Monday, 9 April 2018
අපේ මාමා, මුවන්පැලැස්ස සහ මැණිකේ....
හැත්තෑව දශකයේ අපට තිබූ එකම ශ්‍රව්‍ය මාධ්යවූ ගුවන් විදුලියේ සෑම සඳුදාවකම රාත්‍රී 8.30 ට ගුවන්ගත වූ " මුවන්පැලැස්ස" ගැන සිහිවද්දී ඒ සමඟම නිතැතින්ම මගේ මතකයට එන පුද්ගලයෙකු ඇත. ඔහු නම් මගේ මාමාය. අම්මාගේ පොඩි අයියා වූ මාමා ඉතාමත් පැහැපත් සමකට හා දිස්නෙ ගහනා කළුම කලු පැහැ කොණ්ඩයකට හිමිකම් කීවේය. එහෙයින් ගම්මු අපේ මාමාට " රතු මහත්තයා" යැයි කියූහ.
මම, මාමා විසූ මතුගම යටදොලවත්තේ ගෙවූ සෑම පාසල් නිවාඩු කාලයකම මාමා සමඟ මුවන් පැලැස්සට සවන් දීමට ඇබ්බැහි වී සිටියෙමි. මුවන්පැලැස්ස මට හඳුන්වා දුන්නේ මාමාය. දවස පුරා වත්තපිටියේ, කුඹුරේ හෝ රබර් වත්තේ වැඩ කළ මාමාගේ එකම විනෝදාංශය වූයේ මුවන්පැලැස්සට සවන් දීමත්, දිනපතා පුවත්පත කියවීමත් හා කටපුරා බුලත් විට හැපීමත් විය.
මට කාලෙකට පසුව අද මුවන්පැලැස්ස ගැන සිහිවූයේ එහි අප ආදරය කළ විශේෂිත චරිතයක් අපගෙන් සදහටම වෙන් වී ගිය පුවත සවන වැකීමෙනි. ඇය වෙන කවුරැන් හෝ නොව මුවන්පැලැස්සේ "මැණිකේය." මුවන්පැලැස්සේ කෝරළේ මහත්තයාගේ ප්‍රිය බිරින්දෑය. රත්නාවලී කැකුනවල මහත්මියය. ඇයගේ සැබෑ නමට වඩා එතුමිය රටේම ප්‍රසිද්ධ වූයේ මැණිකේ නමිනි.
නෝංජල් කෝරළේ මහත්තයා නමට ගම පාලනය කළත් ඔහුත් ඇතුළුව මුළු ගමම පාලනය කළේ මැණිකේය. මුළු ගමම බිය වූ " කදිරා" ටවත් ඇය බිය නොවූවාය. ගමේ චංඩියා, කදිරා වුවද ගරු කළ ගුරුන්නාන්සේ මාමාට පවා ඇය එකටෙක කීවාය. කෝරළේ මහත්තයාට දෙස් දෙවොල් තියා " අනෙ මගෙ කට" කියා ඇය නිතරම කියූ දෙබස් මට මේ දැනුත් ඇසෙන්නාක් වැනිය.
අසූව දශකයේදී මුවන්පැලැස්ස සිනමා පටයක් ලෙස තිරගත වූ නිසා මට මැණිකේ , එනම් රත්නාවලී කැකුනවල මහත්මියගේ පියවි ස්වරූපය දැක බලා ගත හැකිවිය. එමෙන්ම 1982 රූපවාහිනියේ ආගමනයත් සමඟම ඇය පුංචි තිරයේ ටෙලි නාට්‍ය වලද රඟ පෑ නිසා ඇයගේ මුහුණ කට අපට අමුත්තක් නොවීය.
එහෙත් ඇයට බොහෝ ආදරය කළ අපේ මාමාට ඒ අවස්ථාව නොලැබුණි. ඇස් පෙනීම ටිකෙන් ටික දුර්වල වී තිබුණු මාමාගේ දෑස් මේ කාලය වන විට සම්පූර්ණයෙන්ම වාගේ අන්ධභාවයට පත් වී තිබීම එයට හේතුව විය. එහෙයින් මාමාට එතුමිය දැක ගැනීමේ වාසනාව අහිමි වුවද එක අතකින් මාමා ඔවුන් නොදැක සිටීමෙන් යම් තරමින් වාසනාවන්තයකුද වූවායැයි දැන් මට සිතේ. ඒ මන්ද කතාව ඇසීමේදී මාමාගේ සිතේ ඔවුන් පිළිබඳව ඇඳි චිත්ත රූප එලෙසින්ම නොනැසී පැවතීමයි.
එහෙත් අද මැණිකේ අප අතර නැත. අපේ මාමාද මීට වසර කිහිපයකට උඩදී අප හැර ගියේය. තව කාලයකින් මුවන්පැලැස්සේ තව තව චරිතද අපෙන් වෙන් වී යනු ඇත. අප තවමත් ඒ පැරණි මතකයන්වල සුවඳ විඳිමින් ජීවත් වන්නෙමු. ඒත් ඒ නොගිහින් නොසිටිය හැකි "ගමන" යන්නට " ඇමතුම " එනතෙක් පමණකි. එතෙක් ආදරණීය මැණිකේ, රත්නාවලී කැකුනවල මැතිණියනි ඔබට සුබ ගමන් කියා පතන්නට මට අවසර.
චන්දන ගුණසේකර
නාමල් ජයසිංහ සහෝදරයා වෙත සෙනෙහසින් ලියමි......
අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ මිනිසුන්ට ආදරය කළ හා පීඩිත පංතිය වෙනුවෙන් කතා කළ වරඳට, පාලකයන් වෙතින් මරණීය දඬුවමින් සංග්‍රහ ලැබූ තවත් එක් උතුම් මිනිසකුගේ නික්ම යාම සිහිපත් කරමිනි. දෛවයේ සරදමකටදෝ මේ සති අන්තයේම කලකට පසු මා ඉතාමත්ම ආශාවෙන්, ඕනෑකමකින් හා සෙනෙහසින් නැරඹූ " සහෝදරයා" ටෙලි වෘතාන්තයේ නික්ම යාමද සිදුවූයේ මගේ හදවතට මහා බරක්, තනිකමක් මෙන්ම හිස් තැනක්ද එක් කර දෙමිනි.
සෙනසුරාදාවේ නොසිතූ ලෙස සිදුවූ " උත්තරා දේවියගේ" නික්මයාම කුණාටුවක් ලෙසින් පැමිණ පාස්කු ඉරිඳාවේ සිදුවූ " අජන්තගේ" නික්මයාමත් සමඟම මහා සුනාමියක් බවට පෙරළිණි.
70 දශකයේදී පුංචි කොළුවකු විලස " සතුට" චිත්‍ර කතා පත්තරය කියවීමට අඟහරුවාදා වෙනතුරු ඇඟිලි ගනිමින් නොඉවසිල්ලෙන් සිටියේ යම් සේද, 80 දශකයේ යොවුන් වියේ ගැටවරයකු ලෙස " රොබින් හුඩ් හා කුන්ෆූ" නැරඹීමට සෙනසුරාදා වනතුරු නොඉවසිල්ලෙන් සිටියේ යම්සේද මම අද මැදිවියේ පසුවන්නකු විලස " සහෝදරයා" ටෙලි නාටකය නැරඹීමට සති අන්තය එනතුරු පෙරුම් පුරමින් සිටියෙමි.
" සහෝදරයා" ගැන මා යමක් ලිවීමට සිතා සිටියේ බොහෝ කලක සිටය. එම සටහන භාගයක් පමණ ලියා අවසන් කොටද තිබිණි. එහෙත් මෙතරම් ඉක්මනින් " සහෝදරයා" අපගෙන් නික්ම යතැයි නම් කිසිසේත්ම නොසිතුවෙමි. එහෙයින් දැන් ඒ සටහනින් ඇති පලක් නැත. හදිසියේ ඇතිවූ කම්පනයත් සමඟින්ම මට මේ නව සටහන අකුරු කරන්නට අවසර ඉල්ලමි.
උත්තරා දේවී සමුගනිද්දී අජන්ත සේම අපද දුක් වුණෙමු. හදවත කඩා හැළුණේ නොසිතූ පරිද්දෙනි. අජන්තගේ සිතේ උත්තරාට තිබූ ඒ උත්තරීතර අධ්‍යාත්මික ප්‍රේමයට අපිත් පෙම් බැන්දෙමු. උත්තරාදේවියට පණ දුන් කලණි දොඩංතැන්න එම චරිතය අපේ හදවත් තුළ ජීවමානව ලැඟුම් ගන්වා තිබිණි. ඇය දෙතොල තදින් පියවා දෑසින් පාන මදහසට අප වශී වුණෙමු. දෙමළ උරැවට ඇය කතා කළ සිංහල, දෙසවනට ගෙනආවේ අමුතුම හැඟීමකි. ඇයගේ ගමන් විලාසය , අංග චලනය, සිනහව සහ රූප සොබාව රසික හදවත් කුල්මත් කිරීමට සමත් විය.
මට උත්තරාදේවිය දකිනවිට 80 දශකයේදී අප තදින්ම ඇලුම් කළ තවත් නිළියක් සිහියට එන්නේ නිතැතිනි. රූපයෙන් දෙදෙනාගේ සමාන කමක් නැතත් කුමක්දෝ සැඟවුණු දෙයක්, විස්තර කිරීමට අපහසු කාන්තියක් දෙදෙනාටම තිබිණි. ඇය වෙන කවුරුන් හෝ නොව අචලා අලස්ය. ඇයගේ ලේ පිරී පිම්බුණු දෙතොල සහ අඩන්වූ සරාගී නෙතු යුඟ එදා ගැටවර වියේ පසුවූ අපව ගෙන ගියේ වෙනමම ලොවකටය. එපමණක්ද ? ඇයගේ අමුතුම තාලයකට වූ කතා විලාසය තව තවත් සරාගී හැඟුම් අප තුළ පුබුදුවාලීමට සමත් විය. කොහොමටත් වෙනත් භාෂාවක් තම මව් භාෂාව වනවිට සිංහල බස හසුරුවද්දී දෙසවනට දැනෙන්නේ අමුතුම වින්දනයකි. එදා ගැටවර වියේ පසුවූ අපගේ කුටිවල බිත්ති ඇයගේ පෝස්ටරයකින් සැරසුණේ අපගේ මනෝ රාජ්‍යවල රාජිණිය විලසිනි.
මේ උත්තරා දේවියගේ බාහිර ස්වභාවය මට පෙනුණු හැටිය. එපමණක්ද ඇයගේ තාත්වික රංගනයද එයට එක්කළේ මනා හැඩයකි. මහා ආලෝකයකි. ඇය නුදුරු අනාගතයේදීම සිනමාවට, ටෙලි නාට්‍යට නැතිවම බැරි නිළියක වන බව ඒකාන්තය.
මෙහිදී මාධ්‍යවේදී රජීවට පණ පොවන තුමිඳු දොඩංතැන්න, උත්තරාදේවියගේ එනම් කලණිගේ සැබෑ දිවියේද ස්වාමි පුරුෂයා වීම විශේෂත්වයකි. මේ දිනවලම විකාශනය වූ හා අතිශය රසික ප්‍රසාදයට පාත්රවූ " කූඹියෝ" ටෙලි නාට්‍යයෙන් තුමිඳුට ලැබුණු විසල් ජනප්‍රියතාවය, " සහෝදරයා" හී ඔහුගේ භූමිකාවට සහන් එළියක් වූ බව නොකියාම බැරිය.
" සහෝදරයා " හි ප්‍රධාන භූමිකාව වන අජන්තට ජීවය දෙන රෝෂාන් රවින්ද්‍රට කලකට පසුව ඔහුගේ සැබෑ රංග ප්‍රතිභාව ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලැබී ඇති බව මගේ විශ්වාසයයි. අසාර්ථක " ගුරු ගීතය" සිනමා පටයෙන් නන්නත්තාර කරවූ ඔහුගේ රංගන දිවිය " ඇඩ්රස් නෑ" සිනමා පටයෙන් මඳක් පණ ගැහී ආ අතර " සහෝදරයා" හී රංගනය එහි කූටප්ප්රාප්තිය වන්නේය. අප " අජන්තට " පෙම් බැන්ඳේත් අපි ඔහු තුළ ජීවත් වූයේත් එහෙයිනි.
තමන්ගේ සැබෑ වයසට වඩා වයසැති වයෝවෘධ අල්සයිමස් රෝගයෙන් පෙළෙන රජීවගේ මවගේ චරිතය ජීවමාන කරණ චාන්දනී සෙනවිරත්නගේ රංගනයන් ගැන කුමන නම් අටුවා ටිකාද? එදා අසූව දශකයේ මුල භාගයේ සෝමලතා සුබසිංහයන්ගේ " විකෘති" වේදිකා නාට්‍යයෙන් රසිකයන්ගේ හද බැඳගත් ඇය දිනෙන් දින ඔප මට්ටම් වෙමින් ප්‍රතිභා කිරණ විහිදුවේ මඳින් මඳ කැපී ඔප මට්ටම් වන මැණිකක් විලසිනි. බුමුතුරුනු නාට්‍යයේ ඇයගේ රංගනය කෙලෙසනම් අමතක කරන්නද?
ධර්මප්‍රිය ඩයස්, ජගත් මනුවර්ණ, උදේන් අල්විස් හා ක්ෂේවියර් ගේ රංගනයන් ඉතාමත්ම තාත්විකය. එළකිරි වගේය. එමෙන්ම අජන්තගේ පෙම්වතිය සහ රජීවගේ සොයුරියගේද රංගන කෞෂල්‍ය අතිශයම තාත්විකය. ප්‍රභලය.
මෙහි පසුබිම් සංගීතය සපයන කසුන් කල්හාරයන් ගැන මම මොනවා කියන්නද? එතරම්ම විශිෂඨය. ඒ සංගීතයෙන් නාට්‍යට ලැබෙන්නේ විසල් ජවයකි. ආලෝකයකි.
රූප රාමුවෙන් රූප රාමුවට ප්‍රේක්ෂක දෑස් මුදාගත නොහැකි වන අයුරින් යොදාගෙ තිබූ ආලෝක පරිපාලනය, කැමරා කෝණ සහ රූපක භාවිතය අතිවිශිෂ්ටය. සොහොනේ දර්ශන බටහිර චිත්‍රපටයක දර්ශනයන්ට වඩා තාත්විකය. ප්‍රභලය. මම සිනමාවේ හෝ කැමරා අධ්යක්ෂණයෙ නිපුනයෙකු නොවෙමි. එහෙත් මට විඳින්නට හැකිය. සිනමාපට බොහෝ නරඹා ඇත්තෙමි. මා මේ පැවසුවේ ප්‍රේක්ෂකයෙකුට දැනෙන , හැඟෙන දේය.
ඈතින් ඇසෙන බල්ලකුගේ බිරීම් හඬ මා ගෙන ගියේ 88 -89 භීෂණ යුගයේ අප නින්දත් නොනින්දත් අතර මරණ බියේ පහන් කළ ඒ කාලකණ්ණි, මූසල රාත්රීන්ටය. පරෙවියන්ගේ හඬ හා ජනෙල් පඩිය උඩ ඇති පැද්දෙන සෙල්ලම් බඩුවේ හඬවල් යොදාගෙන තිබූ ආකාරය ඉතාමත්ම කාලානුරෑපීය. යෝග්‍යයය. ඒවා රූපරාමු හා බදධ වූයේ ගසට පොත්ත මෙනි. ආලෝකකරණයෙන් පෝසත් හා අනර්ඝ කැමරා කෝණයන්ගෙන් යුතු එම දර්ශන දකිද්දී මට හැඟුණේ මෙම දර්ශන අති විශාල රිදී තිරයට ඔබින බවයි. එපමණකට ඒවා හැම අතින්ම පෝසත් විය. දෑස මඳකට හෝ ඉවතට ගැනීමට අපට නොහැකි වූයේ එහෙයිනි. එහි තිබූ හැම අංගයක්ම අප දෑසින් උරා බීවෙමු.
මෙම රූප රාමු වල ඇති පිරිපුන් බව සමඟ තවත් රූපවාහිනියේ බොහෝවිට විකාශනය වන වෙනත් කසිකබල් නාට්‍යක රූප රාමුවල ඇති සුන් බව සැසදීමට මම එක උදාහරණයක් ඔබ වෙත ගෙන එන්නම්. මගේ ප්‍රිය බිරිඳ කෑම පිසින්නේ එවැනි නාට්‍යක් ඇයගේ ජංගම දුරකථනයේ ක්‍රියාත්මක කොටගෙන දුරකතනය පසෙකින් තබාගෙනය. . උයන ගමන් ඇය සවන්දෙන්නේ එහි දෙබස්වලට පමණි. රූප රාමු බැලුවත් නැතත් එහි ඇති විශේෂත්වයක් නැත. සතියේ දින පහේ කොටස් පහට සවන් දී අවසන්වන විට ඇය බතකුත් ව්‍යාංජන හතර පහකුත් පිස හමාරය. මෙය බහුතරයකගේ අත්දැකීමකි.
මේසා විශාල පෙළහරක් පෑ මේ නාටකයේ අධ්‍යක්ෂකවරයා කවුද? ඔහු නමින් නාමල් ජයසිංහ නම් වන්නේය. " ඉර මැඳියම " සිනමා පටයේ පුංචි හමුදා සෙබළ ගැටයාට පණ පෙවූ ඒ පුංචි කොලුවාද මේ? මගේ මතකය මීට දෙවසරකට පමණ ඉහතදී මා ලංඩනයේදී නැරඹූ " තණ්හා, රතී, රඟා" සිනමා පටය කරා දිව යයි. එහි අධ්‍යක්ෂකවරයා වූයේ අප කවුරුත් දන්නා නිලේන්ද්‍ර දේශප්‍රිය වූ අතර රඟ පෑ නළු නිළියන් බහුතරයක්ද මා දන්නා , දැක පුරුදු අය වූහ. ඒ අතර මෙම අපූරු කතා වස්තුවේ ප්‍රධාන චරිත ත්‍රිත්වය වූ මිතුරන් තිදෙනාගෙන් දෙදෙනකුම මා ඉතාමත්ම තදින් ප්‍රිය කළ ප්‍රතිභාපූර්ණ නළුවන් වීම මගේ සිතට ගෙනආවේ සොම්නසකි. ඒ සරත් කොතලාවල හා කුමාර තිරිමධුරයි. එහෙත් ඔවුන් ත්‍රිත්වයේ තෙවැනි මිතුරාව මා මීට පෙර දැක තිබුණේ නැත. එහෙත් ඔහුගේ ජවසම්පන්න රංගනය හා තිරයටම ඔබින ගැඹුරැ කට හඬ ( Screen Voice) මගේ හදපත්ලටම වැදනි. මට සිහියට නැගුණෙ යෙවුන් කලංසූරියවය. ඔහුගේ දඩි බිඩි රංගණයය. මම සිනමා පටය අවසානයේ මගේ මිතුරන් සමඟ මේ යොවුන් නළු පැටියා ගැන කතා කළා මතකය. එහෙත් ඔහු කවුදැයි කියා සොයා බැලීම නම් මට අතපසු විය.
