Pages

Thursday 29 March 2018

දැන් දැන් අපේ සමකාලීනයොත් යන්න අරගෙන....





87 වසරේ උසස් පෙළ කරල 88-89 ඒ අඳුරු භීෂණයෙන් යන්තන් පණ කෙන්ද බේරගෙන අපි සරසවියට ගියෙ 1990 වසරෙ වසන්ත සමයෙ. රටේ ඇතිවෙච්චි කලබගෑනි, ජන සංහාර, මිනී කඳු සහ මළමිනී පිච්චුණු පුළුටු ගඳින් අපවිත්‍ර වෙච්චි වාතාශ්‍රයක් ගැන ගානක්වත් නැති ගානට වෙනදා වගේම මලින් බර වුණු තුරු ලතා පේරාදෙණිය සරසවියට වසන්තය උදා කරල තිබුණෙ අපව පිළිගන්න. ඒත් හදවත්වල කීරි ගැහිලා එහිම මිඳිල තිබුණු බය හා සංත්‍රාසය නම් හැම නවක මුහුණකම ඉතාමත්ම හොඳින්ම පිළිඹිබු වුණා.

ගෙවල් වලටම හිරවෙලා ඉඳලා අපි වගේම යන්තන් පණ කෙන්ද බේරගත්තු ජේෂ්ඨ උත්තමයොත් ඔවුන්ගෙ සිත්වල පිරිලා තිබුණු ආතතිය පිටකර ගත්තෙ අපට වඳ දීලා. ඊටත් හපන් වුණා කඩ්ඩ බැරි කම. පණ යනකල් සිංහලෙන්ම ඉගෙන ගෙන සරසවියෙදි ඉංගිරිසියට මාරු වන එක පිටිසර පළාත් වල පුංචි පාසල් වලින් ආපු සිසුන්ට තවත් මහ ගිරි දුර්ගයක්ම වුණා.

නවක වඳයත්, ඉංග්‍රීසි බැරිකමත් නිසා අපේ බැචෙකුට පාඨමාලාවෙ මුලදිම ජීවිතය එපා වුණා. කෑගල්ල ප්‍රදේශයෙන් සරසවියට පැමිණි ඔහු ඉංජිනේරු පීඨය පිටුපසින් පැණිදෙනිය හරහා දුවන රේල්ළුවට බෙල්ල තිබ්බෙ සැනසීමක් පතාගෙන. ඒ තමයි අපේ බැච් එකෙන් ඩැහැගත්තු මාරයගෙ ප්‍රථම බිල්ල.

ඊට පස්සෙ හැල හැප්පීම් මැඳින් ගලා ගිය අපි යන්තම් 1994 සරසවියෙන් පිටවුණා. රට තොටේ සහ ලෝකය පුරා විසිර ගිය අපි හැම වසරකම හමු වුවත් එංගලන්තයට පදිංචිය සඳහා ගිය මට ඒ හැම අවස්ථාවම අහිමි වුණා.

මෙහෙම කාලය ගත වෙද්දි අපේ බැචාලා සහ බැචීලා හොඳ හොඳ රැකියා එහෙම සොයාගෙන පවුල් පංසල් වෙලා සාම්ප්‍රදායික දිවි පෙවෙත්වලට ගාල් වෙලා ජීවන ගමන යන්න පටන් අරගෙනයි තිබුණෙ.

ඒත් මීට වසර 4කට විතර ඉස්සර මාරයා නැවතත් අපේ බැච් එක දිහාවට දත් විලිස්සගෙන කෙළ හලන්නට පටන් ගත්තෙ තවත් බිල්ලක් ඕනෙ වෙලා.මේ සැරේ බිල්ල වුණේ විජේපාල.

