Pages

Wednesday 15 June 2016

සරුංගලේ........



මං පුංචි සංදියෙ අපේ තාත්තා මට සරුංගලයක් අරගෙන දෙන්න පොරොන්දු වුණා. එදා ඉදන් මම හීනෙන් පවා දැක්කෙ එක එක ජාතියෙ සරැංගල්. දවසක් මම පොතක් පිරෙනකන් සරුංගල් වල පිංතූර ඇන්ඳා. ඒත් තාත්තගෙ පොරොන්දුව දිනෙන් දිනම කල්ගියා. එය ඉටුවන පාටක් නොපෙනුණාම සරුංගල් සිහිනය මගේ හිතෙනුත් ටික ටික වියැකී යන්නට පටන් ගත්තා. 

ඔහොම ඉන්නකොට දවසක් හැන්දෑවෙ තාත්තා ගෙදර ආවේ මගේ සිහිනයත් ඔසවාගෙන. ඒක හරිම ලස්සන සරුංගලයක්. හරිම ලස්සන පාට සව් කොළ අලවලා ලස්සනම ලස්සන දිඟ රැළි දාලා තිබුණු එය මොණරෙක් වගේ ආඩම්බරයෙන් දිලිසුණා. 

මගේ ඇස් කඳුළින් පිරුණා. සතුටට. මම තාත්තව ඉඹගෙන ඉඹගෙන ගියා රටක් ලෝකයක් දිනුව වගේ. තාත්තා සරුංගලය මගෙ අතට දුන්නා. මම ඒක අතට ගත්තෙ හාමුදුරුවො තමන්ගෙ අතට දෙන ධාතු කරඬුව ඉතාම භක්තියෙන් අතට ගන්නා සැඳැහැවත් දායකයෙක් වගේ. හැබැයි තාත්තා සරුංගලය මගෙ අතට දෙන ගමන් එක දෙයක් කිව්වා. 

" සුද්දා( මම කලු උණත් තාත්තා මට කිව්වෙ සුද්දා කියල) මේක අද ලැබුණට කමක් නෑ මම හොඳ හයිය නූල් බෝලයක් හෙට ගෙනත් දෙනකන් උඩ යවන්න එපා. ඊටත් අද සුළඟත් සැරම සැරයි. ලොකු වැස්සකුත් එනවා. ඒ නිසා අද හවස නම් කොහොමවත් මේක එළියට ගන්න එපා" කියලා. 

මම හා කියලා ඔළුව හෙලෙව්වත් මට තිබුණෙ පුදුම කලබලයක්. මම සරුංගලය අතට ගත්තා විතරයි තාත්තාගෙ අවවාද එහෙමම අමතක වෙලා ගියා. සරුංගලය මගේ ඇස් වටා එලපු මායා දැලෙන් මට සුළඟෙ අධික සැර බවත් වැස්සක් එන බවත් නොපෙනී ගියා. 

තාත්තා එහෙම කියලා නාගන්න ගියා. මට ඉවසන්නම බෑ. පුදුම කලබලයක්. මම හිමිහිට මගෙ ළඟ තිබුණු වැඩිය ශක්තිමත් නැති පුංචි නූල් බෝලයත් අරගෙන ගෙදරින් පැනගත්තෙ අම්මටත් හොරෙන්. පළාතම කළු කරල තිබුණෙ. සුළං හැමුවෙ ගස් කොළං අඹරවාගෙන. ඒත් මට ඒ කිසි දෙයක් පෙනුණෙ නෑ. මම සරුංගලයත් අරගෙන පාර දිගේ දුවං ගියා. හුළඟට අහුවෙලා සරුංගලය උඩට නැංඟෙ හීයක වේගෙන්. සව් කොළ රැළි නැගෙන සද්දයට වැස්සෙ සද්දය හා සුළඟෙ සද්දය මට ඇහුණෙ නෑ. මට අහන්න උවමනාවක් තිබුණෙත් නෑ. මම ලෝකයම දිනුවා වගේ මගෙ ළඟ තිබුණ පුංචි නූල් බෝලය දිග හැර හැර සරුංගලයට තව තව ඈතට යන්න ඉඩ හැරියා. 

ඒත් එහෙම සතුටින් විනෝදයෙන් මට ඉන්න ලැබුණෙ පුංචි වෙලාවයි. හදිසියේම ඇදිල ආපු සැරම සැර සුළං පහරකින් මගේ පුංචි නූල කැඩිල ගිහින් සරුංගලය එක්ක තිබුණ මගේ සම්බන්ධය නැති කරල දැම්මා. මාව සිහින ලෝකයෙන් පියවි ලෝකයට වැටුණෙ එතකොට. සුළඟට අහුවුණු මගේ ලෝකය මගෙන් මිඳිල ඈතට ඇදිල යනවා බලාගෙන හිටපු මගේ දණහිස් පණ නැතිවෙලා පාරෙම මාව ඉන්ඳවුනා. 

කඳුළු පිරුණු දෑසින් මම දැක්කෙ පාරවල් දෙකකට එහායින් පිහිටි ගෙදරක වැටේ වවල තිබුණු උස ගසක මගේ සරුංගලය පැටලෙනවා. එතකොටම ඒ ගෙදර හිටපු මට වඩා ශක්තිමත් ළමයි දෙන්නෙක් එතනට දුවල කෙක්කක් දාලා මගේ සරුංගලය බිමට බාගන්නවා. එදා තමයි මට මුල් වරට දැණුනෙ තමන් පණ වගේ ආදරය කරන දෙයක් ඇස් පනාපිටම තමන්ට අහිමි වෙද්දී දැණෙන වේදනාව කොයි වගේද කියලා. මම පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා. 

" අනේ ඔය සරුංගලය මගේ. ඒක ගන්න එපා" ඒත් ඒ ආයාචනය කාටවත් ඇහුණෙ නෑ. සුළඟයි , වැස්සයි මගේ හඬ යටපත් කළා. මගෙ දෑසින් ගලා ගිය කඳුළු වැහි වතුරත් එක්ක එකතු වෙලා කම්මුල් දිගෙ ගලා ගියා. මම වැස්සෙ තෙතබරිවෙවී කඳුළු ඉවර වෙනකන් ඇඬුවා. හදවතේ ඇවිලුණු ගින්දර නිවන්න ඒ මහා වැස්සටත් බැරිවුණා. මම වැස්සෙ තෙමි තෙමී හිස් අතින් ගෙදර එනකොට තාත්තා හිටියෙ දොර ළඟ. තාත්තා මේ වෙච්චි හැමදේම බලාගෙන ඉඳල තියෙන බව මට තේරුණා. මගෙ හිතට පුදුම බයක් ආවෙ. දුකයි, බයයි , වැස්සෙ තෙමිලයි මාව වෙව්ලන්න පටන් ගත්තා. ඒත් තාත්තා මොකුත් කිව්වෙ නෑ. බැන්නෙත් නෑ. කිව්වෙ මෙච්චරයි. 

" සුද්දා ගෙට ගිහින් හොඳට ඔළුව පිහද ගන්න. අන්න අම්මා කෝපි එකක් හැඳුවා. අලුත් ඇඳුමක් දාගෙන ඒක බොන්න" 

එදා දවසට තාත්තා මට වෙන මොනවත් කිව්වෙ නෑ. මම කෑමත් නොකා නිදා ගත්තා. එදා රෑ තිස්සෙම මම හීනෙන් බය වුණා. මගෙ සරුංගලය ගත්තු කොල්ලො රාක්ෂයො වගේ ඇවිත් මාව බය කළා. මම රෑ තිස්සෙම කල්පනා කළා. කලබල වෙලා මම වරද්දගත්ත තැන මට සිහිවුණා. මම ආයිත් එහෙම කලබල වෙන්නෙ නෑ කියල හිතා ගත්තා. 

පහුවදා මම මේ සිද්ධිය අමතක කරන්න උත්සහ ගත්තත් දියේ ඔබාගෙන ඉන්න රබර් බෝලයක් දිය මතුපිටට එන්න දඟලනවා වගේ ඒකමයි මතක් වුණේ. 

මම එදා ගෙදර යනකොට තාත්තා ඒ වගේම සරුංගලයකුයි ශක්තිමත් නූල් බෝලයකුයි මට ගෙනත් තිබුණා. මගෙ හිතේ එහෙම පුංචි බලාපොරොත්තුවක් තිබුණත් තාත්තගෙ කීමට පිටින් මම වැඩ කළ නිසා ආයිත්නම් තාත්තා මට සරුංගලයක් ගෙනත් නොදෙයි කියලත් ඒගමන්ම හිතිලයි තිබුණෙ. මගේ දෑස් සතුටින් දැල්වුණා. 

එදා සුළි සුළගත් නැවතිලා පුංචි සියුමැලි සුළං කැරැල්ලක් හමමිනුයි තිබුණෙ. ඒත් මට සරුංගලය උඩ අරින්න බය හිතුණා. ආයෙත් මට ඒක නැතිවෙයි කියලා. ඒක නිසා එදා මම ඒක තුරුළු කරගෙන නිදා ගත්තා. 

තාත්තා මට එහෙම ඉන්න ඉඩ දුන්නා. මොකවත් කිව්වෙ නෑ. ඊට පස්සෙ අපි කෑම කාලා ඉවර උණාම මාව ළඟට අඩගහල මෙහෙම කිව්වා. 

" සුද්දා ඊයෙ ඔයාට ඒ සරුංගලය නැතිවුණේ ඔයාගෙ කලබලය නිසා. අපි දෙයක් කරන්න ඉස්සර දැනගන්න ඕනෙ ඒක හරියට කරන්න අවශ්ය සුදුසුම කළමනා සහ ආම්පන්න අපි ළඟ තියෙනවද කියලා. ඊයෙ ඔයාට ඒ සරුංගලය උඩ අරින්න තරම් ශක්තිමත් නූලක් තිබුණෙ නෑ. අනික තමයි ඒ වෙලාව සරුංගලය උඩ අරින්න සුදුසු වෙලාව හෝ වාතාවරණය නෙමෙයි. ඒකයි ඔයාට සරුංගලය නැතිවුණේ. ඒ සුදුසු වෙලාව ඔයාට දවසක එනවා. කලබල නොවී ඒ වෙලාව එනකන් ඔයා ඉවසන්න පුරුදු වෙන්න ඕනෙ. තේරුණානෙ. "

මම " ඔව් තාත්තෙ" කිව්වා. 

එතකොට තාත්තා ආදරයෙන් මගෙ ඔළුව අත ගාලා" හොඳ පුතා. ඉතිං අද ඔයාට සරුංගලය උඩ අරින්න සුදුසුම ආම්පන්න සහ ගැලපෙනම වාතාවරණය තිබිලත් ඔයා ඒක උඩ ඇරියෙ නෑ. සරුංගල තියෙන්නෙ උඩ අරින්න පුතා. ඒක තමයි සරුංගලේ ඉරණම. ඒ වගේම ඒක ලස්සනත් උඩ යනකොට. අපි විනෝද වෙන්නෙත් උඩ යනවා බලලා. ඒකෙන් අපට හිතට ගන්න පුළුවනි මහා විශාල දෙයක් පුතා. ඒක තමයි ඔයා අසීමිතව යම් දෙයකට ආදරය කරනවනම් ඒ ආදරය කරන දෙයට නිදහසේ සැරිසරන්න ඉඩ දෙන්න. බදාගෙන තුරුළු කරගන්නවට වඩා එතකොට ඇතිවන සුන්දරත්වය වැඩියි. මේ සරුංගලේ වගේ. ඒ වගෙම සැබෑ ආදරය කියන්නෙත් එක්තරා විදිහක අතහැරීමක්. පුතා ඒක හිතට ගත්තනම් මට ඒ ඇති"

මම පහුවෙනිද යාළුවෙක් එක්ක ගිහින් සරුංගලය උඩ ඇරියා. ළඟ තුරුළු කරගෙන හිටියට වඩා සතුටක් මම ලැබුවා මඳ සුළඟෙ පාවි පාවි යන සරුංගලය දිහා බලලා. පුදුම සුන්දරත්වයක් ඒකෙ තිබුණෙ. මගෙ යාළුවටත් මම තාත්තා මට කියපු දේවල් කිව්වා. 

මගෙ යාළුව ටිකක් කලාකාමී දර්ශනවාදියා. මිනිහ ගත් කටටම කියාපි " උඔ සරුංගලයට ආදරය නිසා නිදහසේ හැසිරෙන්න ඉඩ දෙනව කිව්වට නුලකින් ගැටගහල අල්ලගෙනනෙ ඉන්නෙ "කියල. 

මම එතකොට ඌට කිව්ව මෙහෙම. " ඒ පුංචි නූල කාටවත් පේන්නෙ නෑ මචං. සරුංගලේ තියෙන්නෙ අහසෙ. මම ඉන්නෙ පොළොවෙ. අපි ආදරය කරන දෙයට හදවතේ ඇති බැඳීම ඒ නූල වගේ. හදවතේ විතරයි. කාටවත් පේන්නෙ නෑ. අඩුම තරමෙ සරුංගලයටවත්....යාළුවා මගෙ දිහා උපේක්ෂාවෙන් බැළුවා. 

චන්දන ගුණසේකර

Tuesday 14 June 2016

" ඇගේ ඇස අග " ගැලරියේ ප්‍රේක්ෂකයෙකුගේ ඇසින්.....



නවීන තාක්ෂණයට හා අන්තර්ජාලයටත් එය අන්තර්ජාලයෙන් නැරඹීමට අවස්ථාව උදාකරදුන් අශෝක හඳගමයන්ටත් පිංසිදු වන්නට මට මේ ගෙවී ගිය සති අන්තයේ නිවසේ සිටම " ඇගේ ඇස අස අග" නැරඹීමේ භාග්ය උදාවිය. 

මුළු සතිඅන්තය පුරාම අලස සුවයෙන් ගෙවූ මට කිසිදු වෙහෙසක් නොමැතිව නව ගීත කිහිපයකට සවන්දීමටත් චිත්රපට කිහිපයක් නැරඹීමටත් හැකිවූයේ පැවති කාලගුණයද තරමක් අයහපත්වූයෙන් සති අන්තයේ සාමාන්යයෙන් මට කිරීමට සිදුවන බිරින්ඳෑගේ "ගෙදර වැඩ " ලැයිස්තුවෙන්ද යම් සහනයක් ලද නිසාවෙනි. 

මම මෙදින සිනමාපට දෙකක්ම නැරඹුවෙමි. පළමුවැන්න 2001 වසරේදී පිටවූ සම්මානනීය ඇමෙරිකානු සිනමා පටයක් වූ " A beautiful mind" ය. විසිවැනි ශතවර්ෂයේ විසූ විශිෂ්ටතම ගණිතඥයෙකු වූ මහාචාර්ය John Nash ගේ ජීවිතකථාව එහි කතා තේමාව වූ අතර අති විශිෂට නළු රසල් ක්රෝ එම චරිතයට පණ පෙවීය. ඒවා ගැන කතා කරන්නට දෙයක් නැත්තේය. සුපිරිය. 

එය නරඹා ඇතිවූ සිතේ කැලැඹීම පහව යන්කටත් ප්රථම මම හඳගමයන්ගේ ඇගේ ඇස අග නරඹන්නට කල්පනා කළෙමි. ඒ පිළිබඳව උගත් හා ඇසූපිරූ තැන්ඇති බැල්කනි සහ පළමු පංතිවල ප්රේක්ෂකයන් ලියූ විචාර රාශියක් කියවා, සිනමා පටයේ ලුණු ඇඹුල ඇති ප්රමාණය මැනවින් දැන වුන් මට ඇගේ ඇස අග නැරඹීමෙන් , බටහිර චිත්රපටය නරඹා ඇතිවූ උත්තේජනය හා කැළඹීම, මෑතකදී පිටවූ සමහර සිංහල චිත්රපට නැරඹූ පසුව මෙන් දියාරු වී නොයන බවට තිබුණේ තදබල විශ්වාසයකි. ඒ මතයේ එල්ලී ඇගේ ඇස අග මුලින්ම තනියම නැරඹූ මම ඉන්පසු එය දෙවැනි වරටත් මගේ බිරිඳ සමඟද නැරඹුවෙමි. 

විචාරවල දුටුවාක් මෙන් මහ වැස්සක දිවෙන වාහනයක් තුළ සිටින චරිත හතරක සංවාදයකින් සිනමාපටය ඇරඹිණි. සංවාදයේ අගක් මුලක් එතරම් නොතේරුණත් මේ පිරිස යම් සිද්ධියකින් පලා යනබැව් නම් හොඳින්ම වැටහිණි. පහන්වැටක් උස්සා ගසන්නට පැන්නූ කථාවෙන් හා හාමුදුරුවන් මැදට පැන්න කථාවෙන් සිද්ධිය පංසලක සිදුව ඇති බවද පැහැදිලි වුණි. 

ඉන්පසු තිරයේ දිස්වූයේ සුළඟට ඉහළ පහළ යන දුහුල් දොර තිරයක් තුළින් යමෙකු මතුවන තුරු නොඉවසිලිමත්ව දෑස දුවවන මැදිවියේ පුද්ගලයෙකි. කථාවේ විත්තිකරුද, සාක්ෂිකරුද හා චූදිතයාද වූ ඔහු විශ්වවිද්යල මහාචාර්යවරයාය. මද නිමේෂයකින් දුහුල් තිරය අතරින් දිස්වෙන්නෙ සිනමාපටයේ එක් සංධිස්ථානාත්මක ජවනිකාවයි. එනම් දුහුල් තිරයෙන් යන්තමට තම විලි වසාගත් සම්පූර්ණයෙන්ම නිරුවත් යුවතියකි. ඇය මෙම කථාවේ ප්රධාන චරිතයට ජීවය කවන තරුණ විශ්වවිද්යාල ශිෂ්යාවයි. මා විචාරයක දුටුවාක් මෙන් එතැනින් යන්තමට ඇයගේ නිරුවත දැකගන්නා ප්රේක්ෂකයාව, සිනමාපටය පුරාම ඇයගේ ඇඳුම් පැළදුම් විනිවිද දකිමින් ඒ නිරුවතම සොයන මානසික මට්ටමට හඳගමයන් පත්කර ඇත්තේ ඉතාමත්ම සූක්ෂමවය. 

වැඩට එන යන කාරයක්, මධ්යම පංතික කුටුම්බයක්, නිතරම අඟුල අදිමින් ඇරෙන වැහෙන දොරක්, තනි අසුනක්, එය මත නිතරම රූපවාහිනියට වශීවී සිටින යොවුන් දියණියක්, නිවසේම තනා ගත් බුදු කුටියේ බුදුන් දෙස දෑස් යොමා සිටියද වටපිටාට ගැන අවධානයෙන් සිටින මැදිවියේ කාන්තාවක්, නිදන කාමරයක්, නාන කාමරයක් හා කෑම මේසයක් මෙම මුළු කථාවේම මෙහි සිටින හරියටම අප නමක් නොදන්න පාත්ර වර්ගයා සැරිසරන හා ජීවත්වන මාණයන්ය. 

පියා නිවසට එනවිට දියණිය දොර අරින්නේ යාන්ත්රිකවය. ගෙට එන පියා( මහාචාර්යවරය) ඇයට කතා කරන්නේ එකම වචනයකි. " හායි" ඉන්පසු ගෙන එන චොක්ලට් වැනි දෙයක් ඇය දෙස නොබලාම ඇය වාඩිවී සිටින අසුනට විසි කරන්නේ රොබෝවෙකු මෙනි. වරක් දියණිය අසුනේ නොසිටියද ඔහු ගෙනා දෙය අසුනට දැමීමෙන් ඔවුන් කෙතරම් නම් යාන්ත්රිකවී හැඟීම් දැනීම් අමතක කර ඇතිද යන්නට හොඳම නිදසුනකි.

මහාචාර්යවරයාගේ බිරිඳද රොබෝ චරිතයකි. ඔහු එන හැමවිටකම නිවසේ බුදු කුටියේ පසුව ඇය ඔහු ඉහළ මාලයේ නිදන කාමරයට ගියවිට කාමරයට පැමිණෙන්නේ යාන්ත්රිකවය. එමෙන්ම බුදුගෙයි සිටියත් ඇය සිටින්නේ අවටම සිදුවන දේ ගැන විමසිල්ලෙනි. ඇඳේ ඉඳගන්නා මහචාර්යවරයා ගලවන කමිසය සහ සපත්තුදෙක පිළිවෙලින් ඒ තැන්වල තබා ඔහුට නා ගැනීමට තුවාය අතට දෙන ඈ වචනයක් දෙකක් කතා කරයි. ඒ කමිසය හා සපත්තු තැබීමේ ක්රියාව ඉතාමත්ම භක්තියෙන් කරන තැන සිට පිළිකුලෙන් වීසි කරන තැන දක්වා දෝලනය වන්නේ ඇය ඉන්නා මානසික තත්වය අනුවය. 

මෙම චරිත හතර අතුරින් මහාචාර්යවරයාට ආදරය කරන තරුණ ශිෂ්යාව පමණක් සැබෑවටම හුස්ම ගන්නා හැඟීමක් දැනීමක් ඇති මනුෂ්ය ප්රානියක් බවට ප්රේක්ෂකයාට ඒත්තු යයි. ඇය හැමදෙයක්ම මහාචාර්යවරයාගේ බිරිඳට පවසන්නීය. ඇයගේ එම දුරකථන සංවාද හරහා ඇය කෙබඳු චරිතයක්ද යනවග ප්රේක්ෂකයාට ඒත්තු යයි. ඒ ඇයගේ මතුපිටයි. එහෙත් ඇතුළතින් ඇත්තේ අහිංසකව ආදරයක් පතන ගැමි යුවතියයි. එය ඇය මහාචාර්යවරයාගෙන් දරුවකු පැතීම වැනි දෙයින් පැහැදිලි වේ. ඇය ගැන ගමේ මිනිසුන් සිතන ආකාරය පිළිබඳව මහාචාර්ය බිරිඳ හා පවසන්නේ බොරුවට යැයි මට හැඟේ. එය තමා පුම්බා ගැනීමටත් මහාචාර්යවරයාගේ බිරිඳට වඩා සාරාගී අතින් තමන් ඉදිරියෙන් ඇතිබවත් පෙන්වීමට ඇය කළ උප්පරවැට්ටියක් විය හැක. 

මහාචාර්යවරයාගේ බිරිඳට කථාකොට " සර් මගෙ ඇගේ හැම අස්සක් මුල්ලක් නෑරම දන්නවා මැඩම්. එයා මගෙ ඇඟම පීර පීර මොනවද නොළැඹුණු දෙයක්, මගෙ ළඟ තියෙන, මැඩම් ළඟ නැති දෙයක් හොයනවා මැඩම්" වැනි සංවාද වලින් එය මොනවට පැහැදිලි වේ. 

දෙලොවක් අතර තනිවන මහාචාර්ය බිරිඳ තම කුටුම්බය රැක ගැනීමට තරුණ ශිෂ්යාවව තම නිවසටම ගෙන ඒම ඉතාම කලාතුරකින් දැකිය හැකි දුර්ලභ ක්රියාවකි. එය කපන්නට බැරි අත සිඹීමක් වැනි වුවද ඇයද යටි සිතින් ශිෂ්යාව ප්රිය කළා විය හැකිය. එය ඇය පවසන " ඒ ළමයා නැතිව හරිම පාළුයි. එයා ඉන්න දවස්වල මොකක්දෝ පිරුණුබවක් ගෙදර තිබුණ" වැනි වදන්වලින් අපට පෙනී යයි. එමෙන්ම යම් තරමක මාතෘ ප්රේමයක්ද ඇය කෙරෙහි නොතිබුණා යැයි කිව හැක්කේ නම් කාටද? වරක් ශිෂ්යාවගේ එළවළු කැපීමට ගොස් ඇඟිල්ල කැපුණු මොහොතේ කැපුණු ඇඟිල්ල තම මුවට දමා උරන්නේ මව් කෙනෙකුන් මෙනි. එමෙන්ම " බැල්ලී" හෝ " පට්ට වෙසි" කියා බැණ වදින්නේද ඇයමය. එමෙන්ම තරුණ ශිෂ්යාවගේ තාරුණ්යයෙන් බැබළෙන සරාගී සිරුර දෙස බලා " ඔය ළමයා දැන් ඔහොම ලස්සනට ,හැඩට හිටියට වයසට යනකොට පිටි මුට්ටිය වගේ මහත්වෙයි" වැනි දේ පවසන්නේ තමාගේ වියැකී යන තරුණ සිරුර සිහිවී උපන් හීනමාණයකිනි. ඉරිසියාවකිනි. 

මේ ත්රිකෝණයේ සිරවන ඔවුන්ගේ යොවුන් දියණිය නිශ්ශබ්ද චරිතයක් ගතකළද ඇය තමා අවට සිදුවන්නේ කුමක්ද යනවග හොඳින්ම ග්රහණය කරගෙන ඇතිබව පෙනේ. වරක් මහාචාර්යවරයා ගෙදර එනවිට නිවසේ සිටින්නේ දියණිය පමණි. ඔහු " අම්මා කෝ ?" කියා ඇයගෙන් අසයි. එවිට දියණිය , " අම්මා පංසල් ගියා " යැයි පවසා එයින් වික්ෂිප්ත වන පියාගේ මුහුණ දෙස බලා " එයත් ගියා" යැයි පවසන්නේ තම පියා විමසිලිමත්වූයේ එම තරුණ ශිෂ්යාව පිළිබඳව බැව් තමන් දන්නා බව පෙන්වමිනි. 

එමෙන්ම මව ඇය බුදු කුටියට පැමිණීම හෙළා දකින්නේ " මේ මොකද මේ කවදාවත් නැතිව" වැනි අවලාද කියමින් හා පංසලට පවා ඇයව රැගෙන යාමෙන් වැළකීමෙනි. " තරුණ ළමයින්ට හැමදාම පංසල් යන්න ඕන නෑ" යන්නෙන් ඇය අදහස් කරන්නේ ගතානුගතික වයසට ගිය පසු බුදුන් සිහිවීමේ සම්ප්රදාය ඉදිරියට ගෙන යාමද එසේත් නැත්නම් ඇය වයසට ගොස් ඇතිබව සිතාගැනීමද එසේත් නැතිනම් ඇය මුහුණදෙන හුදෙකලා කුටුම්බීය අරබුදයට පංසල විසඳුමක් කරගෙන ඇතිබවද කියා විමසීම වටී. මට පෙනුණු ආකාරයට පංසලට යාමෙන් ඇය විසඳුමක් සොයන්නීය. 

තම පියාගේ කාරයේ පසුපස අසුනේ වාඩිවී රොබෝ චරිතයක් සේ පාසලට යන දියණිය, ශිෂ්යාවගේ පැමිණීමත් සමඟ ඉතාමත්ම සතුටින් හා කෙළිලොලෙන් යුක්තව පසුවන බැව් ඔවුනගේ ඉතාමත්ම තාත්වික වූ රංඟනයන්ගෙන් ප්රේක්ෂකයාට ඒත්තු යයි. 

මෙහි ප්රධාන චරිතය වන මහාචාර්යවරයා ශිෂ්යාවට ආදරය නොකරනවා යැයි මතුපිටින් ස්වයංවාරණයක් දමා ගත්තද ඔහුගේ අභ්යන්තර චෛතසිකයින් පතන්නේ ඇගේ පහසය. ඇය බලන්නට යෑම , ඇය ගැන සිහිනයක් දැකීමේදී ප්රානවත්වන ඔහුගේ පුරුෂ ලිංගය හා නිවසේ හුදෙකලා වන ඔහුගේ හැසිරීම ඒ ගතියට සාක්ෂි දරයි. ස්වප්නයෙන් මත්වී ප්රානවත්වීමක් තමන්ට සිදුවී නැතැයි පිරිමියෙකු කියයි නම් එය බොරුවකි. ප්රානවත්වීමෙන් නොනැවතී මෝචනයද (wet dreams) සිදුවී නැතැයි කිව නොහැක. මෙය අන්තිම අහිංසක ජීවවිද්යාත්මක සංසිද්ධියකි. මෙය කාන්තාවන්ටද පොදුය. අනේ අපි එහෙම නෑ කියන්නෝ කියන්නේ බොරුවකි. බිරිඳ හා දියණිය ඇතිවිට සිරවී තිබූ ඔහුගේ මුළු සංන්තානයම නිදහස්වූවායැයි ප්රේක්ෂකයාට ඒත්තු යන්නෙ තනිවූ දා කිසිම දිනෙක සිනහවක් නොතිබූ ඔහුගේ මුහුණේ ඇඳෙන සිනහව සහ කරන්නාවූ රංගනයන්ගෙන්ය. මෙය ඉතාම සුලඹ සංසිද්ධියකි. අප පිළිනොගත්තද අප සැමවිටම අපට නොලැබුණු දෙයක් ගැන දුක්වන්නෙමු. ඒ සොයන දෙය බොහෝවිට හමුවන විට අප ප්රමාද වැඩිය. සංසකෘතිය, සදාචාරය හා සම්මතය අප වට බැදී ඇති රැහැන්පටවල්සේ මේ සොයායෑමෙන් ඈත්කර තබයි. එහෙත් එයට මංපෙත් විවර වූ විටෙක....? මෙය ඉතා සංකීර්ණ සමාජමය හා ජීවවිද්යාත්මක ගැටළුවකි. මානසික ක්රියාදාමයකි. මෙය ගැන ගැඹුරින් කතා කිරීම මහා විශ්වය ගැන කතා කිරීම වැනිය. ඉවරයක් නැත. පැහැදිලි උත්තරයක් නැත.

ඔහේ ගලායන මේ ජීවිතවලට විසදුමක් නැත. නිවසේ තනිවූදා මහාචාර්යවරයා ශිෂ්යාව නැවතී වුන් කාමරයට ගොස් ඇය නිදාවුන් ඇඳේ කරනා දැගලිල්ලද එහිදී කොට්ටය යට තිබී හමුවන ඇයගේ සුවඳ විලවුන් බෝතලය නිසා පංසලට ගොස් නිවසට එන මව හා දියණියට ඒ සුවඳ දැනී ශිෂ්යාව ඔවුන් නැති අවස්ථාවේ පැමිණ ඇතිබවට සැක තිරීම වැනිදෑ වලින් ඔවුනගෙ ජීවිත තව තවත් ප්රපාතයටම තල්ලුවී යාම සහ එකිනෙකා දුරස්වී යාමට හේතු භූත වෙයි. 

කෑම මේසයෙදී පංසලේදී සවන්දුන් බණ පිළිබඳ කථාවද උඟරට හොරා බෙහෙත් කෑමක් බඳුය. ඉන්පසු උදයේ සාමාන්ය දින චරියාව වූ දියණිය පාසලටත් , මහාචාර්යවරයා සහ ශිෂ්යාව සරසවියටත් යන අතරවාරයේ පංසල් යාම සම්බන්ධයෙන් දියණිය සහ ශිෂ්යාව අතර ඇතිවන ආරවුල විසදීමට මහාචාර්යවරයා තැත් කිරීමත් එහිදී උරණ වන දියණිය තම පියාට " මෙයාට ගහනකොට තමුසෙට රිදෙනව නේද?" දැයි ඇසීමෙන් ඔවුන්ගේ දිවියේ ඇති සම්බන්ධයේ දුරස්බව ප්රේක්ෂකයාට තවත් ස්ථීර වන අතර මහා කම්පනයක් ඇතිකරවයි. ඉන්පසු කාරයෙන් පැන පලා යන දියණියත් ඇය පසුපස හඹා ගොසි ඇය දුම්රියට පැන දිවිනසාගැනීමට තැත්කිරීම වළකාලන ශිෂ්යාවත් මට වාණිජ චිත්රපට දර්ශනයක් සිහියට ගෙනාවද මෙය සිදුවිය හැකි දෙයකි. ඉන්පසු එම නිවසින් ශිෂ්යාව පිටවී යන අතර ඇයව නැවත කැටුව එන මෙන් මව මෙන්ම දියණියද පියාට ආයචනා කිරීම ඔවුන් දෙපළම ශිෂ්යාව හමුවේ පරාජය භාර ගැනීමක් වැන්නක් ලෙස ප්රේක්ෂකයාට පෙනුණත් එය අපේ සංසකෘතිකමය හා ආගමිකමය නැබුරුවක් යැයි මට සිතේ. එහෙත් ඇය නැවත නිවසට නොඑන අතර නිවසට පැමිණීම ඇය කළ අනුවණකමක් සහ එයින් ඇගේ අරමුණු දියාරු වී ගිය බවද ඇය පවසන්නීය. 

මේ කෙසේ වෙතත් අවසානයේ පංසලේ සිදුවන ආරවුල සහ එතනදී නැවතත් හමුවන මෙම චරිත හතර සිනමාපටය මුලදී පෙන්නූ ආකාරයට කාරයේ නැගී පලා යන්නේ නැවතත් ඔවුන්ගේ නිවසටමය. 

පංසලේ සිදුවන ආරවුල මිනිසුන්ගේ ඇස් අරවන්නකි. පංසලේදී සුදු ඇඳුමට ආවරණය වී රඟන උපාසක මිනිසුන්ගේ සැබෑ නිරුවත හෙළිකිරීමට අධ්යක්ෂකවරයා ගත් තැත අතිශය සාර්ථකය. එමෙන්ම ශිෂ්යාවට රඟන රිතිකා කොඩිතුවක්කු සහ දියණියට රඟන සඳලි ඈස්ගේ රංඟනයන් අති සාර්ථකය. විශේෂයෙන්ම රිතිකාගේ සාරාගී රඳපෑම ප්රේක්ෂකයා පිස්සු වැට්ටීමට සමත්වී ඇත. මහාචාර්යවරයාට රඟන ඉංදියානු නළුවාගේ සහ මහාචාර්ය බිරිඳට රඟන ස්වර්ණා මල්ලවආරච්චිගේ රංගනය ගැන ආයෙත් කතාකරන්නට දෙයක් නැත. ස්වර්ණා අන්තිම සුපිරිය. ඒ ඒ හැඟීමට අනුව මුහුණුවන සිදුවන වෙනස්වීම් ආදිය ඔවුන් කිරිගහට ඇන්නාසේ කර ඇත. 

පංසලේ සිදුවීමෙන් පසු කාරයට නැගී මහ වැස්සේම පලායන මෙම චරිත හතරේ සංවාදයෙන් සිනමා පටයේ ඇරඹීම මෙන්ම අවසානයද සනිටුහන් කරයි. එහිදී දියණිය.පවසන " මම නම් කිසිම දෙයක් දැක්කෙත් නෑ . ඇහුණෙත් නෑ යන්න ඒ අවස්ථාවේ අනෙක් මිනිසුන් බය වී දෑස් දල්වා ගහ බැණ ගන්නා මිනිසුන්, එහෙ මෙහෙ දුවන මිනිසුන් අතර ඇය වැඳගෙන කිසිවක් තමන් අවට සිදුවන බව නොතකා දෑස් පියා දැහැනට සමවී පසුවූ බව ප්රේක්ෂකයාට සිහිගන්වා දෙයි.

අවසාන වශයෙන් කලකට පසුව සිංහල සිනමාපටයක් නැරඹීමෙන් යම් කැළඹීමකට හා යමක් සිතන තත්වයට මා පත්වූ බවද මෙම චිත්රපටය නරඹා , මොහොතකින් අමතක කර දමන වර්ගයේ එකක් නොවන බවද පැවසුව මනාය. මම තව කුමක් මේ ගැන කියන්නද?මෙම චරිත හතරට විශේෂිත වූ නාමයන් සිනමාපටයේදී අපට දැනගන්නට තිබුණ් නැත. එමෙන්ම මේවා අප සමාජයෙම දක්නට ලැබෙන හා නිතරම හමුවන චරිතයෝය. එහෙයින් චිත්රපටය නරඹා ඒ ඒ චරිතය තමන්ට ගැළපේ යැයි සිතේනම් ඒ තමන්ට අදාළ චරිතයට තමන්ගේ නම යොදාගෙන නැරඹීමට හා සිතට ගැනීමට හඳගමයන් මෙහිදී අපට යෝජනා කොට ඇතිබව පමණක් පවසා මගේ සටහන මෙසේ අවසන් කරමි. 

චන්දන ගුණසේකර එක්සත් රාජධානියේ සිට

Saturday 4 June 2016

ශ්‍රේෂ්ඨතමයා නුඹයි....




ශ්රේෂ්ඨයෝ කෙතරම් බිහිවූවත් 
ශ්රේෂ්ඨතමයා නුඹමයි කවදත්...
නුඹම පමණයි අලී.....

මිනිසුන් නසනා යුද්ධය වෙනුවට
තනියම විඳිනා හිරගෙට ගිය නුඹ
වර්ණවාදයට ජාතිවාදයට
බිමට වැටෙන්නට පහර ගැසූ නුඹ
අපේ කාලයේ මේ මහ දෙරනේ
සැබෑ වීරයා නුඹම තමයි

අප හැරදා අද තනියම යන නුඹ
සදා රැඳෙනු ඇත අප හදවත් තුළ
කැසියස්  ක්ලේ - මොහමඩ් අලී
නුඹට සුබ ගමන් පතන්නෙමී.....!!!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Wednesday 18 May 2016

මගේ ආදරණීය සහෘදයනී,




උපන් දිනයක් එළැඹෙනවා කියන්නෙ අපි තවත් වසරකින් වයසට යනවා කියල අපි දැනගෙන හිටියත් සහ අපි කොච්චර වයසට ගිහින් හිටියත් පෘථග්ජන අපේ හදවතට, හිතට එදාට දැනෙන්නේ අමුතුම හැඟීමක්. එහෙම නැතිනම් පොඩි උත්තේජනයක්. පුංචි කිතියක්. තමන් ආදරයකරන තමන්ගේ ආදරණීය සහෘදයන්ගෙ පුංචිම පුංචි සුබ පැතුමක් වුවත් ඒ හැඟීමට එක් කරන්නේ මහා විසල් ජවයක්. එයින් ඇත්තටම අපට නව ජීවයක් ලැබෙනවා. ඒ වගේම තමන්ට ආදරය කරන පිරිසක් සහ තමන්ව ඇත්තටම හඳුනා ගත්තු පිරිසක් ඉන්නබව දැනීමම සිතට ගෙන එන්නෙ විශාල සතුටක්. සැනසීමක්. මහා දහිරියක්.

අද වගේ දවසක තමයි මම ඉපදිලා තියෙන්නෙ. මුලින්ම මාව මෙලොවට බිහි කරපු මගේ ආදරණීය මෑණියන්ට හා පියාණන්ට මගේ ප්රණාමය පුදකරන්නේ ඔවුන් සැතපුම් දහස්ගණනක් දුරින් සිටියත් මගේ නළලත ඔවුන්ගේ පය පාමුල තබලා. ඔවුන් මට කාටවත් කරදරයක් , බරක් වෙන්නෙ නැති හොඳ මිනිසෙකු වන හැටි කියා දුන්නා. මහ පොළොවට, ගහ කොළට හා මිනිසුන් ඇතුළු සත්වයන්ට ආදරය කරන්න පුරුදු කළා. මහ පොළොවෙ පය ගසා අවංකව දිවි ගෙවන්න මම ඉගෙන ගත්තෙ ඔවුන්ගෙන්. කලාවට ආදරය කරන්න, කලානිර්මාණයක් රස විඳින්න හා යමක් කුරුටු ගාන්න මට කියා දුන්නෙ ඔවුන් දෙපළ සහ මගේ ගුරුවරුන්. ඒ හැමටම මගේ ප්රණාමය. 

ඉතාමත් විනෝදයෙන් ජීවත්වූ මගේ පියා මා උපන් දා ඒ සතුටට යහළුවන් පිරිවරා ගෙදර මහා ලොකු සාදයක් දැමූ බව මගේ මෑණියන් මට කුඩා කලදීම පවසා තිබුණා. ඉන් පසු හැම උපන්දිනයකම උදෑසනම අම්මා සාදා දෙන කිරිබත් මුලින්ම ජය ශ්රී මහා බෝධියටත් ඉන්පසු තාත්තා සමඟ අපේ නැන්දලා දෙදෙනාගේ නිවෙස්වලටත් ගෙන ගිය හැටි අද උදෙත් මට සිහිවුනේ සිහිනෙන් ගෑ සුවඳක් වගේ. පසුව ෆොටෝ සාපුවකට ගෙන ගොස් පිංතූරයක් ගැනීමත් ටවුමට ගෙන ගොස් අළුත් ඇඳුමක් රැගෙන දීමත් හැම උපන්දිනයකම සිදුවුණා. ඒව මට සිහිවෙද්දී දෙනෙත කඳුළින් බර වෙනවා මට දැනෙනවා. 

ඊයේ රාත්රියේ සිටම මගේ සහෘද මිතුරු මිතුරියන් හා සොයුරු සොයුරියන් මගේ ජන්ම දිනයට සුබ පැතුම් එවමින් පවතිනවා. ඒ හැමදෙනාටම පුදුගලිකව ස්තූති කරන්නට බැරි වුවත් ඒ හැම වචනයක්ම මට එකසේම වටින බව පවසන්නේ ඉතාමත්ම අවංකව සහ මහා සතුටක් , තෘප්තියක් හිතේ දරාගෙන. ඉන් ඇතිවන උත්තේජනය සහ ජවය තවත් වසර ගණනකින් මගේ ආයුෂ වැඩි කළ බවත් කියන්නටම ඕනේ. මා වෙනුවෙන් ඔබගේ කාලය හා ශ්රමය වැය කල ඔබ සැමටම මගෙ හෘදයාංගම ස්තූතිය. 

ඒත් මම මේ සතුටින් සිටින මොහොතේ අපේ මව් බිමේ තවත් පිරිසක් අසරණ වෙලා කියල ඔබ දැනටමත් දන්නවා ඇතැයි සිතමි. හදිසියේ ඇතිවූ මහා වැස්ස නිසා හටගත් ගංවතුර තත්වයෙන් ඔවුනට ඉතිරිව ඇත්තෙ ඇඳ සිටින වස්ත්රය පමණයි. ඔවුන් සමහරක් ජලයෙන් වටවූ උස් බිම්වල හිර වෙලා. සහනයක් සලසන්න යන්නවත් බැරි තත්වයක්. කෑමක් බීමක් හෝ හිසට සෙවණක් නෑ. ඒ අපේ , ඔබේම දෙමාපියො, සහෝදර සහෝදරියො සහ දූ දරුවො. එවන් පිරිසක් අසරණව ඇතිමොහොතක අපට සතුටු විය හැකිද? ඇස් කන් පියාගෙන සිටිය හැකිද? 

ලංකාවේ වෙසෙන අපේම මිනිසුන් දැනටමත් ඔවුනට සහන සැලසීම අරඹලා. ඊයේ ඔවුන් ඔවුනගේ දිවා ආහාරය අසරණ වූ ජනතාවට ප්රදානය කළ පුවතක් මම දුටුවා. ලංකාවේ මම මෙතෙක් කල් කළ කලාකරුවන්ට සහන සැලසීමේදී විශාල සවියක් වූ අසංගී අංජු විජේසූරිය සොයුරියට සහ ජයන්ත සුබසිංහ සොයුරාට මම දැන් දුරකථනයෙන් කතා කළා. ජයන්ත සොයුරා දැනුත් සිටියේ ඔවුනට සහන සැලසීමට යන ගමන්. දැන් හදිසියේම ඔවුනට අවශ්ය ඇඳුම්, පිරිසිදු ජලය හා ආහාර. ඉදිරියේදී වියළි ආහාර විශාල වශයෙන් අවශ්ය වේවි. 

ලංකාවේ මෙතුවක් කලකට කිසිවෙකඅට කුස ගින්නේ මිය යාමට අප ඉඩදී නැත්තෙමු. එදා 2004 සුනාමිය ආ වෙලාවේ අපේ මිනිසුන් එකා මෙන් වැඩ කළ හැටි උදව් කළ හැටි අපි දුටුවෙමු. 

ලංකාවේ වෙසෙන සහෘදයනී ,ඔබට ජයන්ත සුබසිංහ ඇතුළු ඒ පිරිසට එකතු වී සහන සැලසිය හැක. එංගලන්ත වාසී මගේ මිතුරනි, ඔබට හැකිනම් හැකි පමණින් ආධාරයක් කරන්න. මුදල් එකතු වූ පසු මම මේ සිකුරාදා ජයන්ත සුබසිංහ සොයුරාට එම මුදල යවන්නට හැකිය. 

වෙසක් සඳ නැග එන මේ දින කිහිපයේ අප අපේම මිනිසුන්ට සරණක් වෙමු. එන්න අප හා එක්වන්න. එය මේ වෙසක් සමයේ කරන උතුම්ම පුණ්යකර්මයක් වනු ඇත. අද මගේ උපන්දිනයේ ඔබගේ උදව්ව මට ලැබෙන උතුම්ම උපන්දින තිළිණය වනු ඇත. 

ලංකාවාසී සහෘදයනී, ඔබට ජයන්ත සුබසිංහ සොයුරාව මේ නොම්බරයෙන් අමතා 0775225454 ඔහු හා එක්විය හැක. 

එංගලන්තවාසී සහෘදයනී, ඔබට හැකිනම් පහත ගිණුමට ඔබට හැකි මුදලක් බැර කළ හැක. 

Chandana Gunasekera
Santander bank 
EVERYDAY CURRENT ACCOUNT
09-01-28 

ඔබ සියලුම දෙනාටම නැවතත් ස්තූතියි!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Friday 13 May 2016

සති අන්තය අබිමුවදී.....



ඇතත් හිරු සැඟවී වලා තුළ අලස වී අද වැතිරිලා
සිතත් එලෙසින් මලානික නැත හැඟුම් බරටම ඉපිලිලා
නැතත් මා අත මුඳල් යහමින් දිවිය සතුටින් ඉතිරිලා
විතත් මධු පිරි මග බලන් ඇති සතියෙ අවසන එළැඹිලා

නග්න අතු ඉති වසා ලෙලදෙන හරිත පැහැ ඇස් පිනා යයි
සිංදු කියනා සියොත් කැල නිති සවන් පුරවා මිහිර දෙයි
ලන්ද සරසන පුෂ්ප මුවරද බඹර පහසින් ඔකඳ වෙයි
ඉන්න මේ ටික කලට තව වෙන කුමට තැවෙනුද සිත කියයි

බිරින්ඳෑ සහ දරුවො සමඟින් ගෙවෙන කල දෙව්ලොව සමයි
මිහිරි වදනුයි රසැති අහරයි සිතට හා ගතටද සැපයි
ඇරඹුමේ දී තිබුණු සුව නම් ඉරිද හැන්දෑවට නිමයි
සඳුදා උදයෙම දෙව්ලොවින් බැස යථාලොව වෙත යා යුතුයි

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Wednesday 11 May 2016

දීපන් නැරඹුවෙමි......



ලංකාවේ උතුරුකරේ තල් රුප්පාවක් යට හැන්දෑයාමයේ දර්ශනයකට කැමරාව නාභි ගත වෙයි. එහි සිටින අවි ගත් LTTE සාමාජිකයන් පිරිසක් වෙඩි වැදී මිය ගිය තම සඟයන්ගේ සිරුරු පිළිස්සීම සඳහා වන සූදානමකි. ලී මැසි උඩ බාවා තල් කොළ වලින් වැසූ සිරුරු වලට ගිනි දැමීමෙන් අනතුරුව තම ලේ වැකුණු ඇඳුම් උණා සාමාන්ය ඇඳුමින් සැරසෙන තරුණයෙකි. මුහුණ පුරා රැවුල වැවී මහා විඩාබර දෙනෙතින් යුතු ඔහු, උණා දැමූ ඇඳුම් මිනී දැවෙන ගිනි මැලයටම විසි කරත්ම කැමරාව ගින්නේ පිළිස්සෙන හිස් කබලකට එල්ල වේ. සිනමා පටයේ නාමාවලිය තිරයේ දිස්වේ.

ඊළඟ දර්ශනය අවතැන් වූවන් වෙසෙන කඳවුරකි. යාන්තමට අටවා ඇති මඩු හරහා දිවයන තරුණියකි. යාලිනී නම් වූ ඇය දෙමළ භාෂාවෙන් කාත් කවුරුවත් නැති දරුවකු මහා කලබලයකින් එහෙ මෙහෙ දිව යමින් සොයයි. එක් පොලිතින් වැසූ මඩුවකදී ඇයට මව මිය ගොස් ඇති කාත් කවුරුත් නැති කුඩා දැරියක හමුවෙයි. දැරියගේ නම ඉලයාල්ය. 

ඉන්පසු ඇය, යාලිනී සිටින්නේ,  LTTE සංවිධානයේ කාර්යාලයකය. වෙනත් අයෙකුගේ ගමන් බලපත්රයක් ඇයට ලැබෙන අතර සොයා ගත් දැරිය සහ කාර්යාලයෙන් ලැබුණු සැමියෙකු සමඟ ඇය ව්යාජ පවුලක් අරඹයි. ඒ සැමියා නම් පළමු දර්ශනයේදී ඇඳුම් උණා ගින්නට දැමූ තරුණයාය. " දීපන් " ඔහුගේ නමයි. නොදන්නා සැමියකු, නොදන්නා බිරිඳක ඊටත් වඩා නොදන්නා දෙමාපියන් සමඟ තනිවන දරුවකු , නොදන්නා රටකට පැන ගොස් නව දිවියක් ඇරඹීමට සැරසෙයි. මෙයටත් වඩා තවත් අවිනිශ්චිත අවදානමක් ඇතිද? මේ සියල්ලම යුද්ධයේ අතුරු ඵලය. එයට ජාතියක් ජන්මයක් නැත. මම යුද්ධයට ශාප කරමි. 

ඇය සරනාගතයකුසේ ලංඩනයට යාමට සිතුවත් ඔවුනට බෝට්ටු වල නැගී ඉංදියාවෙ මදුරාසියට යාමටත් එතැනින් ප්රංශයට යාමටත් සිදුවේ. බෝට්ටුවට ගොඩවීමට තම වාරය එනතුරු මුහුදු වෙරළේ කෑලි කැපිය හැකි අඳුරේ බලා සිටින ඔවුනගේ දර්ශනය අතිශය සංවේදීය. තාත්විකය. 

ප්රංශයට යාම සඳහා කෙරුණු සම්මුඛ සාකච්ඡාවේදී පෙර LTTE සාමාජිකයකු වූ දීපන් , තමන් මාධ්යවේදියකු ලෙස හඳුන්වා දෙමින් පැවසූ ව්යාජ කතන්දරය බැහැර කරන භාෂා පරිවර්තක ලෙස එතැන සිටින දමිළ තරුණයා( ඔහුත් පෙර LTTE සාමාජිකයෙකි) ඒ හේතුව ශක්තිමත් නැතිබව පවසා රජයේ හමුදාව තමුන්ට දසවඳ දුන්නා යැයි පවසන ලෙස දීපන්ට උපදෙස් දෙයි. එම සිදුවීමේ දී යුද්දයෙ දී සිදුවූ හා සිදුවුණි යැයි ව්යාජ ලෙස මවා පෑ යම් යම් කාරණා ගැන අඳුරේ සැඟැව තිබූ යම් පැතිකඩක් විවර වූ බව මට හැඟේ. 

කෙසේ හෝ ප්රංශ භාෂාවේ මළපොතවත් නොදන්නා ඔවුන් තිදෙන ප්රංශයට යති. එතැනින් ඔවුනට රජයෙන් දෙන තට්ටු නිවාස සංකීර්ණයකට යාමට සිදුවන අතර එහි කසළ ශෝධක හා නඩත්තු කාර්මික රැකියාවක් ( care taker) දීපන්ට ලැබේ. දැරියට පාසලක් ලැබේ. දැරිය වුවද පාසලේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී දීපන්ගේ ඉගෙණුම් බහට රජය තම පාසල පිළිස්සූ බව පවසයි. එය බොරුවක් බව ඇයගේ මුහුණින් ප්රේක්ෂකයාට පෙනේ. මෙසේ හැලහැප්පීම් සමඟ ඔවුනගේ දිවිය ගෙවී යයි. 

අවුරුදු 26 ක අවිවාහක තරුණියක වූ ඇයට දරු සෙනෙහසක නාමයක් හෝ නොතිබේ. දැරිය හා ඇය අතර වන ඝට්ටන වලදී ඒ තත්වය ප්රේක්ෂකයාට ඒත්තු ගැන්වීමට අධ්යක්ෂකවරයා සාර්ථකව සමත් වී ඇත. එහෙත් දැරිය දීපන්ට ළංවීමෙන් ඔහුගේ පරිණතභාවයත් ඔහු පියකු බවත් අපට දැනේ. එය පසුව එන රූප රාමුවක දීපන් යුද්ධයේදී තමන්ට අහිමි වූ සිය බිරිඳගේ හා දරුවන්ගේ සේයාරුවක් බැලීමේදී තව දුරටත් එම කාරණය තහවුරු වේ. 

ඔවුන්ට නිවස ලැබුණු පෙදෙස පාතාල කල්ලි වල රජ දහනක් බව එහි ගැවසෙන තරුණ පිරිසෙන් හා රාත්රියට ඔවුන් කල්ලී ගැසී කරන ක්රියාකාරකම් වලින් අපට පෙනේ. දීපන් මේ හැම සිද්ධියක්ම හොර රහසේ බලා සිටී. ඔහුගේ බැල්මෙන් හා නිවුණු ස්වභාවයෙන් පෙරකාලයක ඔහු ගිනි අවි දරා එලෙසින්ම ත්රස්තවාදී කල්ලියක සිටි බව තව තවත් අපට තහවුරු කෙරේ. එමෙන්ම ඔහුට ඒවා අරුමයක් නොවන බවද ඔහුගේ හැසිරීමෙන් අපට ඒත්තු යයි. 

මේ අතර දීපන් සේවයටත්, ඉලයාල් පාසලටත් ගිය විට නිවසේ තනිවන යෞවනයේ පසුවන යාලිනීට තනිකම සහ පාළුව දැනේ. පවුලක් සේ සිටියත් ඔවුන් අතර කායික හෝ මානසික සම්බන්ධයක් නැත. යුද්ධය ඔවුන්ව හැඟීම් දැනීම් නැති රොබෝ වරුන් බවට පත් කරඇති බවට මීටත් වඩා සාක්ෂියක් තව කුමටද?

යාලිනීටත් රැකියාවක් කිරීමට උවමනා වේ. ඇයට , තනියම වෙසෙන දුර්වල වූ වැඩිහිටි පිරිමියෙකුට උයා පිහා දී දිවා කල ඔහුව බලා කියා ගැනීමේ රැකියාවක් ලැබේ. භාෂාව නොහැකි වූවත් දීපන් හා යාලිනී දිවි සටනට උරදෙති. ඉක්මනින් ප්රංශ බස අල්ලා ගන්නා ඉලියාල් ඔවුනට පාර පෙන්වන තරු ලකුණක් වැනිය. පාසලේදී ඇයටත් අනෙක් දැරියන්ගෙන් අකටයුතු සිදු වූවත් ඇය සාර්ථකව ඒවාට මුහුණ දීම ප්රේක්ෂකයාගේ නෙතට සතුටු කඳුළක් නංවයි. 

යාලිනී ට තම රැකියාවට ගිය නිවසේ දී හමුවන්නේ පාතාල නායකයෙකි. ඔහු ඒ පෙදෙසේ ආයුධ හා කුඩු ජාවාරම මෙහෙයවන්නාය. 

තාරුණ්යයේ පසුවන යාලිනීගේ පිබිදෙන ලිංගික ආශාවන් සාමාන්යයය. ඇය එම ආශාවන් පාතාල නායකයාගෙන් තෘප්තිමත් කරගත් බව ප්රේක්ෂකයාට කෙළින්ම නොපෙන්නුවද ඒ ගැන සිතා ගැනීමේ සාධක අධ්යක්ෂකවරයා අපට ඉදිරිපත් කරයි. ලහි ලහියේ එතැනින් පලා යන ඇයගේ ඉරියව්වෙන් ඇය ඒ පහස ලැබුවත් ලැජ්ජාව හා බය ඉස්මතුවන බව පෙන්නුම් කරයි. එහිදී ඇයට හමුවන සුදු පැහැති සුනඛයාද ඇයට කිහිප වරක්ම හමුවේ. වරක් එම සුනඛයාද එම පාතාල නායකයා සමඟ සිටින දසුනක් ඇය දීපන් සමඟ සැඟවී ජනෙල් කවුළුවෙන් බලා සිටී. ඇය එතැනදී මේ කිසිත් නොදත් දීපන්ට සුනඛයා පෙන්වා ඇය ඌ හඳුනන බව කියූවත් එයින් ඇය ඇත්තටම අදහස් කළේ ඇය පාතාල නායකයාව හඳුනන බව කීම බැව් ප්රේක්ෂකයාට වැටහේ. 

නිවසට එන යාලිනී එතෙක් කලක් සිතේ සඟවාගෙන වුන් ආශාවේ රස ගුලාව දීපන් මත මුදාහරී. වෙන දා ඇය ස්නානය කර එන අයුරු හා ඇඳුම් මාරු කරන අයුරු දමනය කළ සිතින් හා දෑසින් බලා වුන් දීපන් ඇය සමඟ යහන්ගත වෙයි. දීපන්ගේ සුරතින් ඇද ඔහුව තම නිදන කාමරයට කැඳවාගෙන යන යාලිනී තම ඇඳිවත උනා දමා , තම සිත තුළ සඟවාගෙන වුන් රාග ගිනිදැල් නිරාවරනය කරයි. එතැනින් එම දර්ශන කපා හැර අපට ඉන්පසු සිදුවන දෑ සිතා ගැනීමට ඉතිරිකරණ අධ්යක්ෂකවරයා ලිංගික දර්ශන අනවශ්ය ලෙස උපුටා දක්වන්නට උත්සුක නොවෙයි. 

දිනක් මේ පාතාල කල්ලි අතර මහ දවල් ඇතිවන වෙඩි හුවමාරුවකට මැදිවන ඉලයාල් හා යාලිනී ඉතාමත්ම දැඩි බියකටත් තැති ගැන්මකටත් පත්වේ. 

මදක් සිතන්න සහෘදයනී, අප බහුතරයක් යුද්ධය ගැන ඇසුවා හා දුර සිට දුටුවා පමණි. එයට මැදිවී වෙඩි පහරවල් කණ ළඟින් යද්දී හා තමන් අවට සිටින්නන් වෙඩි කා කෙසෙල් කඳන් මෙන් ඇද වැටෙද්දී ඇතිවන හැඟීම හා තිගැස්ම මුළු ජීවිත කාලයටම අමතක කළ හැකිද? එය කොයි ජාතියකට කොයි ආගමකට අයිති වූවත් එලෙසමය. සෑම ජීවියෙකුටම පොදුය. 

මේ අතර දීපන්ට හමුවන LTTE සංවිධානයේ ප්රධාන පෙළේ ක්රියාකාරියෙකු නිසා ඒ සියලු කටයුතුවලින් එදා, එනම් දීපන් ඔහුගේ ඇඳුම් මිනී දැවෙන ගින්නට විසිකලදා සියල්ලෙන්ම සමුගෙන නව දිවියක් නව මිනිසකු වීමට ගත් අදිටන මදක් දෙදරා යයි. බොහෝ වෙරිවන තුරු මත්පැන් බී දමිළ ගීතයක් ඔහු කෑගසා ගැයීමෙන් ඔහුගේ සිත තුළ පැසවන නළියන අපේක්ෂාභංගත්වය ප්රේක්ෂක මනසට ඇතුළු කිරීමට අධ්යක්ෂකවරයා ඉතාමත් ශූර ලෙස සමත්ව ඇත. 

" ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කනාමැඳිරි එළියටත් බයයි" කියන්නාසේ මෙහි ඇතිවූ වෙඩි තැබීමෙන් තැතිගත් යාලිනී හොර රහසේ නිවසින් හා දීපන් වෙතින් පලායාමට තැත් කළත් අන්තිම මොහොතේ එය දැනගන්නා දීපන් එය වළක්වාලයි. 

ප්රංශ බස නොදන්නා යාලිනී දමිළ බසින් තමන්ගේ ප්රශ්න යටකී කල්ලි නායකයාට පැවසීම ඉතා සංවේදී දර්ශනයක් වෙයි. ඇයගේ සිතේ කැකෑරෙන අසහනය හා බිය ඇය ඒ මගින් පිට කරයි. ඒ අතර දීපන් කල්ලි තරුණයන් හා ගැටීම නිසා ඔවුන් ඔහු හා වෛර බැඳ ගනිති. මේ සියල්ලටම මැදිවී සිටින්නී යාලිනීය. 

මෙම ගැටුම්වල උච්චතම අවස්ථාව වන්නේ යාලිනී සේවය කරමින් සිටිනවිට එම නිවසට වෙඩි ප්රහාරයක් එල්ලවීමය. කල්ලි අතර ගැටුමක ප්රතිඵලයකි ඒ. එහිදී කල්ලි නායකයා සහ යාලිනී බලාගත් වැඩිමහලු පුද්ගලයා වෙඩිකා නසින අතර ඔවුන්ගේම ගිනි අවියක් ගත් දීපන් ඒ ගැන තමන් සතු පරිචය මනාවට විදහාලමින් යාලිනීව එම මාරාන්තික අවස්ථාවෙන් බේරා ගනියි. 

ඉන්පසු තිරයේ දිස්වන්නේ අවසාන ජවනාකවයි. ඒ ලංඩනය බැව් ප්රේක්ෂකයාට පසක්වේ. ප්රංශයෙන් පිට වී ලංඩනයෙ නව සතුටුමත් දිවියක් දීපන් හා යාලිනී අරඹා ඇතිබව ප්රේක්ෂකයාට පසක් කරමින් සිනමාපටය නිමාව දකී. 

මෙහිදී අධ්යක්ෂකවරයා නළු නිළියන් තේරීමේ විභාගයෙන් ඉහළින්ම සමත්ය. ඔවුනට වඩා ඒ ඒ චරිතයනට තාත්වික වෙනත් නළුවකු හෝ නිළියක මට නම් සිතා ගැනීමටවත් බැරිය. එමෙන්ම සියුම් ඉංගිති, දකුණු ආසියාතිකයන්ට පමණක් සීමාවූ එනම් ඔව්, නෑ හෝ බෑ නොකියා බෙල්ලත් සමඟ හිස 
සෙලවීම , ප්රංශ ජාතික අධ්යක්ෂකවරයා මනාව අධ්යයනය කර ඇති අතර එය සාර්ථක ලෙස සිනමාපටයට යොදාගෙනද ඇත. 

එමෙන්ම අවස්ථා දෙකකදී කොළ අතු අතරින් ඈත් මෑත්වන සුදුකබර පිරි හස්තියෙකුගේ පුංචි ඇස හා හොඬයේ ඉහළ කෙළවරට කැමරාව එල්ලවෙයි. ඒ ඇතෙක්ද කියා හඳුනා ගැනීමට අපහසුතරමටම රූපරාමුව සමීපය. එම දර්ශනය හින්දු ආගමේ ගණ දෙවියන් සිහිපත් කිරීමට යොදා ගත් බව මට සිතිණි. එමෙන්ම ඇතාගේ පෞඩ බල තේජස විදහාපෑමට එය යොදා ගත්තාද විය හැක. ඒ කෙසේ වෙතත් දේශපාලනික වශයෙන් මේ ප්රංශ සිනමාකරුවා ( Jacques Audiard) අපේ රටේ ජනවාර්ගික අරගලය දෙස සමබර කෝණයකින් මෙම චිත්රපටය තුළින් බලා ඇතිබව මම අවසාන වශයෙන් පවසන්නට කැමැත්තෙමි. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Tuesday 10 May 2016

එංගලන්තවාසී ආදීආනන්දීයයන් අපට පෙන්වා දුන් ආදර්ශය.....




ඉතාමත්ම වේගයෙන් වෙනස්වන ලෝකයේ හැම දෙයකදීම ඇත්තේ මහා තරගයකි. ඉගෙනීමට ඇත්තේ තරගයකි. මුදල් සෙවීමට ඇත්තේ තරගයකි. කොටින්ම ජීවත්වීමම මහා තරගයකි. සමහරු දිනති. සමහරු පරදිති. සමහරක් හති වැටී ඉවත් වෙති. ඒ අතර සමහරු මංමුළා වී දිවියම අඳුරු කර ගනිති. 

මා මේ තරගය ගැන විස්තර ඔබට ගෙනහැර පෑවේ වර්තමානයේ දරුවකු උපන් මොහොතේ පටන්ම දෙමාපියන් නිරතවන තරගය ගැන කතා කිරීමට පිවුසුමක් වශයෙනි. අද කාලයේ දරුවකු පාසලකට දමා ගැනීමේ තරගයෙන් පසු ඊළඟ මහා තරගය පස්වන වසරේ ශිෂ්යත්වයයි. බාලාංශයේදීම හොඳ , එසේත් නැතිනම් ජනප්රිය පාසලකට දරුවා දමා ගැනීමේ තරගයෙන් පැරදුණු දෙමාපියන්ගේ දරුවාව , එවැනි පාසලකට දමා ගැනීමේ ඊළඟ අවස්ථාව වන්නේ පහේ ශිෂ්යත්වය නිසා දරුවන්ට බාලාංශයේ පටන්ම ඒ සඳහා වෙහෙසීමට සිදුවේ. එහෙත් මෙම තරගයේ ඇති අති තියුණුභාවය නිසා එයින් ජයගන්නේ ඉතා සුළු පිරිසකි. 

අප කුඩා සංදියේ ගමේ පාසලේ සිට නගරයේ මධ්ය මහා විද්යාලයකට හෝ අගනුවර උසස් , ජනප්රිය පාසලකට ඇතුලත්වීමේ කඩ ඉම වූයේද පහේ ශිෂ්යත්වයම වුවත් මෙවැනි තරගයක් එකල නොතිබුණි. විභාග දෙකකින් යුක්ත වූ පහේ ශිෂ්යත්වය සඳහා විශේෂිතවූ වෙනම සූදානමක් නොවූ අතර අප විභාගයකට ලියන බවවත් නොදැන සිටියෙමු. නොදැනම විභාගයටද වාඩි වූයෙමු. 

අපට හෝ අපේ අම්මලාට එසේ වූවත් සමහර අම්මලාට නම් තම පුතුන් අගනුවර උසස් පාසල්වලට දමා ගැනීමේ සිහින තිබිණි. අප හතරවසරේ ඉගෙනුම ලබද්දී පාසලෙන් කොළඹ විශේෂ ස්ථාන නැරඹීම සඳහා අප රැගෙන ගිය අධ්යාපන චාරිකාවේදී සමහර අම්මලා,  අප රාජකීය විද්යාලය, ආනන්ද විද්යාලය හා නාලන්දා විද්යාල වැනි ජනප්රිය පාසල් ඉදිරිපසින් ගමන් කරද්දී අප ගිය බසයෙන් ඔළුව එළියට දමා එම පාසල් වෙත අත් දිගු කරමින් " අන්න බලාගන්න පුතා , ඔයාව අපි ලබන අවුරුද්දේ එවන ඉස්කෝලෙ..." කියමින් කෑමොර ගැසූ හැටි මට අද ඊයේ වගේ මතකය. කිසිත් නොදත් මම අටමස්ථානය වඳින්නට යද්දී අනුරාධපුරයට පළමු වරට පැමිණි ගැමියෙකු රුවන්වැලිසෑය හෝ අභයගිරිය දැක ,  දෑස් හා මුව ආයාගෙන ඒ දෙස බලා සිටින්නා සේ ඒ විසල් පාසල් දෙස නෙතු ආයා ගෙන බලා සිටියෙමි. 

පහේ ශිෂ්යත්වය පැමිණියේය. කොළඹ යන්නට පෙරුම් පිරූ සමහරු එම සිහිනය සැබෑකරගෙන වුන් අතර සමහරු සිහිනය බොඳ කර ගත්හ. කිසිදු සිහිනයක් නොතිබූ මා ඇතුළු කිහිප දෙනෙකු නොදැනීම විභාගය සමත් වී තිබිණි. 

මේ ගැන ලියද්දී දෙවන ශිෂ්යත්ව විභාගය දා උදේ සිදුවූ අමිහිරි සිදුවීමක්ද මගේ හදවත පසාරු කරමින් මතුව එයි. එදා උදයේ විභාග ශාලාවට යන්නට පෙර තාත්තා මාව ජය ශ්රී මහා බෝධිය වැඳ ආශීර්වාද ගැනීමට රැගෙන ගියේය. අප අපේ පාවහන් මකර තොරණ අබියස ගලවා තබා බෝධිය වන්දනා කර ආපසු ආ විට තාත්තා මට විභාගයට දමාගෙන යන්නට රැගෙන දුන් අලුත්ම සෙරෙප්පු කුට්ටම පෙනෙන්නට නොතිබිණි. මගෙ දෑස් කඳුළින් තෙත්වුණි. වහාම මා රැගෙන මර්කට් ටවුමේ බාටා සාප්පුවට ගිය තාත්තා මට එවැනිම සෙරෙප්පු කුට්ටමක් අරගෙන දී මා විභාග ශාලාවටද ඇරලුවේ මගේ ඔළුවද අතගා " ඕවා ගනන් ගන්න එපා පුතා " යැයි කියමිනි. එවෙලේ තාත්තා අතේ ඒ හදිසියට මුඳල් තිබුණාදැයිවත් මා නොදත් බව අද මම සිහිකරන්නේ කඳුළුපිරි දෙනෙතිනි. 

මේ වැල්වටාරම් කියා මම තවත් ඔබ වෙහෙසට පත්නොකරමි. එදා මා අනුරාධපුරයේ තනි කොට අගනුවරට පැමිණි මගේ මිතුරන් ඇතුළුවූයේ මගේ මේ ලිපියේ නිමිත්ත වූ පාසලටය. එනම් කොළඹ ආනන්ද විද්යාලයටය.  මගෙන් යමකු ඔබ කැමතිම පාසල කුමක්දැයි විමසුවහොත් මම කැමතිම පාසල මා උසස් පෙළ දක්වා අකුරු කළ අනුරාධපුර ශාන්ත ජෝශප් මහ විදුහල බවද මගේ දෙවැනියට කැමතිම හා මම ගරුකරන පාසල නම් කොළඹ ආනන්ද විද්යාලය බවද මගේ පිළිතුර වනු ඇත. එය හරියට මගේ මව් බිමවන ලංකාවට මගේ පළමු ආදරය හා ගරුත්වයද මම දැන් ජීවත්වන හා යමක් හරිහම්බ කරගන්නා එංගලන්තයට මා දෙවනුව ආදරය කරනවා වැනිය. 

ආනන්දයට මා ආදරය කරන්නේ ඇයි? අප සමග ලංඩනයේ වෙසෙන ශ්රී ලංකිකයින්ගෙන් පොදු වැඩක් කිරීමේදී ඉදිරිපත් වන හා එයට හදවතින්ම උදව්කරන හා යම්කිසි සේවයක් අපේ මව්බිම වෙනුවෙන් කරන අය ගතහොත් ඉන් බහුතරය ආදී ආනන්දයන් වීම මා ආනන්දය ගැන මෙතරම් පැහැදීමට හේතුවූ පළමු වැන්නයි. අනෙක් කාරණය නම් මා දැඩිලෙස ආදරය කරන ලේඛකයන්, ගීත රචකයන්, මාධ්යවේදීන් , ගායකයන් හා නළුවන් ඇතුළු කලාකරුවන්, දේශප්රේමීන් , දේශපාලඥයන්, ක්රීඩකයන්, වෛද්යවරුන් , ඉංජිනේරුවන් වැනි වෘතිකයන් ඇතුළු මෙකී නොකී යහපත් පුරවැසියන් රාශියක් ආනන්දයෙන් ලක්මවට ජනිත කර දීමයි. 

ආන්නදය ගැන ලිවීමට බොහෝ දේ ඇත. එය දිගු ඉතිහාසයකි. පුරාවෘතයකි. මෙවැනි ලිපියකින් හදිසියේ ඒවා ලිවීම එහි අභිමානයට කරන කැළලකි. එමෙන්ම ඒ ගැන බොහෝ ප්රවීණයෝ ලියා ඇත. එහෙයින් ඒ ගැන විස්තර ලිවීම මෙතැනින් හමාර කොට මට මෙම ලිපිය ලිවීමට හේතු පාදක.වූ කාරණය ඔබ වෙත ගෙන ඒමට අවසර. 

මට පසුගිය සෙනසුරාදාවේ , එංගලන්තයේ වෙසෙන ආදීආනන්දීයයන්ගේ සංගමය විසින් සංවිධානය කළ " ආනන්ද විද්යාලීය බක් මහ උළෙලට " සහභාගී වීමේ භාග්ය උදා විය. මා ආනන්දයේ අධ්යාපනය නොලැබුවද ලංඩනයේ වෙසෙන ආදීආනන්දීයයන් බහුතරයක් මා ප්රියකරන මගේ මිතුරන්වීම හා මා ඉහත කී ලෙස ආනන්දයට ඇති මගේ ආදරය නිසා ඊට සහභාගීවන ලෙස මගෙ සිත මා පෙළැඹවීය.

වැඩි ශෝභන කතා නොමැතිව බෞද්ධ හා ශ්රි ලාංකික සංසකෘතියට මුල් තැන දෙමින් උළෙල ඉතාම චාම්ව ඇරඹිණි. පිරිස පංච ශීලයේ පිහිට වූ වැඩ වඳාළ ලංඩනයේ ප්රධාන සංඝනායක බෝගොඩ සීලවිමල හා ලංඩන් බෞද්ධ විහාරවාසී කෝන්වැවේ අරියරතන යන ස්වාමීන්වහන්සේලා පිරිත් සජ්ගායනා කොට උළෙලට සෙත් පතා ආශීර්වාද කළහ. ආදිආනන්දීයයන්ගේ දරුවන් ගී ගැයුමින් හා රැඟුමින් අප පිනවූහ. ඒ අතරතුර වැඩිහිටියන් සඳහාද පොල් ගෑම හා කඹ ඇදීම වැනි තරග පැවැත්වුණි. පැමිණවුන් සැවොම පාහේ මේවා නැරඹීමෙන් උපරිම වින්ඳනයක් ලබන අයුරු දක්නට ලැබිණි. 

අළුත් අවුරුදු චාරිත්ර වාරිත්ර සංකේතමත් කරමින් කිරිබතින් හා කැවිලි පෙවිලින් පැමිණවුන් පිරිසට සංග්රහයක්ද පැවැත්වුණි. ඉන්පසුව වේදිකාව සංගීතවත් වූයේ ශ්රාස්ත්රීය ගායනා කිහිපයකින් යුතු පුංචිපහේ පැඳුරු සාජ්ජයකිනි. ඊළඟ අංගය වූයේ කවුරුත් පුල පුලා බලා සිටි නාට්යයයි. භූමින්ද, ජනප්රිය, පණ්ඩුල , හර්ෂ , ලුම්බිනී හා රොහාන් ඇතුළු ආදීඅනඳ පුතුන් හා ඔවුනගේ බිරින්ඳෑවරුන් එක්ව රඟ දැක්වූ ඒ හාස්යයෙන් පිරි නාටකය මුළු ශාලාවම සිනාවේ ගිල්ලීමට සමත් වූ අතර ඔවුන්ගේ රංගන කුසලතාවයන්ද මේ මගින් මොනවට විදහාලීය. 

අවුරුදු කුමාරිය තේරීමේ අංගයද ප්රේක්ෂක අත්පොළසන් මැඳ මහා ජයට පැවැත්වුණි. උලෙළේ කථනයෙන් සහය වූ අනඳ පුතුන්ද ඒ පිළිබඳව වූ ඔවුනගේ ප්රතිභාව මනාව විදහා ලීමට සමත් වූහ. 

එංගලන්තයේ ගෙවන කාර්යබහුල දිවිය තුළ මෙවැනි දේ සඳහා පුහුණුවට වෙලාව සොයාගෙන මෙම උළෙලට සහභාගිවු හා නන් අයුරින් සහය දැක්වූ සියලුම දෙනාහට අපගේ කෘතඥතාවය හිමි විය යුතුය. මෙතරම් දුරු රටක සිටියද තම පාසල් මෑණියන් අමතක නොකොට සහ දේශීය චාරිත්ර වාරිත්ර අමතක නොකොට ඉතා දුෂ්කරතා මධ්යයේ වුවද සමගිව එකා මෙන් ක්රියා කොට මේ කළාවූ මහඟු ක්රියාව අනෙකුත් සියලුම පාසල් වලටත් අනර්ඝ ආදර්ශයකි. ආනන්ද විද්යාලයේ අභිමානය තව තවත් ඔප් නැංවීමට මෙම ව්යායාමය සමත්වූ බවද නොකියාම බැරිය. 

වැඩිහිටි, මැදි වයසේ හා තරුණ ආදී සිසුන් එකට එකතු වී සිටිනු දැකීම කාගෙත් නෙතට ගෙනාවේ කඳුළකි. එය ඒ තරම්ම සංවේදී හා හැඟුම්බර දසුනක් විය. අවසන සැවොම එකතු වී ආනන්ද විද්යාලීය ගීය ගයද්දී ආනන්ද විද්යාලයෙන් දැයට බිහිකළ ප්රවීණ මාධ්යවේදියකු හා ලේඛකයකුවන සුනිල් මාධවයන් තමන් උගත් ආනන්දය ගැන සැමවිටම පාහේ අභිමානයෙන් විස්තර කරද්දී ඉතාමත් ආදරයෙන් සිහිපත් කරන ඒ එදා තිබූ සල් ගස් පෙළ මා දැක නොතිබුණත් ඉන් පිපී දිලුණු සල් මල් වල සුවඳ නම් මට අපූරුවට දැනිණි. 

සටහන : චන්දන ගුණසේකර

Thursday 5 May 2016

ලංකාවේ සිනමාව පිළිබඳ මහා දුකකින් මෙසේ ලියා තබමි.....


ඊයේ ලසන්තද සිල්වා නම් සහෘදයා ලියා තිබූ අපූරු ලිපියෙන් ලංකාවේ සිංහල සිනමාවේ වත්මන් තත්වය ගැන ඇති වූ විස්සෝපයෙන් මෙම සටහන ලියන්නට සිත්වුණි. හය හතර තේරුම් ගන්නටත් පෙර සිටම චිත්ර කතාවට සහ සිනමාවට අසීමිත ලෙස පෙම් බැන්ඳෙකු ලෙස මට ඇතිවයේ දුකකි. කණගාටුවකි. අපේක්ෂා භංගත්වයකි. 

කුඩා කල අනුරාධපුරයේ මහජන පොළ අසබඩ පිහිටි කාටු විජේන්ද්රා( අනුරාධපුර නගරයේ විජේන්ද්රා නමින් සිනමා හල් දෙකක්ම විය. දෙකම ටකරං වහලින් හා ටකරං බිත්ති වලින් යුක්ත වූ අතර ශාලාව මැඳින් වූ ලී කණු පේලියකින් වහලට මුක්කු ගසා තිබිණි. අනුරාධපුර පොළ අසල වූ විජේන්ද්රාව " කාටු විජේන්ද්රා වූ අතර අනුරාධපුර මාර්කට් ටවුමේ වූ විජේන්ද්රාව " නිව් විජේන්ද්රා " විය. ) සිනමා හල ඉදිරිපිට කුණු ගොඩින් අහුලා ගත් ඔවුන් වීසි කළ සිනමා පට කැබැල්ලක් ගෙදර ගෙනගොස් කුඩා පෙට්ටියක ඉදිරියෙන් සවි කොට ඊට පිටුපසින් ටෝච් බල්බයක් දල්වා, අඳුරු කළ කාමරයක බිත්තියට අල්ලා විශාල වී පෙනෙන සිනමා රූප රාමුව බලා අහිංසක විනෝදයක් ලැබූ අයුරු අද මා සිහිකරන්නේ කඳුළු පිරි දෙනෙතිනි. අප එකල චිත්ර කතා බලා ඒවා අනුකරණය කරමින් අපේම චිත්ර කතා ඇඳ , නිර්මාණය කර ලැබුවේද මෙවැනිම විනෝදයකි. මෙම සටහනේ අරමුණ සිනමාව ගැන කතා කිරීම නිසා චිත්ර කතා පිළිබඳව වෙනම ලියමි. 

එකල අනුරාධපුරයේ සිනමා ශාලා තුනක් තිබිණි. මා ඉහත කී විජේන්ද්රා යුගලයට අමතරව අනුරාධපුර පොලීසිය අසල සිත්තම්පලම් නමින් අනඟි සිනමාහලක් විය. ඒ කාලයේ හැටියට එය කොළඹ රීගල් සිනමා හල මෙන්ම පහසුකමින් යුක්ත වූ බව මම විශ්වාස කරමි. බැල්කනියට අමතරව පළමු පංතිය පසුපස , තම තමන්ගේ පවුලට වෙනමම සිනමා ආස්වාදය ලැබීමට තැනූ " බොක්ස්" දහයක් පමණ ද තිබිණි. වර්තමානයේ පෙම්වතුන්ට පමණක් සීමා වූ ඔවුනගේ පෙම් රජදහන් වූ මේ බොක්ස් තුළ එකල නම් පවුල් පිටින් තම දුවා දරුවන්ද සමඟ සිනමා පට නැරඹූ බව මට මතකය. 

මේ සිනමාහල් තුනම අයිති වූයේ දමිළ ජාතිකයන්ටය. ඒත් වැඩිපුර දිව්වේ සිංහල චිත්රපටය. ඒ අතර බටහිර හා හින්දි චිත්රපටද විය. අපගේ සිනමාවේ ස්වර්ණමය යුගය වූ එකල හැම මාසයකම වාගේ වාණිජ හා කලාත්මක සිනමාපට පෝලිමේ අප අතරට ආහ. වාණිජ චිත්රපට වුවත් ඒවායේ තිබුණේ මහා ගුණාත්මකබවකි. මිනිසුන් පවුල් පිටින් ගොස් චිත්රපට නැරඹූහ. ඒවා ගැන කතා කළහ. 

අප මේ රසාස්වාදය ලැබුවේ අති සුඛෝපභෝගී වාතාවරණයක නොවේ. සිත්තම්පලම් ශාලාවේ පහසුකම් තිබුණත් එකල ශාලා ඇතුළේ මිනිසුන් දුම් පානය කළහ. බොන මිනිහා බිව්වේ එක වර්ගය දුමක් වුවත් දුම් නොබිව් අපි බ්රිස්ටල්, නැවිකට්,ගෝල්ඩ්ලීෆ් හා ත්රීරෝසස් යන සිගරට් දුම්වල සම්මිශ්රණයම පානය කළෙමු. කොණ්ඩයේ සිගරට් ගඳ කාවැදුනි. එහෙත් අපි මැසිවිලි නොකීවෙමු. චිත්රපටයේ රසම වින්ඳෙමු. ශාලාවේ සමහර පුටු මකුණන්ගේ රාජධානි විය . ලේ දන් දිදී වුවද චිත්රපටයේ රසම වින්ඳෙමු. කාටු විජේන්ද්රා හී මැද කණු අතරින් සිනමාපටය නැරඹුවෙමු. 10:30 හා 2:30 දර්ශන වලදී ටකරං රත්වී ශාලාව එකම පෝරණුවක් වුවත් අප සිනමාපටය රස වින්ඳෙමු. ටකරං අතරින් පෙරී ආ දැඩි හිරු කිරණ පරයා අප වින්ඳේ සිනමාපටයයි. ධර්මසේන පතිරාජ ,එච් ඩී ප්රෙමරත්න ,වසන්ත ඔබේසේකර ,ධර්මසිරි බංඩාරනායක ,තිස්ස අබේසේකර , ලෙස්ටර් ජේම්ස්, ඩී බී නිහාල්සිංහ, සේන සමරසිංහ හා යසපාලිත යන අධ්යක්ෂක මහතුන් අපව නැලැවූහ. හැඬවූහ. විස්මයට පත් කළහ. සිතන්නට යමක් ඉතිරි කළහ. අපගේ කළා රසය ඔප් නැංවූහ. ගාමිණී, විජය, ජෝ, රවීන්ද්ර, කලං, සනත් ඇතුළු මෙකී නොකී ප්රතිභාසපිරි නළුවන්ද මාලනී, ශ්රියානි,නීටා, ගීතා, ස්වර්ණා, අනෝජා, වීණා ඇතුළු නිලියන්ද අපව අමන්දානන්දයට පත් කළහ. එමෙන්ම පසුබිම් ගායක ගායිකාවන් වූ ජෝති, බෙග් , මිල්ටන් පොරේරා, මිල්ටන් මල්ලවආරච්චි, අමරදේවයන් , ලතා , ඇන්ජලීන් ,රුක්මණීදේවී හා සංගීත අධ්යක්ෂකවරුන් වූ පී එල් ඒ සෝමපාල, ක්ලැරන්ස්, සරත් දසනායක, ප්රේමසිරි කේමදාස, රෝහණ වීරසිංහ අපගේ ලෝකය ගීතවත් කළහ. 

මෙසේ ජය කෙහෙලි නැංවූ සිංහල සිනමාවට වූයේ කුමක්ද? ඊයේ මා කියැවූ ලසන්ත ද සිල්වා සහෘදයාගේ ලිපියට අනුව මෑතක දී පිට වූ ඉතාමත් විචිත්ර චිත්රපටයක් වූ ජයන්ත චන්ද්රසිරි මහතාගේ සමනල සංධ්වනිය චිත්රපටය නැරඹීමට ඔහු ගිය දිනක පැමිණ ඇත්තේ 15 දෙනෙකුටත් වඩා අඩු ප්රේක්ෂක සංඛ්යාවකි. එදා රැස් කකා පොර කකා චිත්රපට නැරඹූ රසිකයින් සිනමා ශාලාවෙන් ඈත් කළේ කවුරුන්ද? ගැටලුවකි. 

වේදිකා නාට්යවල තත්වයද මීට දෙවැනි නැත. වසර 20 කට පමණ පෙර ලංකාවේ සිටියදී මහා ජන ගඟක සිර වී නාට්ය බලා පළපුරුද්දක් තිබූ මම , පසුගිය වසරේ ලක්බිමට ගියවිට නාට්ය ඇරඹීමට පැයක් පමණ කලින් නාට්ය ශාලාවට ගියේ ජන ගඟේ තදබඳයෙන් මිදී නාට්ය ශාලාවට ඇතුළුවීමටයි. විශ්වාස කරන්න ,එදා ශාලාවටම සිටියේ මා ඇතුළු 25 ක් පමණ ප්රේක්ෂක පිරිසකි. ඔවුන්ගෙන් 15 ක් පමණ රණවිරු සෙවණින් පැමිණි ආබාධිත සෙබළුන් වූහ. ඔවුන් නොඑන්නට නාට්ය සජීවිව පස් දෙනෙකුට පෙන්විය හැකිව තිබිණි. කෙතරම් නම් විශාල කලාවේ පරිහානියක්ද? ඛේදවාචකයක්ද?

රටේ ඇති වූ සිවිල් යුද්ධය, ජාතිවාදී කළ කෝලහල, ත්රස්තවාදී උවදුර මෙයට මද වශයෙන් වග කිව යුතුය. ජනතාවට සිනමාවක් රස විඳිනවාට වඩා දිවිය රැක ගැනීමේ අරගලයක නිරතවන්නට සිදුවිය. ඊනියා ජාතිආලය අපට සිනමාහල්, ශබ්දාගාර හා රසායනාගාර රාශියක් අහිමි කළේය. වැඩ නිම වූ සිනමාපට කොපියකුදු ඉතිරි නොකොට විනාශ විය. 

අසූව දශකයේ මුල් භාගයේ ඇරඹුණු රූපවාහිනිය ප්රේක්ෂකයා සිනමාහළින් දුරස්කළද එයට සම්පූර්ණ වරද පැටවිය නොහැක. මන්ද සාර්ථක සිනමා කර්මාන්තයක් ඇති බටහිර රටවල්, ඇමෙරිකාව හා ඉංදියාව වැනි රටවල රූපවාහිනිය තිබුණද සිනමාව කඩා වැටුණේ නැත. එමෙන්ම සමහරු දැන් දැන් ගෙන්වන හින්දි චිත්රපට මෙයට හේතුව බව කියති. එහෙත් හැත්තෑව දශකයේ අගභාගයේදී කොළඹ වසරක් පුරා දිවූ අභිමාන් හෝ ගීත් වැනි සිනමා පට නිසා අපේ සිනමපට බිඳ නොවැටුණි. සරුංගලේ නරඹන්න සෙනඟ අඩු වූයේ නැත. බඹරු ඇවිත් නරඹන්න සෙනඟ අඩු වූයේ නැත. 

එසේනම් අපට වූයේ කුමක්ද? හැත්තෑ හතේ අපට ලැබුණු විවෘත ආර්ථිකය චිත්රකතාවේ හා සිනමාවේ කඩා වැටීමට හේතු වුණිද? කොදෙව් මානසිකත්වයෙන් මිඳී රටක් ලෝකයට විවෘත වීමට හා ලෝකය සමඟ වෙළඳ සබඳතා හා ගනුදෙනුවලට ආර්ථිකය විවෘත වීම වැදගත්ය. එහෙත් ඉන් ලබාගත යුතු ඵලදායී ආයෝජන වෙනුවට අප ගත්තේ කුමක්ද? රටට අනවශ්ය හැමදේම කිසිදු වගකීමක්, කිරා මැන බැලීමක් හෝ සීමාවක් නැතිව අප ලබා ගත්හ. අපගේ ස්වයංපෝෂිත ජීවන රටාව වෙනුවට බල්ලො මරා හෝ සල්ලි සොයන සංසකෘතියක් බිහිවිය. පාතාලේ සොල්දාදුවන් කිරුළු පැළැන්දුහ. අපගේ ආචාර ධර්ම, හොඳ නරක මිනිසුන්ට අමතක විය. මිනිසාට මිනිසෙකු ගරු කිරීම රටින් තුරන් විය. කොටින්ම අපගේ මුළු අධ්යාත්මයම කාබාසිනියා විය. සුන්නදූලි විය. අමන දේශපාලුවන් මේ හැම දේම නැතිකර දැමූහ. අපෙන් උදුරා ගත්හ. 

සල්ලී පමණක් තැකූ පිරිස් සංස්කෘතිය හා සභ්යත්වය බල්ලට දැමූහ. කලාත්මකව මෙතෙක් කල් රස විඳි නිරුවත හා ලිංගිකත්වය අමු අමුවේම කෙලෙසූහ. කුණුහරුප චිත්රකතා නිපදවා චිත්රකතා කර්මාන්තය නැතිබංගස්ථාන කළහ. එදා හංසවිලක්,කරුමක්කාරයෝ,මලට නොඑන බඹරු හා තුන්වැනියාමය වැනි සිනමාපට වලින් කතා කළ නිරුවත හා ලිංගිකත්වය අමු අමුවේම ඇගේ වෛරය, කාමසූත්ර වැනි උන්මත්තක චිත්රපට හරහා විනාශ කර දැමූහ. කෙලෙසූහ. චිත්රපටයක් හෝ ටෙලි නාට්යක් පෙන්වා ගැනීමට අදාළ ඇමතියාට පිරිමියෙකු නම් මුඳල් ද ගැහැනියක නම් තම ඇඟද පුද දෙන්නට සිදුවිය. 

තත්වය මෙසේ වෙද්දී අධ්යක්ෂකවරු සිනමාපට හැදීම නැවැත්වූහ. රචකයෝ හොඳ සිංදු නොලිව්වෝය. බොහෝ අය රට හැර ගියහ. මහා වැඩක් කළ හැකිව තිබූ වැඩකරුවෝ අකාලයේ දිවියෙන් ද සමුගත්හ. 

