Pages

Tuesday, 25 August 2015

සංගා........



තරගෙක ලැබෙන ජය පැරඳුම එක විලස
විඳගනු නොහැක සැමටම කැළැඹෙයි මනස
අදිටන සිත දරන් රැක ගනිමින් සිරස
ඔබ පෑ විකුම් අමතක කරනුයෙ කෙලෙස

පිත්තෙන් කඩුලු රැක්මෙන් ලොව දන ගස්සා
සුන්දර ලෙසින් ගැහුවා පන්දුව උස්සා
හරිනා විටදී යහමින් රැපුනගෙ රිස්සා
නරඹන දනෝ තුටු වී ජය පැන් ඉස්සා


ලංකා ධජය ලෝකයෙ සිරසට නංඟා
පැරඳුම කියන වචනය වහරින් හංඟා
කිසිදින දේශපාලනයට නොම රිංඟා
අප හා එකතුවී මැච් බලමුද සංගා



ආදරණීය සංගා, ඔබට ස්තූතියි! ඔබ අප රට වෙනුවෙන් කළ සේවය සදා අමරණීයයි. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Sunday, 23 August 2015

අගයකළ යුතු චරිත - නන්දා මාලිනී

අද( අගෝස්ත 23 ට) යෙදෙන නන්දා මාලිණියගේ ජන්ම සංවත්සරය නිමිත්තෙනි. 





දිනය හරියටම මතකයේ නැතත් ඒ අසූව දශකයේ මුල් භාගයේ පාසල් නිවාඩුවක දිනයක් බවනම් ටක්කෙටම මතකය. 

මම සුපුරැදු විලස පාසල් නිවාඩුව යටඳොලවත්තේ ලොකු ලොකු අම්මලාගේ නිවසේ ගතකරමින් පසුවූයෙමි. එයාර් ලංකා සමාගමේ සේවය කළ ලොකු අම්මාගේ දියණියක සිංගප්පූරැවේ සංචාරයක් නිමවා නිවසට පැමිණියේද ඒ දිනවලමය. 

ඇය එන විට බොහෝදේ ගෙනැවිත් තිබිණි. කුඩා මගේ රස නහර පිනවූ ටොෆී හා චොකලට්වලට අමතරව මගේ සිත තදින්ම ඇඳ බැඳ ගත් තවත් අමුත්තකුද ඇය ගෙනවිත් තිබුණාය. 

එය කැසට් රෙකෝඩරයක් වූ අතර එවැන්නක් මම මුලින්ම දැක්කේ එදාය. Panasonic කියා තම නාමය ඉතා ගාම්භීර අයුරින් තම ගතේ කොටාගෙන වුන් මෙම යන්ත්රරාජයා නිවි නිවි දැල්වෙන පුංචි විදුලි බුබූළු පෙලකින්ද සන්නද්ධ විය. කැසට් පටි වාදනය කිරීමට සහ අප කියන දේ පටිගත කිරීමේ අපූරැ හැකියාවක්ද එය සතුවිය. අප සැවොම එදා දවසම ගත කළේ එය වටකරගෙනය. 

අපට එයට දමා වාදනය කිරීමට කැසට් පටියක් නොමැතිව ලත වෙමින් සිටියදී හැරදමා තිබූ ඉදිරිපස දොරින් ගෙට ඇතුළුවූ අමුත්තෙකි. මා අමුත්තෙකු යැයි සිතුවාට ඔහු අමුත්තෙකු නම් නොවීය. ඒ අප 'ලොකු අයියා ' නමින් හැදින්වූ එවකට විශ්ව විද්යාලයේ ඉගෙනුම ලබමින් වුන් ලොකු අම්මාගේ පුතාය. 

අප වටකරගෙන වුන් යන්ත්රය දුටු ලොකු අයියාගේ මුවටද නැගුණේ යස හිනාවකි. ඊළඟ නිමේෂයේ අයියා ඔහුගේ බෑගය තුළින් එළියට ගත් යමක් දුටු අප සැමගේම මුවවල් විවර වුණි. එය බ්රවූන් පේපර් බෑගයක ඔතා තිබූ කැසට් පටයක් විය. එහි කවරය මට අදටත් ගලේ කෙටුවාක් මෙන් මතකය. එහි වූයේ ' පහන් කන්ද' යන්නයි. 

අයියා කැසට් පටය , යන්ත්රයේ අදාළ පොකට්ටුවට බහා එය වාදනය කරන බොත්තම එබීය. පටය කැරකී රතු බල්බ නිවී දැල්වෙමින් වාදනයවීම ඇරඹිණි. කැසට් යන්ත්රයකින් මගේ ජීවිතයේ පළමුවරට ඇසුණේ ඇයගේ මධුර මනෝහර හඬයි. ගුවන්විදුලියේ උදාගී හෝ යම් සරල ගී වැඩසටහන්වල මේ හඬ ඇසී තිබුණත් මෙතරම් පැහැදිලිව එය ඇසුණේ එදාය. ඒ 'ස්ටීරියෝ හඬ ' නිසා බැව් අයියා පැහැදිලිකර දුන්නේ විමතියෙන් දෑස් දල්වාගෙන වුන් මගේ අතරමංවූ විලාසය දුටු හෙයිනි. 

එහි ගැයුණු ' පහන් කන්ද, සුළං කපොල්ලේ ' යන ගීතයන්හී තේරැම කුඩා මට නොතේරැනත් ඒවා යළි යළි අසමින් මම රස වින්ඳෙමි. අයියා ,මම තවත් ආශාවෙන් රස විඳි එහි අඩංගු ගීතයක්වූ ' බෝමැඩ වඟුරන කිරි කල දහසින්' ගීතයේ තේරැම මට පැහැදිලි කර දුන්නේය. එදා මා පෙම් බැඳීම ඇරඹූ ඇගේ හඬට වසර තිහක් පමණ ගතවී ඇති අදටත් ඇත්තේ ඒ ආදරයමය. 

වසර තිහකට පෙර එදා යටඳොලවත්තේදී මගේ හදවත සොරාගෙන එහි ලැගුම්ගත් ඒ හඬ වෙනකිසිවකූගේවත් නොව දැයේ මහා කාන්තා හඬ පෞරෂය වන නන්දා මාලණියගේම වන්නේය. 



එතුමිය 1943 වසරේ නිකිණි මස 23 වෙනිදා දකුණු ලකේ අලුත්ගම ලෙව්වන්දූව ග්රාමයේදී නම දෙනෙකුගෙන් යුත් පවුලක මෙලොව එළිය දුටුවාය. උප්පැන්නයේ නම වූයේ මිරිහාන ආරච්චිගේ නන්දා පෙරේරා යන්නයි. එතුමිය සුනෙත් ගෝකුල මහතා සමඟ විවාහයෙන් පසුව නන්දා මාලනී ගෝකුල වූ අතර දූවරැන් දෙදෙනකුගේ මවකද වූවාය. එහෙත් එතුමිය අප හදවත් තුළ ලැගුම් ගත්තේ මේ එකදු නමකින් හෝ නොව ' නන්දා මාලිනී' නමින්ම පමණි. 

කුඩා අවධියේම කොළඹ කෝට්ටේ පුරවරයට පැමිණි ඈ ශ්රී ගුණානන්ද විද්යාලයේ සිප් සතර හැදෑරැවාය. පාසල් යන සමයේ සිටම ගායනයට දස්කම් පෑම නිසා ගුරැ අමරදේවයන්ගේ ඇරයුමින් ගුවන් විදුලියේ කරැණාරත්න අබේසේකර සූරීන්ගේ ළමුන් අතර ඉතාම ප්රචලිත වැඩසටහනක් වූ ළමා මංඩපයේ ගීත ගැයීමට වාසනාව ලැබිණි. එහිදී ඇය ගැයූ පළමු ගීතය වූයේ ' බුදුසාධූ' ගීතයයි.

ඉන්පසු බී වික්ටර් පෙරේරා සංගීතවේදීයා යටතේ සංගීතය හැදෑරෑ නන්දා මාලිනිය හේවුඩ්හි වසරක අධ්යාපනයක්ද ලැබුවාය. 1963 දී ඉංදියාවේ ලක්නව් නුවරට ගොස් සංගීතය හැදෑරෑ ඈ නැවතත් 1984 දී එම විශ්ව විද්යාලයට ගොස් විශාරද උපාධියද ලබාගත්තාය. 

ඇයගේ කට හඬෙහි ඇති අපේ කම එසේත් නැතිනම් පොළොවෙ පයගසා ජීවත්වන ලේමස් ඇට නහරින් සැදුණු අව්යාජ ජීව ගුණයට මිනිසුන් පෙම් කළහ. හඬක් නැගිය නොහැකි පීඩිත පංතියේ , දුක්විඳින ජනතාවගේ හඬ, ඇයම වූයේ එහෙයිනි. 

දිනෙන් දිනම ජනතා ප්රසාදයට පත්වූ නන්දා මාලිනිය මුලින්ම සංගීත ප්රසංගයකට තම දායකත්වය සැපයූවේ 1971 දීය. ඒ පණ්ඩිත් අමරදේවයන් සමඟ එතුමන්ගේ ' ස්වර්ණ ආරාධනා' ප්රසංගයට එක් වෙමිනි. 

ඉන්පසු 1973 දී ඇයගේ පළමු ඒකපුද්ගල ගීත ප්රසංගය ඇරඹි අතර එය අති සාර්ථකව දිවයින පුරා දර්ශන වාර 530 ක් පවත්වා 1979 දී අවසන් කෙරැණි. 

1981 අගෝස්තුවේදී ඇරඹි ' සත්යයේ ගීතය' ඒකපුද්ගල ප්රසංගය නන්දා මාලිණියගේ කුටප්රාප්තිය විය. මහාචාර්ය සුනිල් ආරියරත්න , නන්දා සුසංයෝගය ලක් ඉතාහාස සංගීත වංශ කථාවේ නව පිටුවක් පෙරළීය. මෙම ගීතවල තනු නිර්මාණය කළ ආචාර්ය රෝහණ වීරසිංහයන් හා එච් එම් ජයවර්ධනයන් ප්රමුඛ සංගීතවේදීන් මෙම පිටුව තව තවත් වර්ණවත් කළහ. එවකට ජනතාවගේ හද ගැහෙනා රාවය කොටින්ම මුළු දිවියම ' සත්යයේ ගීතයේ' දැහැන්ගත විය. 



එහෙත් ලංකා ඉතිහාසය කලු පැල්ලම්වලින් සැරසූ කාලකන්නී අඳුරැ යුගයේ ආරම්භය සනිටුහන් කළ වකවානුවද මෙයම වීම අප සැමගේම නොලැබීමය. ඒ යුගයේ අවාසනාවන්තම දරැකැලවූ අප , අපගේ යෞවනයේ දොරකඩ අබියස සිරවී සිටි කාලයයි. කෙසේ හෝ දුක් කඳුළු මැදින් දර්ශන වාර 500 ක් ගැයුණු සත්යයේ ගීතය 1984 අගෝස්තුවේදී අවසන් වුණි. 

ඉන්පසු එළැඹුණේ මරණයේ අඳුරැ සෙවනැලි හැම කෙනෙකු පිටුපසම පතිතවී තිබූ ජීවිතය තඹ සතයක් තරම් වත් මායිම් නොකෙරෑ , නීතිය වල්වැඳුණු ඒ මූසල භයංකර යුගයයි. විදුලි කම්බි කඩා නගර හා ගම් අඳුරේ ගිලී තිබූ පාළු සීතල රාත්රී කාලවල අසල ගෙදරක බල්ලකුගේ උඩුබිරීම මරණයට අත වැනීමක් සේ අපට හැඟුණි. දැන් දැන් සපත්තු අඩි සද්ධයක හඬ ඇසේදෝයී නොනිදා පහන් කළ අපේ හදවත් ගැහෙන හඬට පවා අපම බිය වූ ඒ කාලකන්නී යුගයේත් ඈ නොබියව ඒ අසාධාරණයට එරෙහිව සිය කට හඬ අවදි කළාය. 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පන්හිදෙන් ගලා ආවේ මරණය තුරැලුකරගෙන වුන් යෞවනයේ සුසුම් පොදයි. ඇය ගීයක් කොට ගැයුවේ අපේ අදෝනාවයි. 1987 එතුමියගේ සංගීත ප්රසංගය ' පවන' බිහිවුයේ මේ වාතාවරණ මධ්යයේය. මරණයේ සීතල බය තුළින් එම ප්රසංගය මාස 18 ක් තිස්සේ වාර 205 පෙන්වීමට සමත්වූවාය. එවකට ' සත්යයේ ගීතය' හා ' පවන' කැසට් පටයක් ළඟ තබා ගැනීම පවා පොලීසියට දක්කාගෙන යාමේ හෝ ටයර් සෑයක අවසන් ගමන් යෑමට පවා හේතුවිය හැකි තරම්වූ වරඳක් විය. එවන් යුගයක පවා ඇය අප වෙනුවෙන් ගැයුවාය. 

ඒ අවාසනාවන්ත යුගයෙන් වසර 22 කට පසු එතුමිය 2010 දී ' ශ්වේත රාත්රිය' නමින් ගීත ප්රසංගයක් පැවැත්වූවාය. 

එදා මෙදා තුර ගායිකාවක, සංගීත අධ්යක්ෂකවරියක හා විශේෂයෙන්ම තම නැණ නුවන අනාගත පරපුරට බෙදා දෙන ගුරැවරියක ලෙස එතුමිය කරන්නාවූ කාර්ය භාරය නම් සුළුපටු නොවේ. එමෙන්ම නැගී එන ආධුනික ගීත රචකයන්ට හා සංගීතවේදීන්ට එතුමිය ලබා දෙන පිටුවහල අතිමහත්ය. ' අරලිය ලන්ද' වැනි සංගීත පට වල ගීත සියල්ලම ගැයුණේ ආධුනිකයනට අතහිත දෙන්නටය. 

ගීත ප්රසංග මෙන්ම එතුමිය ගැයූ සරල ගී හා චිත්රපට ගීතද ජනතාව හදවතින්ම වැළඳ ගත්හ. 

' පිපිණු මලේ රැව' , කඩ මංඩියේ' , සුදු හාමිනේ' , ' ඔබයි රම්ය සඳ කිරණ' හා තවත් මෙවැනි ගීත රාශියක්ම අමරණීය වන්නේ ඒ නිසාය. 

එමෙන්ම සිනමා පට සඳහා ගැයූ ' රන් කෙන්දෙන්', ' අම්මාවරැනේ' හා ' මලකින් මලකට ගොස් පැණී බොන්නද' වැනි ගීත ඇතුළු ගීත රාශියක්ම ජනතාවගේ හද සන්තානතුළ සදහටම ලැගුම්ගෙන හමාරය. සරසවි සම්මාන එකොළහකින් හා ජනාධිපති සම්මාන අටකින් එතුමිය පිදුම් ලද්දේ මේ නිසාය. 

මෙතෙක් කලක් එතුමිය දැයට දායාද කළ ගීත එකතුවන් පෙළගැසූවොත් එය මෙසේ දිස් වනු ඇත. 

1) පෙරදා මහ රෑ
2) පහන් කන්ද
3) සත්යයේ ගීතය
4) හේමන්තයේදී
5) තාරැකා ඇස්
6) පවන
7) සිංදු හෝඩිය
8) කිඳුරියකගේ විලාපය
9) මධු බඳුන්
10) තරැ
11) මල්මද බිසව්
12) සිනමා ගීතාවලෝඛනය
13) කිරිමදු වැල්
14) ලංඩනයේදී ගැයූ ගී
15) යාත්රා
16) හඳහාමී
17) සංඛ පද්ම
18) පෙම්බර ලංකා
19) කුංකුම පොට්ටු
20) ග්රැමෆෝන් ගී
21) අරලිය ලන්දට
22) මලට රේණු
23) නිලම්බරේ
24) සාරි පොඩිත්තක්
25) පිරිත් පැන්

ධවල පැහැ ඔසරියෙන් සැරසුණු විච්චූරණ විලාසිතාවෙන් තොර ඇයගේ වත මඩල කෙතරම් නම් සුන්දරද? පොළවේ පයගසා ජීවත්වන අපගේ අම්මා, සොහොයුරිය හා වැඩකරන දුක්විඳින සියලූම කාන්තා නියෝජනය ඇයම නොවේද? ඇය ගයන්නේ අපගේ හද ගැස්මයි. අපේ ජීවයයි. 

ආදරණීය අම්මේ, දයාබර සොයුරියේ ඔබ තව තවත් ගයන්න. දුක් විඳින අපේ හද සනසවන්න. ඒ සඳහා අවශ්ය ශක්තිය හා දහිරිය ඔබට නිරතුරැවම ලැබේවා. නිරෝගීසුව අත්වේවා. අපගේ ඒකායන ප්රාර්ථනය එයයි. 

මැතිනියනී ඔබට චිරං ජයතු!!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Wednesday, 29 July 2015

මිනිසුනේ මේ අසන්න.......



මා හට දැනුම් තේරැම් ඇති වයසේ සිට ශ්රී ලංකාවේ මා හොඳින් අසා ඇති " ද අල්විස්ලා" තිදෙනෙකු වූහ. ඉන් එක් අයෙකු වූයේ දේශපාලනය නිසා ප්රසිද්ධියට පත් ආනන්ද තිස්ස ද අල්විස් මහතාය. දෙවැනි අල්විස් මා තදින්ම ඇලුම් කළ මගේ ලෝකයේ වීරයන් අතර ඉහළින්ම ජීවත්වූ එහෙත් දේශපාලනය විසින් ඉතාමත්ම අඩු වයසින් අපට අහිමි කළ කවියකු, ගේයපද රචකයකු, නිවේදකයකු හා මාධ්යවේදියෙකුද වූ ප්රේමකීර්ති ද අල්විස් මහතාය. 

තුන්වැනි ද අල්විස්ද ගුවන්විදුලියටම සම්බන්ධව, එහි අවුරැදු තිස් දෙකක් පුරා විවිධ තනතුරැ හොබවමින් සේවය කළ අති විශිෂ්ට හා ප්රවීණ ගේය පද රචකයෙකි. 

ඒ 1978 වසරේ එක්තරා දිනයකි. මා මේ කියන තුන්වැනි " ද අල්විස්" මහතා ගුවන්විදුලියේ සුපුරැදු පරිදි තම සේවයේ නිරතවෙමින් උන්නේය. වෙනදාට වඩා මදක් රාජකාරි බහුලවූ එදින එතුමා තම මේසය මතවූ දුරකථන දෙකින් එකකින් කුමක්දෝ වැදගත් වැඩක් කවුරැන් හෝ සමඟ සාකච්ඡාකරමින් පසුවිය. 

හදිසියේම අනෙක් දුරකථනය නාද වන්නට පටන් ගති. එතූමා කාමරය අස්පස් කරමින් වුන් පියන්ට හිසින් සන් කොට ඒ අමතන්නේ කවුරැන්දැයි බලන ලෙස දන්වා තමන්ගේ කතාව දිගටම කරගෙන ගියේය. රිසිවරය ඔසවා එයට සවන් දුන් පියන්, " සර් මේ ප්රේමදාස කියලා කෙනෙක් ඔබතුමාව අහනවා" යැයි ඉතා උදාසීනව පවසා රිසිවරය පසෙකින් තබා තමන් කරමින් වුන් වැඩෙහි නිරත විය. එයින් සෑහීමට පත් අපේ ද අල්විස් මහතා නිදහසේ තම දුරකථන සාකච්ඡාව අවසන් කොට අනෙක් දුරකථනයේ රිසිවරයට " Hello Good morning! SLBC .......... De Alwis is speaking " යැයි පැවසීය. එකෙණෙහිම අනෙක් පසින් කියැවුණු දෙයින් ඇස් උඩගොස් ඉහින් කණින දහඩිය දමාගෙන වාඩිවී වුන් අසුනින් නැඟිට්ටුනි. පියන් කොලුවාට ප්රේමදාස යැයි කියා තිබුණේ එවකට අගමැති ධූරය හෙබවූ ආර් ප්රේමදාස මැතිතුමාය. " මම දැන් වාහනයක් එවනවා. චෙයාර්මන්ටත් කියලා තියෙන්නෙ. මිස්ටර් අල්විස් මේ දැන්ම සිරිකොතට එන්න ඕනෙ" යැයි එහා කොනින් සිහිනයෙන් මෙන් ඇසුණි. 

තමන් අතින් සිදුවූ අත්වැරැද්දත් සමගින් මේ මොන හෙණයක් පාත්වීගෙන එන්නේදැයි දෙගිඩියාවෙන් , කරමින් වුන් වැඩ පසෙකලූ අල්විස් මහතා ගුවන් විදුලියේ කොරිඩෝවට පිළිපන්නේ අසිහියෙන් මෙනි. 

එවිටම ඉදිරියට දුවමින් පැමිණියේ චෙයාර්මන් මහතාය. " මිස්ටර් අල්විස් අන්න තමුසෙව එක්කගෙන එන්න කියලා අගමැති තුමා වාහනයක් එවලා තියෙනවා. ඉක්මනට යනවා" යැයි පැවසූයේ මහා කලබලයෙනි. ප්රේමදාස මහතා පිළිබඳව මනාව දැනගෙන වුන් සේවකයෝ එතුමා සමඟ වැඩ කළේ පණ බයෙනි. 

අපේ අල්විස් මහතාද වෙන දෙයක් වෙද්දෝයි යැයි සිතා අගමැති තුමා හමුවට ගියේ සිත ඇතුළේ සඟවාගත් මහත් බියකින්ද යුක්තවය. 

එහෙත් කාමරයට ඇතුළු වෙද්දී සිනා මුසු මුහුණින් තමා දෙස බලා වුන් අගමැතිතුමා දුටුවිට ඒ සියලුම බිය සංකා කොහෙන්දෝ හමා ආ පවන් රොදක දැවටී ඇදී ගියේ ඉන් හටගත් සිසිලසින් ගතවූ සියළුම දාහයන් නිවා සනසමිනි. 

එක්වරම ප්රේමදාස මහතා " මිස්ටර් අල්විස් හෙට දවසෙ විශේෂත්වය මොකක්ද කියලා දන්නවදැයි" විමසා සිටියේය. රට තොට සිදුවන සිදුවීම් පිළිබඳව ඇස් කන් ඇරගෙන දිවිගෙවූ අල්විස් මහතා ඒ විශේෂත්වය ජේ ආර් ජයවර්ධන මැතිතුමා ජනාධිපති ලෙස දිවුරැම් දීම යැයි පැවසීය. පිළිතුරින් සතුටට පත් ප්රේමදාස මහතා හිස් කඩදාසිවලින් පිරි මේසයක් පෙන්වා ඒ පදවිප්රාප්තිය උදෙසා ගීතයක් තමන්ට උවමනාබවත් එය ඉක්මනින්ම ලියාදෙන ලෙසත් දන්වා සිටියේය. තාලය පිළිබඳව ප්රශ්නයක් නොමැතිබවත් තමන්ට අවශ්ය පදටික පමණක් බවත් වැඩිදූරටත් පැවසූහ. මේ ගීතය සඳහා සංගීතය නිර්මාණය කිරීම පැවරී තිබුණේ ප්රවීණ සංගීතවේදීන් දෙපලක්වූ ෆැට්රික් දෙණිපිටිය හා පී එල් ඒ සෝමපාලයන්ටයි. 

මේ හදිසියේ පැවරැනු කාරිය පිළිබඳව ඉතාමත්ම තැතිගැන්වීමකින් පසුවූ ඔවූන් පෙන්වාදුන් තාලයකට විනාඩි පහක් පමණ සුළු කාලයක් ඇතුළත ජනපති මංගල්ය සඳහා ඒ සුවිශේෂී ගීතය ලියා නිම කිරීමට මේ " ද අල්විස් " සමත්විය. 

කලාශූරී ලතා වල්පොලයන් විසින් ඉතා විශිෂ්ට අයුරින් පහුවෙනිදා ගායනා කළ ඒ උදාර ගීතය වූයේ
" ශ්රීනි විභූෂිත ලංකා බැබළේ සිංහ ධජය සෙවණේ...... සිංහ ධජය සෙවණේ......." ගීතයයි. ගීතය ලියූ ඒ මා කියූ, මා දන්නා තුන්වෙනි " ද අල්විස් " නම් වෙන කවුරැන් හෝ නොව හේම ශ්රී ද අල්විස් නම් වන්නේය. 

මේ මහා ගීතයට අමතරව එදා මෙදා තුර හේම ශ්රී ද අලවිස් සූරීන් ගීත පන් දහසකට අධික ප්රමාණයක් ලියා ඇත. 

ඒ අතර රසිකයන් අතර ඉතාම ජනප්රියත්වයට පත්වූ එතුමාගේ ආදරණීය බිරිඳ අයිරින් ද අල්විස් ගැයූ " දෑස පා සිනා කියන රහස තේරැණා", සුජාතා අත්තනායකයන් ගැයූ " දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා, වැටකෙයියා මලක් වගේ සුවඳ සලනවා...", එච් ආර් ජෝතිපාලයන් ගැයූ " පෙර දිනෙක එදා හමුවූයේ " හා " ඔබ දැකුමෙන් මා සිත ලැබුවේ හැකි ඉහළම සතුටයි මෙලොවේ" , මොහිදින් බෙග් සූරීන් ගැයූ " ඇයි බඹරෝ පෙම් මල අතහැරලා" හා පුංචි පුතේ පුංචි දුවේ ඉපැදුණු මේ ලක්බිමේ", රැක්මණී දේවිය ගැයූ සඳක් නැගේ සඳක් දිලේ සාගරේ" ,ඉන්ද්රානි පෙරේරා ගයන " ඔබ සොයනා කළු කෙල්ල මමයි" , ලතා වල්පොල ගයන මා ඉහත කී ශ්රීනි විභූෂිත ලංකා බැබළේ ගීතයට අමතරව " මාගේ මේ රට" යන ගීත හා තවත් විවිධ ගායක ගායිකාවන් වෙනුවෙන් ලියූ " මයුරාසන මත, සතුට සැනසුම් සුවය පතා, දේශයෙන් දේසේ බලා හා මැණිකේ ඔබේ සිනාවේ" යන ගීත ඒ මහා ගීත උල්පතෙන් ගත් දිය දෝතක් පමණි. 

දැන් මේ මහා ගීත රචකයා සිටින්නේ කොහේද? එතුමා කුමක් කරන්නේදැයි දැනගැනීමට පසුගියදා එතුමා සහ එම මැතිනිය පිළිබඳව රෑපවාහිනියේ නුඟ සෙවණින් හා උපාලි ජයසිංහ සොයුරා විසින් මුහුණු පොතෙහි පළ කළ ලිපියක වූ හෝඩුවාවන් ඔස්සේ ඊයේ(28 ) මද්යාහනයේ පානදුරේ වලපල පංසල පාරේ පිහිටි එතුමාගේ නිවස සොයා මහ මග හමුවූ කිහිපදෙනෙකුගෙන්ම මග තොට අසාගෙන අප ගියෙමු. ගමනට මගේ බිරින්ඳෑත් ඇයගේ මව, හිතවත් මාමා කෙනෙකු හා අප රැගෙන ගිය වාහනයේ රියදුරැ මහතා එක්විය. 

නිවස පිහිටි ඉඩමට අප ඇතුළුවනවිටම මා දුටුවේ එළියේ වූ ජල කරාමයකින් ප්ලාස්ටික් බෝතල දෙකකට ජලය පුරවමින් උන් , සරමකින් සැරසී උඩුකය නිරාවරණය වූ කෙසඟ මහලු පුද්ගලයෙකි. කෙස් අඩු පැසුණු තට්ට හිසත්, සුදුපැහැ උඩු රැවුල හා ඒ තියුණු ඇස් දෙකත් නිසා මම එතුමාව හදුනාගතිමි. 

ඒ සිටියේ අප සෙවූ මහා ගේය පද රචකයාය. එතුමා නිවස දෙසට ඇගිල්ල දිගු කොට දකුණු පසින්වූ දොරටුවෙන් ඇතුළු වී තමා එනතුරැ වාඩිවෙන්න යැයි අපට ඉතාම සුහඳව ඇරයුම් කළේය. 

මහා ගේය පද රචකයෙකුගේ නානා විද ලිපි ලේඛන පිරි මේසයක් හා පොත් රාක්ක මැදින් ජනප්රිය ගායිකාවකගේ සුඛෝපභෝගී විසිත්ත කාමරයකට ඇතුළුවීම සිහිනයක් බවට පත්කරමින් අප ඒ පුංචි කාමර කෑල්ලට ඇතුළු වූයෙමු.

ප්ලාස්ටික් පුටු කිහිපයක් නිසොල්මනේ තැන තැන තිබිණි. එතුමා ලියු ගීත හා තවත් ලියකියවිලිද ලැබුණු සම්මාන හා සහතිකපත්ද පිරවූ පුංචි කබඩයක් හා කාමරයේ වූ ඇඳ ඇරැනු කොට එම පුංචි කුටියේ වෙන කිසිත් නොවිණි. ඇඳේ ඉතා අසරණව ඇය වැතිර සිටියාය. 2006 වසරේ පටන් තම වම්පස අත හා පය පණ නැතිව අංශභාග රෝගයෙන් පෙළෙන ඇයට හරියට කතා කිරීමට හෝ හොඳ පෙනීමක් හෝ තිබුණේ නැත. වැහැරී ඇඳටම ඇලී සිටි ඕ තොමෝ වෙන කවුරැන් හෝ නොව එදා රටක් නැළවූ අයිරින්ද අල්විස් නම්වූ ගයන ශිල්පිනියම හැර වෙන කවුරැන්ද? ඇයට ඡායාවක් සේ අප පෙනෙන නමුත් හඳුනාගන්නට තරම් වත් පෙනීමක් නැතිබව හැඬූ කඳුළින් අප සමඟ පැවසුවාය. එතුමිය ගැයූ හේම ශ්රී ද අල්විසුන්ම ලියූ " දෑස පා සිනා", " ශීත වන විල් පෙතේ"," පෙම් හසරැලි පාලා", නිල් මිණි දෑසේ"හා " හෙල ජාතික පියුම් විලේ" ආදී ගීත එදා කෙතරම් නම් ජනප්රිය වීද?

2006 වසරේ සිට තමන්ගේ වැඩ කිසිත් කරගත නොහැකි මෙතුමියගේ සියලුම වැඩ කටයුතු පැවරී තිබුණේ ඒ මහා ගීත රචක හේම ශ්රී ද අල්විස් මහතාටය. වැසිකලි යාමට, ඇගපත සේදීමට හා කෑම බීම කැවීමට කොටින්ම කියතොත් ඇයගේ සියලුම වැඩ කටයුතු සිදුවූයේ එතුමාගේ අතිනි. ඇඳ අසලම වූ දැල් කැපූ පුටුවක් මතට ඇයව වත්තම් කොට තබා වැසිකිළි යනතුරැ ඇයව අල්ලාගෙන සිටිය යුතුය. ඒ ඇයට තනිවම වාඩිවීවත් සිටීමට නොහැකි හෙයිනි. ඉන්පසූ සෝදා ඒ අපද්රව්ය අස්පස් කොට ඇගපතේ තුවාල ආදිය හටගැනීම වැළැක්වීමට තෙත මාත්තු කොට පවුඩර් දමා ඒ කටයුතු කළ යුතුය. ඉන්පසු ඉදිඅප්පයක්, පාන් කැබැල්ලක් හෝ බත් කටවල් දෙක තුනක් කවා නැවත ඇඳට දැමිය යුතුය. 

මේ කාරියන් කල යුත්තේ එක වරක් හෝ දෙවරක්ද? හැමදාම කළ යුතුය. 2006 පටන්ම එතුමා මේ සෑම දෙයක්ම කළේය. වයෝවෘධ එතුමාට එතුමියව ඉස්සීම හා පෙරළීම තනිවම කිරීම ඉතා අපහසු බව අප හා පැවසුවේ මුළු ලෝකයම එපාවූ බලාපොරොත් සුන් ස්වරයෙනි. එතුමාට දැන් වයස අවුරැදු 74 ක් වන අතර එම මැතිණියගේ වයස අවුරැදු 72 කි. තමන්ට ඉතාමත්ම හිතවත් අසල්වාසීන් ඇතිබැව් පැවසූ එතුමා අවශ්ය සෑමවිටම ඔවුන්ගේ සහය ලැබෙන බැව් වැඩිදුරටත් පැවසීය. 

ලෙඩදුක් ඒම අපට වැළැක්විය හැකි කරැණක් නොවේ. එහෙත් මෙතරම් මහා ගීත රචකයෙකුට හා ජනප්රිය ගායිකාවකට මේ සිදුවූ වින්නැහිය කුමක්ද? එතුමා එකල ගීත ලියා මුදල් අයකළේ නැත. යහළුකමට ගීත ලියා දුන්නේය. සල්ලි නොගත් නිසා රැක්මණීදේවිය වරක් තෑග්ගක සගවා එතුමාට මුදල් දී තිබුණාය. ශ්රීනි විභූෂිත ගීතය ලිවීම වෙනුවෙන් නවලෝක මුදලාලී දී තිබූ රැපියල් දස දහසක් ප්රේමදාස මහතා එදා ඒ ගීතය ලියූ දිනයේ එතුමා අත තැබුවත් එය භාරගත්තේ එතුමා නොවේ. එහෙත් ප්රේමදාස මහතා එතුමාට නිවසක් ආදිය සපයාදී තම කෘතගුණය පළ කළත් ඉන්පසු බලයට පැමිණි ශ්රී ලංකා ආණ්ඩුව තමන්ට ඒ සියල්ල අහිමි කළ බවත් විශ්රාම වැටුපක් හෝ රජයෙන් ලැබෙන කිසිදු දීමනාවක් හෝ නොලැබෙන නිසා හා බිරිඳගේ මේ ලෙඩ රෝග නිසා මේ දුක්ඛිත තත්වයට වැටුණු බවත් අප සමඟ පැවසීය. 

මේ මුදලට හා බලයටම පමණක් සලකන කුරිරැ සමාජය ගැන ඉතා කලකිරීමෙන් කතා කළ එතුමා තමන් මේ හැමදේම ගැන ඉතා මැදහත් සිතින් බලා ඉවසා ඔළුව කෙළින් තබාගෙන දිවිගෙවන බවද වැඩිදුරටත් පැවසීය. ඒ තියුණු ඇස් කෙවෙනිවල කඳලු නොතිබුණී. එහෙත් මට දැනුණේ විශාල දුකකි , කලකිරීමකි. 

එතුමාට කෑම පිළිබඳව ප්රශ්නයක් නැතිබවත් ඒවා කෙසේ හෝ පිරිමැහෙන බවත් තම බිරිඳගේ අසනීප සඳහා මසකට වැයවන රැපියල් 10,000 ක් පමණ මුදල සොයාගැනීම තමන්ට ඇති දුෂ්කරතාවය බවත් වැඩිදුරටත් පැවසීය. ඔවුන් දෙදෙනා දිවිගෙවන ඒ කුඩා කාමර කෑල්ලටද මසකට රැපියල් 5000 ක් සහ විදුලි හා ජල බිල්පත්ද ගෙවිය යුතු බවත් අපට දන්වා සිටියේ වෙන කල හැකි අන්දෙයක් නොවුණු හෙයිනි. 

සෑම මසකම පාහේ ලතා වල්පොල මහත්මිය හා වික්ටර් රත්නායක මහතා ඔවුන්ගේ දුක සැප හැකි පමණින් සොයා බලනබවද ඉතාමත්ම සෙනෙහසින් මතක් කිරීමටද එතුමා අමතක නොකළේය . 

කළගුණ සැලකීම පිළිබඳව මහා ඉතිහාසයක් , සංස්කෘතියක් හා ආගමක් ඇති මිනිසුනේ මම ඔබලාගෙන් ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිමි. ඔබ වරක් හෝ හේම ශ්රී ද අල්විසුන් ලියූ ගීතයක් රස විඳ ඇති. වරක් හෝ අයිරින් ද අල්විස් ගැයූ ගීතයකට සමවැදී ඇති. දැන් ඔවුනට බැරිකාලයේ ඔවුන් මිය යාමට පෙර අපගෙන් සිදුවිය යුතු යම් උදව්වක් උපකාරයක් කිරීම අපගේ යුතුකමය. වගකීමය. 

ඔබට විවේකී මොහොතක් තිබේනම් එතුමන්ව අමතන්න. පුළුවන්නම් බලන්නට යන්න. හැකි උදව්වක් කරන්න. මහා විශාලෙට අවැසි නැත. අප සියල්ලෝම එකතුවූ විට එය අපට පහසු කාරියක් වනු ඇත. මදක් සිතන්න සහෘදයිණී මේ ජාතික වස්තූන් රැක ගැනීම අපේ යුතුකමයි. ඔබ සැමට ජය ශ්රී. 

එතුමාගේ ලිපිනය
හේම ශ්රී ද අල්විස්
173, වලපල පන්සල පාර,
පාණදුර
දුරකථන අංක- 0775822425,

එතුමාගේ ගිණුම් අංකය
HAA Neranjana
අංක 8330032450
කොමර්ෂල් බැංකුව
පාණදුර

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Saturday, 11 July 2015

එච් එම් ජයවර්ධනයන්ට ඔබගේ උපකාරය අවැසි වෙලාවයි මේ.........



සිනමා රසිකයෙකුට හෝ රසිකාවියකට තමන් කැමති , තමන්ගේ ආදරණීය නළුවා, නිළිය හෝ චිත්රපටි අධ්යක්ෂකතුමා දැකිම, හමුවීම හෝ වචනයක් කතා කරන්නට ලැබීම යනු ජීවිතයේ සදා අමරණීය මොහොතකි. එමෙන්ම සංගීත ලෝලියෙකුට නම් තමන් කැමති ගායකයා හෝ ගයිකාව, වාද්ය ශිල්පියා හෝ සංගීත අධ්යක්ෂකවරයා දැකීම , හමුවීම හෝ කතාබහ කිරීම තමන්ට රජකම ලැබුණා හෝ තමන් ලොවම දිනුවා වැනි හෝ අවස්ථාවකි. අනෙක් කලාවන් සම්බන්ධවද එසේමය. 

මට මෙවන් දුර්ලභ අවස්ථාවක් අද උදෑසන උදා විය. මිය යාමට පෙර ජීවත්ව සිටියදී කලාකරැවන් ඇගැයීමේ ලිපි පෙළේ සත්වැන්න ලෙස මම අපේ රටේ සිටින අග්රගණ්ය සංගීත අධ්යක්ෂකතුමකු ගැන ලිපියක් ලියූවේ ඊයේ දිනයේය. එයට එතුමාට ආදරය කරන බොහෝ රසිකයන්ගෙන් ඉතා යහපත් හා ආදරණීය අදහස් සහ සුබ පැතුම් ගලා එන්නට විය. 

මේ අතර තිබූ එක්තරා සොයුරෙකු ලියා තිබු සටහනක කියැවුණේ මා නොදැන සිටි , සිහිනයෙන් හෝ නොපැතූ පුවතකි. එනම් එතුමා අසනීපයෙන් පසුවන බවත් එතුමාට යම් උදව්වක් අවශ්යම අවස්ථාව මෙය බවත්ය. ඒ සහෝදරයා එතුමාගේ දරකථන අංකයද පළ කොට තිබිණි. ඒ ඊයේ හැන්දෑවේය. 

මම අද උදේම ඒ අංකයට ඇමතුමක් ගතිමි. දුරකථනය කිහිපවිටක් නාද වීමෙන් අනතුරැව එහා කෙළවරින් ඇසුණේ සවනට ඉතාම හුරැපුරැදු කට හඬකි. 

මම , "එච් එම් ජයවර්ධන මහත්තයා " යැයි ප්රශ්නාර්ථ ස්වරයෙන් ඇමතුවෙමි. " ඔව් ! කතා කරනවා" යැයි පිළිතුරැ ලැබුණේ ඒ ආදරණීය හුරැපුරැදු කට හඬින්මය. මගේ සිත පුරාම පිපී ගියේ මල් දහසකි. 

මම මගේ නම කියා මාව මුලින්ම හඳුන්වාදී එතුමාගේ සුව දුක් විචාළෙමි. " මොකක්ද නම කිව්වේ " යැයි කියා එතුමා නැවත මගෙන් විමසුවේය. මම නැවත මගේ නම කියා එතුමා ගැන ලිපියක් පළ කළේ මා යැයි පැවසීමි. 

එවිට එතුමා , එම ලිපිය අද උදේ කියවූ බවත් , හොඳින් විස්තර ඇතිව ලියා ඇතිබවත් කියා මට ස්තූති කළේය. රචකයෙකුට ඊටත් වඩා සංතෘෂ්ටියක් තවත් නම් ඇතිද? ඊටත් තමන් ඇගැයූ පුද්ලයාම තමන් සමඟ කථාකොට ඒ ගැන සතුට පළ කිරීම ලොවේ ඇති ලොකුම සම්මානය දිනුවා මෙන් නොවේද? මට දැනුණේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සතුටකි. 

ඉන්පසු තප්පර කිහිපයක් ගතවී ගියේය. මම , " ඔබතුමා අසනීපයෙන් කියා කෙනෙකු පැවසුවා" යැයි කියා නැවතත් එතුමාගේ සුවදුක් විමසා සිටියෙමි. එවිට එතුමා , වකුගඩුවල පොඩි අමාරැවක් ඇතිබවත් එයට දඹුල්ල ප්රදේශයේ වෙඳ මහතකුගෙන් බෙහෙත් ගන්නා බවත් පවසා සිටියේය. 

දස දහසක් සිත් සතන් තම සප්තස්වරයෙන් සන්තර්පනය කළ මේ උදාර , පොළොවේ පය ගසා ජීවත්වන මිනිසාගේ රෝගී තත්වය පිළිබඳව මගේ සිත හඬා වැටිණි. 

මම , මා ගැන වරදවා නොසිතන ලෙස ඉල්ලා වෙද හෙඳකම් සඳහා මට හැකි පමණින් උදව්වක් කිරීමට කොතරම් වියදමක් යනවාදැයි විමසා සිටියෙමි. එවිට එතුමා බෙහෙත් හේත් සහ දඹුල්ලට යෑම් ඊම් සඳහා මසකට රැපියල් පනස්දහසක් පමණ වැයවන බැව් පවසා සිටිය අතර කොහොමහරි වියඳම් දරා ගන්නවා යැයි වැඩිදුරටත් පැවසීය. 

එතුමා දැන් සිටින්නේ යහළුවකුගේ ගෙදරක වන අතර ඔවුන් එතුමාව ආදරයෙන් බලා ගන්නා බවත් මා සමඟ පැවසීය. 

කසුන් කල්හාර , එතුමාගේ ආදරණීය පුතණුවන් පැමිණ දුක සැප බලා සලකා යන බව ඔවුන් මා සමඟ පැවසූහ. 

එතුමා මගෙන් ආධාරයක් ඉල්ලුවේ නැත. එහෙත් එතුමාට මේ අසනීප හා කරදර සහිත අවස්ථාවේ උදව් උපකාර කිරීම අපේ යුතුකමය. වගකීමය. මන්ද එතුමා , එතුමාගේ කාලය , හැකියාව වැය කළේ අප වෙනුවෙනි. අපව සැනසීමට හා සංගීතයෙන් අප සුවපත් කිරීමට බැවිනි. 

ඔබ කී සැරයක් නම් නන්දා මාලනිය ගයන ඔබයි රම්ය සඳකිරණ , කඩ මංඩියේ ඳොල අයිනේ හා පෙම් ලොවදී දුටු ඔහුමද මේ යන ගීත වලට සවන්දී , දැහැන්ගතවී ඇතිද , සුනිල් එදිරිසිංහයන් ගයන සියල්ල ඉදිරී ගරා වැටුණු දා, දෙවොලේ නොකැළැල් හා කැලෑ මල් යන ගීත වලට වශීවී ඇද්ද, මාලනී බුලත්සිංහල ගැයූ රජ මැඳුරක ඉපදී සිටියානම්, කන්ඳ කෙන්ඳ කරනු පිණිස, සැන්දෑ අහස වගේ යන ගීතයන්ගෙන් උන්මාදවී ඇතිද ? ඒ සියලුම ගීත තනු නිර්මාණය කළේ එතුමාය. තව අප රස විඳි ගීත නම් කොතෙක්ද? තීරණය ඔබේය. 

එතුමාට ඉක්මන් සුවය සහ දීර්ඝායු පතමින් මම නතර වන්නේ ඔබට සිතන්නට යමක් ඉතිරි කරමිනි. 

එතුමාගේ ගිණුම් අංකය

එච් එම් ජයවර්ධන
ගිණුම් අංකය 100453595479
සම්පත් බැංකුව
බොරැල්ල ශාඛාව

එතුමාගේ ජංගම දුරකථන අංකය 

මා එතුමා පිළිබඳ ලියූ ලිපිය https://www.facebook.com/photo.php?fbid=10207027295311288&set=a.3148713887249.2150513.1547143569&type=1

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

මිය ගිය පසුව නොව ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත 7 - එච් එම් ජයවර්ධන




ඒ 1984 වසරේ ජනාධිපති සම්මාන උළෙලයි. සම්මාන ප්රදානය ජයටම කෙරීගෙන ගිය අතර සම්මානලාභී නළු නිළියන්, අධ්යක්ෂකවරැ, කාර්මික ශිල්පීන් ඇතුළු සිනමාවට සම්බන්ධ සැවොම පසුවූයේ ඉතා සතුටිනි. මල් මල් සිනා හඬින් ශාලාව රසවත් වෙද්දී සැමතැනම පායා තිබූ සිනමා තරැ වලින් මුළු ශාලාවටම වැටී තිබුණේ විසල් ආලෝකයකි. 

ටිකින් ටික ඒ මොහොත එළඹිණි.වේදිකාවට සම්ප්රාප්ත වූ මහතකු වසරේ හොඳම සංගීත අධ්යක්ෂණය සඳහා නිර්දේශිත නාමයන් ප්රකාශයට පත් කිරීමෙන් අනතුරැව සැවොම ජයග්රාහකයා කවුදැයි දැනගැනීමට නිවේදක තැනගේ මුව දෙස ඇසිපිය නොසලා බලා සිටින්නට වූහ. පැවතියේ නිහඬතාවයකි. ඒ අතුරින් නිවේදනය මතුවිය. 

" වසරේ හොඳම සංගීත අධ්යක්ෂණය සඳහා ජනාධිපති සම්මානය දිනා ගන්නේ මුහුඳු ළිහිණි චිත්රපටය සඳහා නිර්මාණය කළ ඒ අද්විතීය සංගීතය වෙනුවෙන් එච් එම් ජයවර්ධන" යැයි ප්රකාශයට පත්වෙත්ම ශාලාව අත්පොළසන් හඬින් ගිඟුම් දුනි. මොහොතක් ගත විය.  එහෙත් සම්මානය ගැනීමට වේදිකාවට යන කෙනෙකු නැත. දැඩි නිශ්ශබ්දතාවයකි. ඉන්පසු යම් නොසන්සුන්තාවයක්ද සමඟ කසු කුසුවකි. නිවේදක තැන තම කට හඬ අවදි කළේය. ඉන් කියැවුණේ සම්මානය ගැනීමට ජයවර්ධනයන් පැමිණ නොමැතිබවයි. 

ලංකාවේ සිනමා ඉතිහාසයේ පළමු වරට නිර්දේශිතවූ සම්මානයක් නිර්භයව හා නිර්ලෝභීව ප්රතික්ෂේප කෙරැණි. ලාභ ප්රයෝජන, මිල මුදල්, කීර්තිය හා සම්මාන පසුපස හඹායන මේ සමාජයේ පෘථග්ජන මිනිසකු අතින් නම් මෙය සිදුවිය හැකිද? 

එහෙත් 1984 වසරේදී මෙය සිදුවිය. ඒ වනවිටත් අප ඔහුගේ සංගීතය හඳුනාගෙන සිටියෙමු. ඔහුගේ මනුස්සකම මුළු රටම හඳුනාගත්තේ නම් එදාය. 

හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන එතුමාගේ උප්පැන්නයේ තිබූ නමයි. එහෙත් එච් එම් ජයවර්ධන අප සැවොම හඳුනන නමයි. අප හදවත්වල සටහන් වූ නමයි. 1950 වසරේ මැදින් මහේ දාහත් වෙනිදා මොනරාගල දිස්ත්රික්කය කෙළවර , අම්පාරට මායිම්ව පිහිටි සියබලාණ්ඩුව නම් දුෂ්කර ගම්මානයේදී මෙලොව එළිය දුටු එතුමා ගමේ පාසලින් හය හතර හදාරා නගරයේ ද්වීතිය පාසලට ඇතුළු විය. 

කුඩා කල පටන්ම සංගීතයට ' කෑදර' වූ ජයවර්ධන ශිෂ්යා දිනක් පාසලේ සංගීත කාමරයේ දොරතුළින් ගලා ආ සිංදුවකට වශීවී කාටත් හොරෙන් දොරට කන තබා අසා ගෙන උන්නේය. එදා ඒ ශ්රවණය කළ ගීතය වූයේ රන්මුතුදූව චිත්රපටයට නන්දා මාලිනිය ගැයූ ' ගලන ගඟකි ජීවිතේ ' ගීතයයි. එයින් සංගීතය පිළිබඳව මහා ඇල්මක් ඇතිවූ ජයවර්ධන තරැනයා පාසලේ මිතුරකු සතුව තිබූ කුඩා බට නළාවක් ශත පනහක් දී මිලට ගත්තේය. 

එතැන් පටන් මේ මහා සංගීත චාරිකාවේ පළමු පියවරවල් තැබිණි. ඉතාම ලැජ්ජාශීලි තරැනකුවූ එච් එම් බටනළාව කාටවත් පෙනෙන්නට නම් වාදනය නොකළේය. නේවාසිකාගාරයේ නාන කාමරයට වැදී වතුර මල සද්දයට විවෘත කොට පසෙකට වී ඔහු බටනළාව වැයීය. එසේම මුළු නේවාසිකාගාරයම නිදිගත් මොහොතේ හිමින් සීරැවේ බට නළාව වාදනය කරන්නට පුරැදු විය. කෙසේ හෝ මේ බැව් දැනගත් සංගීත ගුරැතුමා ඔහුට සංගීතය ඉගෙනුමට ඇරයුම් කළේ මේ අතරතුරේදීය. එච් එම් සංගීතය නම් ඉතා හොඳින් කළමුත් විභාගයේදී අනෙකුත් විෂයන් ගෙන් අසමත් විය. 

හිස් අතින් ගෙදර පැමිණ පියා සමඟ හේන් ගොවිතැන් කළේය. පසුව තැපැල් කනතෝරැවට බැඳී ලියුම් බෙදීය. ඒ එකක් වත් තමන් සොයන රැකියාව නොවනබැව් තේරැම් ගෙන සිටි එච් එම් තරැනයා නගරයේ සංගීත සංදර්ශනවල යහළුවන්ගේ ආධාරයෙන් බටනලා වැයීමට යාමට පුරැදු විය. ඒ දිනවල ඔහු ඇන්ඳේ සරමය. ඔහුට කලිසම් නොතිබිණී. යහළුවකු ඔහුට සංදර්ශන වලට යාමට කලිසමක් සොයා දුන්නත් එහි ඉණ ඉතා විශාල වීම නිසා කොහු ලණුවකින් ගැට ගසා ගෙන එය ඇඳගෙන ගිය බව එතුමා ඉතාමත්ම නිහතමානීව වරක් ප්රකාශ කළේය. 

කොළඹ යාමට තීරණය කළේ මේ අතරතුරේදීය. ඒ ගුවන් විදුලියේ අනියම් වාද්ය ශිල්පීන් සඳහා පුරප්පාඩු ඇතිබවට පුවත් පතක පළවූ දැන්වීමක් දැකීමෙනි. 

බොහෝ දුක් විඳ සම්මුඛ පරික්ෂණයට ගියද වාදනය හොඳ නැති බව කියා එයින් කැපී ගියේ දෛවයේ සරදමක් ලෙසිනි. මෙයින් අධෛර්ය නොවූ එච් එම් බටනලාවත් කිහිලි ගන්වාගෙන එකලද ලංකාවේ උසස් ස්ථානයක වැජඹුණු එවකට බොරැපන පාරේ විසූ පණ්ඩිත් අමරදේවයන් සොයා ගියේ හිතේ පැවති අධිෂ්ඨානය නිසාය. 

අමරදේවයන් ඉදිරියේ වික්ටර් රත්නායකයන්ගේ සිහින් සුළං රැල්ලේ ගීතය තම බටනළාවෙන් වාධනයකොට පෙන්වීය. වාදනයෙන් අමරදේවයන් සතුටු කිරීමටත් තමන්ට එය මැනවින්ම කළ හැකිබවත් ඒත්තු ගැන්වීමට එදා එච් එම් සමත්විය. 

අමරදේවයන් හමුවට ගොස් එනගමනේදී තම පාසලේ ඉතිහාස ගුරැවරයාවූ මහා සිනමාවේදී වසන්ත ඔබේසේකරයන් හමුවීම තම ජීවිතයේ ආනන්දනීය සංධිස්ථානයක් වෙනු ඇතැයි ඒ මොහොතේ නම් එච් එම්වත් නොසිතන්නට ඇත. 

ඔහුගේ කතාව අසා , වැඩ ගැන පැහැදුණු ඔබේසේකරයෝ එවකට ගුවන්විදුලියේ සංගීත අංශය භාරවවුන් සෝමදාස ඇල්විටිගලයන් හට දෙන්නට කියා ලියුමක් ලියා එච් එම් ගේ අතට දුන්හ. 

ලියුමද දෝතින් දරා බටනළාව සාක්කුවේ ඔබාගෙන තමන්ව වරක් ප්රතික්ෂේප කළ ඇල්විටිගලයන් ළඟට එච් එම් තරැනයා ගියේ හදවත පුරවාගත් දෙගිඩියාවෙන් වුවත් ආත්ම විශ්වාසයක්ද හිතේ කොනක සඟවාගෙනය. කලින් බෑ කියූ ඇල්විටිගලයන්ම අමරදේවයන්ගේ සහ ඔබේසේකරයන්ගේ රෙකමදාරැව මත එච් එම්ව අනියම් වාදකයෙකු ලෙස සේවයට බඳවා ගත්තේ ජාතියේ පිනට බව ඇල්විටිගලයන්ටද පසුව සිතෙන්නට ඇත. 

එතැන් පටන් අති දක්ෂ බටනලා වාදකයෙකු වශයෙන් තම දිවිය ඇරඹූ එච් එම් ජයවර්ධනයන් අපේ දැයට අකාලේ අහිමිවූ අද්වීතීය හඬ පෞරැශයකින් හෙඹි මාලනී බුලත්සිංහල ගායනවේදිනියගේ පෙම්බර ස්වාමිපුරැසයාවූ අතර තාරැන්යයේ විප්ලවීය හඬක් හා සංගීතයකින් සන්නද්ධ කසුන් කල්හාරයන්ගේ ආදරණීය පියානන්ද වන්නේය. 

ඉතා නිහඬව සංගීතයට අමිල සේවයක් කරන එතුමා නිර්මාය කළ සෑම ගීත තනුවක්ම පාහේ ජනතාව අතර අතිශයෙන්ම ජනප්රිය විය. 

තම ආදරණීය බිරිඳ මාලනී බුලත්සිංහල ගායන වේදිණිය වෙනුවෙන් නිර්මාණය කළ ලූෂන් බුලත්සිංහලයන් ලියූ ' රජ මැඳුරක ඉපදී සිටියානම්' , ' සැන්දෑ අහස වගේ' යන ගීතයන්ද ප්රේමකීර්ති ද අල්විසුන් ලියූ ' කන්ඳ කෙන්ඳ කරනු පිණිස ' යන ගීතය හා එතුමියම ගැයූ ' දකින විට පන්සලක්' හා ' මළ පොතේ අකුරැ බෑ කී මිනිහා' වැනි මෙකී නොකී අති විශිෂ්ට ගීත සමුදායක් දැයට දායාද කළේ එතුමාය. 

එසේම හෙළයේ මහා ගීත කෝකිලාවිය නන්දා මාලනියට එතුමා නිර්මාණය කළ මධුර මනෝහර තනු නම් කොතෙක්ද?

'ඔබයි රම්ය සඳ කිරණ', ' පෙම් ලොවදී දුටු ඔහුමද මේ', ' මේ ජීවන ගංඟාධාරයේ' , '' මධුර ප්රේම කල්පනා'හා 'කඩ මංඩියේ ඳොළ අයිනේ' ඒ අද්වීතීය තනු නිර්මාණයන්ගෙන් කිහිපයක් පමණි. මේ ගීත අප දෙසවනින් ඇතුළු වී රැදිරානුගතවී හමාරය. 

සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන් නිමවූ ප්රේමකීර්තීන් විසින් රචිත ' සියල්ල ඉදිරී ගරා වැටුණු දා' , මිනිසකු පිට නැගි අසරැවෙකි'සහ එක යායේ එකා වගේ ' යන ගීතයන් හා සුනිළුන්ම ගයන ' නුඹේ සිතට පුන් සඳ පායලා වගේ' , ඉස්සර මං ගිය පාසල ඇරිලා' , ' පිංතාලිය' , ' සයුරක් නොදුටු ගඟුලක්' , 'දෙවොලේ නොකැලැල්' හා ' කැලෑ මල් ' යන අමරණීය ගීතද තවමත් එදා මෙන්ම ජනතාව අතර ජනප්රියව පවතින්නේ පද මාලාව සහ ගායනයට අමතරව ඒ තනුවල ඇති ගතික බව නිසාය. ප්රවීණ විචාරක හා සාහිත්යධර ලාල් ආනන්ද අබේධීරයෝ ජයවර්ධනයන් ගතික වර්ගයේ සංගීතඥ්යකු ( Dynamic type musician ) නමින් වර්ග කළේ එහෙයිනි. ප්රේමසිරි කේමදාසයන් එයිනුත් හිනිපෙත්තටම ගිය බව තවදුරටත් ප්රකාශ කළ අබේධීරයෝ එච් එම් වනාහී කේමදාසයන් නොවූ කේමදාස ලෙස හැදින්වීය. 

මා මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ ජයවර්ධනයන් ප්රතික්ෂේප කළ සම්මානයට හේතුව වූයේද ප්රේමසිරි කේමදාසයන්ය. 

1984 ම කේමදාසයන් ධර්මසිරි බංඩාරනායකයන්ගේ තුන්වෙනි යාමය සිනමා පටය වෙනුවෙන් නිර්මාණය කළ සංගීතය තමන් මුහුදු ළිහිණි සිනමා පටයට නිර්මාණය කළ සංගීතයට වඩා විශිෂ්ට යැයි එච් එම් තීරණය කිරීම තමනට ලැබුණු සම්මානය භාර නොගැනීමට හේතුව විය. එසේ තම හෘද සාක්ෂියට තමන්ට ලැබුණු මහා සම්මානයක් අත හැරීමට නම් ඔහු පුදුම මිනිසෙකුම විය යුතුය. 

එසේය. ඔහු පුදුම මිනිසෙකි. සත්ය එයයි. ලාල් ආනන්ද අබේධීරයෝ ජයවර්ධනයන් ප්රබල අතහැර දමන්නකු ලෙස නම් කළේය. එතනදී ජයවර්ධනයන්ව මහා ගත් කරැ සයිමන් නවගත්තේගමයන්ගේ ජීවිතයට සමාන කළ හෙතෙම ඔවුන් දරනීය ජීවිත ගත කළ ( sustainable lives) අපූරැම පුද්ගලයන් ලෙසද ගෙන හැර දැක්වීය. 

ටී එම් ජයරත්නයන් ගයන ' රත්තරන් නෙත් දෙකෙන්' ගීතය, එඩ්වඩ් ජයකොඩි ගයන ලූෂන් බුලත්සිංහලයන් ලියූ ' සිරි යහනේ ලණු ඉහිරී' ගීතය, බංඩාර අතාවුද ගයන ' සිහිනයකි ඔබ ' ගීතය , ක්රිශාන්ත එරන්දක ගයන මහින්ද දිසානායකයන් ලියූ ' වී පැඳුරෙන් ඉගිලී යන' ගීතය, නිරංජලා සරෝජනී ගයන ලූෂන් බුලත්සිංහලයන් ලියූ ' මේ ගඟ මේ දුරැ කතර ගෙවා' ගීතය, චරිතා ප්රියදර්ශනී ගයන රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියූ ' මවයි පියයි එකතු වෙලා' ගීතය, සනත් නන්දසිරියන් ගයන සුනිල් ආරියරත්නයන් ලියූ ' එක යායට මල් පීදුණු බිම් තීරේ' ගීතය හා මංගල තෑග්ග චිත්රපටයේ ' වාසනා වේවා' ගීතය, ජානක වික්රමසිංහයන් ගයන රත්න ශ්රී වික්රමසිංහයන් ලියූ ' කිරැළ මුතු ලිහී' ගීතය, කරැණාරත්න දිවුල්ගනේ ගයන රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියූ ' ලා දළු බෝපත්' ගීතය , රොහාන් ශාන්ත බුලේගොඩ ගයන ' සඳක් නම්' ගීතය හා පණ්ඩිත් අමරදේවයන් ගයන ' සඳ තරැ නිහඬයි' ගීතය ඇතුළු මෙකී නොකී එතුමා විසින් ගී තනු දමා නිර්මාණය කළාවූ ගීත පොකුර නැවතත් හොඳින් අසා බලන්න. අපූරැම සුන්දරත්වයක් , අව්යාජත්වයක් හා අපේකමක් තිබෙනවා නොවේද? 

එතුමාගේ ගීතණුවල බටනළාව සහ තනි වයලීනයක් නිරතුරැවම භාවිතාවීම විශේෂිතවූ ලක්ෂණයකි. ජයවර්ධනයන් ප්රවීණ වයලීන වාදක කලණි පෙරේරාගෙන් හොඳම සේවය ලබා ගත් අය අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ මේ නිසාය. 

අවාසනාවට එතුමාට අතිමහත් ශක්තියක් වෙමින් එතුමාගේ සෙවනැල්ල මෙන් සිටි මාලනී බුලත්සිංහල ගායනවේදිනිය නොසිතූ මොහොතක හීනයෙන්වත් නොසිතූ විලසින් එතුමන් තනිකර යෑම කිසිසේත්ම දරාගත නොහැකි කරැණක් වූ බව එතුමා පවසා තිබිණි. 

එතුමිය ඇමෙරිකාවේදී හිසකෙස් වලට දැමූ ඩයි වර්ගයක් ආසාත්මික වීමෙන් අපෙන් සමුගන්නා දිනයේ එච් එම් ජයවර්ධනයන් ඉතාමත්ම අසීරැවෙන් තමන්ට ලැබුණු පදමාලාවකට තනුවක් දමමින් සිටියේය. වෙනදා මෙන් නොව එයට තනුවක් දැමීමට බොහෝ අසීරැ වූ බව පසුකලෙක පවසා තිබිණි . 

එම ගීය නම් අමරසිරි පීරිස් සූරීන් ගයන ' ඇය යන්න ගියා මැකිලා ' ගීතයයි. බලන්න එහි පද මාලාව සහ ශෝකී තනුව. 

එයින් කියවෙන්නේ මලනී බුලත්සිංහල මහත්මියගේම නිකම යෑම නොවේද? ඇය එතුමාව හැරයන්නට පෙර ඒ පිළිබඳවම පදමාලාවක් ලැබී එයට තනුවක් දැමීමට එතුමාටම සිදුවීම දෛවෝපගත සිදුවීමක්ම වන්නේය. 

මේ අහිමි වීමට පෙර තවත් විසල් අහිමිවීමකට, හැරයාමකට මුහුණ දීමට එතුමාට සිදුවිය. ඒනම් ඔවුනගේ ආදරණීය දියණිය ඩෙංගු සෑදී මෙලොවින් සමු ගැනීමයි. මෙම සිද්ධියෙන් එතුමා ඉතා දරැණු ලෙස කඩා වැටුනේය. දියණිය සමඟ ඉතාමත්ම කිට්ටුවෙන් කටයුතු කළ ජයවර්ධනයන් ඇය මිහිඳන් කළ දින රාත්රියේ ඇයගේ සොහොනට ගොස් එතැන නිදාගෙන සිටියේ ඇය වෙනුවෙන් එතුමාගේ හදතුල තෙරපුණු ආදරය හා දුක ඉවසා සිටිය නොහැකිවූ විටය. මේ වියෝවෙන් පසු සිදුවූ සිය ආදර බිරිඳගේ හැරයානේ එතුමා කෙතරම් නම් අසරණවන්නට ඇතිද? එතුමාගේ ජීවිතය එතුමාගේම තනුවක වැයෙන ශෝකී වස්දඬු රාවයක් දැයි මට සිතේ. 

එම දෙපළගේ එකම පුතණුවන් කසුන් කල්හාර ජයවර්ධන අපේ රටේ තරැණ පරපුරේ වෙනමම ඉසව්වක් සොයා යන මහා දක්ෂතාවලින් පිරිපුන් සංගීත අධ්යක්ෂකවරයෙකි. ඔහුටම ආවේණික රටාවක් හා හඬක් ඇති ගායකයෙකි. මාලනී බුලත්සිංහල ගායනවේදිනිය අපට දායද කළ අමිල වස්තුව ඔහුයි. 

කසුන්ගේ ස්වාධීනව යන මේ සංගීත චාරිකාව ගැන ආඩම්බරයෙන් හා සංතෝෂයෙන් එච් එම් ජයවර්ධනයන් කතා කළේ තම පුත්රයා ගැන අන් සැමටම වඩා දන්නේ එතුමා බැවිනි. 

කිසිම සංගීත විද්යාලයකට නොගිය මේ අපූරැ සංගීතවේදියා එච් එම් මේ ප්රතිභාව භවයෙන් භවයට රැගෙන ආ බව මගේ විශ්වාසයයි. 

එච් එම් ජයවර්ධනයන් ගැන වරක් කරැනු දැක්වූ ප්රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහයන් ප්රකාශ කළේ අනෙක් බටනලා ශිල්පීන් බටනලා බෑගයක් ඔසවාගෙන ප්රසංඝවලට යනවිට ජයවර්ධනයන් බටනලා තුනක් පමණක් සාක්කුවේ දමාගෙන යනබවයි. ඒ තුනින් තමනට ලැබෙන ඕනම පරාසයක ගීත වාදනය කළ හැකි බවයි. කාට වාදනය වැරදුණත් ජයවර්ධනට වරදින්නේ නැතිබව රෝහණ වීරසිංහයන් වැඩිදුරටත් පැවසූහ. 

අව්යාජ සිනාවෙන් මුව සරසාගත් මේ චාම් මිනිසාව අප හරිහැටි කියවා ඇද්ද? ඇසුරැ කොට ඇද්ද? අගයා ඇද්ද?

මධු විතෙන් සැනැහුණු සැන්දෑවක ඔහුගේ මධුර තනුවක වැයෙන වස්දඬුවකින් නිකුත්වන ශෝකී ස්වරයකට මම වශීවී සිටිමි. මට ඔහුගේ මුහුණ පෙනෙයි. වියපත්වීගෙන යන දිගු කොණ්ඩය, කුළුණු ගුණ උතුරා හැලෙන නෙතු යුඟ, මුව සරසාගත් සොඳුරැ, අව්යාජ සිනහව මට ජීවමානව ඒ සංගීතය තුළින් චිත්ත රෑප මවයි. 

අප එතුමා නිර්මාණය කළ ගී තනුවලට කෙතරම් නම් පෙම් බැඳ ඇත්තෙමුද? අපගේ දුක කියා ඇත්තෙමුද?

සියල්ලම මුදලට නතුවන සමාජයේ එතුමා මුදල් පසුපස හඹා නොගියේය. මුදල් එතුමාට පයට පෑගෙන දුහුවිලි විය. 

සම්මානවලට පොරකන , ගහ බැණ ගන්නා සමාජයක තමුණට ලැබුණු සම්මානය පවා තම හෘදසාක්ෂියට එකඟව ඒ සුදුසු පුද්ගලයාට පරිත්යාග කළේය. එවන් උතුම් මිනිසෙකුගේ අගය අප හරියටම වටහාගෙන ඇතැයි මට නොසිතේ. 

මේ නිහඬ, අව්යාජ, පොළොවේ පය ගසා ජීවත්වන මිනිසා අප රැක ගත යුතුය. ඔහුව අගය කළ යුතුය. මන්ද ඔහු අපගේ ජාතික වස්තුවක් බැවිනි. 

සුන්දර මිනිසානෙනි, මහා ගාන්දර්වයාණෙනි ඔබට දිගාසිරි පතමින් මම මෙම ලිපිය අවසන් කරමි. 

ඔබට චිරං ජයතු!

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය