ඒ 2012 අවුරුද්දයි. රැකියාවෙන් ලද මඳ විවේකයෙන් ප්රයෝජනයක් ගැනීමට සිතූ මම දින දහයකට ලංකාවට යෑමට තීරනය කලෙමි. සැප්තැම්බර් මාසයේ දිනයක් වූ බැවින් ගුවන් ප්රවේශ පත්රද වෙනදා මෙන් ගිනි ගනනක් නොවූ අතර ඒ පාසල් කාළය බැවින් බිරිඳ හා දරුවනටද මේ ගමනට එක්වීමට නොහැකි විය.
ලද අවසරයෙන් කාලයකට පසු නිදහස් කුරුල්ලෙකු සේ ලංකාව බලා ඉඟිලුනෙමි. ගමනෙහි මූලික අරමුණ වූයේ මගේ මව් පියන් හා නැඟෙණියත් මගේ බිරින්ඳෑගේ මෑණියන්දෑවත් දැක බලා ගැනුම විය.
දහවල් දොළහට පමණ නියමිත වේලාවට ලංකාවට ගොඩ බට මා බිරින්දෑගේ ඥාති සොයුරෙකුත් සමඟ ඔහු ගෙනා වෑන් රථයේ අනුරාධපුරය බලා ගමන් ඇරබීමි.
පුත්තලම් පාරේ ගමන් කල අප ගොම්මං අඳුර දස අතින් පරිසරය වසා ගද්දී අනුරාධපුරයට සේන්දු වීමු. කළකට පසු ලංකාවට පැමිණි මා සිටියේ ගතවන සියළු මොහොතක්ම රස විඳිමිනි. එම නිසා මා හට කිසිඳු ගමන් මහන්සියක් හෝ කෙතරම් වේලාවක් ගතවුනිදෝ යැයි කිසිදු හැඟීමක් නොවීය.
පෙර දැණුම් දීමකින් තොරව එක් වරම නිවසට ඇතුල් වූ මා දුටු අම්මා හා තාත්තා පළමුව පුදමයට පත්ව ඉනික්බිතිව සිහි එලවා ගත්තෝ සතුටු කඳුළු වඟුරන්නට පටන් ගති. ඔවුනට මා කුඩා නැඟෙණියද එක් වූයේ විමතියෙන් ලොකු කරගත් දෑසන්ද යුක්තවය.
සැවොම සිහි එලවා ගැන්මෙන් පසු ආගිය තොරතුරු කථා කෙරුම ඇරඹිනි. සියල්ලෝම ඉතාමත් සතුටින් යුතුව රාත්රී භෝජනයෙන් සප්පායම් වීමෙන් අනතුරුව අවුරුදු දාහහතකට පමණ පසු මව් පිය සෙනෙහේ සොයා පැමිණි කුඩා දරුවකු පරිද්දෙන් මා සුව නින්දට වැටුනෙමි. මට එක් කරුණක් නොකියාම බැරිය. එය නම් එදා රෑ නින්දට ගියේ ඒ කාමරයේ ඊට අවුරුදු විසි පහකට පමණ පෙර උසස් පෙළ විභාගයට පාඩම් කල ඒ පැඟිරි කොල්ලාම බවය.
වටින් ගොඩින් අරුණළු කිරණින් ලොව බබලද්දී අවඳිවු මා අම්මා සදා දුන් තේ කෝප්පයෙන් සැනැහී කළකට පසු දෙමාපියන් සමඟ දවස ඇරැබීමි.
එඳින අපගේ විවාහ සංවත්සරයද යෙදී තිබුන අතර බිරින්දෑට ස්කයිප් මාර්ගයෙන් සුභ පතා දරුවන්ගේද සුවදුක් විචාරීමට අමතක නොකෙලෙමි.
දහවල් භෝජනය රසවත් කිරීමට මා කැමතිම කෑමක් වූ බැඳපු වැව් මාළුද එක්කිරීමට අම්මා වග බලාගෙන තිබුනාය.
දිවා ආහාරයෙන් පසු පවුලේ සියල්ලන් හා සතුටු සාමීචියෙන් අනතුරුව බොහෝ කළකට පසු බත් ඇටේ හරස් වීමට සුළු නින්දක පහස විඳීමේ භාග්යද ලැබීමි.