විජේපාලයා ඉතාම සුන්දර සුහදශීලී පුද්ගලයෙක්. ජීවන් කුමාරතුංග වගේ ලස්සනට කොණ්ඩෙ වවල ෆුල් කිට මරාගෙන තමයි ඌ නිතරම හිටියෙ. ඒත් තිබුණු එකම අඩු පාඩුව තමයි හැමදාම හවසට කණ පැලෙන්න ගහල බඹර පදමින් ඉන්න එක. අපිත් කෑවා බිව්වා තමයි. ඒත් විජේපාලයට සීමාවක් තිබුණෙ නෑ . අපි හැන්දෑවට කාලා ඉවර වෙලා ටීවී බල බලඉන්නකොට තමයි බොහෝ වෙලාවට ලතාවකට පැද්දෙමින් විජේ අක්බර් හෝල් එකට ආවෙ. කැන්ටිමේ මුඳලාලි බෙදලා වහල ඌට අරන් තියන බත් එක කෑවේ හොඳ පදමට වැදිලා ඇඳුම් වත් මාරු නොකර.

මේ චරියාවෙ ප්‍රතිඵලයකින්ද කොහෙද විජේපාලගේ අක්මාව නරක් වුණා. ඉන්දියාවෙ සිදුකරපු අක්මා බද්ධකිරීමේ සැත්කමට යන්න කලින් එකම එක වතාවක් මට ඌට දුරකථනයෙන් කතා කරන්න අවස්ථාව ලැබුණා.ජීවිතය ගැන බොහොම බලාපොරොත්තු ඇතිව එදා කතා  කළත් , සැත්කමට ලෑස්ති වුණත් විජේපාල සැත්කමින් පස්සේ ආයිත් ලංකාවට ආවෙ නෑ. දරැවොයි බිරිඳයි තනි වුණා.විජේට එතකොට වයස 45 ක් 46 ක් වෙන්න ඇති.ඒ තමයි මාරයා ගත්තු දෙවැනි බිල්ල.

මෙහෙම කාලය ගත වෙද්දි තමයි අපේ බැච් එකට මාතලෙන් ආපු ජයසුන්දරගෙ වකුගඩු දෙකම නරක් වෙලා කියන දුක්බර ආරංචිය අපට ආවේ.අපි හැමෝම එකතු වෙලා මේ වෙලාවෙත් විජේපාලට කළා වගේ අරමුඳලක් එකතු කරල සහන සලසන්න පියවර ගත්තා. ඒත් පසුගිය සතියේ තුන්වෙනි වතාවටත් මාරය ජයගත්තා. තුන්වැනි බිල්ලත් ගත්තා.

1990 වසරෙ නවක වධය හොඳටම දරුනු සහ නරක විදිහට ක්‍රියාත්මක වුණු අක්බාර් හෝල් එකේ එක්තරා අඳුරු රැයක මා ඇතුළු තවත් නවකයින් කිහිප දෙනෙකුවම කාමරයකට ගාල් කළ ජෞෂ්ඨ සිසුන් පිරිසක් අපට බොහෝ සේ වඳ දුන්නා. ෆුල් කිට් එක ගහල( නවක වඳය දීපු සහ විඳපු අය දන්නවා "කිට් එක ගහනව " කියන්නෙ මොකක්ද කියල) අපි එදා ජෞෂ්ඨයන්ගෙ අණට කීකරු වෙලා සිංහ ගමන, ඇත් ගමන ගියා. පණ යනකල් ඩිප්ස් ගැහුවා. වැලමිට බිත්තියට ගහල, බිත්තියේ ලේ පාර හිටිනකල් පහළට රෑටලා ආවා. අපි හැමෝගෙම හිත් වල තිබුණෙ තරහයි බියයි මිශ්‍ර හැගීමක්. අපි අන්ත අසරණ වෙලා හිටියෙ.

එදා තමයි මට මුලින්ම ජයසුන්දරව හමු වුණේ. වැඩිය කතා බහක් නැති උගේ මුහුණෙ තිබුණු බිය පිරිච්චි ඇස් වල පෙනුම මට මේ දැනුත් මැවිලා පේනවා. ඊට පස්සෙ හැමදාම වගේ කොරිඩෝවෙදි හෝ කැන්ටිමේදි ඉරි ඉරි පිජාමා සරම ඇඳලා , ලා නිල් පාට ටී ෂර්ටයක් හෝ කොටු කොටු අත්කොට කමිසයකින් සැරසිලා හිටපු ජයසුන්දරව මම කොහොම අමතක කරන්නද? ඒත් අවාසනාවට සරසවියෙන් පිටවුණාට පස්සෙ මට ඌව කවදාවත්ම  හමු වුනේවත් කතා කරන්න ලැබුණෙවත් නෑ.

දින කිහිපයකට කලින් ජයසුන්දරත් මාරයා ළඟට ගියා. ඒ විඳපු දුක අවසන් වුණා කියල හිත හදාගත්තත් ඒ තනිවුණු බිරිඳ හා දරැවන් දකිද්දි හිත වාවන්නෙ නෑ. අවුරැදු 50 ත් නික්ම යන්නට තරම් වයසක්ද?

ඒත් මාරයගෙ ඇමතුම ආවහම බෑ කියල ඉන්න පුළුවන් ජගතෙක් කොහෙද ඉන්නෙ. තුන් වෙනි බිල්ලත් ඩැහැ ගත්තු මාරයට දැන් බොහොම සතුටු ඇති.

ඒ වගේම මාරයගෙ බැල්ම හැමදාමත් අපි දිහාටත් වැටිල තියෙන බව අපි දන්නවා. දිනයක අපිත් එතනට යනවාමයි. එතකල් අපිව හැරගිය විජේපාල, ජයසුන්දර ඇතුළු මිත්‍රයිනි උඹලගෙන් සමු ගන්නට අවසරයි. දිනෙක අපි නැවත හමුවෙන තුරු ඉතිං උඹලට සුබ රාත්‍රියක්!!


චන්දන ගුණසේකර

Tuesday 27 March 2018

" දේශද්‍රෝහියාගෙ නිර්මල හෘදය" හැඳින ගතිමි....


 

සිතට තාවකාලික නිවනක් ලබා දුන් සති අන්තය ගෙවී යාමට ආසන්නය. සිකුරාදා දවස් යාමය වෙද්දී සිතට ඇතුළු වූ සැනසීම පැමිණි දොරින්ම පිටව යන හැඩකි. මම විස්සෝපයෙන් කුටියේ කවුළුවෙන් අවට බලමි. එහිද ඇත්තේ හේබා ගිය ගතියකි. මෙතෙක් දිනක් සුදට සුදේ පළාතම වසා පැතිරි සුදු හිම දියව යන්නට පටන් ගෙන ඇත. සොබා දහමත් අපේ ජීවිතයම මෙනි.

ඉරිදා හැන්දෑවට දැනෙන මේ හැඟීම මට හුරුය. එය හැම සති අන්තයක් අවසනම මේ ලෙසම ඇතිවන බැවිනි. එහෙත් අද දැනෙන්නේ වෙනදාට වඩා වෙනස් හැඟුමකි. කාන්සියකි. තනි කමකි. මම අනෙක් පසට හැරෙමි. මගේ පුංචි ලියන මේසය මත ඇති ඊයේ කියවා හමාර කළ පොත නෙත ගැටෙයි. මගේ උපැස් යුවළ මත ඊයේ තැබූ අයුරින්මය. පොත කියවා අහවර කොට එහෙමම නින්දට වැටුණු බව සිහිවූයේ එවිටය. පොතේ අවසානයද මේ ගතියට හේතුව? කිසිවක් සිහියට නොනැගෙයි. මම සිවිලිම දෙස බලාගෙනම දෑස පියා ගනිමි. සිතිවිලි වහා දුව ගොස් නතර වූයේ ' තුල්‍යාරණය' නම්වූ අන්තර් ආගමික මධ්‍යස්ථානයේ මිදුලේ වූ විසල් සියඹලා ගස යටිනි. සේපාලිකා මල් සුවඳකින් පරිසරයම පිරී තිබිණි

ගස යට වාඩි වී ගිටාරයක්ද අත දරා සිටියේ තරුණයෙකි. බොකුටු කොණ්ඩය හා මුහුණ පුරා වැවී ගිය රැවුල් පතයකින්ද හෙඹි මේ ගැටයා සිටියේ අහස දෙස බලාගෙනය. දෙවියනේ මේ "ආදිත්‍යද".. අතුරුදන් කරවූ ආදිත්‍යද මට කියැවුණේ ඉඹේටමය. එකෙණෙහිම ඔහු ගස යටින් නොපෙනී ගියේ පළාතම අඳුරේ ගිල්වමිනි.ගතවූයේ තප්පරයකටත් අඩු කාලයකි. සියඹලා ගසට පිටුපසින් ඈතින් කනාමැඳිරි එළියක් සේ මතුවූ පුංචි ආලෝකයක් ටිකෙන් ටික ලොකු වෙමින් හා දීප්තිමත් වෙමින් ගස මුලටම විත් නැවතිණි. එයට පිටුපසුන් වූ සන්සුන් රුව මා දුටුවේ එවිටමය. සුදු ලෝගුවක් පොරවා ගත් ඇය "සිස්ටර් සෙව්වන්දී " බව හඳුනා ගැනීමට මට වැඩි වෙලාවක් ගතවූයේ නැත. තවමත් නොවියළී ගිය කඳුළු බිඳු දෙකක් ඇයගේ දෑස් කෙවෙනි මත දිලිසෙමින් තිබිණි..

මම කෙමෙන් පියවි සිහියට පත්වෙමින්‍ සිටියෙමි. ආදිත්‍යලා, සිස්ටර් සෙව්වන්දිලා වැනි මණක්කල්පිත චරිත අතරේ ගෙවුණු පසුගිය දින කිහිපය මට මෙනෙහි වන්නට වූයේ සිනමා පටයක එකිනෙකට පෙළ ගැසුණු රෑපරාමු පෙළක් මෙන් නොව එහෙන් මෙහෙන් පාට උලා සිත්තම් කළ තේරුම් ගැනීමට අසීරු අකීකරු සිත්තරකුගේ සිත්තමක්‍ විලසිනි.

තම දිවි දෙවැනි කොට මානව වර්ගයාගේ විමුක්තිය වෙනුවෙන් මුළු දිවියම කැප කල ඔහු , ආදිත්‍ය සහ තම මුළු දිවියම දෙවියන්වහන්සේ වෙනුවෙන් කැප කළ මානවහිතවාදී පූජකවරිය ඇය, සිස්ටර් සෙව්වන්දී යන චරිත කේන්ද්‍ර කරගෙන දිවෙන ආදරය, ප්‍රේමය, විප්ලවය, අතහැරීම හා හැරයාම ආදීවූ උතුම් මනුදහම් සංකලනය වන තරංගනී රෙසිකා ප්‍රනාන්දු එසේත් නැතිනම් අප කවුරැත් හොඳින්ම දන්නා හඳුනන ආදරණීය තරුරසී නැඟෙනිය ලියූ " දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නව කථාවේ තවමත් මම ජීවත්වන බව මට පසක් වූයේ සිහිනයක් ලෙසින්ද හැබෑවක් ලෙසින්ද හිතේ හොල්මං කරන මේ සිතිවිලි ගොන්න හේතුවෙනි.

පසුගිය කාලයේ මෙවන් ආදිත්‍යලා සහ සිස්ටර් සෙව්වන්දිලා ඇතුළු තමන් දිවි නොතකා අනෙකා වෙනුවෙන් හඬ නැගූ කෙතරම් නම් උත්තරීතර පිරිසක් අපට අහිමි කර ඇතිද? අතුරැදන් කර ඇතිද? මගේ හදවත දැවෙයි. සිත තව තවත් ව්‍යාකූල වන හැඩකි.

එදා සිදුහත් කුමාරා ගිහිගෙයින් නිකම ගොස් සොයා ගත් සහ ලොවට වදාළ මහා බුද්ධ දර්ශනය නම්වූ විමුක්ති මාර්ගයත් , ක්‍රිස්තුස් වහන්සේ තම දිවි පුදා ලොවට ප්‍රදානය කළ කිතු දහම නම්වූවිමුක්ති මාර්ගයත් තමන් සුබසෙත උදේසා නොව අනෙකා වෙනුවෙන්ම දේශනා කළ සහ ප්‍රායෝගිකව පෙන්වා දුන් ධර්මයන්ය.එහි ජාති, ආගම්, කුළ මළ භේදයක් තිබේද? ඇත්තේ මහා පොදු සාධකය බඳු මානව ප්‍රේමය හා කුලුණු ගුණයම පමණකි.

සිංහල , දමිළ හෝ මුස්ලිම් වේවා සැවොම දැයේ දරුවන්ය.ඔවුන් කාගේ හෝ දෙමාපියන්ය.දරුවන්ය. සැමියා හෝ බිරිඳය. පෙම්වතා හෝ පෙම්වතියය. ඔවුන්ගේ දිවි තොර කිරීමෙන් හෝ අතුරුදහන් කිරීමෙන් මෙම ප්‍රශ්න විසදිය හැකිද? මෙම නව කතාව පුරාම තරුරසී අසන්නේ මෙම පැනයයි. අප තවමත් හැමදාමත් අසන්නේ මෙම පැනයයි. කවදා නම් අපට මෙයට පිළිතුරු ලැබේවිද

මීට සති කිහිපයකට පෙරත් පාපතර ජාතිවාදී අමනයන්‍ ක්‍රියාත්මක වූහ. උදේ හවා දෙවියන් , බුදුන් වඳින දේශයක කොහිද නිර්මල බුදු දහම? කොහිද නිර්මල කිතු දහම? කොහිද ඉස්ලාම් දැක්ම? මේ දිවි ගෙවන්නේ මිනිසුන්මද? නැතිනම් මිනිස් වෙසින් සැරිසරන තිරිසනුන්ද? කවුද මේ ශාපයට වගකිව යුත්තේ? විසදුමක් පෙනෙන මානයක නැති ගැටලු රාශියකි.

බයිබලයේ දැක්වෙන ඉතාමත් සුන්දර යෙදුම් හා පාඨයන් යොදා ගනිමින් හා ඒවා මෙම කතාවට ඈඳා ගනිමින් තරුරසී මෙම ලියවිල්ලට දී තිබෙන ආලෝකය සුලු පටු නොවේ. එය අඳුරේ අතපත ගාන කියවන්නාට ලබාදුන් තරු එළියක් වැනිය

පැවිදි දිවියේ නීති රීති කඩ කිරීමෙ වරඳට විනය පරික්ෂණයක් සඳහා කැඳවුම් ලබන සිස්ටර් සෙව්වන්දිගේ කථනයකින් මෙම නව කතාව ඇරඹෙයි. ඉන්පසුව ඇයට හමුවෙන ආදිත්‍ය නම්වූ විප්ලවකාරී රැඩිකල් තරුනයා , ඇයම ඔහු හඳුන්වන පරිදි " චණ්ඩි ජීසස්" ගෙන් ඇයගේ ජීවිතයට සිදුවන බලපෑම, සම්මත බැමි පුපුරුවා හරිමින් ඔවුන් හදවත් තළ හට ගන්නා පිවිතුරු ප්‍රේමය හා අවසානයේදී සිදුවන නික්මයාම දක්වාම මෙම කතාව අපගේ ජීවිතයටද බද්ධ වෙමින් ගලා යන්නේ අපවද එහිම රඳවා ගනිමිනි. ප්‍රේමයේ සුවඳ දසතම විහිදුවමිනි.

ඇයගේ හද තුළ ජනිත වන එහෙත් එළිපිට ඉඩක් නැති ප්‍රේමය, තරුරසී ලියා ඇති සුන්දර ආකාරය පොතේ තැන් කිහිපයකම තිබුණේ හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වන අයුරිනි

" විදාරණය වන්නට නොව සිසිලනය වෙමින් හද ගැඹරෙහිම නිවී යන්නට ඉඩදිය යුතු ප්‍රේමයකි . " ( පිටුව 14)

ඇය බයිබලයේ එන ප්‍රේම ගීතිකාවන් අපට ගෙන හැර පාන්නේ ප්‍රේමයේ ප්‍රහර්ෂය තව තවත් දනවන්නටය.

" පෙම්වතා
මාගේ සොඳුරිය,
ඔබ කොතරම් සෝබා සම්පන්නද?
ප්‍රේමයෙන් ඔබේ ඇස් බබළන රඟ!

පෙම්වතී
මාගේ ප්‍රියය,
ඔබ කොතරම් ශෝභනද?
පියකරුද?
අපේ යහන නිල් තණකොළ .
අපේ ගෙයි බාල්ක කිහිරි ගස් .
එහි පරාල දේවදාර ගස් .
මම සාරොන්හි සෙව්වන්දියක් .
මිටියාවත්වල මානෙල් මලක් ."

සොබාදහම සහ මනුෂ්‍යත්වයේ අසිරිය මතින් ගලා යන ප්‍රේමයේ සෞන්දර්යයද, අනුරාගයේ ප්‍රහර්ෂයද, වියෝ වේදනාවේ ළය පාරන අධිකතර වේදනාවද එහි සියුම්ව කැටි වී ඇත්තේ විස්මිත ලෙසිනි." (පිටුව 50)

මේ ප්‍රේමයට දේශ සීමා තිබේද? ආගම් , ජාති හෝ කුළ මල තිබේද? ඇත්තේ හදවත් දෙකක ඇතිවන අසීමිත බැඳීම පමණකි. සයුරක් වන් දයා කරුණා මහිමයක් පමණකි. වෛරය වෙනුවට මේ ප්‍රේමය හැමටම පිදිය හැකි නම් ලොව කෙතරම්නම් සුන්දර විය හැකිද?

මෙම කථාවෙන් ඇය පුන පනා පවසන පණිවුඩය එයයි. මේ තව තවත් දස දහසින් ආදිත්‍යලා සහ සිස්ටර් සෙව්වන්දිලා වැනි අය බිහිවිය යුතු යුගයයි. මෙවැනි පොත් පත්, කවි , ගී හා සිංදු අපේ හදවත් තුළ හැම මොහොතේම රැව් පිළිරැව් නැගිය යුතු කාලයයි

තරුරසී පොතේ තැනෙක මෙසේ පවසන්නී
" සාහිත්‍ය කලාවෙන් තොරව විමුක්තියක් ගැන කතා කරන්න අමාරුයි.බයිබලයම ගත්තත් සාහිත්‍ය උල්පතක්. මොනවද නැත්තෙ? කවිය, ගීතය,කෙටි කතාව,නව කතාව, නාට්‍ය ඔය හැමදේම බයිබලය ඇතුළෙ තියෙනවා."( පිටුව 38)

තමන් දිවි නොතකා සමාජයට සෙත සැලසීමට ඉදිරිපත් වූ සැමටම එරෙහිව ඉදිරිපත් වූයේ මර්ධනයයි. ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ පටන්ම අද වනතුරුද සිද්ධවූයේ සහ දැනටත් සිද්ධවෙමින් පවතින්නේද එයයි. පොතේ තැනක ආදිත්‍ය මෙසේ පවසයි

" දාස් ගාණක් මිනිස්සු උන්හිටි තැන් නැතිව ඇඳිවත විතරයි.තමන්ගෙම මිනිස්සු මැරිල වැටෙද්දි පස් මිටක් දාන්න තප්පරයක් නවතින්නෙ නැතිව ජීවිතය ඉල්ලගෙන දුවන්න සිද්දවුණු මිනිස්සු අතර මම මගේ පරිස්සම ගැන විතරක් හිතන්නෙ කොහොමද? බිත්තර කට්ටක් ඇතුළෙ හැංගෙන්නද? වෙන දෙයක් වුණාවෙ. දැන් ඉතිං ආපහු හැරීමක් නෑ. නගුලට අත තියල හැරිල බලන්නෙපා කියල නේද, ජීසස් කියල තියෙන්නෙ..."( පිටුව 121)

" දෙවියන් කියල කෙනෙක් නෑ. මිනිසුන් වෙනුවෙන් ඉන්න ඕන මිනිස්සු. වැඩ කරන්න ඕන මිනිස්සු. මිනිස්සු නැත්නම් එතැන දෙවියොත් නෑ. දෙවියන්ට පැවැත්මකුත් නෑ."(පිටුව 194)

මෙය නොවෙද අප පතන සදාකාලික සත්‍ය. එහෙත් සිදුනොවන්නේද මෙයමයි. හැමවිටම සිදුවන්නේ, දෙවියන් බුදුන් නමට ඇදැහුවාට එහි සැබෑ මිනිසුන් නැතිකමයි. බලයට හා ධනයට ඇති ලොල් කමයි. අතහැරීමට ඇති මැලිකමයි.

මෙය තරුරසී නැගෙණියගේ ප්‍රථම මුද්‍රිත නව කතාව උවද ඇය මෙයින් ඉතාමත්ම ප්‍රවීණ ලේඛිකාවකගේ ගුණ සුවඳ පෙන්වා ඇතිබව මගේ හැඟීමයි. ඇයගේ "තරුරසී " බ්ලොග් අඩවියෙන් ඇය ලියන කවි සහ ලිපි බොහොමයක් කියවා තිබූ මට ඇයගේ ලිවීම් කලාව සහ දැක්ම ගැන තිබුණේ පැහැදීමකි. එය මෙම පොත කියවීමෙන් තව තවත් වැඩිවූ බව නොකියාම බැරිය. මටනම් හිතෙන්නේ ඇය සැබෑ දිවියේ සිස්ටර් සෙව්වන්දිම බැව් කියාය. මන්ද ඇය පියවි දිවියේ කරන කියන කටයුතු ලියා තිබෙන දේ සමඟ සමපාත වන බැවිනි. මෙවන් කලාකරුවන් බොහෝ විරලය. ලෝක ඉතිහාසයේ බොබ් මාලේ වැනි චරිත නිදසුන්ය. අපේ රටින් ගතහොත් සයිමන් නවගත්තේගම සූරීන්, කපුගේ සූරීන් හා සුගතපාල සිල්වා සූරීන් වැනි චරිත මගේ මතකයට නිතැතින්ම එයි

මෑතකදී තරුරසී නැගෙණිය කයිට්ස් දූපතෙහි වෙසෙන දරුවන් බැලීමට ගිය සංචාරය ඇය ලියන දේ ක්‍රියාවෙන්ද පෙන්වන බවට එක උදාහරණයක් පමණි. අපගේ සමාජයට වැඩි වැඩියෙන් අවශ්‍ය මෙවැනි චරිතය. තව තවත් ආදිත්‍යලාය. තව තව තවත් සිස්ටර් සෙව්වන්දිලාය. තව තවත් මානව හිතවාදීන්ය. පාලකයන්ට ඔවුන් දේශද්‍රෝහීන් වුවද සැබෑ මිනිසුන්ට ඔවුන් දෙවිවරුන්ය

මෙවන් මිනිසුන් හා මෙවන් පොත පත දස දහස් ගණනින් බිහිවේවා. ලෝකයට ආදරයේ හා ප්‍රේමයේ වැසි වැටී වෛරයේ ගිනි දලු නිවී යත්වා. ජාතිවාදය හා ආගම්වාදය තුරන් වේවා! සැබෑ මනුසත්බව ඇතිවේවා. එවිට මෙවැනි පත පොතින් දෙන පණිවුඩය සැබෑවක් වනු ඇත

අවසාන වශයෙන් මෙම පොතින්ම ගත් උපුටනයක් නැවතත් ගෙනහැර පාමින්  මම නවතිමි.

" දෙවියන් කියල කෙනෙක් නෑ. මිනිසුන් වෙනුවෙන් ඉන්න ඕන මිනිස්සු. වැඩ කරන්න ඕන මිනිස්සු. මිනිස්සු නැත්නම් එතැන දෙවියොත් නෑ. දෙවියන්ට පැවැත්මකුත් නෑ."(පිටුව 194)

 


චන්දන ගුණසේකර