ඊයෙ
හැන්දෑවේ " තිලකයාගෙන්" මැසෙන්ජීය ඇමතුමකි. තිලකයා( තිලක් ජයකොඩි) වනාහී මා සමඟ අනුරාධපුරයෙන් පේරාදෙණිය සරසවියට ගොස් මා සමඟම උගත් මගේ බැචෙකි.
" මචං
චනී, උඹ අර රත්නායක සර්ගෙ මරණය ගැන ලිව්ව ආටිකල් එක දැකලයි කතා කළේ. ඒ කොයි රත්නායක සර්ද මචං" ඌ ගත් කටටම ඇදබෑවේ ප්රශ්න වැළකි. මම ඔහුට ඒ ශාන්ත ජෝසෆ් විදුහලේ ඉගැන්වූ රත්නායක සර් බව පහදා දුනිමි.
" ආ..
එහෙමද මචං. මම හිතුවෙ අපේ ඉස්කෝලෙ( අපුර මධ්‍ය මහා විදුහල) හිටපු රත්නායක සර්ල දෙන්නගෙන් කෙනෙක් කියල. " යැයි පවසා
" මචං
ඒක නෙමේ උඹත් අපේ අර සිංදු කියන ගෲප් එකට සෙට් වෙන්නෙ නැහැනෙ. මම " කරයටත්( කරවිට) " කිව්වා. කොහේද ඌටත් අර " ටෝගට" වගේ බිසීනේ. " යැයි කීය.
" ටෝගට"
වගේ බිසී යන්න ඇසුණු සැනින්ම මට වහා යමක් සිහිවිය. එනම් මා පසුගියදා නැරඹූ " සිහිනයකි රෑ" වැඩසටහනට ගී තේරීමට පැමිණි නදීක ගුරුගේ සංගීතවේදියාද එම වදන් එලෙසින්ම පැවසූ බවයි. වහා ඉන් ප්රීතියට පත් මම ඒ බැව් තිලකයාට පැවසුවෙමි. එවිට ඌ කියූවේ හතර බීරි කතාවකි.
" මචං
නදීකයා මගෙ හෙණ ගජයෙක් දැන්. මමයි ඔය ටෝගගෙ කතාව ඌට කිව්වෙ. මගෙන් තමයි ඒක අල්ල ගන්න ඇත්තේ " යැයි පැවසුවේ මා විමතියටත් , සතුටටත් පත් කරවමිනි. විමතිය නම් එම වචනය නදීක සහෝදරයාගෙන් තිලකයා අල්ලා ගත්තායැයි මා සිතූ සිතිවිල්ල වැරදි සිතිවිල්ලක් වීම වූ අතර සතුට නම් නදීක සහෝදරයා මගේ ගජයකුගේ ගජයකු වීමයි.
පෙරදා
මම සිහිනයකි රෑ නරඹද්දී නදීක සහෝදරයා ගැන යමක් ලිවීමට තිබුණා නම් ඉතා අගනේයැයි සිතුවෙමි. එතරම්ම ඔහු අපේ රටට දැයට වටිනා පුද්ගලයෙකි. එමෙන්ම ඔහු සමඟ වචනයක් දෙකක් දෙඩීමට ඇත්නම් යැයිද නොසිතුණාම නොවේ. එහෙත් එයට මඟක් මට නොතිබිණි.
කලක
පටන්ම නදීක සහෝදරයාගේ සංගීතය, ගායනය හා ඔහුගේ සරු වාග් මාලාව දෙස මම ඉතාමත්ම ආදරයෙන් බලා සිටියෙමි. ගායනයට, වාදනයට, උරුවන් බෑමට සහ කතාවට ඔහු සැබෑ දක්ෂයකු බව මට හැඟී ගියේ ඔහු පැමිණි මා නොවන මම වැඩසටහන නැරඹීමේදීමය. ඉන් පසු වරින් වර වැඩසටහන් වලදී සහ " කර්ම" චිත්රපටයේ ඔහුගේ රඟපෑමත්, සිනමා සංගීතයත් හා යථාරූපී ගී තරඟ විනිසුරුවරයෙකුද වශයෙන් ඔහු පතල ප්රතිභාවත් නිසා ඔහු මගේ ලොවේ වීරයෙකු බවට පත් වූයේ නිතැතිනි. ඔහු හොඳින් දේවල් කියවා , අධ්යනය කොට බෙහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙකු බවට පත් වී ඇති බව ඔහුගේ කථාවලට සවන් දීමේදී මට වැටහිණි. ඉතිහාසය, මානව ශිෂ්ටාචාරය, සංගීතයේ පරිණාමය, ජන සංගීතය, පෙරදිග හා අපරදිග සංගීතය වැනි පුළුල් එමෙන්ම එකිනෙකට වෙනස් විෂය පථයන් ඔස්සේ ඔහුගේ දැනුම විහිදී තිබිණි.
