Pages

Thursday 29 March 2018

දැන් දැන් අපේ සමකාලීනයොත් යන්න අරගෙන....





87 වසරේ උසස් පෙළ කරල 88-89 ඒ අඳුරු භීෂණයෙන් යන්තන් පණ කෙන්ද බේරගෙන අපි සරසවියට ගියෙ 1990 වසරෙ වසන්ත සමයෙ. රටේ ඇතිවෙච්චි කලබගෑනි, ජන සංහාර, මිනී කඳු සහ මළමිනී පිච්චුණු පුළුටු ගඳින් අපවිත්‍ර වෙච්චි වාතාශ්‍රයක් ගැන ගානක්වත් නැති ගානට වෙනදා වගේම මලින් බර වුණු තුරු ලතා පේරාදෙණිය සරසවියට වසන්තය උදා කරල තිබුණෙ අපව පිළිගන්න. ඒත් හදවත්වල කීරි ගැහිලා එහිම මිඳිල තිබුණු බය හා සංත්‍රාසය නම් හැම නවක මුහුණකම ඉතාමත්ම හොඳින්ම පිළිඹිබු වුණා.

ගෙවල් වලටම හිරවෙලා ඉඳලා අපි වගේම යන්තන් පණ කෙන්ද බේරගත්තු ජේෂ්ඨ උත්තමයොත් ඔවුන්ගෙ සිත්වල පිරිලා තිබුණු ආතතිය පිටකර ගත්තෙ අපට වඳ දීලා. ඊටත් හපන් වුණා කඩ්ඩ බැරි කම. පණ යනකල් සිංහලෙන්ම ඉගෙන ගෙන සරසවියෙදි ඉංගිරිසියට මාරු වන එක පිටිසර පළාත් වල පුංචි පාසල් වලින් ආපු සිසුන්ට තවත් මහ ගිරි දුර්ගයක්ම වුණා.

නවක වඳයත්, ඉංග්‍රීසි බැරිකමත් නිසා අපේ බැචෙකුට පාඨමාලාවෙ මුලදිම ජීවිතය එපා වුණා. කෑගල්ල ප්‍රදේශයෙන් සරසවියට පැමිණි ඔහු ඉංජිනේරු පීඨය පිටුපසින් පැණිදෙනිය හරහා දුවන රේල්ළුවට බෙල්ල තිබ්බෙ සැනසීමක් පතාගෙන. ඒ තමයි අපේ බැච් එකෙන් ඩැහැගත්තු මාරයගෙ ප්‍රථම බිල්ල.

ඊට පස්සෙ හැල හැප්පීම් මැඳින් ගලා ගිය අපි යන්තම් 1994 සරසවියෙන් පිටවුණා. රට තොටේ සහ ලෝකය පුරා විසිර ගිය අපි හැම වසරකම හමු වුවත් එංගලන්තයට පදිංචිය සඳහා ගිය මට ඒ හැම අවස්ථාවම අහිමි වුණා.

මෙහෙම කාලය ගත වෙද්දි අපේ බැචාලා සහ බැචීලා හොඳ හොඳ රැකියා එහෙම සොයාගෙන පවුල් පංසල් වෙලා සාම්ප්‍රදායික දිවි පෙවෙත්වලට ගාල් වෙලා ජීවන ගමන යන්න පටන් අරගෙනයි තිබුණෙ.

ඒත් මීට වසර 4කට විතර ඉස්සර මාරයා නැවතත් අපේ බැච් එක දිහාවට දත් විලිස්සගෙන කෙළ හලන්නට පටන් ගත්තෙ තවත් බිල්ලක් ඕනෙ වෙලා.මේ සැරේ බිල්ල වුණේ විජේපාල.

විජේපාලයා ඉතාම සුන්දර සුහදශීලී පුද්ගලයෙක්. ජීවන් කුමාරතුංග වගේ ලස්සනට කොණ්ඩෙ වවල ෆුල් කිට මරාගෙන තමයි ඌ නිතරම හිටියෙ. ඒත් තිබුණු එකම අඩු පාඩුව තමයි හැමදාම හවසට කණ පැලෙන්න ගහල බඹර පදමින් ඉන්න එක. අපිත් කෑවා බිව්වා තමයි. ඒත් විජේපාලයට සීමාවක් තිබුණෙ නෑ . අපි හැන්දෑවට කාලා ඉවර වෙලා ටීවී බල බලඉන්නකොට තමයි බොහෝ වෙලාවට ලතාවකට පැද්දෙමින් විජේ අක්බර් හෝල් එකට ආවෙ. කැන්ටිමේ මුඳලාලි බෙදලා වහල ඌට අරන් තියන බත් එක කෑවේ හොඳ පදමට වැදිලා ඇඳුම් වත් මාරු නොකර.

මේ චරියාවෙ ප්‍රතිඵලයකින්ද කොහෙද විජේපාලගේ අක්මාව නරක් වුණා. ඉන්දියාවෙ සිදුකරපු අක්මා බද්ධකිරීමේ සැත්කමට යන්න කලින් එකම එක වතාවක් මට ඌට දුරකථනයෙන් කතා කරන්න අවස්ථාව ලැබුණා.ජීවිතය ගැන බොහොම බලාපොරොත්තු ඇතිව එදා කතා  කළත් , සැත්කමට ලෑස්ති වුණත් විජේපාල සැත්කමින් පස්සේ ආයිත් ලංකාවට ආවෙ නෑ. දරැවොයි බිරිඳයි තනි වුණා.විජේට එතකොට වයස 45 ක් 46 ක් වෙන්න ඇති.ඒ තමයි මාරයා ගත්තු දෙවැනි බිල්ල.

මෙහෙම කාලය ගත වෙද්දි තමයි අපේ බැච් එකට මාතලෙන් ආපු ජයසුන්දරගෙ වකුගඩු දෙකම නරක් වෙලා කියන දුක්බර ආරංචිය අපට ආවේ.අපි හැමෝම එකතු වෙලා මේ වෙලාවෙත් විජේපාලට කළා වගේ අරමුඳලක් එකතු කරල සහන සලසන්න පියවර ගත්තා. ඒත් පසුගිය සතියේ තුන්වෙනි වතාවටත් මාරය ජයගත්තා. තුන්වැනි බිල්ලත් ගත්තා.

1990 වසරෙ නවක වධය හොඳටම දරුනු සහ නරක විදිහට ක්‍රියාත්මක වුණු අක්බාර් හෝල් එකේ එක්තරා අඳුරු රැයක මා ඇතුළු තවත් නවකයින් කිහිප දෙනෙකුවම කාමරයකට ගාල් කළ ජෞෂ්ඨ සිසුන් පිරිසක් අපට බොහෝ සේ වඳ දුන්නා. ෆුල් කිට් එක ගහල( නවක වඳය දීපු සහ විඳපු අය දන්නවා "කිට් එක ගහනව " කියන්නෙ මොකක්ද කියල) අපි එදා ජෞෂ්ඨයන්ගෙ අණට කීකරු වෙලා සිංහ ගමන, ඇත් ගමන ගියා. පණ යනකල් ඩිප්ස් ගැහුවා. වැලමිට බිත්තියට ගහල, බිත්තියේ ලේ පාර හිටිනකල් පහළට රෑටලා ආවා. අපි හැමෝගෙම හිත් වල තිබුණෙ තරහයි බියයි මිශ්‍ර හැගීමක්. අපි අන්ත අසරණ වෙලා හිටියෙ.

එදා තමයි මට මුලින්ම ජයසුන්දරව හමු වුණේ. වැඩිය කතා බහක් නැති උගේ මුහුණෙ තිබුණු බිය පිරිච්චි ඇස් වල පෙනුම මට මේ දැනුත් මැවිලා පේනවා. ඊට පස්සෙ හැමදාම වගේ කොරිඩෝවෙදි හෝ කැන්ටිමේදි ඉරි ඉරි පිජාමා සරම ඇඳලා , ලා නිල් පාට ටී ෂර්ටයක් හෝ කොටු කොටු අත්කොට කමිසයකින් සැරසිලා හිටපු ජයසුන්දරව මම කොහොම අමතක කරන්නද? ඒත් අවාසනාවට සරසවියෙන් පිටවුණාට පස්සෙ මට ඌව කවදාවත්ම  හමු වුනේවත් කතා කරන්න ලැබුණෙවත් නෑ.

දින කිහිපයකට කලින් ජයසුන්දරත් මාරයා ළඟට ගියා. ඒ විඳපු දුක අවසන් වුණා කියල හිත හදාගත්තත් ඒ තනිවුණු බිරිඳ හා දරැවන් දකිද්දි හිත වාවන්නෙ නෑ. අවුරැදු 50 ත් නික්ම යන්නට තරම් වයසක්ද?

ඒත් මාරයගෙ ඇමතුම ආවහම බෑ කියල ඉන්න පුළුවන් ජගතෙක් කොහෙද ඉන්නෙ. තුන් වෙනි බිල්ලත් ඩැහැ ගත්තු මාරයට දැන් බොහොම සතුටු ඇති.

ඒ වගේම මාරයගෙ බැල්ම හැමදාමත් අපි දිහාටත් වැටිල තියෙන බව අපි දන්නවා. දිනයක අපිත් එතනට යනවාමයි. එතකල් අපිව හැරගිය විජේපාල, ජයසුන්දර ඇතුළු මිත්‍රයිනි උඹලගෙන් සමු ගන්නට අවසරයි. දිනෙක අපි නැවත හමුවෙන තුරු ඉතිං උඹලට සුබ රාත්‍රියක්!!


චන්දන ගුණසේකර

3 comments:

  1. අමානුෂික නවක වදය හොදය කියන පල ගුරාලත් ඉන්නවා. තුන්වන බිල්ලට සුබ ගමන්

    ReplyDelete
  2. සංවේදී ලිපියක්.

    ReplyDelete
  3. අහම්බෙන් හමු උනේ මේ ලිපිය. හරිම සංවේදියි. අපි මොරටුවෙන් අවුට් උනේ 2008 දී. දැනටමත් මාරයා 3 දෙනෙක්ම අරගෙන ඉවරයි.

    ReplyDelete