Pages

Saturday 22 February 2014

සිංහල සිනමාව සහ මම 2.....





පසුගිය සතියේ යෙඳුනු වැලන්ටයින් දිනයට යමක් නොලියාම ඉන්නට බැරිව මට හැදුනු දොළදුක නිසා සිංහල චිත්රපට පිළිබඳ මගේ මතකයේ දෙවැනි කොටස තව සතියකින් කල් ගොස් මේ සතියට තල්ලු විය. එයට සමාව භජනය කරත්වා. දැන් එදා නැවැත්වූ තැන සිට....



සිත්තම්පලම් ශාලාවේ බිත්ති යටකරන් නැඟී ඇති රූස්ස ගස් කඳන් දකිනවිට මගේ නෙතට කඳුළක් එක්වන්නේ නිරායාසයෙනි. මේ සම්පත් අපට අහිමි කල ඒ ජාතිවාදීන්ට ශාප වේවා.


ඒ කාලයේ තැනූ චිත්ර පට බොහොමයක් සත්ය සිද්ධීන් අලලා කෙරුනු බැව් මට මතකය. සිරිපාල සහ රංමැණිකා හා මරුවා සමඟ වාසේ චිත්රපට එකල රජරට පෙදෙස දෙවනත් කල මරුසිරා නමින් ප්රකට සමාජය විසින් දාමරිකයෙකු කල සිරිපාලගේ ජීවිත කථාව අලලා නිර්මාණය වුනි.


මෙහි මරුවා සමඟ වාසේ වානිජ චිත්රපටයක් ලෙසත් සිරිපාල සහ රංමැණිකා සම්භාව්ය කෘතියක් ලෙසත් ඉදිරිපත් කෙරුනි.


මරුවා සමඟ වාසේහී විජය කුමරණතුංග මරුසිරා ලෙස රඟ පෑ අතර විමල් කුමාරද කොස්තා රඟ පෑ භූමිකාව කෙසේනම් අමතක කරම්ද? විකට නළුවකු ලෙස රඟපෑම ඇරඹි කොස්තා අපට අමතක නොවන රඟපෑම් රාශියක් දායාද කලද කිසිඳු ඇඟැයීමකට ලක් නොවූ චරිතයකි. ඔහු සරුංගලේ චිත්රපටයේ කල රංගනය මහත් සේ අඟය කල යුතුය.


 මරුවා සමඟ වාසේහී පච්ච කොටන පච්චේගේ චරිතය මගේ ළපටි සිතට තදින් කාවැඳුනි. අම්මාගෙන් බැණුම් අසමින් අසල වනරොදක තිබූ වැල් වල කිරි වලින් නංගී හා මම පච්ච කොටා ගත් අයුරු මට අද මෙන් මතකයේ ඇත. වරෙක මම මරුසිරා වු අතර ඇය පච්චේ වූවාය. චිත්රපටයේ මරුසිරා දරුනු වීමට පෙර පපුවේ "අම්මා බුදු වේවා" යි කොටා ගත් අතර සමාජය විසින් ඔහුව දාමරිකයකු කිරීමෙන් අනතුරුව " මරුවා සමඟ වාසේ" යන පච්චය කොටා ගත්තේය. මේ සිදුවීම් මගේ සිතේ තඳින්ම තැන්පත් විය.






බිනරි සහ සුදුබංඩා, මොණර තැන්න හා මුවන්පැලැස්ස ආදී චිත්රපට නැරඹීමෙන් පසු මට කොටි දත් මාලයක් පලදින්නට ඕනෑම විය. මගේ අම්මා එයට කිසිසේත්ම ඉඩක් නොදුන්නාය. අනුරාධපුරයේ පොසොන් සමයේ කඩ වන්දනාවේ යද්දී මා අම්මාට ඇවටිලි කරමින් හඬා වැටුනු භාන්ඩ දෙකක් විය. එකක් ඔය කොටි දත් මාලය වූ අතර අනෙක සෙල්ලම් පිස්තෝලයකි. පොසොන් සමයේ අසිරිය සමඟ මගේ අත්දැකීම් වෙනම පෝස්ටුවකින් ඔබ වෙත ගෙන එමි.


ඒ කාලයේ රූපවාහිණි නොතිබුන අතර අපගේ අනෙක් විනෝදාංශය වූයේ ගුවන් විඳුලියට සවන් දීමයි. එහි විකාශනය වූ හංදියේ ගෙදර, මුවන් පැලැස්ස ආදී නාට්යයන්ට සවන් දීම අප කිසිවිටෙක අමතක නොකලෙමු. උදා ගී, හින්දි ගී හා ඉරිදා දහවලේ විකාශනය වූ බයිලාද මාගේ ප්රියතම අංගයන් විය. පිබිදෙන ගායක පරපුරද එවැනිම මා රස විඳා වැඩසටහනකි.


ඉතිං මෙකල සති අන්තයේ වෙළඳ සේවයේ චිත්රපට ප්රචාරක වැඩසටහන් වලට සවන් දීම මා කිසිවිටෙක අතපසු නොකලෙමි. චිත්ර පටය නරඹා ගුවන් විඳුලියෙන් එහි සිංදු හා ජවනිකාවල දෙබස් කණ්ඩ වලට නැවත නැවත සවන් දුනිමි. එකල පැවති ජේ ආර් ගේ ආණ්ඩුව විජය කුමාරණතුංගයන්ව නැක්සලයිට් වාදීයෙකුයැයි හංවඩු ගසා එතුමාව වාරණයට ලක් කොට තිබූ කාළයයි. විජය රඟපෑ චිත්රපට වල දෙබස් ගුවන් විඳුලියේ ප්රචාරය වූයේ එතුමාගේ හඬ ඇති කොටස් වලට වෙනෙකෙකුගේ හඬක් යොඳා සංසකරණය කිරීමෙන් අනතුරුවය. මෙම ලැජ්ජාසහගත බාලාංශ පංතියේ ක්රියාව දෙස එකල ළමා වයසේ පසුවූ මා පවා බැලුවේ අවංඥා සහගතවය. මෙවැනි බලු වැඩ නිසා විජයට තිබූ ජනතා කැමැත්ත සිය දහස් ගුණයෙන් වැඩිවිය.


ගුවන් විදුලියේ චිත්රපට ප්රචාරක වැඩසටහන් වලට නිරතුරුව සවන් දීමෙන් රටේ බොහෝ සිනමා ශාලා වල නම ඒ ඒ නඟරයත් සමඟම මට කට පාඩම් විය.


විජිත-රත්මලාන, මානෙල්-  දෙමටගොඩ,සඳ ලංකා-සඳ ලංකාව,මෙට්රෝ -නුඟේගොඩ, අනුර- අම්බලංගොඩ,එස් කේ සිනමා-මාතර, ජීවනී -පානදුර,රොක්සි-වැල්ලවත්ත,නැශනල්- මහරගම,මිහිර-මීරිගම,ජානකී-මතුගම,රීගල්- කොළඹ, එල්ෆීන්ස්ටන්-මරදාන,තුසිත-පේරාදෙණිය,වෙම්බ්ලි-මහණුවර
ඉන් කිහිපයක් පමණි.



යකඩයා මරදංකඩවල විසූ අසාමන්ය ශක්තියකින් හෙබි මිනිසකු පිළිබඳව කල නිර්මාණයකි. එහිදී යකඩයාට රඟපෑ ගාමිණී ෆොන්සේකා සිර මැඳිරියේ යකඩ කූරු නවන දර්ශනය නරඹා ප්රීතියෙන් ඔකඳව ඔල්වරසන් නැඟූ අයුරු මට අද මෙන් මතකය.


මේ කුඩා වයසේදී මෙවැනි චිත්ර පට නැරඹීමෙන් ළමා මණස විකෘති විය හැකි බැව් යමෙකු තර්ක කල හැක. එහෙත් දෙවියන්ගේ පිහිටෙන් මට එසේ නොවුනි. මම ජීවිතයට විශාල පන්නරයක් මේ වටිනා නිර්මාණ හා ජීවත් වීමෙන් එක් කර ගතිමි. මගේ දරුවන්ද මා හා බිරිඳ මෙන්ම චිත්රපට නැරඹීමේ රුසියෝය. දරුවන්ට ගැලපෙන චිත්රපට නැරඹීමට කිසි විටෙක මා වාරණ පනවා නැත. කුඩා කාළයේ චිත්ර පට නැරඹීමෙන් මා ලද ආශ්වාදය ඔවුනද විඳිනු බලා මම අහිංසකව සතුටු වෙමි.


එහෙත් ඔවුනගේ වයසට වඩා මුහුකුරා ගියවුන්ගේ සංගමයෙන් ඔවුහු ඈත් කිරීමට නම් මා නිරතුරුවම වෙහෙස වෙමි. මන්ද එයින් විය හැකි හානිය මා අත්දැකීමෙන්ම දන්නා බැවිනි. ඊටත් පෙර මෙන් නොව සියළු දුසිරිත් ඇස් මානයේ අතේ දුරින් ඇත. සයිබ අවකාශයේ බැරිවීමකින් හෝ පී ඕ ආර් එන් ටයිප් වුවහොත් තප්පරයක් යෑමට පෙර ලැබෙන ප්රතිඵලය මා අමුතුවෙන් ඔබ හට කිවයුතු නැති අප සියල්ලෝම අතවිඳ ඇති සත්යකි.

