Pages

Friday 1 June 2018

නරි කතාවක්....


 

 

ඩේවිඩ් මහත්තයලගෙ වත්තේ, පිටි පස්සෙම ගස් වැවිලා වඳුළ වෙච්චි හරියෙ එදා රාත්රියෙ තිබුණෙ ඉතාම කලබලකාරී වාතාවරණයක්. උන්නැහෙගෙ නෝනා , මාග්රට් උන්දා කොච්චර දවසක් ඔහුට කිව්වත් හරිය ශුද්ධ කරල දාන්න කියල මිනිහා කාරිය දවසින් දවසම අතපසු කරලයි තිබුණෙ. ශීත කාලෙන් පස්සෙ උදාවුණු වසන්ත සමය, ගස් වැල්, දළු හා මල් වලින් පුරවලා පළාතම අරක්ගෙන දිව්යලෝකෙ උද්යානයක සිරියක් මවාගෙනයි හිටියෙ. නෝනයි මහත්තයයි ඉක්මනින්ම රෑට කාලා නින්දට ගිය නිසා මුලු නිවසම තිබුණෙ කෑලි කැපිය හැකි අඳුරක ගිලිලා. ඒත් වෙසක් මාසෙ පායගෙන ආපු පුන් සඳ නම් බොහොම හැඩට දිලිසුණේ හරියට නව යොවුන් කෙල්ලෙකුගෙ ප්රේමයෙන් විකසිත වෙච්ච පිරිපුන් වත මඩල වගේ.

 

කිරි පාටට ගලා හැළුණු සඳ එළිය එඩ්වඩ් මහත්තයගෙ වත්ත පුරා ඉතා අපූරු රටා වියළා තිබුණා. හීනියට හමා ගිය සුළං රැල්ලකට හසුවුණු සඳ දියේ නැහැවුණු තුරු හිස් සර සර හඬක් නගමින් සෙලවුණේ හරියට තාලයකට පවන් සලමින් ඉන්න දෙව් ලියන් වගේ. මේ වෙලාවෙ තමයි එරික් සඳ එළියෙන් නැහැවිලා ගිය වත්ත කෙළවරේ තිබුණු මඬුවෙ වහල උඩින් මතුවුණේ. ඊට ටිකක් පසුපසින් එරික්ගේ පවුල එරිකාත් මතුවුණා.

 

ඔබ විශ්වාස කරයිද මන්දා එරික් කියන්නේ හොඳට හැදී වැඩුණු නරි නාම්බෙක්. හාර්ට්ෆඩ්ෂයා පළාතෙම හිටපු නරි රංචුවේ ප්රාදේශීය නායකයා තමයි එරික්. එදා එරික් සිය පවුල සමඟ පදිංචි වෙලා ඉන්න එඩ්වඩ් මහත්තයගෙ වත්තට මුලු එංගලන්තයෙම ඉන්න නරි රංචුවල ප්රාදේශීය නායක නායිකාවෝ එකතු වෙන්නට පටන් ගත්තා.

 

මුලින්ම පිටුපස වත්ත මායිමේ වැටෙන් දඩස් ගාලා පැන්නෙ බකිම්හැම්ෂයා ප්රාන්තයේ නායක පෝල් කියන නරි නාම්බා. පෝල්ගෙ ලොම් පිරුනු නැට්ට අඩි ගණනක් දිගයි. පෝල් ලොක්කා එරික්ට ආයුබෝවන් කියල එරිකාට ගහපු ඇහැනම් එරික්ට එච්චර ඇල්ලුවෙ නෑ. එරිකත් නිකන් බැල්මෙන් අන්දමන්ද වුණා. ඒත් වෙනසක් නැතිව හාදුවක් දීලා පළමු අමුත්තව පිළිගත්තා.

 

ඊළඟට පිළිවෙලින් ඔක්ස්ෆඩ් සහ කේම්බ්රිජ් ප්රාන්ත නියෝජනය කරන නරි නායකයො දෙන්නත් ඉස්සරහ ගේට්ටුවට උඩින් පැනලා හඳ එළියෙම වත්ත පිටිපස්සට ආවේ හැමෝටම සුබ සනද්යාවක් කියාගෙන. එරිකා එහාට මෙහාට පැන පැන කඩි දෙනක් වගේ ඔවුනට සංග්රහ කළා. එරික් සිගරට් සහ සුරුට්ටු ඔවුන්ට ඇල්ලුවා. එතකොටම වගේ උතුරු ලංඩනය සහ නැගෙනහිර ලංඩනය නියෝජන කරන නරිච්චියො දෙන්නයි දකුණු ලංඩනයෙ ප්රාදේශීය නායකයයි පිටුපස වැට අයිනෙන් මතුවුණා. දකුණු ලංඩනයෙන් ආපු නරි රජාව දැක්කම එරික්ට ඇතිවුණේ හරිම සතුටක්. මොකද වංගියක් එයා එරික්ට ගෙනත් දුන්නු පුංචි කොළ පැකට් එකේ රස තවම අමතක වෙලා තිබුණෙ නෑ. මෙදා සැරෙත් එරික්ට තෑග්ගම ලැබුණා. ඉක්මනටම එරික් කොළ ටික කුඩු කරල ඉනේ තිබුණ දුම්කොළ එක්ක කලවම් කරල පුංචි සුරුට්ටුවක් ඔතා ගත්තා. පත්තු කරල අරගෙන පළමු දුම් උඟුරින් පෙනහලු පුරෝගෙන දෙව්ලොව යන පාරට අවතීර්න වුණා.

 

කට්ටියම දැන් එකතු වෙලා. තව අඩු ස්කොට්ලන්තයෙ නරි නාම්බයි, වේල්ස් සහ අයර්ලන්තයේ නරි නායකයො දෙන්නයි පමණයි. එරික් වෙලාව බලලා " මේ තුන් දෙනා තවම නෑනෙ" කියල කියනකොටම වාගේ මෙන්න දකුණු පැත්තෙ ඉඩම මායිම් කරල තිබුණු වැටේ කැඩිල තිබුණ සිදුරින් 3 දෙනාම මතු වුණා. " සමාවෙන්න සහෝදරවරුනි, අපි 3 දෙනාට අද තව මීටිමකටත් යන්න වුණා. ඒකයි පරක්කු වුණේ" කියල ස්කොට්ලන්තය නියෝජනය කරන නරි පෝතකයා කිව්වම එරික් අතක් උඩට උස්සලා ඒකට කමක් නෑ කිව්වා.

 

ටික ටික අහසෙ ඉහළටම මෝදු වෙලා තිබුණ සඳ වැහි වලාවකට මුවා වුණේ එතකොටම වගේ. පරිසරය හොඳටම අඳුරු වෙනකොට එකතු වූ මේ සම්භාවනීය නරි රංචුවේ දෑස් ගිනි බෝල වගේ අඳුර තුළින් දිලිසුණා.

 

පැමිණි සැමටම ස්තූති කරල පිළිගැනීමේ කතාව පැවැත්තුවෙ එරික්. කට්ටියම පිළි අරගෙන එදා රැස්වුණු හමුවට අදාළ වුණු වැඩසටහන් පත්රය කියවන්න පටන් ගත්තා.

 

මුලින්ම සාකච්ඡාවට බඳුන් වුණේ නිවාස ප්රශ්නය. සාකච්ඡාව අරඹමින් අදහස් දැක්වූ කේම්බ්රිජ් ප්රාන්තයෙ නායක හිවලා තම අදහස් මෙසේ පළ කළා.

 

" දැන් දැන් හැම තැනකම තියෙන ලඳු කැලෑ පවා වනසමින් මේ මිනිස්සු කියන තමන් ගැන විතරක් හිතන ජාතිය, ගෙවල් හදන්නට පටන් අරගෙන. පසුගිය මාසෙ වෙන කොට අපේ නරි පවුල් දාහකට පමණ උන් හිටි තැන් අහිමි වුණා. මේවා අපේ පාරම්පරික ඉඩම්. මේ අපරාධයට විරුද්ධව අප වහාම නැඟී සිටිය යුතුයි" එහෙම කියලා අත් දෙකම ඉහළට එසෙව්වෙ මුහුණෙ මහා බැරෑරම් පෙනුමක් ආරූඩ කරගෙන.

 

එයටම කරුනු එක් කළ බකිම්හැම්ෂයා වල ප්රාදේශීය නායකයා පැවසුවේ මෙහෙම දෙයක්.

" මමත් කියපු දේවල් සමඟ එකඟයි. නිවාස ප්රශ්නය හරිම උග්රයි. දැන් දැන් මේ ගෙවල් හදන කොම්පැණිවලට අපි ඉස්සර සිලෝන් කියපු ලංකාව කියන දූපතේ ඉඳල ආපු ඉංජිනේරුවො රිංගගෙන මෙලෝ විචාරයක් නැතිව ගෙවල් සැලසුම් කරනවා. උන් අයගෙ රටේ ඉන්න ජන්මයෙන්ම පරිසරය ගැන නොහිතන දේශාපාළුවන්ගෙන් පුරුදු වෙලා පරිසරය ගැන තඹ දොයිතුවක ආදරයක් තියනවයැ. මේ ඊයෙ පෙරේදත් අපේ ගමේ වැවක් ගොඩ කරල ගෙවල් ගහන්න පටන් ගත්තා. පුංචි පුංචි ඇල පාරවල් නම් කීයක් වැහුවද? ගස් කපන්නෙත් හරියට ගස් උන්ගෙ ජන්මාන්තර හතුරො වගේ. කොහොම හරි මේ ලංකාවෙ ඉංජිනේරුවන්ටත් වැඩක් දෙන්න ඕනේ."

 

එරිකා සුටු සුටු ගාලා මේ කරුනු ඇයගේ වාර්තාවට දාන්න සටහන් කර ගත්තා. ඉන්පස්සේ එරික් තව හොඳට පෙනහලු පිරෙන්න දුම් උඟුරක් ඇදලා " හරි අපි ප්රශ්නය කතා කළා. ඉතිං කියමු බලන්න අනෙක් දැවෙන ප්රශ්නය? " එහෙම කියල සභාව පුරා දෑස යැව්වා.

 

එතකොටම නැඟී හිටියෙ උතුරු ලංඩන් නායක හිවලා.

" අනෙක් විශාලම ප්රශ්නය තමයි කෑම හිඟය. " එහෙම කියල තමන්ගෙ සෙල් ෆෝන් එක අරගෙන නාටු ගැහුණු, වල්ගවල ලොම් හැළුණු නරියො කිහිප දෙනෙකුගෙ පිංතූර සභාවට පෙන්නුවා.

 

" මේ බලන්න මිත්රවරුනි, අපේ සමහර සහෝදර සහෝදරියන්ට සති ගණනකින් කෑමක් නෑ. පඳුරු විනාශ කරල නිසා , හා පැටියෙක් වත් ඉත්තෑ පැටියෙක්වත් අල්ල ගන්න හැටියක් නෑ. ඉස්සර නම් අපි මිනිස්සු හැම තැනම දාන කුණු ගොඩවල් අවුස්සලා කෑම හොයා ගත්තනේ. ඒත් කවුරු හරි අසත්පුරුෂයෙක් ප්ලාස්ටික් බින් ගෙවල් වලට දීලා දැන් කුණු ගොඩවලුත් නෑ. මෙයටත් විරුද්ධව අපි වහාම නැඟී සිටිය යුතුයි." එරිකා මේ කාරණයත් සටහන් කර ගත්තා.

 

" තව මොනවද තියෙන ප්රශ්න?" එරික් මෙහෙම ඇහුවෙ වේල්ස් වලින් ආපු නරි රාජයා දිහා බලාගෙන.

 

එතකොටම උඟුරෙ රැල් බුරුල් ඇරපු වේල්ස් ජාතික නරි පෝතකයා මෙහෙම කිව්වා.

" අනෙක් දරුනු ප්රශ්නය තමයි මිනිස්සුන්ගෙ වාහන වලට හැප්පිලා මිය යන අපේ සහෝදර පිරිස. උන් පාරවල් හැදුවා කියල අපි ගමන් ගිය මාර්ග වෙනස් කරන්න පුළුවන්ද? අපි අවුරුදු දහස් ගණනක ඉඳල අපේ මුතුන් මිත්තන්ගෙ අඩි පාරෙ ගියෙ ඔය පාරවල් වල. මිනිස්සු හරහා උන්ගෙ පාරවල් හදාගෙන මහා හයියෙන් වාහන එලවනවා. වේගයේ කිසිම පාලනයක් නෑ. ගිය සතියෙ අපේ ගමේ මීටර් 100 දුවල දිනපු නරි මල්ලිත් වාහනයකට හැප්පිලා අපිට අහිමි වුණා. එයා ලබන අවුරුද්දෙ ලෝක ජවන හා පිටිය නරි මලල ක්රීඩා තරඟයට එංගලන්තය නියෝජනය කරන්නයි හිටියෙ. මේ මාර්ග පද්ධතිය නම් කොහොම හරි අවලංගු කළ යුතුයි".

 

" හරි අපි ඒකත් සැලකිල්ලට ගත්තා. මේ දැවෙන ප්රශ්න 3 අමතරව තව මොනවත් ගැටලු තියෙනවද? " එරික් එහෙම ඇහුවෙ දැන් ගොඩක් රෑ වෙලා කියල පිරිසට අඟවමින්.

 

" තව ඉතිං අපේ හම ගලවලා මිනිස්සු උන්ගෙ ගෑනුන්ට බෑග් , කෝට් එහෙම මහනවා. ඒකෙනුත් වඳ වෙන්නෙ අපේ සනුහරේ. ඕවා තමයි දැනට තියෙන උග්රම ප්රශ්න" මෙහෙම කියල පිරිස දිහා බැලුවෙ අයර්ලන්තයෙන් ආපු නරි මහත්තයා.

 

" හරි දැන් අපි ප්රශ්න ටික දන්නවනේ. ඉතිං සහෝදරවරු මොනවද හිතන්නෙ. අපි මේවා නවත්වා ගන්න ගත යුතු ක්රියා මාර්ගය ගැන" එරික් මෙහෙම ඇහුවම සභාව මීයකට පිම්බා වගේ නිහඬ වුණා. එතකොටම වගේ අර වැහි වලාකුලත් කෙහෙටදෝ පාවෙලා ගිහින් සඳ රැජිණියත් මුකුළු කරන්න පටන් ගත්තා. කට්ටියගෙම මුහුණු වලට හඳ එළිය වැටිලා දිලිසුණා.

 

මද වෙලාවක නිහැඬියාවෙන් පස්සේ එරික් තමන්ගෙ ගැඹුරු හඬ ඉතාමත්ම සන්සුන්ව සහ ස්තීරසාරව අවඳි කළා.

 

" මගේ ආදරණීය සහෝදර සහෝදරියනී, මට අපගේ ප්රශ්න හැම එකක් ගැනම හොඳින්ම වැටහෙනවා. මේවට විසදුමක් ලබා ගැනීමට ගත යුතු ක්රියා මාර්ගය ගැන මම දින කිහිපයක් තිස්සේම හිතුවා. හිතල හිතලා ගත්තු තීරණය තමයි මේ." එහෙම කියල පිරිස දිහා කන්න වගේ බලාගෙන ඉන්න පටන් ගත්තා. පිරිස මදක් නොසන්සුන්වන්නටත් ඉන් පස්සෙ කුටු කුටු ගාන්නටත් පටන් ගත්තා.

 

" මොකක්ද දන්නවද අපි කරන්නෙ. අපි අද රෑම ගිහින් බකින්හැම් මාළිඟාව වටලනවා. වටලලා රැජිනව අපේ අත්අඩංගුවට අරගෙන නිවාස අඩස්සියේ තියාගන්නවා. එයාව නිදහස් කර ගන්න ඕනෙ නම් අපේ ප්රශ්න වලට විසදුම් ඕන බව අපි කියමු. තමුන්නාන්සෙලා මොකද මේ ගැන කියන්නෙ..?" එරික් මෙහෙම ඇහුවම සභාව මදක් කැලඹුනා.

 

" අපි කොහොමද මාළිඟාව ඇතුළට යන්නෙ?" ස්කොට්ලන්තයේ නරියගෙ හඬ.

 

" ඒකත් වැඩක්ද? අපේ සහෝදරවරු කීදෙනෙක් නම් දැනටමත් ඇතුළෙ ඉන්නවද? වගේම අපි හයිඩ්පාක් එකේ ඉඳල මාළිඟාව ඇතුළට හාරපු උමඟ ගිය සතියෙයි හාරලා ඉවර කළේ. ඒක දිගේ ගමේ යනවා වගේ අපිට ඇතුළටම යන්න පුළුවන්. රැජිනව උස්සලා කෙළින්ම ගෙනියනවා වොල්තම් ෆොරස්ට් එක ඇතුළට. කැලේ ඉන්න සහෝදරවරු දැනටමත්පොළොව යට බංකරයක් හදලයි තියෙන්නෙ. ඒක ඇතුළෙ රැජිනව හිර කරමු. මට මේ වැඩපිළිවෙළට තමුන්නාන්සෙලාගේ කැමැත්තයි ඕනෙ."

 

එරික්ට අන්තිම වාක් කියල ඉවර කරන්න ලැබුණෙ නෑ. " අපි කැමතියි! අපි කැමතියි!! හුහ්හූ හූ හූඌ" කියල කට්ටියම එක හඬින් කෑ මොර දෙන්නති ජාතික ගීය වන හූ හඬනඟන්නත් පටන් ගත්තා.

 

සාකච්ඡා කරගත්ත විඳිහට කට්ටියම අඩ අඳුරෙම බකින්හැම් මාළිගාව බලා පිටත් වුණා. පොඩි එවුන් දෙන්නා දාලා යන්න බැරි නිසා එරිකා මඩුවෙ වහල උඩ තිබුණු ඔවුන්ගෙ ගෙදර නැවතුණා. ඒත් එරික්ට හාද්දක් දීලා ජය පතන්නට ඇය අමතක කළේ නෑ.

 

හොර රහසේම පිටත් වුණු කණ්ඩායමට අතර මඟ දිඟටම තව තව නරි රංචු එකතු වුණා. අවසානයේ හයිඩ් පාක් එකට ළඟා වෙනකොට එතන නරි දාහකට වඩා වැඩි සේනාවක් හිටියා. එතන උමං දොරටුවේ මුරට දාලා හිටිය නරි කොල්ලො දෙන්නා එරික්ව දැක්ක ගමන්ම උඳලු කෙටි පැත්තකට අරගෙන දොරටුවෙන් ඉවත් වුණා. සේනාව එකා පිටුපස එකා උමං කටින් සීරුවට ඇතුල් වෙලා මාලිගාවට රීටුවා.

 

එදා මාළිඟාවෙ ටිකක් කලබල දවසක් බව එරික් දැනගෙන හිටියා. එළිසබත් රැජිනගෙ පුංචි මුනුබුරා මනමාලියක් කැන්දගෙන ආපු සතුටට මාලිඟාවේ උත්සවය තිබුණෙ එදයි. හැමෝගෙම අවධානය යොමු වෙලා තිබුණෙ උත්සව ශාලාවට. නැටුම්, ගැයුම් හා රැඟුම් හැම අතකම. ඊට එහා කෑම සුවඳ. නරි රංචුවට ආපු වැඩෙත් තව ටිකෙන් අමතක වෙනවා. උත්සවය හොඳට නැඟලා යනවා. ආරක්ෂක භටයොත් කටවල් ඇරගෙන දිහා බලාගෙන භාවනා කරනවා. එරික් ඇතුළු පිරිස තම තමන්ට හැකි තැන්වල හැංගිලා සූදානමින් ඉන්නවා. මාළිගාවේ වත්තෙ නේවාසික නරි රංචුව එරික්ට ඉතාමත්ම වැඳගත් ආරංචියක් මේ වන විටත් දීලයි තිබුණෙ. තමයි රැජින මධ්යම රාත්රියෙන් පසුව නිදි මරන්නෙ නැති එක ගැන. ඇය කොයි උත්සවයක් තිබුණත් , 12 පහුවනු ගමන්ම සිරි යහන් ගබඩාවට ඇවිත් නිදා ගැනීම කලක සිටම පුරුද්දක් විදිහටම කරගෙන ඇවිත් තිබුණා. දොස්තරවරුන් ඇයට දීපු උපදේශයක්.

 

රැජින සිරියහන් ගබඩාවට ඇතුළු වෙන්න ඉස්සර වෙලා තමයි නරි රංචුව කලින් හදාපු උමඟ දිගේ කාමරය ඇතුළට ගිහින් හැංගිලා හිටියෙ. රැජිනිය ඇඟපත හෝදගෙන යහනට ඇවිත් ඇලවුණාම තමයි එතුමියගෙ සේවිකාවො කාමරයෙ විඳුළි පහන් අඩවන් කරලා දොරත් වහගෙන කාමරෙන් පිට වුණේ. එරික් ඇතුළු පිරිස හිටියෙ මේ ඔක්කොම සිද්ධි බලාගෙන.

 

මේ විදිහට තව සුලු මොහොතක් ගත වුණා. මොනව කළත් රැජිනක් එක්ක නේද මේ සෙල්ලම් කරන්නෙ කියල එරික් ඇතුළු නරි රංචුවට යම් චකිතයක් නොදැණුනාම නොවේ. තවත් මොහොතකදි තමයි මේ වයෝවෘධ රාජිණිය මහා හයියෙන් ගොරවන්න තියාගත්තෙ. දැන් තමයි සංග්රාමයට හරිම වෙලාව කියල නරි රංචුවට තේරුණා. ඔවුන් සැඟවිලා හිටි තැන්වලින් හිමින් සීරුවෙ එළියට ඇවිත් රැජින ළඟට බොහොම පරිස්සමට ලං වුණා.

 

හැමෝම දැන් තමන්ට නියමිත ස්ථාන වල ස්ථානගත වෙලා. කලින් කතා කරගත්තු නියෝග එනකල් බලාගෙන ඉන්නවා. හදිසියේම එරික් අතින් සංඥාව දුන්නා. එතකොටම ඇඳ දෙපැත්තෙ උන්නු දෙන්නා ඉස්සරහට පැනලා රැජිනගෙ කට අල්ලගෙන ඇතුළට පාන්කඩ එබුවා. අනෙක් අය රැජිනව ඔසවා ගත්තා. කෙනෙක් උමං කටේ දොර ඇරියා.

 

මේ වෙලාවෙම කවුදෝ කොරිඩෝව දිගේ එනවා දැකපු අපේ නරි රැළ තමන්ට හැකි තැන්වල සැඟවුණා. වෙනකොටත් රැජිනව උමග දිගේ සෑහෙන දුරක් අරගෙන ගිහින් ඉවරයි. කඩිනමින් එන කෙනා ලයිට් එකක් ළඟින් මාරු වෙන කොට තමයි එරික් එන කෙනා කවුද කියල හරියටම අඳුර ගත්තේ. තමයි රැජිනගෙ ලොකු පුතා මැරෙන කල්ම ඔටුන්න හිමි එහෙත් හිසට ඔටුන්නක් තවම නැති චාල්ස් කුමාරයා. එතුමාව දැක්ක ගමන්ම නරි රැළට පරණ තරහක් මතක් වුණා. තමයි ඔහු තමන්ගෙ මුතුන් මිත්තන්ව විනෝදෙට දඩයම් කරපු බව.

 

මේක මතක් වුණ ගමන් නරි රැලේ නරිලේ කකියන්න ගත්තා. එකපාරටම එතන උමග කට මුර කරපු නරි රැළ චාල්ස්ගෙ ඇඟට පැන්නා. කෑ ගහන්න තියා හිතා ගන්නවත් බෑ කුමාරයා බිම. ඔළුව බිම හැපුණු පාරටම එහෙමම සිහි නැති වුණා. නරි රංචුව උමගෙ කට වහල හීන් සීරුවෙ ඇතුළට පැන ගත්තා. එතකොට තමයි ආරක්ෂක භටයො එතනට කඩා පාත් වුණේ. හතර අතේම ලයිට් ගහගෙන එකම ගිනි විජ්ජුම්බරයයි. ලංඩනයෙ හැම පාරක්ම වහල කාටවත් පිටවෙන්න බැරි විදිහට මුර කාවල් තර වුණා. ගිනි නිවන හමුදාව , පොලීසිය හා ගිලන් රථ හමුදාවෙන් බකිම්හැම් මාළිඟය හා අවට පිරී ගියා. මොහොතේම එංගලන්තයෙ අගමැතිනිය හදිසි කැබිනට් මීටිමක් කැඳෙව්වා. චාල්ස් කුමරුට පහර දීම හා රැජිණියව පැහැර ගැනීම ගැන මුළු ලෝකයටම ප්රවෘති ගලා ගියා. පත්තර කන්තෝරු වල විශේෂ මුද්රණ මේ ප්රවෘතිය දාලා මුද්රණය වුණා. හැමෝම කල දුටු කල වල ඉහ ගත්තා. දුරකථන ජාලා අධික භාවිතාව නිසා ඇණහිටියා. ලෝක නායකයින් මේ ක්රියාවන් හෙළා දැකලා කිඹුල් කඳුළු සමඟ පණිවුඩ එවන්නට පටන් ගත්තා.

 

මේ මොහොතේ රැජිනිය හිටියෙ නරි හමුඳා අත්අඩංගුවෙ පොළොව යට හදාපු බංකරයක හිර වෙලා. චාල්ස් කුමාරයව රෝහලට ගෙනිහිල්ලා. පත්තර වල සිරස් තල මේ ගැන පොල් ගෙඩි අකුරින්. හැම තැනම කතාව මේ ගැනමයි. මේ මොහොතෙ තමයි එරික් කියන නරි නායකයා අගමැතිනියට ඇමතුමක් ගත්තෙ. රැජිණියව නිදහස් කරන්න නම් යම් යම් ඉල්ලීම් වගයකට කැමැත්ත ඕන කියල නරි නායකයා තරයේම කියා සිටියා. අගමැතිනිය අධි මදි කරනකොට එරික් දුරකථනය රැජිනට දුන්නා. හැඬුම්බරව රැජිනිය අගමැතිනියට කරුනු කියා හිටියා. ඉන් පසු පවත්තපු හදිසි කැබිනට් මීටිමෙන් පහත ඉල්ලීම් දිනා ගන්නට එංගලන්තයේ නරියන්ට හැකි වූ බව නිවේදනය වුණා.

 

එයින් පළමු වැන්න තමයි හැම ප්රදේශයේම ඔවුන් සඳහා රක්ෂිත වනයක් වෙන් කිරීම. ලංඩන් පෙදෙසේ මේ සඳහා වෙන් වුණේ හයිඩ් පාක් එක. නිවාස ප්රශ්නය විසඳුණා. නරියන්ට පුදුම සතුටක්. අනෙක් දිනා ගත්ත ඉල්ලීම ඊට එහා. තමයි හැම නිවසකම එළියෙ නරියන්ට කෑම පිඟානක් තියන එක. දැන් කෑම ප්රශ්නයත් හරි. අනෙක් එක තමයි හැම වනගත මාර්ගයකම නරින්ට පාර මාරු වෙන්න ස්ථාන ස්ථාපිත කිරීම. නරින්ගෙ පිංතූරයකුත් එක්ක. මේ ටික ඇහුණා විතරයි නරි රංචුව ඔවුන්ගෙ ජාතික ගීය ගයමින් උඩ පැන පැන නටන්න පටන් ගත්තා.

 

" හුහ්හු හුහ්හු හූඌ.... හුහ්හු හූඌ"

පළාතම හූ නාදයෙන් ගිඟුම් දෙන්නට පටන් ගත්තා. එතකොටම තමයි හොඳට හුරු පුරුදු කට හඬක් හරිම ආදරණීය ස්වරයකින් කණ ළඟින්ම ඇහුණෙ.

 

" අනේ හැබෑටම මේ මිනිහට අමු කැවිලද? රෑ තිස්සෙම මට නිදා ගන්න බැරි තරමට ගොරව ගොරව නිදා ගෙන ඉඳල දැන් නරියෙක් වගේ හූ තියන්නත් ගත්තද? නැඟිටිනවා ! නැඟිටිනවා දැන් හොඳටම එළි වෙලා. වැඩට යන්නෙ නැද්ද?"

 

මගෙ දෙයියනේ! ආදරණිය බිරිඳගේ ආදරණීය ගෝරනාඩුවට මම උඩ ගිහිල්ලා ඇහැරුනේ එතකොට. යාන්තමට ඇස් ඇරලා වටපිට බලනකොට තමයි මට පියවි සිහිය ආවෙ. ඊයෙ හවස අපේ වත්ත පහළ මඩුව උඩ මම දැකපු අහිංසක නරි පවුල මාව මෙච්චර දුරකට ගෙන යාවි කියල මම හීනෙකින් වත් හිතුවෙ නෑ.

3 comments:

  1. ඇත්තටම නරි ගැන ඔය විධිහට ක්‍රියාත්මක වුනාද එංගලන්තේ ?

    කතාවනම් මරු... ලංකාවෙන් ගිය ඉන්ජොන්ට නම් ගේමක් දෙන්නම ඕනා තමා..ඕකුන් කිසි අංගපුලාවක් නැති උන් තමා...

    ReplyDelete