Pages

Wednesday, 15 June 2016

සරුංගලේ........



මං පුංචි සංදියෙ අපේ තාත්තා මට සරුංගලයක් අරගෙන දෙන්න පොරොන්දු වුණා. එදා ඉදන් මම හීනෙන් පවා දැක්කෙ එක එක ජාතියෙ සරැංගල්. දවසක් මම පොතක් පිරෙනකන් සරුංගල් වල පිංතූර ඇන්ඳා. ඒත් තාත්තගෙ පොරොන්දුව දිනෙන් දිනම කල්ගියා. එය ඉටුවන පාටක් නොපෙනුණාම සරුංගල් සිහිනය මගේ හිතෙනුත් ටික ටික වියැකී යන්නට පටන් ගත්තා. 

ඔහොම ඉන්නකොට දවසක් හැන්දෑවෙ තාත්තා ගෙදර ආවේ මගේ සිහිනයත් ඔසවාගෙන. ඒක හරිම ලස්සන සරුංගලයක්. හරිම ලස්සන පාට සව් කොළ අලවලා ලස්සනම ලස්සන දිඟ රැළි දාලා තිබුණු එය මොණරෙක් වගේ ආඩම්බරයෙන් දිලිසුණා. 

මගේ ඇස් කඳුළින් පිරුණා. සතුටට. මම තාත්තව ඉඹගෙන ඉඹගෙන ගියා රටක් ලෝකයක් දිනුව වගේ. තාත්තා සරුංගලය මගෙ අතට දුන්නා. මම ඒක අතට ගත්තෙ හාමුදුරුවො තමන්ගෙ අතට දෙන ධාතු කරඬුව ඉතාම භක්තියෙන් අතට ගන්නා සැඳැහැවත් දායකයෙක් වගේ. හැබැයි තාත්තා සරුංගලය මගෙ අතට දෙන ගමන් එක දෙයක් කිව්වා. 

" සුද්දා( මම කලු උණත් තාත්තා මට කිව්වෙ සුද්දා කියල) මේක අද ලැබුණට කමක් නෑ මම හොඳ හයිය නූල් බෝලයක් හෙට ගෙනත් දෙනකන් උඩ යවන්න එපා. ඊටත් අද සුළඟත් සැරම සැරයි. ලොකු වැස්සකුත් එනවා. ඒ නිසා අද හවස නම් කොහොමවත් මේක එළියට ගන්න එපා" කියලා. 

මම හා කියලා ඔළුව හෙලෙව්වත් මට තිබුණෙ පුදුම කලබලයක්. මම සරුංගලය අතට ගත්තා විතරයි තාත්තාගෙ අවවාද එහෙමම අමතක වෙලා ගියා. සරුංගලය මගේ ඇස් වටා එලපු මායා දැලෙන් මට සුළඟෙ අධික සැර බවත් වැස්සක් එන බවත් නොපෙනී ගියා. 

තාත්තා එහෙම කියලා නාගන්න ගියා. මට ඉවසන්නම බෑ. පුදුම කලබලයක්. මම හිමිහිට මගෙ ළඟ තිබුණු වැඩිය ශක්තිමත් නැති පුංචි නූල් බෝලයත් අරගෙන ගෙදරින් පැනගත්තෙ අම්මටත් හොරෙන්. පළාතම කළු කරල තිබුණෙ. සුළං හැමුවෙ ගස් කොළං අඹරවාගෙන. ඒත් මට ඒ කිසි දෙයක් පෙනුණෙ නෑ. මම සරුංගලයත් අරගෙන පාර දිගේ දුවං ගියා. හුළඟට අහුවෙලා සරුංගලය උඩට නැංඟෙ හීයක වේගෙන්. සව් කොළ රැළි නැගෙන සද්දයට වැස්සෙ සද්දය හා සුළඟෙ සද්දය මට ඇහුණෙ නෑ. මට අහන්න උවමනාවක් තිබුණෙත් නෑ. මම ලෝකයම දිනුවා වගේ මගෙ ළඟ තිබුණ පුංචි නූල් බෝලය දිග හැර හැර සරුංගලයට තව තව ඈතට යන්න ඉඩ හැරියා. 

ඒත් එහෙම සතුටින් විනෝදයෙන් මට ඉන්න ලැබුණෙ පුංචි වෙලාවයි. හදිසියේම ඇදිල ආපු සැරම සැර සුළං පහරකින් මගේ පුංචි නූල කැඩිල ගිහින් සරුංගලය එක්ක තිබුණ මගේ සම්බන්ධය නැති කරල දැම්මා. මාව සිහින ලෝකයෙන් පියවි ලෝකයට වැටුණෙ එතකොට. සුළඟට අහුවුණු මගේ ලෝකය මගෙන් මිඳිල ඈතට ඇදිල යනවා බලාගෙන හිටපු මගේ දණහිස් පණ නැතිවෙලා පාරෙම මාව ඉන්ඳවුනා. 

කඳුළු පිරුණු දෑසින් මම දැක්කෙ පාරවල් දෙකකට එහායින් පිහිටි ගෙදරක වැටේ වවල තිබුණු උස ගසක මගේ සරුංගලය පැටලෙනවා. එතකොටම ඒ ගෙදර හිටපු මට වඩා ශක්තිමත් ළමයි දෙන්නෙක් එතනට දුවල කෙක්කක් දාලා මගේ සරුංගලය බිමට බාගන්නවා. එදා තමයි මට මුල් වරට දැණුනෙ තමන් පණ වගේ ආදරය කරන දෙයක් ඇස් පනාපිටම තමන්ට අහිමි වෙද්දී දැණෙන වේදනාව කොයි වගේද කියලා. මම පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා. 

" අනේ ඔය සරුංගලය මගේ. ඒක ගන්න එපා" ඒත් ඒ ආයාචනය කාටවත් ඇහුණෙ නෑ. සුළඟයි , වැස්සයි මගේ හඬ යටපත් කළා. මගෙ දෑසින් ගලා ගිය කඳුළු වැහි වතුරත් එක්ක එකතු වෙලා කම්මුල් දිගෙ ගලා ගියා. මම වැස්සෙ තෙතබරිවෙවී කඳුළු ඉවර වෙනකන් ඇඬුවා. හදවතේ ඇවිලුණු ගින්දර නිවන්න ඒ මහා වැස්සටත් බැරිවුණා. මම වැස්සෙ තෙමි තෙමී හිස් අතින් ගෙදර එනකොට තාත්තා හිටියෙ දොර ළඟ. තාත්තා මේ වෙච්චි හැමදේම බලාගෙන ඉඳල තියෙන බව මට තේරුණා. මගෙ හිතට පුදුම බයක් ආවෙ. දුකයි, බයයි , වැස්සෙ තෙමිලයි මාව වෙව්ලන්න පටන් ගත්තා. ඒත් තාත්තා මොකුත් කිව්වෙ නෑ. බැන්නෙත් නෑ. කිව්වෙ මෙච්චරයි. 

" සුද්දා ගෙට ගිහින් හොඳට ඔළුව පිහද ගන්න. අන්න අම්මා කෝපි එකක් හැඳුවා. අලුත් ඇඳුමක් දාගෙන ඒක බොන්න" 

එදා දවසට තාත්තා මට වෙන මොනවත් කිව්වෙ නෑ. මම කෑමත් නොකා නිදා ගත්තා. එදා රෑ තිස්සෙම මම හීනෙන් බය වුණා. මගෙ සරුංගලය ගත්තු කොල්ලො රාක්ෂයො වගේ ඇවිත් මාව බය කළා. මම රෑ තිස්සෙම කල්පනා කළා. කලබල වෙලා මම වරද්දගත්ත තැන මට සිහිවුණා. මම ආයිත් එහෙම කලබල වෙන්නෙ නෑ කියල හිතා ගත්තා. 

පහුවදා මම මේ සිද්ධිය අමතක කරන්න උත්සහ ගත්තත් දියේ ඔබාගෙන ඉන්න රබර් බෝලයක් දිය මතුපිටට එන්න දඟලනවා වගේ ඒකමයි මතක් වුණේ. 

මම එදා ගෙදර යනකොට තාත්තා ඒ වගේම සරුංගලයකුයි ශක්තිමත් නූල් බෝලයකුයි මට ගෙනත් තිබුණා. මගෙ හිතේ එහෙම පුංචි බලාපොරොත්තුවක් තිබුණත් තාත්තගෙ කීමට පිටින් මම වැඩ කළ නිසා ආයිත්නම් තාත්තා මට සරුංගලයක් ගෙනත් නොදෙයි කියලත් ඒගමන්ම හිතිලයි තිබුණෙ. මගේ දෑස් සතුටින් දැල්වුණා. 

එදා සුළි සුළගත් නැවතිලා පුංචි සියුමැලි සුළං කැරැල්ලක් හමමිනුයි තිබුණෙ. ඒත් මට සරුංගලය උඩ අරින්න බය හිතුණා. ආයෙත් මට ඒක නැතිවෙයි කියලා. ඒක නිසා එදා මම ඒක තුරුළු කරගෙන නිදා ගත්තා. 

තාත්තා මට එහෙම ඉන්න ඉඩ දුන්නා. මොකවත් කිව්වෙ නෑ. ඊට පස්සෙ අපි කෑම කාලා ඉවර උණාම මාව ළඟට අඩගහල මෙහෙම කිව්වා. 

" සුද්දා ඊයෙ ඔයාට ඒ සරුංගලය නැතිවුණේ ඔයාගෙ කලබලය නිසා. අපි දෙයක් කරන්න ඉස්සර දැනගන්න ඕනෙ ඒක හරියට කරන්න අවශ්ය සුදුසුම කළමනා සහ ආම්පන්න අපි ළඟ තියෙනවද කියලා. ඊයෙ ඔයාට ඒ සරුංගලය උඩ අරින්න තරම් ශක්තිමත් නූලක් තිබුණෙ නෑ. අනික තමයි ඒ වෙලාව සරුංගලය උඩ අරින්න සුදුසු වෙලාව හෝ වාතාවරණය නෙමෙයි. ඒකයි ඔයාට සරුංගලය නැතිවුණේ. ඒ සුදුසු වෙලාව ඔයාට දවසක එනවා. කලබල නොවී ඒ වෙලාව එනකන් ඔයා ඉවසන්න පුරුදු වෙන්න ඕනෙ. තේරුණානෙ. "

මම " ඔව් තාත්තෙ" කිව්වා. 

