පසුගිය සතියේ යෙඳුනු වැලන්ටයින් දිනයට යමක් නොලියාම ඉන්නට බැරිව මට හැදුනු දොළදුක නිසා සිංහල චිත්රපට පිළිබඳ මගේ මතකයේ දෙවැනි කොටස තව සතියකින් කල් ගොස් මේ සතියට තල්ලු විය. එයට සමාව භජනය කරත්වා. දැන් එදා නැවැත්වූ තැන සිට....
සිත්තම්පලම් ශාලාවේ බිත්ති යටකරන් නැඟී ඇති රූස්ස ගස් කඳන් දකිනවිට මගේ නෙතට කඳුළක් එක්වන්නේ නිරායාසයෙනි. මේ සම්පත් අපට අහිමි කල ඒ ජාතිවාදීන්ට ශාප වේවා.
ඒ කාලයේ තැනූ චිත්ර පට බොහොමයක් සත්ය සිද්ධීන් අලලා කෙරුනු බැව් මට මතකය. සිරිපාල සහ රංමැණිකා හා මරුවා සමඟ වාසේ චිත්රපට එකල රජරට පෙදෙස දෙවනත් කල මරුසිරා නමින් ප්රකට සමාජය විසින් දාමරිකයෙකු කල සිරිපාලගේ ජීවිත කථාව අලලා නිර්මාණය වුනි.
මෙහි මරුවා සමඟ වාසේ වානිජ චිත්රපටයක් ලෙසත් සිරිපාල සහ රංමැණිකා සම්භාව්ය කෘතියක් ලෙසත් ඉදිරිපත් කෙරුනි.
මරුවා සමඟ වාසේහී විජය කුමරණතුංග මරුසිරා ලෙස රඟ පෑ අතර විමල් කුමාරද කොස්තා රඟ පෑ භූමිකාව කෙසේනම් අමතක කරම්ද? විකට නළුවකු ලෙස රඟපෑම ඇරඹි කොස්තා අපට අමතක නොවන රඟපෑම් රාශියක් දායාද කලද කිසිඳු ඇඟැයීමකට ලක් නොවූ චරිතයකි. ඔහු සරුංගලේ චිත්රපටයේ කල රංගනය මහත් සේ අඟය කල යුතුය.
මරුවා සමඟ වාසේහී පච්ච කොටන පච්චේගේ චරිතය මගේ ළපටි සිතට තදින් කාවැඳුනි. අම්මාගෙන් බැණුම් අසමින් අසල වනරොදක තිබූ වැල් වල කිරි වලින් නංගී හා මම පච්ච කොටා ගත් අයුරු මට අද මෙන් මතකයේ ඇත. වරෙක මම මරුසිරා වු අතර ඇය පච්චේ වූවාය. චිත්රපටයේ මරුසිරා දරුනු වීමට පෙර පපුවේ "අම්මා බුදු වේවා" යි කොටා ගත් අතර සමාජය විසින් ඔහුව දාමරිකයකු කිරීමෙන් අනතුරුව " මරුවා සමඟ වාසේ" යන පච්චය කොටා ගත්තේය. මේ සිදුවීම් මගේ සිතේ තඳින්ම තැන්පත් විය.
මරුවා සමඟ වාසේහී පච්ච කොටන පච්චේගේ චරිතය මගේ ළපටි සිතට තදින් කාවැඳුනි. අම්මාගෙන් බැණුම් අසමින් අසල වනරොදක තිබූ වැල් වල කිරි වලින් නංගී හා මම පච්ච කොටා ගත් අයුරු මට අද මෙන් මතකයේ ඇත. වරෙක මම මරුසිරා වු අතර ඇය පච්චේ වූවාය. චිත්රපටයේ මරුසිරා දරුනු වීමට පෙර පපුවේ "අම්මා බුදු වේවා" යි කොටා ගත් අතර සමාජය විසින් ඔහුව දාමරිකයකු කිරීමෙන් අනතුරුව " මරුවා සමඟ වාසේ" යන පච්චය කොටා ගත්තේය. මේ සිදුවීම් මගේ සිතේ තඳින්ම තැන්පත් විය.
බිනරි සහ සුදුබංඩා, මොණර තැන්න හා මුවන්පැලැස්ස ආදී චිත්රපට නැරඹීමෙන් පසු මට කොටි දත් මාලයක් පලදින්නට ඕනෑම විය. මගේ අම්මා එයට කිසිසේත්ම ඉඩක් නොදුන්නාය. අනුරාධපුරයේ පොසොන් සමයේ කඩ වන්දනාවේ යද්දී මා අම්මාට ඇවටිලි කරමින් හඬා වැටුනු භාන්ඩ දෙකක් විය. එකක් ඔය කොටි දත් මාලය වූ අතර අනෙක සෙල්ලම් පිස්තෝලයකි. පොසොන් සමයේ අසිරිය සමඟ මගේ අත්දැකීම් වෙනම පෝස්ටුවකින් ඔබ වෙත ගෙන එමි.
ඒ කාලයේ රූපවාහිණි නොතිබුන අතර අපගේ අනෙක් විනෝදාංශය වූයේ ගුවන් විඳුලියට සවන් දීමයි. එහි විකාශනය වූ හංදියේ ගෙදර, මුවන් පැලැස්ස ආදී නාට්යයන්ට සවන් දීම අප කිසිවිටෙක අමතක නොකලෙමු. උදා ගී, හින්දි ගී හා ඉරිදා දහවලේ විකාශනය වූ බයිලාද මාගේ ප්රියතම අංගයන් විය. පිබිදෙන ගායක පරපුරද එවැනිම මා රස විඳා වැඩසටහනකි.
ඉතිං මෙකල සති අන්තයේ වෙළඳ සේවයේ චිත්රපට ප්රචාරක වැඩසටහන් වලට සවන් දීම මා කිසිවිටෙක අතපසු නොකලෙමි. චිත්ර පටය නරඹා ගුවන් විඳුලියෙන් එහි සිංදු හා ජවනිකාවල දෙබස් කණ්ඩ වලට නැවත නැවත සවන් දුනිමි. එකල පැවති ජේ ආර් ගේ ආණ්ඩුව විජය කුමාරණතුංගයන්ව නැක්සලයිට් වාදීයෙකුයැයි හංවඩු ගසා එතුමාව වාරණයට ලක් කොට තිබූ කාළයයි. විජය රඟපෑ චිත්රපට වල දෙබස් ගුවන් විඳුලියේ ප්රචාරය වූයේ එතුමාගේ හඬ ඇති කොටස් වලට වෙනෙකෙකුගේ හඬක් යොඳා සංසකරණය කිරීමෙන් අනතුරුවය. මෙම ලැජ්ජාසහගත බාලාංශ පංතියේ ක්රියාව දෙස එකල ළමා වයසේ පසුවූ මා පවා බැලුවේ අවංඥා සහගතවය. මෙවැනි බලු වැඩ නිසා විජයට තිබූ ජනතා කැමැත්ත සිය දහස් ගුණයෙන් වැඩිවිය.
ගුවන් විදුලියේ චිත්රපට ප්රචාරක වැඩසටහන් වලට නිරතුරුව සවන් දීමෙන් රටේ බොහෝ සිනමා ශාලා වල නම ඒ ඒ නඟරයත් සමඟම මට කට පාඩම් විය.
විජිත-රත්මලාන, මානෙල්- දෙමටගොඩ,සඳ ලංකා-සඳ ලංකාව,මෙට්රෝ -නුඟේගොඩ, අනුර- අම්බලංගොඩ,එස් කේ සිනමා-මාතර, ජීවනී -පානදුර,රොක්සි-වැල්ලවත්ත,නැශනල්- මහරගම,මිහිර-මීරිගම,ජානකී-මතුගම,රීගල්- කොළඹ, එල්ෆීන්ස්ටන්-මරදාන,තුසිත-පේරාදෙණිය,වෙම්බ්ලි-මහණුවර
ඉන් කිහිපයක් පමණි.
යකඩයා මරදංකඩවල විසූ අසාමන්ය ශක්තියකින් හෙබි මිනිසකු පිළිබඳව කල නිර්මාණයකි. එහිදී යකඩයාට රඟපෑ ගාමිණී ෆොන්සේකා සිර මැඳිරියේ යකඩ කූරු නවන දර්ශනය නරඹා ප්රීතියෙන් ඔකඳව ඔල්වරසන් නැඟූ අයුරු මට අද මෙන් මතකය.
මේ කුඩා වයසේදී මෙවැනි චිත්ර පට නැරඹීමෙන් ළමා මණස විකෘති විය හැකි බැව් යමෙකු තර්ක කල හැක. එහෙත් දෙවියන්ගේ පිහිටෙන් මට එසේ නොවුනි. මම ජීවිතයට විශාල පන්නරයක් මේ වටිනා නිර්මාණ හා ජීවත් වීමෙන් එක් කර ගතිමි. මගේ දරුවන්ද මා හා බිරිඳ මෙන්ම චිත්රපට නැරඹීමේ රුසියෝය. දරුවන්ට ගැලපෙන චිත්රපට නැරඹීමට කිසි විටෙක මා වාරණ පනවා නැත. කුඩා කාළයේ චිත්ර පට නැරඹීමෙන් මා ලද ආශ්වාදය ඔවුනද විඳිනු බලා මම අහිංසකව සතුටු වෙමි.
එහෙත් ඔවුනගේ වයසට වඩා මුහුකුරා ගියවුන්ගේ සංගමයෙන් ඔවුහු ඈත් කිරීමට නම් මා නිරතුරුවම වෙහෙස වෙමි. මන්ද එයින් විය හැකි හානිය මා අත්දැකීමෙන්ම දන්නා බැවිනි. ඊටත් පෙර මෙන් නොව සියළු දුසිරිත් ඇස් මානයේ අතේ දුරින් ඇත. සයිබ අවකාශයේ බැරිවීමකින් හෝ පී ඕ ආර් එන් ටයිප් වුවහොත් තප්පරයක් යෑමට පෙර ලැබෙන ප්රතිඵලය මා අමුතුවෙන් ඔබ හට කිවයුතු නැති අප සියල්ලෝම අතවිඳ ඇති සත්යකි.
එහෙත් අපේ කාලයේ නිල් චිත්රපටියක් නැරඹීම වනාහී කණ කැස්බෑවා විය සිදුරින් හඳ දෙස බැලීමටත් වඩා අසීරු කාර්යයක් විය. එහි බැරෑරුම් හා අපහසුතාවය මා විස්තර නොකලත් දන්නෝ දන්නා බැව් මා දනිමි. ඒ කර්තව්යයෙහි ලා මට ඇති අත්දැකීමකුත් මේ අවස්ථාවේ සඳහන් නොකලහොත් චිත්රපට හා බැඳුණු මගේ අතීතයට කරනා මදිපුංචි කමක් යැයි මට සිතේ.
එකල අප නමය හෝ දහය වසරේ ඉගෙණුම ළබමින් සිටියෙමු. පංතියේ සිටි නෙවිල් මෙවැනි වැඩවල ප්රමුකයා විය. ඉගෙණීම හැරුනු කොට අනෙක් හැම වැඩකින්ම ඔහු මට ඉදිරියෙන් සිටියේය. ධනවත් මුදළාලි කෙනෙකුගේ පුතකු වූ ඔහුට අපට නැති බොහෝ දේ තිබුනි. පංතියේ මුලින්ම අත් ඔරලෝසුවක් බැනදේ ඔහුය. අපට සිහිනයක් පමණක් වූ ගියර දහයේ ස්පෝට්ස් බයිසිකලයක් ඔහු සතු විය. එය අතගා බලා අප සතුටු වීමු. කෙල්ලක හා ප්රේම සම්බන්ධයක් තිබුනේ ඔහුට පමණි. අපේ ගේ ඉස්සරහ පාරේ ඔහු ඇය හා කථාකරමින් යනු මහත් දුකකින් මා බලා සිටි අයුරු මට අදද සිහිවේ. කොට කලිසම් ඇඳ රබර් සෙරෙප්පු පය ලෑ මා දෙස කිසිවකු බැලුවේ නැත.
ඔය කියන දවසේ නෙවිල්ට ඔහුගේ වැඩිමහළු යහළුවකු විසින් නිල් චිත්රපටයක් දී තිබුනි. වී එච් එස් කැසටයක් වූ එය නැරඹීමට ඩෙක් යන්ත්රයක්, ටී වී යන්ත්රයක් හෝ මූලික වශයෙන් තැනකුඳු නොවීය. බොහෝ පුද්ගලයන් ඇසුරු කල නෙවිල් රෙකෝඩ් බාරයකින් ඩෙක් යන්ත්රයක් කුළියට ගැනීමට සමත් විය. ටී වී යන්ත්රයක් සමඟ ස්ථානයට විසඳුමද ඔහුගෙන්ම ලැබිනි. එය නම් ඔහුගේ ගෙදරට ඉස්සරහ ගෙදරයි. ඒ ගෙදර මලයා අපට අවුරුදු කිහිපයකින් බාල වූ අතර චිත්ර පටය නැරඹීමට රහ වැටී දෙමාපියන් එලියට යන වේලාවක් බලා අපට එහි යාමට කැමැත්ත දුනි.
ඒ ගෙදරට ගොස් ඩෙක් යන්ත්රය සමිබන්ධ කොට එය ටී වී යන්ත්රයට ටියුන් කිරීම ඊළඟ බාරදූර කාරිය විය. නෙවිල් ඒ කාරියටද කර ගැහුවේය. පැයක් පමණ වෙහෙසවීමෙන් අනතුරුව අපගේ කුතුහලය හා ආශාව සංසිඳවමින් මා කිසිදින දැක නොතිබුනු රූප හා ක්රියාවන් තිරය මත දිස්වන්නට විය. ඒත් එම චිත්ර පටය පටං ගෙන තිබුනේ මැඳිනි. අපට එය මුල සිට බැලීමට උවමනා වූයෙන් නෙවිල් එය නවතා රිවයින්ඩ් කෙරුමට පටන් ගති. මහත් බියකින් පසුවූ ගෙදර අයිති මළයා රූපරාමු කිහිපය නැරඹීමෙන් ඔකඳව ගිය සිත් ඇතිව ආයෙත් යමක් සිදුවී ආමාරුවෙන් සාඳාගත් නිල බැලීමට නොලැබේවි යැයි බය වී හදිසියේම " කල්පනාවෙන් රිවයින් කරන්න" යැයි පැවසුවේ අප සියළු දෙනාම සිනා සයුරේ ගිල්වමිනි.
මගේ නිල් චිත්රපට අත්දැකීම එසේ ඇරඹිනි. ඉන්පසු තව එවැනි චිත්ර පටයක් නැරඹීමට අවස්ථාව උදාවුනේ විශ්ව විද්යාලයටත් ගිය පසුයි. අප පලමු වරට නිල බැලූ ගෙදර මලයාට ටී වී යන්ත්රයේ චැනල් සියල්ල මාරු කලා යැයි ඔහුගේ පියා හොඳටම දෙහි කැපූ බැව් පසුව ආරංචි විය. මට අදටත් පරිස්සමින් රිවයින් කරන ලෙස කියූ ඔහුගේ ඉල්ලීම සිහිවී මුවඟ සිනහවක් ඇතිවීම නොවැලැක්විය හැකි කරුණකි.
අදට මෙතනින් නවතින්නම්. ඊළඟට මෙම මතකයේ අවසාන කොටසින් හමුවෙමු. සැමටම ජය!!