Pages

Wednesday, 29 April 2020

අපෙන් සමුගත් "සරදියෙල්ගෙ පුතා"





මට හරියටම දිනය මතක නැතත් ඒ හැත්තෑවේ දශකයේ මැඳභාගයෙ දිනෙක සැන්ඳෑයාමයවිය. බොහෝදුරට 1976 වසර වන්නට ඇත.එදා අපගේ ඥාති සොයුරකු වූ ' උක්කුං අයියා' චිත්‍රපටයක් බලන්න යමුදැයි මගෙන් විමසුවේ මා නොසිතූ නිමේෂයකය. එකල මා වයස අවුරුදු8ක පමණ කුඩා කොළු ගැටයකු වූවද චිත්‍රපට බැලීමේ පිස්සුව නම් මදි නොකියන්නට මගේඉහමොළ තුළටම කාවැදී තිබිණි. එහෙයින් යෝජනාවට එකපයින් කැමති වූ මම අම්මාටපිංසේන්ඩු වී ඇගේ කැමැත්ත ගන්නට සමත් වීමි. ඊළඟ ප්‍රශ්ණය වූයේ ප්‍රවේශපත්‍ර ගැනීමට මුදල්සොයා ගැනීමය.එකල රැකියාවක් නොකල උක්කුං අයියා ළඟ මුදල් තිබුණේ නැත. මේ ගැනදසඅතේ කල්පනාකරමින් ලතවෙවී සිටිනාවිට මගේ වාසනාවට අපේ තාත්තා ටිකක් වේලපහින්නිවසට ගොඩ වූයේය. ඔහු හීනියට මධුවිතකින් සප්පායම් වී ඇති හැඩක් මට දුරටම පෙනුනි. මුදල් ඉල්ලීමට මීට වඩා තවත් හොඳ අවස්ථාවක් නොමැතිබව මට සිහිවූයේ එවිටය. චිත්‍රපටිනැරඹීමට කිසි විටෙක තහංචි නොදැම්ම අපේ තාත්තාගෙන් මුදළක් කොටා ගැනීම ඔහු මධුවිතටිකක් තොළගා සිටින මොහොතක තවත් පහසුබව මා අත්දැකීමෙන්ම දැන සිටීම එයට හේතුවවිය.

චිත්‍රපටය කුමක්දැයි අසා ඔහු අප දෙදෙනාට ප්‍රවේශපත්‍රවලට පමණක් නොව අයිස් චොක්‍ස්දෙකක රස බැලීමට පවා ඇතිවෙන තරමේ මුදලක් මා අත තැබුවේ, ඉතා ලෙංගතුව මගේපිටටත් තට්ටුවක් දමමිනි. 

වහා ඇඳ පැළඳගත් අප දෙදෙන උක්කුං අයියාගේ බයිසිකලයෙන් අනුරාධපුරයේ නිව් විජේන්ද්‍රාශාලාව බලා ඉගිළුනෙමු. එවිට වෙලාව සවස 6ට ආසන්නව තිබිණි. සැදෑ අන්ධකාරය මදින්මදඅනුරාධපුර නඟරය ගිල ගනිද්දී අප පොලීසිය පසුකර පිම්මේ මාර්කට් ටවුමට බයිසිකල පැද්දෙමු. පොලීසිය අවට පොල් ගස්වල අතු වැහෙන්නම පිරී උන් ගිරවුන් නැඟූ සවන් විනිවිදයන හඬ මටඇසුනේ කණ්කලු ගීතයක් මෙනි. 

නිව් විජේන්ද්‍රා සිනමාහලේ තිබූ දිඟු පෝලිම අපට දුරටම පෙනුනි. වහා බයිසිකලය සයිකල් ගාලේනවත්වා පෝලිමට එක්වූයේ ටිකට් ඉවරවේවිදෝ යන බියෙනි. එහෙත් වාසනාව අප අත විය. නොවිසිලිමත් විනාඩි කිහිපයකින් පසු අප සිටියේ සිනමා ශාලාව තුළය.

