Pages

Friday, 13 July 2018

රාත්‍රියේ පිපී, හිරු නැගෙන්නට පෙරම මිලිනව ගිය කඩුපුල් මල.......


 

 

" මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට

හඬා දොඩා ඵල නොලැබෙන හින්දා..

උදා ළහිරු විලස එබී හිඳිමු ලොවට

සිනා මලක් මුව අද්දර රන්දා....

 

ආජු තපර ලාහිලා බීජි තපර ලාහිලා

ආජු තපර බීජි තපර බිස්කු බිස්කු ලාහිලා// "

 

1987 වසරයි. ලංකාවේ යුඳ ගිනි දැල් ඇවිලී භීෂණය රජ කළ කාලයට ආසන්න වූ යුගයයි. මරණයේ රුඳුරු සෙවනැලි යට සිටි අප කළ හැකි අන් දෙයක් හෝ වෙන යාමට අතක් නොවූයෙන් සරසවි සිහිනයවත් සැබෑ කර ගැනීමට ලහි ලහියේ උසස් පෙළ ජය ගැනීමට වෙහෙසුණු වකවානුවයි.

 

යොවුන් වියේ සිහින වියැකුණු, පීඩනයෙන් හෙම්බත්ව ,විභාග ආතතියෙන් ආතුරවූ අපට තිබූ එකම සහනය වූයේ හැන්දෑවට පුංචි තිරයේ විකාශනය වූ නන්දන වින්දන වැනි සංගීතමය වැඩ සටහනක් හෝ ටෙලි නාට්යක් නැරඹීම පමණකි. එළිමහන් සංගීත සංදර්ශන හෝ සිනමා පටයක් නැරඹීමට යාමට හරිහමන් සිනමා ශාලාවක් හෝ එකල අනුරාධපුර නඟරයේ නොතිබිණි. නිවෙස් වලට ගාල් වූ අපේ තුරුණු විය,පල් වූ මඩ වඟුරක් සේ එක තැනම නැවතී තිබිණි.

 

මෙවන් එක්තරා රාත්රියක රූපවාහිනියේ විකාශිත එක්තරා ඒකාංගික ටෙලි නාට්යකි. මහපොළ ශිෂ්යත්වය නිසා ලැබෙන ප්රතිලාභ ගැන ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නිර්මාණය වූ විජය ධර්ම ශ්රී මහතා විසින් අධ්යක්ෂණයක කළ මෙය " භාග්යා" නම් විය.

 

නාට් තුළින් එක රැයකින්ම මුළු රටේම ජනප්රිය වූ යොවුන්නවක නිළියකි. එතෙක් කලක් එවකට අපගේ ස්වප්න විජිතවල සිටි සිහින රාජිණිය වූ අචලා අලස් පරදවමින් මේ නව මුහුණ අපගේ හදවත් වල අභිෂේක ලැබුවාය. ඇයගේ සිහින් ඉඟ සුඟ, උන්මාදනීය සිනහව හා ශුංගාරයෙන් පිරි රෝස තොල් පෙති, අපව එක රැයින්ම , පළමු දසුනින්ම ගෙන ගියේ අමුතුම ලොවකටය.

 

මා මේ සටහන ඇරඹුමේදීම සටහන් කළ " මහා මෙරක් ලෙසට" ගීතයට මේ නාට්යයේ දී රංගනයෙන් දායක වූයේ ඇයයි. එදා රැයේ සඳ සිසිලේ පිපුණු මලක් ලෙස පිපි රමණී බර්තෝලමියුස් නම්වූ ඇය අප සැමගේ හදවත් වල ලැගුම් ගත්තේ සදා නොමැකෙන සුන්දර සිහිනයක් විලසිනි.

 

මේ හදිසියේ , එනම් ඇය පළමු වරට මා දුටු 1987 වසර පසුවී වසර 31 කට පසුව නැවතත් ඇය ගැන මට සිහිවූයේ පසුගියදා මා නැරඹූ ,ලක්ෂ්මන් විජේසේකරයන් සහභාගී වූ " මියුරු කල්පනා" වැඩසටහනේදී මේ ගීතය ගැන සඳහනක්ද සහ එහි ගැයීමක්ද සිදුවූ නිසාවෙනි. බංඩාර ඇහැලියගෙඩයන් ලියා, රෝහණ වීරසිංහයන්ගේ මධුර තනුවෙන් පෝෂිතවූ මෙම ගීතය ආනන්ද වීරසිරි හා එවකට පාසල් සිසුවියක වූ ඉතාම ආධුනික දීපිකා ප්රියදර්ශනී පීරිස් යන ගායක ගායිකා යුවළ ගැයූ අතර එය එක රැයින්ම ජනප්රිය වූ බවත් එය තැන නොතැන නැතිව වාදනය කෙරෙන හා ගැයෙන ගීතයක් බවට පත්වූ බවත් සඳහන් කෙරුණත් මා එදත් අදත් විශ්වාස කරන අන්දමට ගීත උන්මාදයට බලපෑ සැබෑම හේතුව ගැන නම් සඳහන් නොවූ නිසා මගේ සිතේ ඇතිවූ තැවුල හේතුවෙන් මෙම ලිපිය ලිවීමට මට සිත්විය.

 

මෙම ගීතයේ පද මාලාව, සංගීතය හා ගායනයේ ඇති විශිෂ්ටතාවය ගැන කිසිදු විවාදයක් නැත. එය ඉතාමත් ඉහළය. එහෙත් මගේ විශ්වාසය නම් මේ ගීතය, එක රැයින් ජනප්රිය වීමට හා රසිකයා එය උන්මාදයෙන් වැළඳ ගැනීමට හේතුව නම් නවක නිළිය රමණී බර්තෝලමියුස්ම වූ බවයි.

 

1966 වසරේ ඉපදී 1985 වසරේ ශ්රී ලංකාවේ රූප රාජිණිය ලෙස කිරුළපලන් ඇය එම වසරේම ලෝක රූ රැජින තරඟයටද ශ්රී ලංකාව නියෝජනය කළාය. එමෙන්ම 1983 වසරේ දී ආචාර් ලෙස්ටර් ජේමිස් පීරිස් සූරීන්ගේ "යුගාන්තයෙන් " සිනමාවට එක් වූ ඇය ධර්මසිරි බංඩාරනායකයන්ගේ " මකරාක්ෂයා " නාට්යයෙන් වේදිකාවද දිග්විජය කළාය. " හිමකුමාරි" නාට්යයේ එවකට ඉතාමත්ම ජනප්රිය තලයේ සිටි කමල් අද්දරආරච්චි සමඟ රඟපෑ ඇය එතනින්ද නොනැවතී කමල්ගේ සැබෑ දිවියේද පෙම්වතිය බවට පත් වූයේ කමල් අද්දරආරච්චි නම් නළුවා අපගේ ජන්මාන්තර හතුරකු බවට පත්කරලමිනි. අපගේ සිහින ලොවේ පෙම්වතිය ඔහු ඩැහැ ගැනීම එයට හේතුව විය. අප ඔහුට ඊර්ෂා කළෙමු.

 

අපගේ ඔහු කෙරේ තිබූ තරහා හා ඉරිසියාව වෛරයකට පෙරළූ ඉතාමත්ම අවාසනාවන්ත මූසල සිදුවීමක් අප භාග්යා ටෙලි නාට් නරඹා නොබෝ දිනකින්ම එනම් 1987 වසරේ පොසොන් මස 30 වෙනිදා අලුයම් යාමයේ සිදුවිය. එනම් රමණී බර්තෝලමියුස් නම්වූ අපගේ සිහින කුමරිය මෙලොව හැරගිය පුවතයි. එවකට ඇය යන්තම් විසි හැවිරිදි වූවා පමණි. සිනමාවට හා නාට්යයට පය තැබුවා පමණි. එහෙත් ඇය රසික හදවතවල නම් ලැඟුම්ගෙන සිටියේ එහි පතුලේමය.

 

හරියට හොරු ගෙනගියා සේ පැමිණි මේ පුවත අපගේ හදවත් කීතු කීතු වලට ඉරා දැමීමට සමත් විය. එදින අලුයම් යාමයේ කමල් අද්දරආරච්චි විසින් පැදවූ රථයෙන්, රථය ධාවන වෙද්දීම ඇය එළියට පැන මේ මරණය සිදු වූ බවට වාර්තා වූවත් හරියටම සිදුවූ දෙය අදටත් අබිරහසකි. සිදු වූ දෙය හරියටම දන්නේ මූසල රාත්රියේ අහසේ තිබූ සඳත්, මිය ගිය ඇයත් සහ කමල් අද්දරආරච්චිත්ම පමණි.

 

රාත්රියේ පිපෙන කඩපුල් මලක් පරිද්දෙන් එක රැයකින්ම රසික හදවත් වල පිපී සේපාලිකා මලක් මෙන් සුවඳ විහිදුවා උදෑසන හිරු නැඟඑන්නටත් පෙරම මිලින වී ගිය සිහින කුමරිය රමණී බර්තෝලමියුස් , මේ පුංචි සටහන ඔබ වෙනුවෙනි. අද ඔබ ගැන කවුරුත් කතා නොකළත් එදා ඔබට ආදරය කළ රසික හදවත් තුළ ඔබ අදත් ජීවමානය. ලස්සන හා සුවඳැති මල් කලක් පවතින්නේ නැත. ඒවා සිහිනයෙන් මෙන් පැමිණ සිහිනෙන් ගෑ සුවඳ පමණක් සැමදාටම ඉතිරි කොට නෙපෙනී යන්නේය. එපමණකි.


