Pages

Monday 28 August 2017

" එදා වේල....."















ඉතාමත්ම ඉක්මනින් ගෙවී ගිය ලංකාවේ ගත කළ මසක කාලයෙන් වැඩිහරියක්ම මා අනුරාධපුරයේ ගත කළේ තාත්තාගේ අසනීප තත්වයත් හා මෙවර මව්පියන් සමඟම වැඩි කලක්  ගතකරනෙමියි මා ගත් තීරණයත් නිසාය. එහෙයින් මිතුරන් හමුවීම සහ විනෝදය සඳහා කාලය ගතකිරීම බොහෝ දුරට සීමා කොට එය මව්පියන් වෙනුවෙන්ම කැප කළෙමි. එහෙත් මට කාරණා දෙකක් සඳහා කොළඹට නොයා සිටීමට නම් නොහැකි විය. ඒ මගේ ජීවිතයට ඉතාමත්ම සමීප දෙයක් වූ හා මගේ උග්‍ර විනෝදාංශය වූ සාහිත්‍ය පොත පත මිලදී ගැනීමට සහ මා හිතමිත්‍ර ශ්‍යාම කුමාර මුණසිංහ සොයුරාගේ දෙවැනි කවිපොත එළි දැක්වීමට  සහභාගී වීමටය.

එදා අගෝස්තුවේ පස්වැනිදාය. කලින් කතා කරගත් පරිදි මරදානේ පොත් සාප්පු සවාරියේ යාම සඳහා බලාපොරොත්තුවූ පරිදි උදෑසනින්ම දුරකථන ඇමතුමක් ලැබුණේ ජයසිරිඅලවත්ත සොයුරාගෙනි. 

" චන්දන අපි 8.30 ට මරදානේ ගොඩගේ එක ළඟදි හමු වෙමු"

එදා සති අන්තය නිසා සහ තරමක් උදයේම නිසා වාහන තදබදයක වේදනාකාරී පහස නොලබා මට 8.15 වන විට මරදානට යාගත හැකි විය. අලවත්ත සොයුරා පෙනෙන්නට නොසිටියෙන් මම ඔහුට ඇමතුමක් ගතිමි. 

" මම නුගේගොඩ හංදියේ. ඉක්මනින්ම ඔතන ඇති." ඒ ඔහුගේ පිළිතුර විය. 

වාහනය පාර අයිනේ ගාල් කොට විසල් ගොඩගේ මැඳුරට මා පිවිසුණේ ජයසිරි එන තෙක් නිකරුනේ කල් මැරීම මහා අපරාධයක් සේ හැඟුණු බැවිනි. ඊටත්‍ වඩා පොත් රාක්ක අතරට වැදී ඒ මහා සාහිත්‍ය සයුරේ කිමිඳීමට මගේ තිබූ කෑදරකමත්  නිසාය.

මද වේලාවකින් ජයසිරි අලවත්ත සොයුරා මා ඉදිරියේ පෙනීසිටියේ මුව පුරවාගත් සහෝදර සිනහවෙන්ද යුක්තවය. මම ඔහු එනවිටත් තෝරාගෙන තිබූ පොත් සහ ඔහු මට රෙකමදාරු කළ පොත් සෑහෙන ප්‍රමාණයක් කිහිළිගන්නාගෙන බිල ගෙවා සාප්පුවෙන් එළියට බට අපට දැනුණේ යකුන් එකකු නොව කිහිප දෙනෙකුම අනුභව කළ හැකි තරමේ කුසගින්නකි. පොතටම ඇලී වුන් අපට ගෙදරින් පිටවූයේ හිස්බඩම බැව් සිහිවූයේ එවිටය. 

" අනික් පොත් බලන්න කලින් අපි කොහෙන් හරි කමු ජයේ" මම යෝජනා කළෙමි. 
ජයේගේ අදහස වූයේද එයම බැවින් අපි පොත් පුරවරය අතර වූ ජයේට හුරුපුරුදු ආපන ශාලාවක් බලා පා එසවීමු. 

හදිසියේම සෙනඟ අතරින්‍ මතුවූයේ දැක පුරුදු මුහුණකි. රතු තරුව ගැසූ කැප් තොප්පියක් පැළඳ, කරේ එල්ලා ගත් චේගුවෙරාගේ සිත්තම සහිත බෑගයෙන් සන්නද්ධව හා කාල්මාක්ස් ගේ සිතුවම සහිත සුදු ටී ෂර්ටයකින් සැරසීවුන් ඔහුගේ  රැවුල් කොට පිරි මුහුණේ පිරී තිබුණේ ප්‍රියංකර සිනහවකි. නම මෙන්ම ප්‍රියංකර වූ ඔහු පියන්කාරගේ බන්දුල ජයවීර සොයුරා බැව් ඔහු දුටු පළමු ඇසිල්ලෙහිම මම හඳුනාගතිමි. 

තමන්ගේ යථා ස්වභාවයට වඩා හාත්පසින්ම වෙනස් සේයා( photo shop ) වලින් තම මුහුණු පොත් සරසා ගත් මුහුණු, හැබැහින් දුටු විට හඳුනා ගැනීමට අපහසු වුවත් මුහුණු පොතේ මුහුණම සැබෑ මුහුණ වීම නිසා මට ඔහු හඳුනා ගැනීමට කිසිදු ගැටලුවක් නොවිණි. 

බෙනාගේ( ධර්මසිරි බෙනඩික්) පොතක් එළිදැක්වීමේ උළෙලට සහභාගි වීම සඳහා උදෑසනින්ම ගාල්ලේ සිට පැමිණි බව ඔහු කියූ විට ජයේද එම උත්සවයට යන බැව් කී වග මට සිහි විය. 

අප උදේ ආහරය ගැනීමට යන බව කියා ,ඔහුටත් අප හා එක්වන ලෙස ඇරයුම් කළත් ඔහු ඒ පැමිණෙන්නේ හෝටලයක සිට උදේ ආහරය ගැනීමෙන් පසුව බව පවසා නිහතමානීව අපගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළත් තේකෝප්පයක්වත් අප සමඟ බීමට එන්නට එකඟ විය. 

ඊළඟ මොහොතේ අප සිටියේ මරදානේ සයිවර් කඩයකය. මීට වසර 30කට පමණ පෙර වැල්ලවත්තේ සයිවර් කඩයකින් තෝසේ කෑ ඒ සුන්දර මොහොත මගේ මනසේ ඇඳුණේ අසුරු සැණෙනි. බෙලෙක් පිඟානේ ඇතිරූ තෝසෙ දෙක මතට බාල්දියකට හැන්ඳ දමා වක්කරන පරිප්පු හා මුරැංගා වැනි එළවළු මිශ්‍ර හොද්ද සහ අමු මිරිස් සම්බෝලය සමඟ එදා විඳි අමා රසයම විඳිමින් මම තෝසෙ අනුභව කළෙමි. ඉන්පසු ප්ලේන්ටිය බැගින් බිවු අප බන්දුල ජයවීරයන්ගෙන් සමුගත්තේ තවත් පොත් කඩ කිහිපයකටම යාම සඳහායි. 

අප සූරිය පොත් හලේ සිටින විට ජයේගේ ජංගම දුරකතනය නාද විය. ඒ ඇමතුම ආවේ පියංකාරගේ සොයුරාගෙනි. 

" උඹල කොහේද ඉන්නෙ. මට චන්දනට පොතක් දෙන්න තියෙනවා. විනාඩියෙන් ඔතන ඇති." 

කියූ ලෙසටම විනාඩියෙන් ඔහු අප ඉදිරියේය. කවුන්ටරයෙන් ලහි ලහියේ පෑනක් ඉල්ලා ගත් ඔහු කරේ වූ මල්ලෙන් පොතක් එළියට ගෙන එහි දෙවැනි පිටේ මොනවදෝ කුරුටු ගා දෑතින්ම මට එය පිළිගැන්වීය. මම බොහොම භක්තියෙන් එය භාර ගතිමි. 

එය ඔහුගේ නවතම කවි පොත වූ " එදා වේල" විය. එදා ඔහුගෙන් සමුගෙන ඊටත් සතියකට පසු එංගලන්තය බලා පැමිණි  මට ගොඩගැහී තිබූ වැඩ කන්දරාව හා තාත්තාගේ අසනීප තත්වයෙන් සිත ව්‍යාකූලවී තිබූ නිසා හරිහැටි වාඩිවී සිත එකඟ කරගෙන එය කියවීමට ඉස්පාසුවක් සොයාගැනීමට හැකිවූයේ පසුගිය සතියේය.

" එදා වේල( දේශපාලනික කවි )" නමින්‍ වූ මෙම කුඩා කවිපොතේ විසල් තේරැම් ඇති මහා කවි තිබෙන බැව් මට පොත කියවන්නට ගත් සැනෙකින්ම පසක් විය. 

කවි වලට අංක දමා නොතිබූ එහි මුලින්ම තිබුණේ " මගේකවිය" නමින්වූ කවි පංතියකි.

' ගඟක්- මූදක්
ඇල- දොළක්
මඳ ණලක්
මුදු කටහඬක්
කළු වලාවෙක
රිදී රේඛාවක්
වෙන්ට පැතු ජීවිතේ

ජල ටැංකියක්
ගෑස් උදුනක්
දුරකථනයක්
විදුලි බුබුලක් වී

බිල් ගෙව - ගෙවා
කාලය ගෙවා
සැබෑ කරගත 
නුහුණු සිහිනය
තුරැළු කරගෙන
සෙමින් මියැදෙන
අතර මගදී
ගැලූ ලේ සහ 
කඳුළු දහදිය
මගේ කවිය විය !

මම කිසිත් නොකියමි. සරල පද යොදා පුංචි දිය පාරක් සේ ගෙන එන මෙහි මරියානා ආගාධය සේවූ ගැඹුරු අරුත ඔබටම විඳ ගන්නට ඉඩ හරිමි.

තවද මෙහි තිබූ නා නා විද සමාජීය හා කාලීන කවි අතර " ඡන්ද ප්‍රතිඵලයක්" නම්වූ කවි පංතිය මගේ සිත් සතන් පැහැර ගැනීමට සමත් විය. ලංකාවේ සිදුවන විකාර  රූපී දේශාපාලණික විගඩම මෙහි මැනවින් පෙළ ගස්වා රඟ දක්වා ඇත.

' මහපාර දෙවනත් කරගෙන
මහ පොළොව කම්පා කරමින
නළා හූ හඬ දීගෙන
විදුලි එළි කරකවමින
පදිකයන් අන් රියදුරන් සැම
කාණුවට බස්සවමින
භීතියට පත් කරමින
" කළුපාට වීදුරු " රියේ
ධාතු කරඬුව සේ වඩින්නේ
ඡන්දයෙන් 
අගතියට පත් දන
දිනාගත් ඵලයයි!'

බලන්න ඔහු යෙදූ යෙදුම. " ධාතු කරඬුව සේ" ඒ මස්ගොඩින්පිරි ඔළුව හිස් කවන්ධ රූපය උවත් එවැනිම ඔලමොට්ටල අනුගාමිකයින් තම කර උඩින් පූජනීය වස්තුවක් සේ වඩම්මන අයෙකුට උත්ප්‍රාසාත්මකව යෙදිය හැකි මීටත් වඩා සුදුසු යෙදුමක් ඇතැයි මට නම් නොසිතේ. එම කවියේ අවසාන කොටස මෙසේයි.

' ජීවන හුස්ම යදිනා
රෝගියෙකු ගෙන දිවෙනා
ගිලන් රියකට 
නොමැති සැලකුම්
ඡන්දයෙන් දිනු
" හරක් හොරෙකුට"
ලැබෙනා
ඉතින් ඡන්දය
පිදූ " ගවසිත"
ආඩම්බරයෙන් පිරෙනා'

හරක් හොරුන් සහ ඔවුන් පත් කිරීමට මනාපය දුන් ගවසිත් කවුදැයි ඔබම සිතා ගන්න. 

" බෝධිරාජ වස්තුව", "සිහින!", " නායකත්ව පුහුණුව දෙමු!", " ලොකු තැන් පොඩි තැන්", " පින්තූරය රාමු කිරීමට ගියසගයාගේ අභියෝගය", " කවන්ධය සහ හිස", " බහුතරයා", " රෝහල්ගත සහෝදරයාගේ ඇරයුම හෙවත් " අම්මා" මතක් කිරීම", " රජ හෙළුව", " ගමන් කවිය", " තරහද", " හතා නික්මෙයි", " ......." නිලමේ" තැන්පත්", " ලොකු පුතිට", " දිවුරා කියන්නම්", " අස්ථාවර මිතුරාට", " සුබ රාත්‍රියක්මැන්ඩෙලා"," අනන්තය" ආදී වශයෙන් වූ මෙහි කවි මෙන්ම ඒවාට යොදා ඇති නම්වලද වෙනස් බවක්, උපහාසාත්මකබවක් හා උත්ප්‍රාසාත්මක බවක් ඇතිබව ඔබට වැටහෙනවා ඇතැයි සිතමි. 

අපට අහිමිවූ වීදි නාට්‍ය කලාවේ රජුජුරැවන් බඳු වූ ගාමිණී හත්තෙට්ටුවේගම කලාකරැවාගේ වියෝව පිළිබඳව බන්දුල ජයවීර කවියා ලියා තිබුණේ පේළි තුනකි. වචන තුනකි. එහෙත් එහි අදහස පේළි දහසකි. වචන දහසකි.

' හතා නික්මෙයි

වීදිය
පාළුය!
පාළුය!!'

කවිය මෙපමණකි.

" නිලමේ තැන්පත් " නමින්වූ මෙම කවිය බලන්න.

බොහෝ ගර්භාෂවල
ශුක්‍රාණු තැන්පත්

බොහෝ බැංකුවල
මුදල් කඳු තැන්පත්!!

පෙරහරින් යන විට
ගම්භීර තැන්පත්!

බොහෝ පිරුවට යට......
කසළ කඳු තැන්පත්. !!

මෙලෙසින් සමාජ වියවුල්, අසාධාරණ, දේශපාලන මඟඩි, අඩුලුහුඬුකම්, පවුල් ප්‍රශ්න, කාලීන ගැටලු , අසහනය ආදී මෙකී  නොකී සමාජයේ කාලීන පැතිකඩවල් ස්පර්ශ කරමින්, ඒවායේ වරදවල් පෙන්වා දෙමින්, සමාජයේ ඇස් අරවමින් හා හීන්  නූලෙන් ගැසිය යුතු තැන්වලට පහර ගසමින් දිව යන මෙම කවි සරණියේ අවසානයට තිබූ කවියෙන් ජයවීරයෝ ගසා ඇත්තේ හාරත ආසියෙකි. තොප්පිය හරි නම් එය දාගැනීම කියවන්නාටම භාර කරමින් ඔහු මෙසේ ලියයි.

' මගේ පිළිතුර !

හිතේ කැත - කුණු
පහසුවෙන්
නොම පෙනේ පිටතට

හංගාගෙන අවගුණ
" හොඳ වැඩ" කරත්
එළිපහලියේ 
කැත වැඩ කරත්
හොර රහසේ

මගේ ප්‍රේමය
මගේ කවි සිත විහඟෙක්ය
නිදහසේ- අහසේ
නිබඳ සැරිසරණා

මගේ කවි තුළ 
නොයෙක් කුණු රස
සොයා වෙහෙසෙන
" මිතුර" - " මිතුරිය"!
අහස සරණා
කුරල්ලෙකුගෙන්
අහනවද ඔබ
" පියාඹන්නේ ඇයි ?" කියා! "

එය කවි පොතේ අවසානයයි. එහෙත් අපගේ සිතිවිලි ගංඟාවේ ඇරඹුමයි.

එහෙයින් ආදරණීය බන්දුල සොයුර, මම ඔබට මෙසේ කියමි.

හැඳින්නෙමි මම 
ඔබගේ කවි සිත..
එය
ඔබ වත හා හදවතමය....

එපමණකි. ඔබට ජය!!



චන්දන ගුණසේකර

No comments:

Post a Comment