හින්දී ගීත අවසන් වී ආලෝකය නිවී ගොස් සිනමාපටය තිරයේ දිඟහැරෙන්නට විය. යමෙකුඑල්ලා මරන්නට සූදානම්වන අන්දම සහ එම වරදකරුවාගේ බිරිඳ සහ කුඩා පුතණුවන්වැළපෙන අන්දම තිරයේ දිස් වුණි. ඉන්පසු තිරය මත පතිත වූයේ සිනමාපටයේ නමයි. එය " සරදියෙල්ගෙ පුතා" විය. 

මා මේ වැල්වටාරම් ලියමින් ඔබ වෙහෙසට පත්කළානම් මට සමාවෙන්න. මේ සටහන ලිවීමටපාදක වූයේ අද උදෑසන මගේ ඇස ගැටුණු හද කකියවන පුවතයි. එනම් සිංහල රිදී තිරයබැබලවූ දක්ෂ සටන් නලුවකුගේ නික්මයාමයි. ඔහුට තිබුණේ එසේ මෙසේ නමක් නොවීය. මහාඅධිරාජ්‍යයකුගේ නමකි. ඔහුගේ උප්පරන්නයේ තිබූ නම වූයේ ජෝෂෆ් මැනුවෙල් ඇලෙක්සැන්ඩර්ප්‍රණාන්දු යන්නයි. ඒත් ඔබ අපි කවුරුත් එතුමන්ම හඳුනාගෙන සිටියේ ඇලෙක්සැන්ඩර් ප්‍රණාන්දුනමිනි. සිංහල සිනමාවේ අතිදක්ෂ සටන් නලුවකු හා දුෂ්ඨයාගේ චරිතය පණපෙවූ ඔහු සිංහලසිනමාපට 120 කට වඩා අධික සංඛාවකට තම රංඟනදායකත්ව සපයා තිබිණි. ඔහු රඟපෑදමිළ සිනමාපට හයක් වූ අතර එක් ඉංග්‍රීසි චිත්‍රපටයකද  රඟපෑවේය.

මා ඔහු මුළින්ම දුටුවේ එදා උක්කුං අයියා සමඟ නිව් විජේන්ද්‍රා සිනමා ශාලාවේ නැරඹූ"සරදියල්ගේ පුතා" සිනමාපටයෙනි. එහි වීරයා වූ ඔහු වළක් තුළ වළහකු සමඟ සටන් කොටජයගන්නා ජවනිකාව ශාලාව දෙවනත් කරමින් කොල්ලන් ගැසූ විසිල් හඬ මධ්‍යයේ නැරඹූ අන්දමමට අද මෙන් මතකය. එහි වූ " අයියාට අපී ආදරේ" ගීතය ළමුන් කණ්ඩායමක් ඔහු සමඟ ගයනඅන්දම මේ දැන්ද ඇසෙන්නාක් සේය. එකල නාඹර කොල්ලකු වූ ඇලෙක්සැන්ඩර් ප්‍රණාන්දු නම්නලුවාට මං පෙම් බඳින්නට පටන්ගත්තේ එදාය. 

