Pages

Saturday, 18 March 2017

දමිත් අසංක, බෞද්ධ දර්ශනය සහ කැළුම් ශ්‍රීමාල්..




සිංහල නාට් බැලීමට හෝ ගීත වලට සවන් දීමට වෙබ් අඩවි අද මෙන් සුලභ නොවූ කාලයේ හීනියට මධුවිතින් සැනසුණු සුන්දර සැඳෑවල අපගේ නොසිඳි ගී පිපාසාවට විසඳුම වූයේ ලංකාවෙන් ගෙන්වා ගන්නා එළිමහන් සංගීත සංදර්ශන සහිත ඩී වී ඩී පට නැරඹීම විය. ළබැඳි මිතුරන් කිහිප දෙනෙකු හා මගේම මස්සිනාලා සමඟින් ගෙවුණු සැඳෑවෝ මනසින් හදවතින් එකල අප කුඩා සංධියේදී නැරඹීමට ගිය සංගීත සංදර්ශන වෙත ගෙනගියේ නිතැතිනි. 

මේ ඩීවීඩී පට මඟින් මම නවමු සංගීත කණ්ඩායම් , නැටුම් කණ්ඩායම් මෙන්ම නව පරපුරේ එකල කරළියට ගායක ගායිකාවන්ද හඳුනා ගතිමි. අකාලයේ අපට අහිමි වූ සතිස් පෙරේරා, පොඩි ළමයා, ජොලි සීයා මගේ සිත් සතන් පැහැර ගත්තේ මා ගත කළ සුන්දර කුඩා කාලයේ මතක නැවත නැවතත් මා වෙත ගෙන එමිනි. ඔවුන් අතර මහා ගැඹුරු හඬින් ගී ගයන තවත් යොවුන් ගායකයකු වෙත අප සැමගේම අවධානය දිනෙක යොමු විය. ඔහුට තිබුණේම එකල අතිශය ජනප්රිය ගායකයකු වූ සේනානායක වේරලියද්දගේ හඬමය. "කවුද මේ හුරැබුහුටි කොල්ලා" එදින අප සැම තුළම වූ දැවෙන ප්රශ්නයයි. නිවේදක මහතා ඔහුව දමිත් අසංක කියා හඳුන්වා දුනි. එදා මා හඳුනාගත් දමිත් අසංකව මගේ හිතට කොතරම් තදින් බැඳුණාද යතොත් මා ඔහුගේ සීඩී පටයක් පවා මිලඳී ගතිමි. එහෙත් කාලයත් සමඟ මේ මධු සැඳෑවන්ද ටිකින් ටික අඩුවූ අතර සංගීත සංදර්ශන නැරඹීමේ පුරුද්දද මා අතින් ගිලිහිණි. 

එහෙත් යළිත් මට දමිත් අසංකව සිහිවූයේ පසුගිය මාර්තු 10 වෙනිදා දෙරණ නාලාකාවේ " මා නොවන මම" වැඩ සටහනේ ගී ගැයීමට ඔහු පැමිණ සිට වග දුටු විටයි. 

වසර ගණනාවකට පසුව මා දුටුවේ අමුතුම දමිත් අසංකයෙකි. ඔහු මහා සබකෝලයකින් මෙන්ම මහා කලකිරීමකින් සිටින බව මට හැඟිණි. සියල්ල අත හැර දමා ඉතා සැහැල්ලුවෙන් ජීවත්වන්නට වෙහෙසෙන බව මට සිතිණි. ඔහුගේ වයසේ බොහෝ රුනන්ගෙන් සිහිනයෙන් හෝ පැතිය නොහැකි මානයක ඔහුගේ හද සන්තානය රැඳී තිබිණි. 

ඔහු බුද්ධ දර්ශනයේ මැදුම් පිළිවෙතට අවතීර්ණව සිටියේය. එදා ගමේ පංසලේ ඔහු දුටු ගෞතම බුදුන් ඔහුගේ කලණ මිතුරා , මඟ පෙන්වන්නා බව වැඩසටහන ආරම්භයේදීම ප්රකාශ කළේය. ඔහු වැඩසටහනේ ගැයූ ප්රථම ගීතයද ෂෙල්ටන් පෙරේරා සූරීන් ගැයූ " බුදුනේ" ගීතය විය. ඔහුගේ මනරම් ගැඹුරු පිරිමි හඬින් එය අපූරුවටම ගායනා කළේය.

ඔහුට බොහෝදේ පැවසීමට ඇතිබව මට හැඟුණි. ඔහු විශිෂ්ට ලෙස ගැයූවද අදහස් ප්රකාශ කිරීමේ ශූරයකු නොවුණි. ඔහු ගායකයකු විනා පද රචකයකුවත් නිවේදකයකුවත් නොවූ නිසාවෙනි. 

ප්රේමය පිළිබඳව නිවේදක කැළුම් ශ්රීමාල් ඔහුගෙන් ඇසූවිට බුදු සිරිතේ භවයෙන් බවය පුරා දිවෙන යසෝදරා සහ සිදුහත් කුමරුන්ගේ පිරිසිදු ප්රේම පුරාණය සැබෑ ප්රේමයට හොඳම උදාහරණය බව ඔහුගේ පිළිතුර විය. භාවනාව හා සත් සොයා යෑමේ පිළිවෙත ඔහුගේ ඉදිරි දැක්ම හා ගමන් මඟ විය. 

දමිත් අසංක තටම තටමා ඉතාමත්ම අපහසුවෙන් තමාට කීමට ඇති දහසකුත් දෑ කීමට උත්සහ කළේය. එහෙත් එයට රුකුලක් හෝ සහයක් කතාවට දක්ෂ , වාග් මාලාවෙන් සන්නද්ධ නිවේදක මහතා දුන්නේද යන්න මට ඇති ගැටලුවකි. මෙවන් වැඩසටහන්වල ගුවන් කාලය සීමිත බවත් එය ඉතා මිල අධික බවත් මම දනිමි. එහෙත් මීට වැඩි සහයක් ඔහුට දීමට හැකියාව තිබිණි. මෙම වාතාවරණයම ජාතික රූපවාහිනියේ සිහිනයක් රෑ වැඩසටහන මෙහෙයවන මහේෂ් නිශ්ශංකට ලැබුණානම් , ඔහුගෙන් මහා අනඟි සහයක් දමිත් අසංකට ලැබෙන බව මට විශ්වාසය. 

ඉතාමත්ම නිහතමානීව හැම ප්රශ්නයකටම ගෞරවාන්විත ස්වරයෙන් ඔහු " ඔව් අයියේ ! ඔව් අයියේ " කියූවේ නිවට කමකට නොවේ. මහත්මාකමටය. වචන කටට ආවේ ,ඔහු ප්රගුණ කර ඇති අතහැරීම, පිදිය යුත්තන් පිදීම හා වැඩිහිටියන්ට රු කිරීම වැනි ගුණයන් නිසාය.

ඔහු සංගීතයේ තවම අයන්න ආයන්න කියවන බව ඉකාමත්ම නිහතමානිව පැවසීය. එමෙන්ම සියලුම ප්රවීණ ගායකයිනට හා ඔහුගේ පාසල් ගුරැවරුනට ඉතාමත්ම බැතිබරිතව ආමන්ත්රණය කළේය. සිහිපත් කළේය. එය බොහෝ දෙනෙකු කැමරාව ඉදිරියේදී පමණක් කරන රඟපෑමක් නම් නොවීය. හැසිරීම ආවේ හදවතින්මය.

එපමණක් නොව වැඩසටහන අවසානභාගයේ කැළුම් ශ්රීමාල් " ඔබට තවම ලබා ගන්න බැරි වූ දෙයක් තිබෙනවාදැයි" ඇසූ පැනයට දමිත් දුන්නේ ඔබ අප කවුරැත් නොසිතනා අන්දමේ පිළිතුරකි. එම පිළිතුර අප බොහෝ දෙනෙකුට පොදු වුවද කවුරුවත් ප්රසිද්ධියේ නම් නොකියන බව ඉර හඳ මෙන් විශ්වාසය. එහෙත් දමිත් අසංක එය අව්යාජව ඉදිරිපත් කළේය. " මට අයියේ මම කියන්න උත්සහ කරනදේ අසන කෙනෙක් අපේ ගෙදරින්වත් සොයා ගන්න බැරිවුණා" යැයි ඔහු පැවසුවේ ඉතාමත්ම හැඟුම්බරවය. එය ඇසූ මට ඇතිවූයේ හද කකියවන තරමේ දුකකි. කණගාටුවකි. එහෙත් මම දමිත් අසංකට එක් දෙයක් කීමට කැමැත්තෙමි. 


ඔබට අද ඇහුම්කන් නොදෙන අය සත් වටහාගත් දිනෙක ඔබට ඇහුම්කන් දෙනු ඇත. ඔබට පමණක් නොව බුදුන් වහන්සේ, ක්රිස්තුස් වහන්සේ හා බොහෝ දාර්ශනිකයින් වැනි විශිෂ්ටයින්ටද සමහර මිනිසුන් ඇහුම්කන් නොදුන්නෝය. බොහෝ අයට තම මත පළ කිරීමට ගොස් දිවිය පවා අහිමි විය. එහෙයින් නොසැලෙන්න. ඔබ විශිෂ්ට දස්කම් දක්වන ගීතය ඔබගේ අදහස් ප්රකාශ කිරීමේ මාධ් කරගන්න. ගැඹුරු හඬට එය කළ හැකිය. ඔබට සඳහා අවැසි වන්නේ ගුණාත්මක හා හැඟුම්බර පද රචනා සහ විශිෂ්ට තනු රචනා පමණි. අනාගතයේදී ඔබට ඒවා ලැබී එමගින් ඔබට රටට සේවයක් කොට වැඩදායි ඵලදායී පණිවුඩයක්ද රසික ජනතාවට දීමට හැකිවේවායි සමුගැන්මට පෙර මම ප්රාර්ථනා කරමි. දමිත් අසංක, ඔබට ජය!

දමිත් අසංක සහභාගී වූ, මා නොවන මම වැඩසටහන   https://youtu.be/7c6NPF03jS4



Wednesday, 8 March 2017

අදට යෙදී ඇති ලෝක කාන්තා දිනය වෙනුවෙන්



ලඳුනී.....

දස මසක් කුස දරන් දරු ගැබක්                    රකින්නී
දරුණුතම දුක විඳන් එය ලොවට                    වදන්නී
සියලු කරදර වසන් සිනහවම                         පුදන්නී
බැණුම් ගැරහුම් මැදින් පරපුරක්                  තනන්නී

අහස මෙන් අනන්තවු මව් තුමිය                 නුඹමවේ
සොයුරියයි සැමවිටම සෙනෙහෙ ගඟ   නිමනොවේ
බිරිඳකිය සුයාමය යුඟදිවියෙ                          ඉඳිවුවේ
දියණියගෙ ආලයට ගල් කුළුද                   වෙඬරුවේ

රජුන් බිහි කළ නමුදු ගෞරවය                    පිදුණාද
පැතුම් පොදි සිරකරන් අඳ ගොලුව               විසුවාද
උතුම් ගුණ ළඟ තියන් ගැරහුම්ම                 ලැබුවාද
විමුක්තිය එළැඹෙන්නෙ නුඹෙ ලොවට        කවදාද....?

චන්දන ගුණසේකර

Wednesday, 1 March 2017

සිරිබො අයියා.........



සිරිබො අයියා චිත්‍රපටයේ තිරපිටපත කියවා නිම කළෙමි. මගේ හදවත යම් තැනෙක නතර වී ඇති සෙයක් මට දැනෙයි. හිතේ ඇත්තේ තිගැස්මකි. මගේ සිත 70 දශකයට දිව යයි. 

පියදාස පලන්සූරිය සූරීන් ලියූ " සිරිබො අයියා " කෙටි කතාව මෙම චිත්‍රපටයේ කතා තේමාවයි. පිටු 80 ක් වැනි කුඩා පොත් පිංචක වූ තිර රචනයෙන් පිටු 800 ක බලපෑමක් පාඨකයාට දී ඇත. එය ඉතා බරය. එහෙත් පොතේ ඇත්තේ පරිච්ඡේද 19 කි. රස බර හරවත් හදවතේ රැඳෙන කවි කිහිපයකි. සිනමා පටයේ මෙම කවි , පංඩිත් අමරදේවයන් හා විශාරද නන්දා මාලිණියන් විසින් ගැයූ බව මතකය. 

එකල 80 දශකයේ රූපවාහිනී ජනතාව අතරට ආ මුල් යුගයේ සෑම බ්‍රහස්පතින්දා රැයකම අපේ ගෙවල් අසල නිවසකට ගොස් කුඩා අඟල් 12 කලු සුදු රූපවාහිනියක සිරිබො අයියා බැලූ හැටි වසර ගණනාවකට පසු මට අද සිහිවිය. අනුනගේ ගෙදරක යන්තම් පුටු කෑල්ලක පස්ස ඔබාගෙන එය නැරඹුවා නොව බැලුවා පමණි. " මහ ගෙදර " බැලුවේත් " බක් මහ දීගෙ" බැලුවෙත් මෙසේමය. 

කුඩා කෙටි කතාවක් වුවත් මෙයින කියැවෙන්නේ මහා පතරංග ජාතකයකි. සමාජයේ අනිත්‍යයය. නැතිවීමය. කර්මයය. 

මෙහි වූ මා සිත් ගත් දෙබස් මට තවම මතකය. එකල ගුවන් විඳුළි ප්‍රචාරක වැඩසටහන් වලදී ප්‍රචාරය කළ දෙබසක් වූ " ගියා නෙමේ මල්ලියේ ග්‍රහය අරං ගියා" යන්න අදටත් එදා මෙන්ම මතකය. 

එමෙන්ම පහත සිදුවීම මනසේ ඇඳී ගියේ එදා නැරඹූ ලෙසටමය. 

// සිරිබොහාමි ( ජෝ අබේවික්‍රම) කඩයට ඇතුල් වී මුදලාලි සිටින තැනට පැමිණියේ, මුදලාලිට නොපෙනෙන්නට ඒ අසල සිටි එමා නෝනාගේ( ගීතා කුමාරසිංහ) නිතඹ කොනිත්මිණි. 

" යකාගෙ විසයක්නෙ තියෙන්නෙ" එමා නෝනා මුමුණන ස්වරයෙන් ආදර බරව කීවාය. // පිටුව 3

බලන්න මේ වැකි දෙකෙන් චිත්ත රූප මැවෙන අපූරුව. 

එමෙන්ම සිරිබො අයියාගේ හදිසි අනතුරින් පසු කියැවෙන මේ දෙබස් කන්ඩ බලන්න. 

" සිරිබො අයියෙ තුවාල තාම රිදෙනවද?"

" තුවාල රිදෙන එක ඉවසන්න පුළුවං මලයා"

" සිරිබො අයියා මොනවට ගියාද වෙඩිල්ල පත්තු වෙන තැනට"

මට මතකනම් සිනමා පටයේ මේ පැණයට සිරිබො අයියාගේ පිළිතුර වූයේ
" ගියා නෙමේ මල්ලියෙ , ග්‍රහය අරන් ගියා" යන්නයි. ඒත් මේ පොතේ සඳහන් වූයේ, 
" ගියා නෙමේ මලයා, ඉරණම මා එක්ක ගියා " යනුවෙනි. මෙය සිනමාපටයේදී මා ඉහත කී ආකාරයට වෙනස් කළා දැයි නොදනිමි. 

තවත් මා සිත් ගත් එමෙන්ම හදවත කම්පා කළ දෙබසක් මෙසේය,
" මොනව බලන්නද නගෝ, තරු එළියෙන් උණත් කෙස් ගහ පෙනිච්ච මිනිහෙක් මං, දැං ඉතිං කෙස් ගස් තියා කොස් ගස් වත් පේන්නෑ."

ඊළඟට ඔහු මෙසේ කියන්නේ පෙරදා තමන්ව හිස මුඳුනේ තබා පිළිගත් හා සැලකූ උදවිය අද තමන්ව අමතක කර ඇති බැව් දැනීමෙනි. 

" එක අතකින් දැන් මට ඉස්සරට වැඩිය පේනවා.ඉස්සර මං දැක්කෙ , මිනිසුන්ගෙ ඇඳුම් කැඩුම් විතරයි,දැං මට මිනිස්සු පේනවා" ( පිටුව 66)

අවසානයේ තමන්ගේම බිරිඳ කර ගැනීමට සිහින මැවූ තමන්ටත් පණ මෙන් ආදරය කළ බිසෝ තමන්ට අහිමි වෙද්දී ඔහු නොසැලුණේය. ඇයට යහපතම පැතීය. 

සැබෑ ආදරය නම් මේ අවෛරී හැගීම් සමුදායම නොවේද? අත්හැරීමම නෙවේද? අනෙකා තමන්ට අහිමි වූවත් යහපතම පැතීම නොවේද?

එදා හුලවාලි චිත්‍රපටයේ ධාරා, තමන්ගෙන් වෙන්ව යන සුභා දෙස බලා සිටියේද මෙලෙසමය. ආලවඩන යන තේරුම බෝසත් කම සකී. 

අවසානයේ හැරමිටිය පමණක් තමන්ට තනි රකින අසරණ අන්ධයෙකු වූ සිරිබො අයියා සියල්ල අතහැර ගොස් නතරවන්නේ එමා නෝනා අසලය. 

සිරිබො අයියාව දකින " ඈ අතින් ඉදල අතහැරනි. ඈ පෙර මගට දිව ගොස් , ඔහුගේ සැරටිය අතින් ගත්තාය. " පිටුව 80

එයයි සැබෑ ආදරය. සමාජයේ තිබෙන ඒත් බොහෝ දුලබ සැබෑ ආදරය. 

අවසානයේ පහත කවියෙන් කතාව අවසන් විය. එහෙත් ඉන් මගේ හදට දැනුණු කම්පනය සදා කල්හිම පවතිනු ඇත......

" වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්
දෙපෝදාට පුන් සඳ වාසනාවන්
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්......."