පසුගිය
මාසයේ තාත්තාගෙ අවුරුද්දෙ දානයට ලංකාවට ගිය ඇසිල්ලේ නිකමට මෙන් පුවත්පතක සාහිත්‍ය අතිරේකය කියවද්දී මගේ ඇස ගැටුණේ අපූරු ලිපියකි. " සොයාගෙන කියවිය යුතු පොතක්" යන ශීර්ෂය යටතේ පළවූ එහි, එම පොත වශයෙන් සඳහන් වූයේ ආචාර්ය සෝමරත්න බාලසූරිය මහතා විසින් පරිවර්තනය කරන ලද " පිටස්තරයා" නම් වූ, නොබෙල් තාග්යයෙන් පිදුම් ලද ප්රංශ නවකතාකරුවකු වූ ඇල්බෙයා කැමූගේ මුල් ග්රන්ථයෙන් ඉංගිරිසියට පරිවර්තිත " The
Outsider" පොතේ
සිංහල පරිවර්තනයයි. ඇල්බෙයා කැමූ ගැන අසා තිබූ මට මෙම පොත කියැවීමට හදිසියේම උපන්නේ වහා සංසිදුවාගත යුතු වර්ගයේ දොළදුකකි. හනික ක්රියාත්මක වූ මම, ඇමතුමක් ගත්තේ මෙවන් දෙයකට ඇමතිය යුතුම ගණයේ මගේ මිත්රයෙකුටය.
ජයසිරි
අලවත්ත නම්වූ පොත් සම්බන්ධයෙන් ඔස්තාර් කෙනෙකු මෙන්ම විචාරකයකු, ලේඛකයකු හා කවියෙකුද වන මගේ මිතුරා මෙය ඇසූ සැනින්ම මට කියූවේ මෙබන්දකි.
" චන්දන,
මේ පොතේ සිංහල පරිවර්තන දෙකක් ආවා. එකක් තමයි ඔයා කියන මේ සෝමරත්න බාලසූරිය කරපු " පිටස්තරයා" පොත. හැබැයි ඒක ඉංග්රීසි පරිවර්තනයෙන් කරපු පරිවර්තනයක්. අනෙක් එක තමයි, ප්රංශ බසින් ලියැවුණු කැමූගේ පොතින්ම " අමුතුම මිනිහෙක්" නමින් පියසිරි විජයසේකර මහත්තයා කරපු පරිවර්තනය. එකම අවුල මම මේ දෙවැනියට කියාපු පොත දැන් මුද්රණයේ නැති එකයි." මෙහෙම කියපු ජයේ, මේ අන්තිම වාක්‍ය " නමුත් මම ඔයාට මගෙ ළඟ තියෙන මගේ කොපිය දෙන්නම්" යැයි පැවසුවේ මගේ ඉහේ මල් වත්තක්ම නිර්මාණය කරමින්.
කිව්
විලසින්ම මම ආපසු රටින් පිටවීමට දිනකට පෙර ඔහු මා හමුවීමට පැමිණියේ සෝමරත්න බාලසූරිය මහතා ලියූ " පිටස්තරයා" පොතත්, පියසිරි විජයසේකර මහතා ලියූ " අමුතුම මිනිහෙක්" පොතත් අතැතිවයි. මම ඒ දෙකින් තෝරාගත්තේ " අමුතුම මිනිහෙක්" පොතයි. ඒ තේරීම කෙතරම් නම් අගනේද කියා මට වැටහුණේ දින දෙක තුනක් ඇතුළත එම පොත කියවා හමාර කළ විටයි. බෙහොම සරල බසින් හා කතාවක් කියන සෛලයෙන් ලියා තිබූ මෙම පොත මගේ හදවත සොරා ගත්තේ කිසිදු අනුකම්පාවක් නොමැතිවයි. එමෙන්ම මද වශයෙන් පොත් කාවුන් විසින් කඩතොලු කරන ලද්දා වූ සහ පැරණි බව නිසාම අව පැහැ ගැහී තිබූ එහි පිටුවල වූයේ පැරණි පොත් සුවඳයි. ඒ සුවඳ මට සිහි කැඳවූයේ අතීතයේ මා කියැවූ පොත්වල මතකයයි.