සන්ද්යා භාගයේ ඉතාමත් ප්රබෝධයෙන් අවදි වු මා දෙමාපියන් හා කුඩා නැඟෙණියත්,ඇගේ සැමියාවූ ජයන්ත මල්ලී හා ඇය දරුවන් දෙදෙනාත් සමඟ ජය සිරි මහා බෝරජුන් හා ස්වර්න මාළී චෛත්ය රාජයා බොහෝ ශ්රද්ධාවෙන් යුක්තව වැඳ පුදා ගතිමි.
පසුදින කොළඹ බලා ගොස් පානදුරේ බිරින්දෑගේ මව් බැහැදැකීම මගේ අබිප්රාය විය.
උදැහැනැක්කේම අවදි වූ අප සියළු දෙනාම වෑන් රථයෙන් පානදුර බලා ගමන් ඇරබීමු. ඒ ගමන්ම තාත්තාගේ උපන් ගම වූ මහ ඉඳුරුවට යාමත් ආපසු එන ගමනේ අම්මාගේ උපන් ගම වූ මීරිගම බෝතලේ ගම්මානයට යාමත් මගේ චාරිකාවේ ප්රධානතම අරමුණු දෙකක් විය.
දහවල් කෑමට පෙර ඉතාමත් විනෝදකාරී ගමනක් අවසන් කරමින් අප පානදුරයට සේන්දු විමු. මා දුටු බිරින්දෑගේ මව් තුමෝද සතුටින් ඉපිලී සතුටු කඳුළු වඟුරන්නට පටන් ගත්තාය. මා එම පවුලට බැඳීමටත් පෙර සිටම මගේම අම්මා මෙන් මට ආදරය කල ඈ ඉතාමත් යහපත් හා කරුණාවන්ත කාන්තාවක බැව් මා නොකියා සිටියොත් මම මහා ගුණ මකුවකු වනු නියතය.
ආගිය තොරතුරින් අනතුරුව ඉතා සරුවට පිළයෙල කර තිබූ දිවා ආහාරයෙන් සප්පායම් වූ අප හැන්දෑ වනතුරු විවේක සුවයෙන් කල් ගත කලෙමු.
එදින සවස් යාමයේ කොළඹ අවට ජීවත් වූ මගේ නෑ ගෙවල් කිහිපයකට හා මිතුරන් කිහිප දෙනෙකුගේ මව් පියන් බැහැදැකීම මගේ තවත් අරමුණක් විය.
පානදුරේ ගෙදර විසූ මා ඇඹේණියගේ මාමා කෙනෙකුට මුදල් දී බෝතලයක් හා බයිට් ගේන ලෙස ඉල්ලූ මා අපේ තාත්තාට ඔහු හා සෙට් වීමට අවශ්ය සියළුම යටිතල පහසුකම් සපයා දී මස්සිනා හා ඔහුගේ පුත්ර රත්නයත් සමඟ වෑන් රථයෙන් කොළඹ චාරිකාව ඇරබීමි. වෙලාව ඒ වන විට සවස හය පසුවූවා පමණි.
නුගේගොඩ, මහරගම හා කෝට්ටේ අවට කරක් ගසා රාත්රී දහය පමණ වන විට සියළුම ගමන් අහවර කර ගැනුමට අප සමත් වීමු.
ගමන පානදුරින් අරඹන විටත් දැල්වෙමින් තිබූ ඉන්ධන දර්ශකය තව ඉස්සරැහින් ගසමුයි කිවූ මගේ අණ පිළිපැද නිසලව සිටි නිසාදෝ ටැංකියේ රතු කට්ටද පැන ඇංජිම පන ඇඳ පාර මැද්දේ නතරවන තුරුම ඉන්ධන ගැසීමේ කර්තව්යය මගේ සිහියට නොආවේය. ඉද්ද ගැසුවාක් මෙන් නතර වූ වෑනය මහත් පරිශ්රමයක් දරා පාර අයිනට ගැනුමට අප සමත් වීමු.
එය ගාළු පාරේ මොරටුව නඟරයත් මුහුදුබඩින් දුවන අළුත් පාරත් අතර ප්රදේශයක් විය. වැහි බීරුම හා රාත්රී දහයේ කණිසමත් පසුවී තිබූ නිසාදෝ මාර්ගයේ වැඩිය මිණිසුන් හෝ වාහන නොවීය.
ළඟ පාත කිහිප දෙනෙකු වෑනය දෙසට එනු පෙනිනි. ඔවුන් දැකුමෙන් මට සතුටක් මෙන්ම සියුම් භීතියක්ද හදෙහි විදිලි කොටා යනු දැනිනි. නොදන්නා පලාතක්. ඊටත් වැහි බීරුම් සහිත මූසල කළුවරින් පිරුනු රාත්රිය. මේ මුහුදුබඩ මාර්ගයේ සිදුවන වාහන මංකොල්ල ගැනද අසා තිබුනු මට එලෙස නොසිතී තියේවිද?