 

ඇය නිසා ජනප්රිය වූ ආජුතපර ගීතයට ඇය රඟ පෑ දර්ශනය https://protect-eu.mimecast.com/s/5Zr_CJyl7U8557ptVYlni

6 comments:

  1. ඒ කාලේ අපිත් ඒ ගීතයට හරිම කැමැත්තෙන් හිටියා

    ReplyDelete
  2. ඒ කාලෙ අපිත් ඒ ගීතයට හරිම කැමැත්තෙන් හිටියා

    ReplyDelete
  3. ඒ දවස්වල අපි හදා ගත්තු, විස්ල් එකක් වගේ සංගීත භාණඩයක් තිබුනා, ස්ප්‍රින් කුඩයක නන හයිකරලා තියන ප්ලාස්ටික් රවුම ගලවලා අරන් ඒකේ උඩ් රවුම වටේට ඔතනවා සිගරට් පැකට් එකකින් ගත්තු ඊයම් කොලයක්.. ඒ භාණ්ඩෙන් සාර්තකවම වාදනය කරන්න පුළුවන් සිංදුවක් තමා මේ ආජු තපර ලාහිලා ගීතය.. අදටත් මට ඔය ගීතය ඇහෙද්දි ඒ භාණ්ඩය මතක් වෙනවා..

    මේ සිද්ධිය ලොකු හා හෝවක් ඇති කළා මතකයි ඒ කලේ...

    ReplyDelete
  4. // මෙම ගීතයේ පද මාලාව, සංගීතය හා ගායනයේ ඇති විශිෂ්ටතාවය ගැන කිසිදු විවාදයක් නැත. එය ඉතාමත්‍ම ඉහළය. එහෙත් මගේ විශ්වාසය නම් මේ ගීතය, එක රැයින් ජනප්‍රිය වීමට හා රසිකයා එය උන්මාදයෙන් වැළඳ ගැනීමට හේතුව නම් ඒ නවක නිළිය රමණී බර්තෝලමියුස්ම වූ බවයි//
    සහතික ඇත්ත චන්දන. මේ ගැන අලගු තියන්නට එකම වයසේ එකම බ්ලොග් සගය වන මට හැරෙන්නට වෙන කිසිවකුට හැකිද ? මා ඇයට කෙතරම් පෙම් කලේද යන්න පැහැදිලි වන්නේ මගේ පළමු පෙම්වතිය බොහෝදුරට මේ රුවට සමාන වූ නිසාය. මෙහි ඔබ සඳහන් නොකළ, එහෙත් ගම්බද අපේ සිත් ඇදගන්නට සමත් වූ අනෙක් කාරණය, ඇගේ ගැමි පෙනුමයි. ලංසි උපතක් තිබුණත්, ඇයට 100% සිංහල ගැමි පෙනුමක් තිබුණ බව ඔබ මා හා එකඟ වනු ඇති. ස්තුතියි මේ සටහනට. එය මා අතීතයේ සුන්දර මතක සමුදායකට ගෙන ගියා. ඒ වගේම රංජන් රාමනායක කළ එලි බැස්සෙත් මේ ටෙලි නාට්‍යයෙන් නේද ?

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. පටි රෝල් වුණක් කිව යුතුමයි. හිතෙන් ඇගේ පෙම්වතෙක් වුණ දහසක් දෙනා අතර මමත් එක්කෙනෙක්. ඇගේ මරණය මාවත් කම්පනය කලා. ඇගේ funeral එක දා රාත්‍රී 8.30 භාග්‍යා නැවත විකාශනය කලා. යූ ටියුබ් නොතිබුණ ඒ කාලයේ මට එය බැලිය යුතුම වුණා. ඒත් රාත්‍රී 7.30 ට පමණ ඉතා හදිසි රාජකාරී වැඩකට හික්කඩුවට යාමට සිදුවුණා. ඒ කොලඹ සිට. රියැදුරා පදවන විදිහට පැය ඒ වෙලාවේ පැය දෙකක් වත් යනවා. වාහනයේ සිටි අනික් අයගේ දැඩි අකමැත්ත පිට මමම වාහනය පැදෙව්වා. වැල්ලවත්ත හරියේ සිට හික්කඩුවේ හෝටලයට යාමට ගතවුණේ පැයකට අඩු කාලයක්. එවකට එතරම් පලල් නොවූ ගාළු පාරේ ගිය ඒගමන කීප දෙනෙකුගේ අවසන් ගමනත් වෙන්න තිබුණා. අනික් මඟීන් මට වඩා වයසින් වැඩි කෙනෙකුත් දමිල ජාතිකයෙකුත්, වයස් ගත රියැදුරාත් නිසා ඔවුන්ට එම නාට්‍ය ගැන හෝ මට එය බැලීමට ඇති අවශ්‍යතාවය වැදගත් වුණේ නැහැ. එදා සිට මම එම සමාගමෙන් ඉවත් වෙනතුරු එදා වාහනයේ සිටි කිසිකෙනෙක් මා පදවන වාහනයකට ගොඩ වුණේ නැහැ. එහෙත් භාග්‍යා පටන් ගැනීමට තේමා වාදනය යනවිට මම ටෙලිවිශන් එකක් ඉදිරිපිට.

    ඇය ගැන කියවන විට හෝ ඉඳ හිට අර ගීතය නලඹන විට සිත තාමන් සංවේදී වෙනවා.

    ReplyDelete