" මර්සෝ"
නම් වූ පුද්ගලයකු වටා ගෙතී තිබූ මෙම කථාවේ මතුපිටින් පෙනෙන කතාවට වඩා ඉතා ගැඹුරු මානුෂීය අරුතක් ජනිතවන බව කතාව කියවාගෙන යාමේදී මට වැටහුණි. මර්සෝ සමාජයට ඕනෑ අන්දමට නොව තමන්ට රිසි අන්දමට ජීවත් වූ හා සමාජ සම්මතයෙන් පිට පැන තමන්ට හරියැයි කියා සිතෙන දෙය නොබියව හා පසුතැවීමකින් තොරව කළ අමුතුම මිනිසෙකි.
ඔහු
තමාගේම අම්මාව මහලු මඬමකට දැමීය. මර්සෝ එසේ කළේ ඇයට ඇති ආදරයේ අඩුකමකින් හෝ ඇයව නොසලකා හැර හෝ නොවේ. ඔහුට ඇයව රැකබලා ගැනීමට තිබූ අපහසුතාවය හේතුවෙනි. නිතරම රැකියාව සඳහා නිවසින් පිට වූ ඔහුට අම්මාව හොඳින් රැකබලා ගැනීමට මහලු මඬමකට යවනවා හැර කළ හැකි වූ වෙනයම්ම හෝ විකල්පයක් නොවීය.
සමාජය
මේ කළ ක්රියාවට දොස් කියූවත් එය මර්සෝට ප්රශ්නයක් නොවීය. එමෙන්ම අම්මාද පළමු දින කිහිපයේ මහලු මඬමට යෑම පිළිබඳව දුකින් සිටියත් කලක් ගතවෙත්ම තම සම වයසේ තමා මෙන්ම තනිවූ අනෙකුත් වයෝවෘධ මිනිසුන්ගේ සමාගමය නිසා සිය පුතු සමඟ වෙසෙනාවාටද වඩා ඉතාමත්ම සතුටින් හා සැහැල්ලුවෙන් ඇය එහි දිවි ගත කිරීම මර්සෝගේ සිතට ගෙනආවේ මහත් අස්වැසිල්ලකි.
එහෙත්
හදිසියේම මහලු මඬමින් ඔහුට එන්නේ අසුභ පුවතකි. එය මෙම පොතේ පළමු පරිච්ඡේදයේ කියැවෙන්නේ මෙලෙසිනි.
" අද...අම්මා මළා. මංදා .....බාගෙදා, ඊයෙද දන්නෙත් නෑ.මඩමෙන් මට " ටැලිග්රෑම්" එකක් එවාල තිබුණා. " මව ආණ්ත්රා වුණා. භූමදානය හෙට. අපේ සාතිශය සංවේගය" කියාලා. ඒකෙනෙනුත් මොන සම්ම ජාතියක්වත් තේරෙන්නෙ නැහැ. බාගෙදා....ඊයෙම වෙන්නැති." ( පිටුව 1)
මේ
ඡේදයෙන්ම ඔහු නම් අමුතුම මිනිහෙක් බව හැඟුණේ මවගේ වියෝව ඔහුට දැනුණු ආකාරයෙනි. ඉන්පසුව ඔහු ඒ මහළු මඩමට බසයකින් යන අයුරුත්, එදා පායා තිබූ අව්ව පිළිබඳවත් විස්තර කෙරුණු අතර මඩමේ අම්මාගේ මිනිය , කාමරයක තබා තිබූ අන්දම විස්තර කර තිබූ ආකාරය කියවීමේදී නම් මගේ සිත ගොස් නැවතුණේ අප පසුගියදා තාත්තා සිහි කොට දානය දුන් අනුරාධපුර, සාලියපුර මහලු මඩමේ මිනී තැබීමට තිබූ දුප්පත් කුඩා මෘත ශරීරාගාරයෙයි.