එහෙත්
මෙලෙසින්ම මා පෙම් බැඳි මගේ ලොවේ වීරයන් වූ සමහර අය, සැබැවින්ම හමුවූ විට එතෙක් මගේ සන්තානයේ ඔවුන් පිළිබඳව වූ ආකල්පය හා ප්රතිරූපය බිඳ වැටුණු අවස්ථා කිහිපයක් තිබීමත් නිසා සහ " කිසිදිනෙක තමන්ගේ වීරයා හමු නොවනු( Never meet your
hero) " යන පාඨය බොහෝ විට සත්යවූ නිසාත් සැබෑවටම නදීක සහෝදරයා හමුවීමට මා ආශා කළත් ඒ පිළිබඳව වූයේ චකිතයකි. විචිකිච්චාවකි.
ටෝගා
හරහා ඇදී ආ කතාව කෙළවර වූයේ මම තිලකයාට නදීක සහෝදරයා ගැන මගේ වූ ආකල්ප විස්තර කිරීමෙනි. සමාවෙන්න සියල්ලටම පළමුව මට යමක් ඔබට පැහැදිලි කිරීම අතපසු විය. එනම් කවුද මේ " ටෝගා". ? යන්නයි.ඔබ මගේ පරපුරේ හැත්තෑව දශකයේ අගභාගයේ චිත්රකතා පිස්සකු නම් ඔබට ටෝගා ආගන්තුක චරිතයක් නොවනු ඇත. " සිංහ" නම්වූ අති දක්ෂ චිත්‍ර ශිල්පියෙකුගේ මනංකල්පිත නිර්මාණයක් වූ ටෝගා, සිත්තර පත්තරයේ පළවූ චිත්‍ර කතාවකි. ටෝගා , ටාසන්ලා හෝ ස්පයිඩර් මෑන්ලා මෙන්ම වීරයෙකි. මහා ශක්තිවන්තයෙකි. එහෙත් කොටස් වශයෙන් පළවූ මෙහි හැම සතියකම පළවූ කොටසක් අවසන් වූයේ පාඨකයාට ඊළඟ සතිය වෙනතුරු ඉවසා සිටිය නොහැකි අන්දමේ කුතුහලයක් ඉතිරි කරමිනි. ඒ හැම කොටසකටම ටෝගාට බොහෝ වැඩ තිබිණි. ඉස්පාසුවක් තිබුණේම නැත. මගේ මිත්රයා ටෝගා මෙන් කාර්ය බහුලයයි කීවේ එහෙයිනි. තිලකයා , නදීක සහෝදරයා සැබෑ දිවියේත් අප ඒ තිරයේ දකින හා අසන චරිතයම බැව් මා සමඟ පැවසුවේ මගේ සිතේ වූ විචිකිච්ඡාව දුරුකරලමිනි. ඔහු පොලොවේ පය ගසා ජීවත්වන සැබෑ මිනිසකු බව මට පැවසුවේ ඔහු හා ඇසුරෙහිදී තිලකයා ඇසු දුටු සිද්ධීන්ද මට විස්තර කරදෙමිනි.
ඉන්පසු,
නදීක සහෝදරයා සමඟ කතාබහ කිරීමට මගේ ඇති ඇල්ම ඉවෙන්ම මෙන් වටහා ගත් තිලකයා එකෙණෙහිම වට්සැප් ගෲපයක් අප තිදෙනාගේ නමින් ආරම්භ කළේය. එවෙලෙහි ලංඩනයේ වෙලාව සවස 6 පමණ වූ අතර ලංකාවේ රාත්රී 10.30 පමණ විය. එහෙත් මා වෙනුවෙන් වෙලාව යකාට ගියාවේ යැයි පැවසූ තිලකයා වහා ක්රියාත්මක වී නදීක සහෝදරයාවද අපගේ කතිකාවට සම්බන්ධ කර ගත්තේය.
තිලකයා
මහනුවර සිටත්, නදීක සහෝදරයා කොළඹ සිටත් මම එංගලන්තයේ වොට්ෆඩ් සිටත් සංවාදයට එක් වීමු. පැයකටත් එහා කාලයක් පුරා පැවති අපගේ කතා බහ මගේ ජීවිතයේ මෙතුවක් කල් මා පැවැත්වූ වටිනාම කතාබහ කිහිපයෙන් එකක් බැව් මම ඉතාමත්ම අවංකවම පවසමි. අපි ඒ කාලය තුළ ඉතිහාසය ගැන කතා කළෙමු. සිනමාව, සිනමා සංගීතය, ගායනය, ගායකයන් සහ ගීත ගැන කතා කළෙමු. ඉංගිරිසි වදන් ඉතා හුරුබුහුටිය සිංහලට හරවා කතා කළ නදීක සහෝදරය අපගේ ජීවිතයට බොහෝ අලුත් දේ එකතු කළේය. අපගේ සංවාදය ඉතාමත්ම හරබර විය. බොහෝදේ අපට උගත හැකිවිය. මට එවෙලෙහි සිහිවූයේ බුදු බණයි. එනම් " පණ්ඩිතාණන්ච සේවනා" නම්වූ මංගල කරුණයි.
පෙරදා
සිහිනයකි රෑ වැඩ සටහනේදී ඔහු පැවසූ ටෝගා කථාවද ඊට පෙරදී මම නදීක සහෝදරයාගෙන් උගත් " උග්‍ර රසිකයා" යන යෙදුමද ගැනද අප කතා කළෙමු. එමෙන්ම එදා ඔහු පැවසූ " බසින් බසින් බස වැඩිවේ. කසින් කසින් කස වැඩිවේ" එනම් භාෂාව භාවිතා කරන්නට කරන්නට එය දියුණු වෙන්නේ යම්සේද කසන්නට කසන්නට කැසීමත් වැඩිවන බව ඔහු පැවසුවේ කොක් හඬ ලා සිනාසෙමිනි.
ඔහු
මේ දිනවල ලියමින් සිටින ග්රන්ථ සැප්තැම්බරයේ එළි දක්වන බව පවසා ලංකාවේ ක්රමය නිසා දක්ෂයන්ට තැන නැතිවී වෙනත් අය වැජඹීමේ කලාව ගැනත් මදක් පසුතැවිල්ලකින් මෙන් පැවසීය.
තිලකයා
නුවර සිටියත් නදීක සහෝදරයා කොළඹ සිටියත් ඒ සුන්දර රාත්රී යාමයේ ඔවුන් දෙදෙනාම මා සමඟ කථාවේ යෙදුණේ හීනියට මධුවිතින් සප්පායම් වෙමිනි. රාත්රී වැඩමුරයට යායුතු බැවින් මධු සාදයට අධ්යාත්මිකව හෝ මට එක්වන්නට නොහැකි වීම , මගේ සිත පෙලූවත් ඔවුන් හා පිළිසඳරට එය බාධාවක් නොවීය.
තව
තවත් දොඩමළු වූ අප නදීක සහෝදරයාට අපත් අනුරාධපුරයේම බැව් පවසා සිටියෙමු. ඔහුත් කාලයක් අනුරාධපුරයේ සිය දෙමාපියන් සමඟ ජීවත් වී තිබිණි. එමෙන්ම අප පේරාදෙණිය අක්බාර් ශාලාවේ නේවාසිකව සිටිනා අවධියේ උසස් පෙළ සිසුවකු වූ නදීක සහෝදරයාද අපට පහළ වසරවල වූ ඔහුගේ මිතුරන්ගේ කාමර වල ගජේ ගසා( තාවකාලිකව නැවතී හිඳ) තිබිණි. දෛවය විසින් එදා අප හමු නොවුනද ඉන් වසර 30-40 කට පසුව මෙසේ අප හමු වීම පිළිබඳව අප ඉතා සතුටු වුණෙමු.
අවසානයේ
නදීක සහෝදරයා,ඉතාමත්ම නිහතමානීව තම ගිතාරුවද වයමින් ටෙලිෆෝනය හරහා අමරදේවයන්ගේ විකසිත පෙම් පොකුරු පියුම් ගීතය ගායනා කළේ මගේ දෑස් කඳුළින් තෙත් කරලමිනි. එදින අප සමු ගත්තත් මගේ ජීවිතයට අලුතින්ම එකතු වූ නදීක ගුරුගේ සහෝදරයාත් ඔහුව මට හඳුන්වා දුන් මගේ බැචා තිලකයත් සමඟ, අප භෞතිකව යොඳුන් දහස් ගණනක් ඈතින් සිටියද සිතින් හා හදවතින් නම් එක ළඟම සිටිනාසේ ගත කළ මේ සන්ද්යාව මගේ හදවතේ තැන්පත් වූයේ යළි කිසිදාක නොමියෙන විලසිනි.
