Pages

Friday, 3 July 2015

මිය ගිය පසුව නොව ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත 2 - අමරසිරි කලංසූරිය



ඒ 1980 වසරයි. දිනය සහ මාසය මට හරියටම මතකයේ නැත. අම්මලා හරහා මට ලැබුණු ඇරයුමකි. ඇරයුම ආවේ අපේ ගෙදර ඇනෙක්සියේ පදිංචියට ආ තරැණ යුවළගෙනි. එනම් ඔවුන් සමඟ සිනමාපටයක් නැරඹීමට යාමට ඔවුන් හා එක්වන ලෙසයි. 

චිත්රපට ප්රචාරක දැන්වීම් වලට සවන් දෙමින් හා සිනමා ශාලා ළඟට ගොස් එහි ප්රදර්ශනයට තබා ඇති සිනමා රෑපරාමුවල පිංතූර නරඹමින් සිටි මා කෙතරම් චිත්රපට පිස්සෙකුදැයි ඔවුන් ඒ දින කිහිපයට අවබෝධ කරගෙන උන්හ. 

මම මේ ඇරයුමින් කුල්මත් වූයේ සති මාස ගණන් උත්සහ කොට තමන් කැමති ගෑනු ළමයාගෙන් කිසිඳු ප්රතිචාරයක් නොමැතිව නන්නත්තාරව වුන් පෙම්වතකුට හදිසියේම තම පෙම්වතියගෙන් පෙම් සිනහවක් ලද පෙම්වතකු පරිද්දෙනි. 

මම වහාම සූදානම් වී සවස 06:30 දර්ශනය නැරඹීම සඳහා අනුරාධපුරයේ නිව් විජේන්ද්රා සිනමා ශාලාව බලා ඔවුන් සමඟ මගට බැස්සෙමි. ශාලාවට යන තුරැම අප බලන්නට යන්නේ කුමන සිනමා පටයදැයි නොදත්තෙමි. 

දුර සිටම දුටු සිනමා ප්රචාරක දැන්වීමෙන් මට ඒ අයියාව බදා වැළඳ ගැනීමට තරම් ලෙංගතුකමක් ඇතිවිය. ඒ සිනමාපටය වනාහී මා ගුවන්විදුලියෙන් අසා බැලිය යුතුම යැයි සිතාගෙන සිටි ඊට දිනකට පෙර මුදාහල එච් ඩී ප්රේමරත්නයන්ගේ ' පරිත්යාගය' විය. 

අළුත් සිනමා පටයක් නිසා බොහෝ පිරිස් පැමිණ සිටියත් අප කල් වේලා ඇතිව ගිය නිසා ශාලාව පසුපස හොඳ ආසන ලබා ගැනීමට හැකිවිය. 

ඉදිරියේදී තිරගත වීමට නියමිත සිනමාපටවල ප්රචාරක දැන්වීම් වලින් අනතුරැව මා නොඉවසිල්ලෙන් වුන් ' පරිත්යාගය' ඇරඹිණි. 

චිත්රපටයේ ප්රධානතම ප්රචාරක පාඨය වූ " ඔබේ අතට රන් මුඳුවක් මා දෑතට විලංගුවක්" වෙන්නේ කොහොමදැයි මම බලා සිටියෙමි. මා මුල් වරට ඔහුව දුටුවේ එදායි. 

ඉස්සකු මෙන් එහෙ මෙහෙ දුව පනින ඉතා කඩිසර ,ලස්සන කට හඬක් ( screen voice) ඇති හුරැබුහුටි ගැටයෙකු තිරයේ දිස්වුනි. 

ගතානුගතික නළුවකුගේ බරසාර විලාසයක් අහලකවත් නැත. ඔහු ඉතා තාත්විකව රංගනයේ යෙදුණි. මද වේලාවකින් එය රංගනයක් බැව් අමතක වී මාද එහි ජීවත්වන තරමට ඔහු මට සමීප වූයේය. 

එම වෘත්තාන්තයේ පෙම්වතාට සිටියේ ඔහුයි. ඔහුගේ පෙම්වතිය( වසන්ති චතුරානි) ගේ අක්කාව විවාහකර ගැනීමට පැමිණිය මනමාලයා( ටෝනි රනසිංහ) ය. එහෙත් ඇයට දෑවැද්දක් දීමට වත්පොහොසත් කමක් නොමැති නිසා විවාහය නොකෙරෙන තැනට වැඩ සිද්ධවෙමින් පැවතිණි. 

තම පෙම්වතියගේ අක්කණ්ඩියගේ විවාහය කරදීමට ඔහුට මුදල් අවශ්ය විය. ඒ සඳහා ඔහු ශිෂටසම්පන්න හා නීතිගරැක ලෙස උදව් පැතුවත් මිතුරන්ගෙන් හා තම හාම්පුතාගෙන් අලුයම ඉවතලූ කෙළ පිඩක් පරිද්දෙන් ප්රතික්ෂේප වුණි. 

තම නෑනණ්ඩිය පිළිබඳව වූ මානුෂික හැගීම් හා තම පෙම්වතියට තිබූ අවංක ආදරය හමුවේ ඔහුගේ ආචාර ධර්ම හා නීතිගරැක සම්මතය බිඳී ඉහිරී සුනුවිසුනූ වී ගියේය.

නෑනණ්ඩියගේ විවාහයට මුදල් සොයනු වස් ඔහු තම සේවා ස්ථානයෙන් බඩු ( තඹ) සොරකම් කිරීමට පෙලැඹුනි. 

කෙසේ හෝ මේ අයුරින් මුදල් සොයා ගෙන නෑනණ්ඩියව විවාහ කරදී ඔවූන්ව දෙවැනිගමනටත් පිටත්කොට ඉතා තෘප්තිමත් දෙනෙතින් යහළුවන් සමඟ ගිටාරයක් වයමින් ප්රීති වෙද්දී පොලිස් ජීප්රියක් පැමිණ ඔහුව අත්අඩංගුවට ගනු ලැබීමෙන් සිනමාපටය අවසාන විය. 

නෑනණ්ඩියගේ අතට රන් මුදුවක් ලබා දී තම දෑතට විලංගුවක් උරැමකරගත් ඒ මහා සහෝදරත්වයේ හා ආදරයේ පරිත්යාගය එය විය. 

එදා මා ඒ දුටු හුරැබුහුටි නළුවා අමරසිරි කලංසූරියයි. බැලූ බැල්මට නළුවකුට තිබිය යුතු ආරෝහපරිණාහ දේහයක් ඔහුට නොවීය. එහෙත් ඒ කට හඬ අපගේ හදවතටම දැනුණි. ඒ මුහුණේ මාංශ පේශීන්ගෙන් හා ඇස් වලින් ඔහු ඉපැද්දූ හැගීම් ඔහු ලෝක පූජිත නළුවකු බව අපට පෙන්වීය. ආයාසයකින් තොරව ඔහු එම චරිතවල ජීවත් වූවේය. 

1940 බිනර මස විසි වෙනිදා මහනුවරදී ජන්ම ලාභය ලැබූ මේ විශිෂට රංගදරයා මහනුවර ධර්මරාජ විදුහලින් සිප් සතර හැදෑරීය. 

වයස අවුරැදු දාහතේදී සිය මවගේ වියෝවත් සමඟ සොහොයුරන් තිදෙනෙකුවද බලා කියා ගැනීමේ පවුල් බර ඔහු මත වැටිණි. 

