Pages

Wednesday, 8 March 2017

අදට යෙදී ඇති ලෝක කාන්තා දිනය වෙනුවෙන්



ලඳුනී.....

දස මසක් කුස දරන් දරු ගැබක්                    රකින්නී
දරුණුතම දුක විඳන් එය ලොවට                    වදන්නී
සියලු කරදර වසන් සිනහවම                         පුදන්නී
බැණුම් ගැරහුම් මැදින් පරපුරක්                  තනන්නී

අහස මෙන් අනන්තවු මව් තුමිය                 නුඹමවේ
සොයුරියයි සැමවිටම සෙනෙහෙ ගඟ   නිමනොවේ
බිරිඳකිය සුයාමය යුඟදිවියෙ                          ඉඳිවුවේ
දියණියගෙ ආලයට ගල් කුළුද                   වෙඬරුවේ

රජුන් බිහි කළ නමුදු ගෞරවය                    පිදුණාද
පැතුම් පොදි සිරකරන් අඳ ගොලුව               විසුවාද
උතුම් ගුණ ළඟ තියන් ගැරහුම්ම                 ලැබුවාද
විමුක්තිය එළැඹෙන්නෙ නුඹෙ ලොවට        කවදාද....?

චන්දන ගුණසේකර

Wednesday, 1 March 2017

සිරිබො අයියා.........



සිරිබො අයියා චිත්‍රපටයේ තිරපිටපත කියවා නිම කළෙමි. මගේ හදවත යම් තැනෙක නතර වී ඇති සෙයක් මට දැනෙයි. හිතේ ඇත්තේ තිගැස්මකි. මගේ සිත 70 දශකයට දිව යයි. 

පියදාස පලන්සූරිය සූරීන් ලියූ " සිරිබො අයියා " කෙටි කතාව මෙම චිත්‍රපටයේ කතා තේමාවයි. පිටු 80 ක් වැනි කුඩා පොත් පිංචක වූ තිර රචනයෙන් පිටු 800 ක බලපෑමක් පාඨකයාට දී ඇත. එය ඉතා බරය. එහෙත් පොතේ ඇත්තේ පරිච්ඡේද 19 කි. රස බර හරවත් හදවතේ රැඳෙන කවි කිහිපයකි. සිනමා පටයේ මෙම කවි , පංඩිත් අමරදේවයන් හා විශාරද නන්දා මාලිණියන් විසින් ගැයූ බව මතකය. 

එකල 80 දශකයේ රූපවාහිනී ජනතාව අතරට ආ මුල් යුගයේ සෑම බ්‍රහස්පතින්දා රැයකම අපේ ගෙවල් අසල නිවසකට ගොස් කුඩා අඟල් 12 කලු සුදු රූපවාහිනියක සිරිබො අයියා බැලූ හැටි වසර ගණනාවකට පසු මට අද සිහිවිය. අනුනගේ ගෙදරක යන්තම් පුටු කෑල්ලක පස්ස ඔබාගෙන එය නැරඹුවා නොව බැලුවා පමණි. " මහ ගෙදර " බැලුවේත් " බක් මහ දීගෙ" බැලුවෙත් මෙසේමය. 

කුඩා කෙටි කතාවක් වුවත් මෙයින කියැවෙන්නේ මහා පතරංග ජාතකයකි. සමාජයේ අනිත්‍යයය. නැතිවීමය. කර්මයය. 

මෙහි වූ මා සිත් ගත් දෙබස් මට තවම මතකය. එකල ගුවන් විඳුළි ප්‍රචාරක වැඩසටහන් වලදී ප්‍රචාරය කළ දෙබසක් වූ " ගියා නෙමේ මල්ලියේ ග්‍රහය අරං ගියා" යන්න අදටත් එදා මෙන්ම මතකය. 

එමෙන්ම පහත සිදුවීම මනසේ ඇඳී ගියේ එදා නැරඹූ ලෙසටමය. 

// සිරිබොහාමි ( ජෝ අබේවික්‍රම) කඩයට ඇතුල් වී මුදලාලි සිටින තැනට පැමිණියේ, මුදලාලිට නොපෙනෙන්නට ඒ අසල සිටි එමා නෝනාගේ( ගීතා කුමාරසිංහ) නිතඹ කොනිත්මිණි. 

" යකාගෙ විසයක්නෙ තියෙන්නෙ" එමා නෝනා මුමුණන ස්වරයෙන් ආදර බරව කීවාය. // පිටුව 3

බලන්න මේ වැකි දෙකෙන් චිත්ත රූප මැවෙන අපූරුව. 

එමෙන්ම සිරිබො අයියාගේ හදිසි අනතුරින් පසු කියැවෙන මේ දෙබස් කන්ඩ බලන්න. 

" සිරිබො අයියෙ තුවාල තාම රිදෙනවද?"

" තුවාල රිදෙන එක ඉවසන්න පුළුවං මලයා"

" සිරිබො අයියා මොනවට ගියාද වෙඩිල්ල පත්තු වෙන තැනට"

මට මතකනම් සිනමා පටයේ මේ පැණයට සිරිබො අයියාගේ පිළිතුර වූයේ
" ගියා නෙමේ මල්ලියෙ , ග්‍රහය අරන් ගියා" යන්නයි. ඒත් මේ පොතේ සඳහන් වූයේ, 
" ගියා නෙමේ මලයා, ඉරණම මා එක්ක ගියා " යනුවෙනි. මෙය සිනමාපටයේදී මා ඉහත කී ආකාරයට වෙනස් කළා දැයි නොදනිමි. 

තවත් මා සිත් ගත් එමෙන්ම හදවත කම්පා කළ දෙබසක් මෙසේය,
" මොනව බලන්නද නගෝ, තරු එළියෙන් උණත් කෙස් ගහ පෙනිච්ච මිනිහෙක් මං, දැං ඉතිං කෙස් ගස් තියා කොස් ගස් වත් පේන්නෑ."

ඊළඟට ඔහු මෙසේ කියන්නේ පෙරදා තමන්ව හිස මුඳුනේ තබා පිළිගත් හා සැලකූ උදවිය අද තමන්ව අමතක කර ඇති බැව් දැනීමෙනි. 

" එක අතකින් දැන් මට ඉස්සරට වැඩිය පේනවා.ඉස්සර මං දැක්කෙ , මිනිසුන්ගෙ ඇඳුම් කැඩුම් විතරයි,දැං මට මිනිස්සු පේනවා" ( පිටුව 66)

අවසානයේ තමන්ගේම බිරිඳ කර ගැනීමට සිහින මැවූ තමන්ටත් පණ මෙන් ආදරය කළ බිසෝ තමන්ට අහිමි වෙද්දී ඔහු නොසැලුණේය. ඇයට යහපතම පැතීය. 

සැබෑ ආදරය නම් මේ අවෛරී හැගීම් සමුදායම නොවේද? අත්හැරීමම නෙවේද? අනෙකා තමන්ට අහිමි වූවත් යහපතම පැතීම නොවේද?

එදා හුලවාලි චිත්‍රපටයේ ධාරා, තමන්ගෙන් වෙන්ව යන සුභා දෙස බලා සිටියේද මෙලෙසමය. ආලවඩන යන තේරුම බෝසත් කම සකී. 

අවසානයේ හැරමිටිය පමණක් තමන්ට තනි රකින අසරණ අන්ධයෙකු වූ සිරිබො අයියා සියල්ල අතහැර ගොස් නතරවන්නේ එමා නෝනා අසලය. 

සිරිබො අයියාව දකින " ඈ අතින් ඉදල අතහැරනි. ඈ පෙර මගට දිව ගොස් , ඔහුගේ සැරටිය අතින් ගත්තාය. " පිටුව 80

එයයි සැබෑ ආදරය. සමාජයේ තිබෙන ඒත් බොහෝ දුලබ සැබෑ ආදරය. 

අවසානයේ පහත කවියෙන් කතාව අවසන් විය. එහෙත් ඉන් මගේ හදට දැනුණු කම්පනය සදා කල්හිම පවතිනු ඇත......

" වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්
දෙපෝදාට පුන් සඳ වාසනාවන්
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්......."



Tuesday, 28 February 2017

රතු පාට බයිසිකලේ.....



එදා මා අවඳිවන විට වෙනදාට වඩා මදක් පමා වී තිබිණි. වන විටත් දැඩි වී තිබූ හිරු රැස් මහා උජාරුවෙන් වැජඹුණේ පළාතටම තම බලය පෙන්වමිනි. වියළි අගෝස්තුවේ හමා ගිය බළ බිඳුණු කර්කශ සුළඟින්, කේඩෑරිවී ගොස් මැරෙන්නට පණ අදිමින් ඉන්නා මහල්ලන් බඳුවූ කෙසෙල් ගස් සර සර හඬක් නැංවූයේ "දැන් හිටියා ඇති අපට මැරෙන්න දීපල්ලා" කියා කියනවා වැනි කොඳුරන ස්වරයෙනි. කොහොඹ හා දිවුල් ගස් ඇරැනු කොට මේ රාක්ෂ පෑවිල්ල සතා , සිව්පා හා තුරු ලතා සැමටම බෙදා තිබුණේ එකම හැන්දෙණි. අධික උෂ්ණය නිසා උදෑසන අවඳිවනවිටත් මගේ මුළු ගතම තෙතබත් වී තිබුණේ දහඩියෙනි. 

" අප්පා මෙහෙම ගිරීස්මයක්! කවදා වැහි රැල්ලක් වැටේද මන්දා? " ආච්චි තම ලොඹු කට උල් කොට හිස් අහස දෙස බලා කොඳුරනු මට ඇසිණි. 

එදා කලකට පසුව පවුලේ සියල්ලෝම නිවසේ වූයේ රටේ පැවති කලබලකාරී තත්වය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතියට පිංසිදුවන්නටය. මා නැඟිටින විටත් තාත්තා වත්ත පිටියේ වැඩ කරමින් සිටි අතර අම්මා පුංචි මල්ලීට කිරි පොවමින් උන්නාය. මා නිඳි ගැට කඩමින් මහා උදාසීනව කුස්සිය පැත්තට එනු දුටු අම්මා,

" ලොක්කො ඔන්න බතල තම්බලා ඇති. මූණ කට හෝදගෙන කෑවනම්."යැයි තෙපළාය.
" පොලුයි, කට්ට සම්බෝලෙයි එතනම මැටි කෝප්පෙන් වහල ඇති. අපි හැමෝම කාලා ඉන්නෙ. ඇති වෙනකල් කන්න පුළුවනි ." යැයිද පැවසුවේ මා බතල කෑමට මහා පෙරේතයකු බව දන්නා නිසාය. 

මම ලිපෙන් ගෙන නිවා ගත් අඟුරැ කෑල්ලක් හපමිං ළිඳ දෙසට යනවිට තරමක් රතු, වැඩිය උස නැති, පටු නළලක් ඇති ආගන්තුකයෙකු ළිඳෙන් නාමින් සිටිනු මට දුරටම පෙනිණි. ඔහු අපගේ ඇනෙක්සියට ගිය සතියේ පැමිණි පවුලේ පිරිමියා බව මම අනුමාන කළෙමි. හැමදාම ඔවුන් අවඳිවීමට ප්රථම පාසල් ගිය නිසා සහ මම හැන්දෑවේ නිවසට එනවිට ඔහු රැකියාව සඳහා ගොස් ඇති නිසා ඔහුව අද වෙනතුරැම දැක හඳුනා ගැනීමේ අවස්ථාවක් මට නොවිණි. ළිඳ අසලම හොඳින් සෝදා, පිසදමා , පොලිෂ් කරන ළඳ රතු පාට බයිසිකලයක් හිරු එළිය වැදී දිලිසෙමින් තිබිණි. දුටු පමණින්ම එය තුන් කාලේ බයිසිකලයක් බව මට වැටහුණි. සම්පූර්ණ ප්රමාණයේ බයිසිකලයක් වූ තාත්තාගේ බයිසිකලයෙන් දිනවල මම වැටි වැටී පදින්නට පුරැදුවෙමින් උන් කාලයයි. හේතුවෙන් තුන් කාලේ බයිසිකල් දෙස බලාසිටීමේ හා අවස්ථාවක් ලද වහාම රැගෙන පැද බැලීමේ පිස්සුවකින් මම පෙළුණෙමි. 

මා බයිසිකලය දිහා නරියකු කිකිළියක දෙස බලා සිටිනවා මෙන් කෙළ ගිලිමින් බලා සිටිනවා දුටු ඔහු නෑම මදෙකට නවතා මා දෙසට හැරී,
" පුතාට ආසනම් අරගෙන පදින්න යැයි " ඉතා පහත් හඬින් කරුනාබරිතව පැවසීය. 

මා දුටු පළමු නිමේෂයේම මෙතරම් කරැනාවන්ත හා ත්යාගශීලී වූ ඔහුගැන මගේ හිතේ ක්ෂණිකවම ඇතිවූයේ මහත් පැහැදීමකි. 

" ම්..ම්. ..ක්..ක්..කමක් නෑ අංකල්. පස්සෙ පුළුවන්." ඇතිවූ ක්ෂණික තිගැස්ම සහ ආශාව නිසා මම බොහොම අපහසුවෙන් තතනමින් වචන ගලපා ගතිමි. 

" මම රාජ්. පුතා ගැන මට ඔයාලගෙ තාත්තා කියල තියෙනවා. චිත් අඳින්න. ලියන්න හරි දක්ෂයා කියලා. දැක ගන්න ආශාවෙන් හිටියෙ. ඒත් කොහෙද පුතේ වෙලාවක්." එසේ පවසා ඔහු ළිඳේ සිමෙන්ති කණුවට පිට තබා එහාට මෙහාට ඇඹරෙමින් පිට අතුල්ලන්නට පටන් ගත්තේ නාට්යක විකට ජවනිකාවක් සිහි ගන්වමිනි. 

මම කිසිත් නොකියා ඔහුට සිනවකින් සංග්රහ කොට නැවතත් දත් මඳින්නට පටන් ගත්තෙමි. 

සුළු මොහොතකින් කුණු ඇතිල්ලීම මඳකට නතර කල ඔහු , "පුතාගෙ නම මොකක්ද? කොයි පංතියෙද ඉගෙන ගන්නෙ " කියා නැවතත් නිවුණු ස්වරයෙන්ම විචාලීය. 

ස්වභාවයෙන්ම මදක් ලැජ්ජාශීලි පුද්ගලයෙකු වූ මම මදකට පැකිලී, " මගෙ නම කෝසල. ඉන්නෙ හයේ පංතියේ " යැයි කියා ගතිමි. 

" ... ෂෝක්නෙ. පුතා ආසද ක්රිකට් වලට" ඔහු එය ඇසුවේ වැලේ වනා තිබූ තුවාය ගෙන ඔළුව පිසදා ගන්නා අතරය.

" අනේ ඔව් අංකල්. අද තියෙනවා නේද වන්ඩේ එකක්. අපේගෙදර තවම ටී වී එකක් නෑනෙ. යාළුවකුගෙ ගෙදර ගිහිල්ලයි මම බලන්නෙ. ඒත් අද ඇඳිරි නීතිය නිසා කොහේවත් යන්න බෑනේ" යැයි හැඬුම් ස්වරයෙන් පැවසූයෙමි. 

" කොහෙවත් මොනවට යනවද? පුතා එන්න අපේ පැත්තටම. මමත් අද වෙන වැඩ මොකුත් නෑ. මැච් එක බලන්න තමයි ඉන්නෙ." යැයි සිනාසෙමින් ගත් කටටම පැවසුවේ මගේ හිසේ මල් දහසක් පූදමිනි. 

එදා දවසම මම එහෙ ගත කළෙමි. දවාලට කෑවේදි එහෙණි. එයට නම් අම්මා එතරම් කැමැත්තක් නොදැක්වූවාය. රාජ් අංකල්ගෙ බිරිඳ සීතා ඇන්ටීද ඔහුටම කැපෙන ඉතාමත් ප්රියමනාපශීලී කාන්තාවක් වූවාය. මදක් කලු පැහැ, කොට හා තරබාරු කතක් වූවද ඇයගේ දෑස් ඉතාමත් කුළුණුබරින් යුතුවිය. ඇයට තිබුණේ මන බඳිනා අව්යාජ සිනහවකි. ඇය කෑම පිසීමේද දක්ෂියක බව එදා සාදා තිබූ මාළුපිනි වලින්ම මට වැටහිණි. රාජ් අංකල් කෑමට පෙර පුංචි අඩියක් ගැසුවේය. ඉන්පසු පුංචි දරුවකු සේ කෑ ගසමින් අත් පුඩි තලමින් මා සමඟ තරගය රස වින්ඳේය. අපව අමන්දානන්දයට පත් කරමින් පකිස්ථානය සමඟ පැවති තරගයෙන් එදා අපට ජය ගැනීමටද හැකිවිය. 

රාජ් අංකල්ගේ ලොකු පුතා අසිතට අවුරුදු 8ක්ද, දුව සරණිට අවුරුදු 6 ක් සහ පුංචිම පුතා රනුකට මාස 10ක්ද විය. අසිත හා සරණීද මා සමඟ බොහෝ කුළුපගවූයේ ආත්ම ගණනාවක සිට දන්නා පරිද්දෙනි. 

මා රාජ් අංකල් හඳුනාගත්තේ එලෙසිනි. එතැන් සිට ඉඳහිට දුටු විට අතවනනවා හෝ සිනා සලනවා ඇරුනු කොට පාසල් නිවාඩු කාලය එළඹෙන තුරුද මට ඔහු හා හොඳින් කතා බහ කිරීමේ අවස්ථාවක් නොවීය. 

ඉතා උග් ලෙස දෙවියන් හා යාග හෝම හා සාස්තර ආදිය රාජ් අංකල් විශ්වාස කරනබව ඔහු ඇසුරට වැටී දින කිහිපයකින්ම මා හට අවබෝධ විය. සතියේ දින 6 ක්ම රැකියාවට ගිය රාජ් අංකල් හැම සතියකම බ්රහස්පතින්දා ඔහුගේ විවේක දිනය කර ගත්තේය. 

සැමදාම උදේ 10 පමණ ඔහුගේ  රතු පැහැති බයිසිකලයේ නැඟී නිවසින් පිටවන රාජ් අංකල් නිවසට ගොඩවූයේ රාත්රී 10 පමණය. ඔහු බයිසිකලය පැදගෙන බස් ගාලට ගොස් අසල හඳුනන කඩයක බයිසිකලය නවතා බසයේ නැගී නගරයෙන් සැතපුම් 15ක් පමණ දුරින් වූ ගමකට තම රැකියාව සඳහා ගියේය. 

ඔහුව අපේ අම්මා හා තාත්තා ඇමතුවේ 'ඩොක්ටර්' නමිනි. නිසා ඔහු වෛද්යවරයකු බව හා ගමේ ඩිස්පැන්සරියක් දමාගෙන ගැමියන්ට බෙහෙත් කොට තම ජීවිකාව සලසා ගන්නා බව තව දුරටත් මට දැන ගන්නට ලැබිණි. තවත් කාලයක් යද්දී, ගමේ ඕප දූප සොයමින් තැන තැන ඇවිදින මම අකමැතිම පුද්ගලයකු වූද තාත්තාගේ එක්තරා පාප මිත්රයකුවූද පියදාස අංකල් විසින් රාජ් අංකල් සැබෑ දොස්තරයකු නොවන බවත් , ඇපොතිකරයෙකු පමණක් බවත් , ගමේ මිනිසුන් ඉදිරියේ දොස්තරයෙකු ලෙස පෙනී සිටින බවත් තාත්තා සමඟ පවසා තිබිණි. මේ බව තාත්තා අම්මා සමඟ පවසනවිට මට මෙය ඇසී සිතට දැනුණේ මහා දුකකි. 

එහෙත් ස්වභාවයෙන්ම අනුගේ කුණු කන්දල් නොසොයා තමන්ගේ පාඩුවේ ජීවත් වූ අපේ අම්මා හා තාත්තා මේ ගැන ඉන්පසු වචනයක් හෝ කතා නොකළ අතර දිඟටම ඩොක්ටර් නමින්ම රාජ් අංකල්ව ඇමතීමට වගබලා ගත්හ.

මා මේ කියන රාජ් අංකල්ගේ විවේකී දිනය වූ බ්රහස්පතින්දාට බෙහෝ දේ සිදුවිය. උදේම රාජ් අංකල් හොඳින් නා, රතු පැහැති බයිසිකලයද සෝදා මැනවින් පිරිසිදු විය. සතියක් පුරාවට නොකැපූ රැවුල කපා හොඳින් හිස පීරා පිරිසිදු ඇඳුමින් සැරසී උදේම කෝවිලට ගියේය. ඉන්පසු මාසයකට වතාවක් හෝ සාස්තර හා පේන කියනා මිනිසුන් සොයා ගියේය. එසේ නොවන දිනයට කෝවිල් ගමනින් පසු කඩ පොළට ගොස් මහා විශාල බඩු මල්ලක් නිවසට ගෙනාවේය. එළවළු, කුකුල් මස් හා ළමයින්ට ගෙනා චීස්,ඇපල් හා මිදි වැනි කෑම වර්ග එහි පිරී තිබිණි. 

මේ අතර සෑම බ්රහස්පතින්දාවකම රාජ් අංකල් කෝවිලට යාමට පෙර අමුත්තකු අංකල් හමුවට ආවේය. ඔහුව මා දුටුවේ බ්රහස්පතින්දාවලම පමණි. 

කබල් බයිසිකල් කටුවක් පැදගෙන ඔහුට තිබුණේ නරියෙකුගේ වන් කපටි පෙනුමකි. බොල්ලෑ දත් විරිත්තා ඔහු සැලුවේ කෑදර සිනාවකි. ඔහු නම් මහා අණ්ඩයකු බව මගේ ළපටි සිතටත් වැටහිණි. එහෙත් බ්රහස්පතින්දාට අංකල්ට ඔහුව නැතිවම බැරි පුද්ගලයෙකු විය. උදයේම අංකල්ගෙන් මුඳල් ඉල්වාගත් ඔහු හංදියේ බාර් එක විවෘත කළ ඇසිල්ලේම ගල් බෝතල් දෙකක්, සෝඩා බෝතල් දෙකක් හා සිගරට් පැකට් කිහිපයක් ඔසවාගෙන ආවේය. බාර් එක ළඟ සිටිනා කඩල කාරයාගෙන් ටේස් කඩල හා ඉස්සො වඩේද ඔහු ගෙනා අතර දුන් මුඳල් වල ඉතිරිය ඔහු අංකල්ට දෙනු හෝ අංකල් එය ඉල්ලනු හෝ මම කවදාකවත් දැක නොතිබිණි. 

ඉන්පසු ඇරඹුණේ අංකල්ගේ විවේක සුවයයි. ඔහු උදේ සිට හැන්දෑ වනතුරුම බිව්වේය. එකක් ඉවර වන විට එකක් බැගින් දුම් ඉරුවේය. අර අමුත්තා බෝතල් දෙකම ඉවර වනතුරු ඔහුත් හොඳහැටි බොමින් හා දුම් උරමින් අංකල් සමඟ සිටි අතර බෝතල් අවසන් වූ සැණින් ඔහුද වාෂ්ප වී ගියේ වීදුරුවල අඩියේ ඉතිරි වූ අරක්කු බිඳක් වාෂ්ප වනවාටත් වඩා වේගයෙනි. ඉන්පසු රාජ් අංකල් තනියම කියව කියවා හෝ සිංදුවක් කියමින් මහ රෑ වනතුරු තනියම ගතකොට නින්දට ගියේය. පහුවදා අවඳිවන අංකල් සුපුරුදු පරිදි වැඩට ගියේ ඊට කලින්දා කිසිත් සිදු නොවූ විලසට පුංචි බබෙක් මෙනි. දින 6කට පසු නැවතත් බ්රහස්පතින්දා රඟදැක්වූයේ මේ ජවනිකාවමය.

එදාට වෙනදා පැහැපත්ව තිබූ රාජ් අංකල්ගේ මුහුණ තෙල් පිරී රතු පැහැ වන්නේය. බාගෙට ඇරුනු නෙත් වලින් එහෙ මෙහෙ බලමින් හැම විටම ඇසිපිය ගසමින් ඔහු වැනී වැනී වත්තේ ඔබ මොබ ඇවිදින්නේය. තනියම සිංදු කියන්නේය. කාටදෝ බනින්නේය සමහරදාට ඉකි ගසමින් හඬන්නේය.

එක්තරා බ්රහස්පතින්දාවක සිදුවූ හාස්යජනක සිදුවීමක් මට අදමෙන් මතකය. අපේ වත්ත පහළ පුංචි ටැංකියක් බැඳ තිබිණි. වැසි කාලය වූ නිසා අඩි එක හමාරක් පමණ ගැඹුර වූ ටැංකියේ කට ළඟටම වතුර පිරී තිබිණි. හදිසියේ අපට ඇසුණු ' ජබොග්' යන හඬ නිසා අප හඬ දෙසට දුව ගියෙමු. එහිදී ඇස ගැටුණු දසුනින් අපට සිනහව නවතා ගත නොහැකි විය. වෙරිමරගාතේ ටැංකියට පැන තිබූ රාජ් අංකල් සරම පිටින්ම එහි ගිලෙමින් " වරදක් කළත් සිතකින් නොවේ. රිදවන්නේ පලිගන්නෙ ඇයි" නම්වූ මහාචාර් සනත් නන්දසිරි සූරීන්ගේ ගීතයක් මුමුණමින් ජල ක්රීඩාවේ නිරත විය. එහෙත් පහු වෙනිදාට අංකල්ට මේ කිසිත් මතක නැතිවිය. පූසකු මෙන් රතු පැහැති බයිසිකලයේ නැඟී වැඩට ගියේය. 

මෙසේ කාලය ගෙවෙද්දී ඔප දූප සොයන හා පතුරන පියදාස අංකල්, (ඔහු ප්රවිණ රංගධර ඇන්තනී සී පෙරේරා මෙන් තට්ට හිසකින් හා කට්ට පෙනුමින් යුතු වූ අතර තාත්තලා ඔහු ඇමතුවේ ' තට්ට පියා' නමිනි.) තවත් අමුතුම මාදිලියේ පුවතක් රාජ් අංකල් පිළිබඳව ගෙනාවේය. එනම් රාජ් අංකල් ද්රවිඩ ජාතිකයකු බවයි. ඉතා දුර පළාතක විසූ සිංහල කාන්තාවක් වූ සීතා ඇංටීව බැඳගෙන ඔහු මෙහාට පැමිණ තිබෙන බවත් ඔහුට සීතා ඇන්ටිගේ ගමට ඒමට සීතා ඇන්ටිගේ පවුලේ අය නොදෙන බවත් තවදුරටත් ඔහු පැවසීය. ඇන්ටිලා ගමේ ගියද කිසිම දිනෙක වැඩට හැර රාජ් අංකල් අපේ නගරයෙන් පිටට නොගිය බව මට වැටහුණේ එවිටය. එහෙත් පෙරදී මෙන්ම අප ඕවා මේවා සොයන්නට නොගියෙමු. 

හැම සතියේම දේවාලයට යන ඉතාමත්ම ආගමට දහමට ලැදි පුද්ගලයෙකු වූ රාජ් අංකල් දුප්පත් මිනිසුන්ගේ දුක ඉදිරියේ තැවෙන , දුක් වෙන කඳුළු සලන මිනිසෙකුද විය. බොහෝ විට ගෙදර බත් පාර්සල් තනා නඟරයට ගොස් හිඟන මිනිසුන්ට බෙදා දුන්නේය. වරක් නිවසට පැමිණි අසරණයෙකුට තමන් ඇඳ සිටි කමිසය ගලවා දෙනවා මම දිටිමි. අංකල්ටත් තිබුණේ කමිසය ඇරුනු කොට තවත් එක් සුදු කමිසයක් පමණි.එමෙන්ම ඔහුගේ බයිසිකල මට හැකි හැමවිටම පදින්නට දුන්නේය. අපේ පාරේ කොලු නඩය හා ක්රිකට් ගැසීමටද අමතක නොකළ රාජ් අංකල් අපට බැට්, බෝල හා විකට් කූරුද රැගෙන දුන්නේය. 

මෙලෙස කාලය ගතවිය. රටේ මහා අවුල් වියවුල් ඇතිවූ කාලකණ්ණි යුගයක් එළැඹෙමින් තිබිණි. නීතිය අසරණ වූ යුගයේ අවනීතිය රජ විය. ජීවිතයට වටිනාකමක් නැතිවී මරණයට තැන ලැබිණි. හැම තැනකම පාහේ සිංහල හා දෙමළ කෝලහල ඇතිවිය. මහ මඟ , ටයර් සෑ වල අමු අමුවේ මිනිසුන් දැවී අළුවිය. පුළුටු මිනී පුසුඹින් සුළඟ අපවිත් විය. ජන ජීවිතයේ සාමාන් රටාවට කන කොකා හැඬිණි. 

මේ කාලයේ අප ආරංචිය විශ්වාස නොකළත් අපට රාජ් අංකල් ගැන බියක් දැනී තිබිණි. එදා මූසල දවස මට හොඳටම මතකය. හැම තැනකම පාහේ කලබල ඇවිලී තිබිණි. සිංහලයෝ ද්රවිඩයන් ගැන පසුවූයේ මහා කේන්තියකිනි. දින කිහිපයක නරුම සිද්ධීන් හා ඇඳිරි නීතය අවසන් වී එදින සාමන් දිනයක් බවට පත්වී ඇතිබව මතුපිටින් තිබුණද යටින් ඇති නපුරක මූසල හැඟීම අප සැමගේම සිත් වල රැව් දුනි. 

එදා වැඩට යන්න ලෑස්ති වූ අංකල්ට අපේ තාත්තා, " ඩොක්ටර් අදත් වැඩට නොගිහින් හිටියොත් හොඳ නැද්ද? " යැයි අසනවා මම අහගෙනය. 

එයට රාජ් අංකල් තාත්තට දුන් පිළිතුර මට හරියට නෑසුණත් ගමේ වයසක අයට හා පුංචි ළමයින්ට වසංගත උණක් සෑදී ඇති බවත් දුප්පත් මිනිසුන්ට රෝහලකටවත් යා ගැනීමට තරම් වත්කමක් වත් හැකියාවක්වත් නැති නිසා තමන් අද යායුතුම බව ඔහු පවසා තිබිණි. මටත් අතවනාගෙන වෙනදා මෙන්ම රතු පාට බයිසිකලයේ නැඟී ඔහු නිවසින් පිටවූවා මට මතකය. 

එදා රෑ රාජ් අංකල් ගෙදර ආවේ නැත. සීතා ඇන්ටි සහ අපි මඳක් කලබල වූ නමුත් සමහර විට එදින රැයේ එහි නැවතී පසුවදා එනබව කියා තිබුණෙන් අප හිත හදා ගත්තෙමු. එහෙත් පහුවෙනිදාත් රාජ් අංකල් නොපැමිණියේය. තාත්තා පොලීසියට පැමිණිලි කිරීමට ගියේය. මම හිමින් සීරුවේ බස් නැවතුම ළඟ කඩය දෙසට පිය නැඟූ බව යාන්තමට මට මතකය. දුර සිටම මා දුටු දසුනින් මගේ තොල කට වේලිනි. කඳුළු ගඟක් ඇස් පුපුරා ඇද හැළිණි.

වෙනදා තිබෙන තැනම රාජ් අංකල්ගේ රතු පාට බයිසිකලය අයුරින්ම නවතා තිබිණි. 

- නිමි-

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය