කළ දිරිය කතක්වූ සෝමා එදිරිසිංහ මැතිනියගේ අභාවය ගැන දැනගත්තේ මුහුණු පොතින්. ජීවත්ව සිටියදී එතුමියගේ පිංතූරයක් පවා පළ නොවූ මුහුණු පොත එතුමියගේ පිංතූරවලින් හා ගුණ ගායනා වලින් වැසී ගිහින්. 

ලංකාවෙ පහළ වූ දිරිය කතුන් ඉතරින් සිරිමාවෝ බංඩාරනායක මැතිනිය ඇරුනම මගෙ සිතේ විශාල ගෞරවයක් සෝමා එදිරිසිංහ මැතිනියටත් තිබුණා. තම සැමියාගේ අකල් වියෝවින් පසු දරුවන් සමඟ තනිවූ එදිරිංසිංහ මැතිනිය දියණුවේ හිණි පෙත්තටම නැග , මෙතෙක් කල් පැමිණි ගමන සැමටම ආදර්ශක්. ඇය ව්යාපාර අංශයෙන් ලැබූ දියුණුව සුළු පටූ නැහැ. එමෙන්ම සමාජ සේවා වැඩ සහ සිනමාපට දහනමයක් තැනීම සඳහා ලබාදුන් සහයෝගය අපට කවදාකවත් අමතක කරන්නට බැහැ. සිනමාට නිත්ය නිෂ්පාදක යන තනතුරක් නොමැති ලංකාවේ බොහෝ වටිනා චිත්රපට අධ්යක්ෂකගේ මනසේ ඇඳි සිහිනයක්ම පමණක් වී තිබෙන්නේ සෝමා එදිරිසිංහ මැතිනිය වන් නිෂ්පාදකවරු අපට නැති නිසා. එතුමියගේ වියෝව අපේ රටටත් විශේෂයෙන්ම සිංහල සිනමාවටත් පිරවිය නොහැකි පාඩුවක් වේවි. 

දෙදහස් පහළොවෙ නොවැම්බර 5

තවත් ශ්රේෂ්ඨ මිනිසෙකුගේ නික්ම යාමක් ආරංචි වුණේ ඊයේ රාත්රියෙමයි.  පේරාදෙණිය සරසවියෙ යාන්ත්රික ඉංජිනේරු අංශයේ හිටපු ප්රධානියාවූ මහාචාර්ය මහලිංගම් ගුරු පියාණන්ගේ අභාවයයි ඒ. එතුමා ගැන ගුණගී හා කථන වලින් මුහුණු පොත පිරී යද්දී මගේ මතකයත් අවුරුදු  විස්සකකට විසි තුනකට පසු පසට ගියා. බොහෝ ගුරුවරුන් අතරේ එතුමා පොළොවෙ පයගසා , සිසුන් සමඟ සිටි හා කෙළින් වැඩ කළ ආචාර්ය වරයෙක්. ලෝකයේම නමක් තබන වැඩක් කොට ඒ සඳහා ලැබුණූ වරප්රසාද පසෙකලා ඒ වෙනුවට ජෙට් ඇංජිමක් පමණක් ඉල්වාගෙන ලංකාවේ සිසුනට ඉගැන්වීමට එතුමා පැමිණීම අති උතුම් පරිත්යාගයක්. එවැනි පුද්ගලයන් දැන්නම් මේ සමාජයේ ඉන්නවාදැයි සැක සහිතයි.

මගේ දිවියේ හමුවූ බොහෝ උතුම් ගුරුවරුන් අතුරින් මහාචාර්ය මහලිංගම් මහතා හැරුනු  කොට මගේ හදවතේ ඉහළම තැනක සිටිනා අනෙක් ගුරුවරයත්  උපතින් දමිළ ජාතිකයෙක්. ජන්මයෙන් හෝ ජාතියෙන් මිනිසා උතුමකු හෝ වසලයකු හෝ නොවනබවට දෙසූ බුදු බණ නැවතත් පසක් කරමින් මා කියන්ට යන මේ ගුරු පියාණන්ද තම දිවිය කැප කළේ සිංහල දරැවන් වෙනුවෙන්. එතුමා තමයි මා ගිය අනුරාධපුර ශාන්ත ජෝශප් විදුහලේ හිටපු ප්රධාන ආචාර්ය ආර් ස්ටැනිලොස් ගුරු පියා. එතුමාත් මහාචාර්ය මහලිංගම් මහතා මෙන්ම අද්විතීය උතුම් චරිතයක්. මේ අවස්ථාවේ මේ පරහිතකාමී මිනිසුන් දෙදෙනාටම මගේ උපහාරය පුද කරමි. 

ඔවුන් ජීවත්ව සිටින කාලයේ ලිපියකින්වත් මගේ උපහාරය පළ කරන්නට බැරිවීම ගැන මට දැනුණෙ වරඳක් කළා වැනි පසුවීමක් මහලිංගම් මහත්තයා ගැන ලිපියක් සහ කවියක් ලියල පළ කළත් හිතේ ඇතිවූ ඒ හැඟීම පහකරගන්න මුළු දවස පුරාවටම උත්සහ කළත් හැකිවූයේ නැහැ. 

දෙදහස් පහළොවෙ නොවැම්බර් 6

ලංකාවෙ ඉන්න මගෙ පොඩි නංගිගෙ ජන්ම සංවත්සර දිනය අද. උදෙන්ම කතා කරලා ඇයට සුබ පැතුවත් හිතේ ඇතිවූනේ දුකක්. අපට කුඩා අවධියේ මෙන එකට ඉන්නට නැති එක තමයි එයට හේතුව වන්නට ඇත්තේ. අපේ අම්මවයි තාත්තවයි බලාගෙන ඇයගේ දරැපවුලත් සමඟ ඇය කරන කැපවීම ප්රශංසාසහගතයි. ඇය සහ ඇයගේ සැමියා, මගේ මස්සිනා කරන සේවය වචනයෙන් විස්තර කරන්නවත් මිල කරන්නවත් බෑ. මගේ දෙමාපියන්ට තමන්ගේම දෙමාපියන්ටම සේ සැලකුම් සත්කාර කරන එවැනි මස්සිනෙකු ලෙහෙසියෙන් කෙනෙකුට ලබන්නටත් බෑ. ඒ අතින් මම වාසනාවන්තයි කියලා හිතෙනවා. පොඩි නංගියේ ඔබ, ඔබගේ දරැ දෙදෙනාට පමණක් නොව අපේ දෙමාපියන්ටත් මවක් කියලයි මට සිතෙන්නෙ. 

ඇය වෙනුවෙන් වසර කිහිපයකට පෙර මා ලියූ කවියක් ඇයට සහ මස්සිනාට උපහාර පිණිස නැවත මෙහි පළ කරමි. 

බාල නඟේ මහා ගෙදරට තනි රකින
අප මවු පියන්ගේ දුක සැප නිති සොයන
ඔබ මස්සිනා සමඟින් සැමදා කරන
අඟනා මෙහෙය වැනුමට මට නැත වදන

දෙපා නොමැති පියාගේ වැඩ ඉටු කරමින්
මෑණියන්ගේ දුක සැප හැමවිට බලමින්
දරුවන් දෙදෙනවත්  හරි මඟ වෙත යවමින්
ඔබ දිවි ගෙවයි පින් කන්දක්සේ දිලෙමින්

නුබ තනි වෙලා යැයි කිසිවිට නොසිතන්න
ගතින් ළඟ නැතත් හිත ඔහේ දැනගන්න
දෙමාපියන් හා ඔබ සැම දැක ගන්න
ළඟදිම ගෙදර එමි නංගියේ මා ඔන්න

දෙදහස් පහළොවේ නොවැම්බර් 7-8

සති අන්තය. මගෙ හොඳම යහළුවකුගේ පියාණන් නැතිවෙලා අවුරුද්දකුත් ගිහින්. එහෙට ගිහින් පොඩ්ඩක් උදව් පදව් කරලා ගෙදර ආවා. හැන්දෑවෙ පොඩ්ඩක් ලියන්න ඕන කියල හිතුවත් කිසිම දෙයක් ලියන්න හිතුණෙ නෑ. ඔයවගේ දවස් හැමෝටම එනවා. හරියට ක්රීඩකයන්ගේ දක්ෂතා ඉඳහිට වීයැකි යන කාලපරිච්ඡේද වගේ. 

හැන්දෑවෙ මුහුණූ පොතට ගොඩ වුණාම තමයි දැක්කෙ එතන එකම යුද පිටියක් වී ඇතිබව. අතිපූජ්ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම පාදක කරගෙන දෙපිරිසක් මතවාදවල එල්ලිලා. එකිනෙකාට පරිභව කරගන්නෙ තිරිසන් සතුන් වගේ. මේ මහ ලොකුවට බෞද්ධ යැයි කියාගන්න පිරිස්ද කියලා මට හිතෙනවා. ඒ ඒ පුද්ගලයන් හැදූ වැඩූ දෙමාපියන්ට පමණක් නොව දරු මල්ලන්ට පවා අමු තිත්ත කුණු හරුපයෙන් බැණ අඬ ගසා ගන්නවා. අසූචි ගොඩක් වෙලා. මුළු මුහුණු පොතම ගඳයි. 

සෝභිත හාමුදුරුවන්ට  මේවා පෙනෙන්නෙ නැති එක හොඳයි. සැබෑ බෞද්ධයන්ට මෙසේ හැසිරිය හැකිද? රටේ මිනිසුන්ගේ අධ්යාත්මය නම් වළ පල්ලටම ගිහින්. මානව ආචාර ධර්මයක් පෙනෙන්නටවත් නෑ. බුදුන් වැඩි දේශද මේ කියල හිතෙනවා. බොරුවට පන්සලක් බෝධියක් ගානෙ වැඳ වැටෙන ,රටට ලෝකෙට පේන්න දාන මාන දෙන මේ මිනිස්සු මෙවැනි අවස්ථාවල හැසිරෙන ආකාරය නම් හරිම නින්දිතයි. ශෝකජනකයි. බුදුන්ගේ ධර්මය හරියට පිළිපදිනවනම් ඔවුන් මානව හිතවාදී විය යුතුයි. ජාති හෝ ආගම්වාදී මෙන්ම කිසිම කරැණක් අරබයා අන්තවාදීද නොවිය යුතුයි. මේ යන විදිහට නම් මගේ රටේ අනාගතය ගැන ඇතිවන්නෙ පුදුම බියක් සහ කලකිරීමක්. 

චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

Monday, 9 November 2015

මගේ දින පොත- 1



දෙදහස් පහළොවේ ඔක්තෝබර 30

ලංඩනයේ රසල් චතුරශ්රය අසබඩ Great Ormond වීදියේ පිහිටි ළමා රෝගීන් සඳහා වූ රෝහලේ , නව ගොඩනැගිල්ල තැනීමේ ව්යපෘතියේ මගේ අවසාන දිනය අද. සේවයෙන් ලද විරාමයේදී රසල් චතුරශ්රයේ උයන් කොනක හිඳ කවියක් ලියන්නට තිබූ අවස්ථාව හා දුම්රියේදී හා නගරයේදී හමුවන විවිධාකාර මිනිසුන් දැකගැනීමට ඇති අවස්ථාව නැතිවී යාම ගැන සිහින් කණගාටුවක් හද පතුලේ ඇති වුවත්, දිනපතා දැකීමෙන් මගේ දෑස් හා සිත පෙළූ රෝගී දරැවන්ගේ වේදනාබරිත මුහුණු හා ඊට නොදෙවෙනි ඔවුන්ගේ මව්පියන්ගේ කඳුළු පිරි දෑස් දකින්නට නොලැබෙන හෙයින් සිතේ සතුටක්ද ඇතිවෙයි. එහෙත් තැන මාරු වූවත් එවැනි දසුන් හැමතැනකම ඇත. ලෝකයේ බහුතරය නානාප්රකාර ලෙඩුන්ය. 

මා සමග වැඩ කළ අයර්ලන්ත ජාතික ෆෝමන්වරයා හා මා අතර මේ සේවා කාලය ඇතුළත ඇතිවූ ගැටුම් නම් කෙළවරක් නැත. නැගෙනහිර යුරෝපයෙන් එංගලන්තයට විශාල වශයෙන් ඇදී එන කම්කරැවනට ඔහු බැනවැදුණේ සතුන්ට මෙනි. ඉංග්රීසි නොදත් ඔවුනට ඒ බැණුම් නොතේරුනත් ෆෝමන්වරයාගේ නරුම ස්වභාවය ඔවුනට වැටහෙන්නට ඇත. පිට රටකට පැමිණ නොදන්නා භාෂාවකින් බැණුම් අසමින් පාච්චල්වීමට ඔවුන් මේ මගට ඇද දැමූ ක්රමයට මම ශාප කරමි. 

තැලෙන යකඩය උඩ පැන පැන තැලීමේ න්යාය අකුරටම ක්රියාවේ යෙදවූ ඔහු , මටද එලෙසින් කතා කරන්නට උත්සහ ගත්තද ඔහුවැන්නවුන් ගැන මේ රටේ වසර විස්සක සේවා පළපුරුද්ද  තුළින් දැන වුන් මම ඔහුට පෙරළා ප්රති උත්තර දෙමින් ඔහු සිටිය යුතු තැන තබන්නට සමත් විමි. මගේ ඒ ක්රමය නිසා ඔහු මා සමග පසුවූයේ අධික ක්රෝධයෙනි. එහෙත් අද මගේ අවසන් දින බව දැන මා වෙතට පැමිණි ඔහු මගේ දකුණත තරයේ මිරිකා මගේ පිටටද තට්ටුවක් දමා " උඹ හොඳ මිනිහෙක්. අපි රණඩු වුණා තමයි. ඒත් ඒවා වැඩකරන වෙලාවට විතරයි. උඹ යන්න කලින් මට කතා කරපං" යැයි පැවසුවේ කවදාකවත් නොපෙන්වූ සිගරට් උරා කහ පැහැවූ දසන් යුගලයද නිරාවරණය කරමිනි. 

ඔහුගේ සැබෑ ස්වරූපය මෙයද? නැතිනම් රකුසකුවන් නරුම විලාසයද? එසේත් නැතිනම් මේ දෙවිදියටම නැති වෙනස්ම විදිහක්ද කියා මට සිතා ගත නොහැක. 

දෙදහස් පහළොවේ ඔක්තෝබර 31

ලෝකයේ මහ ඉහළින් සමරන ' හැලොවීන්' දිනය. ලංකාවෙත් මේ දිනය සමරණවාදැයි නොදනිමි. අප කුඩා අවධියේනම් අවුරුදු දිනය, නත්තල, හජ්ජී හා තෛයිපෝංගල් දිනවලට අමතරව තිබුණේ පෝය දින පමණි. මේ අබුද්දස්ස කාලේ ආදරවන්තයින්ගේ දින, මව්වරුන් හා පියවරු  දිනද සමරන ලංකාවේ හැලොවීන් දිනයක්ද නැති වෙන්නට බැරිය. 

මෙදින හැන්දෑවට විශේෂයෙන්ම කුඩා දරුවන් එක එක විදිහේ බියකරු අන්දමේ ඇදුම් හා වෙස්මුහුණු පැළඳ වීදි බැස ගෙයින් ගෙට යාමේ චාරිත්රයක් ඇත. එසේ ගොස් දොරට තට්ටු කොට ගෙහිමියා දොර ඇරිය පසු පැමනිය ළමයි " trick or treat" යැයි කියා විමසති. ගෙහිමියා ට්රික් යැයි කියූවොත් පැමිණි ළමුන් යම් රංගනයක් කිරීම හෝ ගීයක් ගැයීම හෝ කළ යුතුය. එවිට ගෙහිමියා ළමුන්ට ටොෆී හෝ චොක්ලට් වලින් සංග්රහ කරයි. යම් හෙයකින් ට්රීට් යැයි කියූවොත් නිකම්ම ටොෆී හෝ චොක්ලට් ලබා දෙයි. මෙයින් දෙපිරිසම අහිංසක වින්දනයක් ලබති. 

කුඩා අවධියේ අප මීට සමාන වින්ඳනයක් ලැබුවේ වෙසක් හා පොසොන් උත්සව කාලයේය. උණ බට කපාගෙනවිත් සෑදූ වෙසක් කූඩු මෙන්ම නංගී සමඟ එකතුවී සෑදූ පුංචි තොරණ මට අදත් සිහිවෙයි. අපේ නිවසට අල්ලපු වැටේ සාදමින් තිබූ නව නිවසේ බාසුන්නැහේගෙන් ඉල්ලා ගත් ලී කපා රෑප රාමු තුනක් සහිත තොරණක් ඉදි කළෙමි. අම්මාගේ පරණ සාරියක මා සිතුවම් කළ බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම යන අවස්ථා තුන වර්ණ ගැන්වූයේ නංගීය. මේ මහා තොරන් රාජයාට දැම්මේ බල්බ තුනකි. එමෙන්ම පුංචි මෝටරයක් යොදා ගෙන බුදුරැස් මාලා කරකැවූ හැටි අදද සිහිවද්දී දෑසම තෙත්වී යන්නේ මටත් නොදැනීමය. 

ඉන්පසු අප රංචු ගැහී අනෙක් නිවෙස්වල වූ වෙසක් සැරසිලි නරඹන්නට වීදි දිගේ සක්මන් කළෙමු. 

එලෙසින්ම පොසොන් උත්සවයට පූජා නගරයේ තැනෙන පොසොන් කඩ බලන්නට රෑ එළිවෙන තුරු කරක් ගැසුවෙමු. වරක් සිසිල් බීම දන්සැලකින් පමණට වඩා බීම බී ලෙඩ වූ අයුරු මට සිහිවෙයි. 

එහෙත් රටේ අසූවේ දශකයේ ඇතිවූ කොටි ප්රශ්නය, ජාතිවාදී කලබල හා තරුනයන්ගේ සන්නද්ධ අරගල හේතුවෙන් මේ සොඳුරු අවස්ථා නැත්තටම නැතිවී ගියේය. 

එහෙත් දැන් මේ රටෙත් දරුවන්ගේ ඒ අහිංසක වින්ඳනය පරයා නත්තල් හා අළුත් අවුරැදූ පාටි මෙන් හැලොවීන් පාටිද පැවැත්වෙයි. මේවාට යන තරුණ පිරිස් හල්ක් , ඩ්රැකුයුලා හෝ ස්පයිඩර් මෑන් මෙන් වෙස්මාරු කරගෙන පාටියට ගොස් ඇතිවන තුරු කා බී නටා ප්රීති වෙති. 

දිනකට හෝ තමන්ගේ සැබෑ වෙස්මුන ගලවා වෙනත් වෙස් මූණක් දමා ගැනීම එක අතකට හොඳය. එහෙත් ලෝකයේ බහුතරය හැමදාම සිටින්නේ සැබෑ මුහුණින් නොව වෙස් මුහුණු පළඳා ගෙන බව මම දනිමි. 

දෙදහස් පහළොවේ නොවැම්බර 1

ඉල් මහේ පළමුවෙනිදා. 'ඉල් මහ ' කියන වචනය ඇහෙනකොට හිතට දැනෙන්නෙ අමුතු හැගීමක්. සුවයක්. මේ පවතින ධනපති ක්රමය වෙනස්කරන්න තම දිවි කැපකරපු තරුණ විප්ලවවාදී වීරයන් සමරන මාසයක ඇරඹුම. 

කවුරු කෙසේ කීවත් විජේවීර සහෝදරයට තිබුණු දැක්මට මම කැමතියි. පසුව එන එක එක ආගමික නායකයන් ආගම් තමන්ගෙ වාසියට වෙනස් කර ගන්නවා වගේ මේ ව්යාපාරත් පසුව ආ නායකයන් තම තමන්ගේ පුද්ගලික ලාභ ප්රයෝජන සලකා වෙනස්කරගත්තා පමණක් නොව පාවලත් දුන්නා. දිවි පිදූ සැබෑ විරැවන් අමරණීයයි. ඔවුනට මගේ ආචාරය. 

ඒවගේම ක්රිස්තියානි ආගමට අනුව මළවුන්ගේ මාසයයි මේ. මම නම් ආගම්වාදයට විරැද්දයි. උපතින් බුද්ධාගමේ වුණත් අනෙක් ආගම්වලටත් මගේ තියෙන්නෙ ඉමහත් ගෞරවයක්. හේතුවනම් හැම ආගමකම මූලික පදනම නම් එකම වීමයි. මිනිසුන්මයි ඒ ආගම් තමන්ට උවමනා විදිහට වෙනස් කර ගන්නේ. ලෝකයේ යුද්ධයක් ගත්තොත් ආගම කොහෙන් හරි ගෑවිලා ඇති. 

අද ලංඩනයේ හැරෝ සිනමා හලේ ඇහැළේපොළ කුමාරිහාමි සිංහල චිත්රපටය තිරගත වෙනවා. මට යන්නට වුණේ නෑ. වෙන වැඩක් යෙදුණු නිසා. හැකියාවක් තිබුණත් මට යන්නට එතරම් උවමනාවක් තිබුණෙත් නෑ. හේතුව තමයි ඉතිහාස කතා බලන්නට දැන් මගෙ විශේෂ කැමැත්තක් නැති කම. ඒවායේ කිසිම නිර්මාණාත්මක වටිනාකමක් නෑ කියලයි මට හිතෙන්නේ. ඊට වඩා මට වටිනවා හැත්තෑව හා අසූව දශකවල ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බංඩාරනායක, ලෙස්ටර් ජේම්ස් පීරිස් හා එච් ඩී ප්රේමරත්න වැනි සිනමාවේ පතාක යෝදයන් තැනූ නිර්මාණාත්මක සිනමා පට. ඒ කාලය ගැන කොච්චර කතා කළත් මට නම් ඇතිවෙන්නෙ නෑ. එදා සාර්ථකව තිබූ අපේ සිනමාවෙ කඩා වැටීම ගැන පොතක් පිරෙන්න උණත් ලියන්න පුළුවන්. ඒ ගැන තවත් දිනයක කතා කරන්නම්. 

දෙදහස් පහළොවේ නොවැම්බර 2

උදේම නැගිට්ටෙ මට සේවයට වාර්තා කළ යුතු නව ව්යාපෘතියට හැතැම්ම පනහක් පමණ යායුතු නිසා. එය පිහිටියේ ලංඩනයෙන් පිට බැසිල්ඩන් නම් නගරයේ. මට දුම්රියෙන් එහි යාමට අවශ්ය වූවත් අප වෙසෙන වොට්ෆඩ් නගරයේ සිට කෙළින්ම එක දුම්රියකින් එහි යාමට හැකියාවක් නොතිබූ නිසා වාහනය පදවාගෙන යාම හැර වෙන විකල්පයක් නොතිබුණි. . උදේට සහ හවසට හෝරා දෙකක් මහ මග , කිසිමවැඩක් නැතිව ගත කරන්නට වීම ගැන ඇතිවුණේ කණගාටුවක්. දුම්රියේනම් මේ පැය දෙකේ යමක් ලියන්නට හෝ පොත පතක් කියවාගන්නට ඉඩ ප්රස්ථාව තිබුණි. ඒත් මේ පැය දෙක , ලිවිය යුතු දෙයක් ගැන සිතින් ආකෘති සෑදීමටවත් යොදාගැනීමට අවසානයේ සිතා ගතිමි. 

පෙරදා රැයේ පටන්ම මෝදුවී තිබූ ඝන මීදුම් තට්ටුව මීටර කිහිපයකට වඩා ඉදිරිය නොපෙනෙනසේ පළාතම වසා පැතිරලා. මේ හේතුව නිසා එංගලන්තයේ බොහෝ ගුවන් ගමන් ඒ උදයේ අවලංගුකර ඇති බව රථයේ ගුවන්විදුලියෙන් අසන්නට ලැබුණා. 

ගුවන්යානා ගැන ඇසෙද්දී හැලොවීන් දිනයදා කඩා වැටුණු රුසියානු ගුවන් යානයේ වුන් ඒ අසරණ මගීන් ගැන මගේ සිතේ ඇතිවන්නේ මහා දුකක්. කිසිදු වරඳක් නොමැතිව යමෙකුගේ අවශ්යතාවයට ඔවුන්ට නිකරුනේ තම දිවියෙන් සමුගන්නට සිදුවිය. උඩු ගුවනේදී ඇතිවූ පිපිරීමක් නිසා යානය කඩා වැටුණු බව ප්රචාරය කෙරැනත් මෙයත් යම් ත්රස්තවාදී අමන ක්රියාවක ප්රතඵලයක් බව ලෝකයම දනිති. රාජ්ය හෝ රාජ්ය නොවන වූවත් ත්රස්තවාදය නම් ත්රස්තවාදයමය. මම එය පිළිකුල් කරමි. කවදා නම් මෙවැනි විනාශ අසන්නට නොලැබී මේ ලෝකය යහපත් තැනක් වේවිද? මිනිසාම මිනිසාගේ දියුණුවට මෙන්ම විනාශයටද පාර කපන හැටි. 

වැඩට ගොස් නවමු ව්යාපෘතියෙ වැඩ බාරගෙන උදේ වරැවම ඒ වෙනුවෙන් ගතවිය. හදිසියේ මගේ ජංගම දුරකථනය බලද්දී වයිබර් ඇමතුම් දෙකක් ලැබී ඇතිබව දුටුවෙමි. එය ලැබී තිබුණේ මුහුණු පොතින් හඳුනාගත් අල්පයක් පමණවූ උතුම් සහෘදයන් අතර මගේ හදවතේ ඉහළම තැනක සිටින අසංගී සොයුරියගෙනි. ඉතා සොඳුරැ කලාකාරිනියකවූ ඇය අද ,රාජගිරියේ ආයූර්වේද රෝහලේ , දනිස්වල හටගත් ආබාධයක් හේතුවෙන් නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින සුනිල් මාධව ප්රේමතිලකයන් බලන්නට ගියවිට මට ඇමතුමක් ගන්නා බව කියුවා නේදැයි සිහිවුනේ එවිටය. මම වහාම ඇයට ඇමතුමක් ගතිමි. මගේ වාසනාවට ඇය ඒවනවිටත් සිටියේ සුනිල් මාධවයන් අසලය. ඇය ඔහුට දුරකථනය දුන්නාය. 

මගේ ජීවිතයේ ඉතාමත්ම වටිනා දුරකථන ඇමතුම් කිහිපයක් ඇත. ඒ අතරින් ඉහලම තැතකට  මේ මොහොතේ මේ උතුම් මිනිසා සමඟ පැවැත්වූ සංවාදයත් එකකර ගතිමි. මට ඒ පින උදාකරදුන් අසංගී අන්ජූ විජේසූරිය මගේ ආදරණීය නැගෙණියට නැවතත් මගේ ප්රණාමය පුදකරමි. ඒ පිළිබඳව එවෙලේම මා ලියූ ලිපිය , පහත ලිංකුවෙන් ඔබට කියවිය හැක. 

https://www.facebook.com/chandana.gunasekera/posts/10207798412028724


චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Thursday, 5 November 2015

මගේ දිනපොත - ප්‍රවේශය



මෙතෙක් කල් මා ආ දිවි ගමනේ ලද අත්දැකීම්, ලෝකය හා එදිනෙදා හමුවන නානාවිධ මිනිසුන් ගැන මට සිතෙනදේ හා විශේෂයෙන්ම මා දැඩිව ආදරය කරන සාහිත්ය හා කලාව පිළිබද දෑ, දිනපොතක අනුසාරයෙන් ලියා පළ කරන්නට මට සිතී තිබුණේ බොහෝ කලක සිටය. 

ඒ මා අසූවේ දශකයේදී කියැවූ හා හදවතටම සමීප කරගත් සුනිල් මාධවයන් ලියූ " සත්යවාදියෙකුගේ දිනපොත හා " අනුර හෑගොඩයන් ලියූ " ගොඩයාගේ කොලම" වැනි තීරු ලිපි කියැවීමෙන් ලද පන්නරය හා උත්තේජනය නිසා යැයි මට සිතේ. 

එහෙත් එය කල් නොයවාම වහ වහා කළ යුතුයැයි හදිසියේ සිතුණේ කාරණා කිහිපයක් නිසාවෙනි. ඉන් පළමු වැන්න නම් සුනිල් මාධවයන් සමඟ කතාබහ කරන්නට මා ලද අවස්ථාවයි. අනෙක් කරුන නම් මුහුණු පොතේ මා ලියන දෑ කියවා තුටුවන මුහුණු පොතින්ම හමුවූ සහෘදයන්ගේ දිරි ගැන්වීමයි. ඔවුන් මා වෙත එවන සුන්දර වදන් වැලයි. එමෙන්ම හිතේ දිනපතාම එක්කාසුවෙමින් කැරලිගසන සිතිවිලි මුදා හැරීමේ දොළදුකයි. අනෙක් කාරණය නම් ලිවීමට ඇති පිස්සුවයි. උනයි. 

මෙයට ප්රවේශය ලෙස සුනිල් මාධවයන් විසින් එතුමාගේ " සත්යවාදියෙකුගේ දිනපොත" ග්රන්ථයේ ලියූ පෙර වදනින් කොටසක් උපුටා දක්වන්නට මට අවසර. 

" යුද්ධයේ මහා විනාශයට මුහණ දෙමින් මරණයේ බියකරු හඬ හදවතට කොඳුරද්දී ඈන් ප්රෑන්ක් දැරිය ලියූ දිනපොත මෙන් මගේ මේ දිනපොත අනාගතයේදී මහා සාහිත්ය විප්ලවයක් නොකරනු ඇත. බුද්ධියේ මහා ශ්රේෂ්ඨත්වයෙන් ප්රාන්ස් කෆ්කා ලියූ දිනපොත මෙන් මෙය කිසිදා බුද්ධිමතුන් අතරට නොයන බවද මම දනිමි. දිළිඳුකමේ හා නිර්ධනභාවයේ පාහර ජඩ පෑගීමට ලක්වූ කැරොලිනාගේ දිනපොත මෙන් මෙය මානව හිතවාදීන්ගේ මනසට යොමු නොවනු ඇත. "

එමෙන්ම මගේ දිනපොත සත්යවාදී මාධ්යවේදියකුවූ සුනිල් මාධවයන්ගේ දිනපොත මෙන් හා ප්රවීණ සාහිත්යධර අනුර හෑගොඩයන්ගේ කොලම මෙන් ජනතාව සෙනෙහසින් වැළඳ නොගන්නා බවද මම දනිමි. එහෙත් එක් අයෙකු හෝ මේ සටහන් කියවා සතුටක් ලබයිද ,එක් අයෙකූ හෝ මෙය බලා තමනුත් යමක් ලියන්නට පෙළබෙයිද ,එයින් මට සැනසීමක් හා සතුටක් ලැබිය හැක. 

එසේනම් මෙතැන් පටන් ඉඩ ලැබෙන අයුරින් මගේ දිනපොත ඔබ වෙත ගෙන එන්නට අවසර. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Tuesday, 3 November 2015

අමරණීය මිනිසකුගේ නික්ම යාම........

I



ඒ 1990 වසරයි. විරාමයකට පසු මානව මානවිකාවන් නැවතත් සරසවියට ගාල්වූ යුගයයි. 

පළමු වසර සිසුන් ලෙස පේරාදෙණිය සරසවියේ ඉංජිනේරැ පීඨයට ඇතුළත්වූ අපට මුහුණ දීමට සිදුවූයේ අභියෝග රාශියකටය. 

නවක වධය, කඩ්ඩ පොලිෂ් නැතිකම හා දෙමාපියයන්ගෙන් වෙන්වී තනිවම දිවියට මුහුණදීමට සිදුවීම ඉන් ප්රධාන තැනක් ගත් අතර ගුරැවරැන් හා උපදේශකවරැන් හමුවේද අප මහා ලිලිපුට්ටන් සමූහයක් විලසින්  අපට හැගුණි. එමෙන්ම දිස් වුණි. 

මහා ඇඳුරන් හා අප අතර තිබුණේ අහසට පොළොව වැනි ඉතා දුරස්ථ සම්බන්ධයකි. බොහෝ ඇඳුරැතුමන්ලා අප දෙස ඔළුව උස්සාවත් බැලුවේ නැත. කොරිඩෝවකදී මුහුණටම හමුවූවත් බොහෝවිට ඔවුනට අපව වෙන ලොවකින් ආ සතුන් කොටසක් ලෙස දිස්වූයේ දැයි නොදනිමි. 

මේ අතර එක් ගුරැවරයෙකු කෙතරම් ඉක්මනින් පාඩම කරගෙන ගියාද කියතොත් එතුමා එක අතකින් කළු ලෑල්ලේ ලියූ සටහන් අනික් අතින් මැකුවේය. සටහනක් ගසා ගැනීමට වෙනම සටනක් කිරීමට බහුතරයකට සිදුවිය. ඒ අතරම නොදන්නා ඉංග්රීසියෙන් වක්කඩ කැඩුවාසේ දෙසාබෑ වදන් අහුලාගෙන හිතේ තබා ගැනීම නම් කෙසේවත් කළ නොහැකි විය. 

මේ අතර උත්තුංග දේහධාරී හිස කෙළින් තබා ගෙන ඉතාමත්ම තේජාන්විත ගමනින් සක්මන් කරන එහෙත් සුදු පැහැවූ ඝන දෙබැමට යටින් කරැනා ගුණයෙන් පිරැනු නුවන් යුගලයක් හිමි මහාචාර්ය වරයෙකුද වූයේය. එතුමා දේශන ඉතාමත්ම සන්සුන්ව අපට හොඳින් වැටහෙන බසකින් ඉදිරිපත් කළේය. කෝච්චියක් ඇල්ලීමට  දිවයාමේ හදිසියක් එතුමාට නොතිබුණි. සිසුන් සමඟ බොහෝ සුහඳ විය. 

කාකි පැහැ බැගී කලිසම ඇඳ එයටම ගැලපෙන ලා පැහැයෙන් යුතු හොඳින් මැඳ තිබූ පිරිසිදු අත්කොට කමිසයකින් එතුමා නිතරම සැරසී උන්නේය. 

එවකට ඉංජිනේරැ පීඨයේ යාන්ත්රික ඉංජිනේරැ දෙපාර්තුමේන්තුවේ ප්රධානියා වූ එතුමන් වෙන කවුරැන් හෝ නොව මහාචාර්ය මහලිංගම් මහතාය. 

එතුමාට තිබූ මෝටර් රථයද එතුමා මෙන්ම අපූරැ විය. මොරිස් මයිනර් වර්ගයේ පැරණි ඉංග්රීසි කාරයක් වූ එහි ප්රමිතිය,  එතුමා එය කෙතරම් පරිස්සමින් හා ආදරයෙන් පරිහරණය කළාදැයි කීමට කඳිම නිදසුනකි. එහි ඇංජිම තරම් ටියුන්වූ ඇංජිමක් එංගලන්තයේවත් තිබුණාදැයි සැක සහිතය. යමෙකු තම වාහනයට සලකන අයුරැ හා එය පවත්වාගෙන යන අයුරැ තම දිවි පැවැත්මේම මිනුම් දණ්ඩක් යැයි මම විශ්වාස කරමි. 

එතුමා මෙතරම් ආදරයෙන් හා සැලකිල්ලෙන් තම සිසුන්ට, සරසවියට පමණක් නොව අජීවී තම වාහනයට පවා එක විලසින්ම ගෞරව කිරීමෙන්ම එතුමාගේ උතුම් ගුණකඳ අපට පසක් වනු ඇත. 

සරසවියෙන් අප පිටවී වසර විස්සකුත් සම්පූර්ණ වූ මේ වසරේ,  අද උදයේ අපට කවදා හෝ අසන්නට ලැබෙන ඒ දුක්මුසු පුවත දැනගන්නට ලැබිණි. එනම් මහාචාර්ය මහලිංගම් මහතාගේ නික්මයාමයි. එතුමා අද උදෑසන අප හැර ගොසිනි. 

අප කිසිවෙකුටත් නොගොසින් සිටිය නොහැකි ඒ ගමන යෑමට අද උදයේම එතුමන් පිටත්ව ගොස් ඇත එහෙත් මම ඔබට සුබ ගමන් හෝ සාමදායේ සැතපෙන්න යැයි නොපතමි. මන්ද ඔබවන් මිනිසුන් සැමදාම අපේ හදතුළ වෙසෙන අමරණීය මිනිසුන්ම වන බැවිනි. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Sunday, 1 November 2015

"සත්‍යවාදියෙකුගේ දින පොත........"




" සුනිල්" යන නාමය ලංකාවේ ඉතා ප්රචලිතය.අපට බොහෝ හුරැය. හදවතට සමීපය. ආදරණීයය. 

කලා ලෝකයේ නම් සුනිල්ලා බොහෝය. 
සිංහල සංගීතයේ පෙරටු ගාමීයෙකුවූ හා එයට අපේ කමක් රිංගවූ සංගීතවේදී "සුනිල්" සාන්තයෝ මුලින්ම මගේ සිහියට එන සුනිළුන්ය. ගීත දහස් ගණනක් ලියූ සිංහල ගීතයට හා සාහිත්යයට අනුපමේය සේවයක් කරන්නාවූ මහාචාර්ය "සුනිල් " ආරියරත්නයන්, ප්රවීණ ගායනවේදී " සුනිල්" එදිරිසිංහයන්, ගේයපද රචක " සුනිල්" සරත් පරේරා, සිනමාවේදී " සුනිල්" සෝම පීරිස් , සිනමාවේදී සුනිල්" ටී ප්රානාන්දු හා ජිප්සීස් නායක ගායනවේදී " සුනිල්" පෙරේරා කලාලොව බැබළවූ තවත් සුනිළුන් කිහිප පොළක් පමණි. 

මේ සුනිළුන් සමූහය අතර තවත් " සුනිල් " කෙනෙකු සිටියේය. ඔහුව බොහෝ දෙනෙකු ඇමතුවේ " සුනිල් අයියා" යන ආදර නාමයෙනි. 

ඒ අසූව දශකයේ මැඳ භාගය විය. රටේ නීතිය වල් වැදුණු රාජ්ය ත්රස්තවාදය ඇතුළු නිලලත් හා නොලත් මහා ත්රස්තවාද බූවල්ලෙකූගේ අඬු පඬු සතර දිග්භාගයේම විහිදී ජනතාවගේ හුස්ම පොද සිරවී තිබුණු යුගයයි. මරණය හැරැනු කොට ඔවුනට දැකගත හැකි වෙනත් එකදු සිහිනයක් හෝ නොවිණි. ඒත් ඒ කලාතුරකින් මහන්සියටම නින්ද ගිය රැයකදී පමණි. භීෂණය රජ කළ ඒ අඳුරැ රාත්රීවල සඳ පවා වලාකලු අතර. සැඟවුණේ මේ අවනීතිය දෙස බලා සිටින්නට බැරි තැනය. 

යාමට තැනක් නොමැතිව, කිසිදු විනෝදයක් නොලබා මරණ බියෙන් ඇළලී ගෙයි මුල්ලේ එකතැනක සිරවූ යෞවනයේ උරැමකාරයන්වූ අපට ඒ මොහොත ගැන සිතනවා හැරෙන්නට වෙන කළ හැකි කිසිදු දෙයක් නොවුණි. 

මෙවන් පරිසරයක කළහැකි අන්කිසිත් නොමැතිව ගෙයි ඉදිරිපස ඉස්තෝප්පුවේ බිම දිගාවී අකුරක් නෑර කියවූ ඉරිදා දිවයින සංග්රහය පුවත්පතේද කිසිදු සිහින නොතිබුණි. එකල කරැණාදාස සූරියආරච්චි හා චන්ද්රසිරි දොඩංගොඩ යන ලේඛකයන්ගේ ලිපි කියෙව්වා නොව උරා බිව්වා යැයි පැවසුවොත් මා නිවැරදිය. 

දිනක මේ විසල් ලිපි අතර තිබූ එක්තරා පුංචි තීරැ ලිපියක් අහම්බෙන් කියැවූ මට ඒ කතාකරන්නේ මගේම හදවත නොවේදැයි සිතුණේ එය ඒ තරමට අව්යාජ හා ආදරණීය සටහනක් වු නිසාවෙනි. එහි ශීර්ෂය " සත්යවාදියෙකුගේ දිනපොත" විය. එය ලියා තිබුණේ මා කලින් සඳහන් කල අනිකුත් සුනිළුන් අතර වුන් " සුනිල් අයියාය" හරියටම කියනවානම් සුනිල් මාධව ප්රේමතිලක නම්වූ මානව හිතවාදියය. සත්යවාදී පත්රකලාවේදීයය. මහා කවි මීමන ප්රේමතිලකයන්ගේ ආදරණීය පුත්රයාය. 



එතැන්පටන් දිවයින ඉරිදා සංග්රහය අතට ලැබුණු විගස මගේ නෙතු මුලින්ම සොයා ගියේ " සත්යවාදියෙකුගේ දිනපොතයි". ගත දාහයෙන් තෙමූ ඒ කර්කශ අව්වේ ගිනි රශ්මිය මේ සහෘද සටහන් කියවද්දී මට නොදැනිණි. වියළි සුළඟේ හමා ආ මිනී පිළිස්සෙන සුවඳ මගේ නාසයේ නොවැදිණි. ඒ සටහන්වල වූ අව්යාජත්වය අපේකමනම් එයයි. 

1986 ජූලි12 එතුමාගේ දිනපොතේ සටහන වූයේ මෙසේයි. 

" තාත්තා මිය ගොස් අදට වසර 21 කි. හාමුදුරැවන්ට දානයක් දීමට අම්මා තුළ ආශාවක් තිබුණත් හැම දෙයකටම හරස්වන ආර්ථිකය එයටද හරස් විය. හිඟන මිනිසුන්ට කෑම පාර්සල් කීපයක් බෙදා දීමට තීරණය කළේ ඒ නිසාය. ඒවා බෙදා දීමට වෙලාවක් ලැබුණේ නැත. නගරය මැද කෑම පාර්සල් අතරැදහන් වූවා සේය. රටේ වැඩි දෙනා හිඟන්නන් වී ඇත. "

" තාත්තා ගැන මට දුකක් නැත. ඔහු සුන්දරත්වය විඳ මිය ගිය මිනිසෙකි. එහෙත් අද සෑම දෙයක්ම අසුන්දර වී ඇත. ඔහු ලියූ දේ අද ලිවිය යුතු නැත. " 

එදා දෑසේ කඳුළු පුරවාගෙන අතේ ශත පහක් නැති , අනාගතය ගැන කිසිඳු නිශ්චිත නිගමනයක් නොමැති හා මරණයේ දොරකඩ වුන් තරැණයකු ලෙස මා මේ සටහන කියැවූ බව මට අද මෙන් මතකය. 

එතුමා ලියූවේ අපේ කතාවයි. අපගේ හෘදසාක්ෂියයි. එම සටහන් හා අප , දෙදෙනකු නොව එකකු වූයේ එහෙයිනි. 

භීෂණය , මර්දනය සහ ඝාතනයට එරෙහිව වසර ගණනාවක් තිස්සේ පුවත්පත් කලාවේදියෙකු තම පන්හිද මෙහෙයවමින් කළ හුදෙකලා අරගලයනම් එයයි. . එමෙන්ම එය හුදෙක් නමට පමනක් සිටින බොහෝ කාඩ්බෝඩ් සත්යවාදීන්ගේ මෙන් නොව මුළු ආත්මයෙන්ම සත්යවාදීවූ සැබෑ මිනිසෙකුගේ හද ගැහුණු  රාවයයි. 

එහෙත් එදා අප වෙනුවෙන් ලියූ, පීඩිත පංතිය වෙනුවෙන් හඬක් නැගූ එතුමාගේ පන්හිඳ අද නිහඬව ගිලන් ඇඳකය. එතුමාට ඇවිදින්නට පවා නොහැකිය. ආර්ථිකය අඩපනය. 

සුනිල් මාධවයන්ද තවත් අපට වුන් යුක්තිගරැක මිනිසුන් කිහිප දෙනෙකු මෙන් සමාජය වෙනුවෙන් වැඩකළා මිස හරි හම්බකර ගත්තේ නැත. අප ඔහුට ආදරය කෙරැවාට වඩා දස දහස් ගුණයකින් ඔහු අපට ආදරය කළේය. දැන් අපට ගිලන්වී අසරණව සිටින ඔහු වෙනුවෙන් ඒ අපට දැකවූ ආදරයට හා සමාජයට කළ සේවයට කළගුණ දැක්වීමේ අවස්ථාව උදාවී ඇත. අප සිතා නොසිටියත් එතුමාගේ ධර්මය හා ඇදහීම එය නොවුණත් රැපියල් ශත නැතිව කිසිම දෙයක් කළ නොහැක. එහෙයින් එතුමා බලන්නට ගොස් කළ හැකි උදව්වක් සපයාදී එතුමාට ශක්තියක්වීම අප සැමගේම යුතුකමය. වගකීමය. ඔබට හැකිනම් ඔබගේ වටිනා කාලයෙන් විනාඩි කිහිපයක් වැයකොට එතුමාට කළ හැක උදව්වක් තිබේදැයි බලන්න. මන්ද නැතිවූ දිනෙක දුක් වනවාට වඩා හෝ ගුණ ගයනවාට වඩා එය බෙහෙවින්ම වටිනා ක්රියාවක් වන බැවිනි. 

සුනිල් මාධවයනී, දයාබර සුනිල් අයියේ ඔබට ඉක්මන් සුවය පතමින් මම ඔබගේම දිනපොතේම සටහනක් මෙලෙස ලියා තබමින් අදට නතරවෙමි. මන්ද ඒ සටහන් අදටත් වලංගු හෙයිනි. ඔබට චිරං ජයතු! 

" 1986 ජූලි 11

ජීවිතය බෙහෙවින් ඛෙදජනකය. මෙබඳු කලක ජීවත්වීමට සිදුවීමත් ජීවන අරගලයට මුහුණ දීමට ඇති අපහසුතාවයත් එයට ප්රධානම හේතූන් යැයි මට සිතේ. ජීවිතය මොහොතින් මොහොත පරවෙමින් ගිලිහී යන දෙයක් මිස යළි යළිත් දළු ලමින් ලෝකයට එක්වන දෙයක් නොවන බව සත්යකි. එනමුදු මිනිසෙකු මිය යන තුරැම ජීවත් විය යුතය. ඒ සඳහා මේ දින පොත මට අනුබලයක් වනු ඇත. බොහෝ කලකට පසු යළිත් දිනපොත ලිවීමට සිත්වූයේ එනිසාය. රැපියල් ශත රජකරන යුගයක රැපියල් ශත නැති එවුන් අපායක ජීවත් විය යුතුය. සිහිනෙන් දුටු සුන්දර වූ පුෂ්පයක් මෙන් මනස විකසිත කොට ගෙන මිරිඟුවක් පසු පස දිව යන පාදඩයකු වීමට මා සූදනම් නැත. මා දකින, අසන සහ සිතන සත්ය තුළ ජීවත් වීමට මේ දිනපොත මට පිටුවහලක් වනු ඇත. එය මම අත්දැකීමෙන්ම දනිමි. මා පිළිගන්නා සත්ය මෙහි ලියන්නට කිසිවෙකුගෙන් හෝ අවසර අවැසි නැත. කිසිවකුටත් බියවිය යුතු නැත. සත්ය සමග ජීවත්වෙන්නා සැබවින්ම ජීවත්වන බව මම පිළිගනිමි. "

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය