Monday, 9 April 2018
අපේ මාමා, මුවන්පැලැස්ස සහ මැණිකේ....
හැත්තෑව දශකයේ අපට තිබූ එකම ශ්‍රව්‍ය මාධ්‍යවූ ගුවන් විදුලියේ සෑම සඳුදාවකම රාත්‍රී 8.30 ට ගුවන්ගත වූ " මුවන්පැලැස්ස" ගැන සිහිවද්දී ඒ සමඟම නිතැතින්ම මගේ මතකයට එන පුද්ගලයෙකු ඇත. ඔහු නම් මගේ මාමාය. අම්මාගේ පොඩි අයියා වූ මාමා ඉතාමත් පැහැපත් සමකට හා දිස්නෙ ගහනා කළුම කලු පැහැ කොණ්ඩයකට හිමිකම් කීවේය. එහෙයින් ගම්මු අපේ මාමාට " රතු මහත්තයා" යැයි කියූහ.
මම, මාමා විසූ මතුගම යටදොලවත්තේ ගෙවූ සෑම පාසල් නිවාඩු කාලයකම මාමා සමඟ මුවන් පැලැස්සට සවන් දීමට ඇබ්බැහි වී සිටියෙමි. මුවන්පැලැස්ස මට හඳුන්වා දුන්නේ මාමාය. දවස පුරා වත්තපිටියේ, කුඹුරේ හෝ රබර් වත්තේ වැඩ කළ මාමාගේ එකම විනෝදාංශය වූයේ මුවන්පැලැස්සට සවන් දීමත්, දිනපතා පුවත්පත කියවීමත් හා කටපුරා බුලත් විට හැපීමත් විය.
මට කාලෙකට පසුව අද මුවන්පැලැස්ස ගැන සිහිවූයේ එහි අප ආදරය කළ විශේෂිත චරිතයක් අපගෙන් සදහටම වෙන් වී ගිය පුවත සවන වැකීමෙනි. ඇය වෙන කවුරැන් හෝ නොව මුවන්පැලැස්සේ "මැණිකේය." මුවන්පැලැස්සේ කෝරළේ මහත්තයාගේ ප්‍රිය බිරින්දෑය. රත්නාවලී කැකුනවල මහත්මියය. ඇයගේ සැබෑ නමට වඩා එතුමිය රටේම ප්‍රසිද්ධ වූයේ මැණිකේ නමිනි.
නෝංජල් කෝරළේ මහත්තයා නමට ගම පාලනය කළත් ඔහුත් ඇතුළුව මුළු ගමම පාලනය කළේ මැණිකේය. මුළු ගමම බිය වූ " කදිරා" ටවත් ඇය බිය නොවූවාය. ගමේ චංඩියා, කදිරා වුවද ගරු කළ ගුරුන්නාන්සේ මාමාට පවා ඇය එකටෙක කීවාය. කෝරළේ මහත්තයාට දෙස් දෙවොල් තියා " අනෙ මගෙ කට" කියා ඇය නිතරම කියූ දෙබස් මට මේ දැනුත් ඇසෙන්නාක් වැනිය.
අසූව දශකයේදී මුවන්පැලැස්ස සිනමා පටයක් ලෙස තිරගත වූ නිසා මට මැණිකේ , එනම් රත්නාවලී කැකුනවල මහත්මියගේ පියවි ස්වරූපය දැක බලා ගත හැකිවිය. එමෙන්ම 1982 රූපවාහිනියේ ආගමනයත් සමඟම ඇය පුංචි තිරයේ ටෙලි නාට්‍ය වලද රඟ පෑ නිසා ඇයගේ මුහුණ කට අපට අමුත්තක් නොවීය.
එහෙත් ඇයට බොහෝ ආදරය කළ අපේ මාමාට ඒ අවස්ථාව නොලැබුණි. ඇස් පෙනීම ටිකෙන් ටික දුර්වල වී තිබුණු මාමාගේ දෑස් මේ කාලය වන විට සම්පූර්ණයෙන්ම වාගේ අන්ධභාවයට පත් වී තිබීම එයට හේතුව විය. එහෙයින් මාමාට එතුමිය දැක ගැනීමේ වාසනාව අහිමි වුවද එක අතකින් මාමා ඔවුන් නොදැක සිටීමෙන් යම් තරමින් වාසනාවන්තයකුද වූවායැයි දැන් මට සිතේ. ඒ මන්ද කතාව ඇසීමේදී මාමාගේ සිතේ ඔවුන් පිළිබඳව ඇඳි චිත්ත රූප එලෙසින්ම නොනැසී පැවතීමයි.
එහෙත් අද මැණිකේ අප අතර නැත. අපේ මාමාද මීට වසර කිහිපයකට උඩදී අප හැර ගියේය. තව කාලයකින් මුවන්පැලැස්සේ තව තව චරිතද අපෙන් වෙන් වී යනු ඇත. අප තවමත් ඒ පැරණි මතකයන්වල සුවඳ විඳිමින් ජීවත් වන්නෙමු. ඒත් ඒ නොගිහින් නොසිටිය හැකි "ගමන" යන්නට " ඇමතුම " එනතෙක් පමණකි. එතෙක් ආදරණීය මැණිකේ, රත්නාවලී කැකුනවල මැතිණියනි ඔබට සුබ ගමන් කියා පතන්නට මට අවසර.
චන්දන ගුණසේකර
Subscribe to:
Post Comments (Atom)
This comment has been removed by the author.
ReplyDeleteසුභ ගමන්....
ReplyDeleteGreat reading yyour blog post
ReplyDelete