Pages

Sunday 7 December 2014

කසුරි.....



මගේ මතකයේ හැටියට ඒ 1986 වර්ෂයයි. එක්තරා ඉරිදාවක දිවයින ඉරිදා සංග්රහයේ පළවූයේ අපූරැ ලිපියකි. ඊට දින කිහිපයකට ප්රථම පකිස්තානයේදී පකිස්තානුවන්ටම එරෙහිව තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ තරැණ ක්රිකට් ක්රීඩක අරවින්ද ද සිල්වා එම ලිපියේ කතා නායකයා විය.

ලිපිය ලියා තිබූ සුන්දර හා නැවුම් විලාසය එවේලේම මගේ සිත පැහැර ගැනීමට සමත් විය. ලිපිය ආරම්භ කොට තිබුණු අයුරැ මට අදටත් මතකය. ඒ අයුරින්ම ලිවීමට මතකය අවදි නොවූවත් එහි වූයේ මෙවැන්නකි.

" අරවින්ද කියූ සැණින් අපගේ මතකයට එන්නේ මඩෙන් ඉපැදී දියෙන් උඩට මතුවී බිඟුන් සනසන සහ බුදුන් පුදට ගන්නා නෙළුම් මලය."

"අනෙක් අරවින්ද නම් මාටින් වික්රමසිංහ සූරීන්ගේ විරාගයේ අරවින්දය. "

"මා කියන්නට යන්නේ මේ අරවින්දයන් දෙකම ගැන නොව තවත් අරවින්දයක් ගැනය."

මේ ආකාරයෙන්ම නොව විරාගයේ අරවින්ද හා නෙළුම ගැන කියා ඉතාමත්ම රසවත් අන්දමින් අරවින්ද ද සිල්වා ගැන රචකයා ලියා තිබුණි.

ඒ රචකයා නම් පසුගිය දිනෙක අප අතරින් සඳහටම සමුගත් කරැණාදාස සූරියආරච්චි නම්වූ අසහාය ලේඛකයාය. නැතිනම් අප කවුරැත් දන්නා කසුරිය.

කසුරිගේ අරවින්ද ගැන ලියූ ලිපියෙන් එතුමාගේ ලේඛන කලාවට පෙම් බැඳි මා එතුමා පුවත් පත්වලට ලියූ සෑම ලිපියක්ම අකුරක් නෑර මහත් කෑදර කමින් කියැවූයෙමි.

එතුමා ජෝතිපාලයන් ගැන ලියූ ලිපිය මට අදටත් මතකය. දැන් පිරිස් ජෝති වන්දනාවේ ගියද ජීවමාන ජෝතිට එකල මිනිසුන් ගැරවූහ. කසුරිගේ ලිපිය ඔවුනට මරැ පහරක් විය. 

ලිපිය ගැන පිරිස් වාද කළහ. වාදයට පිළිතුරැ වශයෙන් ජෝතිපාලයන්ම ඉතා නිහතමානීව "ඔවුන් ප්රබුද්ධ නම් අපි පීචං " යැයි ලියු තිබුණි. එයින් කිපුණු නිහාල් නෙල්සන් ඊට පසු සතියේ " ඔවුන් ප්රබුද්ධ නම් අපි සුප්රබුද්ධ" යැයි ලිවීය. මෙලෙස මහා වාදයකට හා ආන්දෝලනයකට තුඩු දුන් ලිපි රාශියක් එතුමා නිර්භයව ලියන ලදී.

1995 වසරේදී පොළොන්නරැවේ සේවය කළ රජයේ සේවකයන්ගේ හමුවකට සහභාගීවීමට මට භාග්යක් ලැබුණි. ඒ මාගේ බිරින්දෑගේ පියාණන් වූ පොළොන්නරැව දිසාපතිලෙස සේවය කළ ඤාණවිපුල මුණසිංහ මහතාට පිංසිදු වන්නටය. එදා ඒ හමුවට කසුරිද පැමිණ සිටියේය. එහි මෛත්රිපාල සිරිසේන මැතිතුමාද විය.

මගේ මාමංඩියගේ මාර්ගයෙන් මට කසුරි සමඟ කතා බහ කරන්නට අවස්ථාව ලැබුණි. බැඳපු වැව් මාළු කෑල්ලක් සමඟ පොල් අරක්කු වඩියක රස බලමින් ඒ සුන්දර රාත්රියේ අප දොඬමළු වූ අයුරැ මට අදත් සිහියට එයි. එතුමා ඉතාමත්ම නිහතමානී පුද්ගලයෙකු බව එදා මා තේරැම් ගතිමි.

පොළොන්නරැවේ ගුරැවරයෙකු ලෙස සේවය කොට පසුව විවිධ පුවත් පත් වල සේවය කළ එතුමා සියලුම වර්ගයේ ලිපි ලිවීය. ශාස්ත්රීය ලිපි,උපහාසාත්මක ලිපි,දේශපාලන ලිපි හා ක්රීඩා ලිපි ඒ අතර වැදගත් විය. කාහටත් තේරැම් යන සරල සුමට රසවත් බස් වහර සැම සිත් සතන් වශී කිරීමට සමත්විය.

සම්මානනීය නවකථා රාශියක්මද එතුමා විසින් ලියා පළ කරන ලදී. ඒ අතරින් බොහෝ පොත් රාජ්ය සම්මාණ සඳහාද නිර්දේශ විය.

ජීවත්ව සිටියදී එතුමාට හරිහැටි ඇගැයීමක් ලැබුනාදැයි මම නොදනිමි. එහෙත් පළමු අවමගුල් සංවත්සරයනම් මහා ඉහලින්ම පවත්වනු ලබන බව මම දනිමි. පුදුමයක්ද නැත. මොකද මේ ශ්රී ලංකාවය.

නිවසේ නාන කාමරයේදී ලෙස්සා වැටීමෙන් සිදුවූ හදිසි අනතුරකින් රෝහල් ගත කිරීමෙන් අනතුරැව අප හැරයද්දී එතුමා හැට හත් වන වියේ පසුවිය.

ලේඛන කලාවෙන් මෙතරම් රටට සේවය කල හා පුවත් පත් එතුමාගේ ලිපි වලින් ජනප්රිය කල එතුමා ගැන පුවත් පත් වල පළවූයේ ඉතාමත්ම අල්ප හා කුඩා ලිපිය. මේ ශ්රී ලංකාව නිසා මා පුදුම නොවිමි. 

තව ටික දිනකින් එතුමා සදහටම අමතකව යනු ඇත. 

එහෙත් සබඳ ඔබට ආදරය කළ අපගේ හදවත් තුළ ඔබ සැමදාම ජීවත්වනු ඇත.

ඔබ ගැන ගාමිණි සුමනසේනරයන් ලියූ කවියක අවසාන පදයත් සමඟින් මට සමුගන්නට අවසර.

" ඔබ අද ගියා අප සැම හෙට යන ගමන...."

කසුරි, අප යම් දිනෙක නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ ගමන්!!

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

8 comments:

  1. කසුරිත් අපිට නැති වුණා.................... මහින්ද අබේසුන්දරත් නැතිවුණා.......... දෙන්නාම මාධ්‍යවේදීන්................. ඒත් කසුරි ගැන තාමත් අපි කතා කරනවා............ මේකයි වෙනස...........

    ReplyDelete
  2. කසුරි කියන්නෙ අසහාය ලේඛකයෙක් ඒකෙ දෙකක් නෑ...නමුත් පසු කාලීනව සිළුමිණ පුවත් පතේ ප්‍රධාන කර්තෘ ලෙස රජතුමාගේ සට්ටැඹියෙක් වීම මත තමන් වැර වීරියෙන් උපයාගත් කීර්තිනාමය ඔහු විසින්ම කෙලෙසාගත්තා කියලයි මගේ අදහස...

    ReplyDelete
  3. කසුරිගෙ කොලම කියන ලිපිය දැක්කම ඉස්සර මට කියවෙන්නේ කසුරිගෙ කෝලම ලෙසයි

    ReplyDelete
  4. ලෝකේ පුරාම එකම තියරිය නෙව.. ඒක සාමාන්‍යයි..

    ReplyDelete
  5. කසුරු ලියන ශෛලිය හොදයි ඒත් මොකද මුල් කාලෙ වගේ කිසිම ප්‍රතිපත්තියක් නැති වුණ මනුස්සයෙක්. ඒ විතරක් යැ දේසපාලුවන්ට කඩේ යන්න හිටපු හොදම ඩෑල් එකක්... අනික අර අබේ සුන්දරය. අනේ මංද. අගය කල යුතු වුණත් වැඩක් නෑ අගය කරන්ට තරං දෙයක් නෑ
    විහිළුවට වගේ මෙන්න මේක කියවල එන්ටකො හිහි
    http://maathalan.blogspot.com/2014/12/christmas-in-hell.html

    ReplyDelete
  6. උඩ කට්ටිය කියන්නා වගේ කසුරි කියන්නේ අසහාය ලේඛකයෙක්. එතුමා ලියපු රතු ඉද්ද, නෑසෙන මානය වගේ පොත් මම තාව රසවිඳිනවා.
    එතුමාට නිවන් සුව පතමි !!

    ReplyDelete
  7. Mul kaledi kasuri hoda lekakayek.Namuth Kasuri,warthamana desapalakayangen kisisethma wenas ne,mokada Thama wasiyata eththa neththa rarala liwwa,Kasurigei Mahinda Abegei Haddagei wenasakne.

    ReplyDelete
  8. Kasurigei mahinda Abegei Hudsongei Kisi wenasak ne,Thamange wasiyata,Dena Dena Boru liwwa,Minissunta Apahasakala,(Mithureku ho neyaku nisa oba kiyana deta api hisa namanawa.

    ReplyDelete