අම්මාගේ
මිනිය තබා තිබූ කාමරේ පිළිබඳව ඔහු විස්තර කළේ මෙලෙසිනි.
" ඒ
කාමර කෑල්ල පුරාම, හවස් ජාමේ කම්මුතු වෙන්න කලින් නෑවෙන ලස්සන ඉර- දියර පේළි නැටුවා. බමර ජෝඩුවක් වීදුරු ජනේලේ හැපි-හැපී බමර සර නැගුවා. මට නිකංම නින්ද යාගෙන එනවා වගේ දැනුණා. " ( පිටුව 6)
තම
මවගේ අවමඟුලේදීද මාර්සෝ හැසිරුණේ ඔහුට සාපේක්ෂව සාමාන්‍ය අයුරිනි. එහෙත් සෙසු ලෝකයාට එය අසාමාන්‍ය විය. එමෙන්ම ඔහුගේ දිවියේ සිටියේද ඉතාමත්ම සීමිත පිරිසකි. ඔහුගේ වැඩපොළේ ප්රධානියා, වැඩපොළේ මිතුරකු වූ එමෑනුවෙල්, කෑම කන කඩේ අයිතිකරු සෙලෙස්ත්, ඔහුගේ මිතුරිය(පෙම්වතිය), මරී සහ ඔහු නැවතී සිටි බිල්ඩිමේ අසල්වැසියන් වූ රෙමෝං සහ බල්ලකු සමඟ විසූ නාකි සල්මානෝ ඒ කිහපදෙනා වූහ.
මරී
ගැන ඔහුගේ කියවීම මෙසේ විය.
" ඈ
දැක්කාම නම් මටත් හරි ආසවක් හිතුණා. මොකද, ඈ අඳලා හිටියෙ ලස්සන රතු- සුදු ඉරි-ඉරි ගවුමකුයි, හම් පටි සපත්තු දෙහෙකුයි. දැක්කාම ඇහින්ම හිතා ගත්තෑක් ඇගේ තදේට දැනෙන පපු ජෝඩුව. ඉර අව්වෙන් දුඹුරු ගැහිච්චි ඇගේ මූණ හරියට මලක් වගේ. "(පිටුව 37)
මට
මාර්සෝගේ මේ ජීවන රටාව සහ ඔහුගේ ගති ස්වභාවය සැනෙකින්ම සිහියට ගෙනාවේ " විරාගයේ අරවින්ද ජයසේනවය" ලෝකයෙන්ම වෙන් වී තමන්ට හරි යැයි සිතුණු දිවි පෙවතක් ගෙවූ අරවින්ද ලෝකයාට පරාජිතයකු වූවත් ඔහුට අනුව ඔහු ජයගත්තකු විය. සියල්ල අතහැරියකු විය. කිසිම දෙයක් , කිසිම කෙනෙක් අපට කවදාකවත් හිමි නැති මේ ලෝකයේ අතහැරීම ප්රගුණ කළ හා එයින් සිත සතුටු කරගත් තැනැත්තා තරම් ජයග්රාහකයකු තවත් ඇතිද?
සිය
අසල්වාසියා, රෙමෝං නිසා මාර්සෝට මුහුණ පෑමට සිදුවූයේ සිහිනයෙන් හෝ නොසිතූ අභාගයකටය.
කොටස්
දෙකක් වශයෙන් ලියා ඇති මාර්සෝගේ කථාවේ, ප්රථම භාගයේ අවසාන ඡේදයෙන් කියැවෙන්නේ මෙසේය.
" එන්න
එන්නම මගේ කම්මුල් ගෙඩි දෙකත් එක්කම දන්න උණා. ඒ එක්කම දාඩිය බිංදු බිංදු ඇවිත් මගේ ඇහි බැම්මේ එකතු වෙන්න උණා. එදා ඉර අව්වත් හරියෝටම අම්මා භූමදානෙ කරපු දා පායපු ඉර අව්ව වගේයි. ඒත් එක්කම මගේ නළල රිද්දුම් කන්න උණා....
.
මට
පෙනුණෙ හරියට ආකාසේ මුළු කෝෂ පදාසෙම ඇරදාලා, ගිනි වැහි වෑස්සෙව්වා වගෙයි. මගේ මුළු සර්වාංගෙම ගල් ගැහුණා. මගේ අත තදින් රිවෝල්වරේ මිරිකා ගත්තා, කොකා බුරුල් කරා,මැදපු මිටේ සිනිඳු බඩවත දිගේ හිමින්ම අත යැව්වා. එතැන්දි තමයි, බොල් වියළි කන් බීරි කරවන මොරයක් දීගෙන සේරෝම සිද්දවෙන්න පටන් ගත්තෙ. බේරුණු දාඩිය බිංදුවලටයි, ඉර අව්වටයි මම ඔළුව ගැස්සුවා. මට තේරුණා, මෙච්චර වෙලාවක්ම රජ කරපු නිහඬ පාලනේ මගේ අතින් බිඳුණු විත්තිය, මාත් සන්තෝෂ උණු, මූදු වෙරළක කලාතුරකින් පවතින තාලෙ නිශ්ශබ්දතාවය බිඳුණු විත්තිය,ඒත් එක්කම, කිසිම හෙවිල්ලක්වත් නැතුව තිබිච්චි මනුස්ස ශරීරයකට මම තවත් හතර පාරක්ම කොකා ගැස්සුවා. වෙඩි උංඩ, කිසිම දැඟලිල්ලක් නොකර, ඒ කඳ පසා කරගෙන ගියා. ඒ වෙඩි පාරවල් හතර මට නං දැනුණෙ හරියට අවාසනාවට දොරට,තට තට ගා තට්ටු කරපු හතර පාරක් කියාලයි."(පිටුව 65)
පළමු
කොටස නිමවෙන්නේ මෙතැනිනි. ඉන්පසුව ඇරඹෙන ද්වීතීය භාගයෙන් මාර්සෝගේ නඩු විභාගය සහ ඔහුගේ සිරගෙදර ජීවිතය ගැන අපට දැන ගන්නට ලැබෙයි.
නඩු
විභාගයේදී පවා මාර්සෝ හැසිරෙන්නේ අමුතුම විඳිහකටය. නඩු විභාගය හෝ ඔහු මිනිසකු මරා ඇතිබව පිළිබඳව ඔහුට වගේ වගක් නැතිබව ඔහු සිතන ආකාරයෙන් සහ කියන දෙයින් පාඨකයාට ගම්‍ය වේ. මේ කොටස් කියවද්දී මට සිහිවුනේ බැද්දේගමේ " සිලිඳුය" . තමන්ට නොතේරෙන බසකින් තම ඉරණම තීරණය වෙද්දී සිලිඳු සිටියේ බැද්දේ සිටිනා කුළෙකු( මී හරකෙකු) ගැන සිතමිනි. තමන්ටම මොන මොනවදෝ මුමුණා ගනිමිනි.
මාර්සෝ
අමුතුම මිනිහෙක් බව අපට හැඟෙන තවත් යමක් නඩු විභාගයේදී ඔහු අතින් කියැවිණ. එනම් මෙම මිනී මැරීමට තමන්ට සිත් වූයේ එවෙලෙහි පැවති අව්ව බවයි. මෙවන් හේතුවක් කවරෙකු නම් පිළිගනීවිද?
තවද
මෙය අමුතුම අන්දමේ නඩු තීන්දුවක්ද විය. අවසනදී මාර්සෝව මිනී මැරීමට වරදකාරයා කරනු ලැබුවේ, ඔහු සිය මවගේ මරණයේදී කඳුළු නොසැලූ හේතුවෙනි. එමෙන්ම භූමදානයට පසුදා පෙම්වතිය සමඟ සිනමා පටයක් නරඹා ඉන්පසු රමනයේද යෙදුණු හේතුවෙනි. මේ හේතු මාර්සෝ පැවසූ පරිදි මිනී මැරීමට හේතුව එවෙලේ පැවති අව්ව යැයි කීම මෙනි යැයි මට සිතිණි.
එමෙන්ම
හිර ගෙදර ජීවිතයට මාර්සෝ හුරු වූයේද අමුතුම විදිහටය. දුම් නොබී සිටීම මුලදී අපහසු වූවත් කලකදී ඔහු එයට හුරු වූයේය. බිත්ති හතරකට මැදිවී පුංචි ඉඩක පැය 24ක් ගෙවීම කෙතරම් නම් අපහසු දැයි අප එය අත්හදා බලනකල්ම අපට නම් නොවැටහෙනු ඇත. ඔහු වැඩිපුර කාලයක් නිදා ගත්තේය. මුලදී ඔහුට එළියේ ඇති මුහුඳ, මුහුදු වෙරළ ගැන සිතිණි. සඳ පහන් රාත්රීන් ගැන සිතිණි. එහෙත් කල් යත්ම ඒවා සිතිවිලි වලට පමණක් සීමා කිරීමට ඔහු පුරුදු විය. ඔහු මෙසේ සිතා සිත සනසා ගත්තේය.
" මම
ඉන්නෙ වේලිච්චි ගස් බෙනේක නෙවි. මටත් වඩා අවාසනාවන්ත උදවිය ඉන්නවා. මේකත් ඇවිල්ලා අපේ අම්මා කියන කතාවක් වගේ තමයි. අම්මා නිතරෝම කියන එකක් තමයි, ඕනෑම දේකට අපි හුරු පුරුදු වෙනවාය කියන කතාව."( පිටුව 81)
" මට
නිතරෝම හිතිච්චි හිතුවිල්ලක් තමයි බැරි වෙලාවත් මට වේලිච්චි ගස් බෙනයක් ඇතුළේ ජීවත් වෙන්නෙයි කියාල නියෝග කරත්, වෙන කිසීම දෙයක් නොකර, මගේ ඉහට උඩින් ඇති ආකාශ තලේ දිහා විතරක්ම බලා ඉන්නෙයි කියාල විධාන දුන්නත්, ටිකෙන් ටික ඒකටත් මම හුරු පුරුදු වේවිය කියාල." ( පිටුව 81)
තවද
මාර්සෝ දෙවියන් විශ්වාස නොකළේය. හිර ගෙදරදී පාදිලි තුමකු සමඟ ඇතිවන සංවාදයන්ගෙන් මේ බව පාඨකයාට ඒත්තු යයි. පාදිලිතුමා මාර්සෝගෙන් අසන්නේ මෙසේය,
" මුන්නැහේට
එහෙම නං කිසිම බලාපොරොත්තුවක් ඇත්තෙ නැහැ? මුන්නැහෙ සහමුලින්ම මැරිල කම්මුතු වෙනවාය කියාල හිතාගෙනයි මුන්නැහෙ ජීවත් වෙන්නෙ? ඔව් මම( මාර්සෝ) උත්තර දුන්නා." ( පිටුව 130)
මාර්සෝ
විශ්වාස කළේ තමන්ම පමණි. ඔහු යථාර්ථයට මුහුණ දෙමින් ළඟ ළඟම එන තමන්ගේ මරණීය දංඩනයට නොබියව සූදානම් වූයේ එහෙයිනි.
" මරණයට
ඒ තරම්ම ලං වෙච්චි ඒ මොහොතෙදි , අම්මටත් දැනෙන්න ඇති ඔක්කෝම බරින් නිදහස් වුණා වගේ හෑල්ලු ගතියක්. ඒ වගේම හැම දෙයක්ම මුල ඉඳල පටන් ගන්න"( පිටුව 136)
අවසානයේදී
මාර්සෝ මෙසේ පවසන්නේය.
" මේ
හැම දෙයක්මත් අවසාන සම්භෝජනයකින් පරිසමාප්ත කිරීම උදෙසාත්, මාගේ තනිකම තුනීවීම සඳහාත්, මාගේ හිස ගසා දමනා දිනයේදී, කිසි අඩුවක් නැතුවහ එය නරඹන්නෝ පැමිණෙත්වා! ඒ සියල්ලෝම ගිනියම් වූ වෛරයකින් කෑගසනා වහසි බස්දාමයන්ගෙන් මාව පිළිගනු ලබත්වා!! යනුවෙන් ප්රාර්ථනා කිරීමට පමණයි මට ඉතුරු වෙලා තිවුණේ."( පිටුව 136)
මෙතැනින්
කතාව සමාප්ත වූවත් ඉතාමත්ම සරල බසින් ලියා තිබූ මෙම කථාවේ සාකච්ඡා වුණු මනසේ ක්රියාකාරිත්වයේ ගැඹුර නම් මගේ හදවතට එක් කළේ මහා බරකි. මාර්සෝ සියලු දේ සැහැල්ලුවට ගත්තද ඔහුගේ කතාව කියවන අපට දැනුණේ මහා ගැඹුරකි. විස්තර කළ නොහැකි චිත්ත ස්වභාවයකි. නොවිසඳුණු පැනයකි. තව තවත් සිතන්නට ඉතිරි වූ නොතේරෙන යමකි. ඇල්බෙයා කැමූගේ මෙම නව කථාවේ විශිෂ්ටත්වය හා "අමුත්ත" නම් මෙයයි.
චන්දන
ගුණසේකර
මම දන්නා විදියට මහාචාර්ය බාලසුරිය පරිවර්තනය කළෙත් ප්‍රංශ භාෂාවෙන් ලියැවුණු පොතයි.
ReplyDeleteහැලපයා සහෝදරයා මම හරියටම දන්නෙ නෑ. ජයසිරි කිව්වෙ එහෙමයි. හැබැයි ඒ කියපු දේ හරි කියලා හිතන්න සාක්ෂියක් බාලසූරිය මහත්තයා පරිවර්ථනය කළ පොතේ නමේම තියෙනවා. මුල් පොතේ ඉංග්‍රීසි පරිවර්ථනයේ නම Outsider ඉතිං පිටස්තරයා කියලා නම දැම්මෙ ඒ පොතින් ගත්තු නිසා වෙන්න බැරිද? කෙසේවෙතත් මගේ ලිපිය කියෙව්වාට ස්තූතියි සහෝදරයා! ජයෙන් ජය!!
Deleteඅරුත්බරයි, රසයි! ආයෙම කියවන්න හිතුණා. මගේ ළඟ තියෙන්නේ සෝමරත්න මහත්තයාගේ පොත; පිටස්තරයා.
ReplyDeleteකියවන්න. කියවන්න. එයයි මගේ ලිපියේ අරමුණත්. ඔබට ස්තූතියි! ජය!!
Deleteමම මේ පොත කියවලා නැහැ . ඔබේ ලියමන පොත කියවන්න ආසා කලා . ලංකාවට එන කෙනෙක් අත පොත ගෙන්වා ගන්න බලන් ඉන්නවා . දිගටම තවත් දේ ලියන්න . ඔබට ජය !
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ඔබට!!
Deleteමමත් ඔබ කියවූ පරිවර්තනය කියවා නෑ. පිටස්තරයා තමා කියවා තිබෙන්නේ.
ReplyDeleteOutsider - පිටස්තරයා
ReplyDeleteStranger - අමුතුම මිනිහෙක් නෙමෙයි ද?