මෙලෙස කාලය ගත වෙද්දී පුංචි තිරයේ විකාශනය වූ " අප්පච්චී" නම්වූ ටෙලි කාටකයක් යූ ටියුබයේ තිබී අහම්බෙන් මගේ නෙත ගැටිණි. ජැක්සන් ඇන්තනී රංගදරයාට මගේ ඇති අසීමිත කැමැත්ත නිසාම එය නැරඹීමට පටන් ගතිමි. කොටස් කිහිපයක් නැරඹීමෙන්ම එහි නව රසයක් හා වර්ණයක් තැවරී ඇති බව මට හැඟිණි. එහෙත් ඒ දිනවල දිවියේ ඇතිවූ අවීවේකී බව නිසා කොටස් කිහිපයක් නැරඹීමෙන් අනතුරුව එය මගෙන් ගිලිහිණි. කාලය නොනැවතී ගලා ගිය අතර ජැක්සන්ගේ පුතා රඟපෑ " බොහීමියානුවා" නමින් විකාශනය වූ තවත් ටෙලි නාටකයක් දෙස මගේ ඉව වැටිණි. යූටියුබයෙන් එහි කොටස් 51 ම සොයා ගත් මම දින දෙකක් ඇතුළත එය නරඹා නිම කළෙමි. එහි තිරපිටපත ලියා තිබුණේ මේ සටහනේ අපේ කතා නායකයා වන නාමල් ජයසිංහයන්මය. ඒ දෙබස් අතිශය සුන්දර, ගැඹුරු හා ජීවිත පාඩම් විය.
එහෙයින් මෙහිදී " සහෝදරය" හී නාමල් ජයසිංහයන් යොදාගෙන තිබූ දෙබස් ගැන නොකියාම බැරිය. එකල අප ටයි මහත්තයාට පිං සිදුවන්නට " රොබින් හුඩ්" , " කුන්ෆු" හා " ඔෂීන්" වැනි පිටරට කථාවල තිබූ සරු දෙබස්වල සැබෑ සාරය සිංහලෙන්ම විඳ ගන්නට සමත් වුණෙමු. අපි වචනයක් නෑර ඒවා කියවා ගත්තේ එහෙයිනි. " කුන්ෆු" කථාවේ ශැවොලින් පංසලේ ප්‍රධාන පූජක තැන පුංචි තණකොළ පෙත්තාට( කුන්ෆුගේ ළමාවියේ සුරතල් නාමය) දෙන මසුරං වටිනා ඔවදන් අප දෑස මදකට හෝ ඉවතට නොගෙන කියවා ගතිමු. එවා දිවිය සරසවන , දිවිය සනසවන අමා ඔසු මෙන් විය. " සහෝදරයා" හී දෙබස්ද එසේමය. වචනයක් හෝ අහක දැමිය නොහැක. නාමල්ගේ සුරත ඉඹගෙන ඉඹගෙන යන්නට සිතෙන්නේ එහෙයිනි. නාමල් " බොහීමියානුවා" හා " අප්පචිචී" වැනි ඔහුගේ නාට්‍ය වලද මෙවැනි අර්ථපූර්ණ දෙබස් යොදාගෙන තිබිණි. එහෙත් එදා ඒවා කොතරම් දුරට ප්‍රේක්ෂකයා වැළඳ ගත්තේද යන්න පිළිබඳව ඇත්තේ ගැටලුවකි. එහෙත් අද ලකාගේ " කූඹියෝ" තුළින් වෙනම මඟකට යොමු කළ ප්‍රේක්ෂක ඔළු ගෙඩි " සහෝදරයා" හී දෙබස් ජීර්ණය කර ගැනීමට පොහොසත්වී සිටියහ. හුරු වී වුන්හ.
එහෙත් ඒ හැම දැන් අවසානය. ඇත්තේ රික්තකයකි. ප්‍රේක්ෂක මනස් අයාලයේ යෑමට මේ රික්තකය නැවතත් උත්සුකවනු ඇත. එහෙයින් " සහෝදරයා" වැනි අංගසම්පූර්ණ හා අර්ථපූර්ණ නාට්‍ය හා සිනමාපට අපට තව තවත් උවමනාය. ඒවා කිරීමට හැකියාව හා ප්‍රතිභාව ඇති නාමල් ජයසිංහ වැනි දක්ෂයින් අපට සිටීම අපේ භාග්‍යකි. අවශ්‍ය වන්නේ ඔවුනට ක්‍රියාත්මක වීමට අවැසි මූල්‍ය දායකත්වය හා යහපත් වාතාවරණය පමණි. මෙලෙස මිනිසුන් කලාවෙන් පෝෂණය වන විට ඒ සඳහා සහය නිරතුරුවම ගලා එනු ඇත. මිනිසුන් දැනුවත් වනු ඇත. එවිට අපට හැත්තෑවේ දශකය වන් ස්වර්ණම යුඟයක් නැවතත් ඇතිකර ගැනීමට හැකිවීම කලාවට ළැඳි අපගේ සිහිනයක් පමණක් නොවී සැබෑවක්ම වනු ඇති බව නම් ඒකාන්තය.
චන්දන ගුණසේකර
Thursday, 29 March 2018
දැන් දැන් අපේ සමකාලීනයොත් යන්න අරගෙන....
87 වසරේ උසස් පෙළ කරල 88-89 ඒ අඳුරු භීෂණයෙන් යන්තන් පණ කෙන්ද බේරගෙන අපි සරසවියට ගියෙ 1990 වසරෙ වසන්ත සමයෙ. රටේ ඇතිවෙච්චි කලබගෑනි, ජන සංහාර, මිනී කඳු සහ මළමිනී පිච්චුණු පුළුටු ගඳින් අපවිත්‍ර වෙච්චි වාතාශ්‍රයක් ගැන ගානක්වත් නැති ගානට වෙනදා වගේම මලින් බර වුණු තුරු ලතා පේරාදෙණිය සරසවියට වසන්තය උදා කරල තිබුණෙ අපව පිළිගන්න. ඒත් හදවත්වල කීරි ගැහිලා එහිම මිඳිල තිබුණු බය හා සංත්රාසය නම් හැම නවක මුහුණකම ඉතාමත්ම හොඳින්ම පිළිඹිබු වුණා.
ගෙවල් වලටම හිරවෙලා ඉඳලා අපි වගේම යන්තන් පණ කෙන්ද බේරගත්තු ජේෂ්ඨ උත්තමයොත් ඔවුන්ගෙ සිත්වල පිරිලා තිබුණු ආතතිය පිටකර ගත්තෙ අපට වඳ දීලා. ඊටත් හපන් වුණා කඩ්ඩ බැරි කම. පණ යනකල් සිංහලෙන්ම ඉගෙන ගෙන සරසවියෙදි ඉංගිරිසියට මාරු වන එක පිටිසර පළාත් වල පුංචි පාසල් වලින් ආපු සිසුන්ට තවත් මහ ගිරි දුර්ගයක්ම වුණා.
නවක වඳයත්, ඉංග්‍රීසි බැරිකමත් නිසා අපේ බැචෙකුට පාඨමාලාවෙ මුලදිම ජීවිතය එපා වුණා. කෑගල්ල ප්‍රදේශයෙන් සරසවියට පැමිණි ඔහු ඉංජිනේරු පීඨය පිටුපසින් පැණිදෙනිය හරහා දුවන රේල්ළුවට බෙල්ල තිබ්බෙ සැනසීමක් පතාගෙන. ඒ තමයි අපේ බැච් එකෙන් ඩැහැගත්තු මාරයගෙ ප්‍රථම බිල්ල.
ඊට පස්සෙ හැල හැප්පීම් මැඳින් ගලා ගිය අපි යන්තම් 1994 සරසවියෙන් පිටවුණා. රට තොටේ සහ ලෝකය පුරා විසිර ගිය අපි හැම වසරකම හමු වුවත් එංගලන්තයට පදිංචිය සඳහා ගිය මට ඒ හැම අවස්ථාවම අහිමි වුණා.
මෙහෙම කාලය ගත වෙද්දි අපේ බැචාලා සහ බැචීලා හොඳ හොඳ රැකියා එහෙම සොයාගෙන පවුල් පංසල් වෙලා සාම්ප්‍රදායික දිවි පෙවෙත්වලට ගාල් වෙලා ජීවන ගමන යන්න පටන් අරගෙනයි තිබුණෙ.
ඒත් මීට වසර 4කට විතර ඉස්සර මාරයා නැවතත් අපේ බැච් එක දිහාවට දත් විලිස්සගෙන කෙළ හලන්නට පටන් ගත්තෙ තවත් බිල්ලක් ඕනෙ වෙලා.මේ සැරේ බිල්ල වුණේ විජේපාල.
විජේපාලයා ඉතාම සුන්දර සුහදශීලී පුද්ගලයෙක්. ජීවන් කුමාරතුංග වගේ ලස්සනට කොණ්ඩෙ වවල ෆුල් කිට මරාගෙන තමයි ඌ නිතරම හිටියෙ. ඒත් තිබුණු එකම අඩු පාඩුව තමයි හැමදාම හවසට කණ පැලෙන්න ගහල බඹර පදමින් ඉන්න එක. අපිත් කෑවා බිව්වා තමයි. ඒත් විජේපාලයට සීමාවක් තිබුණෙ නෑ . අපි හැන්දෑවට කාලා ඉවර වෙලා ටීවී බල බලඉන්නකොට තමයි බොහෝ වෙලාවට ලතාවකට පැද්දෙමින් විජේ අක්බර් හෝල් එකට ආවෙ. කැන්ටිමේ මුඳලාලි බෙදලා වහල ඌට අරන් තියන බත් එක කෑවේ හොඳ පදමට වැදිලා ඇඳුම් වත් මාරු නොකර.
මේ චරියාවෙ ප්රතිඵලයකින්ද කොහෙද විජේපාලගේ අක්මාව නරක් වුණා. ඉන්දියාවෙ සිදුකරපු අක්මා බද්ධකිරීමේ සැත්කමට යන්න කලින් එකම එක වතාවක් මට ඌට දුරකථනයෙන් කතා කරන්න අවස්ථාව ලැබුණා.ජීවිතය ගැන බොහොම බලාපොරොත්තු ඇතිව එදා කතා කළත් , සැත්කමට ලෑස්ති වුණත් විජේපාල සැත්කමින් පස්සේ ආයිත් ලංකාවට ආවෙ නෑ. දරැවොයි බිරිඳයි තනි වුණා.විජේට එතකොට වයස 45 ක් 46 ක් වෙන්න ඇති.ඒ තමයි මාරයා ගත්තු දෙවැනි බිල්ල.
මෙහෙම කාලය ගත වෙද්දි තමයි අපේ බැච් එකට මාතලෙන් ආපු ජයසුන්දරගෙ වකුගඩු දෙකම නරක් වෙලා කියන දුක්බර ආරංචිය අපට ආවේ.අපි හැමෝම එකතු වෙලා මේ වෙලාවෙත් විජේපාලට කළා වගේ අරමුඳලක් එකතු කරල සහන සලසන්න පියවර ගත්තා. ඒත් පසුගිය සතියේ තුන්වෙනි වතාවටත් මාරය ජයගත්තා. තුන්වැනි බිල්ලත් ගත්තා.
1990 වසරෙ නවක වධය හොඳටම දරුනු සහ නරක විදිහට ක්‍රියාත්මක වුණු අක්බාර් හෝල් එකේ එක්තරා අඳුරු රැයක මා ඇතුළු තවත් නවකයින් කිහිප දෙනෙකුවම කාමරයකට ගාල් කළ ජෞෂ්ඨ සිසුන් පිරිසක් අපට බොහෝ සේ වඳ දුන්නා. ෆුල් කිට් එක ගහල( නවක වඳය දීපු සහ විඳපු අය දන්නවා "කිට් එක ගහනව " කියන්නෙ මොකක්ද කියල) අපි එදා ජෞෂ්ඨයන්ගෙ අණට කීකරු වෙලා සිංහ ගමන, ඇත් ගමන ගියා. පණ යනකල් ඩිප්ස් ගැහුවා. වැලමිට බිත්තියට ගහල, බිත්තියේ ලේ පාර හිටිනකල් පහළට රෑටලා ආවා. අපි හැමෝගෙම හිත් වල තිබුණෙ තරහයි බියයි මිශ්‍ර හැගීමක්. අපි අන්ත අසරණ වෙලා හිටියෙ.
එදා තමයි මට මුලින්ම ජයසුන්දරව හමු වුණේ. වැඩිය කතා බහක් නැති උගේ මුහුණෙ තිබුණු බිය පිරිච්චි ඇස් වල පෙනුම මට මේ දැනුත් මැවිලා පේනවා. ඊට පස්සෙ හැමදාම වගේ කොරිඩෝවෙදි හෝ කැන්ටිමේදි ඉරි ඉරි පිජාමා සරම ඇඳලා , ලා නිල් පාට ටී ෂර්ටයක් හෝ කොටු කොටු අත්කොට කමිසයකින් සැරසිලා හිටපු ජයසුන්දරව මම කොහොම අමතක කරන්නද? ඒත් අවාසනාවට සරසවියෙන් පිටවුණාට පස්සෙ මට ඌව කවදාවත්ම හමු වුනේවත් කතා කරන්න ලැබුණෙවත් නෑ.
දින කිහිපයකට කලින් ජයසුන්දරත් මාරයා ළඟට ගියා. ඒ විඳපු දුක අවසන් වුණා කියල හිත හදාගත්තත් ඒ තනිවුණු බිරිඳ හා දරැවන් දකිද්දි හිත වාවන්නෙ නෑ. අවුරැදු 50 ත් නික්ම යන්නට තරම් වයසක්ද?
ඒත් මාරයගෙ ඇමතුම ආවහම බෑ කියල ඉන්න පුළුවන් ජගතෙක් කොහෙද ඉන්නෙ. තුන් වෙනි බිල්ලත් ඩැහැ ගත්තු මාරයට දැන් බොහොම සතුටු ඇති.
ඒ වගේම මාරයගෙ බැල්ම හැමදාමත් අපි දිහාටත් වැටිල තියෙන බව අපි දන්නවා. දිනයක අපිත් එතනට යනවාමයි. එතකල් අපිව හැරගිය විජේපාල, ජයසුන්දර ඇතුළු මිත්‍රයිනි උඹලගෙන් සමු ගන්නට අවසරයි. දිනෙක අපි නැවත හමුවෙන තුරු ඉතිං උඹලට සුබ රාත්‍රියක්!!
චන්දන ගුණසේකර
Tuesday, 27 March 2018
" දේශද්රෝහියාගෙ නිර්මල හෘදය" හැඳින ගතිමි....
සිතට තාවකාලික නිවනක් ලබා දුන් සති අන්තය ගෙවී යාමට ආසන්නය. සිකුරාදා දවස් යාමය වෙද්දී සිතට ඇතුළු වූ සැනසීම පැමිණි දොරින්ම පිටව යන හැඩකි. මම විස්සෝපයෙන් කුටියේ කවුළුවෙන් අවට බලමි. එහිද ඇත්තේ හේබා ගිය ගතියකි. මෙතෙක් දිනක් සුදට සුදේ පළාතම වසා පැතිරි සුදු හිම දියව යන්නට පටන් ගෙන ඇත. සොබා දහමත් අපේ ජීවිතයම මෙනි.
ඉරිදා හැන්දෑවට දැනෙන මේ හැඟීම මට හුරුය. එය හැම සති අන්තයක් අවසනම මේ ලෙසම ඇතිවන බැවිනි. එහෙත් අද දැනෙන්නේ වෙනදාට වඩා වෙනස් හැඟුමකි. කාන්සියකි. තනි කමකි. මම අනෙක් පසට හැරෙමි. මගේ පුංචි ලියන මේසය මත ඇති ඊයේ කියවා හමාර කළ ඒ පොත නෙත ගැටෙයි. මගේ උපැස් යුවළ ඒ මත ඊයේ තැබූ අයුරින්මය. පොත කියවා අහවර කොට එහෙමම නින්දට වැටුණු බව සිහිවූයේ එවිටය. පොතේ අවසානයද මේ ගතියට හේතුව? කිසිවක් සිහියට නොනැගෙයි. මම සිවිලිම දෙස බලාගෙනම දෑස පියා ගනිමි. සිතිවිලි වහා දුව ගොස් නතර වූයේ ' තුල්යාරණය' නම්වූ අන්තර් ආගමික මධ්‍යස්ථානයේ මිදුලේ වූ විසල් සියඹලා ගස යටිනි. සේපාලිකා මල් සුවඳකින් පරිසරයම පිරී තිබිණි.
ගස යට වාඩි වී ගිටාරයක්ද අත දරා සිටියේ තරුණයෙකි. බොකුටු කොණ්ඩය හා මුහුණ පුරා වැවී ගිය රැවුල් පතයකින්ද හෙඹි මේ ගැටයා සිටියේ අහස දෙස බලාගෙනය. දෙවියනේ මේ "ආදිත්‍යද".. අතුරුදන් කරවූ ආදිත්‍යද මට කියැවුණේ ඉඹේටමය. එකෙණෙහිම ඔහු ගස යටින් නොපෙනී ගියේ පළාතම අඳුරේ ගිල්වමිනි.ගතවූයේ තප්පරයකටත් අඩු කාලයකි. සියඹලා ගසට පිටුපසින් ඈතින් කනාමැඳිරි එළියක් සේ මතුවූ පුංචි ආලෝකයක් ටිකෙන් ටික ලොකු වෙමින් හා දීප්තිමත් වෙමින් ගස මුලටම විත් නැවතිණි. එයට පිටුපසුන් වූ ඒ සන්සුන් රුව මා දුටුවේ එවිටමය. සුදු ලෝගුවක් පොරවා ගත් ඇය "සිස්ටර් සෙව්වන්දී " බව හඳුනා ගැනීමට මට වැඩි වෙලාවක් ගතවූයේ නැත. තවමත් නොවියළී ගිය කඳුළු බිඳු දෙකක් ඇයගේ දෑස් කෙවෙනි මත දිලිසෙමින් තිබිණි..
මම කෙමෙන් පියවි සිහියට පත්වෙමින් සිටියෙමි. ආදිත්‍යලා, සිස්ටර් සෙව්වන්දිලා වැනි මණක්කල්පිත චරිත අතරේ ගෙවුණු පසුගිය දින කිහිපය මට මෙනෙහි වන්නට වූයේ සිනමා පටයක එකිනෙකට පෙළ ගැසුණු රෑපරාමු පෙළක් මෙන් නොව එහෙන් මෙහෙන් පාට උලා සිත්තම් කළ තේරුම් ගැනීමට අසීරු අකීකරු සිත්තරකුගේ සිත්තමක් විලසිනි.
තම දිවි දෙවැනි කොට මානව වර්ගයාගේ විමුක්තිය වෙනුවෙන් මුළු දිවියම කැප කල ඔහු , ආදිත්‍ය සහ තම මුළු දිවියම දෙවියන්වහන්සේ වෙනුවෙන් කැප කළ මානවහිතවාදී පූජකවරිය ඇය, සිස්ටර් සෙව්වන්දී යන චරිත කේන්ද්‍ර කරගෙන දිවෙන ආදරය, ප්‍රේමය, විප්ලවය, අතහැරීම හා හැරයාම ආදීවූ උතුම් මනුදහම් සංකලනය වන තරංගනී රෙසිකා ප්‍රනාන්දු එසේත් නැතිනම් අප කවුරැත් හොඳින්ම දන්නා හඳුනන ආදරණීය තරුරසී නැඟෙනිය ලියූ " දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නව කථාවේ තවමත් මම ජීවත්වන බව මට පසක් වූයේ සිහිනයක් ලෙසින්ද හැබෑවක් ලෙසින්ද හිතේ හොල්මං කරන මේ සිතිවිලි ගොන්න හේතුවෙනි.
පසුගිය කාලයේ මෙවන් ආදිත්‍යලා සහ සිස්ටර් සෙව්වන්දිලා ඇතුළු තමන් දිවි නොතකා අනෙකා වෙනුවෙන් හඬ නැගූ කෙතරම් නම් උත්තරීතර පිරිසක් අපට අහිමි කර ඇතිද? අතුරැදන් කර ඇතිද? මගේ හදවත දැවෙයි. සිත තව තවත් ව්‍යාකූල වන හැඩකි.
එදා සිදුහත් කුමාරා ගිහිගෙයින් නිකම ගොස් සොයා ගත් සහ ලොවට වදාළ ඒ මහා බුද්ධ දර්ශනය නම්වූ විමුක්ති මාර්ගයත් , ක්‍රිස්තුස් වහන්සේ තම දිවි පුදා ලොවට ප්රදානය කළ කිතු දහම නම්වූවිමුක්ති මාර්ගයත් තමන් සුබසෙත උදේසා නොව අනෙකා වෙනුවෙන්ම දේශනා කළ සහ ප්‍රායෝගිකව පෙන්වා දුන් ධර්මයන්ය.එහි ජාති, ආගම්, කුළ මළ භේදයක් තිබේද? ඇත්තේ මහා පොදු සාධකය බඳු මානව ප්‍රේමය හා කුලුණු ගුණයම පමණකි.
සිංහල , දමිළ හෝ මුස්ලිම් වේවා ඒ සැවොම දැයේ දරුවන්ය.ඔවුන් කාගේ හෝ දෙමාපියන්ය.දරුවන්ය. සැමියා හෝ බිරිඳය. පෙම්වතා හෝ පෙම්වතියය. ඔවුන්ගේ දිවි තොර කිරීමෙන් හෝ අතුරුදහන් කිරීමෙන් මෙම ප්‍රශ්න විසදිය හැකිද? මෙම නව කතාව පුරාම තරුරසී අසන්නේ මෙම පැනයයි. අප තවමත් හැමදාමත් අසන්නේ මෙම පැනයයි. කවදා නම් අපට මෙයට පිළිතුරු ලැබේවිද?
මීට සති කිහිපයකට පෙරත් ඒ පාපතර ජාතිවාදී අමනයන් ක්‍රියාත්මක වූහ. උදේ හවා දෙවියන් , බුදුන් වඳින දේශයක කොහිද ඒ නිර්මල බුදු දහම? කොහිද ඒ නිර්මල කිතු දහම? කොහිද ඒ ඉස්ලාම් දැක්ම? මේ දිවි ගෙවන්නේ මිනිසුන්මද? නැතිනම් මිනිස් වෙසින් සැරිසරන තිරිසනුන්ද? කවුද මේ ශාපයට වගකිව යුත්තේ? විසදුමක් පෙනෙන මානයක නැති ගැටලු රාශියකි.
බයිබලයේ දැක්වෙන ඉතාමත් සුන්දර යෙදුම් හා පාඨයන් යොදා ගනිමින් හා ඒවා මෙම කතාවට ඈඳා ගනිමින් තරුරසී මෙම ලියවිල්ලට දී තිබෙන ආලෝකය සුලු පටු නොවේ. එය අඳුරේ අතපත ගාන කියවන්නාට ලබාදුන් තරු එළියක් වැනිය.
පැවිදි දිවියේ නීති රීති කඩ කිරීමෙ වරඳට විනය පරික්ෂණයක් සඳහා කැඳවුම් ලබන සිස්ටර් සෙව්වන්දිගේ කථනයකින් මෙම නව කතාව ඇරඹෙයි. ඉන්පසුව ඇයට හමුවෙන ආදිත්‍ය නම්වූ විප්ලවකාරී රැඩිකල් තරුනයා , ඇයම ඔහු හඳුන්වන පරිදි " චණ්ඩි ජීසස්" ගෙන් ඇයගේ ජීවිතයට සිදුවන බලපෑම, සම්මත බැමි පුපුරුවා හරිමින් ඔවුන් හදවත් තළ හට ගන්නා පිවිතුරු ප්‍රේමය හා අවසානයේදී සිදුවන නික්මයාම දක්වාම මෙම කතාව අපගේ ජීවිතයටද බද්ධ වෙමින් ගලා යන්නේ අපවද එහිම රඳවා ගනිමිනි. ප්‍රේමයේ සුවඳ දසතම විහිදුවමිනි.
ඇයගේ හද තුළ ජනිත වන එහෙත් එළිපිට ඉඩක් නැති ප්‍රේමය, තරුරසී ලියා ඇති සුන්දර ආකාරය පොතේ තැන් කිහිපයකම තිබුණේ හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වන අයුරිනි.
" විදාරණය වන්නට නොව සිසිලනය වෙමින් හද ගැඹරෙහිම නිවී යන්නට ඉඩදිය යුතු ප්‍රේමයකි ඒ. " ( පිටුව 14)
ඇය බයිබලයේ එන ප්‍රේම ගීතිකාවන් අපට ගෙන හැර පාන්නේ ඒ ප්‍රේමයේ ප්‍රහර්ෂය තව තවත් දනවන්නටය.
" පෙම්වතා
මාගේ සොඳුරිය,
ඔබ කොතරම් සෝබා සම්පන්නද?
ප්‍රේමයෙන් ඔබේ ඇස් බබළන රඟ!
පෙම්වතී
මාගේ ප්‍රියය,
ඔබ කොතරම් ශෝභනද?
පියකරුද?
අපේ යහන නිල් තණකොළ ය.
අපේ ගෙයි බාල්ක කිහිරි ගස් ය.
එහි පරාල දේවදාර ගස් ය.
මම සාරොන්හි සෙව්වන්දියක් ය.
මිටියාවත්වල මානෙල් මලක් ය."
සොබාදහම සහ මනුෂ්‍යත්වයේ අසිරිය මතින් ගලා යන ප්‍රේමයේ සෞන්දර්යයද, අනුරාගයේ ප්රහර්ෂයද, වියෝ වේදනාවේ ළය පාරන අධිකතර වේදනාවද එහි සියුම්ව කැටි වී ඇත්තේ විස්මිත ලෙසිනි." (පිටුව 50)
මේ ප්‍රේමයට දේශ සීමා තිබේද? ආගම් , ජාති හෝ කුළ මල තිබේද? ඇත්තේ හදවත් දෙකක ඇතිවන අසීමිත බැඳීම පමණකි. සයුරක් වන් දයා කරුණා මහිමයක් පමණකි. වෛරය වෙනුවට මේ ප්‍රේමය හැමටම පිදිය හැකි නම් ලොව කෙතරම්නම් සුන්දර විය හැකිද?
මෙම කථාවෙන් ඇය පුන පනා පවසන පණිවුඩය එයයි. මේ තව තවත් දස දහසින් ආදිත්‍යලා සහ සිස්ටර් සෙව්වන්දිලා වැනි අය බිහිවිය යුතු යුගයයි. මෙවැනි පොත් පත්, කවි , ගී හා සිංදු අපේ හදවත් තුළ හැම මොහොතේම රැව් පිළිරැව් නැගිය යුතු කාලයයි.
තරුරසී පොතේ තැනෙක මෙසේ පවසන්නී.
" සාහිත්‍ය කලාවෙන් තොරව විමුක්තියක් ගැන කතා කරන්න අමාරුයි.බයිබලයම ගත්තත් සාහිත්‍ය උල්පතක්. මොනවද නැත්තෙ? කවිය, ගීතය,කෙටි කතාව,නව කතාව, නාට්‍ය ඔය හැමදේම බයිබලය ඇතුළෙ තියෙනවා."( පිටුව 38)
තමන් දිවි නොතකා සමාජයට සෙත සැලසීමට ඉදිරිපත් වූ සැමටම එරෙහිව ඉදිරිපත් වූයේ මර්ධනයයි. ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ පටන්ම අද වනතුරුද සිද්ධවූයේ සහ දැනටත් සිද්ධවෙමින් පවතින්නේද එයයි. පොතේ තැනක ආදිත්‍ය මෙසේ පවසයි.
" දාස් ගාණක් මිනිස්සු උන්හිටි තැන් නැතිව ඇඳිවත විතරයි.තමන්ගෙම මිනිස්සු මැරිල වැටෙද්දි පස් මිටක් දාන්න තප්පරයක් නවතින්නෙ නැතිව ජීවිතය ඉල්ලගෙන දුවන්න සිද්දවුණු මිනිස්සු අතර මම මගේ පරිස්සම ගැන විතරක් හිතන්නෙ කොහොමද? බිත්තර කට්ටක් ඇතුළෙ හැංගෙන්නද? වෙන දෙයක් වුණාවෙ. දැන් ඉතිං ආපහු හැරීමක් නෑ. නගුලට අත තියල හැරිල බලන්නෙපා කියල නේද, ජීසස් කියල තියෙන්නෙ..."( පිටුව 121)
" දෙවියන් කියල කෙනෙක් නෑ. මිනිසුන් වෙනුවෙන් ඉන්න ඕන මිනිස්සු. වැඩ කරන්න ඕන මිනිස්සු. මිනිස්සු නැත්නම් එතැන දෙවියොත් නෑ. දෙවියන්ට පැවැත්මකුත් නෑ."(පිටුව 194)
මෙය නොවෙද අප පතන සදාකාලික සත්‍ය. එහෙත් සිදුනොවන්නේද මෙයමයි. හැමවිටම සිදුවන්නේ, දෙවියන් බුදුන් නමට ඇදැහුවාට එහි සැබෑ මිනිසුන් නැතිකමයි. බලයට හා ධනයට ඇති ලොල් කමයි. අතහැරීමට ඇති මැලිකමයි.
මෙය තරුරසී නැගෙණියගේ ප්‍රථම මුද්‍රිත නව කතාව උවද ඇය මෙයින් ඉතාමත්ම ප්‍රවීණ ලේඛිකාවකගේ ගුණ සුවඳ පෙන්වා ඇතිබව මගේ හැඟීමයි. ඇයගේ "තරුරසී " බ්ලොග් අඩවියෙන් ඇය ලියන කවි සහ ලිපි බොහොමයක් කියවා තිබූ මට ඇයගේ ලිවීම් කලාව සහ දැක්ම ගැන තිබුණේ පැහැදීමකි. එය මෙම පොත කියවීමෙන් තව තවත් වැඩිවූ බව නොකියාම බැරිය. මටනම් හිතෙන්නේ ඇය සැබෑ දිවියේ සිස්ටර් සෙව්වන්දිම බැව් කියාය. මන්ද ඇය පියවි දිවියේ කරන කියන කටයුතු ඒ ලියා තිබෙන දේ සමඟ සමපාත වන බැවිනි. මෙවන් කලාකරුවන් බොහෝ විරලය. ලෝක ඉතිහාසයේ බොබ් මාලේ වැනි චරිත නිදසුන්ය. අපේ රටින් ගතහොත් සයිමන් නවගත්තේගම සූරීන්, කපුගේ සූරීන් හා සුගතපාල ද සිල්වා සූරීන් වැනි චරිත මගේ මතකයට නිතැතින්ම එයි.
මෑතකදී තරුරසී නැගෙණිය කයිට්ස් දූපතෙහි වෙසෙන දරුවන් බැලීමට ගිය සංචාරය ඇය ලියන දේ ක්‍රියාවෙන්ද පෙන්වන බවට එක උදාහරණයක් පමණි. අපගේ සමාජයට වැඩි වැඩියෙන් අවශ්‍ය මෙවැනි චරිතය. තව තවත් ආදිත්යලාය. තව තව තවත් සිස්ටර් සෙව්වන්දිලාය. තව තවත් මානව හිතවාදීන්ය. පාලකයන්ට ඔවුන් දේශද්‍රෝහීන් වුවද සැබෑ මිනිසුන්ට ඔවුන් දෙවිවරුන්ය.
මෙවන් මිනිසුන් හා මෙවන් පොත පත දස දහස් ගණනින් බිහිවේවා. ලෝකයට ආදරයේ හා ප්‍රේමයේ වැසි වැටී වෛරයේ ගිනි දලු නිවී යත්වා. ජාතිවාදය හා ආගම්වාදය තුරන් වේවා! සැබෑ මනුසත්බව ඇතිවේවා. එවිට මෙවැනි පත පොතින් දෙන පණිවුඩය සැබෑවක් වනු ඇත.
අවසාන වශයෙන් මෙම පොතින්ම ගත් උපුටනයක් නැවතත් ගෙනහැර පාමින් මම නවතිමි.
" දෙවියන් කියල කෙනෙක් නෑ. මිනිසුන් වෙනුවෙන් ඉන්න ඕන මිනිස්සු. වැඩ කරන්න ඕන මිනිස්සු. මිනිස්සු නැත්නම් එතැන දෙවියොත් නෑ. දෙවියන්ට පැවැත්මකුත් නෑ."(පිටුව 194)
චන්දන ගුණසේකර
Subscribe to:
Posts (Atom)

