Pages

Monday, 9 July 2018

විලාසිනියකගේ ප්‍රේමය.....


 

 

" උත්තරා හිතනවද මට ආයෙමත් ජීවිතේ ගත කරන්ට පුළුවන් කියල? මට පුළුවන් පිරිමියෙක්ව ආයෙමත් ළඟට ගන්ට, පිරිමින්ගෙ ද්රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?"

 

" මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුශාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නෙවේ. ඒක ඉබේම හටගන්න ඕන. කියන්නෙ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපන්නෙ නෑ."

 

" මම එයාගෙන් මුකුත් ඉල්ලුවෙ නෑ. ආදරය කියන්නෙ කෙනෙකුට දෙන දෙන දෙයක්, කෙනෙකුගෙන් ගන්න දෙයක් නෙවේ. ඒක මම දන්නවා. මට ඕන කළේ එයාට ආවතේව කරමින් එයාව බලා කියාගන්ට විතරයි. ගෑනුන්ගෙ සිත්වල ඇතිවෙන ආදරේ පිරිමින්ට තේරෙන්නෙ නෑ."

( විලාසිනියකගේ ප්රේමය- පිටුව 127)


 

ඔබ ඉහතින් දැක්වෙන උපුටනය කල්පනාවෙන් කියවුවහොත් සැබෑ ප්රේමය ගැන මීටත් වඩා හොඳ අර්ථකථනයක් තිබේදැයි වැටහෙනු ඇත. මෙය මා උපුටා ගත්තේ මෑතකදී මම කියවා නිමකළ මහාචාර් එදිරීවීර සරචන්ද්රයන් ලියූ " විලාසිනියකගේ ප්රේමය" නම්වූ චම්පු කාව්යයෙනි. මෙහි එන බොහෝ උපුටන මම බොහෝ අවස්ථාවලදී අසා දැන තිබුණද සම්පූර්ණ ග්රන්ථයක් වශයෙන් කියවන්නට ලැබුණේ මීට සතියකට පෙරදීය.

 

මම එතුමන් ලියූ ආදරය වෑහෙන නවකථා යුගලය, එනම් " මළගිය ඇත්තෝ" සහ " මළවුන්ගේ අවුරුදු දා" මහත්ම වූ කෑදරකමකින් හා අභිරුචියෙන් කියවූයේ මීට වසර ගණනාවකට පෙරදීය. එය කියවීමේදී මමත් ජපානයේ මලින් ගැවසීගත් සුන්දර වීථි දිගේත් , මනරම් කෝපි හල්වලත් ' නොරිකෝ' සමඟින් කරක් ගැසුවෙමි. ඇයට පෙම් කළෙමි. අවසන සිදුවූ දෙය නිසා විස්සෝප වුණෙමි. එමෙන්ම එතුමන් ලියූ " වල්මත් වී හසරක් නොදුටිමි" කෘතියද කියවීමෙන් එය මගේම අත්දැකීමක් ලෙසට ගෙන එහි ගිලී ගියෙමි.

 

ඉන් පසු මා කියවූ මෙම නව කතාව, " විලාසිනියකගේ ප්රේමය" මා කලින් කියවූ කථාවලටත් වැඩියෙන් මා ගෙන ගියේ අමුතුම ලොවකටය. සිතන්නට ඉතිරි කළේ බොහෝ දේය.

 

චම්පු කාව්යක් එනම් ගද් හා පද්යයන්ගේ සම්මිශ්රිත රචනා විලාසයක් අනුගමනය කරමින් රචිත මෙම කෘතියට පාදක වී ඇත්තේ බෞද්ධ ජාතක පොතේ එන " කණවේර" නම් වූ ජාතක කතාවයි. කණවේර යන්නෙහි සිංහල අර්ථය කනේරු යන්නයි. එනම් කනේරු මලයි.

 

මහාචාර් සරච්චන්ද්රයෝ බොහෝ වාරයන්හිදී ජාතක කතාවක් තෝරාගෙන ඊට නව අර්ථකථනයක් , නැතිනම් නව මානයක් හා පාඨකයාට ජාතක කතාව කියවා පහන් සංවේගයක් උපදවා ගන්නවාට වඩා වැඩි යමක් සිතන්නට පෙළඹෙන සුළු නිර්මාණ බිහි කිරීමට උත්සුක වූහ. එතුමන්ගේ ලෝම හංස, මනමේ වැනි නිර්මාණ වල යම් පෙරළිකාර යමක් කරන්නට එතුමන් පෙළඹුණේ එසේ හෙයිනි.

 

මෙහිදි " කණවේර ජාතකය " නම් වූ , ජාතක පොතේ පිටු දෙකක් පුරා
දිවෙන පුංචි කතාවක් පාදක කොට, එතුමන් පාඨකයාගේ මනසට බොහෝ දේ එකතුවන ඉතා අනර්ඝ නවකතාවක් ගොඩනැගූ ආකාරය ඉතාමත්ම ප්රතිභා සම්පන්නය.



















 

සැකෙවින්ජාතකයේ කියැවෙන්නේ රාජ රජ අමාත්යා හා සිටුවරු ආදීන්ගෙන දහසක් බැඳි පියලි ලබමින් ඔවුනට තම සාරාගී කයේ පහස ලබා දුන් ජනපදකල්යාණියක, සියලුම යස ඉසුරු උදෑසන ඉවත හල කෙළ පිඩක් සේ ඉවතලා මරණිය දංඩනය සඳහා ගෙනයන මිනීමරු සොරකුගේ උත්තුංග කඩවසම් දේහයට වශී වී තමන් පහස ලද සිටු කුමරකු බිල්ලට දී මුළාවෙන් සොර දෙටුවාව බේරා ගැනීමත් ඉන්පසු සොරාට ප්රතිකාර කොට ඔහුත් සමඟ දුර ඈත පසල් දනව්වකට පැන ගොස් ඔහුට ඇප පස්ථාන කරමින් ජීවත් වීමත්ය. එහෙත් අවසානයේ මෙම සොරා ඇයව රතිකෙළියට මෙන් පොළඹවා එහෙත් ඇයගේ සිහිය විසන්ධි කොට ඇයගේ රන් ආභරණ රැගෙන පලා යයි. ජාතක කථාවේ ඇත්තේ එපමණකි. එනම් සොරා සොර නැකතකින් ඉපදීම නිසා සොරකු වීමත් කෙතරම් හොඳ කළත් පරණ ගතිම යළි මතුවී හොඳ කළ කෙනාවද මංකොල්ල කා පැන යාමයි.එනම් අපට දෙන පාඩම එවන් දුදනන්ගෙන් ඈත් වී සිටිය යුතු බවයි.එමෙන්ම රාගාධික වෛශ්යාවිය මායම් පා ඇයට පෙම් කළ සිටුවරයකු බිල්ලට දී තමා අනුරාගයෙන් බැදුණු සොරා බේරා ගත් අතර එම පුවතින් ස්ත්රියකගේ චපලත්වයත් ඇයගේ මායම් වලට රැවටිය යුතු නැති බවත් ජාතක කතාකරු ශ්රාවකයාට කියා දෙයි.

 

එමෙන්ම මනමේ කථාවේ මනමේ රජුගේ බිසව රජු සමඟ සටනට වන් හැඩිදැඩි වැද්දකුට පෙම් බැඳ, කඩුව වැද්දටත් කඩු කොපුව රජාටත් දී රජා ජීවිතක්ෂයට පත් කිරීමට උදව් කර වැද්දා සමඟ පැන යාමත් එලෙසින්ම තවත් ජාතක කථාවක අතපය නැති කොරෙකු කෙරෙහි අනුරාගය උපදවාගත් රජ බිසවක් එම අරමුණ දිනා ගැනීම සඳහා එතෙක් කලක් තමන්ව මලක් සේ රැකබලාගත් රජුව , උපායෙන් කන්ඳක් මුඳුනට ගෙන ගොස් පහළට තල්ලු කොට මරා දැමීමත් යන කතා වස්තූන් අපට හමුවේ. මෙහිදි ජාතක කතාකරු හොරා හොරක් සේ හංවඩු ගසා ඔහු දුදනකු කොට ඔහුගේ සමාගමයෙන් ඈත්වනු කීවා විනා ඔහු සොරකු වූයේ මන්ද , ඔහුත් එක මොහොතක සිදුවූ වරදක් නිසා මඟ ගිය කෙනෙකු නොවන්නේද යන වග කිසිවිටෙකවත් සිතුවේ නැත. එමෙන්ම මනමේ වැනි කතා වලදී අප කුමරියන්ට දොස් කියා චපල ස්ත්රීන් ලෙස කොන්කළත් ඔවුන් තත්වයට පත්වූ අනුරාගය හැර වෙනත් මානසික හේතූන් ඇද්දැයි සොයා බැලුවේ නැත. හැම තැනදීම සිදු වූයේ වරදකාරයාට ගල් ගැසීමම පමණි.

 

එමෙන්ම මෙලෙසින්ම මගේ සිත කම්පනයට පත් කළ තවත් කතාවක් ඇත. එය නම් වෑත්තෑවේ හිමියන් විසින් රචිත " ගුත්තිල කාව්යයයි" . එහිදී මූසිලයා ගුරුවරයා සමඟ තරගයට ගිය එක සැබවි. එහෙත් එයට හේතු වූ කරුණු කාරණා රාශියක් පිටුපස තිබිණි. මහලු ගුරුවරයා සමඟ තරඟ කිරීම නොකළ යුත්තක් බැව් මම පිළිගනිමි. එහෙත් මූසිලයා මහා දක්ෂයෙකි. ඔහු දක්ෂ සහ ප්රතිභාවින් පිරි පුද්ගලයකු නොවුනානම් ගුත්තිල කෙතරම් දක්ෂ ගුරුවරයෙකු වූවත් තම ශිල්පය ඔතරම් හොඳින් ඉගෙන ගන්නේ නැත. එහෙයින් එහි ගෞරවයෙන් අඩක් හොඳින් ඉගෙන ගත්තාට මූසිලයාටද හිමිවිය යුතු නොවේද? රජුට තිබුණේ වැටුපින් හරි අඩක් නොව, ගුත්තිලයන්ව විශ්රාම යවා එතුමන්ට විශ්රාම වැටුපකුත් මූසියාට රජවාසල වීණාවාදකයාට ගෙවූ ගානත් ගෙවීමටය. මෙහිදී එතරම් දක්ෂ මූසිලයාව යම පුරයට යැව්වේ රජා සහ ශක්රයා විසිනි. හොඳ දක්ෂ ශිෂ්යයකු අධම ගුණමකුවකු බවට පත් කළේ ඔවුන්ය.

 

මෙලෙසින් මෙම කථාවල මතුපිටින් ජාතක කතාකරු කියනවාට වඩා මානූශීය පැත්තකුත් ඇති බව මහචාර්යතුමන්ට වැටහිණි. කණවේර ජාතකයේ සමා නම්වූ ජනපදකල්යාණියගේ චිත්ත ස්වභාවය ගැඹුරින් සහ ඉතා සියුම්ව උකහාගෙන ජාතක කථාවෙන් ඔබ්බට ගිය පරිකල්පි කතාවක් ගොතා ඊට ගැලපෙන තව සෙසු චරිතද එකතු කොට " විලාසිනියකගේ ප්රේමය" එතුමන් මෙසේ ලියූවේ එහෙයිනි.

 

එදා ජී බී සේනානායකයන් ලියූ, පිටු කිහිපයක කෙටි කතාවක් වූ " නිධානයෙන්" පසුව මහා සිනමාවේදියා,තිස්ස අබේසේකරයන් ලෝක පූජිත සිනමා කෘතියක් තැනූවේද එතුමන්ට තිබූ සාමාන් මිනිසකුගේ පරිකල්පනයෙන් ඔබ්බට ගිය පරිකල්පනාවේ මහිමයෙනි.

 

මහාචාර් සරච්චන්ද්රයන්ද කළේ එයයි. එනම් මෙම කතාව තුළින්, ගැහැනියගේ ප්රේමයට වටිනා කමක්, පිවිතුරු හා උත්තරීතර බවක් ලබා දීමයි. ඇය වරදකාරියක, මායාකාරියක , චපලැත්තියක යන වරදකාරී හැඟුමින් මුදවා ඇයත් ලේ , මස්, ඇට හා නහරින් සැදුම්ලත් තවත් මනුෂ්යයකු බවට ලොවට පෙන්වා දීමයි. මෙහිදී එතුමන් යොදාගෙන ඇති බසද පුරාණ කාලයට නෑ කම් කියන්නේ අපව නිතැතින්ම කාලයට රැගෙන යන පාලමක් විලසිනි.

 

අවසාන වශයෙන්, සැබෑ ආදරය නම්, තමන් අනෙකකුගෙන් පෙරළා කිසිත් බලාපොරොත්තු නොවී කළ යුතු දෙයක් බැව් එතුමා අපට මේ නිර්මාණය තුළින් යළිත් පසක් කරවයි.

 

" ප්රේමය නම් අසෙනිය කුසුමක් වේ

රිසි වූ කෙනෙකුට පූජා කරනට

ලෝබ සිතින් තොර පිදුවමනා වේ

පෙරළා ලබනට නොසිතා බිඳකුත්...."

No comments:

Post a Comment