එහෙත් අපේ කාලයේ නිල් චිත්රපටියක් නැරඹීම වනාහී කණ කැස්බෑවා විය සිදුරින් හඳ දෙස බැලීමටත් වඩා අසීරු කාර්යයක් විය. එහි බැරෑරුම් හා අපහසුතාවය මා විස්තර නොකලත් දන්නෝ දන්නා බැව් මා දනිමි. ඒ කර්තව්යයෙහි ලා මට ඇති අත්දැකීමකුත් මේ අවස්ථාවේ සඳහන් නොකලහොත් චිත්රපට හා බැඳුණු මගේ අතීතයට කරනා මදිපුංචි කමක් යැයි මට සිතේ.


එකල අප නමය හෝ දහය වසරේ ඉගෙණුම ළබමින් සිටියෙමු. පංතියේ සිටි නෙවිල් මෙවැනි වැඩවල ප්රමුකයා විය. ඉගෙණීම හැරුනු කොට අනෙක් හැම වැඩකින්ම ඔහු මට ඉදිරියෙන් සිටියේය. ධනවත් මුදළාලි කෙනෙකුගේ පුතකු වූ ඔහුට අපට නැති බොහෝ දේ තිබුනි. පංතියේ මුලින්ම අත් ඔරලෝසුවක් බැනදේ ඔහුය. අපට සිහිනයක් පමණක් වූ ගියර දහයේ ස්පෝට්ස් බයිසිකලයක් ඔහු සතු විය. එය අතගා බලා අප සතුටු වීමු. කෙල්ලක හා ප්රේම සම්බන්ධයක් තිබුනේ ඔහුට පමණි. අපේ ගේ ඉස්සරහ පාරේ ඔහු ඇය හා කථාකරමින් යනු මහත් දුකකින් මා බලා සිටි අයුරු මට අදද සිහිවේ. කොට කලිසම් ඇඳ රබර් සෙරෙප්පු පය ලෑ මා දෙස කිසිවකු බැලුවේ නැත.
 
ඔය කියන දවසේ නෙවිල්ට ඔහුගේ වැඩිමහළු යහළුවකු විසින් නිල් චිත්රපටයක් දී තිබුනි. වී එච් එස් කැසටයක් වූ එය නැරඹීමට ඩෙක් යන්ත්රයක්, ටී වී යන්ත්රයක් හෝ මූලික වශයෙන් තැනකුඳු නොවීය. බොහෝ පුද්ගලයන් ඇසුරු කල නෙවිල් රෙකෝඩ් බාරයකින් ඩෙක් යන්ත්රයක් කුළියට ගැනීමට සමත් විය. ටී වී යන්ත්රයක් සමඟ ස්ථානයට විසඳුමද ඔහුගෙන්ම ලැබිනි. එය නම් ඔහුගේ ගෙදරට ඉස්සරහ ගෙදරයි. ඒ ගෙදර මලයා අපට අවුරුදු කිහිපයකින් බාල වූ අතර චිත්ර පටය නැරඹීමට රහ වැටී දෙමාපියන් එලියට යන වේලාවක් බලා අපට එහි යාමට කැමැත්ත දුනි.


ඒ ගෙදරට ගොස් ඩෙක් යන්ත්රය සමිබන්ධ කොට එය ටී වී යන්ත්රයට ටියුන් කිරීම ඊළඟ බාරදූර කාරිය විය. නෙවිල් ඒ කාරියටද කර ගැහුවේය. පැයක් පමණ වෙහෙසවීමෙන් අනතුරුව අපගේ කුතුහලය හා ආශාව සංසිඳවමින් මා කිසිදින දැක නොතිබුනු රූප හා ක්රියාවන් තිරය මත දිස්වන්නට විය. ඒත් එම චිත්ර පටය පටං ගෙන තිබුනේ මැඳිනි. අපට එය මුල සිට බැලීමට උවමනා වූයෙන් නෙවිල් එය නවතා රිවයින්ඩ් කෙරුමට පටන් ගති. මහත් බියකින් පසුවූ ගෙදර අයිති මළයා රූපරාමු කිහිපය නැරඹීමෙන් ඔකඳව ගිය සිත් ඇතිව ආයෙත් යමක් සිදුවී ආමාරුවෙන් සාඳාගත් නිල බැලීමට නොලැබේවි යැයි බය වී හදිසියේම " කල්පනාවෙන් රිවයින් කරන්න" යැයි පැවසුවේ අප සියළු දෙනාම සිනා සයුරේ ගිල්වමිනි.


මගේ නිල් චිත්රපට අත්දැකීම එසේ ඇරඹිනි. ඉන්පසු තව එවැනි චිත්ර පටයක් නැරඹීමට අවස්ථාව උදාවුනේ විශ්ව විද්යාලයටත් ගිය පසුයි. අප පලමු වරට නිල බැලූ ගෙදර මලයාට ටී වී යන්ත්රයේ චැනල් සියල්ල මාරු කලා යැයි ඔහුගේ පියා හොඳටම දෙහි කැපූ බැව් පසුව ආරංචි විය. මට අදටත් පරිස්සමින් රිවයින් කරන ලෙස කියූ ඔහුගේ ඉල්ලීම සිහිවී මුවඟ සිනහවක් ඇතිවීම නොවැලැක්විය හැකි කරුණකි.


අදට මෙතනින් නවතින්නම්. ඊළඟට මෙම මතකයේ අවසාන කොටසින් හමුවෙමු. සැමටම ජය!!



Friday 14 February 2014

වැලන්ටයින් මහතා වෙත ඉතා ආදරයෙනි......

Photo credit: happy-valentinesday.org

අවුරුද්දට සැරයක් එන වැලන්ටයින්


පුතේ
උඹ ගැන මට බොහොම දුකක් කකියනවා හිතේ
අපෙ අම්මලා උඹෙ නමවත් අහල තිබුනෙ නැතේ
මුදළාලිලා කරකවනවා ආලය හැම අතේ
   
කුඹුර කොටා ගෙට එන කළ ගොවි රජු හැම දිනේ
පිළිගත්තා ගෙවිළිය විත් වෙනසක් නෑ අනේ
ඔහු අත මල් කළඹ නැතත් ප්රේමය ඉති රුනේ
වැලන්ටයින් හැම දිනයෙම ගෙපැලේ රජ වුනේ
   
මුහුඳු ගිහිං එන සැමියා මාළු කූරි ගෙනා
පිලී ගඳක් තිබුනට එහි ආලය පැති රුනා
වැලන්ටයින් මල් නැතුවට ඇඹෙණිය සැනැ සුනා
දෙන්නා එක්ක උයං කාලා එක තුරුලටඋනා
   
වැලන්ටයින් මහත්තයෝ නුඹ නාවට මෙහේ
සැබෑ හදේ පෙම් හැඟුමන් හැමදාමත් ගැහේ
මුලා වෙලා ඇයි නගින්නේ මුදළාලිගෙ ගහේ
තවමත් නම් පරක්කු නෑ යන්න නුඹට සහේ
   

Sunday 9 February 2014

සිංහල සිනමාව සහ මම.....




මේ කථාව මට පටන් ගන්න වෙන්නේ 1976 වසරේ එක්තරා දිනෙක සොඳුරු සන්ද්යා යාමයකින්. එදිනත් සුපුරුදු පරිදි රාස්සිගේ අව්ව අපේ ගෙදර වහලට මුවා වෙද්දී මම නංගී සමඟ වත්තේ දුව පැන සෙල්ලම් කරමින් හා දූවිලි නාමින් පසුවූයෙමි. 

හදිසියේම වාගේ ගෙදර පැමිණි අපේ තාත්තා කඩුල්ල පැන වත්තට ඇතුලුවන අතරම " සුද්දා! චිත්රපටියක් බලන්න යන්න ඉක්මනට ඇඳුමක් දාගන්න" යැයි කීවේය. මා පැහැයෙන් නංගී හෝ අම්මා මෙන් සුදු නොවූවත් තාත්තාගේ ලෝකයේ මම සුද්දාම වීමි. දැන් මගේ පුතාට මා සුද්දා යැයි අමතන සෑම මොහොතකම තාත්තා පිළිබඳ සුන්දර සිතිවිල්ලකින් හදවත කිතිකැවී යන්නේ මටත් නොකියාමය.

තාත්තාගේ ආරාධනයෙන් කුල්මත් වූ මා මිටින් හල කුරුල්ලෙකු සේ වහා සැරසී නතර වූයේ තාත්තාගේ බයිසිකලයේ බාර් එක මතිනි. තාත්තා බොහෝ වේලාවට බාර් එක මත කොට්ටයක් තබා නංගි හා මාද එහි හිඳුවා අටමස්ථානය අවට හැන්දෑ ජාමේ කරක් ගැහීම පුරුද්දක් කොට සිටියේය. එම ගමන් ගැන සුන්දර මතකයත් සමඟ එක දිඟට වාඩි වී ගොස් කකුල් හිරිවැටුන විට ඇවිදගැනුමට නොහැකිව විඳි වේදනාවන් හා පාදය බයිසිකලයේ ඉස්සරහ රෝදයේ ස්පෝක් අතර සිරවීමෙන් විඳි වේදනාවන්ද සම සමව මගේ සිහියට එයි.

ඉතිං තාත්තා මා එදා රැගෙන ගියේ අනුරාධපුරයේ සිත්තම්පලම් සිනමා ශාලාවේ තිරගතවූ හුලවාලී සිනමා පටය නැරබීමටයි.

අනුරාධපුර නඟරයේ එවකට සිනමාහල් තුනක් තිබිනි. ඒ අතරින් යම් සුවපහසුවකින් යුතු සිනමා හල වූයේ සිත්තම්පලම් සිනමා හලයි. එය ගඩොලින් බැඳ නවීන පන්නයටම සාදා තිබූ අතර බැල්කනියක් හා පහත මාලයේ පිටුපසට වන්නට බොක්ස් කිහිපයකින්ද සන්නද්ධ විය. ඒ කාලයේ එම බොක්ස් නැත්නම් කුටි පවුලකට නිදහසේ චිත්ර පටය නැරබීම සඳහා වෙන් කර තිබුනද පසු කාලයේ පෙම්වතුන් ඒවා තම තමන්ගේ ඕනෑ එපාකම් සතපවා ගත් තාවකාලික කුටි වූ බැව් මා දැනගත්තේ මා සාමාන්ය පෙළ ලිව්වාටත් පසුවය.

අනෙක් සිනමා ශාලා දෙක වූයේ මාර්කට් ටවුමේ පිහිටි නිව් විජේන්ද්රා ශාලාව හා මහජන පොළ අසල තිබූ විජේන්ද්රා ශාලාවයි. විජේන්ද්රා ශාලාව සම්පූර්ණයෙන්ම ටකරං තහඩුවලින් නිමවා තිබූ අතර වහලයේ මුඳුන් ලීය ඉසිලූ විශාල කණු පේලියක් ශාලාව මැද දිගටම සිටුවා තිබුනි. බාදාවක් නොවී චිත්ර පටය නැරබීමට නම් කලින්ම ගොස් කණු අහුනොවන තැනක් අල්ලා ගැනීමට ප්රේක්ෂකයාට සිදුවිය. 

10.30 හා 2.30 දර්ශන වලදී තහඩු ගින්දර මෙන් රත්වූ නිසා ප්රේක්ෂකයා එලියට ආවේ පෝරණුවෙන් එළියට එන උණු උණු පාන් මෙන් කරවී ඉහින් කණින් දහඩිය පොළු හලාගෙනය. තහඩු බිත්තිවල තිබූ සිදුරුවලින් හිරු කිරණ ඇතුලට ගලා ආ අතර චිත්ර පටය පැහැදිලිව නොපෙනුනි. ඊටත් එහි තිබූ ලෑලි පුටු මකුණන්ගේ නිජ බිම් වූ අතර සිඟරට් දුමින් ඇස් නිලංකාර වුනි. ඒත් ප්රේක්ෂකයා කිසිඳු මැසිවිල්ලකින් තොරව චිත්රපට නැරඹීම ප්රශංසා සහගතය. මෙම ඛේදනීය තත්වය නිසාම විජේන්ද්රා කාටු විජේන්ද්රා නමින් අනවර්ත නාමයකින් හැදින් විනි.

නිව් විජේන්ද්රා ශාලාවද ටකරංවලින්ම නිමවා තිබුනද කාටු විජේන්ද්රාව හා සැසඳීමේදි ලකුණු කිහිපයකින් ඉදිරියෙන් සිටියාය.

ඉතිං සිත්තම්පලම් ශාලාවට ලඟා වූ අප බයිසිකලය සයිකල් ගාලේ නවතා පුවේශ පත් රැගෙන ශාලාව තුලට ගොස් අසුන් ගතිමු. 

චිත්ර පටය ඇරඹීමට තවත් කාල වේලාව තිබු හෙයින් පසුබිමින් ඉතා මියුරු හින්දි චිත්රපට ගීත ප්රචාරය විය. තාත්තා අප අසලට ආ රට කජු කාරයාගෙන් මට රට කජු ගොට්ටක් අරං දුන්නේය. ඉන්පසු මම කජුවල රස බලමින් චිත්රපටය පටන් ගන්නා තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියෙමි.

හදිසියේම ක්රීංං.... ගා සීනු හඬක් නිකුත්වූ අතර තාත්තා ඒ දෙවැනි බෙල් එක, ඊළඟ එක ගැහුවාම චිත්ර පටය පටන් ගන්නවා යැයි ඒ හඬින් බියැවූ මා අස්වසා පැවසීය. කිව්වාත් මෙන් තවත් ක්රීං නාදයක් කිකුත් වනවාත් සමඟම ශාලාව අඳුරු වී තිරය මත රූප රාමු දිස්විය. 

මුලින්ම ගිය 'කමින්' කෑලි මම මහත්සේ රස විඳීමි. තවත් ස්වල්ප වේලාවකින් මගේ ජීවිතයේ නැරඹූ මුල්ම සිනමා පටය හුලවාලී තිරය මත දිඟහැරෙන්නට පටන් ගති. 

ගාමිණි ෆොන්සේකා රැහේ මහා හූරා ධාරා ලෙසත්, ටෝනි රණසිංහ සිදාධියෙන් ගමට බඩ ගෑ වෙළෙන්දා ලෙසත් රඟන අයුරු මා කුල්මත් වූ දෑස් ආයාගෙන බලා සිටියෙමි. මා ලපටි කොළුවා වුවත් සුභා වෙලෙන්දා සමඟ ධාරා අතහැර පලා යද්දී මගේ හදවතට වැදුන සුනිල් එදිරිසිංහයන් ගයන කුඩා ගමේ ගීතය තවමත් මගේ හදේ තැන්පත්ව ඇත්තේ ඒ දිනයේ දැණුනු අපූර්වත්වයන්මය. අවසන කොස්තා ධාරාට පිහියෙන් අනින දර්ශනයෙන් මා තිගැස්සුන නමුත් එදා චිත්රපට ශාලාවෙන් එලියට ආවේ චිත්රපට පිස්සෙකි.

එතැන් පටන් චිත්රපට නැරඹීමද චිත්ර කථා පත්තර බැලීම තරමටම ප්රිය කල මා චිත්ර පට බැලීමට මුදල් ඉල්ලා ගත්තේ තාත්තා මධුවිත ටිකක් තොළගා මඳ පමණින් සිටින අවස්ථාවලදීය. එවිට තාත්තා නෑ බෑ නොකියා මුදල් දෙන බැව් මා අත්දැකීමෙන් දැන සිටීම මීට හේතුවයි.

මුදල් සොයා ගත් පසු අප නිවසේ නතරව සිටි ඤාති සොයුරෙකු වූ උක්කුං අයියා සමඟ චිත්රපට නැරඹීමට මම හුරු වුනෙමි. පිචර් පිස්සෙකු වූ උක්කුං අයියා මේ නිකං ලැබෙන පිනා චාන්ස් එකට කිසිම විටෙක පස්ස ගැහුවේ නැත.

මට මතක හැටියට එසේ බලාපු චිත්ර පට අතර නීල් රූපසිංහයන්ගේ සරදියල්ගේ පුතා මගේ සිත තදින් පැහැරගත් සිනමා පටයකි. එහි වූ අයියාට අපී ආදරේ ගීතය මම මහත්සේ රස වින්දෙමි. මා ඇතුළු බොහෝ දෙනෙකු එම චිත්ර පටිය බැලීමට ඇදී ගිය එක්තරා ජවනිකාවක් තවමත් මගේ සිතේ ඇත. ඒ වූ කලී සරදියල්ගේ පුතා( ඇලෙක්සැන්ඩර් ෆනෑන්ඩො)  වලක් තුල සැබෑ වලසකු සමඟ අල්ලන ගුස්තියකි.

ඉන්පසු මඩොල්දූව නැරඹීමෙන් මම මනසින් නොදන්නා දූපත් වල සැරිසැරුවෙමි. ටයි මහත්තයාගේ හඳයා නරඹා පෝනියෙකු මිලට ගැනුමට සිහින දැක්කෙමි.

චන්ඩි පුතාහී ගාමිණීගේ රඟපෑමට වශී වුනෙමි. එහි වූ ලතා වල්පොලයන්  ගැයූ ශාන්ති ලේඛා රැඟූ අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා ගීතයට පෙම් බැන්දෙමි.

ඉන්පසු නැරඹූ දුලීකා,සිකුරුලියා හා ජනක සහ මංජු වැනි සිනමා පට මට අද මෙන් මතකය. සිකුරුලියාහී රඟපෑ අඟුටුමිටි නළුවා  ( බංදුල ගලගෙදර) අප නිවස පිහිටි පාරේම විසීමද විශේෂ කරුණකි. මට මතක හැටියට එච් ඩී ප්රේමරත්නයන් සිකුරුලියා නිර්මාණය කරන ලදී.

මේ කාළය සිංහල සිනමාවේ ස්වර්ණම යුඟය වූ අතර අවුරුද්ද පුරා විශාල වශයෙන් නව සිනමා පට නිකුත් විය. සිනමා ශාලා මිනිසුන්ගෙන් පිරී පැවතිනි.

අපේ තාත්තාද මා මෙන්ම චිත්රපට පිස්සකු හා නවකථා කියවීමේ රුසියෙකු විය. ගහේ කටු උල් කරන්න ඕනෑ නෑ කියූ කථාව සනාථ කරමින් මමද ඔහුගේ අඩි පාරේම ඇඳුනෙමි.

මම තුනේ පංතියේ ඉගෙන ගන්නා කාලයේ කවුද රජා චිත්රපටය නිකුත් විය. එහි රඟ පෑ සිනමාවේ සක්විති ගාමිණි ෆොන්සේකාගේ අති විශාල පෝස්ටරයක් නිව් විජේන්ද්රා සිනමා හල ඉදිරි පිට ඉඳිවිය.

ඒ කාලයේ මෙම පෝස්ටර් නිර්මාණට කප් ගසා සිටියේ ටී පී මහින්දයි. ඔහු නාට්යවල රඟපෑ නළුවෙකුද විය.

ඔහු විසින් කවුද රජාට තැනූ විශාල පෝස්ටරය ඒ දිනවල ඇතිවූ  සුළි සුළඟක් හේතුවෙන් කැඩී වැටී තිබෙනු මට අද මෙන් මතකය.






1983 ජූලි මාසයේ ඇවිලුනු ඒ ඊනියා ජාතිවාදී කෝලහලයේදී අන්තවාදී සිංහල පිරිස් විසින් දමිළ මහතුන් සතුවූ සිත්තම්පලම් හා නිව් විජේන්ද්රා යන සිනමා ශාලා අපට අහිමි කරවූහ. පොළ ළඟ තිබූ කාටු විජේන්ද්රාව පමණක් ඉතිරි විය. එයට හේතුවූ සැඟැවුන කථාව පසුව හෙලිදරව් විනි. 

විජේන්ද්රාවට අරක් ගත් පොළ ලඟ දරුණු රස්තියාදු කන්ඩායමක් විය. වරෙක ඔවුන් විසින් අනුරාධපුරයට පැමිණි ජර්මන් ජාතික සංචාරක යුවලකට අඩම්තේට්ටම් කොට ඒ සුදු කාන්තාව දූෂනය කිරීමට පවා සහසික විය. එම සිද්ධියෙන් පසු එම කණ්ඩායමේ ප්රභලයෝ කිහිප පොලක් අනුරාධපුරයෙන් පලා ගියහ.  පසුව සමහරෙකු පොලීසියට කොටු විය. 

තවත් වරක් චිත්ර පටියක් නැරඹීමට පැමිනි හමුදාවේ මහතෙකුගේ බිරිඳකට නොමනා විහිළුවක් කිරීමේ ප්රතිඵලයක් වශයෙන් එම මැර කණ්ඩායම හමුදාවෙන් කට බඩ පුරා කෑ අවස්ථාවක්ද දැන ගන්නට ලැබිනි.

ඉතිං මා මෙම සිද්ධීන් ඔබට මතක් කලේ ඔවුන්ගේ පාදඩකම හෙලිදරව් කිරීමටයි. මෙම මැර රැල විසින් ඔවුන්ට සෙවන දුන් විජේන්ද්රාව රැක ගෙන අනිකුත් සිනමා ශාලා විනාශ කල බැව් පසුව ප්රසිද්ධ රහසක් බවට පත් විය. මෑතක් වන තුරුම අනුරාධපුරයේ තිබුනේ කාටු විජේන්ද්රාවම පමණි. එය මා වැනි චිත්ර පට පිස්සන්ට ගැසූ අතුල් පහරක්ම විය. දැන්නම් නවීන පන්නයේ සිනමා හල් කිහිපයක්ම අනුරාධපුරයේ ඇතිමුත් එදා විනාශ කල සිත්තම්ලපම් හා නිව් විජේන්ද්රා ශාලා නැවත ගොඩ නැඟුනේ නැත.

ළබන සතියේ ඒ සිංහල සිනමාවේ ස්වර්ණමය යුඟය ගැන මගේ ඇති අත්දැකීම් ඔබ සමඟ බෙදා ගැනීමට අදහස් කරමින් අදට නවතිමි. සැමට ජය හා සතුට!!


Thursday 6 February 2014

තාත්තේ ඔබට සුභ උපන් දිනයක්......!

පසුගිය පෙබරවාරි තුන් වැනිදාට යෙදුනු මා ආදරණීය පියාණන්ගේ උපන් දිනය වෙනුවෙනි......



දස මසක් මගේ බර නොඳැරුවටතාත්තේ
අප සැමගේ දිවි බරම වැටුනෙ ඔබෙ කරමතේ
මව් කිරට වහං වී කිරි වුනේ ලෙයගතේ
අපව උණුහුම් කලේ ගැලූ දහඩිය වතේ
   
හිම ශිඛරෙ ශීත නෑ උණුසුමින් ඔබෙ සුසුම්
ඔබේ එක වදනකින් පිපෙයි අප හදකුසුම්
සෙවනැල්ල යට ඔබේ සිසිලසයි හරි නැවුම්
ළඟ සිටින විට දැනෙයි රැකවරණෙ අති උතුම්
   
ජීවිතේ සියළු බර සොම්නසින්ඉසිලුවා
ආදරේ අඩු නැතිව අප සැමට පැතිරුවා
කාගෙවත් හොඳම මිස දොසක් නොම පැවසුවා
කාටවත් ණය නොවී දිවි ඔරුව පැදැවුවා
   
දිවි මඟේ සැදෑ යම ගෙවනවා අදදිනේ
ඔබේ ගුණ සුවඳ කඳ වැඩිවෙමින් මට දැනේ
හැමගෙන්ම හොඳක්මයි ඔබ නමට පිටවුනේ
අපෙත් ආයුෂ රැගෙන අප ළඟම ඉනුමැනේ
   

Saturday 1 February 2014

දුරස් වූ ඔබ.......

 
පාළු අහසේ දුරට වෙන්නට වළා කැටියක් තනි වෙලා
වහින විට කළු රකුසු වෙස් ගෙන මගේ නෙතු යුග බිය කලා
හිරුත් සමඟින් එකතු වී හිඳ නොයෙක් වර්ණෙන් හැඩ වෙලා
විටින් විට වෙනසකින් සැරසෙන නුඹගේ ගති ගුණ සිහි කලා
   
වසත් සමයේ හරිත කොළයෙන් මහා ගස් වැල් හැඩ වුනා
එවන් කොළ නෙක වර්ණ ගැන්වී සරතයේ බිම වැතිරුනා
ඉපල් වූ ගස් මහා දුකකින් නග්න වී මුළු ගැන්වුනා
නුඹේ ආලෙත් මෙලෙස වී මා දිනෙන් දින අසරණ වුනා
   
මුහුදු වෙරළේ තබපු පා සටහනක කිසිදා රැඳෙනු නෑ
රළක් බිඳිලා විසිර ගිය කල නැවත ඒ රළ සොයනු නෑ
එලෙස අපෙ ආදරෙත් කිසියම් මතකයක් ඔබෙ සිතෙහි නෑ
එදා සිත් පිරි සොඳුරු සිතිවිලි ආයේ කිසිදා නැඟෙනුනෑ
   
ඉරෙන් එළියක් ගත් නමුඳු සඳු සහන් එළියක් විහිදුවා
තරුත් සමඟින් එකතු වී මුළු ගඟන තලයම බැබළුවා
එහෙත් සඳ යැයි සිතූ ඔබ හිරුටත් වඩා සැර පතුරුවා
මගේ දිවියම දවාලූවා තවත් හිරු දහසක් මවා
   
ඉතිං කාහට පවසම්ද මම ආපු නුඹ ආපහු ගියා
මී විතෙන් පිරි බෝතලය පමණක්ම තනියට ළඟ තියා
වරද කාගෙද කුමක් සිදුවිද සොයා තේරුම නැති නියා
මී විතෙන් මා සැනසෙමිය අද ජීවිතේ සින්නව ගියා
   

බලාපොරොත්තුවේ විකාශනය.......


Picture credit: blog.harzrulnz.net


මෙම නිර්මාණය කිරීමට නිමිත්ත සොයා දුන් මා හිතමිත්ර ලසන්ත රත්නවීරයනට හදපිරි සෙනෙහසිනි....


බලාපොරොත්තුවේ විකාශනය.......


ගැටවර වියේදී නිතර
හමු වූ මේ මිතුරු පොකුරට
රත්නේ ගුණේ හා මුණයා සමඟ
සුන්දර චන්දරෙත් කැපුනානේ යසට....


බලපං ගුණේ මුණයගේ බඩුව
උසටම මහත ඇඟ පතත් ඇත සරුව
ඒකට චන්දරේ අහුවුන ගෙදර
දුවටත් වැඩිය අම්මානේ හරිම කතුර


රත්නේ බලහං සිරිමලා කොහෙද
කළුවරේ හොරු ඇවිත් අරං ගිහින් වත්ද?
මුණයා බැඳලා දරුවොත් ලැබිලලු ඌට
මොකද බං තවම උඹ කොටු පනින්නේ රෑට?


ගුණේගේ ලොකු කෙළී ඉන්නේ කැම්පස්ද
මගේ එකීනම් ඔන්න තාමත් ගෙදර
රත්නයගේ ළමයි නම් බැඳලා ගිහිං පිටට
ඒත් තවමත් ඌට ප්රශ්න....


අවුරුදු පනහක්! බොලේ අදද ඊයෙද...?
දැන්නම් අපේ උන්ටත් එක එක විදිහේ ලෙඩ දුක
රත්නයට හයි බ්ලඩ් ප්රෙෂර්.....
තිලකයට සීනි බව නම් ෂුවර්....


පෙරේදා ගියානේ හොරණට
ඉන්නට මුණයගේ මරණෙට....
දැන්නම් හිතේ නෑ බලාපොරොත්තු එහෙමට
බලන්නේ ඊළඟ ඇමතුම එන්නේ කාටද.....?




ප/ලි
මෙහි අවුරුදු පනහක් කියා ලියූවේ ඔවුන්ගේ මිතුදමේ වයසය. මේ වනවිට ඔව්හූ අවුරුදු 70-80 පමණ පසුවන බැව් සලකනු මනාය.......