එතකොට තාත්තා ආදරයෙන් මගෙ ඔළුව අත ගාලා" හොඳ පුතා. ඉතිං අද ඔයාට සරුංගලය උඩ අරින්න සුදුසුම ආම්පන්න සහ ගැලපෙනම වාතාවරණය තිබිලත් ඔයා ඒක උඩ ඇරියෙ නෑ. සරුංගල තියෙන්නෙ උඩ අරින්න පුතා. ඒක තමයි සරුංගලේ ඉරණම. ඒ වගේම ඒක ලස්සනත් උඩ යනකොට. අපි විනෝද වෙන්නෙත් උඩ යනවා බලලා. ඒකෙන් අපට හිතට ගන්න පුළුවනි මහා විශාල දෙයක් පුතා. ඒක තමයි ඔයා අසීමිතව යම් දෙයකට ආදරය කරනවනම් ඒ ආදරය කරන දෙයට නිදහසේ සැරිසරන්න ඉඩ දෙන්න. බදාගෙන තුරුළු කරගන්නවට වඩා එතකොට ඇතිවන සුන්දරත්වය වැඩියි. මේ සරුංගලේ වගේ. ඒ වගෙම සැබෑ ආදරය කියන්නෙත් එක්තරා විදිහක අතහැරීමක්. පුතා ඒක හිතට ගත්තනම් මට ඒ ඇති"

මම පහුවෙනිද යාළුවෙක් එක්ක ගිහින් සරුංගලය උඩ ඇරියා. ළඟ තුරුළු කරගෙන හිටියට වඩා සතුටක් මම ලැබුවා මඳ සුළඟෙ පාවි පාවි යන සරුංගලය දිහා බලලා. පුදුම සුන්දරත්වයක් ඒකෙ තිබුණෙ. මගෙ යාළුවටත් මම තාත්තා මට කියපු දේවල් කිව්වා. 

මගෙ යාළුව ටිකක් කලාකාමී දර්ශනවාදියා. මිනිහ ගත් කටටම කියාපි " උඔ සරුංගලයට ආදරය නිසා නිදහසේ හැසිරෙන්න ඉඩ දෙනව කිව්වට නුලකින් ගැටගහල අල්ලගෙනනෙ ඉන්නෙ "කියල. 

මම එතකොට ඌට කිව්ව මෙහෙම. " ඒ පුංචි නූල කාටවත් පේන්නෙ නෑ මචං. සරුංගලේ තියෙන්නෙ අහසෙ. මම ඉන්නෙ පොළොවෙ. අපි ආදරය කරන දෙයට හදවතේ ඇති බැඳීම ඒ නූල වගේ. හදවතේ විතරයි. කාටවත් පේන්නෙ නෑ. අඩුම තරමෙ සරුංගලයටවත්....යාළුවා මගෙ දිහා උපේක්ෂාවෙන් බැළුවා. 

චන්දන ගුණසේකර

Tuesday, 14 June 2016

" ඇගේ ඇස අග " ගැලරියේ ප්‍රේක්ෂකයෙකුගේ ඇසින්.....



නවීන තාක්ෂණයට හා අන්තර්ජාලයටත් එය අන්තර්ජාලයෙන් නැරඹීමට අවස්ථාව උදාකරදුන් අශෝක හඳගමයන්ටත් පිංසිදු වන්නට මට මේ ගෙවී ගිය සති අන්තයේ නිවසේ සිටම " ඇගේ ඇස අස අග" නැරඹීමේ භාග්ය උදාවිය. 

මුළු සතිඅන්තය පුරාම අලස සුවයෙන් ගෙවූ මට කිසිදු වෙහෙසක් නොමැතිව නව ගීත කිහිපයකට සවන්දීමටත් චිත්රපට කිහිපයක් නැරඹීමටත් හැකිවූයේ පැවති කාලගුණයද තරමක් අයහපත්වූයෙන් සති අන්තයේ සාමාන්යයෙන් මට කිරීමට සිදුවන බිරින්ඳෑගේ "ගෙදර වැඩ " ලැයිස්තුවෙන්ද යම් සහනයක් ලද නිසාවෙනි. 

මම මෙදින සිනමාපට දෙකක්ම නැරඹුවෙමි. පළමුවැන්න 2001 වසරේදී පිටවූ සම්මානනීය ඇමෙරිකානු සිනමා පටයක් වූ " A beautiful mind" ය. විසිවැනි ශතවර්ෂයේ විසූ විශිෂ්ටතම ගණිතඥයෙකු වූ මහාචාර්ය John Nash ගේ ජීවිතකථාව එහි කතා තේමාව වූ අතර අති විශිෂට නළු රසල් ක්රෝ එම චරිතයට පණ පෙවීය. ඒවා ගැන කතා කරන්නට දෙයක් නැත්තේය. සුපිරිය. 

එය නරඹා ඇතිවූ සිතේ කැලැඹීම පහව යන්කටත් ප්රථම මම හඳගමයන්ගේ ඇගේ ඇස අග නරඹන්නට කල්පනා කළෙමි. ඒ පිළිබඳව උගත් හා ඇසූපිරූ තැන්ඇති බැල්කනි සහ පළමු පංතිවල ප්රේක්ෂකයන් ලියූ විචාර රාශියක් කියවා, සිනමා පටයේ ලුණු ඇඹුල ඇති ප්රමාණය මැනවින් දැන වුන් මට ඇගේ ඇස අග නැරඹීමෙන් , බටහිර චිත්රපටය නරඹා ඇතිවූ උත්තේජනය හා කැළඹීම, මෑතකදී පිටවූ සමහර සිංහල චිත්රපට නැරඹූ පසුව මෙන් දියාරු වී නොයන බවට තිබුණේ තදබල විශ්වාසයකි. ඒ මතයේ එල්ලී ඇගේ ඇස අග මුලින්ම තනියම නැරඹූ මම ඉන්පසු එය දෙවැනි වරටත් මගේ බිරිඳ සමඟද නැරඹුවෙමි. 

විචාරවල දුටුවාක් මෙන් මහ වැස්සක දිවෙන වාහනයක් තුළ සිටින චරිත හතරක සංවාදයකින් සිනමාපටය ඇරඹිණි. සංවාදයේ අගක් මුලක් එතරම් නොතේරුණත් මේ පිරිස යම් සිද්ධියකින් පලා යනබැව් නම් හොඳින්ම වැටහිණි. පහන්වැටක් උස්සා ගසන්නට පැන්නූ කථාවෙන් හා හාමුදුරුවන් මැදට පැන්න කථාවෙන් සිද්ධිය පංසලක සිදුව ඇති බවද පැහැදිලි වුණි. 

ඉන්පසු තිරයේ දිස්වූයේ සුළඟට ඉහළ පහළ යන දුහුල් දොර තිරයක් තුළින් යමෙකු මතුවන තුරු නොඉවසිලිමත්ව දෑස දුවවන මැදිවියේ පුද්ගලයෙකි. කථාවේ විත්තිකරුද, සාක්ෂිකරුද හා චූදිතයාද වූ ඔහු විශ්වවිද්යල මහාචාර්යවරයාය. මද නිමේෂයකින් දුහුල් තිරය අතරින් දිස්වෙන්නෙ සිනමාපටයේ එක් සංධිස්ථානාත්මක ජවනිකාවයි. එනම් දුහුල් තිරයෙන් යන්තමට තම විලි වසාගත් සම්පූර්ණයෙන්ම නිරුවත් යුවතියකි. ඇය මෙම කථාවේ ප්රධාන චරිතයට ජීවය කවන තරුණ විශ්වවිද්යාල ශිෂ්යාවයි. මා විචාරයක දුටුවාක් මෙන් එතැනින් යන්තමට ඇයගේ නිරුවත දැකගන්නා ප්රේක්ෂකයාව, සිනමාපටය පුරාම ඇයගේ ඇඳුම් පැළදුම් විනිවිද දකිමින් ඒ නිරුවතම සොයන මානසික මට්ටමට හඳගමයන් පත්කර ඇත්තේ ඉතාමත්ම සූක්ෂමවය. 

වැඩට එන යන කාරයක්, මධ්යම පංතික කුටුම්බයක්, නිතරම අඟුල අදිමින් ඇරෙන වැහෙන දොරක්, තනි අසුනක්, එය මත නිතරම රූපවාහිනියට වශීවී සිටින යොවුන් දියණියක්, නිවසේම තනා ගත් බුදු කුටියේ බුදුන් දෙස දෑස් යොමා සිටියද වටපිටාට ගැන අවධානයෙන් සිටින මැදිවියේ කාන්තාවක්, නිදන කාමරයක්, නාන කාමරයක් හා කෑම මේසයක් මෙම මුළු කථාවේම මෙහි සිටින හරියටම අප නමක් නොදන්න පාත්ර වර්ගයා සැරිසරන හා ජීවත්වන මාණයන්ය. 

පියා නිවසට එනවිට දියණිය දොර අරින්නේ යාන්ත්රිකවය. ගෙට එන පියා( මහාචාර්යවරය) ඇයට කතා කරන්නේ එකම වචනයකි. " හායි" ඉන්පසු ගෙන එන චොක්ලට් වැනි දෙයක් ඇය දෙස නොබලාම ඇය වාඩිවී සිටින අසුනට විසි කරන්නේ රොබෝවෙකු මෙනි. වරක් දියණිය අසුනේ නොසිටියද ඔහු ගෙනා දෙය අසුනට දැමීමෙන් ඔවුන් කෙතරම් නම් යාන්ත්රිකවී හැඟීම් දැනීම් අමතක කර ඇතිද යන්නට හොඳම නිදසුනකි.

මහාචාර්යවරයාගේ බිරිඳද රොබෝ චරිතයකි. ඔහු එන හැමවිටකම නිවසේ බුදු කුටියේ පසුව ඇය ඔහු ඉහළ මාලයේ නිදන කාමරයට ගියවිට කාමරයට පැමිණෙන්නේ යාන්ත්රිකවය. එමෙන්ම බුදුගෙයි සිටියත් ඇය සිටින්නේ අවටම සිදුවන දේ ගැන විමසිල්ලෙනි. ඇඳේ ඉඳගන්නා මහචාර්යවරයා ගලවන කමිසය සහ සපත්තුදෙක පිළිවෙලින් ඒ තැන්වල තබා ඔහුට නා ගැනීමට තුවාය අතට දෙන ඈ වචනයක් දෙකක් කතා කරයි. ඒ කමිසය හා සපත්තු තැබීමේ ක්රියාව ඉතාමත්ම භක්තියෙන් කරන තැන සිට පිළිකුලෙන් වීසි කරන තැන දක්වා දෝලනය වන්නේ ඇය ඉන්නා මානසික තත්වය අනුවය. 

මෙම චරිත හතර අතුරින් මහාචාර්යවරයාට ආදරය කරන තරුණ ශිෂ්යාව පමණක් සැබෑවටම හුස්ම ගන්නා හැඟීමක් දැනීමක් ඇති මනුෂ්ය ප්රානියක් බවට ප්රේක්ෂකයාට ඒත්තු යයි. ඇය හැමදෙයක්ම මහාචාර්යවරයාගේ බිරිඳට පවසන්නීය. ඇයගේ එම දුරකථන සංවාද හරහා ඇය කෙබඳු චරිතයක්ද යනවග ප්රේක්ෂකයාට ඒත්තු යයි. ඒ ඇයගේ මතුපිටයි. එහෙත් ඇතුළතින් ඇත්තේ අහිංසකව ආදරයක් පතන ගැමි යුවතියයි. එය ඇය මහාචාර්යවරයාගෙන් දරුවකු පැතීම වැනි දෙයින් පැහැදිලි වේ. ඇය ගැන ගමේ මිනිසුන් සිතන ආකාරය පිළිබඳව මහාචාර්ය බිරිඳ හා පවසන්නේ බොරුවට යැයි මට හැඟේ. එය තමා පුම්බා ගැනීමටත් මහාචාර්යවරයාගේ බිරිඳට වඩා සාරාගී අතින් තමන් ඉදිරියෙන් ඇතිබවත් පෙන්වීමට ඇය කළ උප්පරවැට්ටියක් විය හැක. 

මහාචාර්යවරයාගේ බිරිඳට කථාකොට " සර් මගෙ ඇගේ හැම අස්සක් මුල්ලක් නෑරම දන්නවා මැඩම්. එයා මගෙ ඇඟම පීර පීර මොනවද නොළැඹුණු දෙයක්, මගෙ ළඟ තියෙන, මැඩම් ළඟ නැති දෙයක් හොයනවා මැඩම්" වැනි සංවාද වලින් එය මොනවට පැහැදිලි වේ. 

දෙලොවක් අතර තනිවන මහාචාර්ය බිරිඳ තම කුටුම්බය රැක ගැනීමට තරුණ ශිෂ්යාවව තම නිවසටම ගෙන ඒම ඉතාම කලාතුරකින් දැකිය හැකි දුර්ලභ ක්රියාවකි. එය කපන්නට බැරි අත සිඹීමක් වැනි වුවද ඇයද යටි සිතින් ශිෂ්යාව ප්රිය කළා විය හැකිය. එය ඇය පවසන " ඒ ළමයා නැතිව හරිම පාළුයි. එයා ඉන්න දවස්වල මොකක්දෝ පිරුණුබවක් ගෙදර තිබුණ" වැනි වදන්වලින් අපට පෙනී යයි. එමෙන්ම යම් තරමක මාතෘ ප්රේමයක්ද ඇය කෙරෙහි නොතිබුණා යැයි කිව හැක්කේ නම් කාටද? වරක් ශිෂ්යාවගේ එළවළු කැපීමට ගොස් ඇඟිල්ල කැපුණු මොහොතේ කැපුණු ඇඟිල්ල තම මුවට දමා උරන්නේ මව් කෙනෙකුන් මෙනි. එමෙන්ම " බැල්ලී" හෝ " පට්ට වෙසි" කියා බැණ වදින්නේද ඇයමය. එමෙන්ම තරුණ ශිෂ්යාවගේ තාරුණ්යයෙන් බැබළෙන සරාගී සිරුර දෙස බලා " ඔය ළමයා දැන් ඔහොම ලස්සනට ,හැඩට හිටියට වයසට යනකොට පිටි මුට්ටිය වගේ මහත්වෙයි" වැනි දේ පවසන්නේ තමාගේ වියැකී යන තරුණ සිරුර සිහිවී උපන් හීනමාණයකිනි. ඉරිසියාවකිනි. 

මේ ත්රිකෝණයේ සිරවන ඔවුන්ගේ යොවුන් දියණිය නිශ්ශබ්ද චරිතයක් ගතකළද ඇය තමා අවට සිදුවන්නේ කුමක්ද යනවග හොඳින්ම ග්රහණය කරගෙන ඇතිබව පෙනේ. වරක් මහාචාර්යවරයා ගෙදර එනවිට නිවසේ සිටින්නේ දියණිය පමණි. ඔහු " අම්මා කෝ ?" කියා ඇයගෙන් අසයි. එවිට දියණිය , " අම්මා පංසල් ගියා " යැයි පවසා එයින් වික්ෂිප්ත වන පියාගේ මුහුණ දෙස බලා " එයත් ගියා" යැයි පවසන්නේ තම පියා විමසිලිමත්වූයේ එම තරුණ ශිෂ්යාව පිළිබඳව බැව් තමන් දන්නා බව පෙන්වමිනි. 

එමෙන්ම මව ඇය බුදු කුටියට පැමිණීම හෙළා දකින්නේ " මේ මොකද මේ කවදාවත් නැතිව" වැනි අවලාද කියමින් හා පංසලට පවා ඇයව රැගෙන යාමෙන් වැළකීමෙනි. " තරුණ ළමයින්ට හැමදාම පංසල් යන්න ඕන නෑ" යන්නෙන් ඇය අදහස් කරන්නේ ගතානුගතික වයසට ගිය පසු බුදුන් සිහිවීමේ සම්ප්රදාය ඉදිරියට ගෙන යාමද එසේත් නැත්නම් ඇය වයසට ගොස් ඇතිබව සිතාගැනීමද එසේත් නැතිනම් ඇය මුහුණදෙන හුදෙකලා කුටුම්බීය අරබුදයට පංසල විසඳුමක් කරගෙන ඇතිබවද කියා විමසීම වටී. මට පෙනුණු ආකාරයට පංසලට යාමෙන් ඇය විසඳුමක් සොයන්නීය. 

තම පියාගේ කාරයේ පසුපස අසුනේ වාඩිවී රොබෝ චරිතයක් සේ පාසලට යන දියණිය, ශිෂ්යාවගේ පැමිණීමත් සමඟ ඉතාමත්ම සතුටින් හා කෙළිලොලෙන් යුක්තව පසුවන බැව් ඔවුනගේ ඉතාමත්ම තාත්වික වූ රංඟනයන්ගෙන් ප්රේක්ෂකයාට ඒත්තු යයි. 

මෙහි ප්රධාන චරිතය වන මහාචාර්යවරයා ශිෂ්යාවට ආදරය නොකරනවා යැයි මතුපිටින් ස්වයංවාරණයක් දමා ගත්තද ඔහුගේ අභ්යන්තර චෛතසිකයින් පතන්නේ ඇගේ පහසය. ඇය බලන්නට යෑම , ඇය ගැන සිහිනයක් දැකීමේදී ප්රානවත්වන ඔහුගේ පුරුෂ ලිංගය හා නිවසේ හුදෙකලා වන ඔහුගේ හැසිරීම ඒ ගතියට සාක්ෂි දරයි. ස්වප්නයෙන් මත්වී ප්රානවත්වීමක් තමන්ට සිදුවී නැතැයි පිරිමියෙකු කියයි නම් එය බොරුවකි. ප්රානවත්වීමෙන් නොනැවතී මෝචනයද (wet dreams) සිදුවී නැතැයි කිව නොහැක. මෙය අන්තිම අහිංසක ජීවවිද්යාත්මක සංසිද්ධියකි. මෙය කාන්තාවන්ටද පොදුය. අනේ අපි එහෙම නෑ කියන්නෝ කියන්නේ බොරුවකි. බිරිඳ හා දියණිය ඇතිවිට සිරවී තිබූ ඔහුගේ මුළු සංන්තානයම නිදහස්වූවායැයි ප්රේක්ෂකයාට ඒත්තු යන්නෙ තනිවූ දා කිසිම දිනෙක සිනහවක් නොතිබූ ඔහුගේ මුහුණේ ඇඳෙන සිනහව සහ කරන්නාවූ රංගනයන්ගෙන්ය. මෙය ඉතාම සුලඹ සංසිද්ධියකි. අප පිළිනොගත්තද අප සැමවිටම අපට නොලැබුණු දෙයක් ගැන දුක්වන්නෙමු. ඒ සොයන දෙය බොහෝවිට හමුවන විට අප ප්රමාද වැඩිය. සංසකෘතිය, සදාචාරය හා සම්මතය අප වට බැදී ඇති රැහැන්පටවල්සේ මේ සොයායෑමෙන් ඈත්කර තබයි. එහෙත් එයට මංපෙත් විවර වූ විටෙක....? මෙය ඉතා සංකීර්ණ සමාජමය හා ජීවවිද්යාත්මක ගැටළුවකි. මානසික ක්රියාදාමයකි. මෙය ගැන ගැඹුරින් කතා කිරීම මහා විශ්වය ගැන කතා කිරීම වැනිය. ඉවරයක් නැත. පැහැදිලි උත්තරයක් නැත.

ඔහේ ගලායන මේ ජීවිතවලට විසදුමක් නැත. නිවසේ තනිවූදා මහාචාර්යවරයා ශිෂ්යාව නැවතී වුන් කාමරයට ගොස් ඇය නිදාවුන් ඇඳේ කරනා දැගලිල්ලද එහිදී කොට්ටය යට තිබී හමුවන ඇයගේ සුවඳ විලවුන් බෝතලය නිසා පංසලට ගොස් නිවසට එන මව හා දියණියට ඒ සුවඳ දැනී ශිෂ්යාව ඔවුන් නැති අවස්ථාවේ පැමිණ ඇතිබවට සැක තිරීම වැනිදෑ වලින් ඔවුනගෙ ජීවිත තව තවත් ප්රපාතයටම තල්ලුවී යාම සහ එකිනෙකා දුරස්වී යාමට හේතු භූත වෙයි. 

කෑම මේසයෙදී පංසලේදී සවන්දුන් බණ පිළිබඳ කථාවද උඟරට හොරා බෙහෙත් කෑමක් බඳුය. ඉන්පසු උදයේ සාමාන්ය දින චරියාව වූ දියණිය පාසලටත් , මහාචාර්යවරයා සහ ශිෂ්යාව සරසවියටත් යන අතරවාරයේ පංසල් යාම සම්බන්ධයෙන් දියණිය සහ ශිෂ්යාව අතර ඇතිවන ආරවුල විසදීමට මහාචාර්යවරයා තැත් කිරීමත් එහිදී උරණ වන දියණිය තම පියාට " මෙයාට ගහනකොට තමුසෙට රිදෙනව නේද?" දැයි ඇසීමෙන් ඔවුන්ගේ දිවියේ ඇති සම්බන්ධයේ දුරස්බව ප්රේක්ෂකයාට තවත් ස්ථීර වන අතර මහා කම්පනයක් ඇතිකරවයි. ඉන්පසු කාරයෙන් පැන පලා යන දියණියත් ඇය පසුපස හඹා ගොසි ඇය දුම්රියට පැන දිවිනසාගැනීමට තැත්කිරීම වළකාලන ශිෂ්යාවත් මට වාණිජ චිත්රපට දර්ශනයක් සිහියට ගෙනාවද මෙය සිදුවිය හැකි දෙයකි. ඉන්පසු එම නිවසින් ශිෂ්යාව පිටවී යන අතර ඇයව නැවත කැටුව එන මෙන් මව මෙන්ම දියණියද පියාට ආයචනා කිරීම ඔවුන් දෙපළම ශිෂ්යාව හමුවේ පරාජය භාර ගැනීමක් වැන්නක් ලෙස ප්රේක්ෂකයාට පෙනුණත් එය අපේ සංසකෘතිකමය හා ආගමිකමය නැබුරුවක් යැයි මට සිතේ. එහෙත් ඇය නැවත නිවසට නොඑන අතර නිවසට පැමිණීම ඇය කළ අනුවණකමක් සහ එයින් ඇගේ අරමුණු දියාරු වී ගිය බවද ඇය පවසන්නීය. 

මේ කෙසේ වෙතත් අවසානයේ පංසලේ සිදුවන ආරවුල සහ එතනදී නැවතත් හමුවන මෙම චරිත හතර සිනමාපටය මුලදී පෙන්නූ ආකාරයට කාරයේ නැගී පලා යන්නේ නැවතත් ඔවුන්ගේ නිවසටමය. 

පංසලේ සිදුවන ආරවුල මිනිසුන්ගේ ඇස් අරවන්නකි. පංසලේදී සුදු ඇඳුමට ආවරණය වී රඟන උපාසක මිනිසුන්ගේ සැබෑ නිරුවත හෙළිකිරීමට අධ්යක්ෂකවරයා ගත් තැත අතිශය සාර්ථකය. එමෙන්ම ශිෂ්යාවට රඟන රිතිකා කොඩිතුවක්කු සහ දියණියට රඟන සඳලි ඈස්ගේ රංඟනයන් අති සාර්ථකය. විශේෂයෙන්ම රිතිකාගේ සාරාගී රඳපෑම ප්රේක්ෂකයා පිස්සු වැට්ටීමට සමත්වී ඇත. මහාචාර්යවරයාට රඟන ඉංදියානු නළුවාගේ සහ මහාචාර්ය බිරිඳට රඟන ස්වර්ණා මල්ලවආරච්චිගේ රංගනය ගැන ආයෙත් කතාකරන්නට දෙයක් නැත. ස්වර්ණා අන්තිම සුපිරිය. ඒ ඒ හැඟීමට අනුව මුහුණුවන සිදුවන වෙනස්වීම් ආදිය ඔවුන් කිරිගහට ඇන්නාසේ කර ඇත. 

පංසලේ සිදුවීමෙන් පසු කාරයට නැගී මහ වැස්සේම පලායන මෙම චරිත හතරේ සංවාදයෙන් සිනමා පටයේ ඇරඹීම මෙන්ම අවසානයද සනිටුහන් කරයි. එහිදී දියණිය.පවසන " මම නම් කිසිම දෙයක් දැක්කෙත් නෑ . ඇහුණෙත් නෑ යන්න ඒ අවස්ථාවේ අනෙක් මිනිසුන් බය වී දෑස් දල්වා ගහ බැණ ගන්නා මිනිසුන්, එහෙ මෙහෙ දුවන මිනිසුන් අතර ඇය වැඳගෙන කිසිවක් තමන් අවට සිදුවන බව නොතකා දෑස් පියා දැහැනට සමවී පසුවූ බව ප්රේක්ෂකයාට සිහිගන්වා දෙයි.

අවසාන වශයෙන් කලකට පසුව සිංහල සිනමාපටයක් නැරඹීමෙන් යම් කැළඹීමකට හා යමක් සිතන තත්වයට මා පත්වූ බවද මෙම චිත්රපටය නරඹා , මොහොතකින් අමතක කර දමන වර්ගයේ එකක් නොවන බවද පැවසුව මනාය. මම තව කුමක් මේ ගැන කියන්නද?මෙම චරිත හතරට විශේෂිත වූ නාමයන් සිනමාපටයේදී අපට දැනගන්නට තිබුණ් නැත. එමෙන්ම මේවා අප සමාජයෙම දක්නට ලැබෙන හා නිතරම හමුවන චරිතයෝය. එහෙයින් චිත්රපටය නරඹා ඒ ඒ චරිතය තමන්ට ගැළපේ යැයි සිතේනම් ඒ තමන්ට අදාළ චරිතයට තමන්ගේ නම යොදාගෙන නැරඹීමට හා සිතට ගැනීමට හඳගමයන් මෙහිදී අපට යෝජනා කොට ඇතිබව පමණක් පවසා මගේ සටහන මෙසේ අවසන් කරමි. 

චන්දන ගුණසේකර එක්සත් රාජධානියේ සිට

Saturday, 4 June 2016

ශ්‍රේෂ්ඨතමයා නුඹයි....




ශ්රේෂ්ඨයෝ කෙතරම් බිහිවූවත් 
ශ්රේෂ්ඨතමයා නුඹමයි කවදත්...
නුඹම පමණයි අලී.....

මිනිසුන් නසනා යුද්ධය වෙනුවට
තනියම විඳිනා හිරගෙට ගිය නුඹ
වර්ණවාදයට ජාතිවාදයට
බිමට වැටෙන්නට පහර ගැසූ නුඹ
අපේ කාලයේ මේ මහ දෙරනේ
සැබෑ වීරයා නුඹම තමයි

අප හැරදා අද තනියම යන නුඹ
සදා රැඳෙනු ඇත අප හදවත් තුළ
කැසියස්  ක්ලේ - මොහමඩ් අලී
නුඹට සුබ ගමන් පතන්නෙමී.....!!!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Wednesday, 18 May 2016

මගේ ආදරණීය සහෘදයනී,




උපන් දිනයක් එළැඹෙනවා කියන්නෙ අපි තවත් වසරකින් වයසට යනවා කියල අපි දැනගෙන හිටියත් සහ අපි කොච්චර වයසට ගිහින් හිටියත් පෘථග්ජන අපේ හදවතට, හිතට එදාට දැනෙන්නේ අමුතුම හැඟීමක්. එහෙම නැතිනම් පොඩි උත්තේජනයක්. පුංචි කිතියක්. තමන් ආදරයකරන තමන්ගේ ආදරණීය සහෘදයන්ගෙ පුංචිම පුංචි සුබ පැතුමක් වුවත් ඒ හැඟීමට එක් කරන්නේ මහා විසල් ජවයක්. එයින් ඇත්තටම අපට නව ජීවයක් ලැබෙනවා. ඒ වගේම තමන්ට ආදරය කරන පිරිසක් සහ තමන්ව ඇත්තටම හඳුනා ගත්තු පිරිසක් ඉන්නබව දැනීමම සිතට ගෙන එන්නෙ විශාල සතුටක්. සැනසීමක්. මහා දහිරියක්.

අද වගේ දවසක තමයි මම ඉපදිලා තියෙන්නෙ. මුලින්ම මාව මෙලොවට බිහි කරපු මගේ ආදරණීය මෑණියන්ට හා පියාණන්ට මගේ ප්රණාමය පුදකරන්නේ ඔවුන් සැතපුම් දහස්ගණනක් දුරින් සිටියත් මගේ නළලත ඔවුන්ගේ පය පාමුල තබලා. ඔවුන් මට කාටවත් කරදරයක් , බරක් වෙන්නෙ නැති හොඳ මිනිසෙකු වන හැටි කියා දුන්නා. මහ පොළොවට, ගහ කොළට හා මිනිසුන් ඇතුළු සත්වයන්ට ආදරය කරන්න පුරුදු කළා. මහ පොළොවෙ පය ගසා අවංකව දිවි ගෙවන්න මම ඉගෙන ගත්තෙ ඔවුන්ගෙන්. කලාවට ආදරය කරන්න, කලානිර්මාණයක් රස විඳින්න හා යමක් කුරුටු ගාන්න මට කියා දුන්නෙ ඔවුන් දෙපළ සහ මගේ ගුරුවරුන්. ඒ හැමටම මගේ ප්රණාමය. 

ඉතාමත් විනෝදයෙන් ජීවත්වූ මගේ පියා මා උපන් දා ඒ සතුටට යහළුවන් පිරිවරා ගෙදර මහා ලොකු සාදයක් දැමූ බව මගේ මෑණියන් මට කුඩා කලදීම පවසා තිබුණා. ඉන් පසු හැම උපන්දිනයකම උදෑසනම අම්මා සාදා දෙන කිරිබත් මුලින්ම ජය ශ්රී මහා බෝධියටත් ඉන්පසු තාත්තා සමඟ අපේ නැන්දලා දෙදෙනාගේ නිවෙස්වලටත් ගෙන ගිය හැටි අද උදෙත් මට සිහිවුනේ සිහිනෙන් ගෑ සුවඳක් වගේ. පසුව ෆොටෝ සාපුවකට ගෙන ගොස් පිංතූරයක් ගැනීමත් ටවුමට ගෙන ගොස් අළුත් ඇඳුමක් රැගෙන දීමත් හැම උපන්දිනයකම සිදුවුණා. ඒව මට සිහිවෙද්දී දෙනෙත කඳුළින් බර වෙනවා මට දැනෙනවා. 

ඊයේ රාත්රියේ සිටම මගේ සහෘද මිතුරු මිතුරියන් හා සොයුරු සොයුරියන් මගේ ජන්ම දිනයට සුබ පැතුම් එවමින් පවතිනවා. ඒ හැමදෙනාටම පුදුගලිකව ස්තූති කරන්නට බැරි වුවත් ඒ හැම වචනයක්ම මට එකසේම වටින බව පවසන්නේ ඉතාමත්ම අවංකව සහ මහා සතුටක් , තෘප්තියක් හිතේ දරාගෙන. ඉන් ඇතිවන උත්තේජනය සහ ජවය තවත් වසර ගණනකින් මගේ ආයුෂ වැඩි කළ බවත් කියන්නටම ඕනේ. මා වෙනුවෙන් ඔබගේ කාලය හා ශ්රමය වැය කල ඔබ සැමටම මගෙ හෘදයාංගම ස්තූතිය. 

ඒත් මම මේ සතුටින් සිටින මොහොතේ අපේ මව් බිමේ තවත් පිරිසක් අසරණ වෙලා කියල ඔබ දැනටමත් දන්නවා ඇතැයි සිතමි. හදිසියේ ඇතිවූ මහා වැස්ස නිසා හටගත් ගංවතුර තත්වයෙන් ඔවුනට ඉතිරිව ඇත්තෙ ඇඳ සිටින වස්ත්රය පමණයි. ඔවුන් සමහරක් ජලයෙන් වටවූ උස් බිම්වල හිර වෙලා. සහනයක් සලසන්න යන්නවත් බැරි තත්වයක්. කෑමක් බීමක් හෝ හිසට සෙවණක් නෑ. ඒ අපේ , ඔබේම දෙමාපියො, සහෝදර සහෝදරියො සහ දූ දරුවො. එවන් පිරිසක් අසරණව ඇතිමොහොතක අපට සතුටු විය හැකිද? ඇස් කන් පියාගෙන සිටිය හැකිද? 

ලංකාවේ වෙසෙන අපේම මිනිසුන් දැනටමත් ඔවුනට සහන සැලසීම අරඹලා. ඊයේ ඔවුන් ඔවුනගේ දිවා ආහාරය අසරණ වූ ජනතාවට ප්රදානය කළ පුවතක් මම දුටුවා. ලංකාවේ මම මෙතෙක් කල් කළ කලාකරුවන්ට සහන සැලසීමේදී විශාල සවියක් වූ අසංගී අංජු විජේසූරිය සොයුරියට සහ ජයන්ත සුබසිංහ සොයුරාට මම දැන් දුරකථනයෙන් කතා කළා. ජයන්ත සොයුරා දැනුත් සිටියේ ඔවුනට සහන සැලසීමට යන ගමන්. දැන් හදිසියේම ඔවුනට අවශ්ය ඇඳුම්, පිරිසිදු ජලය හා ආහාර. ඉදිරියේදී වියළි ආහාර විශාල වශයෙන් අවශ්ය වේවි. 

ලංකාවේ මෙතුවක් කලකට කිසිවෙකඅට කුස ගින්නේ මිය යාමට අප ඉඩදී නැත්තෙමු. එදා 2004 සුනාමිය ආ වෙලාවේ අපේ මිනිසුන් එකා මෙන් වැඩ කළ හැටි උදව් කළ හැටි අපි දුටුවෙමු. 

ලංකාවේ වෙසෙන සහෘදයනී ,ඔබට ජයන්ත සුබසිංහ ඇතුළු ඒ පිරිසට එකතු වී සහන සැලසිය හැක. එංගලන්ත වාසී මගේ මිතුරනි, ඔබට හැකිනම් හැකි පමණින් ආධාරයක් කරන්න. මුදල් එකතු වූ පසු මම මේ සිකුරාදා ජයන්ත සුබසිංහ සොයුරාට එම මුදල යවන්නට හැකිය. 

වෙසක් සඳ නැග එන මේ දින කිහිපයේ අප අපේම මිනිසුන්ට සරණක් වෙමු. එන්න අප හා එක්වන්න. එය මේ වෙසක් සමයේ කරන උතුම්ම පුණ්යකර්මයක් වනු ඇත. අද මගේ උපන්දිනයේ ඔබගේ උදව්ව මට ලැබෙන උතුම්ම උපන්දින තිළිණය වනු ඇත. 

ලංකාවාසී සහෘදයනී, ඔබට ජයන්ත සුබසිංහ සොයුරාව මේ නොම්බරයෙන් අමතා 0775225454 ඔහු හා එක්විය හැක. 

එංගලන්තවාසී සහෘදයනී, ඔබට හැකිනම් පහත ගිණුමට ඔබට හැකි මුදලක් බැර කළ හැක. 

Chandana Gunasekera
Santander bank 
EVERYDAY CURRENT ACCOUNT
09-01-28 

ඔබ සියලුම දෙනාටම නැවතත් ස්තූතියි!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Friday, 13 May 2016

සති අන්තය අබිමුවදී.....



ඇතත් හිරු සැඟවී වලා තුළ අලස වී අද වැතිරිලා
සිතත් එලෙසින් මලානික නැත හැඟුම් බරටම ඉපිලිලා
නැතත් මා අත මුඳල් යහමින් දිවිය සතුටින් ඉතිරිලා
විතත් මධු පිරි මග බලන් ඇති සතියෙ අවසන එළැඹිලා

නග්න අතු ඉති වසා ලෙලදෙන හරිත පැහැ ඇස් පිනා යයි
සිංදු කියනා සියොත් කැල නිති සවන් පුරවා මිහිර දෙයි
ලන්ද සරසන පුෂ්ප මුවරද බඹර පහසින් ඔකඳ වෙයි
ඉන්න මේ ටික කලට තව වෙන කුමට තැවෙනුද සිත කියයි

බිරින්ඳෑ සහ දරුවො සමඟින් ගෙවෙන කල දෙව්ලොව සමයි
මිහිරි වදනුයි රසැති අහරයි සිතට හා ගතටද සැපයි
ඇරඹුමේ දී තිබුණු සුව නම් ඉරිද හැන්දෑවට නිමයි
සඳුදා උදයෙම දෙව්ලොවින් බැස යථාලොව වෙත යා යුතුයි

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Wednesday, 11 May 2016

දීපන් නැරඹුවෙමි......



ලංකාවේ උතුරුකරේ තල් රුප්පාවක් යට හැන්දෑයාමයේ දර්ශනයකට කැමරාව නාභි ගත වෙයි. එහි සිටින අවි ගත් LTTE සාමාජිකයන් පිරිසක් වෙඩි වැදී මිය ගිය තම සඟයන්ගේ සිරුරු පිළිස්සීම සඳහා වන සූදානමකි. ලී මැසි උඩ බාවා තල් කොළ වලින් වැසූ සිරුරු වලට ගිනි දැමීමෙන් අනතුරුව තම ලේ වැකුණු ඇඳුම් උණා සාමාන්ය ඇඳුමින් සැරසෙන තරුණයෙකි. මුහුණ පුරා රැවුල වැවී මහා විඩාබර දෙනෙතින් යුතු ඔහු, උණා දැමූ ඇඳුම් මිනී දැවෙන ගිනි මැලයටම විසි කරත්ම කැමරාව ගින්නේ පිළිස්සෙන හිස් කබලකට එල්ල වේ. සිනමා පටයේ නාමාවලිය තිරයේ දිස්වේ.

ඊළඟ දර්ශනය අවතැන් වූවන් වෙසෙන කඳවුරකි. යාන්තමට අටවා ඇති මඩු හරහා දිවයන තරුණියකි. යාලිනී නම් වූ ඇය දෙමළ භාෂාවෙන් කාත් කවුරුවත් නැති දරුවකු මහා කලබලයකින් එහෙ මෙහෙ දිව යමින් සොයයි. එක් පොලිතින් වැසූ මඩුවකදී ඇයට මව මිය ගොස් ඇති කාත් කවුරුත් නැති කුඩා දැරියක හමුවෙයි. දැරියගේ නම ඉලයාල්ය. 

ඉන්පසු ඇය, යාලිනී සිටින්නේ,  LTTE සංවිධානයේ කාර්යාලයකය. වෙනත් අයෙකුගේ ගමන් බලපත්රයක් ඇයට ලැබෙන අතර සොයා ගත් දැරිය සහ කාර්යාලයෙන් ලැබුණු සැමියෙකු සමඟ ඇය ව්යාජ පවුලක් අරඹයි. ඒ සැමියා නම් පළමු දර්ශනයේදී ඇඳුම් උණා ගින්නට දැමූ තරුණයාය. " දීපන් " ඔහුගේ නමයි. නොදන්නා සැමියකු, නොදන්නා බිරිඳක ඊටත් වඩා නොදන්නා දෙමාපියන් සමඟ තනිවන දරුවකු , නොදන්නා රටකට පැන ගොස් නව දිවියක් ඇරඹීමට සැරසෙයි. මෙයටත් වඩා තවත් අවිනිශ්චිත අවදානමක් ඇතිද? මේ සියල්ලම යුද්ධයේ අතුරු ඵලය. එයට ජාතියක් ජන්මයක් නැත. මම යුද්ධයට ශාප කරමි. 

ඇය සරනාගතයකුසේ ලංඩනයට යාමට සිතුවත් ඔවුනට බෝට්ටු වල නැගී ඉංදියාවෙ මදුරාසියට යාමටත් එතැනින් ප්රංශයට යාමටත් සිදුවේ. බෝට්ටුවට ගොඩවීමට තම වාරය එනතුරු මුහුදු වෙරළේ කෑලි කැපිය හැකි අඳුරේ බලා සිටින ඔවුනගේ දර්ශනය අතිශය සංවේදීය. තාත්විකය. 

ප්රංශයට යාම සඳහා කෙරුණු සම්මුඛ සාකච්ඡාවේදී පෙර LTTE සාමාජිකයකු වූ දීපන් , තමන් මාධ්යවේදියකු ලෙස හඳුන්වා දෙමින් පැවසූ ව්යාජ කතන්දරය බැහැර කරන භාෂා පරිවර්තක ලෙස එතැන සිටින දමිළ තරුණයා( ඔහුත් පෙර LTTE සාමාජිකයෙකි) ඒ හේතුව ශක්තිමත් නැතිබව පවසා රජයේ හමුදාව තමුන්ට දසවඳ දුන්නා යැයි පවසන ලෙස දීපන්ට උපදෙස් දෙයි. එම සිදුවීමේ දී යුද්දයෙ දී සිදුවූ හා සිදුවුණි යැයි ව්යාජ ලෙස මවා පෑ යම් යම් කාරණා ගැන අඳුරේ සැඟැව තිබූ යම් පැතිකඩක් විවර වූ බව මට හැඟේ. 

කෙසේ හෝ ප්රංශ භාෂාවේ මළපොතවත් නොදන්නා ඔවුන් තිදෙන ප්රංශයට යති. එතැනින් ඔවුනට රජයෙන් දෙන තට්ටු නිවාස සංකීර්ණයකට යාමට සිදුවන අතර එහි කසළ ශෝධක හා නඩත්තු කාර්මික රැකියාවක් ( care taker) දීපන්ට ලැබේ. දැරියට පාසලක් ලැබේ. දැරිය වුවද පාසලේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී දීපන්ගේ ඉගෙණුම් බහට රජය තම පාසල පිළිස්සූ බව පවසයි. එය බොරුවක් බව ඇයගේ මුහුණින් ප්රේක්ෂකයාට පෙනේ. මෙසේ හැලහැප්පීම් සමඟ ඔවුනගේ දිවිය ගෙවී යයි. 

අවුරුදු 26 ක අවිවාහක තරුණියක වූ ඇයට දරු සෙනෙහසක නාමයක් හෝ නොතිබේ. දැරිය හා ඇය අතර වන ඝට්ටන වලදී ඒ තත්වය ප්රේක්ෂකයාට ඒත්තු ගැන්වීමට අධ්යක්ෂකවරයා සාර්ථකව සමත් වී ඇත. එහෙත් දැරිය දීපන්ට ළංවීමෙන් ඔහුගේ පරිණතභාවයත් ඔහු පියකු බවත් අපට දැනේ. එය පසුව එන රූප රාමුවක දීපන් යුද්ධයේදී තමන්ට අහිමි වූ සිය බිරිඳගේ හා දරුවන්ගේ සේයාරුවක් බැලීමේදී තව දුරටත් එම කාරණය තහවුරු වේ. 

ඔවුන්ට නිවස ලැබුණු පෙදෙස පාතාල කල්ලි වල රජ දහනක් බව එහි ගැවසෙන තරුණ පිරිසෙන් හා රාත්රියට ඔවුන් කල්ලී ගැසී කරන ක්රියාකාරකම් වලින් අපට පෙනේ. දීපන් මේ හැම සිද්ධියක්ම හොර රහසේ බලා සිටී. ඔහුගේ බැල්මෙන් හා නිවුණු ස්වභාවයෙන් පෙරකාලයක ඔහු ගිනි අවි දරා එලෙසින්ම ත්රස්තවාදී කල්ලියක සිටි බව තව තවත් අපට තහවුරු කෙරේ. එමෙන්ම ඔහුට ඒවා අරුමයක් නොවන බවද ඔහුගේ හැසිරීමෙන් අපට ඒත්තු යයි. 

මේ අතර දීපන් සේවයටත්, ඉලයාල් පාසලටත් ගිය විට නිවසේ තනිවන යෞවනයේ පසුවන යාලිනීට තනිකම සහ පාළුව දැනේ. පවුලක් සේ සිටියත් ඔවුන් අතර කායික හෝ මානසික සම්බන්ධයක් නැත. යුද්ධය ඔවුන්ව හැඟීම් දැනීම් නැති රොබෝ වරුන් බවට පත් කරඇති බවට මීටත් වඩා සාක්ෂියක් තව කුමටද?

යාලිනීටත් රැකියාවක් කිරීමට උවමනා වේ. ඇයට , තනියම වෙසෙන දුර්වල වූ වැඩිහිටි පිරිමියෙකුට උයා පිහා දී දිවා කල ඔහුව බලා කියා ගැනීමේ රැකියාවක් ලැබේ. භාෂාව නොහැකි වූවත් දීපන් හා යාලිනී දිවි සටනට උරදෙති. ඉක්මනින් ප්රංශ බස අල්ලා ගන්නා ඉලියාල් ඔවුනට පාර පෙන්වන තරු ලකුණක් වැනිය. පාසලේදී ඇයටත් අනෙක් දැරියන්ගෙන් අකටයුතු සිදු වූවත් ඇය සාර්ථකව ඒවාට මුහුණ දීම ප්රේක්ෂකයාගේ නෙතට සතුටු කඳුළක් නංවයි. 

යාලිනී ට තම රැකියාවට ගිය නිවසේ දී හමුවන්නේ පාතාල නායකයෙකි. ඔහු ඒ පෙදෙසේ ආයුධ හා කුඩු ජාවාරම මෙහෙයවන්නාය. 

තාරුණ්යයේ පසුවන යාලිනීගේ පිබිදෙන ලිංගික ආශාවන් සාමාන්යයය. ඇය එම ආශාවන් පාතාල නායකයාගෙන් තෘප්තිමත් කරගත් බව ප්රේක්ෂකයාට කෙළින්ම නොපෙන්නුවද ඒ ගැන සිතා ගැනීමේ සාධක අධ්යක්ෂකවරයා අපට ඉදිරිපත් කරයි. ලහි ලහියේ එතැනින් පලා යන ඇයගේ ඉරියව්වෙන් ඇය ඒ පහස ලැබුවත් ලැජ්ජාව හා බය ඉස්මතුවන බව පෙන්නුම් කරයි. එහිදී ඇයට හමුවන සුදු පැහැති සුනඛයාද ඇයට කිහිප වරක්ම හමුවේ. වරක් එම සුනඛයාද එම පාතාල නායකයා සමඟ සිටින දසුනක් ඇය දීපන් සමඟ සැඟවී ජනෙල් කවුළුවෙන් බලා සිටී. ඇය එතැනදී මේ කිසිත් නොදත් දීපන්ට සුනඛයා පෙන්වා ඇය ඌ හඳුනන බව කියූවත් එයින් ඇය ඇත්තටම අදහස් කළේ ඇය පාතාල නායකයාව හඳුනන බව කීම බැව් ප්රේක්ෂකයාට වැටහේ. 

නිවසට එන යාලිනී එතෙක් කලක් සිතේ සඟවාගෙන වුන් ආශාවේ රස ගුලාව දීපන් මත මුදාහරී. වෙන දා ඇය ස්නානය කර එන අයුරු හා ඇඳුම් මාරු කරන අයුරු දමනය කළ සිතින් හා දෑසින් බලා වුන් දීපන් ඇය සමඟ යහන්ගත වෙයි. දීපන්ගේ සුරතින් ඇද ඔහුව තම නිදන කාමරයට කැඳවාගෙන යන යාලිනී තම ඇඳිවත උනා දමා , තම සිත තුළ සඟවාගෙන වුන් රාග ගිනිදැල් නිරාවරනය කරයි. එතැනින් එම දර්ශන කපා හැර අපට ඉන්පසු සිදුවන දෑ සිතා ගැනීමට ඉතිරිකරණ අධ්යක්ෂකවරයා ලිංගික දර්ශන අනවශ්ය ලෙස උපුටා දක්වන්නට උත්සුක නොවෙයි. 

දිනක් මේ පාතාල කල්ලි අතර මහ දවල් ඇතිවන වෙඩි හුවමාරුවකට මැදිවන ඉලයාල් හා යාලිනී ඉතාමත්ම දැඩි බියකටත් තැති ගැන්මකටත් පත්වේ. 

මදක් සිතන්න සහෘදයනී, අප බහුතරයක් යුද්ධය ගැන ඇසුවා හා දුර සිට දුටුවා පමණි. එයට මැදිවී වෙඩි පහරවල් කණ ළඟින් යද්දී හා තමන් අවට සිටින්නන් වෙඩි කා කෙසෙල් කඳන් මෙන් ඇද වැටෙද්දී ඇතිවන හැඟීම හා තිගැස්ම මුළු ජීවිත කාලයටම අමතක කළ හැකිද? එය කොයි ජාතියකට කොයි ආගමකට අයිති වූවත් එලෙසමය. සෑම ජීවියෙකුටම පොදුය. 

මේ අතර දීපන්ට හමුවන LTTE සංවිධානයේ ප්රධාන පෙළේ ක්රියාකාරියෙකු නිසා ඒ සියලු කටයුතුවලින් එදා, එනම් දීපන් ඔහුගේ ඇඳුම් මිනී දැවෙන ගින්නට විසිකලදා සියල්ලෙන්ම සමුගෙන නව දිවියක් නව මිනිසකු වීමට ගත් අදිටන මදක් දෙදරා යයි. බොහෝ වෙරිවන තුරු මත්පැන් බී දමිළ ගීතයක් ඔහු කෑගසා ගැයීමෙන් ඔහුගේ සිත තුළ පැසවන නළියන අපේක්ෂාභංගත්වය ප්රේක්ෂක මනසට ඇතුළු කිරීමට අධ්යක්ෂකවරයා ඉතාමත් ශූර ලෙස සමත්ව ඇත. 

" ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කනාමැඳිරි එළියටත් බයයි" කියන්නාසේ මෙහි ඇතිවූ වෙඩි තැබීමෙන් තැතිගත් යාලිනී හොර රහසේ නිවසින් හා දීපන් වෙතින් පලායාමට තැත් කළත් අන්තිම මොහොතේ එය දැනගන්නා දීපන් එය වළක්වාලයි. 

ප්රංශ බස නොදන්නා යාලිනී දමිළ බසින් තමන්ගේ ප්රශ්න යටකී කල්ලි නායකයාට පැවසීම ඉතා සංවේදී දර්ශනයක් වෙයි. ඇයගේ සිතේ කැකෑරෙන අසහනය හා බිය ඇය ඒ මගින් පිට කරයි. ඒ අතර දීපන් කල්ලි තරුණයන් හා ගැටීම නිසා ඔවුන් ඔහු හා වෛර බැඳ ගනිති. මේ සියල්ලටම මැදිවී සිටින්නී යාලිනීය. 

මෙම ගැටුම්වල උච්චතම අවස්ථාව වන්නේ යාලිනී සේවය කරමින් සිටිනවිට එම නිවසට වෙඩි ප්රහාරයක් එල්ලවීමය. කල්ලි අතර ගැටුමක ප්රතිඵලයකි ඒ. එහිදී කල්ලි නායකයා සහ යාලිනී බලාගත් වැඩිමහලු පුද්ගලයා වෙඩිකා නසින අතර ඔවුන්ගේම ගිනි අවියක් ගත් දීපන් ඒ ගැන තමන් සතු පරිචය මනාවට විදහාලමින් යාලිනීව එම මාරාන්තික අවස්ථාවෙන් බේරා ගනියි. 

ඉන්පසු තිරයේ දිස්වන්නේ අවසාන ජවනාකවයි. ඒ ලංඩනය බැව් ප්රේක්ෂකයාට පසක්වේ. ප්රංශයෙන් පිට වී ලංඩනයෙ නව සතුටුමත් දිවියක් දීපන් හා යාලිනී අරඹා ඇතිබව ප්රේක්ෂකයාට පසක් කරමින් සිනමාපටය නිමාව දකී. 

මෙහිදී අධ්යක්ෂකවරයා නළු නිළියන් තේරීමේ විභාගයෙන් ඉහළින්ම සමත්ය. ඔවුනට වඩා ඒ ඒ චරිතයනට තාත්වික වෙනත් නළුවකු හෝ නිළියක මට නම් සිතා ගැනීමටවත් බැරිය. එමෙන්ම සියුම් ඉංගිති, දකුණු ආසියාතිකයන්ට පමණක් සීමාවූ එනම් ඔව්, නෑ හෝ බෑ නොකියා බෙල්ලත් සමඟ හිස 
සෙලවීම , ප්රංශ ජාතික අධ්යක්ෂකවරයා මනාව අධ්යයනය කර ඇති අතර එය සාර්ථක ලෙස සිනමාපටයට යොදාගෙනද ඇත. 

එමෙන්ම අවස්ථා දෙකකදී කොළ අතු අතරින් ඈත් මෑත්වන සුදුකබර පිරි හස්තියෙකුගේ පුංචි ඇස හා හොඬයේ ඉහළ කෙළවරට කැමරාව එල්ලවෙයි. ඒ ඇතෙක්ද කියා හඳුනා ගැනීමට අපහසුතරමටම රූපරාමුව සමීපය. එම දර්ශනය හින්දු ආගමේ ගණ දෙවියන් සිහිපත් කිරීමට යොදා ගත් බව මට සිතිණි. එමෙන්ම ඇතාගේ පෞඩ බල තේජස විදහාපෑමට එය යොදා ගත්තාද විය හැක. ඒ කෙසේ වෙතත් දේශපාලනික වශයෙන් මේ ප්රංශ සිනමාකරුවා ( Jacques Audiard) අපේ රටේ ජනවාර්ගික අරගලය දෙස සමබර කෝණයකින් මෙම චිත්රපටය තුළින් බලා ඇතිබව මම අවසාන වශයෙන් පවසන්නට කැමැත්තෙමි. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Tuesday, 10 May 2016

එංගලන්තවාසී ආදීආනන්දීයයන් අපට පෙන්වා දුන් ආදර්ශය.....




ඉතාමත්ම වේගයෙන් වෙනස්වන ලෝකයේ හැම දෙයකදීම ඇත්තේ මහා තරගයකි. ඉගෙනීමට ඇත්තේ තරගයකි. මුදල් සෙවීමට ඇත්තේ තරගයකි. කොටින්ම ජීවත්වීමම මහා තරගයකි. සමහරු දිනති. සමහරු පරදිති. සමහරක් හති වැටී ඉවත් වෙති. ඒ අතර සමහරු මංමුළා වී දිවියම අඳුරු කර ගනිති. 

මා මේ තරගය ගැන විස්තර ඔබට ගෙනහැර පෑවේ වර්තමානයේ දරුවකු උපන් මොහොතේ පටන්ම දෙමාපියන් නිරතවන තරගය ගැන කතා කිරීමට පිවුසුමක් වශයෙනි. අද කාලයේ දරුවකු පාසලකට දමා ගැනීමේ තරගයෙන් පසු ඊළඟ මහා තරගය පස්වන වසරේ ශිෂ්යත්වයයි. බාලාංශයේදීම හොඳ , එසේත් නැතිනම් ජනප්රිය පාසලකට දරුවා දමා ගැනීමේ තරගයෙන් පැරදුණු දෙමාපියන්ගේ දරුවාව , එවැනි පාසලකට දමා ගැනීමේ ඊළඟ අවස්ථාව වන්නේ පහේ ශිෂ්යත්වය නිසා දරුවන්ට බාලාංශයේ පටන්ම ඒ සඳහා වෙහෙසීමට සිදුවේ. එහෙත් මෙම තරගයේ ඇති අති තියුණුභාවය නිසා එයින් ජයගන්නේ ඉතා සුළු පිරිසකි. 

අප කුඩා සංදියේ ගමේ පාසලේ සිට නගරයේ මධ්ය මහා විද්යාලයකට හෝ අගනුවර උසස් , ජනප්රිය පාසලකට ඇතුලත්වීමේ කඩ ඉම වූයේද පහේ ශිෂ්යත්වයම වුවත් මෙවැනි තරගයක් එකල නොතිබුණි. විභාග දෙකකින් යුක්ත වූ පහේ ශිෂ්යත්වය සඳහා විශේෂිතවූ වෙනම සූදානමක් නොවූ අතර අප විභාගයකට ලියන බවවත් නොදැන සිටියෙමු. නොදැනම විභාගයටද වාඩි වූයෙමු. 

අපට හෝ අපේ අම්මලාට එසේ වූවත් සමහර අම්මලාට නම් තම පුතුන් අගනුවර උසස් පාසල්වලට දමා ගැනීමේ සිහින තිබිණි. අප හතරවසරේ ඉගෙනුම ලබද්දී පාසලෙන් කොළඹ විශේෂ ස්ථාන නැරඹීම සඳහා අප රැගෙන ගිය අධ්යාපන චාරිකාවේදී සමහර අම්මලා,  අප රාජකීය විද්යාලය, ආනන්ද විද්යාලය හා නාලන්දා විද්යාල වැනි ජනප්රිය පාසල් ඉදිරිපසින් ගමන් කරද්දී අප ගිය බසයෙන් ඔළුව එළියට දමා එම පාසල් වෙත අත් දිගු කරමින් " අන්න බලාගන්න පුතා , ඔයාව අපි ලබන අවුරුද්දේ එවන ඉස්කෝලෙ..." කියමින් කෑමොර ගැසූ හැටි මට අද ඊයේ වගේ මතකය. කිසිත් නොදත් මම අටමස්ථානය වඳින්නට යද්දී අනුරාධපුරයට පළමු වරට පැමිණි ගැමියෙකු රුවන්වැලිසෑය හෝ අභයගිරිය දැක ,  දෑස් හා මුව ආයාගෙන ඒ දෙස බලා සිටින්නා සේ ඒ විසල් පාසල් දෙස නෙතු ආයා ගෙන බලා සිටියෙමි. 

පහේ ශිෂ්යත්වය පැමිණියේය. කොළඹ යන්නට පෙරුම් පිරූ සමහරු එම සිහිනය සැබෑකරගෙන වුන් අතර සමහරු සිහිනය බොඳ කර ගත්හ. කිසිදු සිහිනයක් නොතිබූ මා ඇතුළු කිහිප දෙනෙකු නොදැනීම විභාගය සමත් වී තිබිණි. 

මේ ගැන ලියද්දී දෙවන ශිෂ්යත්ව විභාගය දා උදේ සිදුවූ අමිහිරි සිදුවීමක්ද මගේ හදවත පසාරු කරමින් මතුව එයි. එදා උදයේ විභාග ශාලාවට යන්නට පෙර තාත්තා මාව ජය ශ්රී මහා බෝධිය වැඳ ආශීර්වාද ගැනීමට රැගෙන ගියේය. අප අපේ පාවහන් මකර තොරණ අබියස ගලවා තබා බෝධිය වන්දනා කර ආපසු ආ විට තාත්තා මට විභාගයට දමාගෙන යන්නට රැගෙන දුන් අලුත්ම සෙරෙප්පු කුට්ටම පෙනෙන්නට නොතිබිණි. මගෙ දෑස් කඳුළින් තෙත්වුණි. වහාම මා රැගෙන මර්කට් ටවුමේ බාටා සාප්පුවට ගිය තාත්තා මට එවැනිම සෙරෙප්පු කුට්ටමක් අරගෙන දී මා විභාග ශාලාවටද ඇරලුවේ මගේ ඔළුවද අතගා " ඕවා ගනන් ගන්න එපා පුතා " යැයි කියමිනි. එවෙලේ තාත්තා අතේ ඒ හදිසියට මුඳල් තිබුණාදැයිවත් මා නොදත් බව අද මම සිහිකරන්නේ කඳුළුපිරි දෙනෙතිනි. 

මේ වැල්වටාරම් කියා මම තවත් ඔබ වෙහෙසට පත්නොකරමි. එදා මා අනුරාධපුරයේ තනි කොට අගනුවරට පැමිණි මගේ මිතුරන් ඇතුළුවූයේ මගේ මේ ලිපියේ නිමිත්ත වූ පාසලටය. එනම් කොළඹ ආනන්ද විද්යාලයටය.  මගෙන් යමකු ඔබ කැමතිම පාසල කුමක්දැයි විමසුවහොත් මම කැමතිම පාසල මා උසස් පෙළ දක්වා අකුරු කළ අනුරාධපුර ශාන්ත ජෝශප් මහ විදුහල බවද මගේ දෙවැනියට කැමතිම හා මම ගරුකරන පාසල නම් කොළඹ ආනන්ද විද්යාලය බවද මගේ පිළිතුර වනු ඇත. එය හරියට මගේ මව් බිමවන ලංකාවට මගේ පළමු ආදරය හා ගරුත්වයද මම දැන් ජීවත්වන හා යමක් හරිහම්බ කරගන්නා එංගලන්තයට මා දෙවනුව ආදරය කරනවා වැනිය. 

ආනන්දයට මා ආදරය කරන්නේ ඇයි? අප සමග ලංඩනයේ වෙසෙන ශ්රී ලංකිකයින්ගෙන් පොදු වැඩක් කිරීමේදී ඉදිරිපත් වන හා එයට හදවතින්ම උදව්කරන හා යම්කිසි සේවයක් අපේ මව්බිම වෙනුවෙන් කරන අය ගතහොත් ඉන් බහුතරය ආදී ආනන්දයන් වීම මා ආනන්දය ගැන මෙතරම් පැහැදීමට හේතුවූ පළමු වැන්නයි. අනෙක් කාරණය නම් මා දැඩිලෙස ආදරය කරන ලේඛකයන්, ගීත රචකයන්, මාධ්යවේදීන් , ගායකයන් හා නළුවන් ඇතුළු කලාකරුවන්, දේශප්රේමීන් , දේශපාලඥයන්, ක්රීඩකයන්, වෛද්යවරුන් , ඉංජිනේරුවන් වැනි වෘතිකයන් ඇතුළු මෙකී නොකී යහපත් පුරවැසියන් රාශියක් ආනන්දයෙන් ලක්මවට ජනිත කර දීමයි. 

ආන්නදය ගැන ලිවීමට බොහෝ දේ ඇත. එය දිගු ඉතිහාසයකි. පුරාවෘතයකි. මෙවැනි ලිපියකින් හදිසියේ ඒවා ලිවීම එහි අභිමානයට කරන කැළලකි. එමෙන්ම ඒ ගැන බොහෝ ප්රවීණයෝ ලියා ඇත. එහෙයින් ඒ ගැන විස්තර ලිවීම මෙතැනින් හමාර කොට මට මෙම ලිපිය ලිවීමට හේතු පාදක.වූ කාරණය ඔබ වෙත ගෙන ඒමට අවසර. 

මට පසුගිය සෙනසුරාදාවේ , එංගලන්තයේ වෙසෙන ආදීආනන්දීයයන්ගේ සංගමය විසින් සංවිධානය කළ " ආනන්ද විද්යාලීය බක් මහ උළෙලට " සහභාගී වීමේ භාග්ය උදා විය. මා ආනන්දයේ අධ්යාපනය නොලැබුවද ලංඩනයේ වෙසෙන ආදීආනන්දීයයන් බහුතරයක් මා ප්රියකරන මගේ මිතුරන්වීම හා මා ඉහත කී ලෙස ආනන්දයට ඇති මගේ ආදරය නිසා ඊට සහභාගීවන ලෙස මගෙ සිත මා පෙළැඹවීය.

වැඩි ශෝභන කතා නොමැතිව බෞද්ධ හා ශ්රි ලාංකික සංසකෘතියට මුල් තැන දෙමින් උළෙල ඉතාම චාම්ව ඇරඹිණි. පිරිස පංච ශීලයේ පිහිට වූ වැඩ වඳාළ ලංඩනයේ ප්රධාන සංඝනායක බෝගොඩ සීලවිමල හා ලංඩන් බෞද්ධ විහාරවාසී කෝන්වැවේ අරියරතන යන ස්වාමීන්වහන්සේලා පිරිත් සජ්ගායනා කොට උළෙලට සෙත් පතා ආශීර්වාද කළහ. ආදිආනන්දීයයන්ගේ දරුවන් ගී ගැයුමින් හා රැඟුමින් අප පිනවූහ. ඒ අතරතුර වැඩිහිටියන් සඳහාද පොල් ගෑම හා කඹ ඇදීම වැනි තරග පැවැත්වුණි. පැමිණවුන් සැවොම පාහේ මේවා නැරඹීමෙන් උපරිම වින්ඳනයක් ලබන අයුරු දක්නට ලැබිණි. 

අළුත් අවුරුදු චාරිත්ර වාරිත්ර සංකේතමත් කරමින් කිරිබතින් හා කැවිලි පෙවිලින් පැමිණවුන් පිරිසට සංග්රහයක්ද පැවැත්වුණි. ඉන්පසුව වේදිකාව සංගීතවත් වූයේ ශ්රාස්ත්රීය ගායනා කිහිපයකින් යුතු පුංචිපහේ පැඳුරු සාජ්ජයකිනි. ඊළඟ අංගය වූයේ කවුරුත් පුල පුලා බලා සිටි නාට්යයයි. භූමින්ද, ජනප්රිය, පණ්ඩුල , හර්ෂ , ලුම්බිනී හා රොහාන් ඇතුළු ආදීඅනඳ පුතුන් හා ඔවුනගේ බිරින්ඳෑවරුන් එක්ව රඟ දැක්වූ ඒ හාස්යයෙන් පිරි නාටකය මුළු ශාලාවම සිනාවේ ගිල්ලීමට සමත් වූ අතර ඔවුන්ගේ රංගන කුසලතාවයන්ද මේ මගින් මොනවට විදහාලීය. 

අවුරුදු කුමාරිය තේරීමේ අංගයද ප්රේක්ෂක අත්පොළසන් මැඳ මහා ජයට පැවැත්වුණි. උලෙළේ කථනයෙන් සහය වූ අනඳ පුතුන්ද ඒ පිළිබඳව වූ ඔවුනගේ ප්රතිභාව මනාව විදහා ලීමට සමත් වූහ. 

එංගලන්තයේ ගෙවන කාර්යබහුල දිවිය තුළ මෙවැනි දේ සඳහා පුහුණුවට වෙලාව සොයාගෙන මෙම උළෙලට සහභාගිවු හා නන් අයුරින් සහය දැක්වූ සියලුම දෙනාහට අපගේ කෘතඥතාවය හිමි විය යුතුය. මෙතරම් දුරු රටක සිටියද තම පාසල් මෑණියන් අමතක නොකොට සහ දේශීය චාරිත්ර වාරිත්ර අමතක නොකොට ඉතා දුෂ්කරතා මධ්යයේ වුවද සමගිව එකා මෙන් ක්රියා කොට මේ කළාවූ මහඟු ක්රියාව අනෙකුත් සියලුම පාසල් වලටත් අනර්ඝ ආදර්ශයකි. ආනන්ද විද්යාලයේ අභිමානය තව තවත් ඔප් නැංවීමට මෙම ව්යායාමය සමත්වූ බවද නොකියාම බැරිය. 

වැඩිහිටි, මැදි වයසේ හා තරුණ ආදී සිසුන් එකට එකතු වී සිටිනු දැකීම කාගෙත් නෙතට ගෙනාවේ කඳුළකි. එය ඒ තරම්ම සංවේදී හා හැඟුම්බර දසුනක් විය. අවසන සැවොම එකතු වී ආනන්ද විද්යාලීය ගීය ගයද්දී ආනන්ද විද්යාලයෙන් දැයට බිහිකළ ප්රවීණ මාධ්යවේදියකු හා ලේඛකයකුවන සුනිල් මාධවයන් තමන් උගත් ආනන්දය ගැන සැමවිටම පාහේ අභිමානයෙන් විස්තර කරද්දී ඉතාමත් ආදරයෙන් සිහිපත් කරන ඒ එදා තිබූ සල් ගස් පෙළ මා දැක නොතිබුණත් ඉන් පිපී දිලුණු සල් මල් වල සුවඳ නම් මට අපූරුවට දැනිණි. 

සටහන : චන්දන ගුණසේකර