Pages

Sunday 21 February 2016

මතකය පමණක් ඉතිරි කොට අප හැර ගිය ඔහු.........



මගේ මතකයේ හැටියට ඒ අසූව දශකයේ මුල් භාගයයි. රණසිංහ ප්රේමදාස මැතිතුමාගේ නිවාස සංකල්පය යටතේ ඉඳිවූ , අනුරාධපුර නගරයට නුදුරින් පිහිටි 'සුචරිතගම ' නම්වූ උදාකළ ගම්මානය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයේ අවසාන අංගය වූ මහා සංගීත රාත්රිය නැරඹීමට යමුදැයි අපේ තාත්තා කළ යෝජනාවට මම කැමතිවූයේ එක පයිනි. අපත් සමඟ තාත්තාගේ මිතුරකුද මේ ගමනට එක්වූ අතර අප එහි ගියේ ඔහුගේ වාහනයේ බැව් මට මතකය. 

සංදර්ශනය ජයටම පැවතිණි. ගී ගැයූ විශාල ගායක පිරිස අතුරින් තරමක් වේග රිද්මයෙන් හා තමන්ටම ආවේණිකවූ අපුරු හඬකින් ගී ගැයූ ගායකයෙකු පිළිබඳව මගේ අවධානය යොමුවූයේ මටවත් නොදැනීමය. 

ඔහු , කලක් අනුරාධපුරය හොල්ලාගෙන වුන් දාමරිකයකුවූ මරුසිරා ගැන ගැයීය. හැත්තැඑක කැරැල්ල සමයේ දූෂණයකොට මරාදැමූ ප්රේමවතී මනම්පේරි ගැනත්, කන්දක හැපී විනාශ වූ ගුවන් යානයක් ගැන සහ ගඟක ගිලී ජීවිත නැතිවූ ' ආසයි බයයි' නම්වූ බෝට්ටුවක් ගැනත් ඔහු ගැයීය. එපමණක් නොව එවේලේම පද නිර්මාණය කොට හිටිවන බයිලාවක් විලසින් සුචරිතගම ගැන ඔහු ගැයූ ගීතය , පැමිණවුන් දහසක් රසික රසිකාවියන්ගේ මහත් අමන්දානන්දයට හේතු විය. එදා මගේ හද දිනූ ඔහු වෙන කවුරුන් හෝ නොව ඇන්ටන් ජෝන්ස් නම්වූ ප්රතිභාපූර්ණ බයිලා ගායකයා බැව් මා දැන ගත්තේ අපේ තාත්තාගෙනි.  සුදු පැහැයට හැරෙමින් තිබූ කොණ්ඩය උඩට පීරා ජැන්ඩියට ඇඳ පැළඳ ඉතා තේජාන්විතව මයික්රෆෝනය සුරතේ දරා  ඔහු ගී ගැයූ අන්දම කිහිපදිනක් යනතුරුම මගේ මනසේ ඇඳී තිබුණු බව මට මතකය. ඉන්පසුව සෑම ඉරිදා දිනකම ගුවන්විදුලියේ වෙළඳ සේවයෙන් අඩ පැයක් ප්රචාරයවූ බයිලා ගී වැඩසටහනේ එතුමාගේ ගී නොවරදවාම ඇසීමටත් මම පුරුදු වීමි. 

" පෙනුමින් අහිංසකයි 
ඒත් මිනිහ හරි වසයි 
කළේ වැරදිමයි
දාමරීක වැඩ තමයි" කියමින් එතුමා මරුසිරා ගැන ගයා ලෝකයට ඒ නාමය යළි යළිත් මතක් කර දුන්නේය. 

වෙසක් දවසක ගඟේ ඔරුවක නැගී වෙසක් බලන්නට ගිය පිරිසක් , ගඟේ ඔරුව පෙරළී ජීවිතක්ෂයට පත්වූ පුවත එතුමා රටට හෙළි  කළේ මෙලෙසිනි. 
" ආසයි බයයි ඒ බෝට්ටුවෙ නමයි
යළි නොමඑන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක් බිළිගත්තයි" 

ඒ ගිලුණු බෝට්ටුවේ නම "ආසයි බයයි " නම් විය. 

එකල රට හෙල්ලූ තවත් පුවතක්වූ කන්දක හැපී විනාශවූ ගුවන් යානය ගැන එතුමා ගැයුවේ " කන්දේ හැපුණ මහ වනන්තරේ ඩී සී අට අහස් යන්තරේ....." යනාදී වශයෙනි. එමෙන්ම හැත්තෑඑකේ කැරැල්ල සමයේ දූෂණය කොට මරාදැමූ කතරගම රූපසුන්දරියක වූ අහිංසක ප්රේමවතී මනම්පේරි යුවතිය ගැන ගැයුවේ මෙලෙසිනි. 

" ප්රේමවතී මනම්පේරී තරුණිය
කතරගමෙ හිටපු රූපරැජිණිය
පතිවත කෙලෙසල ඇගේ 
මැරුවෙ තිරිසනෙක් වගේ ඒ හිත් පිත් නොමැති උදවිය"

එමෙන්ම සේපාල ඒකනායක ගැන, මතුගම සමන් කුමාර නම්වූ කෘර ලෙස මරා දැමූ අහිංසක සිසුවා ගැන  හා පොළොන්නරුවෙ විසූ සමාජය විසින් අපරාධකරයෙකු බවට පත් කළ පොඩි විජේ ගැනද තවත් මෙවැනිම රටම හෙල්ලූ නමගිය පුවත් හා පුද්ගලයන් ගැනද ගීත ගැයීමට එතුමා අමතක නොකළේය. එතුමන්ට තිබුණේ අමුතුම බයිලා ගීත කලාවකි. කාටවත් නොතිබූ එතුමන්ටම අනන්යවූ අපූරුම කට හඬකි. ජනතාව එතුමන්ට ආදරය කළේ එහෙයිනි. 

එතූමන් නොමැති සංගීත සංගීත සංදර්ශනයක් එකල නොවීය. වේග රිද්ම බයිල ගායකයන්වූ එම් එස් ප්රානාන්දු හා නිහාල් නෙල්සන් වැනි ගායකයන් අතරේ ඇන්ටන් ජෝන්ස් යන නාමයද දිදුලුනේ එකම තරු යායක පිපි තවත් දීප්තිමත් තරුවක් පරිද්දෙනි. එමෙන්ම කැසට්පට ලෝකයේද එතුමනට තිබුණේ අද්විතීය නාමයකි.  එතුමන්ගේ කැසට් පට විකිණී ගියේ උණු කැවුම් පරිද්දෙනි. කාලයකට ඉහත යම් යම් සිද්ධි මුල්කොටගෙන නිර්මාණයවූ කවි කොළ කලාවට නව මුහුණුවරක් සහ නව ආරක් ඇන්ටන් ජෝන්ස් තමන්ගේ ගීත කලාවෙන් ලාංකීය ගීත කෙතට දායාද කළේ එලෙසිනි. එය එතුමන්ට ආවේණික විය. 

එහෙත් අද දිනයේ මේ සැමදෙයකටම  නැවතීමේ තිත වැටි තිබිණි. මරුසිරා ගැන , පොඩි විජේ ගැන, මනම්පේරි ගැන, සේපාල ඒකනායක ගැන, හැපුණු ගුවන්යානා හා පෙරලුනු බෝට්ටු වැනි ව්යවසන ගැන ගැයූ ඔහු , සදහටම නිහඬවූ පුවත ලක් මව කම්පා කරමින් පැතිර ගියේ සැමගේම හදවත් කම්පා කරමිණි. 

එතුමන් ජීවත්ව සිටියදී යමක් ලිවීමට නොහැකිවීම ගැන මට ඇතිවූයේ මහා පසුතැවිල්ලකි. මෙතෙක් කාලයකට එතුමා ගැන  කිසිදු විස්තරයක්  පලනොවූ මුහුණු පොත ඇතුළු මාධ්ය එතුමන්ගේ පින්තූර සහ ශෝකී පණිවුඩවලින් පිරී යන්නට විය. 

මේ වෙනස්වන ලෝකයේ ස්වභාවය එයයි. එහෙත් සත්යයට අප මුහුණදිය යුතු වෙමු. දිනෙක අප සැමටම අනිවාර්යයෙන්ම යන්නට වන ගමන අද ඔබ ගොසිනි. තව දින කිහිපයකින් පසු ඔබගේ නිසල සිරුරද අපට සදටම දැකගත නොහැකිවනු ඇත. එහෙත් ඔබ අපට ඉතිරි කොට යන ඔබගේ නිර්මාණ , ඒ අද්විතීය කට හඬ හා ඔබගේ නාමය පමණක් යුග යුග ගණනාවක්ම මෙලොව පවතිනු ඇත. අවසාන වශයෙන් මේ පාළු රාත්රී යාමයේ, නැග එන පුන්සඳ වසා පැතිරී ඇති වැහි වලාව දෙස නෙතු යොමා,  මා මෙලෙසින් ඔබගෙන් සමු ගනිමි.  මේ සසර කතරේ දිනෙක නැවත අප හමුවනතුරු ඔබට සුබ රාත්රියක්!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

17 comments:

  1. අපේ ජීවිතයේ තාරුණ්‍යය ආලෝකවත් කල, අපේ තාරුණ්‍යයට විනෝදය සහ වින්දනය එක්කල, කවදාවත් මහලු නොවූ අසහාය ගායකයාණනි, ඔබට මෝක්‍ෂ සුවය අත්වේවා!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එතුමා ගේ අඩුව පුරවන්නට බැරි වේවි. කපු ගේ ගෙ වි යෝව ව ගේ. ආ දේශක නැත. ස්තූතියි

      Delete
  2. ස්තූතියි සටහනට.... මගේ ප්‍රියතම ගායකයෙක්...

    ජනතාවාදි කාළාකරුවෙක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන් ඔබට!

      Delete
  3. එතුමාට නිවන් සුව. එතුමා නැති අඩුව පුරවන්නද මන්ද දැන් ගිහි පැවිදි ගොඩක් අය බයිලා ගායනේ කරනවා. නමුත් එතුමා වගේ මිහිරියට ගීතවත්ව ගායනය කරනවා වෙනුවට කටෝර .
    මාධ්‍ය සාකච්චා වලදී තමයි මේ ය බයිලා ගයන සිදු කරන්නේ. එක කට්ටියක් එක බයිලාවක් ගයන කලහම අනෙක් කට්ටිය තව තැන පිලතුරු බයිලාව ගායනා කරනවා. අන්න නියම වාද බයිලා. චන්දෙ කාලෙට මේවා ගායන වෙනවා වැඩියි.

    ඒ වුනාට ඇන්ටන් මහත්තයාගේ ගැබුරු කටහඩින් ගීතවත්ව මිනිස්සු සනසන්න කියන බයිලාව වගේ නොවේ ඒ බයිලා.

    ReplyDelete
  4. තමන්ටම ආවේනික ශෛලයකින් ගීත ගායනා කළ අසහාය කළාකරුවෙකි. ඔබට මෝක්ෂ සුවය!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එවැනි ගායකයකු නැවත බිහි වේදැයි සැක සහිතයි.

      Delete
  5. බොහෝ අය හිතාන ඉන්න දෙයක් තමයි සරල සිද්ධි වලට සිංදු සහ පදවැල් ගොතන එක හරිම ලේසි වැඩක්ය කියලා..
    නමුත් සිද්ධියක් සින්දුවකින් විස්තර කිරීම කියන්නෙ පද රචකයෙක්ට සංගීත සපයන අයෙක්ට ලැබෙන ලොකු අභියෝගයක්..
    මේක ටිකක් අමුතු වැඩක්.. නමුත් එතුම ාඒක කලා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. එතුමාට හිටිවන බයිල කී මේ හැකියාවත් තිබුණා.

      Delete
  6. ලස්සන සටහනක්. මාතලන් ගූගල් එකේ බෙදා ගත නිසා දැක්කේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට!.

      Delete
    2. බෙදා හදා ගත්තට මාතලන්ට ම ගේ ආචාරය! ඔහු මා ඉතාම ප්‍රියකරන ලේඛක යෙක්

      Delete
  7. උපුටා ගත් ලිපිනය සමග නෙළුම් යායේ පල කෙරුවෙමු.
    http://nelumyaya.com/?p=5239

    ReplyDelete
    Replies
    1. බො හොමත්ම ස්තූතියි ඔබට!

      Delete
  8. සුබ ගමන් කළාකරුවාණෙනි

    ReplyDelete