මම හිතුවාට වඩා ඔව්හූ මිත්රශීලී වූ අතර ළඟම ඇති ඉන්ධන පිරවුම් හලට යාමට ත්රීවීලයක් නවතා දීමට තරම් කාරුණිකද වූහ.
මස්සිනා ඒ සඳහා පිටත් වූ පසු ඔහුගේ පුතංඩියා හා මම මහ මඟ තනි වුනෙමු.පානදුරේ අම්මා ඒ වන විටත් අපගේ පමාවට කරුණු විමසා ඇමතුම් දෙකක්ම දී තිබිනි. මම ඇයට සිදුවූ අකරතැබ්බය සැකෙවින් කියා ඉක්මනින් එන බැව් පැවසීමි.
විනාඩි විස්සකට හෝ තිහකට පසු මස්සිනා ඩීසල් බූලියකුත් රැගෙන පැමිනියේය. පරන පත්තරයකින් ගොට්ටක් සාදා ටැංකියට ඩීසල් පිරෙව්වෙමු. ඉන්පසු සතුටින් යුතුව ඇති යංතම් ඒ කරදරයත් ඉවරයැයි සිතමින් ඇංජිමේ යතුර කැරකූ මට තරු විසිවුනි. යතුර කිහිප විටක් කැරකුවද ඇංජිමේ හැලහොල්මනක් නොවීය. ඩීසල් නොමැතිව දිවීම නිසා ඇංජිමට හුලං ඇද ඇතිබැව් අපට සක්සුදක් සේ පැහැඳිලි වුනි.
මේ වේලාවේ අපේ වෑනය දැක ඒ අසල ලී මඩුවක් වසමින් සිටි මල්ලිලා කිහිප දෙනෙකුද කිට්ටු විය. වාහන
එලෙව්වාට තෙල් වතුර මාරු කරනවාට වඩා වැඩි යමක් නොදැන සිටි මට ඇංජිමට ඇද ඇති සුලං අයින් කිරීම කෙසේවත්ම කල හැකි කාර්යයක් නොවීය. මස්සිනාටද ඒ ගැන අවබෝධයක් නොවූ අතර ඔහු ඒ වෙලාවේ බඩගින්නෙන් හා නිදිමතින් හෙම්බත්ව සිටි පුතුව සනසමින් සිටියේය.
වටවූ කිහිප දෙනෙකුම විවිධ අදහස් පලකරමින් ඇංජිම අතපත ගෑවද ඔවුනට ඩීසල් පොම්පය ක්රියා කරගත නොහැකි විය. ඒ අතරම ඒ සඳහා අවැසි ආම්පන්නද ඔවුන් අතර නොවිනි.
මඳ වේලාවක් අවංකවම අපට සහය වීමට වෙර දැරූ ඔවුහු මට කණගාටුව පුකාශ කරමින් යන්නට සැරසුනේ අපව තවත් වලටම ඇද දමමිනි. එවෙලේ බොහෝදේ මට සිහිවිය. අපට ත්රීවීලයක හෝ නැඟී පානදුරට යා හැකිව තිබිනි. ඒත් නොදන්න පලාතක වාහනය කෙසේ නම් දමා යන්නද?
මා දෙලොවක් අතර තනි වී අසරණ වූ අතර ඒ වෙලේ මට කල හැකිව තිබූ එකම දේ වූයේ දෙවියන් සිහිකිරීම පමනකි. මම ගණ දෙවියන් සිහිකලෙමි. ඔබ විශ්වාස කෙරුවා හෝ නැතා එවෙලේම බයිසිකලයක් පැදගෙන ආ කොල්ලෙකි. බයිසිකලයේ ඉදිරිපස කිහිලි කරු දෙකක්ද තිබිනි. ඉතාමත් කළු පැහැ කෙසඟ සිරුරින් හෙඹි ඔහු සුදුවන් දත් දෙපෙල විරිත්තා මහත්තයා මොකද වෑන් එකේ ප්රශ්ණයක්දැයි මගෙන් විචාලීය.
මගේ විස්තරය ඇසූ ඔහු බයිසිකලය ස්ටෑන්ඩ් එක ගසා හේත්තු කොට කකුල් අද්දමින් වෑනයේ බොනට්ටුව තුලට කර පෙවීය. මගේ ෆෝනයේ ටෝචයේ ආධාරයෙන් මා ඔහුට ආලෝකය සැපයීමි. අතපත ගා පොම්පය සොයාගත් ඔහු එක් කෙලවරකින් ටැංකියේ සිට පොම්පයට ඩීසල් එන බටය ගැලවීය. එවෙලේ ඔහුගේ ඇඟිලි මට පැහැදිලිව දැකගත හැකි විය. ඒවාද අසාමාන්ය අයුරින් නැමී විකෘති ස්වභාවයක් ඉසිලීය.
එම බටේ කොන කට තබා ඉරූ ඔහු කට පුරවා ඩීසල් උඟුරක්ම ඉවත හෙලීය. ඉන්පසු එය සවිකර අතින් පොම්පය කිහිපවිටක් ගසා මට ඇංජිම පන ගන්වන මෙන් කියා සිටියේය. අපගේ නෙතුවලට සතුටු කඳුළු පුරවමින් ඇංජිම රජෙක් මෙන් පන ගසා ස්ටාට් විය. ඇංජිම එහෙමම දුවන්නට ඉඩ හැරි මා බිමට පැන දෑතින්ම ඔහුගේ දෑත මිරිකා ගතිමි.
එවෙලේ මා කෙතරම් අසරණ වී සිටියේදැයි කිවූහොත් ඔහුට ස්තූති කිරීමට වචන සෙවීමේ දුෂ්කර කාරියේ ගිලීමට මට සිදු විය.
සාක්කුවට අත දැමූ මා අතට අසු වු මුදල් නෝට්ටු දෙක ඔහු අත තැබීමි. පාරේ එළියෙන් ඒ රුපියල් දෙදාහේ නෝට්ටු දෙකක් බැව් ඔහු දකින විටම මමද එව දිටිමි.
මුදල් දෙස බැලූ ඔහු කුඩා දරුවකු පරිද්දෙන් ඉකි ගසා හඬන්නට පටන් ගති. මින් මහා කම්පනයට හා පුදුමයට පත් මා ඒ ඇයිද යන වඟ ඔහුගෙන් විචාලීමි.
ඔහු අක්කාගේ නිවසේ නතර වී සිටින බවත් රෑට කන්නට කිසි දෙයක් නොමැතිව බඩ ගින්නේ අතේ පිච්චියක් නොමැතිව නිවසින් පිටවී මහ මඟ බයිසිකලය පැද ආ බවත් හඬමින්ම පැවසුවේ මගේ මුළු හදවතම දුක් සයුරේ ගිල්වමිනි.
මම නම ඇසූ විට " කොරළ වැල්ලේ අසිත " යැයි පැවසූ ඔහු ගිටාර් වැයීමට හා සිංදු කීමටත් දක්ෂ බැව් වැඩි දුරටත් කියා සිටියේය. මැඳපෙරදිඟ රටක මෝටර් කාර්මිකයෙනු වශයෙන් සේවය කලබවත් යම් කරදර නිසා ආපසු ලංකාවට ඒමට සිදුවූ බවත් පැවසුවේ මුළු ලෝකය ගැනම කළකිරුණු ස්වභාවයකිනි.
ඔහුගේ පිංතූර දෙකකුත් ගැනීමට අමතක නොකල මා ඔහුට පිංදී පානදුර බලා ගමන ඇරබීමි. ඒ වෙලාවේ දෙවියන් එවූ දුතයෙකු පරිද්දෙන් අඳුරින් මතුවූ ඔහු මා කරදරයෙන් මුදවා අඳුරෙහිම නොපෙනී ගියේය.
මට දැන් උවත් ඔහුට ඊටත් වඩා සැලකිල්ලක් කිරීමට තිබුනා නම් සිතෙයි. ඔහු මට ඔහුගේ අක්කංඩියගේ දුර කථන අංකය දුන් අතර මීළඟ සැරයේ ලංකාවට ගිය විට දෙමාපියන් බැහැදැකුමින් අනතුරුව කොරළ වල්ලේ අසිත බැහැ දැකුමට ගොස් මොනයම්ම හෝ උදව්වක් මගේ ශක්ති ප්රමාණයෙන් කෙරුමට මම අදිටන් කර ගතිමි.
මෙම සටහන ඒ අහිංසක දක්ෂතා රාශියකින් සන්නද්ධ අසිත සහෝදරයාට උපහාරයක්ම වේවා!!!
අසිත, උඹට ජය!!!!