වැඩිදුර ඉගෙනීම අමතක කොට දිවි සටනට උරදීමට ඔහුට සිදුවිය. මුලින්ම දිනකට රැපියල් 1.75 ක වැනි සුළු වැටුපකට අනියම් කම්කරැවකු වශයෙන් ඔහු රැකියාව ඇරඹීය. 

ඉන්පසු සේවා ස්ථාන කිහිපයකම වැඩ කොට අවසානයේ තම සේවා ප්රධානියා හා ඇතිවූ ආරවුලකින් පසුව නැවත යමෙකු යටතේ වැඩ නොකිරීමට සිතා ගත්තේය. 

ඔහු කෑගල්ලේ හා පේරාදෙණියේ රෙදි වෙළදාමක් පටන් ගත්තේ මෙහි ප්රතිඵලයක් හැටියටය. එයින් නොනැවතුණු මේ උත්සහවන්ත තරැනයා ඇඳුම් මැසීමේ ටේලර් සාප්පුවක් ඇරඹීය. එය හොඳින් දියුණු වී ටේලර් සාප්පු දෙකක හිමිකාරයකු වන්නට ඔහුට වැඩි දිනක් ගත නොවුණි. 

කෙසේ වෙතත් දෛවයේ සරදමකින් හෝ අපගේ වාසනාවට 1969 දී මේ හුරැබුහුටි තරැනයා සිනමාවට එක්විය. ඒ රැයක් දවාලක් නම් චිත්රපටයේ රඟපාමිනි. 

ඉන්පසු 1969 දීම සුගතපාල සෙනරත් යාපා සූරීන්ගේ උසස් නිර්මාණයක්වූ හන්තානේ කථාවේ විජය කුමාරතුංගයන්ගේ මිතුරකුගේ භූමිකාව රඟ දැක්වීය. සිනමා ලෝකයේ සැමගේම අවධානය මේ පුංචි සිත්ගන්නා සුළු නළුවා වෙත යොමුවන්නට පටන් ගති. 

මෙහි ප්රතිඵලයක් ලෙස 1974 වසරේදී ධර්මසේන පතිරාජයන්ගේ අහස්ගව්ව චිත්රපටයට එක්වීමේ අවස්ථාව උදාවිය. 

තම ජීවිතයේ හැරවුම් ලක්ෂයක්වූ අහස්ගව්ව චිත්රපටයේ ඒ ප්රතිභාපූර්ණ රංගනයට හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට අමරසිරි කලංසූරිය රංගදරයා සමත්විය. 

තම දිවියේ රඟපෑ දෙවැනි සිනමාපටයෙන්ම හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමෙන් ඔහු මොනතරම් නම් දක්ෂ නළුවකුද යන්නට නිදසුන් සපයයි. 

එම සිනමා පටයේ විමල් කුමාරද කොස්තා ( ගුණේ) සමඟ විජේ නම් රැකියාවිරහිත තරැනයන්ගේ භූමිකාව ඔහු කෙතරම් නම් සාර්ථකව හා තාත්විකව රැඟුවේදැයි අවබෝධවීමට නම් එම සිනමාපටය නැරඹිය යුතුමය. 

කවදත් තම චිත්රපට තුළින් අළුත් මුහුණු සිනමාවට දායාද කළ සිංහල සිනමාවේ මැදමාවතේ සිනමා අධ්යක්ෂකවූ එච් ඩී ප්රේමරත්නයන් 1978 දී අපේක්ෂා චිත්රපටයට අමරසිරි කලංසූරිය එසේනැතිනම් කවුරැත් ආදරයට ඇමතූ ලෙස කළංව තෝරා ගති. 

අපේක්ෂා චිත්රපටයේ ඒ සුන්දර අව්යාජ පෙම්වතාගේ චරිතය අප කෙසේනම් අමතක කරමුද? එහි එක් ජවනිකාවක මාලනි ෆොන්සේකා සමඟ රේල් පීලි මත දුවමින් ගීයක් ගයමින් කළ ඒ ආදරණීය රංගනය මා තව තවත් ඔහුට ඇලුම් කිරීමට පෙළැඹීය. 

1978 දීම සුනිල් ආරියරත්නයන්ගේ අනුපමා සහ ධර්මසේන පතිරාජයන්ගේ බඹරැ ඇවිත් නම් චිත්රපටවල කලං විදහා දැක්වූයේ අද්විතීය රංගනයකි. 

අසිත් අයියා ( විජය) වෙනුවෙන් තම දිවිය කැප කළ රජී මල්ලී නම් චරිතය අනුපමා චිත්රපටයේ පනපෙවීය. මෙහි එන එච් ආර් ජෝතිපාලයන් ගයන ' රාජකිරැලු පලන්දාපු රජ්ජුරැවෝ ගීතයට පිරිස සමඟ කලං කළ හුරැබුහුටි රංගනය ඉතාමත් සිත්ගන්නා සුළු විය. 

බඹරැ ඇවිත් සිනමාපටයේත් විජයගේ මිතුරන් ලෙස කොස්තා හා එක්ව කළ ඒ රංගනය කෙතරම් නම් තාත්විකද? ඒ රංගනයන් තුළ ප්රේක්ෂකයන් ගිලී කිමිඳවීමට කලං සමත් විය. 

1980 දී එච් ඩී ප්රේමරත්නයන් නැවතත් තම චිත්රපටයක ප්රධාන භූමිකාව නිර්ලොබීව ප්රදානය කළේ අපේක්ෂා ඇතුළු එතෙක් කලං රඟපෑ චිත්රපටවලට කළාවූ සාධාරණය හේතුවෙනි. මේ චිත්රපටය නම් මා මේ සටහන මුලදීම ඔබට කියූ පරිත්යාගයයි. 

ඉන්පසු 1986 දී කලංගේ සිනමා දිවියේ තවත් නිම් වළල්ලක් විවර කළ ධර්මසිරි ගමගේ සූරීන්ගේ පූජා නම් වූ ඒ අතිශයින්ම සංවේදී දැවැන්ත නිර්මාණයේ අලුගෝසුවාගේ පුතාගේ භූමිකාව රඟදැක්වීමට වාසනාව උදා විය. 

පූජාහී තම නැගෙනියව දූෂණය කළ කාමාතුරයාව මරා දැමීමේ වරඳට උසාවියෙන් වරඳකරැ වී මරණීය දණ්ඩනයට යටත්ව හුස්ම සිරවී මරණයට පත්වන තුරැ එල්වා තැබීමට යටත්වීමට බන්ධනාගාරයේ අලුගෝසුවා( ජෝ අබේවික්රම) ගේ පුත්රයා ( කලං) ට සිදුවේ. 

එම උද්වේගකාරී හා අති සංවේදී ජවනිකාවේ කලං රඟපෑ අපූරැව විස්තර කරන්නට මම තවමත් වදන් සොයමි. එය ඒ තරම්ම ජීවමාන රංගනයකි. 

සුදුපැහැ රෙදිකඩකින් හිස ආවරණය කර පෝරකය වෙත නිලධාරීන් දෙදෙනකු විසින් ගෙන එන අවස්ථාවේ ඔහුගේ ඇස්වල තිබූ අසරණභාවය , මරණ බිය කලං මොනවට නිරෑපනය කළේය. මට දැනෙන අන්දමට එය ඔහුගේ විශිෂ්ටතම රංගනයයි. 

ඒ ජවනිකාවේ කලංගේ පියා ලෙස රඟපෑ ජෝ අබේවික්රමයන් තමන්ගේම පුතා මැරිය යුතු අලුගෝසුවාගේ භූමිකාව කෙතරම් නම් තාත්විකව සහ සංවේදීව කළේද යත් එය කඳුළක් නොහෙළා නැරඹූ කෙනෙකු වේනම් ඒ දෑසේ කඳලු නොඑන රෝගයකින් පෙළෙන්නෙකුම විය යුතුය. 

ප්රේමසිරි කේමදාසයන්ගේ සංවේදී තනුවට පණ්ඩිත් අමරදේවයන්ගේ ඒ ගැඹුරැ හඬ මහා ශෝකී සජ්ගායනයක් ලෙසින් පසුබිමින් ඇසුණි. ඒ ධර්මසිරි ගමගේ සූරීන් අතින් ලියැවුණු ' පූජා' ගීතයයි. 

මෙහිදී තම පුතා (කලං ) එල්ලීමට ලීවරය ක්රියාකරවීමට පෙර තම පපුව අල්ලාගත් අලුගෝසුවා හදවත පුපුරා මැරී වැටෙන්නේ තම පුතුට අභය දානය පූජා කරමිනි. ලොවේ සියලුම පියවරැන්ගේ පීතෘ සෙනෙහස නම් එය බව මේ අනුවේදනීය පුවත තුළින් මෙම සිනමා පටයෙන් දුන් පණිවුඩයයි. 

මෙම අද්විතීය රංගනයන් වෙනුවෙන් ජෝ අබේවික්රමයන් වසරේ හොඳම නළුවා ලෙසත් අමරසිරි කලංසූරිය හොඳම සහය නළුවා ලෙසත් 1986 ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවේ මේ නිසාය. 

පොළොන්නරැවේ ජීවත්වූ , සමාජය විසින්ම දාමරිකයෙකුබවට පත්කළ රටම හෙල්ලූ පොඩි විජේගේ ජීවිතය අළලා 1987 වසරේදී නිර්මාණය කළ පොඩි විජේ චිත්රපටයේ පොඩි විජේගේ භූමිකාව රඟ දැක්වූයේද කලංය. එලෙසම වජිරා චිත්රපටයේ කලංගේ රංගනයද රසික සිත් සතන් පැහැරගති. 

ඉන්පසු කලංගේ සිනමා දිවියේ වූයේ දිගු නිහඬතාවයකි. 

1987 න් පසු සිංහල සිනමාවේ ව්යවසනයට කලංගේ ඉදිරි ගමනද බිලිවූයේ අපේම අවාසනාවටය. නීතිය වල්වැදුණු , මනුෂ්ය ජීවිතයේ වටිනාකම බිංදුවට ගිය , ගිනිගත් දේශයක කුමන නම් සිනමාවක්ද?

ඉන්පසු ලංකාවේ ප්රථම ටෙලි නාට්යවූ ඩී බී නිහාල්සිංහයන්ගේ දිමුතු මුතු හී ප්රධාන භූමිකාවක් රඟපෑමේ ගෞරවය කලංට හිමි විය. 

2001 වසරේදී රොඩ්නි විධානපතිරණගේ ' ශිල්ප දෙනු මැන ' ටෙලි නාට්යයෙන් පසු කලං රෑපවාහිනියේද දක්නට නොලැබුණි. 

2004 දී උදයකාන්ත වර්ණසූරියගේ දියයට ගින්දර නම් චිත්රපටයට සහ ඉන් වසර දහයකට පසු 2014 වසරේදී කේ සරා( Que Sera) නම් චිත්රපටයට කලංගේ දායකත්වය ලැබිණි. 

එහෙත් කිසිදු සිනමා සම්මාන ප්රධානයක හෝ රිදී රැයක් වැනි නළු නිළියන් එකතුවූ සංදර්ශනයකදී හෝ අමරසිරි කලංසූරිය නම්වූ ඒ සිංහල සිනමාවෙන් අපේම අවාසනාවට හරියට වැඩක් නොගත් අග්රගණ්ය නළුවා දක්නට නොලැබුණි. ඔහුට ආරාධනා නොකළාද එසේත් නැතිනම් කලං ආරාධනා ප්රතික්ෂේප කළාද යනවග දන්නේ ඒ උත්සව සංවිධායකයෝම පමණි. 

මා මෑතකදී කළංව රෑපවාහිනියේ දුටුවේ එතුමා කොස්තාද සමඟ සහභාගී වූ එක්තරා වැඩ සටහනකදීය. මට එහි නම මතක නැත. 

එදා මා දුටුවේ මගේ හදවතේ සිටි ඒ හුරැබුහුටි අව්යාජ ගැටවරයා වෙනුවට මැදිවියේ තැන්පත් පියෙකි. එතුමාගේ මුහුණේ ඒ අව්යාජ සිනහවම තිබුණත් එදා තිබූ සැහැල්ලුබව වෙනුවට යම් කලකිරීමක සේයාවක් දක්නට ලැබුණි. 

ඒ කෙසේ වෙතත් ආදරණීය කලං ඔබගේ සුවහක් රසික රසිකාවින්ගේ හදවත් තුළ ඔබ එදා තැබූ නොමැකෙන සටහන අදටත් එලෙසම බව පවසමින් මට සමුගන්නට අවසර. කවුරැන් හෝ නිෂ්පාදනය කරන උසස් සිනමා කෘතියක ඔබව නැවතත් දක්නට ලැබේවා!

 ඔබට චිරං ජයතු!!

චිත්රපට සහ තිරගතවූ වසර ඇතුළු සමහර තොරතුරැ අන්තර්ජාලයෙන් ලබාගත්බව කරැණාවෙන් සලකන්න. 

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

Tuesday, 16 June 2015

වැනීසියේ වෙළෙන්දාත් අපෙන් සමු ගත්තේය.......




ඒ 1976 සුන්දර සැන්දෑවකි. මිඳුලේ සෙල්ලම් කරමින් පසුවූ මට , අපේ තාත්තාගෙන් ලැබුණේ අපූරැ ආරාධනයකි. 

ආරාධනය ඉහටත් උඩින් පිළිගැනුණි. ප්රතිඵලය වූයේ අනුරාධපුරයේ සිත්තම්පලම් සිනමා ශාලාවේ 6:30 දර්ශනය නැරඹීම සඳහා තාත්තා සමඟ යාමය. 

තිරයේ දිගහැරැනේ මගේ මතකයේ සදා නොමැකෙන සුන්දර මතකයන් ඉතිරි කළ හුලවාලී සිනමා පටයයි. 

එහි එන කථාවේ රැහේ නායකයා, හුලවාලියා(ධාරා) ලෙස ගාමිණී ෆොන්සේකත් ඔහුගේ ඇඹේණිය, සුභා ලෙස සුවීනීතා කෝන්ගහගේත් රඟපෑ බව මගේ මතකයේ ඇත. 

චිත්රපටයේදී සුභා, ගමට ආ වෙළෙන්ඳා සමඟ ධාරා තනිකොට හොරෙන් පැන යන ජවනිකාවේ පසුබිමින් ගැයුණු සුනිල් එදිරිසිංහයන්ගේ කුඩා ගමේ ගීතය කුඩා මගේ ඇසට කඳුළක් ගෙනා අතර සඳා නොමැකෙන සමරැ සටහනක් මගේ හදවතේ ඉතිරි කළේය. 

එහි රඟ පෑ , සුබාව ධාරාගෙන් පැහැරගත් වෙළෙන්දා පිළිබඳව මගේ සිතේ මහා තරහක් පිළිකුලක් ඇතිවූවත්, සිනමා පටය අවසානයේ ඔහු සුබාව විවාහ කරගෙන ඇයට සියලුම සැපසම්පත් ලබාදුන් නිසා ඒ අමනාපය මදක් සමනය විය. 

වෙළෙන්දා ලෙස රඟපෑවේ සොඳුරැ කඩවසම් නළුවෙකි. ඔහු ටෝනි රණසිංහ බව මා දැනගත්තේ තාත්තාගෙනි. ඉන් බොහෝ කලකට පසු ඔහුම තවත් වෙළෙන්දෙකු ලෙස රඟපෑවේය. ඒ වැනීසියේ වෙළෙන්දා වේදිකා නාට්යයේ වැනීසියේ වෙළෙන්දා ලෙසයි. 

රණසිංහ හෙට්ටිආරච්චලාගේ අග්නට්ස් ඇන්තනී සිල්වා ඔහුගේ උප්පැන්නයේ තිබූ නමයි. එහෙත් ඔහු ශ්රී ලාංකීය ප්රේක්ෂක ප්රජාවේ ආදරය දිනා ගත්තේ ටෝනි රණසිංහ නමිනි. ඔහු කාගේත් සදාදරණීය ටෝනි විය. 

1937 ඇසළ මස 31 වෙනිදා මෝදරදී මෙලොව එළිය දුටු ටෝනි වත්තල ශාන්ත ආනා සහ මෝදර De Lasalle කොලීජියෙන් අධ්යාපනය ලැබීය. 

1963 දී රන් තෝඩු නම්වූ වේදිකා නාට්යයෙන් කරළියට පිවිසි මෙතූමා ඒ වසරේ හොඳම වේදිකා නළුවාට හිමි Governor General 's සම්මානය පවා දිනා ගැනීමට සමත් වූහ. 

ඉන්පසු 1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ ගම්පෙරළිය සිනමා පටයේ බලදාසගේ භූමිකාව රඟමින් සිංහල සිනමාවේ අත්පොත තැබීය. 

පීරිස් සූරීන්ගේම සිනමා නිර්මාණ වූ රණසලු හා දෙලොවක් අතර යන චිත්රපට සඳහාද ටෝනි රණසිංහයන්ව තෝරා ගැනීමෙන් එතුමා ටෝනිගේ රංඟනය ගැන කෙතරම් පැහැදී සිටියේදැයි යන්න අපට සිතාගත හැක. 

රඟපෑම උපතින්ම ගෙනා ටෝනි සිංහල රිදී තිරය ඒකාලෝක කළේ සම්මාන රාශියක්ද දිනා ගනිමිනි. 

1966 දී පරසතුමල් චිත්රපටයේ රඟපෑ අතිවිශිෂ්ට රංගනය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි සරසවි සම්මානයෙන් පිදුම් ලැබීය. 

ඉන්වසර තුනකට පසු 1969 දී හන්තානේ කතාව චිත්රපටයේ කළ රංගනයට හොඳම නළුවාට හිමි සරසවි සම්මානය දිනා ගැනීමෙන්ම එතුමා කෙතරම් දක්ෂයෙකුද යන වග අපට පෙනී යයි. 

ඉන්පසු 1976 දී දුහුළු මලක් හා 1979 දී අහසින් පොළොවට යන චිත්රපට සඳහාද එතුමා වසරේ හොඳම නළුවා සම්මානය දිනා ගත්හ. 

1980 ගඟ අද්දර හා 1993 දී සප්ත කන්යා යන චිත්රපටවලද එතුමාගේ ප්රතිභාපූර්ණ රංගනයන් කැපී පෙනුණි. මීට අමතරව තවත් උසස් හා ජනප්රිය සිංහල සිනමා රාශියකටද එතුමාගේ රංගන දායකත්වය සැපයීය. 

අති දක්ෂ තිර නාටක රචකයෙකූද වූ ටෝනි රණසිංහයෝ වසරේ හොඳම තිරරචනය සඳහා වූ සරසවි සම්මානය එතුමා තිරරචන ලියූ කොටි වලිගය, කෙලිමඩල, අවරගිර හා පවුරැ වළලු යන සිනමා පට වෙනුවෙන් දිනාගැනීමෙන්ම ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමථ යන කියමන කඩා බිඳ දැම්මේය. 

එතනින්ද නොනැවතුණු එතුමා අති දක්ෂ පරිවර්තකයෙකුද විය. එතුමා පරිවර්තනය කොට නාට්ය පිටපත් ලියූ මහා කවි විලියම් ශේක්ස්පියර්ගේ දොළොස්වැනි රැය, වැනීසියේ වෙළෙන්ඳා සහ ජූලියස් සීසර් යන නාට්ය රසික සිත් සතන් මත්කරලීමට සමත් විය. 

එතුමා වැනීසියේ වෙළෙන්ඳාහී කළ රංගනය ප්රේක්ෂක හදවත් තුළ සඳා නොමැකෙන මතකයක් එක් කිරීමට සමත්කළේ එහි තිබූ ජීව ගුණයත් දෙබස්වල තිබූ අපේ කමත් නිසාය. 

ඒත් අද හිමිදිරියේ ඒ සියල්ල අවසන් විය. ඒ එතුමාත් ඒ ගමන අපව තනිකොට යන්නට ගිය හෙයිනි. 

මට දැනෙන්නේ මහා පසුතැවිල්ලකි. මට එතුමා ගැන ජීවත්ව සිටියදී ලියන්නට නොහැකිවිය. ඔවුන් අපව හැරදා යන්නට පටන් ගෙන ඇත. 

මිය ගිය පසුව නොව ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත මැයෙන් මේ කලා ලෝකයේ වීරයන් ගැන ලිවීම මා ඇරඹුවේ පසුගිය සතියේය. මගේ පුංචි සටහන් පොතේ අංක පහ යොදා ටෝනි රණසිංහ නමට වෙන් කළ පිටුව මට නැවත මේ ආත්මයේදීනම් ලිවිය නොහැකිවනු ඇත. 

සදාදරණීය ටෝනි, ඔබ අප හැර ගියද ඔබ අප සමඟ , අප වෙනුවෙන් තබා ගිය දෑ බෙහෝය. මේ ගමන කෙදිනක හෝ අප සැමම යායුතුමය. 

මේ සසර කතරේ දිනෙක අප නැවත හමුවන තුරැ ඔබට සුබ රාත්රියක්!



චිත්රපට හා තිරගත වූ වසර ඇතුළු සමහර තොරතුරැ සහ ඡායාරෑප අන්තර් ජාලයෙන් ලබාගත් බැව් කරැනාවෙන් සලකන්න. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Wednesday, 10 June 2015

මිය ගිය පසුව නොව ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත 1 - විමල් කුමාර ද කොස්තා.....



මට මතක හැටියට ඒ 1974 හෝ 1975 වසර වන්නට ඇත. එවසරේ එක්තරා සැන්දෑවක අනුරාධපුර මහජන ක්රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට තාත්තා මා කැටුව ගිය හැටි යාන්තමට මෙන් මතකය. 

එච් ආර් ජෝතිපාලයන් වේදිකාවෙන් නොබැස සින්දු ගණනාවක් කියු හැටිත් බෙග් මාස්ටර් අතේ රඳවාගත් කොළ මිටියක් දෙස බලාගෙන ඉතා ගැඹුරැ හඬින් එතුමාගේ ගීත ගැයූ අන්දමත් තව තව නොයෙකුත් ගායකයන් ගීත ගයන අයුරැත් තාත්තගේ අතේ එල්ලී මම මුව ආයාගෙන බලා සිටියෙමි. 

මේ අතර මට මතක හැටියට මංගල ප්රේමදාස නම් ශිල්පියෙක් තම කට හඬ යොදාගෙන විවධ සතුන්ගේ , කුරැල්ලන්ගේ හා වාහන වල ශබ්ද මැවීය. මම මෙය බලා මහත් සේ තුටු වුණෙමි. ඔහු කළ සමහර ශබ්දයනට වැඩිහිටියන් බොහෝසේ සිනහ සැලුවත් මට ඒ ඇයිදැයි වැටහීමක් නොවුණි. 

ඔහු වේදිකාවෙන් බැස ගිය පසු තව ගායකයෝ කිහිප දෙනෙකු ගී ගැයූ අතර නිවේදකයා ඉන්පසුව වේදිකාවට හඳුන්වා දුන්නේ අමුතුම පුද්ගලයෙකි. 

ඔහුගේ මුහුණෙහි ඇස් දෙක ඉතිරි කොට සුදු සායම් ආලේප කොට තිබිණි. සුදු පැහැති අත් වැසුම් වලින් දෑත් වැසී තිබිණි.

ඔහුගේ නම මට හරියට ඇසුණේ නැති අතර නිවේදකයා ඔහු අභිරෑපන රංගනයක් ( miming) කිරීමට යන බැව් පැවසීය. එවෙලේ ඒ වචනය නොතේරැනත් ඔහුගේ රංගනය නරඹා තුටු වූ දස දහසක් රසිකයන් අතරේ සතුටු වන අතරම එහි තේරැම කිසිම කතාවක් නොමැතිව රංගනයෙන් පමණක් තමන්ගේ හැගීම් ඉදිරිපත් කරන බව දැනගතිමි. 

ඒ ශිල්පියා ඒ කාරිය ඉතාම මැනවින් අති දක්ෂ ලෙස කළබව මට මතකය. 

ඉන්පසුව මා ඔහු දුටුවේ අපේ ටයි මහත්තයා එහෙම නැතිනම් ටයිටස් තොටවත්තය්ගේ මරැවා සමඟ වාසේ චිත්රපටයෙනි. 

එහිදී සිරිපාල නොහොත් මරැ සිරාගේ මිතුරාවූ ලයනල්ගේ චරිතය ඔහු විශිෂ්ට ලෙස රඟපෑවේය. 

මෙහි එක් ජවනිකාවක ඔහු විදේශිකයනට මග පෙන්වන්නකු ( guid) වශයෙන් කළ හාස්යය මුසුවූ ප්රතිභාපූර්ණ රංගනය, ඔහු මගේ හදවතේ ඉහළම තැනෙක තැබීමට සමත් විය. 

ඒ දෙබස් තවම මට මතකය. " you know Anuradhapura ? .....big city ... You know kadol atha?..... Very big elephant. Dutugamunu coming. Elara coming .....big fight. " ඔහු මේවා කියූවේ එහාට මෙහාට පනිමින් මේ අවස්ථාවන් රඟ දක්වා පෙන්වමිනි. 

තව තවත් අටුවා ටිකා ලියා මම ඔබ වෙහෙසට පත් නොකරමි. මේ වෙන කිසිවකුත් නොව ප්රවීණ රංගධර විමල් කුමාර ද කොස්තා නම් වන්නේය. 

1948 වසරේදී කැලණියේ උපන් විමල් කුමාර ද කොස්තා අධ්යාපනය ලැබුවේ කැලණියේ ගුරැකුලයෙනි. 

ඔහු මෙන්ම කැලණි පුරවරයෙන් කළා ලෝකයට පෑයු මාලනී ෆොන්සේකා, එච් ඩී ප්රේමරත්න, පතිරාජ එල් එස් දයානන්ද හා ඩොනල්ඩ් කරැණාරත්න යන කලාකරැවන්ද කැලණියේ ගුරැකුලයේම සිසු සිසුවියන් වූහ. 

අභිරෑපන රංග කලාවේ ( Art of Mime) ඉතා විශිෂ්ටව යෙදුණු අපේ කතා නායකයා මුලින්ම ප්රසිද්ධ වේදිකාවට පිවිසියේ ඒ හරහා කියුවොත් නිවැරදිය. 

ගාමිණී හත්තෙට්ටුවේගම, ආචාර්ය ධර්මසේන පතිරාජ, සරත් කැල්ලපන හා බන්දුල විතානගේ යන අධ්යක්ෂකවරැන්ගේ නිර්මාණයන්වූ  ' පෙම්වතා','ඡායාරෑප ශිල්පියා, චාලි චැප්ලින්,ඉණිමඟ, මඟියෙක් හා ආදරයේ වේදනාව යන අභිරෑපන නිර්මාණ වල රඟපෑවේ විමල් කුමාරද කොස්තාය. 

මේ හරහා වේදිකා නාට්ය වල රඟපෑමට වරම් ලද මේ තරැණ කළා ශිල්පියා සුගතපාල ද සිල්වාගේ දුන්න දුනු ගමුවේ නාට්යයේ රඟපෑම උදෙසා 1973 රාජ්ය නාට්ය උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය පවා දිනා ගැනීමට සමත් විය. 

1969 දී ධර්මසේන පතිරාජයන්ගේ සතුරෝ සහ ඇන්ඩෲ ජයමාන්නයන්ගේ සිගරට් කොටය යන කෙටි චිත්රපටවල රඟපාමින් සිනමාවේ අත් පොත් තැබීය. 

ඉන්පසුව එතුමාගේ ප්රථම වෘතාන්ත චිත්ර පටය ලෙස සිරිල් වික්රමයන්ගේ සිහින ලොවක් සිනමා පටයේ රඟ පෑවත් මුලින්ම තිරගත වූයේ වසන්ත ඔබේසේකරයන්ගේ වෙස්ගත්තෝ චිත්රපටයයි. ඒ 1970 වසරේදීය. 

ඉන්පසුව 1974 දී ධර්මසේන පතිරාජයන්ගේම විශිෂ්ට නිර්මාණයක් වූ අහස් ගව්ව චිත්රපටයේ රඟපෑවේය. මේ රඟපෑම සඳහා ගෞරව සහතික සම්මානකින් පවා පිදුම් ලැබීය. 



එතුමා ලැබූ දෙවැනි සම්මානය වූ හොඳම සහය නළුවා සම්මානය උමයංගනා චිත්රපටයේ කළ විශිෂ්ට රංගනයට හිමි විය. 

විමල් කුමාර ද කොස්තා ධර්මසේන පතිරාජයන්ගේ උසස් නිර්මාණ කිහිපයකටම එක්විය. 

1974 දී පතිරාජයන්ගේ අහස්ගව්ව සිනමාපටයේ රැකියාවිරහිත තරැණයකු ලෙසද ( ගුණේ) ,1977 දී පතිරාජයන්ගේම එයා දැන් ලොකු ළමයෙක් හී සිරිපාල නම්වූ රස්තියාදුකාරයා ලෙස සහ 1978 බඹරැ ඇවිත් හී වීරසේන නම්වූ විප්ලවවාදී තරැනයා යන එකකට එකක් වෙනස් වූ චරිත එතුමා රඟපෑ අපූරැව කෙලෙසනම් වචනයෙන් විස්තර කරන්නද? 

මේ අතරම ටයිටස් තොටවත්තයන්ගේ මරැවා සමඟ වාසේහී ලයනල් ,1979 සුනිල් ආරියරත්නයන්ගේ සරැංගලේ සිනමා පටයේ සයිමන් නම් කසිප්පු කාරයාගේ චරිතය,1980දී එක්ටැම් ගේ සහ 1981 දී ගාමිණී ෆොන්සේකාගේ සාගරයක් මැඳ යන චිත්රපටවල එතුමා රඟ දැක්වූ භූමිකා අග්රගණ්ය විය. 

සරැංගලේ චිත්රපටයේ දමිළ මහතකුගේ චරිතය රඟපෑ ගාමිණී ෆොන්සේකාගේ අසල්වාසියකු වූ සයිමන් ලෙස රඟ පෑ කොස්තාගේ ඒ සජීවී දෙබස් කාණ්ඩ මට අදටත් මතකය. ජාතිවාදී කලබල උත්සන්නවූ ඒ දිනයේ ටවුමට යන්න එපා යැයි කියා නඩරාජාට ඇති ගෞරවයට බෑගෑපත්වන සයිමන්ම නඩරාජා එය කනකට නොගෙන යනු දැක " අඩෝ මහත්තයා අද යන්න එපා" කියා කෑගසා කීය. ඒ දෙබස ඒ ආකාරයෙන්ම මට අද මතක නැතත් මුලු සිනමා ශාලාවම තුෂ්ණිම්භූත කිරීමට ඒ හඬ සමත්වූ බව නම් මට හොඳටම මතකය. 

අපගේ අවාසනාවට 70 සහ 80 දශකවල තිබූ සිනමාවේ ස්වර්ණම යුඟයට කණ කොකා හැඬීම 80 දශකයේ අගභාගයේ සිටම සිදුවිය. 

රෑපවාහිනියේ ආගමනය , රටේ ඇතිවූ සිවිල් යුද වාතාවරණය සහ භීෂණය මෙයට බොහෝසේ හේතු වූ අතර බොහෝ උසස් ගණයේ චිත්රපට අධ්යක්ෂකවරැද නිහඬවී පැත්තකට වූහ. 

1990 න් පසු කොස්තා මහත්තයාව යම් යම් වාණිජ සිනමා පට වල සුළු සුළු විහිළු චරිත වලට පමණක් යොදා ගැනුණි. ඒ මහා චරිතාංග නළුවකු අපට අහිමිවූයේ එලෙසිනි. 

එය අපේ අවාසනාවද රටේ වෙලාවද එසේත් නැතිනම් කොස්තා මහත්තයාගේ දෛවය දැයි මම නොදනිමි. ඒත් සිදුවූයේනම් එයයි. 

ඉන්පසුව මෑතකදී එතුමා හංස දඩයම,ගිගිරි වළලු හා සඳළුතලයේ ගීතිකාව වැනි ටෙලි නාට්ය කිහිපයක් තුළින් දැකගන්නට ලැබීම සතුටට කරැනකි. එහෙත් ලංකාවේ හරියට සේවයක් ලබා නොගෙන පැත්තකට කළ බොහෝ කලාකරැවන් ගොන්නට විමල් කුමාරද කොස්තා නම් ඒ අග්රගණ්ය අභිරෑපන ශිල්පියා, විකට සහ චරිතාංග නළුවාත් දමා ඇති බව මගේ හැගීමයි. 

අප තවත් පරක්කු නැත. එතුමාගෙන් හොඳ රංගනයන් බලා ගැනීමට තව නව නිර්මාණ බිහිවේවායි අප ප්රාර්ථනා කරමු. 

විමල් කුමාර ද කොස්තා මහතාණෙනි ඔබට චිරං ජයතු!!



චිත්රපට තිරගතවූ වසර ඇතුළු සමහර තොරතුරැ අන්තර්ජාලයෙන් ලබාගත් බැව් කරැණාවෙන් සලකන්න. 


චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Monday, 8 June 2015

මිය ගියාට පසුව නොව ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත - ප්‍රවේශය



වර්තමානයේ අන්තර්ජාලය, විශේෂයෙන්ම මුහුණු පොත ආදී මාධ්ය තරම් ප්රබල ජනසංනිවේදන මාධ්යයක් තවත් නැතිතරම්ය. පොත් , පත්තර, ගුවන්විදුලිය හෝ රෑපවාහිනිය හා සම්බන්ධ නොවූවත් දිනකට වරක් හෝ මුහුණු පොතට ගොඩනගින්නේ නැති අයෙකු සොයාගැනීම අවාරයට කජු පුහුලමක් සොයාගන්නවා වැනි අසීරැ කාරියකි. 

එහෙයින් මෙහෙව් ප්රබල මේ මාධ්යයේ කල නොහැකි දෙයක් නැත. 

යම්, සමාජයේ හොඳට හෝ නරකට නමක් දිනා සිටි පුද්ගලයෙකුගේ වියෝව මුලින්ම දැනෙන්නේ මුහුණු පොතටය. මමද ඇතුළු බොහෝ රචකයන්ගේ පන්හිඳ ඔවුන් ගැන ගුනගැයුම් හා ඇගැයීම් වලින් පිටු පුරවන්නේ එවිටය. 

මාත් මේ කාරියම කළ අතර ඒ ගැන බොහෝ සේ පසුතැවුණෙමි. ඒ නිසා මට හැකි පමණින් කලාවට විශේෂයෙන්ම මා කැමතිම විෂයන් වූ සිනමාව, සංගීතය, පුවත්පත් කලාව සහ සාහිත්යයට අනුපමේය සේවයක් කළ එහෙත් දැන් යම් යම් හේතූන් නිසා නිහඬ එමෙන්ම ජනතාව අමතක කොට ඇති පුද්ගලයින් ගැන පුංචි සටහන් තැබීමට තීරණය කළෙමි. 

මන්ද අප ඔවුන් කළාවූ මෙහෙවරට ණයගැතිවන අතරම ජාතියේ සම්පත්වූ ඔවුන්, ඔවුනගේ මුළු දිවියම කැපකළේ කලාවේ උන්නතිය නිසාම වන බැවිනි. මේ යන චාරිකාවේදී මා සමඟ සහෘද ඔබත් රැදී සිටිනු ඇතැයි මම හුදෙක්ම විශ්වාස කරමි. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Saturday, 6 June 2015

රැවන් වීරසේකරයන්ට ඔබගේ සහය අවශ්‍යයි.....



සුරතේ රැඳි වයලීනයේ මනරම් ස්වර මැවෙද්දී ඔහුගේ මධුර ශ්රාස්තීය හඬින් අප විසල් සතුටක් වින්ඳෙමු. 

රෑපවාහිනියේ විකාශනය වූ ඩෙල් ස්ටුඩියෝ ඇතුළු මෑතකාලයේ නිර්මාණය කෙරෑ සෑම සංගීත වැඩසටහනකම පාහේ ඔහුගේ දායකත්වය දක්නට ලැබිණි. 

ඉතාම දක්ෂ හා හුරැබුහුටු ලෙස වයලීනයේ තත් හැසිරවූ ඔහු ඒ අතරම හිසටම සවිකරගත් මයික්රෆෝනයෙන් සුන්දර හඬ රටා මැවීය. 

ජයන්ත චන්ද්රසිරියන්ගේ සමනලසංධ්වනියේ සංගීත ගුරැවරයා ලෙස රඟ පාමින් සිනමාවටද එක් වූයේය. 

එහෙත් මීට මාස දෙකකට පෙර එක්තරා අඳුරැ රැයක මේ සියල්ල වෙනස් විය. 

දෛවය ඉතාමත්ම කුරිරැ ලෙස මේ රැවන් වීරසේකර නම්වූ සොඳුරැ ගාන්දර්වයාට සලකා තිබිණි. 

රැදිරයේ සීනි ඌනතාවය නිසා ඇතිවූ රෝගි තත්වය යටතේ සිහි නැති දිඟු නින්දකට (Coma) වැටුණු ඔහු අදටත් එසේමය. 

කොළඹ ජාතික රෝහලේ පසුගිය සතියවනතුරැ නේවාසිකව සිටියත් ලැබුණු ගුණයක් නැත. රෝහලේ වූ අඩු පහසුකම් යටතේ ඔහු තව දුරටත් එහි රඳවා සිටීම ඔහුටද අපහසුවක් බව සැමටම තේරැණි. ඒ නිසා රැවන්ගේ දෙමාපියන් ඇතුළු පවුලේ උදවිය ඔහු නිවසට රැගෙන ගියේ ආයූර්වේද වැනි දේශීය වෛද්ය ක්රමයක පිහිට පැතීමට හෝ වෙන රටකට ඉංදියාවට හෝ සිංගප්පූරැවට හෝ ගෙන ගොස් ඔහුව රැක ගැනීමේ අරමුණෙනි. 

මම අද උදයේ රැවන් වීරසේකරයන්ගේ මවට දුරකථනයෙන් කතා කළෙමි. එතුමිය හැඬූ කඳුළින් පැවසූ ඒ අනුවේදනීය විස්තරය මා අසා සිටියේ ඉතා අසීරැවෙනි. 

වයස අවුරැදු 49 ක් වන මෙවන් දක්ෂතාපිරි තමන්ගේ පුතා කතාබහක් නැතිව නිසොල්මනේ ඇඳක උඩුබැලිව වැතිරසිටිනවා බලා සිටිය හැක්කේ මොන මෑණියන්ටද? අපට ඒ ගැන මෙතරම් දුකනම් ඔහු සමඟ මෙතුවක් කාලයක් දුක සතුට බෙදා ගත් ඔහුගේ දෙමාපියන් ඇතුළු පවුලේ උදවියගේ හදවත්වල ඇති වේඳනාව කෙසේ නම් වන්නට ඇතිද?

මම කඳුළු සඟවාගෙන එතුමියට ඇහුම්කන් දුනිමි. 

රැවන් ඇස් ඇර වටපිට බලන බවත්, ඈනුම් අරින බවත් හා ඔහුගේ මුලු ඇඟටම දැනීම තිබෙන බවත් වැඩිදුරටත් ඈ පැවසුවාය. දොස්තරවරැ ඔහුගේ කන් ඇසීමත් හොඳ බව පවසා තිබිණි. එහෙත් ඔහු නිසොල්මන්ය. වයලීනය වැයූ ඇඟිලි අඩපනය. ගී ගැයූ මුව ගොළුය. 

ඔහු දැනට ජීවත්වන දියර ආහාර සිරැරට ලැබෙන්නේ නාසයෙන් ඇතුළු කළ භටයකිනි. එය වැඩි කලක් තැබීම පෙනහලු වලට අනතුරැදායක බව වෛද්යවරැ පවසා ඇත. 

ඒ හෙයින් ඔහුට වැඩිදුර ප්රතිකාර සඳහා යොමුකිරීමට පෙර ශල්යකර්මයක් මගින් මෙම බටයක් උදරයටම සවිකිරීම ඉතාමත්ම ඉක්මනින් කළ යුතු බව අපගෙන් දැනට සිදුවිය යුත්තේ කුමක්දැයි මා ඇසූ පැනයට පිළිතුරැ දෙමින් එතුමිය පැවසුවාය. 

මේ සඳහා නවලෝක රෝහල වැනි පුද්ගලික රෝහලක නවත්වා මුලින්ම ඔහුගේ ලේ වල ඇති ප්රශ්නයකට( රැදිරය තුනීවී ඇත) පිළියම් කොට ඉන්පසු මෙම බටය සවි කිරීමට වෛද්යවරැ කටයුතු කරන්නට බලාපොරොත්තුවන බව එතුමිය වැඩිදුරටත් පැවසුවාය . 

දියර ආහාරම පමණක් නිසා රැවන් ඉතා දුර්වල තත්වයේ සිටින බවත් මෙම නව බටය උදරයටම සවිකළ පසු මදක් ඝන ආහාර පවා දෙන්නට හැකිබවත් ඈ පැවසුවේ ඉතාමත්ම බලාපොරොත්තු සහිතවය. 

මේ සඳහා සතියක් පමණ රෝහලේ සිටිය යුතු බවත් රැපියල් ලක්ෂ හතරක පමණ මුදලක් වැයවන බවත් දැනගන්නට ලැබුණේ රැවන්ගේ පියාණන්ගෙනි. කඳලු සඟවා හැගීම් හදවතේ සිරකරගෙන කතා කළත් එතුමාගේ කට හඬේ ඒ සියල්ලම ගැබ්වී තිබිණි. 

අප කුමක් කරමුද? දිනෙක අප ඔහුගේ වාදනයෙන් හා ගායනයෙන් සැනසුනෙමු. මෙම දක්ෂතා රැසකින් පිරිපුන් සුන්දර මිනිසා අපේ රටේ සම්පතකි. ඔහු රැක ගැනීමට උදව්වීම හදවත් ඇති මිනිසුන් වශයෙන් ඔබ අප සැමගේම යුතුකමක්ම නොවන්නේද?

අප සැමටම කරදර ඇතිබව මම දනිමි. කරදර එන්නෙද මිනිසුන්ටමය. ඒවාට එකතුවී උදව් කළ හැක්කේ සහ පිළියම් යෙදිය හැක්කේද මිනිසුන්ම වන අපටම පමණි. 

අපට මහා කාලයක් නැත. ඉක්මනින්ම යම් උදව්වක් කල යුතුවේ. අප සැම තම ශක්ති ප්රමාණයෙන් දායක වුවහොත් ඔවුනට මේ උපකාරය කළ හැකිවනු ඇත. තීරණය ඔබේය. 

සහෘද ඔබ යම් උදව්වක් කරන්නට මනාප නම් මට පණිවුඩයක් තබන ලෙස කලාවේ සහ මනුෂ්යත්වයේ නාමයෙන් අවසාන වශයෙන් ඔබ සැමගෙන්ම ඉල්ලා සිටින අතර අප සැවොම එකතු වී රැවන් වීරසේකරයන්ට ඉක්මන් සුවයද ප්රාර්ථනා කරමු!



චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Wednesday, 3 June 2015

රජ්ජුරැවෝ නික්ම ගියහ.......



" මම ළඟදි බැලුවා චිත්රපටි දෙකක්. සැනසුම කොතනද.....? , අල්ලපු ගෙදර.....!!" 

මේ දෙබස් ඛණ්ඩය මට මුලින්ම අසුනේ මීට වසර 25-30 කට පෙර ආර් ආර් සමරකෝන් සූරීන්ගේ කැලණි පාලම වේදිකා නාට්යයේ මැම්බර් මහත්තයාගේ මුවිණි. එදා මුළු ශාලාවම සිනා සයුරේ ගිල්වීමට ඒ දෙබස සමත් විය. ඇස් නටවමින් දෙපසට පැද්දෙමින් ඔහු කළ රංගනය ඇත්තම මෙම්බර මහතකුටත් වඩා විශිෂ්ට විය. 

වයසට යද්දී වැවී තිබූ සුදෝ සුදු රැවුල සහ කොටවෙන්නට කැපූ හිසකේ නිසා මට බොහෝවිට ඔහුව පෙනුණේ අපේ රටට අහිමි කළ අති පූජ්ය දිඹුලාගල නාහිමිපාණන් මෙනි. 

මේ වෙන කවුරැවත් නොව ප්රවීණ රංගධර ජේ එච් ජයවර්ධනයන්ය. එහෙත් මේ ලිපිය අද ලියන්නට වීම ගැන මම පසුතැවෙන අතරම ඉතාමත්ම ලැජ්ජාවටද පත් වෙමි. මන්ද එතුමා ජීවත්ව සිටිදී එතුමා ගැන යමක් ලියන්නට නොහැකිවීම නිසාවෙනි. 

බොහෝ කලාකරැවන් ගැන පසුගිය වතාවල ලියූවාක් මෙන් අදත් මට ලියන්නට සිදුව ඇත්තේ එතුමාගේ වියෝව පිළිබඳව වූ ඒ කවදා හෝ ලියන්නට වන ශෝකාත්මක ලිපියයි. 

ජේ එච් ජයවර්ධනය මහතාණනී ජීවත්ව සිටියදී යමක් නොලීවාට පළමු කොටම මට සමාවනු මැනවි. 

එතුමාව මුළු රටක්ම හඳුනාගත්තේ ගුවන් විදුලියේ ප්රචාරයවූ මොණරතැන්න ගුවන්විදුලි නාටකයේ රජ්ජුරැවෝ ලෙසිනි. 

එසේම වේදිකාව, සිනමාව සහ රෑපවාහිනිය යන සෑම මාධ්යකම තම රංග ප්රතිභාව විහිදුවාලන්නට එතුමා සමත් විය. 

මා මෙම ලිපිය ආරම්භ කළ දෙබස තිබූ කැලණි පාලමේ මැම්බර්ගේ චරිතයෙන් එතුමා රසික හදවත් අමන්දානන්දනයට පත් කළහ. 

1953 දී එදා රෑ සිනමා පටයෙන් ඇරඹි එතුමාගේ සිනමා දිවිය 2001 දී රඟපෑ වසන්තයේ කුණාටුවක් චිත්රපටයෙන් අවසන්වන විට එදා මෙදා තුර ඉතා විශිෂ්ටගණයේ චිත්රපට රාශියකට තම ප්රතිභාපූරණ රංගන දායකත්වය සැපයීමට සමත්ව තිබිණි. 

එච් ඩී ප්රේමරත්නයන්ගේ සෙයිලම හා සප්ත කන්යා, වසන්ත ඔබේසේකරයන්ගේ දඩයම, ධර්මසිරි බංඩාරනායකයන්ගේ හංසවිලක් හා සුද්දිලාගේ කතාව, පරාක්රම නිරිඇල්ලයන්ගේ අයෝමා, ධර්මසේන පතිරාජයන්ගේ සොල්දාදු උන්නැහේ සහ ඩී බී නිහාල්සිංහයන්ගේ මල්දෙණියේ සිමියොං යන චිත්රපට එතුමා රඟපෑ විශිෂ්ට සිනමාපට පොකුරෙන් කිහිපයක් පමණි. 

එතුමා 1992 දී Spies Inc නම් ඇමෙරිකානු චිත්රපටයේ බෞද්ධ භික්ෂුවකගේ චරිතයකට පණ පොවමින් අන්තර්ජාතික සිනමාවටද එක්වීමට එතුමාට හැකි විය. 

පුංචි තිරයේද බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ චරිත ඇතුළු තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් ජීවමාන කරමින් එතුමා රඟපෑවේය. ඇස් කරකවමින් , මුහුණේ මස්පිඩු පෙරළමින් හා අත පය සතරඅත විහිදුවමින් එතුමා කළ රංගනය කළ හැක්කේ වෙන නම් කාහටද? එහෙත් අදින් පසු අපට ඒවා ජීවමානව බලාගත නොහැකිවනු ඇත. 

ඔහුත් පොසොන් සඳ බැස යන්නටත් මත්තෙන් අපේ දිවියෙන් බැස ගොහිනි. 

ආදරණීය පියාණනි , සහෘද කලාකරැවාණනි දිනෙක අප නැවත හමුවෙන තුරැ ඔබට සුබ ගමන්!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Tuesday, 2 June 2015

අදට යෙදී ඇති රත්න ශ්‍රී විජේසිංහ කවියාණන්ගේ ජන්ම සංවත්සරය වෙනුවෙනි......



අතු ඉති පැතිරෑ මහ වෘක්ෂය ඔබ සෙවණෙහි සිසිලස විඳ ගනිමී
ගස යට පොඩි පැල හොඳින් වැඩෙන්නට හිරැ එළියත් ඔබ වග දනිමී
දකුණු ලකින් බිහිවී මුළු රට දිනු මැණිකක් බව බැතියෙන් කියමී
ගුණ කඳ වනමින් කවියක් ලියුමට සුදුසුම පද තවමත් සොයමී

මැති ඇමතින් නොව කම්කරැවන් ගැන ඔබෙ පන්හිඳ නිරතුරැ ලිව්වේ
මාළිඟ මගහැර පැල්පත්වල සුබ සිහිනය සැමවිටකම මැව්වේ
සඳ සාවිය සහ මල් මකරන්දය ආතුර හද රැඳි ගිනි නිව්වේ
සරතැස මකනා දිය දෝතකි ඔබ සැම කරවෙන මේ මහ අව්වේ

ඔබගේ නිර්මල දිවිමං තලයේ තව වසරක් මේ ලෙස ගෙවුණී
කරනා සේවයෙ වටිනාකම හැම වරැවෙම මහ ඉහළින් දැනුනී
වසලයො දින දින ඇඳුරන් වෙන සඳ ඔබෙ නම එහි නැති බව පෙනුනී
එනමුදු රත්න ශ්රී යන නාමය ජන හද තුළ ඉහළින් රැඳුණී. 

මහා කවියාණනී ඔබට චිරං ජයතූ!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය