මේ කථාව මට පටන් ගන්න වෙන්නේ 1976 වසරේ එක්තරා දිනෙක සොඳුරු සන්ද්යා යාමයකින්. එදිනත් සුපුරුදු පරිදි රාස්සිගේ අව්ව අපේ ගෙදර වහලට මුවා වෙද්දී මම නංගී සමඟ වත්තේ දුව පැන සෙල්ලම් කරමින් හා දූවිලි නාමින් පසුවූයෙමි.
හදිසියේම වාගේ ගෙදර පැමිණි අපේ තාත්තා කඩුල්ල පැන වත්තට ඇතුලුවන අතරම " සුද්දා! චිත්රපටියක් බලන්න යන්න ඉක්මනට ඇඳුමක් දාගන්න" යැයි කීවේය. මා පැහැයෙන් නංගී හෝ අම්මා මෙන් සුදු නොවූවත් තාත්තාගේ ලෝකයේ මම සුද්දාම වීමි. දැන් මගේ පුතාට මා සුද්දා යැයි අමතන සෑම මොහොතකම තාත්තා පිළිබඳ සුන්දර සිතිවිල්ලකින් හදවත කිතිකැවී යන්නේ මටත් නොකියාමය.
තාත්තාගේ ආරාධනයෙන් කුල්මත් වූ මා මිටින් හල කුරුල්ලෙකු සේ වහා සැරසී නතර වූයේ තාත්තාගේ බයිසිකලයේ බාර් එක මතිනි. තාත්තා බොහෝ වේලාවට බාර් එක මත කොට්ටයක් තබා නංගි හා මාද එහි හිඳුවා අටමස්ථානය අවට හැන්දෑ ජාමේ කරක් ගැහීම පුරුද්දක් කොට සිටියේය. එම ගමන් ගැන සුන්දර මතකයත් සමඟ එක දිඟට වාඩි වී ගොස් කකුල් හිරිවැටුන විට ඇවිදගැනුමට නොහැකිව විඳි වේදනාවන් හා පාදය බයිසිකලයේ ඉස්සරහ රෝදයේ ස්පෝක් අතර සිරවීමෙන් විඳි වේදනාවන්ද සම සමව මගේ සිහියට එයි.
ඉතිං තාත්තා මා එදා රැගෙන ගියේ අනුරාධපුරයේ සිත්තම්පලම් සිනමා ශාලාවේ තිරගතවූ හුලවාලී සිනමා පටය නැරබීමටයි.
අනුරාධපුර නඟරයේ එවකට සිනමාහල් තුනක් තිබිනි. ඒ අතරින් යම් සුවපහසුවකින් යුතු සිනමා හල වූයේ සිත්තම්පලම් සිනමා හලයි. එය ගඩොලින් බැඳ නවීන පන්නයටම සාදා තිබූ අතර බැල්කනියක් හා පහත මාලයේ පිටුපසට වන්නට බොක්ස් කිහිපයකින්ද සන්නද්ධ විය. ඒ කාලයේ එම බොක්ස් නැත්නම් කුටි පවුලකට නිදහසේ චිත්ර පටය නැරබීම සඳහා වෙන් කර තිබුනද පසු කාලයේ පෙම්වතුන් ඒවා තම තමන්ගේ ඕනෑ එපාකම් සතපවා ගත් තාවකාලික කුටි වූ බැව් මා දැනගත්තේ මා සාමාන්ය පෙළ ලිව්වාටත් පසුවය.
අනෙක් සිනමා ශාලා දෙක වූයේ මාර්කට් ටවුමේ පිහිටි නිව් විජේන්ද්රා ශාලාව හා මහජන පොළ අසල තිබූ විජේන්ද්රා ශාලාවයි. විජේන්ද්රා ශාලාව සම්පූර්ණයෙන්ම ටකරං තහඩුවලින් නිමවා තිබූ අතර වහලයේ මුඳුන් ලීය ඉසිලූ විශාල කණු පේලියක් ශාලාව මැද දිගටම සිටුවා තිබුනි. බාදාවක් නොවී චිත්ර පටය නැරබීමට නම් කලින්ම ගොස් කණු අහුනොවන තැනක් අල්ලා ගැනීමට ප්රේක්ෂකයාට සිදුවිය.
10.30 හා 2.30 දර්ශන වලදී තහඩු ගින්දර මෙන් රත්වූ නිසා ප්රේක්ෂකයා එලියට ආවේ පෝරණුවෙන් එළියට එන උණු උණු පාන් මෙන් කරවී ඉහින් කණින් දහඩිය පොළු හලාගෙනය. තහඩු බිත්තිවල තිබූ සිදුරුවලින් හිරු කිරණ ඇතුලට ගලා ආ අතර චිත්ර පටය පැහැදිලිව නොපෙනුනි. ඊටත් එහි තිබූ ලෑලි පුටු මකුණන්ගේ නිජ බිම් වූ අතර සිඟරට් දුමින් ඇස් නිලංකාර වුනි. ඒත් ප්රේක්ෂකයා කිසිඳු මැසිවිල්ලකින් තොරව චිත්රපට නැරඹීම ප්රශංසා සහගතය. මෙම ඛේදනීය තත්වය නිසාම විජේන්ද්රා කාටු විජේන්ද්රා නමින් අනවර්ත නාමයකින් හැදින් විනි.
නිව් විජේන්ද්රා ශාලාවද ටකරංවලින්ම නිමවා තිබුනද කාටු විජේන්ද්රාව හා සැසඳීමේදි ලකුණු කිහිපයකින් ඉදිරියෙන් සිටියාය.
ඉතිං සිත්තම්පලම් ශාලාවට ලඟා වූ අප බයිසිකලය සයිකල් ගාලේ නවතා පුවේශ පත් රැගෙන ශාලාව තුලට ගොස් අසුන් ගතිමු.
චිත්ර පටය ඇරඹීමට තවත් කාල වේලාව තිබු හෙයින් පසුබිමින් ඉතා මියුරු හින්දි චිත්රපට ගීත ප්රචාරය විය. තාත්තා අප අසලට ආ රට කජු කාරයාගෙන් මට රට කජු ගොට්ටක් අරං දුන්නේය. ඉන්පසු මම කජුවල රස බලමින් චිත්රපටය පටන් ගන්නා තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියෙමි.
හදිසියේම ක්රීංං.... ගා සීනු හඬක් නිකුත්වූ අතර තාත්තා ඒ දෙවැනි බෙල් එක, ඊළඟ එක ගැහුවාම චිත්ර පටය පටන් ගන්නවා යැයි ඒ හඬින් බියැවූ මා අස්වසා පැවසීය. කිව්වාත් මෙන් තවත් ක්රීං නාදයක් කිකුත් වනවාත් සමඟම ශාලාව අඳුරු වී තිරය මත රූප රාමු දිස්විය.
මුලින්ම ගිය 'කමින්' කෑලි මම මහත්සේ රස විඳීමි. තවත් ස්වල්ප වේලාවකින් මගේ ජීවිතයේ නැරඹූ මුල්ම සිනමා පටය හුලවාලී තිරය මත දිඟහැරෙන්නට පටන් ගති.
ගාමිණි ෆොන්සේකා රැහේ මහා හූරා ධාරා ලෙසත්, ටෝනි රණසිංහ සිදාධියෙන් ගමට බඩ ගෑ වෙළෙන්දා ලෙසත් රඟන අයුරු මා කුල්මත් වූ දෑස් ආයාගෙන බලා සිටියෙමි. මා ලපටි කොළුවා වුවත් සුභා වෙලෙන්දා සමඟ ධාරා අතහැර පලා යද්දී මගේ හදවතට වැදුන සුනිල් එදිරිසිංහයන් ගයන කුඩා ගමේ ගීතය තවමත් මගේ හදේ තැන්පත්ව ඇත්තේ ඒ දිනයේ දැණුනු අපූර්වත්වයන්මය. අවසන කොස්තා ධාරාට පිහියෙන් අනින දර්ශනයෙන් මා තිගැස්සුන නමුත් එදා චිත්රපට ශාලාවෙන් එලියට ආවේ චිත්රපට පිස්සෙකි.
එතැන් පටන් චිත්රපට නැරඹීමද චිත්ර කථා පත්තර බැලීම තරමටම ප්රිය කල මා චිත්ර පට බැලීමට මුදල් ඉල්ලා ගත්තේ තාත්තා මධුවිත ටිකක් තොළගා මඳ පමණින් සිටින අවස්ථාවලදීය. එවිට තාත්තා නෑ බෑ නොකියා මුදල් දෙන බැව් මා අත්දැකීමෙන් දැන සිටීම මීට හේතුවයි.
මුදල් සොයා ගත් පසු අප නිවසේ නතරව සිටි ඤාති සොයුරෙකු වූ උක්කුං අයියා සමඟ චිත්රපට නැරඹීමට මම හුරු වුනෙමි. පිචර් පිස්සෙකු වූ උක්කුං අයියා මේ නිකං ලැබෙන පිනා චාන්ස් එකට කිසිම විටෙක පස්ස ගැහුවේ නැත.
මට මතක හැටියට එසේ බලාපු චිත්ර පට අතර නීල් රූපසිංහයන්ගේ සරදියල්ගේ පුතා මගේ සිත තදින් පැහැරගත් සිනමා පටයකි. එහි වූ අයියාට අපී ආදරේ ගීතය මම මහත්සේ රස වින්දෙමි. මා ඇතුළු බොහෝ දෙනෙකු එම චිත්ර පටිය බැලීමට ඇදී ගිය එක්තරා ජවනිකාවක් තවමත් මගේ සිතේ ඇත. ඒ වූ කලී සරදියල්ගේ පුතා( ඇලෙක්සැන්ඩර් ෆනෑන්ඩො) වලක් තුල සැබෑ වලසකු සමඟ අල්ලන ගුස්තියකි.
ඉන්පසු මඩොල්දූව නැරඹීමෙන් මම මනසින් නොදන්නා දූපත් වල සැරිසැරුවෙමි. ටයි මහත්තයාගේ හඳයා නරඹා පෝනියෙකු මිලට ගැනුමට සිහින දැක්කෙමි.
චන්ඩි පුතාහී ගාමිණීගේ රඟපෑමට වශී වුනෙමි. එහි වූ ලතා වල්පොලයන් ගැයූ ශාන්ති ලේඛා රැඟූ අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා ගීතයට පෙම් බැන්දෙමි.
ඉන්පසු නැරඹූ දුලීකා,සිකුරුලියා හා ජනක සහ මංජු වැනි සිනමා පට මට අද මෙන් මතකය. සිකුරුලියාහී රඟපෑ අඟුටුමිටි නළුවා ( බංදුල ගලගෙදර) අප නිවස පිහිටි පාරේම විසීමද විශේෂ කරුණකි. මට මතක හැටියට එච් ඩී ප්රේමරත්නයන් සිකුරුලියා නිර්මාණය කරන ලදී.
මේ කාළය සිංහල සිනමාවේ ස්වර්ණම යුඟය වූ අතර අවුරුද්ද පුරා විශාල වශයෙන් නව සිනමා පට නිකුත් විය. සිනමා ශාලා මිනිසුන්ගෙන් පිරී පැවතිනි.
අපේ තාත්තාද මා මෙන්ම චිත්රපට පිස්සකු හා නවකථා කියවීමේ රුසියෙකු විය. ගහේ කටු උල් කරන්න ඕනෑ නෑ කියූ කථාව සනාථ කරමින් මමද ඔහුගේ අඩි පාරේම ඇඳුනෙමි.
මම තුනේ පංතියේ ඉගෙන ගන්නා කාලයේ කවුද රජා චිත්රපටය නිකුත් විය. එහි රඟ පෑ සිනමාවේ සක්විති ගාමිණි ෆොන්සේකාගේ අති විශාල පෝස්ටරයක් නිව් විජේන්ද්රා සිනමා හල ඉදිරි පිට ඉඳිවිය.
ඒ කාලයේ මෙම පෝස්ටර් නිර්මාණට කප් ගසා සිටියේ ටී පී මහින්දයි. ඔහු නාට්යවල රඟපෑ නළුවෙකුද විය.
ඔහු විසින් කවුද රජාට තැනූ විශාල පෝස්ටරය ඒ දිනවල ඇතිවූ සුළි සුළඟක් හේතුවෙන් කැඩී වැටී තිබෙනු මට අද මෙන් මතකය.
1983 ජූලි මාසයේ ඇවිලුනු ඒ ඊනියා ජාතිවාදී කෝලහලයේදී අන්තවාදී සිංහල පිරිස් විසින් දමිළ මහතුන් සතුවූ සිත්තම්පලම් හා නිව් විජේන්ද්රා යන සිනමා ශාලා අපට අහිමි කරවූහ. පොළ ළඟ තිබූ කාටු විජේන්ද්රාව පමණක් ඉතිරි විය. එයට හේතුවූ සැඟැවුන කථාව පසුව හෙලිදරව් විනි.
විජේන්ද්රාවට අරක් ගත් පොළ ලඟ දරුණු රස්තියාදු කන්ඩායමක් විය. වරෙක ඔවුන් විසින් අනුරාධපුරයට පැමිණි ජර්මන් ජාතික සංචාරක යුවලකට අඩම්තේට්ටම් කොට ඒ සුදු කාන්තාව දූෂනය කිරීමට පවා සහසික විය. එම සිද්ධියෙන් පසු එම කණ්ඩායමේ ප්රභලයෝ කිහිප පොලක් අනුරාධපුරයෙන් පලා ගියහ. පසුව සමහරෙකු පොලීසියට කොටු විය.
තවත් වරක් චිත්ර පටියක් නැරඹීමට පැමිනි හමුදාවේ මහතෙකුගේ බිරිඳකට නොමනා විහිළුවක් කිරීමේ ප්රතිඵලයක් වශයෙන් එම මැර කණ්ඩායම හමුදාවෙන් කට බඩ පුරා කෑ අවස්ථාවක්ද දැන ගන්නට ලැබිනි.
ඉතිං මා මෙම සිද්ධීන් ඔබට මතක් කලේ ඔවුන්ගේ පාදඩකම හෙලිදරව් කිරීමටයි. මෙම මැර රැල විසින් ඔවුන්ට සෙවන දුන් විජේන්ද්රාව රැක ගෙන අනිකුත් සිනමා ශාලා විනාශ කල බැව් පසුව ප්රසිද්ධ රහසක් බවට පත් විය. මෑතක් වන තුරුම අනුරාධපුරයේ තිබුනේ කාටු විජේන්ද්රාවම පමණි. එය මා වැනි චිත්ර පට පිස්සන්ට ගැසූ අතුල් පහරක්ම විය. දැන්නම් නවීන පන්නයේ සිනමා හල් කිහිපයක්ම අනුරාධපුරයේ ඇතිමුත් එදා විනාශ කල සිත්තම්ලපම් හා නිව් විජේන්ද්රා ශාලා නැවත ගොඩ නැඟුනේ නැත.
ළබන සතියේ ඒ සිංහල සිනමාවේ ස්වර්ණමය යුඟය ගැන මගේ ඇති අත්දැකීම් ඔබ සමඟ බෙදා ගැනීමට අදහස් කරමින් අදට නවතිමි. සැමට ජය හා සතුට!!
අපූරු ජීවන අත්දැකීම් ගොන්නක්. ලියැවිල්ල උපරිමයෙන් රසවින්දා.
ReplyDeleteස්තූතියි නංගී! තව ගොඩක් තියෙනවා. දිඟ වැඩිවන නිසා ඊළඟ කොටසට තිබ්බා. මතකයෙනමයි ලිව්වේ. වැරදි ඇත්නම් සමාවෙන්න.
Deleteඋඹ අනුරාධපුරේද මචෝ...
ReplyDeleteකතාව කියවද්දී ටයි මහත්තය එක්ක එහෙ ගිය ගමනක් මතක් වුනා අමු තිත්ත කුණු හරුපෙන් බැන බැන.
උදේ දහය එකොළහ පැන්න ගමන් ෂොට් එක දාගත්ත ගමන් තමයි ඉන්නේ.එතන ඉදල කාව හරි අල්ලාගෙන පලු යවනවා කුණු හරුපෙන්.
සිකුරුලියා ප්‍රේමරත්නගේ තමා .
හොද විස්තරයක්.
ඔව් මචං! ඒ කාළේ ඒ සිනමාව වටා ගොඩ නැඟුනු කොච්චර නම් සුන්දර කථා ඇද්ද? කළා ශිල්පීන් එකතු වුනාම හරිම සොඳුරැ ඇති. උඹ ඒ ටයි මහත්තයා සමඟ ගිය ගමන ලියපං. අපි ආසයි දැන ගන්න. ජය!!
Deleteඅනුරාධපුරයේ සිත්තම්පලම් සිනමා ශාලාවේ...
ReplyDeleteඕක මම පහුගිය දවසක දැක්කා.. දැන් බිත්ති ටික විතරක් ඉතුරු වෙලා තියෙන්නේ..
ඔව් මල්ලී! රෑස්ස ගස් වැවිලා දැන්. ඒ දෙමළ මහත්තයා කාටවත් ඒක විකුණුවේ නෑ. දැන් එතන ඉස්සරහ ටිකේ ටියුෂන් පංතියක් තියෙනවා. ඔතන වැවිලා තියෙන ගස් කොළං වලින් පවා කළාව උතුරනවා...
Deleteඅනුරාධපුර වැසියෙක් :)
ReplyDeleteහෝල් එකේ ෆිල්ම් එකක් බැලුවෙ නෑ කාලෙකින්. ඉස්සර නම් එකක 10.30 බලල අනික් එකේ 2.30 බලපු දවසුත් තිබුන. ලියමුකො අනෙක් විස්තර ටිකත්.
ඔව් මචං! රජ රැටියෙක්. රෑපවාහිණියත් සමඟ සිනමාව වල් වැඳුනා. තව විස්තර ඉතුරැ කොටසින්. ස්තූතියි මචෝ!!
Deleteකතාවත් එක්ක මනසින් අතීතයට ගියා චන්දන,හරිම ආසාවකුත් දුකකුත් ඇතිවුනා,අපිත් කොල්ලෝ කාලෙ චිත්‍රපටි පිස්සො තමා,කොහොම හරි සල්ලි හොයාගෙන පළවෙනි දර්ශනයම බලන්න ගියා.කතාව බොහොම අගෙයි මේ ඔබ ලියන්නෙ අපි බොහෝ දෙනෙකුගේ කතාවයි.දිගටම ලියන්න.
ReplyDeleteස්තූතියි හැලප මස්සිනේ! ඒ කාලේ කොච්චර සුන්දරද? මාව දිරි ගැන්වූවාට උඹට ගොඩක් ස්තූතියි!!
Deleteමම ඉස්සෙල්ලම බලාපු චිත්‍රපටිය හාර ලක්ෂය.ඒ විස්තර ඔක්කොම හිතේ මැවෙන්ට පටන් ගත්තා උඹේ සරු පෝස්ටුව බලලා. බණ්ඩාරවෙල තිබ්බ මොඩර්න් පික්චර් හෝල් එකත් අසු තුනේ මෝඩ වීරයෝ ගිනි තිබ්බා.
ReplyDeleteස්තූතියි තිලකේ! උඹට හිතට යමක් වැඳුනා නම් මගේ උත්සහය සාර්ථකයි. දෙවැනි කොටසින් තව විස්තර ගොඩක් උඹලට ගෙන එන්නම්.....
Deleteමට නම් ඉතින් ෆිල්ම් ගැන ඒ තරම්ම ලොකු අතීතයක් කියන්න නෑ.. මොකද ලංකාවේ හෝල් වල ෆිල්ම් බලලා තියෙන්නේ හරිම අඩුවෙන්.. අනික ඉතින් අයියලට ඒ කාලයෙදි බලන්න හොද ෆිල්ම් හරි තිබුනා.. අද වෙද්දි අපිට එහෙමටයි කියලා බලන්න ෆිල්ම් එකක් වත් තියෙනවා කියලද..
ReplyDeleteඒක නම් ඇත්ත මල්ලී! ඒ කාලේ අවුරැද්දට ඉතාම උසස් ගනයේ චිත්‍රපට රාශියක් පිටවුනා. හොඳ අධ්‍යක්ෂකවරැ ගොඩක් හිටියා.
Deleteඒත් අපේ හා රටේ අවාසනාවට ජාතිවාදී හා සිවිල් කැරලි ඇතිවුනා. ඒවායින් හැමදේම අපේ ජීවිතත් එක්කම බිඳ වැටුනා.
ගුණේ......ඔය චිත්‍රපට ගොන්නේ සිකුරුලියා චිත්‍රපටයට මම හරිම කැමතියි ඒ දවස්වලත්. අදටත් කැමතියි. බන්දුල ගලගෙදරට මොකද වුනේ. පසුව නිකම්ම උසුළු විසුළු චරිතවලට ගත්තා අපේ මෝඩයෝ.
ReplyDeleteඋඹ බලපු ෆස්ට් ෆිල්ම් එකත් මගේ ලිස්ට් එකේ ඉහලින් තියෙන චිත්‍රපටියක්. ධාරා ගාමිණිට හැරෙන්න වෙන කෙනෙක් එතරම් සාර්ථකව කරයි කියලා හිතාගන්නවත් බැහැ. ඊලඟ කොටස ලියපන්.
මම විජේන්ද්‍රා එකේ ෆිල්ම් එකක් බැලුව බව මතකයි. කොළඹින් ගිය මට ඒ හෝල් එක දැක්කාම පුදුම හිතුනා.
අර උඩම තියෙන ෆොටෝ එක කොහෙන්ද බන් හොයා ගත්තේ?
ඇත්ත මචං! එච් ඩී ප්‍රේමරත්නයන් හැමවිටම ආධුනිකයෙකුට එයාගේ චිත්‍ර පටයක ප්‍රධාන චරිතය බය නැතිව දුන්නා. බංදුල එක්කෙනෙක්. අනෙකා අමරසිරි කලංසූරිය. බංදුලව කෑවා වගේ කලං ගෙනුත් එච් ඩී හැරැනකොට කවුරැත් වැඩක් ගත්තේ නෑ. ඒක තමයි බං අපේ රටේ අභාග්‍ය. ලෝකෙටම අභියෝග කලහැකි ශිල්පීන් අපි විනාශ කර ගත්තා. හරිම අවාසනාවක්. ඉතිරි කොටස මම ලියමින් යනවා. එන්න එන්න දික් වෙනවා. මම හිතන්නේ මගේ හිතේ හිරවෙලා තියෙන ඒවා කියා ගන්න තව කොටස් දෙකක් වත් ලියන්න වෙයි.
Deleteඒ පිංතූර හොයා ගත්තේ මුහුණු පොතේ අපි බැලූ චිත්‍ර පට කියන පිටුවෙන්...
උඹට ජය!!
මම හිතුවේ අරූ විතරයි පිච්චර් පිස්සෙකුට් ඉන්නේ කියලා , බලපුවාම මේ ඊට වඩා පොරක් ඉන්නේ..කොහෙන්ද මේ පින්තූර ටික හොයාගත්තේ . මේ ලිවීමේ රටාව කියවන්න් ආසයි
ReplyDeleteස්තූතියි පවූලූෂා මලේ. උඹේ ලිවීම් එක්ක මම තවම ළදරැවෙක්. ඔව් බං මම චිත්‍ර කථා හා චිත්‍ර පට අම්බානක පිස්සෙක්. තව විස්තර ඉදිරියට ලියන්නම්.
Deleteඅර පිංතූර හොයාගත්තේ මුහුණු පොතේ අපි බැලූ චිත්‍ර පට පිටුවෙන්.
උඹට ජය!!
මෙවැනි ලිපි කියවන්න මම නම් හරිම කෑදරයි...ඔය කෝලාහල ඇති වෙන කාලෙ සිරා පොඩි එකා නිසා ලොකු මතකයක් නෑ...මම හාපුරා කියලා චිත්තරපටියක් හෝල් එකේ බැලුවෙ ගම්පහ පබ්ලික් හෝල් එකේ මමයි රජා චිත්‍රපටය. විජය කුමාරතුංග සමග ජීවන් රගපෑ බව මතකයි...
ReplyDeleteස්තූතියි සිරා මලේ! 70 දශකය තමයි සිනමාවේ ස්වර්ණම යුඟය.... ජය!!
Deleteමමත් මල්ලි හුලවාලි බැලුවෙ සිත්තම්පලම් එකේ...දුහුළු මලක්, ගඟ අද්දර, දියමන්ති සහ මංගලා බැලුවෙත් ඒකෙමයි.
ReplyDeleteකාටු විජේන්ද්‍ර එකේ මොකක්ද ෆිල්ම් එකක් බලද්දි පොළඟෙක් ඉඳල සීට් එකක් යට දවසක් මරු වැඩක් උනා.ඔක්කොමල පැන්න එලියට කෑගහගෙන. පස්සෙ බලනකොට මේ පොඩි මාපිලෙක්...
සරදියෙල්ගේ පුතා ෆිල්ම් එකේ අර උඹ කියපු සිංදුව මල්ලි මටත් හොඳටම මතකයි.ඒකෙ මාලිනී උගන්නන පංතියෙ පොඩි එවුන් නේද ඔය සිංදුව කියන්නෙ? ඉස්සරහ දත් දෙකක්ම නැති පොඩි එකෙක් ඕකෙ තාලෙට ඔලුව හොල්ලන සීන් එහෙකුත් තිබ්බ මතකද උඹට? " රස ගීයක් ගයලා අප සනසන්නේ..අයියාට අපී ආදරේ..අයියාට අපී ආදරේ..."
ස්තූතියි අයියේ! මං හිතුවා උඹේ මතකය අළුත් වෙයි කියලා මේක බලලා. කෙතරම් නම් සුන්දර අතීතයක්ද?
Deleteමම මේ මාතෘකාව දැකලා ඇතිවෙච්ච ආකර්ෂණයට ඇදිලා ආවේ. හරිම රසවත් මතකයන්. ඔය පින්තූරෙ දාලා තියෙන්නේ මරදානේ හන්දියේ තිබ්බ කටවුට් නේද? මම ඉස්සර ඉස්කෝලේ ගිය වෑන් එක ඕක ඉස්සරහින් යන්නේ. ඉතින් අනිවාර්යයෙන් ඕකට ඇහැ යනවා. දැන් නම් ඕක තිබුණු තැනත් නෑ.
ReplyDeleteස්තූතියි හෙන්රි සහෝදරයා! ඔබව සඳුන් සෙවනට ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා.
Deleteඒ පිංතූරේ මම මුහුණු පොතේ තිබිලා හොයා ගත්තේ. ඒ අතීතය කෙතරම් නම් සුන්දරද.. උඹට ජය!!!