අප ජීවත්වන මේ ලෝකය රඟ මඬලක් නම් මෙහි කලින් කලට එන යන නළු නිළියන් විවිධාකාර වූ චරිත මවන්නෝය. ඔවුන් කරන කියන කළ කී දෑ නිසා සමහරුන් ඉතාමත්ම වටිනා චරිත එසේත් නැතිනම් හැම හදවතකම පැලපදියම් වන පුරාවෘත්ත බවට පත් වෙති. බුදුන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ හා නබී නායකතුමන් වැනි ආගමික ශාස්තෘ වරුන්, චේ ගු වේරා, නෙල්සන් මැන්ඩෙලා , මාක්ස් , ලෙනින් හා ෆිඩෙල් කස්ත්‍රෝවන් විප්ලවවාදීන් , බොබ්මාලේ, මයිකල් ජැක්සන් වැනි ගායකයන් , සිනමා වේදීන්, රංගන ශිල්පීන් , ලේඛකයින්, කවියන් හා ක්‍රීඩකයන් වැනි මෙවන් පුරාවෘත බවට පත්වූ පුද්ගලයින් පිළිබඳව ලෝකයේ උවමනා පදම් නිදසුන් සොයා ගත හැක. අපේ පුංචි ලංකාව ගැන සැලකුවද මෙවැනි බොහෝ චරිත අපට හමු වන්නේ ඔවුන් කළ කී දෑ නිසාය.
ඒ ජීවමානව පොළොවේ පය ගසා ඔබ අපි මෙන් ජීවත් වූ මිනිසුන්ය. මේ අතර මිනිසුන්ගේ හදවත් තුළ සැමදා ජීවත් වෙන පුරාවෘත බවට පත්වූ අජීවී එසේත් නැතිනම් යමෙකු තම පරිකල්පනයෙන් මැවූ චරිතද බොහෝ ප්‍රමාණයක් ලෝකයේ ඇත. මිස්ටර් බීන්, ස්පයිඩර් මෑන්, ෂර්ලොක් හෝම්ස්, ජේම්ස් බොන්ඩ් , ටිං ටිං හා හැරී පොටර් වැනි චරිත මීට නිදසුන් කිහිපයක් පමණි.
මෙවැනිම පුරාවෘතිත චරිත ලංකාවේද බිහි වුණි. මාටින් වික්‍රමසිංහයන් මැවූ විරාගයේ අරවින්ද, කරැණසේන ජයලතුන්ගේ ගොළු හදවතේ සුගත් සහ දම්මී , පරසතුමල් සිනමා පටයේ බොනී මහත්තය, වැලි කතර සිනමා පටයේ ගෝරිං මුඳලාලි හා මෑත යුගයේ ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය කිහිපයක චරිත වූ සූරසේන, කුරුස මුඳලාලි හා කෝපි කඩේ වැනි නාට්‍යවල චරිත මගේ සිහියට එයි. එමෙන්ම ඇනස්ලි, සැමුවෙල් හා බර්ටි ත්‍රිත්වය තැනු අමාරිස් අයියා වැනි විකට චරිතද සාජන්ට් නල්ල තම්බි හා මෑතකදී ජනප්‍රිය වූ චූටි මල්ලී හා පොඩි මල්ලීද රසික හදවත් පැහැරගත් මණක්කල්පිත චරිතයන්ය. එපමණක්ද ඉතිං ඊට පස්සේ වැනි චිත්‍ර කථාවක දේදුනු හා කැළුම්, ගජමෑන් කතාවේ ගජ මෑන් , යෝධයා කතාවේ පඬිතුමා වැනි චරිත,මුවන් පැලැස්ස වැනි ගුවන් විඳුළි නාට්‍යවල කදිරා, ආරච්චිල ,පිනා හා ගුරුන්නාන්සේ වැනි චරිතද මෙලෙසම පුරාවෘත බවට පත්වූයේ ජනහද තුළ අමරණීය වෙමිනි.
එහෙත් අපගේ අවාසනාවකට හදිසියේම මෙවන් පුරාවෘතිත චරිත බිහිවීම සැබෑ ජීවිතයේ මෙන්ම පරිකල්පනා ලෝකයේද හිඟ වීම අසූව දශකයෙන් පසුව පැහැදිලිවම සිදුවන්නට විය. ලෝකයේ එය එතරම්ම අහේනියකට මුහුණ පෑවේ නැත. එහෙත් ලංකාවට නම් මේ සම්බන්ධයෙන් කණ කොකා හැඬුවේ ඉතාමත්ම දරුනු අන්දමටය. අකාරැණිකවය.
මෙම ලිපියේ අරමුණ කලා කෘතියක් පිළිබඳව වන බැවින් මම වැඩි අවධානය ඒ සම්බන්ධයෙන් යොමු කරමි. කලාවට, විශේෂයෙන්ම සිනමාවට අසූව දශකයෙන් පසුව එළඹුණේ මහා අපල කාලයකි. නවකතාවට,කෙටි කතාවට, කවියට සහ චිත්‍ර කතාවට අත්වූයේද ඒ සන්තෑසියමය. මිනිසුන්ගේ සුන්දර අද්‍යයාත්මය හා රසාංඥතාවය මුදලට වැසී යටවී වැනසී ගියේ ඉතාමත්ම සැහැසි ලෙසය. සිනමා පටයක් නැරඹීමට , කවියක්, ගීතයක් හෝ නව කතාවක් රස විඳීමට මිනිසුන්ට වෙලාව නැතිවූයේ මුදල් පසුපස හඹා යෑමේ සංස්කෘතියක් බිහිවීමේ ප්‍රතිඵලය නිසාය.කලාවේ හැම අංශයක්ම පිරිහිණි. සිනමාවේ සහ චිත්‍රකතාවේ සුන්දර යුඟය මියගියේ අවලං කාම රැල්ලකින් ඒවා අපවිත්‍ර කිරීමෙනි. දැනුමක් තේරැමක් ඇති මිනිසුන්, නිර්මාණ කරුවන් මෙන්ම රසිකයන්ද තම තමන් හදාගත් ලෝකවල තනි වී හුදෙකලා වූයේ හැම අංශයක්ම නන්නත්තාර කරමිනි. බිහිවන තරමක් බිහිවූ නිර්මාණ වැඩි ප්‍රමාණයක් සුළඟේ ගසාගෙන යන බොල් වී අහුරු වූයේ කිසිදු චරිතයක් හෝ නිර්මාණයක් රසික සන්තානයේ රැඳී නොසිටිමිනි. මේ හේතුවෙන් හා නිවසටම පැමිණි බැවින් සිනමාවට සමුදුන් රසිකයන් රෑපවාහිනය වට රොක්වූයේද මේ සමයේමය.
මෙවන් වකවානුවක බිහිවූ පළිඟු මැණිකේ, දූ දරැවෝ, කඩුල්ල, වෙඳ හාමිනේ හා දඬුබස්නාමාණය වැනි නිර්මාණ රසික හදේ තැන්පත් වුවද ඉන්පසු නිර්මාණය වූ බොහෝ වට්ටෝරුගත බොල් නිර්මාණ හා කසිකබල් හින්දි කොපි නැවතත් රසික අධ්‍යාත්මය කෙලෙසා දැමීම නිසා උසස් රසයක් පැතූ රසිකයන් යන එන මං නොමැතිව නැවතත් අතරමං වූයේ තව තවත් කලාව හා රසාංඥතාවය කුණු කූඩයටම තල්ලු කර දමමිනි.
මෙකල අවාරෙට පොල් වැටෙන්නාක් මෙන් රසික හදවත් සසල කළ නිර්මාණ එකක් හෝ දෙකක් බිහි නොවුනාම නොවේ. " සිඳු" නම්වූ ටෙලි වෘතාන්තය එලෙසින් බහුතර රසික ප්‍රජාවක් වැළඳගත් නිර්මාණයකි. එහෙත් ගොම අස්සේ ඇති මැණක් කැට තව තවත් ඒ මතටම වැටෙන ගොම තලි නිසා එතරම්ම දිස්නයක් පිට කිරීමට අපොහොසත් විය. " බොහීමියානුවා" නම්වූ නාටකයටද අත්වූයේ මෙම ගොම ගොඩේ ගිලී යාමටය.
මෙවන් නන්නත්තාර වූ යුඟයක විකාෂණයවූ පළමු කොටසින්ම රසික හදවත් ආකර්ෂණය කරගත් ටෙලි නිර්මාණයක් පසුගිය වසරේ දී බිහිවිය. එහි නම හා තේමා ගීතයේ පටන්ම වූයේ නැවුම් බවකි. ඉතාමත්ම පුංචි වුවත් එකට එකතු වී යෝධ වැඩ කරන " කූඹියෝ" එහි නම විය. එය , ලාංකීය රසික සමාජයේ හොඳම " නිලය" බෙල්ල මුලින්ම අල්ලා ගන්නට සමත් වූයේ පැරණි යුඟයේ වූ පුරාවෘතීය චරිත වැනි චරිත රසික ප්‍රජාවට ප්‍රදානය කරමිනි.
පසුගිය සෙනසුරාදාවේ එය අවසන් වන විට එහි කතා තේමාව සහ චරිත රසික හදවත් සමඟ දීග ගොස් පමණක් නොව එහිම බින්න බැසද තිබිණි. කතාව අවසන් වන විට " ජෙහාන් ප්‍රානාන්දු, ප්‍රියන්ත මහඋල්පත, ටිරෝන්, තෙන්නේ පමණක් නොව ඉතා සුළු කාලයකදී තම චරිතයේ කරණම් ගසමින් පෙළහර පෑ මල්දෙණියද රසික හද සන්තානයේ පුරාවෘත බවට පත්වී අවසානය. ඔවුන්ද සමාජයේම සැබැවින්ම ජීවත්වන පුද්ගලයන් බවට පත් වූයේ එදා අපේ සිනමාවේ සහ නව කථාවේ තිබූ ස්වර්ණමය යුගය සිහියේ රඳවමිනි.
මෙහි තිබුණේ අපූරැ පිටපතකි. යොදා ගෙන තිබූ දෙබස් මතකයේ රැඳෙන ගුණයකින් යුක්ත විය. එකල වැලිකතර , නිධානය, මහ ගෙදර, සරැංගලේ හෝ පරසතුමල් වැනි සිනමා පටවල දෙබස් අපගේ හදවත්වල රැඳුණේ යම්සේද මෙහි ජෙහාන් සහ ප්‍රියන්ත අතර ඇතිවූ දෙබස් සමාජයේ නිරතුරුවම මෙන් සිහිපත් කෙරිණි. තුඬ තුඬ රැව් දුනි. හදවත් වල ලැගුම් ගති.
ඔස්ටින් අයියා චරිතයට පණ පෙවූ සේනක ටයිටස් සහෘදයාගේ අනපේක්ෂිත හදිසි නික්ම යාමත් සමඟම පිටපතේ ක්ෂණික හැරවුමක් අපට යන්තම් දැනුනද එය මනාව හසුරුවා තව තවත් නිලයටම ගහන්නට කූඹියෝ අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න සහෝදරයා සමත් වූයේ ඔහු සතු ප්‍රතිභාව කිරි ගහටම ඇන පෙන්වමිනි. ඔහු රසික ප්‍රජාවේ නියම නිලය අල්ලගෙන තිබුණේ එලෙසිනි.
මෙහි චරිත වලට පණ දුන් සියලුම නළු නිළියන් තම උපරිමයෙන් එය කළ බව ඔවුනට ලැබෙන රසික ප්‍රසාදය හොඳම සාක්ෂියකි. තුමිඳු දොඩංතැන්න, කලණ ගුණසේකර , යුරේනි ඇතුළු යොවුන් නළු නිළියන්ගේ රංග ප්‍රතිභාවන් දකින විට අපේ අනාගත නළු පරපුර ගැන කිසිදු බියක් සැකක් තියාගත යුතු නැති බව අපට පසක් වූයේ එබැවිනි. ඩබ්ලිව් ජයසිරි හා පීටර් ද අල්මේදා වැනි ප්‍රවීණයන්ගේ රංග කෞශල්‍ය ගැන මොන නම් අටුවා ටිකාද? ඒවා උපරිමය. නෙත් සිත් සතපවන්නේය.
කෙසේ වෙතත් සෑම ඇරඹුමකම කෙදිනක හෝ එළඹෙන අවසානය " කූඹියෝ" ටෙලි නිර්මාණයටද පොදු වෙමින් පසුගිය සෙනසුරාදා අවසන් වූයේ රසිකයා අතරමං නොකොට ඔවුනට සිතන්නට යමක් ඉතිරි කරලමිනි. උසස් කලා කෘතියක ලක්ෂණ සනිටුහන් කරමිනි.
මෙම සටහන, මරු කතරකට වට වැහි බිඳක් සේ පිපාසිත රසික ප්‍රජාවගේ මනදොළ සපුරා පුරා මාස කිහිපයක් තිස්සේ විකාශනය වූ කූඹියෝ හැදූ සැමටම උපහාරයක් පිණිසය. මෙය අපට ලබා දුන්නාට කෘතඥතාවය පළ කරනු පිණිසය. එහෙත් මෙම සටහන අවසාන කිරීමට පෙර ඉතාමත්ම ආදරයෙන් එක් කරුණක්ද පැවසීමට කැමැත්තෙමි. එනම් මෙම නාට්‍ය මාලාවට ලැබුණු අසීමිත ජනප්‍රියතාවය හා රසික ප්‍රතිචාර නිසා මුදලට වහල් වී දෙවැනි , තෙවැනි කොටස් නිර්මාණය කොට අසාමාන්‍ය ලෙස කතාව රබර් එකක් සේ අදින්නට නම් නොයන ලෙසටය. එසේ උවහොත් සිදුවන්නේ සමහර ක්‍රීඩකයින්, හමුදා ලොක්කන් හෝ දේශපාලඥයින් වැන්නන් විසල් දීප්තියකින් හෙබි තමන්ගේ ක්ෂේත්‍රයේ කාරියක් අවසන් කොට ඒ කීර්තියත් සමඟම විශ්‍රාම නොගොස් ධනයට හෝ බලයට ඇති කෑදරකම නිසා තව තවත් එහිම රැඳී අවසානයේ නොහිතනා ලෙස බලු වී යන අන්දමේ ඛේදවාචකයක් මෙම කතාවට ද අත්වීමය. එය එසේ සිදු නොවේවායි පතමින් හා මෙම නිර්මාණය අපට ප්‍රදානය කළ ලක්මාල් ධර්මරත්න සහෝදරයා ඇතුළු තේ හැදූ සහෝදරයාගේ සිට නිෂ්පාදකවරයා දක්වා වූ නන් අයුරින් මේ සඳහා සහයෝගය දුන් හා දායක වූ සියලුම සහෘදයිනටද මගේ කෘතඥතාවය පළකරමින් ඉතාමත්ම තෘප්තියක් ලැබූ රසිකයකු වශයෙන් මෙම සටහන මෙතැනින් අවසන් කරමි.
චන්දන ගුණසේකර
එහෙත් මෙම සටහන අවසාන කිරීමට පෙර ඉතාමත්ම ආදරයෙන් එක් කරුණක්ද පැවසීමට කැමැත්තෙමි. එනම් මෙම නාට්‍ය මාලාවට ලැබුණු අසීමිත ජනප්‍රියතාවය හා රසික ප්‍රතිචාර නිසා මුදලට වහල් වී දෙවැනි , තෙවැනි කොටස් නිර්මාණය කොට අසාමාන්‍ය ලෙස කතාව රබර් එකක් සේ අදින්නට නම් නොයන ලෙසටය. +1
ReplyDeleteBohoma sthuthi Senna!
Deleteපොඩි පොඩි අතාත්වික තැන් දෙක තුනක් හැරුනම සමස්තයක් ලෙස "කූඹියෝ" අපිට නැවුම් අත්දැකීමක්....
ReplyDeleteචන්දන "සහෝදරයා" ගැනත් සටහනක් ලියන්න කියලා ඉල්ලනවා.. මගේ පුද්ගලික විශ්වාසයේ හැටියට "සහෝදරයා" නාට්‍ය "කූඹියෝ" පරයා යනවා..
Aniwaryayenma Senna. Liwiya yuthumai. Mama oba samaga ekagai. Thumindu Dodanthannage janapriyathawaya (Koobiyo nisa) Sahodarayata labunu aalokayak.
Delete