Pages

Wednesday, 2 May 2018

මී වදයෙන් නික්ම ගිය මී මැස්සා...


 



 

" මී වදයකි ජීවිතේ...

මී පැණි පිරීලා ඇතේ..

මත් වීලා...ගුම් ගුම් නඳ දීලා..

සැනසෙමු අපි හිතුමතේ...."

 

මේ ගීතය අසා නැති පුද්ගලයකු ලංකා දරණීතලය මත විසුවේ නම් ඔහු හෝ ඇය එක්කෝ බිහිරි විය යුතුය. එසේ නැතිනම් හය හතර නොදන්නා කිරි සප්පයකු විය යුතුය. මක්නිසාද මේ ගීතය එතරම්ම පොදු ජන තුඩ තුඩ රැව් පිළිරැව් දුන් නිසාවෙනි. මේ ගීතය නොගයමින් ගිය විනෝද චාරිකාවක් නොවීය. එමෙන්ම මෙය නොගැයුණු සාදයක්ද නොවීය.

 

" කවුද හරි " සිනමාපටයේ ඩොමී ජයවර්ධනයන්ගේ රංගනය සමඟ කෙරුනු ගායනයට පසුබිමින් සැපයුණු ගීතය වූයේ මා මතු සඳහන් කළ " මී වදයක ජීවිතේ " නම්වූ මෙම ගීතයයි. එය කෙතරම් නම් අපූරුවට ඩොමී ජයවර්ධනයන්ගේ රූපකාය හා බද්ධවූවාද කියනවානම් අපට සිතුණේම එය ඔහුම ගායනා කරන බවකි. එහෙත් එම ගීතය සැබැවින්ම ගායනා කළේ සී ටී ප්රනාන්දු නම්වූ සිංහල සංගීතය නව මානයකට රැගෙන ගිය අපූරු සංගීතවේදියෙකි. ගායකයෙකි.

 

සුනිල් සාන්තයන්, ආනන්ද සමරකෝන් සූරීන් හා පී එල් සෝමපාල වැනි සංගීතයේ උඩුගම් බලා පීනූ සොඳුරු හිතුවක්කාරයන් අතර සී ටී ටද ලැබුණේ අද්විතීය තැනකි.

 

ඔහුටම ආවේණික කට හඬ , වෙනස්මවූ ගායනා ශෛලිය හා බටහිර ආරට නෑකම් කියූ හදවතේ ලැගුම් ගන්නා සුලු සංගීතය බාල , තරුණ හා මහලු යන සියලුම වයස් මට්ටමේ රසිකයනට රස විඳිය හැකි විය. සරල , සුගම් පදමාලාවලින් විරචිත එතුමන්ගේ ගීත එක් වරක් ඇසූ පමණින් මතකයේ රැදෙන ගුණයෙන් අනූන විය.

 


සී. ටී ප්රනාන්දු ගැන සිහි කිරීමේදී මගේ මතකය නිතැතින්ම දිව යන්නේ 70 දශකයේ අග භාගයටය. එකල මගේ පුංචි සවනට හැම සවසකම හා සති අන්තයකම වාගේ ඇසුණු සංගීතයකි. එය ඇදී ආවේ පුරුදු පුහුණුවීම්වල යෙදීවුන් තූර්යවාදක කණ්ඩායමකිනි. එවකට අනුරාධපුරයේ ශාන්ත ජොසෆ් දේවස්ථානයට යාබදව පිහිටා තිබූ ශුද්ධ වූ පවුලේ කන්යාරාමය පාසලේ නේවාසිකාගාරයේ නේවාසික සිසුවියන් එම තූර්යවාදක කණ්ඩායමට අයත් වූහ. එම ගීතය වූයේ " හෙලජාතික අභිමානයේ " ගීතයයි. එමෙන්ම එකල ගුවන් විඳුලියේ උදා ගී යටතේ වාදනය වූ මෙම ගීතය හා එතුමන්ම ගැයූ " අවධිවන්න.. අවධිවන්න.. දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ.." යන ගීතයද මට අද මෙන් මතකය. මේ දැන් ඇසෙනවා වැනිය.

 

එහෙත් අපේ අවාසනාවට 1977 වසරේදී , එනම් අප යන්තම් සිංදුවක රස විඳින්නට පටන් ගත් විටම වාගේ එතුමා වියෝ වීම නිසාවෙන් එතුමාව සජීවීව රස විඳීමේ අවස්ථාව මා ඇතුළු අපගේ සමකාලීනයින්ගෙන් හා අපට පසුව ඉපැදුණු පරපුරට අහිමි විය. මිය යන විට එතුමන් යන්තම් වයස අවුරැදු 56 ක් වූවා පමණි.

 

එය එසේ වුවද යම් තරමකින් අප වාසනාවන්තයින්ද වූයෙමු. එතුමන්ගේම හඬ ජීවමාන කිරීමට සමත් වූ පුත් රත්නයක් එතුමන්ගේ වියෝවත් සමඟම ගායනා ලොවේ උපත ලැබීම නිසාය. වෙන කවුරුන් හෝ නොව සී ටී පුත්, ප්රියන්ත ප්රානාන්දුය. සී. ටී ගේ ගීත අපට හරිහැටියට සවන් දීමට හොඳ තත්වයේ වූ පටිගත කිරීමක් හෝ නොතිබුණ නිසා අප සී ටී ගීත ඇසුවේ ප්රියන්තගේ හඬිනි. සී ටී ගේ වීඩියෝවක්වත් නොතිබූ නිසා සී ටී රුව අප දුටුවේ හා එතුමන්ගේ අංග චලන හා ගීත ගායන විලාසය අප සිතා ගත්තේ ප්රියන්ත ප්රනාන්දුගෙනි.

 

සී ටී ගීත රස ආකරයේ ගීත ගොන්න අතර මී අඹ වනයේ, කිමද සුමිහිරියේ,මා බාල කාලේ, සඳ වට රන් තරු,සිහින ලොවේ මිහිර මැවූ මාලී,ආනෙ ඩිංගක් ඉන්නකෝ,මගෙ සුදු මාමේ, පුන් සඳ හිනැහෙන්නේ, ලෝ අඩ නින්දේ,හෙළ ජාතික අභිමානේ, අඹ රුක් සෙවණැල්ලේ, සීගිරි සුකුමාලියේ, බර බාගේ, මල්බර හිමිදිරියේ, අම්බිලි මාමේ, රෑ පැල් රැකලා, අවඳි වන්න අවඳි වන්න ආදී ගීත අප සවන්පත් සිසාරා ඇදුණේ ප්රියන්ත ප්රනාන්දුගේ හඬිනි. ඔහු පියාගේ ගීත ජීවමානකරන ගීතවාහකයා වූයේ එලෙසිනි.

 

එතුමන්ගේ හෙළ ජාතික අභිමානය නොගැයුණු නිදහස් උත්සවයක් අපේ රටේ නොවීය. එම ගීතය නොවැයූ පාසල් හෝ හමුදා තූර් වාදක මඬුල්ලක් නොතිබුණි. එතුමන්ගේ ගීතයක් නොගැයුණු විනෝද චාරිකාවක් , සාදයක් හෝ ප්රිය සම්භාෂණයක් රටේ කොතනකවත් නොවීය. එතරම්ම ගීත අප අසන, ගයන හා දනන් තුඩ තුඩ රැව් දෙන නිර්මාණ විය.

 

මා බාල කාලේ හා සඳවට රන් තරු යන ගීත අසා කඳුළක් නෙතඟින් නෙහැලු දරුවකු නොසිටියහ. රෑ පැල් රැකලා, මගෙ සුදු මාමේ වැනි ගීතවල තිබූ වෑහෙන ගැමි අසිරියට එතුමන්ගේ කට හඬින් අපව සිහිනයෙන් මෙන් ගෙන ගියේ කට හඬේ වූ ජීව ගුණය නිසාවෙනි. පුන් සඳ හිනැහෙන්නේ, ලෝ අඩ නින්දේ ආදී ගීත අපව රැගෙන ගියේ සඳ පහන් රැයක සඳ දිය උතුරා ගලා හැලෙන වන ලැහැබකටය. සිහින ලොවේ මිහිර මැවූ මාලී හා ආනෙ ඩිංගක් ඉන්නකෝ වැනි ගීත අපගේ සිත් ආදරයෙන් කුල්මත් කරන්නට , ප්රේමයෙන් ආතර කරන්නට සමත් විය.

 

තම පියාගේ විසල් ගීත සමුදායත් හා ප්රෙක්ෂකයාගේ ගීතවලටම තිබූ ඉල්ලීමත් නිසා ප්රියන්ත ප්රනාන්දු ගායනවේදීයා ගායනයන්ටම සීමා වුවත් මට එහි වරදක් නොපෙනේ. මන්ද ඔහු ලෝකයට පැමිණ තිබුණේ ඉතා අඩු වයසකින් වියෝවූ තම පියා ජීවමාන කිරීම උදෙසා නිසාවෙනි.

 

ප්රියන්ත ප්රනාන්දුගේම ගීත වූ වෙරළේ මුහුදු වැල්ලේ, නිරංජලා කාටදෝ ආදරේලු දැන් යනාදී ගීත ඔහුගේම වුවත් ඒවායින්ද ගම් වූයේ සී ටී අනන්යතාවයමය. එහෙයින් සී. ටී. ත් ප්රියන්තත් ගායන ලොවේ දෙදෙනකු නොව එකෙකු බව අපට පැහැදිලිය.

 

එහෙත් සී ටී වියෝවෙන් පසු හඬ අපට ජීවමාන කළ ප්රියන්ත ප්රනාන්දු සහෘදයාද අපගෙන් වියෝවූ බව කියැවුණු මූසල පුවත , ඊයේ එනම් ලෝක කම්කරු දිනයේ අප වෙත හමා ආවේ රුඳුරු කුණාටුවක් විලසිනි. දැන් යුග දෙකම අවසන් වී හමාරය. එදා 1977 දී ,සී ටී වියෝවෙන් පසු ප්රියන්ත ප්රනාන්දු නම් වූ තම පුත්රයා තුළින් සී ටී නැවත උත්පත්තිය ලැබීය. එහෙත් ඊයේ වසර 65 ක් ආයු වළඳා අපෙන් වියෝ වූ ප්රියන්ත ප්රනාන්දුගෙන් පසු හඬ ගෙනයාමට සමත් ඔහුගේම පුතකු හෝ වෙනත් අයෙකු ඇතිදැයි කියා මම නොදනිමි.

 

මේ සී ටී හඬේ අවසානයද? සිතිවිලි සිරවී ඇත. හදවත ව්යාකූලය. දැනෙන්නේ මහා තනිකමකි. මගේ පුංචි කුටියේ කවුළුවෙන් පෙනෙන්නේ හිස් අහසය. බක් මාසයේ කල එළියට බසින්නට නොහැකිව මඟ වැරදී තනිවූ කොවුලකු යාබද ගසේ අත්තක වසා ඇත. මා දෙසට කිසිදු අරමුණකින් තොරව බොඳ වූ දෑස් දල්වා ගතිමි.

 

චන්දන ගුණසේකර

2 comments:

  1. ඔහුට සුභ ගමන්. ඇත්තටම අසනීපව හිටියා කියල දැනං හිටියා. ඒත් මරණය පොඩි නිව්ස් එකක් උනා විතරයි.

    හැඩවැඩදා ඇවිදිනවා පොඩි කාලේ මා වාගේ..

    ReplyDelete
    Replies
    1. Ow macahn. Minisunta ohu nathi Aduwa dan danewi.

      Delete