Tilak Jayakody
මට නදීක ගුරුගේ සම්බන්ධ උමතුව කියන්න ගියොත් මේ පෝස්ට් එකටත් වඩා ඒක දිගට ලියවේවි. ඒ නිසා මන් ඉතාමත් කෙටියෙන් කිව්වොත් මන් නදීක ගුරුගේගෙ උග්‍ර මෙන්ම අග්‍ර රසිකයෙක්. රසිකයෙක්ට වඩා උමතුවක් හා සමාන ස්වරූපයක් දනවන සංගීතයක් ඔහු හා සම්බන්ධව මට තිබෙනවා. කේමදාසයන්ගෙන් පසු ඒ තත්වයට පත්වෙමින් යන මා දකින පුරාවෘත්තය ඔහුයි.
ReplyDelete"රස්තියාදුකාරයා" කියලා ටෙලි නාට්‍යක තේමා ගීතයක් නිසා තමයි මන් ඔහු මුලින්ම හොයන්නෙ.එම තේමා ගීතය බොක්ස් ගිටාරයක් සමගින් තිබ්බ ඉතා සරළ ගීයක්. එහි ප්‍රකාශනයේ රිද්මයට මට පිස්සු හැදුනා. එතකොට මන් කුඩා පාසක් යන ළමයෙක්. මන් ටෙලි නාට්‍යයක නාමාවලියක් බලලා මුලින්ම පුද්ගලයෙක් ගැන හොයන්න ගන්නෙ ඔහුගෙන්. ඒත් අන්තර්ජාලය ගැනවත් කිසිම දැනුමක් තියා අන්තර්ජාලයවත් මොකද්ද කියා හරියට නොදන්න කාලෙක ඔහුව හොයන එක අතිශය අමාරු වුණා. ඒත් මන් ඔහුගේ නම ඉතාමත් හොදින් මතක තියා ගත්තා. ඊට කලකට පසු මන් දැක්කා නන්දා මාලිනි "සංකාර" නැමැති චිත්‍රපටිය ගැන පොඩි ඉන්ටර්විව් එකක් දෙනවා ටී.වී එකේ.විනාඩියක දෙකක වගේ. එතකොට ඇයගේ වචන වලින්ම ඇය මෙහෙම කතාවක් කිව්වා.
" මේකෙ සංගීතය ගැන විශේෂයෙන් දෙයක් කියන්න ඕනෙ බොහොම අඩුත් නැති වැඩිත් නැති සංගීතයක් කව්ද මේ නම මතකත් නෑ නදීක ගුරුගේ වගේ නමක් තිබ්බ කෙනෙක්" කියලා ඒ තමයි නදීක ගුරුගේ ගැන මන් අහපු දෙවැනි වතාව.
පසු කාලීනව අන්තර්ජාලයත් එක්ක ඔහුගේ ගීත ඔහුගේ සංගීතයන් නැවත නැවතත් අහලා සහ ඔහු ගැන හොයලා ඔහු සම්බන්ධ තිබ්බ උමතුව මා වීසින් තවදුරටත් වැඩි කරගන්නවා. ඔහුගේ හඩින් ගයන ගීත වල ප්‍රමිතිගත මට්ටමේ රෙකෝඩින් එකක් නැති ඒවා අන්තර්ජාලයේ තිබීම ගැටළුවක්. මන් වගේම ඔහු ගැන උමතු රසිකයො කොහෙ හෝ ලයිව් කියද්දි රෙකෝඩ් කරපු ගීත තමයි වැඩිපුරම තියෙන්නෙ,ඇත්තටම පුදුමයි ඔහු ඇයිද කියලා සංගීතයට ප්‍රමුඛත්වය දෙන ගමන් ගායනයත් යම් මට්ටමකින් වත් නොකරන්නෙ. ඔහු ගයන්නෙත් ඒ තුළට ආවේශ වෙලා ඔහුගේ වචන වලින්ම ඔහු ගීත ගයන විට "ඔහුම එම ගීත අසමින් හා විදිමින්" තමයි ගායනා කරන්නෙ.
මන් මේක මීට ඉස්සෙල්ලත් බ්ලොග් එකේ කියලා තියෙනවා.මගේ තියෙන ලොකු හීනයක් තමයි මන්ම ලියපු "රෝමියෝ" වගේ ගීතයක් නදීක ගුරුගේ ගේ සංගීතයෙන් සහ ගායනයෙන් දකින එක. ඇත්තටම ඔහු අපූරු සෞන්දර්යාත්මක නිපවුමක්.මිනිස්සු පිස්සු වට්ටන්න පුළුවන් හැකියාවක් තියෙන. ඔබගේ පෝස්ටුවෙන් ඒක නැවතත් ඇවිස්සුණා. (සාමාවෙන්න මගේ කෙටි කමෙන්ටුවට. ඇත්තටම මේක කෙටි කමෙන්ටුවක්)