මා එතුමන් පළමුවරට දුටුවේ එදින උවද එතුමන්ගේ සිනමා දිවිය ඇරඹී තිබුණේ 1963 වසරේදීය. ඒ " වෙන ස්වර්ගයක් කුමටද" සිනමාපටයේ රඟපාමිනි. ඉන්පසු බොහෝ චිත්‍රපටවලරඟපෑ එතුමන් සූරයන්ගෙත් සූරයා, දැන් මතකද, ආත්ම පූජා, ඔහොම හොඳද, හාර ලක්ෂය, හතරදෙනාම සූරයෝ, ආදරේ හිතෙනව දැක්කම,එදත් සූරයා අදත් සූරයා,සිංගපූර් චාලි, මාතරආච්චි, තුෂාරා, හොඳම වෙලාව, අහස් ගව්ව, සහයට ඩැනී, හිත හොඳ මිනිහෙක්,රජගෙදරපරවියෝ, සිකුරුලියා, කවුද රජා, හරිම බඩු තුනක්, ශ්‍රීමධාරා,හරියනකොට ඔහොම තමයි, හිතුවොත් හිතුවාමයි, යකඩයා,සෙලිනගෙ වලව්ව,සවුදං ජෙමා, රක්තා, මැණික් මාළිඟා, බට්ටී, චන්නයි කෙල්ලො දෙන්නයි, මල්දෙණියෙ සිමියොං, බදුළු කෝච්චිය ආදී ඉතාමත් ජනප්‍රිය වූසිනමාපට ඇතුළු තවත් සිනමාපට රාශියක 1963 සිට 2011 දක්වාම රඟ පෑවේය. 

රිදී තිරයේ පතාක යෝධයින් වූ ගාමිණී ෆොන්සේකා, විජය, ජෝ මහත්තයා, රවීන්ද්‍ර, කලංසූරිය , රොබින්, රෙක්ස් කොඩිප්පිලි ආදී මෙකී නොකී නලුවන් සමඟ සහ මාලනී, ස්වරණා ආදී සෑමනිළියකම සමඟම ද මෙතුමන්ට රඟපෑමට අවස්ථාව උදා විය.

තිරයේ බොහෝවිට දුෂ්ඨයාගේ ජවනිකාව නිරූපනය කළ ඇලෙක්සැන්ඩර් ප්‍රේක්ෂකයින්අප්‍රියකරන , ඔවුන්ගේ වෛරයට බඳුන්වන චරිතයක් විය.ඔහුට බොහෝවිට සිදුවූයේ වීරයාපොරක් කොට ගුටිකා බලුවීමටය. එහෙත් ඔහු ප්‍රගුණ කර තිබූ සටන්ක්‍රම සහ ඔහුගේ හැකියාවඅණුව සිනමාපටයේ නොව සැබෑවට ගුස්තියක් ඇලුවානම් රිදී තිරයේ වීරයන්ට දුවනතුරු පහරදීමට ඔහුට අපහසුවක් නොවනු ඇත. එහෙත් අධ්‍යක්ෂකවරුන්ගේ උවමනාවට ඔහු හැමදාමගුටි කෑවේය. එහෙත් ඒ බහුතරයක් ගුටි කෑ චරිත අතුරින් මගේ හදවතේ ලැඟුම් ගත්සරදියෙල්ගේ පුතාහී වීරයා වශයෙන් ඔහුව මම සැමදාම සිතේ තියා ගනිමි. 

එදා එකම චරිතයකට කොටු වී දුෂ්ඨයකුම ලෙස තම රංඟ දිවිය ගෙවූවද ඔහුගේ තිබූ අනෙක්රංඟන හැකියාවන් පිටතට ගැනීමට කවරෙකුත් උත්සහ කළේද යන්න සැක සහිතය. එමහැකියාවන් ඔහුත් සමඟම අද සැඟැවීයන්නට ඇත. 

අද ඔහු මෙලොව නැත. ඒත් එදා නිව් විජේන්ද්‍රා සිනමා හළේ, මකුණන් ගහන පුටුවකට බරවීඋන්ගේ කුරිරු හිංසනයෙන් බේරීමට කලිසම් කොටය ඉදිරියට අදිමින් එතුමන් වීරයෙකු ලෙසවළහා සමඟ සටන්කොට ජයගත් මොහොත නැරඹු අන්දම  මම හදවතේ අදද එලෙසින්මරඳවා ගනිමි.එදා ඇසූ " අයියාට අපී ආදරේ ගීතය" දස දහස්වාරයක් හදවතින් මුමුණමින් ඔබදුෂ්ඨයකු ලෙස නොව සරදියල්ගේ පුතා නම්වු මගේ හදවතේ වීරයා ලෙසින් සිහිකොට ඔබටනික්ම යාමට සමුදෙමි. නැවත දිනෙක මේ සසරේ අපි හමුවෙනතෙක් ඔබට සුබ රාත්‍රියක්!

මා සඳහන් කළ ගීතයට මෙතැනින්‍ සවන් දෙන්න. https://youtu.be/rject6C7Mxw


චන්දන ගුණසේකර

Saturday, 28 March 2020

අපට "අපේ කම" සිහිපත් කරදුන් කොරෝනා වයිරසය.....



මේ දිනවල ජාතියක්,ජම්මයක්, සමේ වර්ණයක් හෝ උස් පහත් භේදයකින් තොරව සෑමමිනිසකුගේම මුවඟ රැඳී ඇති පොදු මාතෘකාව නම් කොරෝනා වයිරසයයි. මේ තරමටම මුළුලෝකයම කැළඹු තවත් දෙයක් සිතා ගැනුමටවත් නොහැක. ඒ පිළිබඳව කතා නොකරන්නේ සතාසිව්පාවා සහ සොබා දහම පමණි. වෙනදා මෙන්ම හිරු පායා එයි. මදනල හමා යයි. මල් පිපෙයි. කුරුලු කූජන ඇසෙයි. රාත්‍රිය උදා වෙයි. සඳු සහ තරු අහස වසා ගනී. හුස්මක් කටක් නොගෙනහැල්මේ දිවූ මිනිසුන් සහ යාන වාහන පමණක් ඉසිඹුලමින් සිටියි. 

මංමාවත් මළ සොහොන් මෙන් පාළුවට ගොසිනි. ක්‍රීඩා තරඟ නැත. සංගීත සංදර්ශන නැත. අවන්හල් නැත. සොබා දහම සහ සතා සිව්පාවා තඹේකට මායිම් නොකළ මිනිසුන් පමණක්මරබියේ හැකිලී සැඟවී ගොසිනි. 

විද්‍යාව හා තාක්ෂණයෙන් පරතෙරටම ගිය ලෝකයේ බලවත් රටවල් මේ මොහොතේ අන්තඅසරණ තත්ත්වයට පත් වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව මරු විකලෙන් දඟලන බවදිනපතා වාර්ථාවන තොරතුරු කියාපායි. 

එම බලවත් රටවලට කෙසේ වෙතත් මගේ මව්බිම, මේ පුංචි ශ්‍රී ලංකාවට නම් මෙවැනි උවදුරුඅරුමයක් නොවේ. අපි විදේශීය ආක්‍රමණ වලින් බැට කෑ ජාතියක් වීමු. මැලේරියාව, වසූරිය, මහාමාරිය හා කොලරාව වැනි වසංගත රෝගයන්ගෙන් පීඩා විඳි ජනතාවක් වීමු. ජාතිවාදීකෝලහළ, ත්‍රස්තවාදී උවදුරු සහ රටේ උද්ගත වූ තරුණ නැඟිටීම් වලින් හෙම්බත් වූ පිරිසක්වීමු. 2004 වසරේ සුනාමි ව්‍යවසනයෙන් අපේ කොඳු නාරටිය කඩා බිඳ දැමිනි. එපමණක්ද, බෝමබ බිය, ගංවතුර, නායායෑම් සහ නියඟයද අපට එරෙහි වූ තවත් සතුරන් විය. 

එහෙත්‍ මේ හැම උදදුරක්ම පරදා අපි ජාතියක් වශයෙන් නැඟී සිටියෙමු. අද දවසේ යොවුන් වියේපසුවන අසූව දශකයේ මැඳ භාගයේ, අනූව දශකයේ හා නව සහශ්‍රකයේ උපන් බොහෝ පිරිසටඑදා අප විඳි ගැහැට පිළිබඳව එතරම්ම අවබෝධයක් නොමැත. අද ඔවුන් නිවෙස් තුළටම වීපරිස්සම් වුවහොත් මේ රෝග මාරයාගෙන් ගැලවීමේ සම්භාවිතාව ඉතා ඉහලය. එමෙන්ම අදඇති නවීන අන්තර්ජාල පහසුකම්, මුහුණු පොත වැනි සමාජ ජාලා හේතුවෙන් නිවසේ සිටියදඔවුනට මුළු ලෝකය සමඟම සැනෙකින් සම්බන්ධ වීමේ හැකියාවද ඇත. එදා අප නිවෙස් වලරැඳී සිටියේ මර බියෙනි. තනි තනියෙනි.අපට අන්තර්ජාල හෝ මුහුණු පොත් නොතිබිණි. කොටින්ම විදුලි බලය පවා තිබුණේ නැත. මරණය කොයි මොහොතේ හෝ පැමිණ අපකුදලාගෙන යාවිදෝයි නොදැන, තමන්ට හැකි උපරිමයෙන් අම්මලා තම්බා දුන් යමක් ගිලදමාඅප නිවෙස් තුළ තනිවූයේ පසුදාට නැගෙන හිරු දකින්නට පවා නොලැබේදෝයි යන සැකයෙන්හැම මොහොතේම මැරී මැරී උපදිමිනි. රාත්‍රියේ මැදියම ඇසෙන බල්ලකුගේ බිරීමක් හෝ සරසර හඬින් නැඟුනු ආගන්තුක අඩි ශබ්ධයක් අපේ ගත දිවූ රුධිරය සැනෙකින් ජලය බවට පත්කිරීමට සමත් විය. එහෙත් අප ජීවත් වුණෙමු. එහෙයින් මේ මොහොතේ මෙවැනි මරණ බියකින්තොරව නිවසට වී අන්තර්ජාලයෙන් ලොවම සමඟ සම්බන්ධ වෙමින් සමාජයෙන් භෞතිකවපමණක් වෙන් වී මෙලෙසින් සිටීම වෙස්වලා ගත් ආශීර්වාදයක් යැයි මට හැඟේ. ඒ මෙලෙසිනි. 

දවසේ පැය 24 පුරාම මුදල් ඉපැයීම සඳහා හැල්මේ දිවූ අපට මේ වයිරසය හේතුවෙන් හුස්මක්කටක් ගැනීමට මඟ පෑදී ඇත. නිවසේ උපන්තේකට වාඩි නොවූ මහා ධනස්කන්ධයක් වැයකොටමිළඳී ගත් සුව පහසු ආසන වල වාඩිවී රාත්‍රියේදී පමණක් යාන්තමට දුටු තම සැමියා හෝ බිරිඳසමඟ දොඩමළු වීමට අවස්ථාවක් උදා වී ඇත. ඉඳ හිටි දුටු දරුවන් සමඟ සතුටු සාමීචියේයෙදීමට හැකියාවක් ලැබී ඇත. තම ගෙවත්තේ ඇති, මෙතුවක් කල් නොදුටු ගහ කොළ හඳුනාගැනීමටද හැකි වී ඇත. එහෙයින් මෙය නම් සුන්දර දඬුවමක් නොවේද?

එසේම කොරෝනා වයිරසය , අප දැයේ අභාවයට යමින් තිබූ සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත හාහෙළ ඔසු පිළිබඳවද අපට සිහි කැඳවීමට සමත් වී ඇත්තේය. 

මුව පුරා ආයුබෝවන් යැයි පවසමින් දෑත් එක්කොට ආචාර කිරීමට පුරුදුව සිටි අප බටහිරටගැති වෙමින් අතට අත දී සිප වැළඳ ගැනීමට හුරු වූයේ අපේ එම පිරිසිදු හෙළ සිරිත අවඥාවටලක් කරමිනි. එලෙස ආචාර කරන්නා ගොඩේ බයියෙකු ලෙස බැහැර කරමිනි. එහෙත් අදඑංගලන්තයේ චාර්ල්ස් කුමාරයා පවා අපේ එම සිරිතට ගරු කළ බව රූපවාහිනීයේ දුටිමි.( ඔහුටකොරෝනා වැළඳීම වෙනම කතාවකි. ) 

අද මහා බරසාර ලෙසින් ඇසෙනා ' ස්වයං නීරෝධායනය' යන වචනය අපේ හෙළයන් නොදැනසිටින්නට ඇත. එහෙත් අප දෙයියන්ගේ ලෙඩ යැයි හැඳින් වූ, සරම්ප,පැපොළ හෝ කම්මුල්ගායවැනි බෝවන රෝගයක් යම් නිවසක අයෙකුට වැළඳුනු විට එදා අපේ මව්වරුන් කළේ කුමක්ද? ගොක් කොළ අත්තක් හෝ කොහොඹ අත්තක් කඩුල්ල ළඟින් එල්ලා මේ නිවසේ බෝවනරෝගියකු ඇති බවත් එහෙයින් පිටස්තර කිසිවෙකු ඇතුල්වීමෙන් වැලකී සිටීම යහපත් බවත් ඉතාඅහිංසක හා සුන්දර ආකාරයට සංඥාවකින් දැනුම් දීමයි. අද අපි පුන පුනා පවසන ස්වයංනීරෝධානය මෙයම නොවේද?

එදා අප විෂබීජ නැසුමට යොදාගත් කහ, කොහොඹ වැනි හෙළ ඔසු අද බටහිර වෛද්‍යවරුන්පවා අනුමත කරනවා නොවේද? එපමණක්ද කොත්තමල්ලී හා වෙනිවැල්ගැට වැනි හෙළ ඔසුතම්බා බීම ප්‍රතිශක්තිකරණ වැඩි කරවන දිව්‍ය ඔසු බව එදා ගම්මුන් දැන සිටියහ. ශීතකරණවල බහා සිසිල් කොට, අද ඇඟට දමා ගන්නා විස උඟුරට සිසිලක් ගෙන දුන්නද ගතටපොවන්නේ වසය. එහෙත් එදා තම්බා බිවු පොල්පළා, නීරමුල්ලිය, රණවරා හා බෙලි මල් වැනි දෑඋණුසුමට බිවූ පසු ගත සිසිල් කරන්නට සමත් විය. අප අමතක කළ මේ හෙළ ඔසු අද කරළියටගෙනාවේ කොරෝනා වයිරසයයි. 

එපමණක්ද, සිසිල් පරිසරයක හිඳ වැඩෙන්නට ප්‍රිය මෙම වයිරසය උගුර හා නාසය අවට දිනකිහිපයක් රැඳී සිටින්නේ අප සිරුරේ එම පෙදෙස් අනෙක් ස්ථානවලට වැඩියෙන් සිසිල් නිසා බැව්විශේෂඥ වෛද්‍යවරයකු පවසනු මම අසා සිටියෙමි. එහෙයින් බටහිර රටවල මිනිසුන් හිසකෙස්වියළීමට යොදා ගන්නා යන්ත්‍ර( Hair dryers) වලින් උගුර හා නාසය ප්‍රදේශ රත් කරගන්නේලු. එදා අපේ අම්මලා දෙහි කොළ දමා අපට දුම් ඇල්ලුවේ මේ බව දැනගෙන නොවේද? අප අමතකකොට අවඥාවෙන් බැලූ දුම් ඇල්ලීම නැවත අපට සිහිපත්‍ කර දුන්නේ කොරෝනා වයිරසයයි.

එමෙන්ම අත සේදීම අපට අරුමයක් නොවේ. අප හොඳ පිරිසිදු ජාතියක්‍ වීමු.  බටහිර මිනිසුන්මෙන් නොව කෑම හොඳින් අතින් අනා රසවත්ව භුක්ති විඳි අප කෑම කෑමට දකුණු අතත්, වැසිකිළි ගොස්‍ පිරිසිදු වීමට වම් අතත් පාවිච්චි කරන්නෙමු. එහෙයින් අත සේදීම අපේ සිරිතකි. ( එංගලන්තයේ අප සමඟ ගොඩනැඟිලි ඉඳිකිරීමේ යෙදෙන බහුතරයක් අයර්ලන්ත ජාතිකයින් තමදෑත් පිරිසිදු කරගන්නා අමන ක්‍රමය මට මේ මොහොතේ සිහිවේ. එය ලියද්දී පවා මට ඕක්කාරයගෙන දෙයි. ඔවුන් අත් පිරිසිදු කරගන්නේ, තුහ් තුහ් ගා තම දෑතට කෙළ ගසා අත් දෙක එකටඅතුල්ලා ගැනීමෙනි. ඉන්පසු යමෙකු හමු වූ විට අතට අත දෙන්නේද එම අතින්මය. අද දවසේමෙහි ඇති බැරෑරුම්කම ඔබට සිතා ගත හැක.)

ප්‍රතිශක්තිකරණය වැඩිකරන බොහෝ දෑ අපි පිසින ආහාරයේම අඩංගුය. අපේ අම්මලා ඒවායෙදුවේ මේ බැව් දැනගෙනය. එනම් ඉඟුරු , කහ, සුදු ලූණු, රතු ලූණු, දෙහි,තුණපහ සහකුළුබඩු වර්ගය. සුදු ලූණු ගඳ යැයි පවසමින් නොවළඳන සුද්දන්ගේ සිරුරට මේ හෙළ ඔසුඇතුල් වන්නෙ නැත. ඒවා අපට ලැබුණේ 'අපේ කමිනි.'

කොරෝනා වයිරසය නිසා අපට දැන් දැන් උදාවෙමින් පවතින තවත් යහපත් ප්‍රතිලාභ කිහිපයක්සඳහන් කොට මම මෙම ලිපිය අවසන් කරමි. ඉන් පළමු වැන්න තම ගෙවත්තේම යම්බවභෝගයක් වවා ගැනීමේ සිරිතයි. පුරාණයේ සිටම අපේ මව්වරු නිවසේ කහ පැළයක්, ඉඟුරුපැළයක්, මිරිස් ගහක් දෙකක්, බතල වැළක්, මඤ්ඤොක්කා ගස් කිහිපයක් වවා ගැනීමටපුරුදුව සිටියහ. ගෙවත්තේ වටයක් ගිය විට කුල්ලක් පිරෙන්නට පළා කොළ කඩා ගත හැකිවිය. පොල් ගසින් පොල් ලැබුණු අතර කෙසෙල්,අඹ, පේර හා ගස්ලබු ගස්වලින් අතුරුපස සැපයිනි.ඒඅතර බිලිං හා නමිනම් ගස්ද එමෙන්ම කොස් හා දෙල් ගස්ද තිබිණි. 1977 න් පසු පැමිණි විවෘතආර්ථිකයත් සමඟ අභාවයට ගිය මෙම ගෙවතු වගාව පිළිබඳව අද මිනිසුන්ට නැවත සිහිපත් වීඇත. 

මෙම ව්‍යවසනය මැඩලීමේදී උවමනා අත්‍යවශ්‍යම වෛද්‍ය ආම්පන්නයක් වන සංවාතකයන්( Ventilators) පිටරටින් ගෙන්වීම මෙතවක් කල් පැවති ක්‍රමයයි.එම එක යන්ත්‍රයක් සඳහා රුපියල්ලක්ෂ හතළිහක් පමණ වැයවන බව සහ ඒවා අප රටේම සාදා ගතහොත් එය ලක්ෂ 4 කින්පමණ නිමකරගත හැකිවන බව විශේෂඥ වෛද්‍යවරයකු පවසනු මම අසා සිටියෙමි. අප අදඒවා නිෂ්පාදනය කිරීම අරඹා ඇති බව දැන ගතිමි.මෙතරම් කලක් අප කළේ කුමක්ද? එමෙන්මඉංදියාවෙන් මෙතරම් කලක් විශාල මුදල් කන්දරාවක් නාස්ති කොට ගෙන්වූ බෙහෙත් අද අපමනිෂ්පාදන කිරීම අරඹා ඇත. අප ඒ ගැන නොසිතුවේ කුමන බලවේගයක් නිසාද? මේවා අපගෙන්උදුරා ගත්තේ මේ මජර දේශපාලන ක්‍රමය නොවේද? තමන්ගේ පොකට්ටුවට වැටෙනා කොමිස්මුඳළට අපේ රට නොරටට උගස් නොතිබුවා නම්, අද අප මේ වයිරසය හේතුවෙන් ඇරඹි නවනිෂ්පාදන අරඹන්නේ මීට බොහෝ කලකට පෙරය. 1977 දී අප පයින් ගැසුවේ මෙවැනික්‍රමවේදයකටය. අද අපි එහි ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටිමු. 

අපි මහා දාගැබ් , විසල් බුද්ධ ප්‍රතිමා හා මහා වැව් නිමවූ උදාර ජාතියකි. එදා සුද්දන් අපේ ඒඅභීත හෙළ උරුව ඉතා වංචනික ලෙස මොට කළහ. අපේ බත් හා බවභෝග වෙනුවට පාං සහපරිප්පු අපට හුරු කළහ. මත්පැන් මිනිසුන්ට පොවා ඉහ මොළ කා දැමූහ. අපේ නිෂ්පාදනහැකියාව,නිර්මාණ හැකියාව මොට කොට වහල්, නිහීන ජාතියක් බවට පෙරලූහ. සුද්දන් ගිය පසුබලයට පැමිණි ඔවුනට ගැති කළු සුද්දන් කළේද එයමය. 

දැන් අපි ජාතියක් වශයෙන් මහා විශාල සංධිස්ථානයකට එමෙන්ම හැරවුම් ලක්ෂයකට පැමිණසිටිමු. අප මීට පෙර පැමිණි විදේශ ආක්‍රමණ පරදා හිස එසෙව්වෙමු. ත්‍රස්තවාදය පරාජයකළෙමු. ස්වාභාවික විපත් හා ලෙඩ රෝග හමුවේ එකා මෙන් එකමුතුව අභීතව නැඟී සිටියෙමු. එදා අපට ඒ විපත් පැමිණෙද්දී අප සිටියේ තනිවමය.ලෝකයෙන් කොන්‍වීය.  එහෙත් අපි ඉන්ගොඩ ආවෙමු. අද මේ ව්‍යවසනය අපට පමණක් නොව මුළු ලොවටමය.ලෝකය හා සැසැඳීමේදීඅපේ පුංචි ලංකාව මෙයට එරෙහිව ගෙන යන සංග්‍රාමයේ ගව් ගණනක් ඉදිරියෙනි. අපි නැවතත්'අපි' වී සිටිමු. අමතක වී තිබූ හෙළ සිරිතට විරිතට, හෙළ උරුවට හුස්ම පිඹිමින් සිටිමු. අපි උතුම්බුද්ධ වචනය පිළිපදින, අන් ආගම් හා ජාතීන්ට ගරුකරන , අනෙකාගේ දුකට පිහිටවන උදාරජාතියක් බව දැන් දැන් සැමටම සිහිවෙමින් පවතින බව පෙනෙන්නට තිබෙන්නේ එහෙයිනි. අපිඑකට එක් වී මේ උවදුර පරාජය කරමු. හෙළ සිරිත් විරිත් නඟා සිටවමු. එකමුතු වෙමු. මේවයිරසය අපට ගෙනා වෙස්වලාගත් ආශීර්වාදය නම් එයයි. 

ඔබ සැමටම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

චන්දන ගුණසේකර( 28/03/2020 ලංඩනයේ සිට)