' සුමේද!"
සුමේද මට මුලින්ම හමු වූයේ මීට වසර තිස් පහකට පමණ පෙර හැත්තෑව දශකයෙ මැඳ භාගයේදීය. ' ඉනෝකා' නම් වූ නාගරික සංකර තරුණියගේ සහ ' හිමාලි' නම් වූ අහිංසක ගැමි යුවතියගේ ආදරය මැද අතරමං වූ සුමේදට මම එදා බෙහෙවින් ඇලුම් කළෙමි.
ඉන් බොහෝ කලක් ගත වූවද පසුගිය සතිය වනතුරු මට නැවතත් සුමේද කෙනෙකු හමු වූයේ නම් නැත. එහෙත් පසුගිය ඉරිදාවේ මට නැවත ඔහු හමු විය.
' සුමේද වෙත්තසිංහ' නම් වූ ඔහු ප්රංශයේ ජීවත් වූ අතර ලංකාවේ ' සුමේද හාඩ්වෙයාර් සමූහ ව්යපාරයේ' එකම හිමිකාරයාද විය.
එදා හැත්තෑව දශකයේ මට හමු වූ 'සුමේද' , සතුට චිත්රකතා පත්තරයට ජනක රත්නායකයන් විසින් නිර්මාණය කළ " පාට පාට හීනයක්" නම් වූ ඉතාමත්ම සුන්දර ආදර කථාවේ ප්රධාන චරිතය වූ අතර මට පසුගියදා හමු වූ සුමේද, මට මුහුණු පොතින් හමු වූ සුන්දර ලේඛකයකු වන මංජුල සේනාරත්න නම් වූ මගේ මිතුරා නිර්මාණය කළ " ජීවිතයෙන් මාස හයක්" නම් වූ ඔහුගේ සය වැනි නවකතාවේ ප්රධාන චරිතය විය.
මංජුලව මම මුලින්ම හඳුනා ගත්තේ ඔහු මුහුණු පොතේ පළ කළ අපූරු කෙටි කතාවක් කියැවීමෙනි. මීයකුට සිදුවූ සිද්ධියක් ඇසුරින් නිර්මාණය කර තිබූ එයින් මංජුලගේ උපකල්පන ශක්තිය හා කතා ගෙතීම පමණක් නොව එය පාඨක අවධානය ඇද බැඳ තබා ගන්නා ආකාරයෙන් ඉදිරිපත් කිරීමටද ඔහුට ඇති හැකියාව මට සපතකර වීය. ඉන් පසුව ඔහු ලියූ බල්ලකු සම්බන්ධ කතාව, හැපින්නකගේ කතාව හා ත්රස්තවාදී සංවිධානයකට සම්බන්ධ වූ බිරිඳකගේ කතාව මාව ගෙනගියේ අමුතුම ලොවකටය. මේවා කියවා අවසන්වන විට මටත් නොදැනීම මම ඔහුගේ රසිකයකු වී හමාරය.
" ජීවිතයෙන් මාස හයක්" වූ කලී මංජුලගේ සය වැනි නවකතාව වුවත් මට කියවන්නට අවස්ථාවක් ලැබුණු ඔහුගේ ප්රථම නවකතාවයි. ඒද , ප්රංශයේ ජීවත්වන ඔහු විසින් ලංඩනයේ ජීවත්වන මට තැපෑලෙන් මෙම පොත එවීමට තරම් කාරුණික වූ නිසාවෙනි.
පසු ගිය ඉරිදා උදා වූයේ සතර දිග්භාගයම කළු කරමින් මහා වැස්සක පෙර නිමිති පළ කරමිනි. වැඩි වේලාවක් නොගොස් නිමිති සඵල කරමින් එක දෙක වැහි බිඳු වැටීමෙන් ඇරඹුණු වැස්ස මොහොතින් මහා වැස්සකට පෙරළිණි. කාමරයේ ජනෙල් වීදුරු මතට සට සට ගා වැටෙන වැහිබිඳුද, මද අඳුර හා ගත සිත වෙව්ලවා හමා ගිය දැඬි සුළඟද මා ගෙන ගොස් නතර කළේ සයනයේ පෙරෝනය තුළය. බිරින්ඳෑ ආදරයද සමඟ කලතා සාදා දුන් තේ කෝප්පයෙන් සප්පායම් වී ඇඳට ගුලි වූ මම මංජුලගේ පොත අතට ගත්තේ පොතක් කියවීමට සුදුසු බාහිර හා අභ්යන්තර මෙවලම් සියල්ලකින්ම සන්නද්ධවය.
මුල් වදන් කියවා ඉන්පසු වචනයෙන් වචනය, වැකියෙන් වැකිය, ඡේදයෙන් ඡේදය හා පරිච්ඡේදයෙන් පරිච්ඡේදය වශයෙන් කියවීම ඇරඹි මේ පොත මටත් නොදැනීම මා ගෙන ගියේ සිහින ලොවකටය. වෙලාව ගතවනු මට දැනුණේ නැත. එකම ඉරියව්වෙන් මම පොතේ තුන් කාලක්ම එක හුස්මට කියවා අහවර කරන විට හවස පහ පහුවූවා පමණි. කුටුම්බ දිවියේ වගකීම් හා රැකියාවේ කැපකිරීම් නොතිබෙන්නට මට එදාම පොත කියවා අහවර කිරීමට හැකියාව තිබිණි. එහෙත් තව දින දෙකකින් එනම් පසුගිය අඟහරුවාදා සවස මම " ජීවිතයෙන් මාස හයක්" කියවා නිම කළෙමි.
පසු ගිය මාස කිහිපයේ, නිකොස් කසන්සාකිස්ගේ " සෝර්භා නම් ග්රීකයා", බ්රෑනෝ අර්පිට්ස්ගේ " වෘකයන් අතර නග්නව", ඇල්බෙයා කැමූගේ " අමුතුම මිනිහෙක්" හා පාවුලෝ කොයියෝගේ" මිනිත්තු එකොළහේ කතන්දරේ" ආදී විශ්ව සාහිත්යයේ මහා දාර්ශනික කෘති කියවමින් සිටි මට මංජුලගේ නව කතාව ඉස්මුරුතාව එනතුරු කෑම පුරවාගෙන සිටි කුසකට වැටුණු රසවත් මී කිරි හට්ටියක් මෙන් විය.
අපේම ජීවන සුවඳ විහිදුවමින් සරල බසින් එහෙත් ගැඹුරකින් යුතුව මංජුල ගොනු කර තිබූ කතාව එක හුස්මට කියැවීමට මා පෙළඹුණේ එහෙයිනි. එක වාක්යක් කියවූ පසු ඊළඟ වාක්‍ය කියවීමට පාඨකයා පෙළඹවන න්යායය මංජුලට හොඳින්ම පිහිටා ඇති බව මට වැටහුණේ ඔහුගේ ප්රථම කෙටි කතාව කියවද්දීමය. වරක් ප්රවීණ නවකතාකරු ජී බී සේනානායකයන් පැවසූ පරිදි ශූර නවකථා කාරයෙකුට , කථාවේ මුල සිට අවසානය දක්වාම පාඨකයාව කරින් අල්ලාගෙන රැගෙනයාමේ හැකියාව තිබිය යුතුය. එම ගුණය නම් මංජුලට නොඅඩුවම පිහිටා ඇතිබව මගේ හැඟීමයි.
සුමේද වෙත්තසිංහ, නිහාරා ජයවර්ධන , උපාලි රණවක, සේනක රාජපක්ෂ , ක්රිස්ටි සහ පස්කාල් නම් වූ ප්රංශ ජාතිකයා වටා ගෙතුණු ප්රංශයේදී සිදු වූ මෙම ප්රබන්ධය මදක් කියවාගෙන යද්දී මමත් එහි වෙසෙන ඔවුන් අතරම සිටිනා කෙනෙකු යැයි මට හැඟිණි. මම සිතින් ප්රංශයේ වීදි වල ඔවුන් සමඟ කරක් ගැහුවෙමි.
සුමේදගේ දිවියේ මාස හයක් තුළ සිදුවූ සිදුවීම් මාලාවක්, ත්රාසය, කුතුහලය සහ විමතිය පාඨකයා තුළ ජනිත කරවමින් ඇදී යන මෙම කතාව මුංජුලගේ ඉතාමත්ම සාර්ථක පරිකල්පනීය ව්යායාමයක් බව මගේ හැගීමයි. කොහොමටත් විද්යාත්මක සහ රහස්පරික්ෂක ගුණය තම කතා ඇතුළට බහාලීමට මංජුල සමත්ය. තවද එකම කතා නායකයෙකුගේ දෘෂ්ටියෙන් එසේත් නැතිනම් කෝනයකින්ම පමණක්ම කතාව ලියා පාඨකයාව වෙහෙසට සහ ඒකාකාරීබවට පත් නොකරන මංජුල බටහිර කථාවල එන පරිද්දෙන් එකම සිද්ධිය විවිධ පුද්ගල කෝණයන්ගෙන් පාඨකයා හමුවේ තැබීම, ඉතාමත්ම ප්රශංසනීයය. එමෙන්ම මාසයෙන් මාසය වෙන්කොට එය ලියා තිබූ ආකෘතියද පාඨක කියවීමේ කැමැත්ත වැඩිකරලීමට සමත්ය.
බොහෝ ධනාත්මක ලකුණු අතරේ වූ එක් සුළු දුර්වලකමක්ද මම දුටු අතර ඒ ගැන නොකියා සිටියහොත් මෙම විග්රහය අවංක නොවන අතර මෙය පවසන්නේ හුදෙක් මංජුලට ඇති ආදරය නිසාම බැව් පවසනු කැමැත්තෙමි. මේ පිළිබඳව මම මංජුලට දුරකථනයෙන් ඇමතූ මොහොතේද පවසා සිටියෙමි. එනම් සේනකගේ අභිරහස් මරණය විසදුණු ආකාරයයි. එම සිද්ධිය මීට වඩා විද්යානුකූලව හා වෘතීය මට්ටමින් ලියූවානම් හොඳ බව මගේ හැඟීමයි. ඔබ මේ පොත කියවූ විට සමහර විට ඔබටත් මේ ගැන සිතේවි.
ඒ කෙසේ වෙතත් මංජුලගේ " ජීවිතයෙන් මාස හයක්" කෙනෙකුට ඉතාමත්ම ආශාවෙන් , අවසානය දක්වාම ඊළඟට කුමක් සිදුවේද යන කුතුහලයෙන් යුක්තව කියවිය හැකි සහ පාඨකයා කිසිසේත්ම නොසිතනා ආකාරයේ අවසානයක්ද දැකිය හැකි ඉතාමත්ම සුන්දර නව කතාවක් බව අවසාන වශයෙන් පවසනු කැමැත්තෙමි.
කාලෙකින් බ්ලොග් කියවන්නට ආවා . උඹ ලියපු එක හොඳයි. පොතක් ගැන ඔත්තුවක් කියන්න්ව් වටිනා තෑග්ගක් .
ReplyDelete