මේ අභාග්ය මධ්යයේම ප්රසන්න විතානගේ, ජයන්ත චන්ද්රසිරි, අශෝක හඳගම, ප්රසන්න ජයකොඩි, සුදත් දේවප්රිය, සුදත් මහදිවුල් වැව ,ඉනෝකා සත්යාංගනී හා ජැක්සන් ඇන්තනී වැනි අධ්යක්ෂකවරු උඩුගංබලා පීනීම අගය කළ යුතුය. එමෙන්ම ධර්මසේන පතිරාජයන්ගේ නැවත පැමිනීම අප ලැබූ මහා සම්පතකි. මම ඒ සක්කාරං නම් වූ පතිරාජ මහත්තයාගේ නවතම සිනමා කෘතිය ගැන බොහෝ බලාපොරොත්තු තබා සිටියෙමි. මා සිතුවේ සිනමා ශාලා පිරී ඉතිරී යයි කියායි. ඒත් ලසන්තගේ ලිපිය අණුව එය නැරඹීමටත් සෙනඟ පැමිණ නැත. අශෝක හඳගමගේගේ නවතම කෘතියේ ස්වර්ණා මල්ලවආරච්චි නම් ප්රවීණ නිළිය වසර 20 ක නිහැඬියාවකට පසු රංගනයෙන් එක් වී සිටින්නීය. එය නැරඹීමටවත් ප්රේක්ෂකයෝ යනු ඇතිද? මට නම් දැන් ඒ ගැනත් ඇත්තේ සැකයකි.ප්රේක්ෂකයා සිනමාහලට නොඑන්නේ නම් තව ටික කලකින් මේ හැදෙන සිනමාපට ටිකද නවතා ඔවුන්ද වෙන වැඩක් බලා ගනු ඇත. 

මෙයට හේතුව ශාලා වල පහසුකම් නැතිබවද අප ඩිජිටල්කරනය වී නැතිබවද බව මට මෑතකදී අසන්නට ලැබිණි. එයත් හේතුවකි. එහෙත් සිනමා නිර්මාණයක් හෝ ගීතයක් රස විඳින්නට මිනිසුන්ට උවමනාවක් නැතිද? සාහිත්ය රසය සිනමාරසය ඔවුන්ගේ දිවියෙන් පලාගොස් ඇතිද? ඔවුන්ට මේ රසය නැවත පෙවිය හැකිද? ඇයි එහෙම වුණේ? ප්රශ්න කෝටියකි. පිළිතුරු නැතිවෙන්නට බැරිය. එය සොයා ගත යුත්තේ අපේම අද්යාත්මයෙනි. අපේම හදවතට තට්ටු කිරීමෙනි. ඒත් අප බහුතරයකට ඇති කෙටිම සහ පහසුම පිළිතුර, මහගෙදර චිත්රපටයේ තිස්ස අබේසේකරයන්ගේ දෙබස් කාණ්ඩයකින්ම ඔබ වෙත ඉදිරිපත් කරමින් බොහොම කණගාටුවෙන් යුක්තව මම මේ සටහන අවසන් කරමි.

" මේවට උත්තර නෑ. උඹ කුරුල්ලෙක්ගෙන් ගිහින් අහපං ඇයි ඌ සිංදු කියන්නෙ කියලා. ඒ උපමාව සුන්දර වැඩිනම් බල්ලෙක්ගෙන් ගිහින් අහපං ඌ කණුවක් හරි පඳුරක් හරි දැක්කම අණ්ඩ උස්සන්නෙ ඇයි කියල. මේවට උත්තර නෑ මල්ලී. මේවට උත්තර නෑ"

මේවා අපේම වැරදි.......

ලසන්ත ද සිල්වාගේ ලිපිය - https://www.facebook.com/chandana.gunasekera/posts/10209246664514131

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Tuesday 3 May 2016

පරිත්‍යාගය- තුන්වන කොටස


ලාම්පුවේ එළියට දිස්නෙ ගැහුවෙ කඳුළු. ඇස් වල ඉඳන් කඳුළු ගංගාවක් කම්මුල් තෙමාගෙන පහළට ගලනවා. රැවුල කඳුළින් පෙඟිලා. මට ගැහැණු අඬනවා ඕන තරම් ඉවසන්න පුළුවන්. ඒත් පිරිමියෙකු කඳුළු හලනවා උහුලන්නෙ නෑ. මගෙත් ඇස් බොඳවේගෙන යන බව මට දැනුණා. 

" ඒක බොහොම දිග කතාවක් පුතා" එහෙම කියලා මම අතට දුන්නු වීදුරුවත් උඟුරටම හලා ගත්තා. 

" උත්පලයි මමයි එක ගමේ. අපි එකම ඉස්කෝලෙට ගියේ. උත්පලා හරිම ලස්සනයි පුතා. අපේ මුළු ගමේවත් ඉස්කෝලෙවත් හිටියෙ නෑ එච්චර ලස්සන කෙල්ලෙක්. එයාගෙ තිබුණු ලස්සන ඇස් දෙකට මම හුගක් ආදරය කළා. ඒ ඇස්වල දගකාරබවක් තිබුණත් සාරාගී බවක් ගෑවිලාවත් තිබුණෙ නෑ. ඒ උණත් එයා මගෙ දිහා බලන කොට ඒඇස් අමුතුම කාන්තියකින් දිලිසෙන බව නම් මට තේරුණා. එයාට හරිම හැඩ ඉණ ගාවට විතර දිග කොණ්ඩෙකුත් තිබුණා. කොණ්ඩ කරල් දෙකකට ගොතල එයා ඉස්කෝලෙට ආවෙ මම දවසක් එයාට එහෙම කොණ්ඩෙ දාගෙන එන්න කියපු නිසා. ....."

" අපි දෙන්නා බොහෝ වෙලාවට පාඩම් වැඩ කළෙත් එකටමයි. දකින හැමෝමත් අපේ යාළුවොත් හිතාගෙන හිටියෙ අපි පෙම්වතුන් කියලා. ඒත් අපි කවදාකවත් ආදරයක් ගැන කතා කරල තිබුණෙ නෑ. ඒක දැනගෙන හිටියෙ අපි දෙන්න විතරයි. ඒ වුණාට එයා මටත් මම එයාටත් අසීමිතව ආදරය කළා. එහි අවසානය මොකක්ද කියල අපි දෙන්නම දැනගෙන හිටියෙ නෑ. අපිට දැන ගන්න උවමනාවක් තිබුණෙත් නෑ. මේ විදිහට කාලය නිසොල්මනේ ගතවුණා."

" ඉතිං ? ඉතිං?? " මම ඇහුවෙ තව විස්තර දැන ගැනීමේ කුතුහලයෙන්. 

" ඔව් පුතා. මම කියන්නම්. මගෙ හිතට සහනයක් ඒක...... ඔව් මට මතකයි ඒ දවස. එදා තමයි අපේ ජීවිත වෙනස් වෙන්න අඩිතාලම වැටුණේ. "

" එදා උදෙන්ම අපේ පංතිය භාර ගුරුතුමා, පෙරේරා සර් පංතියට ආවෙ අළුත් ශිෂ්යයෙකුත් එක්ක..හරිම හුරුබුහුටි කඩවසම් කොල්ලෙක්. ඒත් අළුත් මුහුණු ගොඩ දැකල බය වෙලා වගේ හිටියේ. සර් එයාව පංතියට හඳුන්වලා දුන්නා. "

" ළමයි ඔයාලා මේ අළුත් යාළුවව හඳුනාගන්න. එයාගෙ නම පාලිත සමරවික්රම. මේ පළාතට පදිංචියට අලුතින් ආවේ. මෙයාගෙ තාත්තා තමයි අපේ පොලිසියට අලුතින් ආපු එච් කිව් අයි මහත්තයා මිස්ටර් කින්ස්ලි සමරවික්රම. " එහෙම කියල සර් පංතිය සිසාරා ඔහුගෙ උකුසු ඇස් මෙහෙයුවා. 

" ආ.... පාලිත ඔයා ගිහින් අර තුන්වැනි පේළියේ කෙළවරේම ඉන්න පරක්රම ළඟින් වාඩි වෙන්න. " 

එහෙම කියල මගෙ දිහාවට හැරුණු පෙරේරා සර් " පරාක්රම මේ පාලිතට අනෙක් අයවත් හඳුන්වල දීලා එයාට ඔයාගෙ නෝට්ස් එහෙම ලියා ගන්න දෙන්න ඕනෙ. හෙඳද?". 

මම " හොඳමයි සර් " කිව්වෙ බොහොම ගෞරවයෙන්. ඒ වගේම පුංචි අභිමාණයකුත් හිතේ රඳවගෙන. පාලිත මගෙත් එක්ක ලස්සනට හිනා වෙලා මගෙ එහා පැත්තෙ පුටුවට ආවා.

පාලිතගෙ තොරතුරු දැනගන්න විවේක කාලය එනතුරු අපි හැමෝම බලං හිටියෙ බොහොම නොඉවසිල්ලෙන්. 

බෙල් එක වැදුණ විතරයි ළමයි රංචුව පාලිතව වට කරගත්තා. එයාලගෙ ගම මාතර. ඊටපස්සෙ තාත්තට මාරු වීම් රට පුරාම ලැබෙන කොට ඒ ඒ පළාතට එයාලත් යනවලු. මේ එයාගෙ එකළොස්වෙනි ඉස්කෝලෙ කිව්වම අපි විශ්වාස කළෙත් නෑ. මෙහාට ආවෙ අනුරාධපුරයෙ ඉස්කෝලෙක ඉඳල කිව්වා. 

මෙහෙම විස්තර කතා කර කර ඉන්නකෙට මට හදිසියෙම යම් අඩුවක් දැනුණා. අනෙක් ළමයි ඔක්කොම වගේ හිටියට උත්පලා පේනවත් හිටියෙ නෑ. මම ඉක්මනට එහාට මෙහාට දුවල එයාව හෙව්වා. අපි බොහෝ විට විවේක වෙලාවට ඉඳගෙන ඉන්න නා ගහ යට තියෙන බංකුවෙ උත්පලා වාඩිවෙලා ඉන්නවා මම දුරටම දැක්කා. මම ළඟට යන කොට තමයි දැක්කෙ එයා බොහෝ ඈතට දෑස් යොමාගෙන බර කල්පනාවක ඉන්න වග. වෙනද වගේම නා ගහ මල් පොරවගෙන හිටියත් වෙනද දැනෙන ඒ මම ආසම කරන නා මල් සුවඳ නම් එදා දැනුණෙ නෑ. 

" මොකද ළමයො ඔයා මෙතන තනියම? මම බැලුවා කොහෙද කියල" මම දුර ඉඳලම මෙහෙම අහගෙන උත්පලා ළඟට ගියා. 

" අනේ එහෙම මොකුත් විශෙෂයක් නෑ පරාක්රම. මගෙ හිස ටිකක් කකියන්න ගත්තා. ඒකයි මම හුළං ටිකක් වදින්නත් එක්ක මෙතනට ආවෙ. "

උත්පලා එහෙම කිව්වත් වෙන මොකක් හෝ ඇති කියල මට හිතුණා. මොකද ඒ වෙන කොට මටත් වඩා හොඳට මම එයා ගැන දැනගෙන හිටිපු නිසා සහ එයාගෙ පුංචි වෙනස් වීමක් පවා කියවා ගැනීමට තරම් මම එයාට සමීප වෙලා උන්නු නිසා. ඒත් මම වෙනසක් පෙන්නුවෙ නෑ. 

" අපි හැමෝම අර අළුත් ළමයා, පාලිතත් එක්ක කතා කළා. ඔයා විතරයි නාවේ. එයා හරි හොඳයි වගේ උත්පලා. දැන් හිතයි ඔයා හරිම ආඩම්බරකාර කෙල්ලක් කියලා. " මම එහෙම කිව්වෙ බොරු නෝකඩුවක් මුනෙ මවා ගෙන. 

" ආ. . ඇත්තද මම එයත් එක්ක පස්සෙ කතා කරන්නම්. ඒක නෙමේ ඔයා අර මට දුන්න නව කතාවෙ තමන්ට හිමි නැති ආදරයක් උදුර ගන්න තමන්ගෙ හොඳම යාළුවව මරණ සිද්ධිය ගැන මොකද හිතන්නෙ? මිනිස්සුන්ට එහෙම හැසිරෙන්න පුළුවන්ද කියල මට හිතෙනවා සමහර වෙලාවට. ඒත් මට නම් ඒ කතාවෙ ගොඩක් සිද්ධි හරිම තාත්විකයි වගේ. මම ඊයෙ රෑම ඒක කියවල ඉවර කළා. "

" හ්ම්ම්.... ආදරයයි වෛරයයි අතරෙ තියෙන්න පුංචිම පුංචි වෙනසයි. ඒ වගේම හැම කෙනෙකුගෙම ඇතුළෙ පුංචි ළමයෙක් වගේම යකෙකුත් ඉන්නවා. පස්සෙ අපි ඒ ගැන කතා කරමු. දැන් ඉන්ටවල් එකත් ඉවර වෙන්න ළඟයි. එන්න අපි පංතියට යමු. "

" ඔයා යන්න පරාක්රම. මම තව ටිකකින් එන්නම්. "

එතකොට මම උත්පලා දිහා බැලුවා. එයාගෙ මුහණෙ තිබුණෙ විඩාබර පෙනුමක්. මම ගොඩක් ආසකල එයාගෙ දිග කොණ්ඩෙන් මිදුණු අකීකරු කෙස් රොදක් මද සුළඟට එයාගෙ නළල දිගේ නැටුවෙ මට ඔච්චමට වගේ. 

එදා අපි ඉස්කෝලෙ ඇරිල ගෙදර යන කොට උත්පලා හරියට හොල්මනක් දැකල බය වෙලා වගේ මගේ ළඟට දුවගෙන ආවා. 

මතු සම්බන්ධයි....



චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය. 

Friday 22 April 2016

ඩී බී නිහාල්සිංහයනුත් අප හැර ගිහින්......



රිදී සිනමා කැණි මඩල
බර දරා වුන් කුළුණු පෙළ
එකින් එක ඉවත්වී යන සඳ
දුක දරන්නේ කොහොම

අතු පතර විදාලූ 
විසල් තුරු පියස ලෙස
සෙවණ සහ රැකවරණ 
සැලසුවා ඔවුන් යටි පෙළට

එහෙත් උන් ඉසිඹුලන අද දින 
නිරාවරණය වේය යටි පෙළ 
ඉන් ලබා හිරු එළිය යහමින
දිනෙක මහ ගස් වී හැදෙන බව
සිතා සිත සනසගමි මම

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය



Tuesday 19 April 2016

ප‍රිත්‍යාගය - දෙවන කොටස



" මේ මොන යකෙක්ද?" මට කියවුණේ ඉබේටම. හොල්මනක් වද්ද? ඒත් මේ ගතවූ වසර 20 ට නම් හොල්මණක්වත් මාව බලන්න නාපු බව මට නැවත සිහිවුණා. හිත හිත ඉන්න කාලයක් නෑ. වැහි බිංඳු මගෙ මූණට වැටුණෙ ඉදිකටු අනිනවා වගේ. පරණ හා ගරා වැටුණු සොහොන් කොත් දිගේ වතුර ගලාගෙන ගියේ පුංචි දියපාරවල් හිතුණු හිතුණු හැඩයට හදා ගෙන. 

" එයි කවුද ඔතන" මම ආයිත් ඇහුවෙ ටෝච් එක අමුත්තගෙ මූණටම ගහගෙන තවත් ටිකක් සද්දෙ වැඩි කරල. එහෙම්මම මම ටික ටික එතනට ළංවුණා. එතකොට තමයි මම හරියටම දැක්කේ වැස්සට තෙත බරි වෙලා තිබ්බ ඒ මූණ. 

මුහුණ පුරාම ඝනට වැවිල තිබුණු සුදු රැවුල නිසා මේ ඉන්නෙ වයෝවෘධ මහල්ලෙක් බව නම් මට තේරුණා. මිනිහගේ මූණෙ ගිලුණු ඇස් වටා තිබුණෙ වැහි වතුරට වඩා ගලා ගිය කඳුළු කියලයි මට හිතුණෙ. ඒ මනුස්සයා මගෙ දිහා බලලා ඇස් වලින් හිනා වුණා. මට එකපාරටම අපේ තාත්තව සිහියට ආවෙ. 

මගේ අතේ තිබුණ අලවංගුව මම ඔහුට නොපෙනෙන්න බිමට අත ඇරියෙ ඇතිවුණු ලැජ්ජාවට. මගෙ දිහා බලපු ඔහු නැවතත් මිනිය වළලපු අලුත් පස් ගොඩ දිහාවට හැරුණෙ මාව ශතයකටවත් මායිම් නොකර. මෙහෙම විනාඩියක් විතර ගතවෙන්න ඇති. කිසිම හැලහොල්මනක් නෑ. වැස්සෙ සද්දෙ විතරයි. ඒ මනුස්සයා කතා කරන පාටක් නැති නිසා මම ආයෙත් ඔහුට තව ටිකක් ලං වුණා. 

" මේ ලොකු උන්නැහේ, මට තේරෙනවා ඔහෙගෙ දුක. ඒත් අවේලාවෙ ඉන්න ඕන තැනක් නෙමේ මෙතන කියල දන්නෙ නැද්ද? මෙතන වළලපු කෙනා ඔහෙගෙ කවුද කියල මම දන්නෙ නෑ. ඒත් ඇයි අද දවල් නාවෙ? ඔච්චර දුක් වෙනවා නම් ඇයි ඒ මනුස්සයට කාත් කවුරුවත් නැති හිඟන්නියක් වගේ ඉස්පිරිතාලෙ මැරෙන්න ඉඩ දුන්නෙ?" 

මේ ප්රශ්න මාලාව ඔහු හිටපු තත්වය සහ ඔහුගෙ වයස අනුව බොහොම කටුක වුවත් සන්සුන්ව ඔහුගෙන් අහන්න මම වගබලා ගත්තා. 

එතකොට ඔහු නැවතත් ඔළුව උස්සලා මගෙ දිහා බැලුවා. 

" ඒක මහා දිග කතාවක් මහත්තයා. අනේ මගෙ ආදර උත්පලා. " මනුස්සයා මෙහෙම කියල මහ හයියෙන් ඉකි ගහන්න පටන් ගත්තා. 

" මම උත්පලාට මගෙ පණටත් වඩා ආදරය කළා මහත්තයා. "

" ඒක අද ඊයෙ නෙමේ සංසාරෙන් සංසාරෙට එන ආදරයක්. ඒත් මට එයාගෙ හුස්ම ටික යන වෙලාවෙ ළඟ ඉන්න බැරිවුණා. මම හිතුවෙ පාලිත වගේ උත්පලාට කලින් මාත් යයි කියලා. ඒත් මේ මොකක්ද සිද්ධ වුණේ? "

මිනිහ වැලපෙන විදිහ බලා ගෙන මම හිටියෙ බොහොම අපහසුවෙන්. මට මොනවත් හිතා ගන්න බැරි වුණා. මේ මනුස්සයා කවුද? උත්පලා, පාලිත? මොනවද මේ දොඩවන්නේ. මිනිහගෙ බාහිර ස්වරූපය සහ ඇඳගෙන හිටපු ඇඳුම් වලින් ඔහු කවුරු හෝ වැදගත් මහත්තයෙක් බව පෙනුණා. විශාල බෑගයකුත් ළඟ තිබුණා. 

" ලොකු උන්නැහේ, මට තේරෙනවා. ඒත් දැන් ගියදේ ගියා. කරන්න දෙයක් නෑ. ඊටත් මේ මහා වැස්සට තෙමිලා නිකං නහින්න ඕනෙ නෑනේ. යමු යමු මගේ කාමරයට. එතනට ගිහින් අපි කතා කරමු. " කියල මම යෝජනා කළේ ඒකයි. 

මිනිහා ආයිත් සොහොන දිහා බලලා, මුළු ලෝකයම දැවිල පිච්චිලා යන තරමෙ සුසුමක් පිටකළා. ඉන්පස්සෙ ඔළුව වනල මගෙ අදහස පිළිගෙන මගෙ පස්සෙන් වැටුණා. 

මගේ පුංචි කුටියෙ මම නිදා ගන්න ඇඳට අමතරව තිබුණෙ පුටු කබලක් සහ මම ඉඳහිට යමක් කුරුටු ගාන්න පත පොත තියාගන්න මේස පොඩ්ඩ. මම ඔහුට පුටුවෙ වාඩිවෙන්න සලස්වලා ගෑස් ලිප උඩ තිබුණු කේතලයට වතුර පුරවල රත් වෙන්න දැම්මා. කිසිම හා හූවක් නෑ. මම ආයිත් ඔහු දිහා හොඳින් බැලුවා. කාමරයේ තිබූනෙ දුබල එළියක් උණත් ඒ ඇස් මම හොඳින් දැක්කා. විඩාබර වෙලා කඳුළින් පෙඟිලා තිබුණත් ඒ දෑස්වල තිබුණෙ අමුතු දීප්තියක්. අධිෂ්ඨානයක්. 

" මහත්තයා , සීතල යන්නත් එක්ක අපි කෝපි කෝප්පයක් බොමුද?" කියල අහන ගමන්ම මගෙ තුවයක් දුන්නා ඔළුව පිහදා ගන්න. 

" කෝපි එපා නම් තව සැර ජාතිත් තියනවා."

ඒක ඇහුණ විතරයි බිමට යොමුවී තිබුණු ඔහුගේ ඇස් මා දිහාවට හැරුණා. 

" උත්පලා නම් බීමට කවදාකවත් කැමති වුණේ නෑ පුතා. ඒ එයාගෙ තාත්තගෙ බේබදු කම නිසා වෙන්න ඇති. ඉතිං එයා නිසා පාලිතත් බීම නැවැත්තුවා. මමත් නැවැත්තුවා. ඒත් අද ඒ දෙන්නම නෑ. මම දැන් කා වෙනුවෙන් ඒවා රකින්නද? ඕන දෙයක් බොමු පුතා. " එහෙම කියලා අමුතු හිනාවක් දැම්මා. 

මම ඉක්මනට තව වීදුරුවක් හෝදල ගල් අරක්කු ටිකක් ඒකට වක්කරන ගමන් සෝඩා බෝතලෙත් ඔහුට ලං කළා. 

" සෝඩා එපා පුතා" එහෙම කියල වෙව්ලන දෑතින් වීදුරුව ගත්තෙ හරිම භක්තියකින්. ඉන්පස්සෙ එහෙමම උඟුරට හලාගෙන කට ඇඹුල් කර ගත්තා. මම කඩල පිඟානත් ඔහුට ලංකරන ගමන් 

" මහත්තයා කවුද? ඇයි මේ විදිහට දුක් වෙන්නෙ?" කියල ඇහුවා. 

එයා ආයිත් මගෙ දිහා බැලුවා. 

" ඒක මහ දිග කතාවක් පුතා .....අවුරුදු ගණනාවක් කාටවත්ම නොකියපු දිග කතාවක්. " එහෙම කියලා තව වීදුරුවක් දමා ගත්තෙ මෙතන පුරුදු කාරයෙක් වගේ. 

" මේ කතාවෙ අවසාන හරිය උත්පලාවත් දන්නෙ නෑ. " ඒත් පුතා කැමති නම් මම ඒක කියන්නම්. මොකද මම මැරෙන්න කලින් කාට හරි මේක කියන එක මට හිතට සහනයක්. එතකොට මට නිදහසේ මැරෙන්න පුළුවන්. " එහෙම කියල දෙවැනි වීදුරුවත් උඟුරට හලා ගත්තා. ඉන්පස්සෙ බාගෙ බෝතලෙ ඉතුරු වෙලා තිබුණු වඩිය මගේ වීදුරුවට හැළුවා. පාළුවෙ උන්නු මටත් වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. ඒ වගේම මේ හතරබීරි කතාව දැනගන්නත් මට පුදුම ආසවක් ආවේ. ඊටත් වඩා මේ මනුස්සයව දැකපු වෙලේ සහ හවස අර මිනිය වළලපු වෙලාවෙ ඉඳලම මගෙ හිතටත් මොකක්දෝ විස්තර කළ නොහැකි අමුත්තක් දැනිලයි තිබුණෙ. 

" කියන්න මහත්තයා. මම ආසයි ඒ කතාව දැනගන්න. වැඩියෙන්ම ඒක මහත්තයට සහනයක් නිසා. මම මිනී වළලන , සොහොන මුරකරන සොහොන්පල්ලා තමයි. ඒත් මටත් හිතක් පපුවක් තියෙනවා. " එහෙම කියනකොටම මං ගැනම ඇතිවුණු ආත්මඅනුකම්පාවකින් මගෙ වචන පැටලුණා. එහෙමම මගෙ වීදුරුවත් මම උගුරට හලා ගත්තා.

" මහත්තයා ඉන්න. හංදියෙ පද්මෙ අයියගෙ බාර් එකනම් වහල. ඒත් පිටිපස්සෙන් කතා කරල මට බෝතලයක් ගත්තැහැකි. මම සුටුස් ගාල එන්නම්" කියල එළියට යන්න හදනකොටම මේ මනුස්සයා ඇදල ගත්තෙ නැද්ද බෝතලයක්. 

" කරදර වෙන්න එපා පුතා. මගෙ ළඟ බඩු තියෙනවා. මේක කඩල ගම්මු. " මට මිනිහව ඉඹ ගන්න හිතුණා. කන බොන මිනිහෙක් විතරයි මේවගේ වෙලාවක බෝතලයක අගය දන්නෙ. මට නිකං කප්රුක පහළ වුණා වගේ. 

බෝතලේ කඩල දෙන්නගෙම වීදුරුවලට වක් කරන ගමන් 
" ඉතිං ඉතිං මහත්තයා මේකත් ගහලම  කතාව පටන් ගම්මුකො එහෙනම් " කියල මම එයාගෙ මුහුණ දිහා බැලුවා. ලාම්පුවෙ එළියෙන් දිලිසෙන කොට තමයි මම හොඳටම දැක්කෙ.

මතු සම්බන්ධයි..

පළමු කොටස - https://www.facebook.com/chandana.gunasekera/posts/10209034830978425

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Friday 15 April 2016

විරහ වේදනාවෙන් ආතුරවූ හදවත් සුවපත් කළ ජීවකයා.....


පසුගිය හත් වෙනිදාට යෙදුණු මිල්ටන් මල්ලවආරච්චි නම්වූ ඒ සුන්දර ගායනවේදියාගේ ජන්ම සංවත්සරය වෙනුවෙන් මා එංගලන්තයේ පළ වන හෙළබිම පුවත් පතට ලියූ ලිපිය. 

ශීත කාලයේ අවසන අබිමුව ගෙවී යන තවත් එක් දිනෙක අපරභාගය එළැඹෙමින් පවතී. මම කවුළුව තුළින් අඳුරු පැහැගත් හිස් අහස දෙස හිස් බැල්මෙන් බලා සිටිමි. හීන් හිරි පොදයක් සේ ඇරඹි වැස්ස දැන් මහ වරුසාවක් බවට හැරී ඇත. ගත සිත හිරිවට්ටමින් හමා එන සීතල සුළං රැළි මා හද තවත් පෙළයි. කොළ හැලී ඉපල්ව ගිය ගස් පෙළ පෙරමඟ බලමින් ළඟ එන වසන්තයට සූදානම් වුවත් යන්තම් මෝදුවූ මොටෙයියන් හැරුණුකොට මලක් පිපී එන ලකුණක් අහලකවත් නැත. 

හදිසියේම මගේ සිත වසර ගණනාවකට පෙර ලංකාවේ ගතකළ දිනයක් වෙත ඇදී ගියේ මටත් හොරාය. එදිනත් මෙලෙසම වැසි වැටෙමින් තිබූ බව මතකය. මා සිටියේ වැස්ස තුරල් වන තුරු ගසක් යටය. බක් මාසය එළැඹෙමින් තිබුණු සමය නිසා ගස් වැල් මලින් බරවී මල් රොණින් පිරී තිබිණි. අවට වූ මැයි ගස් හා එරබොදු ගස් රක්තවරණ මලින් වැසී අතු මත හා බිම රතු පලස් එලුවාක් මෙන් දිස් වුණි. ඒ මොහොතේ අසල කඩයක තිබූ රේඩියෝවකින් වාදනයවූ ගීතයක් ඒ මොහොතට ටක්කෙටම ගැළපුණේ කෙසේදැයි මට කෙදිනකවත් සිතාගත නොහැකි විය. 

" මේ මැයි ගහයට දවසක් දා 
වැස්සට අපි උන්නා.......
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
අපට සෙවණ දුන්නා......"

වෙනසකටවූ එකම දෙය වූයේ මා එතැන තනිවම සිටීම පමණකි. එදා ඒ ගීතය ගැයූ ගායකයාගේ මධුර , ප්රේමනීය හා හැගීම්බර හඬ මගේ හදවත පතුලේ ගැඹුරුම තැනක තැන්පත්වූයේ මා ඔහුගේ සදාකාලික රසිකයෙකු බවට පත්කරවමිනි. ඔහු ගැන ලියන්නට හා කතා කරන්නට මට බොහෝදේ ඇත. අපගේ අවාසනාවට අවුරුදු 54 ක් වැනි ඉතා අඩු වයසක සිටියදී , එකදහස් නමසිය අනූ අටේ මාර්තුවේ දහවෙනිදාවක සදහටම අපෙන් සමුගෙන ගියද ඔහුගේ නාමය තවමත් අමරණීයය. ඒ අපට ඉතිරි කොට ගිය මහා නිධානයක්වන් ගීත ගොන්න හේතුවෙනි. මේ පුංචි සටහන මිල්ටන් මල්ලවආරච්චි නම්වූ ඒ සුන්දර , හැගීම්බර අමරණීය ගායකයා වෙනුවෙනි. 

එකදහස් නමසිය හතළිස් හතර වසරේ සුන්දර බක් මාසයක හත් වෙනිදා එතුමා මෙලොව එළිය දිටීය. කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයෙන් සිප්සතර හැදෑරූ එතුමාගේ ජීවිතය වූයේ සංගීතයයි. 

පිරිපුන් යොවුන් වියේ පසුවූ මිල්ටන් තරුණයා සංගීත කණ්ඩායම් වලට බැඳුණේ ගීත ගායනයට හා සංගීතයට තිබූ පිපාසය නිසාමය. මුලින්ම සෙල්ලම් කළ " සාක්යයන්ස් " නම්වූ සංගීත කණ්ඩායම වැඩිකලක් පැවතුණේ නැත.  ඉන්පසු එකල ජනප්රිය සංගීත කණ්ඩායමක්වූ " ලා සිලනියන්ස් " කණ්ඩායමට එකතුවීමට තරම් එතුමා වාසනාවන්ත විය. 

" ලාසිලනියන්ස්" කණ්ඩායමේ ගීත ගයන මේ යොවුන් තරුණයාගේ ප්රේමනීය හඬ පැට්රික් කොරයා නම් ගී තැටි නිෂ්පාදකවරයාගේ සවන් වැකීම මිල්ටන් මල්ලවාරච්චි යන්නෙකුගේ සාර්ථක සංගීත දිවියේ ආරම්භය යැයි මිල්ටන්වත් එදා සිතන්නට නැතුවාට කිසිම සැකයක් නැත. ඒ 1969 වසරේදීය. 

" ඔරුවක පාවෙන ", " සංසාර සෙවනැල්ල", "මංගලේ නෙත් මංගලේ" වැනි හැත්තෑව දශකයේ මුල්භාගයේ අති ජනප්රියවූ සහ එයින්ම මිල්ටන් මල්ලවාරච්චි නම් ගායකයකු මුළු රටම හදුනාගත් ගීත Exvee ලේබලය යටතේ 78rpm රෙකෝඩ් තැටියක් විලසින් දොරට වැඩියේ පැට්රික් කොරයා සංගීත තැටි නිෂ්පාදකවරයාට පිංසිදුවන්නටය. 

ඉන්පසුව , එවකට ඉතා ජනප්රිය තලයේ සංගීත අධ්යක්ෂකවරයෙකුවූ පැට්රික් දෙණිපිටිය මිල්ටන්ගේ ගීතවලට නව ආරක් ලබා දීමට සමත් විය. මේ යටතේ නිර්මාණයවූ මිල්ටන්ගේ " ඉවුරු තලා", " මා හා එදා", " මා නිසා ඔබ" හා " සයුරු තෙරේදි" වැනි ගීත රසිකයන් වැළඳ ගත්තේ උමතුවෙන් මෙනි. මේ කාලය වනවිට විරහ ගීතයේ මුද්රාව බවට පත්වීමට මිල්ටන් මල්ලආරච්චි සමත් විය. 

මේ අතර ලාංකීය සිංහල සංගීතයේ විප්ලවීය වෙනසක් කළ මහා දක්ෂයකු වූ ක්ලැරන්ස් විජේවර්ධනයන් හමුව මිල්ටන්ගේ සංගීත දිවියේ අති ප්රබලම සංදිස්ථානය විය. 

ක්ලැරන්ස් සමඟ එකතුවී මිල්ටන් මල්ලවආරච්චි නිර්මාණය කළ " ඝන අඳුරේ", එදා රෑ", " මට මෙන් ඔහුටද" හා " මඟ තොටදී" වැනි ගීත හා ක්ලැරන්ස්ම මිල්ටන් වෙනුවෙන් ලියූ " අවසර නැත මට", " සුළඟේ පාවී", " තනි වී සිටින්නයි" හා පෙම් රජ දහනේ" වැනි අමරණීය ගීත යුග යුග ගණනාවක් ගෙවී ගියද රසික හද සන්තානයන්ගෙන් ගිලිහී නොයන බව මට හොඳටම විශ්වාසය. 

මෙතරම් අපූරුවට හැගීම්බරව විරහ වේදනාව ගැයූ තවකෙකු සිරිලක සිටියේ නැත. ඒ වේදනාව ඔහුගේම කරගෙන ඔහු ගැයුවේය. ඒ සඳහා ඔහු ගිරිය පුප්පාගෙන කෑ ගැසුවේ නැත. අත් පා ලෙලදෙව්වේ නැත. වේදිකාවේ පෙළහර පෑවේද නැත. මයික්රෆෝනය එක අතකින් අල්ලා ගෙන වේදිකාව කොනේ හිටි පිළිමයක් සේ හිඳිමින් ඔහු ගැයීය. 

ඔහු විරහ ගීත කෙතරම් තාත්විකව ගැයුවාද කියතොත් බොහෝ පිරිස් ඒ ඔහුගේම පුද්ගලික  අත්දැකීම් යැයි සිතූහ. මාත් එකල සිතුවේ එලෙසිනි. එහෙත් මේ පිළිබඳව අදහස් දැක්වූ ප්රවීණ ගායිකා ඉන්ද්රානි පෙරේරා මහත්මිය වරක් පැවසුවේ එතුමාට එවන් විරහවක් නොතිබූ බවත් සහ එතුමාගේ අදරණීය බිරිඳවූ ස්වර්ණා මහත්මිය සමඟ ඉතා සතුටුදායක පවුල් ජීවිතයක් ගත කළ බවත් , එතුමාගේ ඉතාමත්ම හිතවත් යෙහෙළිය වශයෙන් තමා හොඳාකාරවම දන්නා බවයි. මිල්ටන් - ස්වර්ණා යුවලට දරුවන් සතර දෙනෙකු වූ අතර තම පියාගේ අඩිපාරේ යමින් එතුමාගේ ගීත ඉදිරි පරපුරටත් රැගෙනයාමේ උදාර මෙහෙයේ යෙදෙන රනිල් එතුමාගේ ලොකුම පුතාය. 

එමෙන්ම අද කාලයේ මෙන් ජංගම දුරකථන නොතිබුණු එකල එතුමාගේ ගීතවල කොටස් තම පෙම් හසුන්පත්වල නොලියූ පෙම්වතකු හෝ පෙම්වතියක සිටියේ නැත. පෙම් සබඳතා කැඩීගියෝ එතුමන්ගේ විරහ ගීත ගයා හෝ අසා තම විරහ වේදනාව සමනය කර ගත්හ. 

කරුණාරත්න අබේසේකර, කේ ඩී කේ ධර්මවර්ධන, ප්රේමකීර්ති ද අල්විස්, ක්ලැරන්ස් විජේවර්ධන, උපාලි ධනවලවිතාන, ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ, ෂෙල්ටන් වීරරත්න, කුලරත්න අරියවංශ , ආනන්ද පද්මසිරි, වර්නන් පෙරේරා, චිත්රානන්ද අබේසේකර,බංඩාර කේ විජේතුංග හා විජය රාමනායක ආදී අති ප්රවීණ හා ප්රතිභා සපිරි ගේයපද රචකයන්ගේ අමරණීය පද රචනා ගැයීමට මිල්ටන් මල්ලවආරච්චි සූරීන් වාසනාවන්ත විය. 

මා මෙම සටහනේ මුලින්ම සඳහන් කළ මා මෙන්ම සුවහසක් රසික රසිකාවියන් උමතුවවුන් "  මේ මැයි ගහ යට" ගීතය 1976 දී මෙල්රෝයි ධර්මරත්නයන් නිෂ්පාදනය කළ EP තැටියකට ඇතුළත්වූ අතර එය දනන් තුඩ තුඩ නිබදව රැව් දෙන ගීතයක් බවට පත් විය. මෙහි පද රචකයාවූ මෑතකදී අප හැර ගිය ආචාර්ය අජන්තා රණසිංහයන්වද මේ මොහොතේ කෘතඥතාපූර්වකව සිහිපත් කිරීම මගේ යුතුකමක් යැයි සිතමි. 

1978 දී මිල්ටන් , ක්ලැරන්ස් විජේවර්ධනයන් සමඟ තරංගා ලේබලය යටතේ සිය කුළුඳුල් කැසට්පටය නිර්මාණය කරද්දී එතුමා ගායකයකුට යාහැකි ජනප්රියත්වයේ ඉහළම හිනිපෙත්තට ගොස් තිබිණි. 

මෙපමණක් නොව සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයන්වූ හැත්තෑවේ හා අසූවේ දශකවල සිනමා පසුබිම් ගායකයකු වශයෙන්ද මිල්ටන් මල්ලවආරච්චි තම අද්විතීය මුද්රාව තබා තිබුණි. ඒ 1971 දී " පූජිතයෝ" චිත්රපටයෙන් පසුබිම් ගායනයට එක් වෙමිනි.

එතුමා කෙතරම් සාර්ථක ගමනක් සිනමා පසුබිම් ගායනය තුළින් ගියේද යැයි 1984 දී හොඳම සිනමා පසුබිම් ගායනයට හිමි සරසවි සම්මානය දිනා ගැනීමෙන්ම පෙනී යයි. ඒ සේන සමරසිංහයන්ගේ " ඈතින් ඈතට" චිත්රපටයේ " කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා " ගීතයටය. එමෙන්ම සේන සමරසිංහයන්ගේම චිත්රපටවූ " ආශා දෑසින් " හා " නිල්ල සොයා" යන චිත්රපටවලට එතුමා ගැයූ " ම්ම්ම් ...හාහාහා....මාආ මත්වීලා " හා " නිල්ල නගන ස්වර්ණ ටිකිරි රාවේ" වැනි ගීතත් 1974 වසරේදී " සැණකෙළිය " චිත්ර පටයේ " රැයක් උපද්දා" හා එහිම ඉන්ද්රානි පෙරේරා සමඟ ගැයූ " සමනල රෑනක් සේ" යන ගීත මිල්ටන් මල්ලවආරච්චි නාමය ඉහළටම ඔසවා අමරණීය තත්වයට පත් කිරීමට සමත් විය. 

පැට්රික් දෙණිපිටිය, ක්ලැරන්ස් විජේවර්ධන ,සී ඩී ෆොන්සේකා හා වික්ටර් රත්නායකයන්ගේ ඇතුලු තවත් බොහෝ සංගීත අධ්යක්ෂකවරුන්ගේ මනරම් සංගීතය හා එතුමන්ට ලැබුණු හර බර පදවැල් නිසා මිල්ටන් මල්ලවආරච්චි වැජඹුණා මෙන්ම එතුමන්ගේ රසාලිප්ත මනෝහර හඬින් හා ගායන විලාසයෙන් ඒ සංගීතවේදීන් හා ගේයපද රචකයින්ද බැබලුනි. එමෙන්ම මිල්ටන් මල්ලවආරච්චිගේ කැසට්පට උණු කැවුම්සේ විකිණී ගිය අතර ප්රේමවන්තයින්ගේ හා විරහව විඳින්නන්ගේ සිහින කුමරා බවට පත්වූයේ නිරායාසයෙනි. 

එහෙත් 1998 මාර්තු දහවෙනිදා මේ සිහින කුමරාගේ ගමන නවතා රසිකයන්ගෙන් උදුරා ගැනීමට ඒ හිත් පිත් නැති රුඳුරු මරුවා සමත්විය. ඒ අකල් වියෝවින් දුකටපත් රසිකයෝ මහත්සේ වැළපුනහ. එතුමාගේ ආදාහනයදා බොරැල්ල කනත්ත අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරී ගියේ එහෙයිනි. 

මරණය අපට කෙස්වත් වළක්වාගත නොහැක. එහෙත් අප එතුමන්ට ආදරය කරන තරමින් අංශු මාත්රයක්වත් එතුමා , එතුමාට ආදරය කළා නම් හා එතුමාගේ සෞඛ්ය තත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වූවානම් , මෙලෙස අඩු වයසින් අකාලේ අපට අහිමි නොවීමට බොහෝ දුරට ඉඩ තිබිණි. එහෙත් " අනුන්ට ආදරය කරන මිනිසුන් තමන්ට ආදරය නොකරන බව " අභීත මාධ්යවේදී සුනිල් මාධවයන් පැවසූ වදන මිල්ටන් මල්ලවආරච්චි ගායකයාණන්ටද  අගේටම ගැලපෙන බව පවසමින් හා මේ සසර කතරේ දිනෙකදී නැවතත් එතුමන්ව හමු වේවායීද පතමින් මම නිහඬ වෙමි. 

චන්දන ගුණසෙකර- එක්සත් රාජධානිය




Wednesday 13 April 2016

විදෙස්ගත ඉංජිනේරුවාගේ අවුරුද්ද.........



නොනගතය කියා මම වැඩ වරන්නේ කෙලෙස
වැඩපොළේ අනික් අය නහිනවා
මගෙ උදව් ගන්න මග බලනවා

මුහුදු හතකින් එහා කැවුම් සුවඳක් කොහිද
කොන්කිරිට් ගඳට ඉව කරනවා
ගමේ අවුරුදු සුවඳ දැනෙනවා

බිල්ඩිමේ දොඹකරයෙ හිතක් පපුවක් ඇතිද
නොනැවතී බඩු උඩට යැවෙනවා
හිතින් මම මව්බිමට දුවනවා

කැන්ටිමේ කොනට වී දිවා භෝජන බුදිමි
ලක්බිමේ නැකත් සිරි දැනෙනවා
කිරිබතේ රස මවන් ගිලිනවා

ගොඩනැඟිලි පිරි බිමේ ගස් කොළන් කොතැන වෙද
කජු ගහේ සිරි සිතේ මැවෙනවා
පුහුලමේ රස දිවට දැනෙනවා

සියලු දේ හැර දමා අම්මෙ මට ගම එන්න
ඔබෙ සුවඳ දැනී මට හිතෙනවා
දිවියෙ බර මග හරස් කරනවා......

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Friday 8 April 2016

පරිත්‍යාගය - පළමු කොටස



ඉර බැහැල ගිහින් වැඩි වෙලාවක් ගත නොවුණත් පළාතම මූසල අඳුරකින් වැහිලයි තිබුණෙ. අහසෙ දම්පාට කපා ගෙන පැතිරිලා තිබුණු ඝන කළු වැහි වලාකුළු එළිය කරමින් විඳුළි කොටන කොට, එයින් දර්ශනය වන සොහොන් කොත් වලින් වෙනදා නොදැකපු මහා බියකරු බවක් පෙනෙන්න ගත්තා. මොනවද මම මේ හිතන්නෙ ,හැමදාමත් ඔය සොහොන් කොත් දකිනවනෙ කියල හිත හදා ගන්න හැදුවත් හිතේ මොකක්දෝ විස්තර කළ නොහැකි හැගීමක් තෙරපෙන බව නම් මට තේරුණා. 

හැන්දෑවෙ , ආණ්ඩුවෙ වියදමින් මිහිඳන් කළ , රෝහලේ දී මැරුණු ඒ කාත්කවුරුවත් නැති වයසක ගැහැනියගෙ මිනී වල කපලා, මිනියත් වැලලුවේ මම. ඒ මම හාරපු පළමු වළ නොවේ. වසර විස්සකටත් වඩා මගෙ මේ සොහොන් දිවියෙ මේ අත් දෙකින් වළවල් කීයක් නම් කපල ඇද්ද? කීයක් මිනී වළලලා ඇද්ද? ඒ අතර කාත් කවුරුවත් නැති අය නම් කොච්චරද? එක අතකින් බැලුවම මමත් ඒ අයවගේම කාත් කවුරුවත් නැතිව තනි වෙලා නේද කියලත් මට හිතෙනවා. තනිවම මේ ලෝකයට බිහිවූ අප දිනයක යන්නෙ නම් තනිවම තමයි. ඒත් තනිවම ජීවත්වීමනම් මැරි මැරී ඉපදීමක්. 

මිනී වළලන එකනම් මට දැන් මහ අරුමයක් නෙමේ. ඒක මගෙ ජීවිතයෙම අංගයක් වෙලා. පුංචි සංදියෙ මළ ගෙයක් ළඟින් යද්දි , බයවෙලා අපේ අම්මගෙ ඇඟේ එල්ලුණේ මේ මමද කියල මටම පුදුම හිතුණෙ වරක් දෙවරක් නෙමේ. ඒත් අදනම් මොකක්ද මගෙ හිතට වෙලා. මෙච්චර හිත නොසන්සුන්වූ දවසක් හිතා ගන්නවත් බෑ. මේ පාළු කුටියේ තට්ට තනියමේ ඉන්න මට හැමදාම තනියට ළඟ උන්නේ මේ මළවුන් නිඳන සොහොන් කොත් විතරයි. 

අදනම් හිතට හරිම නෑ. මහන්සි වෙලා හවස නා ගත්තට පස්සෙ ඇඟටත් දැනුණෙ සනීපයක් නෙමේ අමුතුම සීතලක්. වැහි කෝඩෙත් එක්ක ගස් වැල් අඹරගෙන හමා ආපු හුළං පාරත් ඒ සීතල තවත් වැඩි කළා. 

සිගරට් එකක් පත්තු කරගත්තෙ හිත පොඩ්ඩක් උණුසුම් කරගන්න. ෆිල්ටරය තුළින් ඇදිල ආපු ටුබැකෝ රසින් පිරි උණුසුම් දුමාරය පෙනහලු දෙක ආදරයෙන් වැළඳ ගත්තා. එතකොටම තමයි හීනියට පොඳ එක දෙක වැටෙමින් පැවතුණු වැස්ස මහා වරුසාවක් බවට පත් වුණේ. දොඹ ගෙඩි වගේ වැහි පොඳ මගේ කුඩා කුටියෙ ටකරං වහලට බැට දුන්නෙ කිසිම හිතක් පපුවක් නැති විදිහට. ඒ වැස්සෙ ඝෝෂාවට නම් මම හැමදාම ආස කළා. 

ඇගේ පතේ මහන්සියයි කාන්සි ගතියයි යන්නත් එක්ක ඇඳ යට තිබුණු ගල් භාගයෙන් කට කපල එකක් අශෝක වීදුරුවට හලා ගත්තෙ පුරුද්දට වගේ. වීදුරුවෙන් , උඟුර හීනියට පුච්චගෙන ආමාශ ගතවුණු ඇල්කොහොල් ,හිතටයි ගතටයි අමුතු ප්රබෝධයක් ගෙනාවේ ක්ෂණිකවම. 

හැන්දෑවෙ ගල් බාගෙ ගන්න පද්මෙ අයියගෙ බාර් එකට ගිය වෙලාවෙ ජේන් අක්කගෙ ටේස් කඩල කරත්තයෙන් ගත්තු කඩල බයිට් එකෙන් ඇට දෙක තුනක් කටට වීසි කරන කොටම වගේ තමයි පළාතම එළිය කරගෙන මහා හෙණ හඬක් නගමින් අකුණක් පුපුරල ගියේ. මුළු සොහොනම ගිනි දවල් වගේ එළිය වුණා. ඉරවල් හතක් පායල වගේ. 

එතකොටම වගේ මම දුටු දසුනින් ඇඟ සීතල වෙලා ගියා. මේ අවේලාවෙ ඊටත් වඩා නාකපන වැස්සෙ මෙහෙම දෙයක් මම බලාපොරොත්තු වුණේම නෑ. අරක්කු වඩියෙ සැර කොහෙන් ගියාද දන්නෙ නෑ. ටෝච් එකත් අරගෙන මාව නැඟිට්ටුනේ යන්ත්රානුසාරයෙන් වගේ. අතේ තිබුණු සිගරට්ටුව උඩටම ඇදලා පපුව පුරෝගෙන දොරෙන් එළියට මම කෑලි පහේ ටෝච් එක ගැහුවා. ඊයෙ දමාපු අළුත් බැටරි නිසා අකුණෙ එළිය වගේම ටෝච් එළියත් අඳුර කපාගෙන ඉදිරියටම ඇදුණෙ අස්ප වේගෙන්. 

එවෙලෙම තවත් අකුණක් පුපුරල ගියේ මගෙ කණ ළඟින්ම වගේ. ඒක නම් මේ ළඟටම වැදුණු බව මට තේරුණා. ඒ එළියෙන් මම හවස මිනිය වළදාපු තැන වාඩි වෙලා වැස්සෙ තෙමි තෙමි ඔළුව නමාගෙන ඉන්න ගැහැනියකගේ හෝ පිරිමියෙකුගේ ඡායාවක් පැහැදිලිවම දෘශ්යමාන වුණා. 

මට කරන්න දෙයක් තිබුණෙ නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියලා තවත් අශෝක වීදුරුවෙන් එකක් උඟුරට හලාගෙන එක අතකින් ටෝච් එකයි අනික් අතින් අලවංගුවයි අරගෙන එළියට බැස්සා. 

" ඒයි ඔතන කවුද ඔය?" කියල මම මහ හයියෙන් කෑ ගැහුවෙ හිත දැඩි කරගෙන. 

වැස්සෙ සද්දෙ නිසා මගෙ හඬ අඩි කිහිපයක් ඈතටවත් ඇහුණද දන්නෙ නෑ. ඒත් ටෝච් එකේ එළියටද කොහෙද මිනී වළ ළඟ දන ඔබාගෙන උන්නු අමුත්තා එක පාරටම ඔළුව උස්සලා මගෙ දිහා බැලුවා. 

මතු සම්බන්ධයි. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Saturday 12 March 2016

එය මෙසේ සිදු විය......



දස මසක් කුස දරමින් හා සියලුම දුක් ගැහැට විඳිමින් , මවක තම දරුවා මෙලොව එළිය දකින තුරු බලා සිටිනවා වැනි සතුටකින් හා බලාපොරොත්තුවකින් මම එදා දිනය එළැඹෙන තෙක් දෑස් දල්වා බලා ගෙන සිටියෙමි. ඒ පසුගිය දහවෙනිදා වනතුරුයි. 

මීට මාස කිහිපයකට පෙර, මුළු රටම අමතක කර තිබූ ඒ සත්යවාදී පත්තරකාරයා, සුනිල් මාධව ප්රේමතිලක, ආදරණීය සුනිල් අයියා බොරැල්ල ආයූර්වේද රෝහලේ හුදෙකලාව වැතිර සිටියේය. එදා ඒ බව පුංචි ලිපියකින් ඔබ , අසංගී විජේසූරිය සොයුරියේ ලොවට නොකියන්නට අද එතුමා උන්නද මළාදවත් දන්නා කිසිවකු නොවන්නට ඉඩ තිබිණි. ජීවත්ව සිටියදීම ලබාදුන් මේ විසල් සම්මානය සිහිනයක් පමණක් වන්නට තිබිණි. " නොනිමි ජීවිත කතාව" ඇඳ යට වේයන්ගේ රස බොජුනක් වන්නට ඉඩ තිබිණි. අද මේ අවදි වී සිටින , එතුමා ගැන හරබර ලිපි ලියන ප්රවීණ කවීන්ට ,ලේඛකයන්ට හා මාධ්යවේදීන්ට ඒවා එතුමා මිය ගිය දිනෙක කිඹුල් කඳුළු හෙළමින් කළ හැකිව තිබිණි. තමන් බලයේ සිටියදී සුනිල් අයියාව අමතක කොට මේ හදිසියේ එතුමන්ව සිහිවූ දේශපාලුවන්ට අවමගුලේදී හරබර දෙසුම් දෙසාබෑමට තිබිණි. 

එදා , මේ එතුමා නැවත කියවන අය, "ආදරණීය " , " කඳුළු " වැනි වචන දිරවන්නේ නැති හා ඒවා විප්ලවකාරයෙකුගේ චරිතය දියාරු කරතැයි නන් දොඩවන අය අහලකවත් නොවූහ. එතුමාගේ ලෙඩ දුක් හා එතුමා කෑවද බීවද බලන්නට කිසිවෙකු සිටියේද නැත. 

අප ආදරය කළේ සුනිල් අයියා කියන මිනිසාටය. අපට පක්ෂයක් ,පාටක් හෝ එතුමා විප්ලවවාදියෙකුද නැද්ද යන්න අදාළ නොවීය. මට අවශ්යවූයේ එතුමා හැකි කලදී අපට කළ සේවයට කෘතඥතාවය පළ කොට එතුමාගේ ආර්ථික තත්වයට යම් සහනයක් ලබා දීමයි. මන්ද එතුමා ලියූ දෙයින් අප ජීවිතය උගත්තෙමු. පන්නරය ලැබුවෙමු. එහිදී මගේ ඇරයුම පිළිගෙන හා මාව විශ්වාස කොට මා වෙත මුදල් ආධාර එවූ මුහුණු පොතින් හඳුනාගත් කෙදිනකවත් දැක නොමැති සහෘදයනී , නම් වශයෙන් සඳහන් නොකළත් ඔබ සැමගේ සහය නොවන්නට මට මේ අයුරින් අසංගී සෙයුරියගේ ව්යායාමයට සහයෝගය දීමට නොහැකිවනු ඇත. මම , මෙහිදී නිතර දෙවේලේ හමුවන මිතුරන් අහක බලද්දී ඉතා ඈත දුරු රටවලින් පවා ආධාර එවූ ඔබ සැම සිහිකරන්නේ ඉතා ආදරයෙනි. හදපිරි බැතියෙනි. 

අප එකතු කළ මුදලින් එතුමාගේ ජීවිත කතාව මුද්රණය කිරීමටත් අසංගී සොයුරිය පුද්ගලිකවම බර දැරූ සුනිල් මාධව සමරු උත්සවයේ කටයුතුවලට සුළු සහයක් දීමටත් හැකිවූවා යැයි ඔබට පවසන්නේ ඉතාමත්ම නිහතමානී සතුටිනි. කොතරම් හයිකාරකම් කළත් අනුන්ට ගැරහුවත් නැතත්, උදව් කළත් නැතත් අපි සැවොම දිනයෙක මිය යන්නෙමු. එහෙත් හෙට මිය ගියත් අපට මේ සතුට විඳිමින් මිය යා හැක. 

හුදෙකලාවී ජීවිතය එපාවී කලකිරීවුන් සුනිල් අයියා මේ ක්රියාකාරකම් එතුමන්ට නව ජීවයක් ලබා දුන්බව ප්රකාශ කිරීමම කෙතරම් අගනේද? ඒ ගැන සිතීම පවා හිතට කෙතරම් නම් සහනයක්ද?

ඉතිං අසංගී සොයුරිය , ඔබ අභීතව කළ මේ වීර ක්රියාව ඇගැයීමට මට වචන නැත. අවස්ථාවාදී පාප මිත්රයන්, දිය යටින් ගින්දර ගෙණියන්නන්, දිය රෙද්දෙන් බෙල්ල කපන්නන්, බොර දියේ මාළු බාන්නන් හා කලදුටුකළ වල ඉහගන්නන් වැනි මෙකී නොකී සියල්ලන් සමඟම සහ එල්ලවූ මරණ තර්ජන, බොරු චෝදනා සහ අපවාද හමුවේ ඉන්ද්රඛීලයක් සේ නොසැලී ඉදිරියටම ගිය ඔබ අපේ කාලයේ වීරවරියකි. කිසිත් නොකොට දොස් කියන්නන්ට අප අනුකම්පා කරමු. තමන් ජීවත්ව සිටියදීම තම පුතුට ,ජනතාව පිදූ ඒ හරසර දැක එදා ඒ මවගේ දෑසින් ගලා ගිය සතුටු කඳුළු බිඳුවක් පාසා ඔබට ආශීර්වාද ලැබෙනවා සොයුරිය. එය ඒකාන්තයි. අප සැමවත් මේ යහකටයුත්තට සම්බන්ධකර ගත්තාට ඔබට ස්තූතියි!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Saturday 5 March 2016

අගය කළ යුතු චරිත - සුනිල් සරත් පෙරේරා



" පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා
මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් ඈතින් මතුවෙනවා "

අපගේ පිනට පහළවූ පණ්ඩිත් අමරදේවයන් ගයන , අතිශය ජනප්රිය , සංවේදී එමෙන්ම විරහවෙ සුරතාන්තයටම ගිය මෙම ගීතය ඇසෙන සෑම මොහොතකම මගේ සිතට නිතැතින්ම නැගෙන කාරණා දෙකකි. ඉන් පළමු වැන්න නම් පේරාදෙණිය සරසවියයි. එහි දිවියයි. අනෙක් කරුණ නම් මෙහි පද එහෙ මෙහෙ කොට මේ තාලයටම සරසවි කොල්ලන් විසින් සාදාගත් අනෙක් හාස්යජනක ගීතයයි. එනම්,
" පෙර දිනයක මා පෙම් කළ හැතිරිය තවෙකකු දක්කනවා
මගේම කලිසම ගජේට ඇඳගෙන උගේ වගේ යනවා" 

මෙය මෙසේ කොල්ලන් ගයන බව අමරදේවයෝ දනිති. එතුමන් ඒ බව ප්රසිද්ධියේම පවසනුයේ ඉතාමත්ම මැදහත්  සිතින් හා සතුටිනි. එමෙන්ම මෙම අමරණීය ගීතය ලියූ ඒ ප්රවීණ ගේයපද රචකයාද අවංකවම එය මැදහත් සිතින් ඉවසන ඉතාමත්ම නිහතමානී සොඳුරු මිනිසෙකි.  මේ පුංචි සටහන සුනිල් සරත් පෙරේරා නම්වූ ඒ ප්රතිභා සපිරි කවියාගේ, ගේයපද රචකයාගේ අද දිනට යෙදෙන ජන්ම සංවත්සරය වෙනුවෙනි. 

පණ්ඩිත් අමරදේවයන්, ප්රේමකීර්ති ද අල්විස් සූරීන් ඇතුළු පුංචි සිරුරකින් හෙබියද රටේ යෝධයන්වූ මිනිසුන් අතරට මේ පුංචි සිරුරැති නිහතමානී යෝධයාද අයිතිවන්නේ ,එතුමා සිංහල ගීතය නැමති රත්තරන් මාලයට ඔබ්බවා ඇති අගනා මිණිවන් එතුමා ලියූ ගීත පොකුර නිසාවෙනි. එයින් නැගෙන මහා වටිනාකම හා දීප්තිය නිසාවෙනි. 

තවත් පුංචි සිරුරකින් හෙබි එහෙත් ඔහුගේ අව්යාජ , ශෝකීබරිත හඬින් සුව හසක් රසිකයන් නැලැවූ, හැඬවූ සෝමතිලක ජයමහ නම්වූ ඒ කෘතහස්ත ගායනවේදීයා ගයන සුනිල් සරත් පෙරේරා සූරීන් ලියූ  " මහ වරුසාවට පසුව නැඟෙන සඳ", " සැදෑ අඳුර ලොව ගලන වෙලාවට" හා සැන්දෑ අහසේ හිරුට මුවාවෙන්" වැනි ගීත රස විඳ ඒවායේ ජීවත් නොවූයේ නම් කවුරුන්ද? 

" මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි. " මෙහි ඇති සඳ එළිය පිළිබඳ උපමාව කෙතරම් නම් අපූරුද? තාත්විකද?. නෝක්කාඩුවෙන් පසුව බබළන මුහුණක් වැනීමට ඔයිටත් වඩා හොඳ උපමාවක් මටනම් සිතාගන්නටවත් බැරිය. එමෙන්ම සැදෑ අඳුර ගීතය ජයමහ සූරීන්ගේ ඒ සෝබරිත හඬින් ගැයෙද්දී අපට මැවෙන චිත්ත රූපයන්ට බලපාන ප්රබලම සාධකය වන්නේ සුනිල් සරත් පෙරේරාගේ වචනය. 

එමෙන්ම අමරදේවයන්ම ගයන" ඔබ මා සමඟ අතිනත ගන්නා  දවස " ගීතය කෙතරම් නම් හදවත කලඹන අන්දමේ ගීතයක්ද? වරක් රජරට ප්රදේශයේ සංචාරයකදී මෙය එසැනින් තැනූ ගීතයක් බව එතුමා මේ ගීතය ගැන අදහස් දැක්වීමකදී පැවසූ බව මට මතකය. මගදී දුටු කන්දක් සිතේ තබාගෙන පදපෙල ලියා , අමරදේවයන් එවෙලේම තනුවක් යොදා ගැයූ මේ ගීතය සදා මතකයේ රැදෙන්නට තරම් ප්රබල වූයේ ඔවුන්ගේ ප්රතිභාව නිසාය. 

මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි ගයන "  යසෝදරා", " මගේ රටට දළදා හිමි සරණයි", " අනෝතත්ත විල නෙළුම නෙළාලා " හා " ඈත එපිට ගම්මානෙක" ඇතුළු තවත් ගීත රාශියක පද බැඳුම්කරුවා මේ පුංචි මිනිසාය. සුනිල් සරත් පෙරේරාය. මේ ගීතය මෙවැනි පතිදම් රකින සියලුම යශෝදරාවන්ට කෙරෙන උපහාරයකි. එමෙන්ම " ඈත එපිට ගම්මානෙන්" ගීතයෙන් වෑහෙන ගැමි සුවඳ. එහි චමත්කාරය.  ඉතාමත්ම අනර්ඝය. ආශ්චර්යජනකය. 

එමෙන්ම එච් එම් ජයවර්ධනයන් සංගීතවත් කළ අමරසිරි පීරිස් සූරීන් ගයන " ඇය යන්න ගියා මැකිලා " ගීතය සුව හසක් තම බිරින්දෑවරුන්ගේ වියෝවින් තැවෙන සැමියන්ට පිදූ මල් මිටක්මය. සුනිල් සරත් පෙරේරාට සහ සංගීතය නිර්මාණය කළ එච් එම් ජයවර්ධනයන්ටද ඒ වියෝ දුකම විඳීමට සිදුවීම දෛවයේ කොතරම් නම් මුරණ්ඩු අකාරුණික තීරණයක්ද?. 

ජාතික රූපවාහිනියේ අධ්යක්ෂක ජෙනරාල් පදවියෙන් පවා පිදුම් ලැබූ මේ සම්මානනීය කලාකරුවාගේ අගය අදටත් වඩා රටට දැනෙන්නේ හෙටටය.  අපගේ ප්රවිණ කලාකරුවන් එකිනෙකා අප හැර යන මේ සමයේ සුනිලුණි, ඔබ අපට අගනා මැණිකකි. කලාකෙත හා මාධ්ය ශේස්ත්රය බැබලූ තවත් සුනිළුන්  කිහිපදෙනෙකුම අපට ඇත. ඔවුන් සමඟම දිදුලන ඔබ ජාතියට පහළවූ මිණි පහනකි.  ඉතිං රසවතාණනි, සොඳුරු නිහතමානී මිනිසානනි, අපේ හද ගැහෙනා රාවය හඳනන සහෘදයාණෙනි,  අද දින ජන්ම සංවත්සරය සමරන ඔබගේ දිවි ගමන සාර්ථක වේවා! තව තවත් අගනා නිර්මාණ වලින් අප කලාකෙත පෝෂණය කිරීමට හැකිවේවා! නිදුක් නිරෝගි සුව අත්වේව්යි පතමින් මේ පුංචි සටහන අවසන් කරන්නට මට අවසර. ඔබට චිරං ජයතු!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය


Monday 29 February 2016

ආදරණීය අජන්තා රණසිංහයනී,



සොඳුරු කවියානණේ, නිසල වී අද නිදන
ඔබ ලියූ ගී වලින් සැනසුනෙමු අප නිතින
සොහොන් ගැබ සිසාර හමා ආ මද නලින
දුක්බරිත පද පෙළක් හදිසියේ මට ඇසිණ

දහස් ගනනක් සෙනඟ සුසුම්ලන හඬ මැදින
චිතකයේ ධවල තිර දුකින් මිරිකී වැටින
දුම් කැරළි මතුවෙමින් අපෙන් ඈතට නැගින
සොහොන් කොත් අතර මට මහා තනියක් දැනිණ

යොමාවුන් නෙතු අගින් කඳුළු ගංඟා හැලින
අතරමං කොඩි වැලක් අසල පඳුරක රැඳින
එකා දෙන්නා බැගින් අපෙන් ඈතට ඇදින
හුදෙකලා වලාවක ඇඳුණු ඔබ රුව පෙනින

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය


Friday 26 February 2016

ඉක්මන් සුවය පතමු!



" බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම"

මේ ගීතය ඇසෙන වාරයක් වාරයක් ගානෙ මගෙ හිත ගිහින් නවතින්නෙ මීට වසර විසි පහකට පමණ ඉස්සර දවසක හැන්දෑවකට. එදා අපි පේරාදෙණියෙ අක්බාර් ශාලාවේ කපුටගෙ ( කපුට කිව්වෙ තිලක්ට. ඒ ඔහුට ලැබුණු නම්බු නාමය)  කාමරයට එකතුවුණේ කාන්සිය මකාගන්නට සිංදුවක්වත් කියන්න. එදා කපුටා "බොල් වී අහුරු " ගීතය ඇස් දෙකේ කඳුළු පුරෝගෙන ගයපු හැටි මට අද වගේ මතකයි. ඒ ගීතයේ සිදුවීම අපටම වෙච්ච දෙයක් ලෙසටයි අපට දැනුණෙ. එහෙම ගීත,සවන්දෙන හැමෝටම තමන්ගෙම කියල දැනෙන්න , ලියන්න සහ ගයන්න පුළුවන් දක්ෂයො ඉන්නෙ කීයෙන් කීදෙනාද? 

එදා ඒ ගීතයට පෙම් බැන්ඳ මම අමරදේවයන් ගයන , එහි පද ලියූ විශ්වකර්මයා කවුරුදැයි සොයා බලන්නට පෙලැඹුණේ නිතැතින්මයි. එවිට එතුමා ලියූ බොහෝ වටිනා ගීත මට හමු වුණා. වැඩිපුරම තිබුණෙ අපි ආදරය කළ අපේ හදවත්වල ගැඹුරටම තැන්පත් වූ චිත්රපට ගීත. 
එතුමා තමයි ආචර්ය අජන්තා රණසිංහ. 'අජන්තා ' කිව්වම අපගේ හිතට නිතැතින්ම පිවිසෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඉංදියාවෙ අජන්තා ලෙන් සහ ඒවායේ ඇති මනරම් බිතුසිතුවම්. එතුමත් ඒ නමටම ගැලපෙන සුන්දරතම සිතුවමක් කියලයි මට හිතෙන්නෙ. 

එමෙන්ම එතුමා ලියූ, අමරදේවයන්ම ගයන " විකසිත පෙම් පොකුරු පියුම්" ගීතයද මෙවැනිම මනරම් වියෝ ගීතයක්. ප්රේමයේ විප්රලම්භ ශුංගාරය මැදහත් සිතින් විඳ ගන්නා ප්රේමවන්තයෙකුගේ සිතිවිලි එතුමා ගොනු කළ අපූරුව. සැබෑ ප්රේමයනම් එයයි එතුමා ලොවට කියාපෑවේ එලෙසින්. ඒ තමන් ලියූ පදවලින්ම පමණක් නොවේ. සැබෑ ජීවිතයේදිත් එතුමා අවංක , මැදහත් සිතින් සියල්ල ඉවසා වදාරා ගත් පෙම්වතකු, සැමියෙකු හා පියෙකු බව මා අසා තිබෙනවා. 

පසුගිය දෙසැම්බරයේ එතුමා ජාතික රූපවාහිනියෙ ' සිහිනයකි රෑ' වැඩසටහනට ආපු වෙලාවේ බොහෝ විවෘතව සහ ඉතාමත්ම සතුටින් අප කවදාකවත් අසා නැති එතුමන්ගෙ සිතැඟි හෙළිකළා. පාසල් යන කාලයේ තිබූ පෙම් හුට පට, සනත් නන්දසිරියන් අතේ යුවතියන්ට පෙම් හසුන් යැවූ හැටි එතුමන් විස්තර කළේ සාමාන්යයෙන් ගැටවරයන් එවැනිදේට භාවිතාකරන වචනම භාවිතා කරමින් හරිම සැහැල්ලුවෙන්. 

මට මතක්වෙනවා එච් ඩී ප්රේමරත්නයන්ගේ " සප්ත කන්යා" චිත්රපටයට එතුමා ලියු රූකාන්ත ගුණතිලක ගයන " සුවඳ දැනී දැනී දැනෙනෙවා ගීතය"   කෙතරම්නම් සුන්දර සහ හදවතටම කතාකරන පද මාලාවක්ද?

සනත් නන්දසිරි සූරීන් ගයන " දේදුන්නෙන් එන සමනලුනේ" ගීතය හා " පෙමාතුර හැඟුම්" ඇතුළු ගීත රාශියක් තම පාසල් සගයාවූ සනත් සහ අජන්තා සුසංයෝගයේ ප්රතිඵල. 

එච් ආර් ජෝතිපාලයන් ගැයූ අති ජනප්රිය ගීත වූ " රත්තරන් පෙම් පුරාණෙ" හා " නින්දනේන රාත්රියේ" වැනි ගීත ලියූවෙත් මෙතුමාමයි. 

සරල ගීත හා චිත්රපට ගීත ඇතුළුව ගීත මහා සම්භාරයක් දැයට දායාද කළ එතුමා අද කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක කියල කොහොමනම් හිතා ගන්නද? 

වයසට යෑම ලෙඩ දුක් වැළදීම අපට වැළැක්විය හැකිදේ නොවේ. ඒත් මෙවන් සුන්දර කලාකරුවන් මෙවැනි තත්වයට පත්වීම නම් ඉවසුම් නොදෙන කරුණකි. එතුමන් ඇතුළු බොහෝ රචකයින් ගායනවේදීන් හමුවූ කතාබස් කළ නුගේගොඩ චමරියේ රස කතා අප කොතෙකුත් අසා ඇත. ඒ සන්ද්යායාවන් කෙතරම් නම් පියකරු වන්නට ඇතිද? එහෙත් අද එතුමා නිහඬව ලෙඩ ඇඳේ වැතිරිලා.

අප සැවොම එතුමන්ට ඉක්මන් සුවය ප්රාර්ථනා කරමු. එය මහා බලවේගයක්වී එතුමා අපට රැක දේවායි යන්න මගේ ඒකායන පැතුමයි. මේ සහෘද සටහන එතුමන් වෙනුවෙනි. ආදරණීය අජන්තා රණසිංහයිනී , ඔබට චිරං ජයතු!!

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

Sunday 21 February 2016

මතකය පමණක් ඉතිරි කොට අප හැර ගිය ඔහු.........



මගේ මතකයේ හැටියට ඒ අසූව දශකයේ මුල් භාගයයි. රණසිංහ ප්රේමදාස මැතිතුමාගේ නිවාස සංකල්පය යටතේ ඉඳිවූ , අනුරාධපුර නගරයට නුදුරින් පිහිටි 'සුචරිතගම ' නම්වූ උදාකළ ගම්මානය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයේ අවසාන අංගය වූ මහා සංගීත රාත්රිය නැරඹීමට යමුදැයි අපේ තාත්තා කළ යෝජනාවට මම කැමතිවූයේ එක පයිනි. අපත් සමඟ තාත්තාගේ මිතුරකුද මේ ගමනට එක්වූ අතර අප එහි ගියේ ඔහුගේ වාහනයේ බැව් මට මතකය. 

සංදර්ශනය ජයටම පැවතිණි. ගී ගැයූ විශාල ගායක පිරිස අතුරින් තරමක් වේග රිද්මයෙන් හා තමන්ටම ආවේණිකවූ අපුරු හඬකින් ගී ගැයූ ගායකයෙකු පිළිබඳව මගේ අවධානය යොමුවූයේ මටවත් නොදැනීමය. 

ඔහු , කලක් අනුරාධපුරය හොල්ලාගෙන වුන් දාමරිකයකුවූ මරුසිරා ගැන ගැයීය. හැත්තැඑක කැරැල්ල සමයේ දූෂණයකොට මරාදැමූ ප්රේමවතී මනම්පේරි ගැනත්, කන්දක හැපී විනාශ වූ ගුවන් යානයක් ගැන සහ ගඟක ගිලී ජීවිත නැතිවූ ' ආසයි බයයි' නම්වූ බෝට්ටුවක් ගැනත් ඔහු ගැයීය. එපමණක් නොව එවේලේම පද නිර්මාණය කොට හිටිවන බයිලාවක් විලසින් සුචරිතගම ගැන ඔහු ගැයූ ගීතය , පැමිණවුන් දහසක් රසික රසිකාවියන්ගේ මහත් අමන්දානන්දයට හේතු විය. එදා මගේ හද දිනූ ඔහු වෙන කවුරුන් හෝ නොව ඇන්ටන් ජෝන්ස් නම්වූ ප්රතිභාපූර්ණ බයිලා ගායකයා බැව් මා දැන ගත්තේ අපේ තාත්තාගෙනි.  සුදු පැහැයට හැරෙමින් තිබූ කොණ්ඩය උඩට පීරා ජැන්ඩියට ඇඳ පැළඳ ඉතා තේජාන්විතව මයික්රෆෝනය සුරතේ දරා  ඔහු ගී ගැයූ අන්දම කිහිපදිනක් යනතුරුම මගේ මනසේ ඇඳී තිබුණු බව මට මතකය. ඉන්පසුව සෑම ඉරිදා දිනකම ගුවන්විදුලියේ වෙළඳ සේවයෙන් අඩ පැයක් ප්රචාරයවූ බයිලා ගී වැඩසටහනේ එතුමාගේ ගී නොවරදවාම ඇසීමටත් මම පුරුදු වීමි. 

" පෙනුමින් අහිංසකයි 
ඒත් මිනිහ හරි වසයි 
කළේ වැරදිමයි
දාමරීක වැඩ තමයි" කියමින් එතුමා මරුසිරා ගැන ගයා ලෝකයට ඒ නාමය යළි යළිත් මතක් කර දුන්නේය. 

වෙසක් දවසක ගඟේ ඔරුවක නැගී වෙසක් බලන්නට ගිය පිරිසක් , ගඟේ ඔරුව පෙරළී ජීවිතක්ෂයට පත්වූ පුවත එතුමා රටට හෙළි  කළේ මෙලෙසිනි. 
" ආසයි බයයි ඒ බෝට්ටුවෙ නමයි
යළි නොමඑන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක් බිළිගත්තයි" 

ඒ ගිලුණු බෝට්ටුවේ නම "ආසයි බයයි " නම් විය. 

එකල රට හෙල්ලූ තවත් පුවතක්වූ කන්දක හැපී විනාශවූ ගුවන් යානය ගැන එතුමා ගැයුවේ " කන්දේ හැපුණ මහ වනන්තරේ ඩී සී අට අහස් යන්තරේ....." යනාදී වශයෙනි. එමෙන්ම හැත්තෑඑකේ කැරැල්ල සමයේ දූෂණය කොට මරාදැමූ කතරගම රූපසුන්දරියක වූ අහිංසක ප්රේමවතී මනම්පේරි යුවතිය ගැන ගැයුවේ මෙලෙසිනි. 

" ප්රේමවතී මනම්පේරී තරුණිය
කතරගමෙ හිටපු රූපරැජිණිය
පතිවත කෙලෙසල ඇගේ 
මැරුවෙ තිරිසනෙක් වගේ ඒ හිත් පිත් නොමැති උදවිය"

එමෙන්ම සේපාල ඒකනායක ගැන, මතුගම සමන් කුමාර නම්වූ කෘර ලෙස මරා දැමූ අහිංසක සිසුවා ගැන  හා පොළොන්නරුවෙ විසූ සමාජය විසින් අපරාධකරයෙකු බවට පත් කළ පොඩි විජේ ගැනද තවත් මෙවැනිම රටම හෙල්ලූ නමගිය පුවත් හා පුද්ගලයන් ගැනද ගීත ගැයීමට එතුමා අමතක නොකළේය. එතුමන්ට තිබුණේ අමුතුම බයිලා ගීත කලාවකි. කාටවත් නොතිබූ එතුමන්ටම අනන්යවූ අපූරුම කට හඬකි. ජනතාව එතුමන්ට ආදරය කළේ එහෙයිනි. 

එතූමන් නොමැති සංගීත සංගීත සංදර්ශනයක් එකල නොවීය. වේග රිද්ම බයිල ගායකයන්වූ එම් එස් ප්රානාන්දු හා නිහාල් නෙල්සන් වැනි ගායකයන් අතරේ ඇන්ටන් ජෝන්ස් යන නාමයද දිදුලුනේ එකම තරු යායක පිපි තවත් දීප්තිමත් තරුවක් පරිද්දෙනි. එමෙන්ම කැසට්පට ලෝකයේද එතුමනට තිබුණේ අද්විතීය නාමයකි.  එතුමන්ගේ කැසට් පට විකිණී ගියේ උණු කැවුම් පරිද්දෙනි. කාලයකට ඉහත යම් යම් සිද්ධි මුල්කොටගෙන නිර්මාණයවූ කවි කොළ කලාවට නව මුහුණුවරක් සහ නව ආරක් ඇන්ටන් ජෝන්ස් තමන්ගේ ගීත කලාවෙන් ලාංකීය ගීත කෙතට දායාද කළේ එලෙසිනි. එය එතුමන්ට ආවේණික විය. 

එහෙත් අද දිනයේ මේ සැමදෙයකටම  නැවතීමේ තිත වැටි තිබිණි. මරුසිරා ගැන , පොඩි විජේ ගැන, මනම්පේරි ගැන, සේපාල ඒකනායක ගැන, හැපුණු ගුවන්යානා හා පෙරලුනු බෝට්ටු වැනි ව්යවසන ගැන ගැයූ ඔහු , සදහටම නිහඬවූ පුවත ලක් මව කම්පා කරමින් පැතිර ගියේ සැමගේම හදවත් කම්පා කරමිණි. 

එතුමන් ජීවත්ව සිටියදී යමක් ලිවීමට නොහැකිවීම ගැන මට ඇතිවූයේ මහා පසුතැවිල්ලකි. මෙතෙක් කාලයකට එතුමා ගැන  කිසිදු විස්තරයක්  පලනොවූ මුහුණු පොත ඇතුළු මාධ්ය එතුමන්ගේ පින්තූර සහ ශෝකී පණිවුඩවලින් පිරී යන්නට විය. 

මේ වෙනස්වන ලෝකයේ ස්වභාවය එයයි. එහෙත් සත්යයට අප මුහුණදිය යුතු වෙමු. දිනෙක අප සැමටම අනිවාර්යයෙන්ම යන්නට වන ගමන අද ඔබ ගොසිනි. තව දින කිහිපයකින් පසු ඔබගේ නිසල සිරුරද අපට සදටම දැකගත නොහැකිවනු ඇත. එහෙත් ඔබ අපට ඉතිරි කොට යන ඔබගේ නිර්මාණ , ඒ අද්විතීය කට හඬ හා ඔබගේ නාමය පමණක් යුග යුග ගණනාවක්ම මෙලොව පවතිනු ඇත. අවසාන වශයෙන් මේ පාළු රාත්රී යාමයේ, නැග එන පුන්සඳ වසා පැතිරී ඇති වැහි වලාව දෙස නෙතු යොමා,  මා මෙලෙසින් ඔබගෙන් සමු ගනිමි.  මේ සසර කතරේ දිනෙක නැවත අප හමුවනතුරු ඔබට සුබ රාත්රියක්!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Friday 19 February 2016

අඳුරු පෙබරවාරියේ අපෙන් ඩැහැගත් තවත් එක් මිනිසකුගේ විසිහය වැනි සිහි(නො)කිරීම වෙනුවෙනි.



නිහඬ කෙරුවද රිදී සීනුව
මරා ගල් බැඳ හෙළා මුහුදට
සොඳුරු රළ පෙළ රැගෙන ආවා
හදින් පෙම් කළ කොරළ වැල්ලට

මිනිසුන් වෙනුවෙන් පන්හිඳ මෙහෙවා
මානව අයිතිය කතා කිරීමද
තරුණ පැඟිරි දිවියෙන් පුද දෙන්නට
ඔබ කළ බිහිසුණු වරදද කිව මැන

දැයට අහිමි කළ තම එඩිතර පුතු
වෙනුවෙන් ඒ අම්මා හෙලු කඳුළැලි
බිඳුවක් පාසා සාපය තොපටයි
සමනල දඩයම්කරුවණි සැඟැවුණු.   

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Tuesday 16 February 2016

විජය කුමාරතුංග නම්වූ ඒ සොඳුරු මිනිසා.....



ඒ එකදහස් නමසිය අසූ අටේ පෙබරවාරියේ දහසය වෙනිදාය. නීතිය, සාධාරණත්වය, යුක්තිය හා මානව ආචාරධර්ම වල්වැදී,  කැලෑ නීතියේ දුඟදින් අපවිත්රවූ අඳුරු මූසල තවත් උදෑසනක් ලක් මවට උදාකරමින් හිරු පායා ආවේද ඒ හැර හිරුටත් කළ හැකිවූ අන් විකල්පයක් නොවූ හෙයිනි. හැමතැනකම වාගේ විසිරී පැතිරී තිබූ , තුට්ටුවකවත් වටිනාකමක් නොවූ සීතල මරණයේ අඳුරු සෙවනැලි මකාලන්නට ඒ දුබල වූ හිරු කිරණයන්ට ශක්තියක් නොවුණි. මරණබයේ නින්දට ගිය මිනිසුන් , තවත් දවසකට තමන්ට ජීවිතදානය ලැබුණානේදැයි සිතමින් බියෙන් හා සැකයෙන් විවරවූ දෙනෙත් හැර ලෝකය දෙස බලන්නට පටන් ගත්තේ මේ සමගමය. 

දිනය සුපුරුදු ලෙස ගෙවෙමින් පැවතුණු අතර ඒ උදෑසන අපර භාගය වන්නට ඇත. හදිසියේම මුළු පළාතම ගිගුම් දෙමින් නිකුත්වී වාතලයට එක්වූ වෙඩි හඬ කිහිපයකින් පොල්හේන්ගොඩ ප්රදේශය ඇළලී ගියේ මේ මොහොතේමය.. වෙඩි හඬට නිතරම කන් හුරුවූ ජනතාවට එය එතරම්ම අරුමයක්නම් නොවුණි. එහෙත් ඒ මොහොතේ රටක් වටිනා ජනතා පුත්රයකු මිහිකත සිඹිමින් ලේ විලක් මැඳ වැතිර වුන් බව දුටුවේ ඒ අවට වුන් මිනිසුන් පමණි. තම ගොඳුර ඩැහැගත් ඒ අමන කුලී හේවායෝ තමන් පැමිණි යතුරු පැදියේ නැගී පලා ගියහ. වෙඩි තබා තිබුණේ මුහුණටමය. රටක් සැනසූ ඒ සුන්දර මුහුණේ අවසාන සිනහව ඒ වනවිටත් වාතලයට මුහුවී තිබිණි. පුවත රටපුරා ලැව්ගින්නක් සේ පැතිරුණු අතර වයස අවුරුදු හතළිස් නමයක් වැනි දිවියේ හොඳම ඉමේවුන් සිහින කුමරෙකු , මානව හිතවාදියෙකු හා මේ සියල්ලටම වඩා සොඳුරු මිනිසෙකු ඒ මොහොතේ අපගෙන් පැහැර ගෙන තිබිණි. බිරිඳකට පෙම්බර සැමියෙකු, දරු දෙදෙනකුට ආදරණීය පියෙකු, රසිකයනට ප්රතිභාවින් සපිරි රංගධරයෙකු හා ගායකයෙකුද සමස්තයක් වශයෙන් රටටම මානවහිතවාදී නායකයකුද අහිමි වුණි. 

එදා කැඩපතක ඡායා චිත්රපටයේ ඇසිඩ් වැදී මුහුණ විනාශ වෙද්දී එය සැබෑ ජීවිතයේදී එතුමන්ට හැබෑවටම සිදුවෙතැයි අප සිහිනයෙන් හෝ නොසිතුවෙමු. එදා ක්රිස්තු චරිතයේ රඟද්දී කුරුසියේ තබා ඇන ගසා මරාදමද්දී ඊට ටික කලකට පසුව එතුමන්ව හැබැහින්ම මරා දමතැයිද අප කිසිවිටෙකවත් නොසිතුවෙමු. එහෙත් අපේ අවාසනාවට සිදුවූයේද එයයි. 

අසූ අට - අසූ නමය යන ඒ කාලකන්නී යුගයේ අපට හා අපේ රටට අහිමි කළ විද්වතුන්, සමාජ සේවකයන්, මාධ්යවේදීන් හා දේශපාලකයන් අතරට විජය කුමාරතුංග යන නමද එක් කළේ මෙලෙසිනි. ඒ මීට විසි අට අවුරුද්දකට පෙර අදවන් දිනෙකදීය. අද සිටියා නම් එතුමන්ට වයස අවුරුදු හැත්තෑ හතක් වන්නට තිබිණි. 

එදා හන්තානෙ කථාවෙන් රිදී තිරයට පායා ආ විජය තරම් කඩවසම් හා ලස්සන නළුවකු එදා මෙදාතුර සිංහල සිනමා අම්බරයට පායා නොආ බව මගේ විශ්වාසයයි. එදා විජයගෙන් තොර වාණිජ සිනමාවක් නොවීය. විජයගේ පෙනුම නිසාම එතුමා වාණිජ සිනමාවටම කොටුවූවත් කරුමක්කාරයෝ, බැද්දේගම, කැඩපතක ඡායා, බඹරු ඇවිත් හා ක්රිස්තු චරිතය වැනි සිනමාපටවලින් එතුමන්ගේ සැබෑ රංගප්රතිභාව අපට දැකගත හැකිවිය. එමෙන්ම බොහෝ කලක් යනතුරුම හඳුනා නොගත් එතුමන්ගේ ගැඹරු හා ආදරණීය කටහඬට හා ගායන හැකියාවට ලැබුණේද අද්විතීය තැනකි. මිනිසුන් වැඩිපුරම ආදරය කළේ විජය නම් නළුවාටය. විජය නම් ගායකයාටය. එහෙත් විජයගේ ඉරණම ලියැවී තිබුණේ දේශපාලනය කිරීමටය. එයටත් හේතුව වන්නට ඇත්තේ එතුමන්ගේ තිබූ මානවහිතවාදී ගුණය හා පීඩිතයින් නගා සිටුවීමේ තද උවමනාව වන්නට ඇත. 

කාන්තාවන්ගේ මෙන් පිරිමින්ගේ ලස්සනක් ගැන කතා නොකළත් විජයට තිබුණේ පුන පුනා කතා කළ හැකිවූ අසාමන්ය ලස්සනකි. උත්තුංග දේහධාරී , අඩි හයකටත් වඩා උස සිරුරකි. ගැඹරු හැගීම්බර හා ආදරණීය කට හඬකි. එහෙත් මොහොතකින් ඒ හැම අපට අහිමි විය. 

විජයගේ දේශපාලන දර්ශනය පිළිබඳව කතා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. එමෙන්ම මට ඒ ගැන කතා කරන්නටද උවමනාවක්ද නැත. මන්ද මා මෙන්ම සුවහසක් ලංකාවාසී ජනතාව ආදරය කළේ විජය කුමාරතුංග නම් නළුවාටය. ගායකයාටය. මානව හිතවාදී සොඳුරැ ආදරණීය මිනිසාටය. විජය කුමාරතුංග නම්වූ දේශපාලඥයාට නොවේ. 

එතුමා දේශපාලනයට නොගියානම් අදටත් ජීවත්ව සිටින්නට ඉඩ තිබිණි. එහෙත් මරණයත් කරපින්නාගෙන උපත ලබන අපගේ මරණය කෙදිනක , කෙලෙස සිදුවෙතැයි නිගමනය කළ හැක්කේ නම් කාහටද? ඒ නිසා එසේ සිතා සිත රවටා ගැනීමට මම උත්සහ නොකරමි. 

ජේ ආර් ජයවර්ධන නම්වූ ඒ ඒකාධිපති පාලකයා විජය නැක්සලයිට් වාදියෙකුයැයි හංවඩු ගසා දඟගෙට පවා යැවීය. එහෙත් විජයගේ ගමන සහ එතුමන්වටා රොද බැඳ වුන් ජන ගඟ නැවැත්වීමට මේ කිසිදෙයක් සමත්වූයේ නැත. එතැනින් නතර නොවී එතුමන්ගේ හඬ පවා ගුවන් විදුලියේ ප්රචාරය වීම වාරණය කිරීම වැනි දෙකේ කොලේ අමන තකතීරු ළඳරුවන්වත් නොකරන අන්දමේ ක්රියාවන් මගින් විජයගෙන් දිගටම පළිගත්හ. මෙසේ කරන්නට කරන්නට විජය ඉන් පන්නරය ලැබුවා පමණක් නොව තව තවත් ජනතාව අතර ජනප්රියද විය. සිනමාවේ පවා විජය තරම් වැඩි වාර ගණනක් ජනප්රියම නළුවා වූ තවෙකකු නැතිබව මගේ විශ්වාසයයි. 

විජය ඒ දිනවල තදින් පැවති උතුරේ කොටි ප්රශ්නයටද කෙළින්ම  මැදිහත්වී කොටි නායකයන් පවා හමුවීමට උතුරට ගියේය. එවකට පැවති ජනාධිපතිවරණයේදී ජේ ආර් පාලනයට විරුද්ධව එසැවුණු අදිසි හා ප්රභලම හස්තය වූයේද විජයයි. 

විජය ඝාතනය කළේ කවුරු වුවත් කාගේ උවමනාවට වුවත් එවන් වටිනා මිනිසෙකුගේ ඔයතරම් ලස්සන මුහුණක් විනාශවී යන්නට වෙඩි තැබුවේ නම් මිනිසෙකු නොව හිතක් පපුවක් නැති තිරිසනකු බවනම් මම දනිමි. එය කිරීමට අණදුන් තැනැත්තා හැදින්වීමට වචනයක් මම තවමත් සොයමි. 

විජය මළ පුවත ඇසූ ජනතාව වැල නොකැඩී එතුමන්ට ගරු බුහුමන් කිරීමට ඇදුණේ එතුමාට ඔවුන්ගේ සිත්වල තිබූ සැබෑ ප්රේමය නිසාය. එදා විජයට ඇත්තටම ආදරය කළ විජයගේ සිනමා රසිකයින් ලක්ෂ ගණනක් හමුවේ එතුමන්ගේ නෑදෑයන් වෙනුවෙන් කතාවක් පැවැත්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් පැවසූ වගන්තියක් මෙසේ උපුටා දක්වමි. " විජය දේශද්රෝහියෙකු නම් අද මෙතැනට එක්වූ අප සැවොම දේශද්රෝහීන් විය යුතුය. ඒ මක්නිසාද, දේශද්රෝහියෙකුට උපහාර දැක්වීමද දේශද්රෝහී ක්රියාවක්ම වන බැවිනි. "

එදා ඒ වෙඩි උන්ඩයෙන් ඔවුන් සිදුරු කළේ විජය කුමාරතුංගයිනී ඔබගේ මුහුණ නොවේ ඔබට ආදරය කරණ සුව හසක් රසික රසිකාවියන්ගේ හදවතය. එදා ඔවුන් ඔබව ඝාතනය කළහ. එහෙත් ජනතා හදවත්වල ජීවත්වන ඔබව කිසිදා ඔවුනට ඝාතනය කළ නොහැකිවනු ඇත. ඔබ අපගෙන් උදුරාගෙන වසර විසි අටක් ගතවන අද,  මම ඔබට මෙසේ පවසමි. ආදරණීය විජය, ඔබ අප හදවත් තුළ  සදා ජීවමානය. මේ සසර කතරේ දිනෙක නැවත අප හමුවෙමු. එතෙක් මට සමු ගන්නට අවසර.  

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය.