Pages

Monday 29 February 2016

ආදරණීය අජන්තා රණසිංහයනී,



සොඳුරු කවියානණේ, නිසල වී අද නිදන
ඔබ ලියූ ගී වලින් සැනසුනෙමු අප නිතින
සොහොන් ගැබ සිසාර හමා ආ මද නලින
දුක්බරිත පද පෙළක් හදිසියේ මට ඇසිණ

දහස් ගනනක් සෙනඟ සුසුම්ලන හඬ මැදින
චිතකයේ ධවල තිර දුකින් මිරිකී වැටින
දුම් කැරළි මතුවෙමින් අපෙන් ඈතට නැගින
සොහොන් කොත් අතර මට මහා තනියක් දැනිණ

යොමාවුන් නෙතු අගින් කඳුළු ගංඟා හැලින
අතරමං කොඩි වැලක් අසල පඳුරක රැඳින
එකා දෙන්නා බැගින් අපෙන් ඈතට ඇදින
හුදෙකලා වලාවක ඇඳුණු ඔබ රුව පෙනින

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය


Friday 26 February 2016

ඉක්මන් සුවය පතමු!



" බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම"

මේ ගීතය ඇසෙන වාරයක් වාරයක් ගානෙ මගෙ හිත ගිහින් නවතින්නෙ මීට වසර විසි පහකට පමණ ඉස්සර දවසක හැන්දෑවකට. එදා අපි පේරාදෙණියෙ අක්බාර් ශාලාවේ කපුටගෙ ( කපුට කිව්වෙ තිලක්ට. ඒ ඔහුට ලැබුණු නම්බු නාමය)  කාමරයට එකතුවුණේ කාන්සිය මකාගන්නට සිංදුවක්වත් කියන්න. එදා කපුටා "බොල් වී අහුරු " ගීතය ඇස් දෙකේ කඳුළු පුරෝගෙන ගයපු හැටි මට අද වගේ මතකයි. ඒ ගීතයේ සිදුවීම අපටම වෙච්ච දෙයක් ලෙසටයි අපට දැනුණෙ. එහෙම ගීත,සවන්දෙන හැමෝටම තමන්ගෙම කියල දැනෙන්න , ලියන්න සහ ගයන්න පුළුවන් දක්ෂයො ඉන්නෙ කීයෙන් කීදෙනාද? 

එදා ඒ ගීතයට පෙම් බැන්ඳ මම අමරදේවයන් ගයන , එහි පද ලියූ විශ්වකර්මයා කවුරුදැයි සොයා බලන්නට පෙලැඹුණේ නිතැතින්මයි. එවිට එතුමා ලියූ බොහෝ වටිනා ගීත මට හමු වුණා. වැඩිපුරම තිබුණෙ අපි ආදරය කළ අපේ හදවත්වල ගැඹුරටම තැන්පත් වූ චිත්රපට ගීත. 
එතුමා තමයි ආචර්ය අජන්තා රණසිංහ. 'අජන්තා ' කිව්වම අපගේ හිතට නිතැතින්ම පිවිසෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඉංදියාවෙ අජන්තා ලෙන් සහ ඒවායේ ඇති මනරම් බිතුසිතුවම්. එතුමත් ඒ නමටම ගැලපෙන සුන්දරතම සිතුවමක් කියලයි මට හිතෙන්නෙ. 

එමෙන්ම එතුමා ලියූ, අමරදේවයන්ම ගයන " විකසිත පෙම් පොකුරු පියුම්" ගීතයද මෙවැනිම මනරම් වියෝ ගීතයක්. ප්රේමයේ විප්රලම්භ ශුංගාරය මැදහත් සිතින් විඳ ගන්නා ප්රේමවන්තයෙකුගේ සිතිවිලි එතුමා ගොනු කළ අපූරුව. සැබෑ ප්රේමයනම් එයයි එතුමා ලොවට කියාපෑවේ එලෙසින්. ඒ තමන් ලියූ පදවලින්ම පමණක් නොවේ. සැබෑ ජීවිතයේදිත් එතුමා අවංක , මැදහත් සිතින් සියල්ල ඉවසා වදාරා ගත් පෙම්වතකු, සැමියෙකු හා පියෙකු බව මා අසා තිබෙනවා. 

පසුගිය දෙසැම්බරයේ එතුමා ජාතික රූපවාහිනියෙ ' සිහිනයකි රෑ' වැඩසටහනට ආපු වෙලාවේ බොහෝ විවෘතව සහ ඉතාමත්ම සතුටින් අප කවදාකවත් අසා නැති එතුමන්ගෙ සිතැඟි හෙළිකළා. පාසල් යන කාලයේ තිබූ පෙම් හුට පට, සනත් නන්දසිරියන් අතේ යුවතියන්ට පෙම් හසුන් යැවූ හැටි එතුමන් විස්තර කළේ සාමාන්යයෙන් ගැටවරයන් එවැනිදේට භාවිතාකරන වචනම භාවිතා කරමින් හරිම සැහැල්ලුවෙන්. 

මට මතක්වෙනවා එච් ඩී ප්රේමරත්නයන්ගේ " සප්ත කන්යා" චිත්රපටයට එතුමා ලියු රූකාන්ත ගුණතිලක ගයන " සුවඳ දැනී දැනී දැනෙනෙවා ගීතය"   කෙතරම්නම් සුන්දර සහ හදවතටම කතාකරන පද මාලාවක්ද?

සනත් නන්දසිරි සූරීන් ගයන " දේදුන්නෙන් එන සමනලුනේ" ගීතය හා " පෙමාතුර හැඟුම්" ඇතුළු ගීත රාශියක් තම පාසල් සගයාවූ සනත් සහ අජන්තා සුසංයෝගයේ ප්රතිඵල. 

එච් ආර් ජෝතිපාලයන් ගැයූ අති ජනප්රිය ගීත වූ " රත්තරන් පෙම් පුරාණෙ" හා " නින්දනේන රාත්රියේ" වැනි ගීත ලියූවෙත් මෙතුමාමයි. 

සරල ගීත හා චිත්රපට ගීත ඇතුළුව ගීත මහා සම්භාරයක් දැයට දායාද කළ එතුමා අද කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක කියල කොහොමනම් හිතා ගන්නද? 

වයසට යෑම ලෙඩ දුක් වැළදීම අපට වැළැක්විය හැකිදේ නොවේ. ඒත් මෙවන් සුන්දර කලාකරුවන් මෙවැනි තත්වයට පත්වීම නම් ඉවසුම් නොදෙන කරුණකි. එතුමන් ඇතුළු බොහෝ රචකයින් ගායනවේදීන් හමුවූ කතාබස් කළ නුගේගොඩ චමරියේ රස කතා අප කොතෙකුත් අසා ඇත. ඒ සන්ද්යායාවන් කෙතරම් නම් පියකරු වන්නට ඇතිද? එහෙත් අද එතුමා නිහඬව ලෙඩ ඇඳේ වැතිරිලා.

අප සැවොම එතුමන්ට ඉක්මන් සුවය ප්රාර්ථනා කරමු. එය මහා බලවේගයක්වී එතුමා අපට රැක දේවායි යන්න මගේ ඒකායන පැතුමයි. මේ සහෘද සටහන එතුමන් වෙනුවෙනි. ආදරණීය අජන්තා රණසිංහයිනී , ඔබට චිරං ජයතු!!

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

Sunday 21 February 2016

මතකය පමණක් ඉතිරි කොට අප හැර ගිය ඔහු.........



මගේ මතකයේ හැටියට ඒ අසූව දශකයේ මුල් භාගයයි. රණසිංහ ප්රේමදාස මැතිතුමාගේ නිවාස සංකල්පය යටතේ ඉඳිවූ , අනුරාධපුර නගරයට නුදුරින් පිහිටි 'සුචරිතගම ' නම්වූ උදාකළ ගම්මානය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයේ අවසාන අංගය වූ මහා සංගීත රාත්රිය නැරඹීමට යමුදැයි අපේ තාත්තා කළ යෝජනාවට මම කැමතිවූයේ එක පයිනි. අපත් සමඟ තාත්තාගේ මිතුරකුද මේ ගමනට එක්වූ අතර අප එහි ගියේ ඔහුගේ වාහනයේ බැව් මට මතකය. 

සංදර්ශනය ජයටම පැවතිණි. ගී ගැයූ විශාල ගායක පිරිස අතුරින් තරමක් වේග රිද්මයෙන් හා තමන්ටම ආවේණිකවූ අපුරු හඬකින් ගී ගැයූ ගායකයෙකු පිළිබඳව මගේ අවධානය යොමුවූයේ මටවත් නොදැනීමය. 

ඔහු , කලක් අනුරාධපුරය හොල්ලාගෙන වුන් දාමරිකයකුවූ මරුසිරා ගැන ගැයීය. හැත්තැඑක කැරැල්ල සමයේ දූෂණයකොට මරාදැමූ ප්රේමවතී මනම්පේරි ගැනත්, කන්දක හැපී විනාශ වූ ගුවන් යානයක් ගැන සහ ගඟක ගිලී ජීවිත නැතිවූ ' ආසයි බයයි' නම්වූ බෝට්ටුවක් ගැනත් ඔහු ගැයීය. එපමණක් නොව එවේලේම පද නිර්මාණය කොට හිටිවන බයිලාවක් විලසින් සුචරිතගම ගැන ඔහු ගැයූ ගීතය , පැමිණවුන් දහසක් රසික රසිකාවියන්ගේ මහත් අමන්දානන්දයට හේතු විය. එදා මගේ හද දිනූ ඔහු වෙන කවුරුන් හෝ නොව ඇන්ටන් ජෝන්ස් නම්වූ ප්රතිභාපූර්ණ බයිලා ගායකයා බැව් මා දැන ගත්තේ අපේ තාත්තාගෙනි.  සුදු පැහැයට හැරෙමින් තිබූ කොණ්ඩය උඩට පීරා ජැන්ඩියට ඇඳ පැළඳ ඉතා තේජාන්විතව මයික්රෆෝනය සුරතේ දරා  ඔහු ගී ගැයූ අන්දම කිහිපදිනක් යනතුරුම මගේ මනසේ ඇඳී තිබුණු බව මට මතකය. ඉන්පසුව සෑම ඉරිදා දිනකම ගුවන්විදුලියේ වෙළඳ සේවයෙන් අඩ පැයක් ප්රචාරයවූ බයිලා ගී වැඩසටහනේ එතුමාගේ ගී නොවරදවාම ඇසීමටත් මම පුරුදු වීමි. 

" පෙනුමින් අහිංසකයි 
ඒත් මිනිහ හරි වසයි 
කළේ වැරදිමයි
දාමරීක වැඩ තමයි" කියමින් එතුමා මරුසිරා ගැන ගයා ලෝකයට ඒ නාමය යළි යළිත් මතක් කර දුන්නේය. 

වෙසක් දවසක ගඟේ ඔරුවක නැගී වෙසක් බලන්නට ගිය පිරිසක් , ගඟේ ඔරුව පෙරළී ජීවිතක්ෂයට පත්වූ පුවත එතුමා රටට හෙළි  කළේ මෙලෙසිනි. 
" ආසයි බයයි ඒ බෝට්ටුවෙ නමයි
යළි නොමඑන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක් බිළිගත්තයි" 

ඒ ගිලුණු බෝට්ටුවේ නම "ආසයි බයයි " නම් විය. 

එකල රට හෙල්ලූ තවත් පුවතක්වූ කන්දක හැපී විනාශවූ ගුවන් යානය ගැන එතුමා ගැයුවේ " කන්දේ හැපුණ මහ වනන්තරේ ඩී සී අට අහස් යන්තරේ....." යනාදී වශයෙනි. එමෙන්ම හැත්තෑඑකේ කැරැල්ල සමයේ දූෂණය කොට මරාදැමූ කතරගම රූපසුන්දරියක වූ අහිංසක ප්රේමවතී මනම්පේරි යුවතිය ගැන ගැයුවේ මෙලෙසිනි. 

" ප්රේමවතී මනම්පේරී තරුණිය
කතරගමෙ හිටපු රූපරැජිණිය
පතිවත කෙලෙසල ඇගේ 
මැරුවෙ තිරිසනෙක් වගේ ඒ හිත් පිත් නොමැති උදවිය"

එමෙන්ම සේපාල ඒකනායක ගැන, මතුගම සමන් කුමාර නම්වූ කෘර ලෙස මරා දැමූ අහිංසක සිසුවා ගැන  හා පොළොන්නරුවෙ විසූ සමාජය විසින් අපරාධකරයෙකු බවට පත් කළ පොඩි විජේ ගැනද තවත් මෙවැනිම රටම හෙල්ලූ නමගිය පුවත් හා පුද්ගලයන් ගැනද ගීත ගැයීමට එතුමා අමතක නොකළේය. එතුමන්ට තිබුණේ අමුතුම බයිලා ගීත කලාවකි. කාටවත් නොතිබූ එතුමන්ටම අනන්යවූ අපූරුම කට හඬකි. ජනතාව එතුමන්ට ආදරය කළේ එහෙයිනි. 

එතූමන් නොමැති සංගීත සංගීත සංදර්ශනයක් එකල නොවීය. වේග රිද්ම බයිල ගායකයන්වූ එම් එස් ප්රානාන්දු හා නිහාල් නෙල්සන් වැනි ගායකයන් අතරේ ඇන්ටන් ජෝන්ස් යන නාමයද දිදුලුනේ එකම තරු යායක පිපි තවත් දීප්තිමත් තරුවක් පරිද්දෙනි. එමෙන්ම කැසට්පට ලෝකයේද එතුමනට තිබුණේ අද්විතීය නාමයකි.  එතුමන්ගේ කැසට් පට විකිණී ගියේ උණු කැවුම් පරිද්දෙනි. කාලයකට ඉහත යම් යම් සිද්ධි මුල්කොටගෙන නිර්මාණයවූ කවි කොළ කලාවට නව මුහුණුවරක් සහ නව ආරක් ඇන්ටන් ජෝන්ස් තමන්ගේ ගීත කලාවෙන් ලාංකීය ගීත කෙතට දායාද කළේ එලෙසිනි. එය එතුමන්ට ආවේණික විය. 

එහෙත් අද දිනයේ මේ සැමදෙයකටම  නැවතීමේ තිත වැටි තිබිණි. මරුසිරා ගැන , පොඩි විජේ ගැන, මනම්පේරි ගැන, සේපාල ඒකනායක ගැන, හැපුණු ගුවන්යානා හා පෙරලුනු බෝට්ටු වැනි ව්යවසන ගැන ගැයූ ඔහු , සදහටම නිහඬවූ පුවත ලක් මව කම්පා කරමින් පැතිර ගියේ සැමගේම හදවත් කම්පා කරමිණි. 

එතුමන් ජීවත්ව සිටියදී යමක් ලිවීමට නොහැකිවීම ගැන මට ඇතිවූයේ මහා පසුතැවිල්ලකි. මෙතෙක් කාලයකට එතුමා ගැන  කිසිදු විස්තරයක්  පලනොවූ මුහුණු පොත ඇතුළු මාධ්ය එතුමන්ගේ පින්තූර සහ ශෝකී පණිවුඩවලින් පිරී යන්නට විය. 

මේ වෙනස්වන ලෝකයේ ස්වභාවය එයයි. එහෙත් සත්යයට අප මුහුණදිය යුතු වෙමු. දිනෙක අප සැමටම අනිවාර්යයෙන්ම යන්නට වන ගමන අද ඔබ ගොසිනි. තව දින කිහිපයකින් පසු ඔබගේ නිසල සිරුරද අපට සදටම දැකගත නොහැකිවනු ඇත. එහෙත් ඔබ අපට ඉතිරි කොට යන ඔබගේ නිර්මාණ , ඒ අද්විතීය කට හඬ හා ඔබගේ නාමය පමණක් යුග යුග ගණනාවක්ම මෙලොව පවතිනු ඇත. අවසාන වශයෙන් මේ පාළු රාත්රී යාමයේ, නැග එන පුන්සඳ වසා පැතිරී ඇති වැහි වලාව දෙස නෙතු යොමා,  මා මෙලෙසින් ඔබගෙන් සමු ගනිමි.  මේ සසර කතරේ දිනෙක නැවත අප හමුවනතුරු ඔබට සුබ රාත්රියක්!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Friday 19 February 2016

අඳුරු පෙබරවාරියේ අපෙන් ඩැහැගත් තවත් එක් මිනිසකුගේ විසිහය වැනි සිහි(නො)කිරීම වෙනුවෙනි.



නිහඬ කෙරුවද රිදී සීනුව
මරා ගල් බැඳ හෙළා මුහුදට
සොඳුරු රළ පෙළ රැගෙන ආවා
හදින් පෙම් කළ කොරළ වැල්ලට

මිනිසුන් වෙනුවෙන් පන්හිඳ මෙහෙවා
මානව අයිතිය කතා කිරීමද
තරුණ පැඟිරි දිවියෙන් පුද දෙන්නට
ඔබ කළ බිහිසුණු වරදද කිව මැන

දැයට අහිමි කළ තම එඩිතර පුතු
වෙනුවෙන් ඒ අම්මා හෙලු කඳුළැලි
බිඳුවක් පාසා සාපය තොපටයි
සමනල දඩයම්කරුවණි සැඟැවුණු.   

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Tuesday 16 February 2016

විජය කුමාරතුංග නම්වූ ඒ සොඳුරු මිනිසා.....



ඒ එකදහස් නමසිය අසූ අටේ පෙබරවාරියේ දහසය වෙනිදාය. නීතිය, සාධාරණත්වය, යුක්තිය හා මානව ආචාරධර්ම වල්වැදී,  කැලෑ නීතියේ දුඟදින් අපවිත්රවූ අඳුරු මූසල තවත් උදෑසනක් ලක් මවට උදාකරමින් හිරු පායා ආවේද ඒ හැර හිරුටත් කළ හැකිවූ අන් විකල්පයක් නොවූ හෙයිනි. හැමතැනකම වාගේ විසිරී පැතිරී තිබූ , තුට්ටුවකවත් වටිනාකමක් නොවූ සීතල මරණයේ අඳුරු සෙවනැලි මකාලන්නට ඒ දුබල වූ හිරු කිරණයන්ට ශක්තියක් නොවුණි. මරණබයේ නින්දට ගිය මිනිසුන් , තවත් දවසකට තමන්ට ජීවිතදානය ලැබුණානේදැයි සිතමින් බියෙන් හා සැකයෙන් විවරවූ දෙනෙත් හැර ලෝකය දෙස බලන්නට පටන් ගත්තේ මේ සමගමය. 

දිනය සුපුරුදු ලෙස ගෙවෙමින් පැවතුණු අතර ඒ උදෑසන අපර භාගය වන්නට ඇත. හදිසියේම මුළු පළාතම ගිගුම් දෙමින් නිකුත්වී වාතලයට එක්වූ වෙඩි හඬ කිහිපයකින් පොල්හේන්ගොඩ ප්රදේශය ඇළලී ගියේ මේ මොහොතේමය.. වෙඩි හඬට නිතරම කන් හුරුවූ ජනතාවට එය එතරම්ම අරුමයක්නම් නොවුණි. එහෙත් ඒ මොහොතේ රටක් වටිනා ජනතා පුත්රයකු මිහිකත සිඹිමින් ලේ විලක් මැඳ වැතිර වුන් බව දුටුවේ ඒ අවට වුන් මිනිසුන් පමණි. තම ගොඳුර ඩැහැගත් ඒ අමන කුලී හේවායෝ තමන් පැමිණි යතුරු පැදියේ නැගී පලා ගියහ. වෙඩි තබා තිබුණේ මුහුණටමය. රටක් සැනසූ ඒ සුන්දර මුහුණේ අවසාන සිනහව ඒ වනවිටත් වාතලයට මුහුවී තිබිණි. පුවත රටපුරා ලැව්ගින්නක් සේ පැතිරුණු අතර වයස අවුරුදු හතළිස් නමයක් වැනි දිවියේ හොඳම ඉමේවුන් සිහින කුමරෙකු , මානව හිතවාදියෙකු හා මේ සියල්ලටම වඩා සොඳුරු මිනිසෙකු ඒ මොහොතේ අපගෙන් පැහැර ගෙන තිබිණි. බිරිඳකට පෙම්බර සැමියෙකු, දරු දෙදෙනකුට ආදරණීය පියෙකු, රසිකයනට ප්රතිභාවින් සපිරි රංගධරයෙකු හා ගායකයෙකුද සමස්තයක් වශයෙන් රටටම මානවහිතවාදී නායකයකුද අහිමි වුණි. 

එදා කැඩපතක ඡායා චිත්රපටයේ ඇසිඩ් වැදී මුහුණ විනාශ වෙද්දී එය සැබෑ ජීවිතයේදී එතුමන්ට හැබෑවටම සිදුවෙතැයි අප සිහිනයෙන් හෝ නොසිතුවෙමු. එදා ක්රිස්තු චරිතයේ රඟද්දී කුරුසියේ තබා ඇන ගසා මරාදමද්දී ඊට ටික කලකට පසුව එතුමන්ව හැබැහින්ම මරා දමතැයිද අප කිසිවිටෙකවත් නොසිතුවෙමු. එහෙත් අපේ අවාසනාවට සිදුවූයේද එයයි. 

අසූ අට - අසූ නමය යන ඒ කාලකන්නී යුගයේ අපට හා අපේ රටට අහිමි කළ විද්වතුන්, සමාජ සේවකයන්, මාධ්යවේදීන් හා දේශපාලකයන් අතරට විජය කුමාරතුංග යන නමද එක් කළේ මෙලෙසිනි. ඒ මීට විසි අට අවුරුද්දකට පෙර අදවන් දිනෙකදීය. අද සිටියා නම් එතුමන්ට වයස අවුරුදු හැත්තෑ හතක් වන්නට තිබිණි. 

එදා හන්තානෙ කථාවෙන් රිදී තිරයට පායා ආ විජය තරම් කඩවසම් හා ලස්සන නළුවකු එදා මෙදාතුර සිංහල සිනමා අම්බරයට පායා නොආ බව මගේ විශ්වාසයයි. එදා විජයගෙන් තොර වාණිජ සිනමාවක් නොවීය. විජයගේ පෙනුම නිසාම එතුමා වාණිජ සිනමාවටම කොටුවූවත් කරුමක්කාරයෝ, බැද්දේගම, කැඩපතක ඡායා, බඹරු ඇවිත් හා ක්රිස්තු චරිතය වැනි සිනමාපටවලින් එතුමන්ගේ සැබෑ රංගප්රතිභාව අපට දැකගත හැකිවිය. එමෙන්ම බොහෝ කලක් යනතුරුම හඳුනා නොගත් එතුමන්ගේ ගැඹරු හා ආදරණීය කටහඬට හා ගායන හැකියාවට ලැබුණේද අද්විතීය තැනකි. මිනිසුන් වැඩිපුරම ආදරය කළේ විජය නම් නළුවාටය. විජය නම් ගායකයාටය. එහෙත් විජයගේ ඉරණම ලියැවී තිබුණේ දේශපාලනය කිරීමටය. එයටත් හේතුව වන්නට ඇත්තේ එතුමන්ගේ තිබූ මානවහිතවාදී ගුණය හා පීඩිතයින් නගා සිටුවීමේ තද උවමනාව වන්නට ඇත. 

කාන්තාවන්ගේ මෙන් පිරිමින්ගේ ලස්සනක් ගැන කතා නොකළත් විජයට තිබුණේ පුන පුනා කතා කළ හැකිවූ අසාමන්ය ලස්සනකි. උත්තුංග දේහධාරී , අඩි හයකටත් වඩා උස සිරුරකි. ගැඹරු හැගීම්බර හා ආදරණීය කට හඬකි. එහෙත් මොහොතකින් ඒ හැම අපට අහිමි විය. 

විජයගේ දේශපාලන දර්ශනය පිළිබඳව කතා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. එමෙන්ම මට ඒ ගැන කතා කරන්නටද උවමනාවක්ද නැත. මන්ද මා මෙන්ම සුවහසක් ලංකාවාසී ජනතාව ආදරය කළේ විජය කුමාරතුංග නම් නළුවාටය. ගායකයාටය. මානව හිතවාදී සොඳුරැ ආදරණීය මිනිසාටය. විජය කුමාරතුංග නම්වූ දේශපාලඥයාට නොවේ. 

එතුමා දේශපාලනයට නොගියානම් අදටත් ජීවත්ව සිටින්නට ඉඩ තිබිණි. එහෙත් මරණයත් කරපින්නාගෙන උපත ලබන අපගේ මරණය කෙදිනක , කෙලෙස සිදුවෙතැයි නිගමනය කළ හැක්කේ නම් කාහටද? ඒ නිසා එසේ සිතා සිත රවටා ගැනීමට මම උත්සහ නොකරමි. 

ජේ ආර් ජයවර්ධන නම්වූ ඒ ඒකාධිපති පාලකයා විජය නැක්සලයිට් වාදියෙකුයැයි හංවඩු ගසා දඟගෙට පවා යැවීය. එහෙත් විජයගේ ගමන සහ එතුමන්වටා රොද බැඳ වුන් ජන ගඟ නැවැත්වීමට මේ කිසිදෙයක් සමත්වූයේ නැත. එතැනින් නතර නොවී එතුමන්ගේ හඬ පවා ගුවන් විදුලියේ ප්රචාරය වීම වාරණය කිරීම වැනි දෙකේ කොලේ අමන තකතීරු ළඳරුවන්වත් නොකරන අන්දමේ ක්රියාවන් මගින් විජයගෙන් දිගටම පළිගත්හ. මෙසේ කරන්නට කරන්නට විජය ඉන් පන්නරය ලැබුවා පමණක් නොව තව තවත් ජනතාව අතර ජනප්රියද විය. සිනමාවේ පවා විජය තරම් වැඩි වාර ගණනක් ජනප්රියම නළුවා වූ තවෙකකු නැතිබව මගේ විශ්වාසයයි. 

විජය ඒ දිනවල තදින් පැවති උතුරේ කොටි ප්රශ්නයටද කෙළින්ම  මැදිහත්වී කොටි නායකයන් පවා හමුවීමට උතුරට ගියේය. එවකට පැවති ජනාධිපතිවරණයේදී ජේ ආර් පාලනයට විරුද්ධව එසැවුණු අදිසි හා ප්රභලම හස්තය වූයේද විජයයි. 

විජය ඝාතනය කළේ කවුරු වුවත් කාගේ උවමනාවට වුවත් එවන් වටිනා මිනිසෙකුගේ ඔයතරම් ලස්සන මුහුණක් විනාශවී යන්නට වෙඩි තැබුවේ නම් මිනිසෙකු නොව හිතක් පපුවක් නැති තිරිසනකු බවනම් මම දනිමි. එය කිරීමට අණදුන් තැනැත්තා හැදින්වීමට වචනයක් මම තවමත් සොයමි. 

විජය මළ පුවත ඇසූ ජනතාව වැල නොකැඩී එතුමන්ට ගරු බුහුමන් කිරීමට ඇදුණේ එතුමාට ඔවුන්ගේ සිත්වල තිබූ සැබෑ ප්රේමය නිසාය. එදා විජයට ඇත්තටම ආදරය කළ විජයගේ සිනමා රසිකයින් ලක්ෂ ගණනක් හමුවේ එතුමන්ගේ නෑදෑයන් වෙනුවෙන් කතාවක් පැවැත්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් පැවසූ වගන්තියක් මෙසේ උපුටා දක්වමි. " විජය දේශද්රෝහියෙකු නම් අද මෙතැනට එක්වූ අප සැවොම දේශද්රෝහීන් විය යුතුය. ඒ මක්නිසාද, දේශද්රෝහියෙකුට උපහාර දැක්වීමද දේශද්රෝහී ක්රියාවක්ම වන බැවිනි. "

එදා ඒ වෙඩි උන්ඩයෙන් ඔවුන් සිදුරු කළේ විජය කුමාරතුංගයිනී ඔබගේ මුහුණ නොවේ ඔබට ආදරය කරණ සුව හසක් රසික රසිකාවියන්ගේ හදවතය. එදා ඔවුන් ඔබව ඝාතනය කළහ. එහෙත් ජනතා හදවත්වල ජීවත්වන ඔබව කිසිදා ඔවුනට ඝාතනය කළ නොහැකිවනු ඇත. ඔබ අපගෙන් උදුරාගෙන වසර විසි අටක් ගතවන අද,  මම ඔබට මෙසේ පවසමි. ආදරණීය විජය, ඔබ අප හදවත් තුළ  සදා ජීවමානය. මේ සසර කතරේ දිනෙක නැවත අප හමුවෙමු. එතෙක් මට සමු ගන්නට අවසර.  

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය. 

Monday 15 February 2016

අගය කළ යුතු චරිත- පර්සි අබේසේකර



අප සියල්ලන්ගේම අභ්යන්තර චිත්තයෙහි  කුඩා දරුවකු මෙන්ම යකකුද ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන්ම අප සැම තුළම යම් කිසි ආරයක පිස්සකුද ඇතැයි මට සිතේ. සමහර විට මේ පිස්සුව තම විනෝදාංශය වන අතර මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන අතර එක එක අංශ ඔස්සේද විහිදී යයි. සමහරු කාම පිස්සෝය. ඔවුනට රෙදි වැලක ඇති කාන්තා යට ඇඳුමක් වත් පෙනෙන්නට බැරිය. සමහරු පොත් හෝ චිත්රපට පිස්සෝය. සමහරුන්ගේ පිස්සුව විලාසිතාවට හා කැපී පෙනීමටය. තව තව නානාප්රකාර පිස්සු ඇත. සමහරු තමනට ඇති පිස්සුව නිසා සමාජයෙන් අවමන් විඳිති. ඒත් සමහර පිස්සු නිසා සමාජයේ නමක් දිනූ හෝ මහා ධන කුවේරයන් වූ මිනිසුන්ද මේ සමාජයේ නැතුවා නොවේ.  මා මේ කියන්නට යන්නේ ක්රිකට් ක්රීඩාව නැරඹීමේ පිස්සුව , තම විනෝදාංශයටත් වඩා තම ජීවිතයම කරගත් සහ ඒ හේතුවෙන්ම අපේ රටේ පමණක් නොව මුළු ක්රිකට් ලෝකයේම ජනප්රිය චරිතයක්ද බවට පත්වූ පුද්ගලයකු ගැනයි. මේ සඳහා ප්රවේශයක් ලෙසට පහත විස්තරය ඔබ වෙත ගෙන එන්නට සිතුවෙමි. 

ලංකාවේ ජාතික ක්රීඩාව කුමක්දැයි යමෙකු ඇසුවොතින් බහුතරයක් එය ක්රිකට් ක්රීඩාව යැයි කියනු නොඅනුමානය. ඒ තරමටම එය ජනතාවගේ ශරීරයට, ජාන වලට හා කොටින්ම ලේ වලටම බද්ධ වී හමාරය. ක්රීඩා රසිකයෙකු නොවූවත් බොහෝදෙනා තරඟයක තොරතුරු , අවම වශයෙන් ලකුණු තත්වය හෝ දැනගන්නට නිතැතින්ම පෙළබෙති. ඒ තරමටම එය අදහන ආගමක් , උණක් එහෙමත් නැතිනම් පවතින රැල්ලක් ගණනට වැටී ඇත්තේය. 

ඉංග්රීසි ජාතිකයන්ගෙන් අපේ කොදොව්වට ලැබුණු දායද අතර තවත් දායාදයක් වූ ක්රිකට් , මුල් කාලයේ අනෙක් හැම අංශයේම මෙන් සුද්දන් අපේ රට හැර යන විට මෙහි කිරි පොවා හදා වඩා ඉතිරි කොට තබා ගිය කළු සුද්දන්ට පමණක් සීමා විය. එමෙන්ම කොළඹ ප්රධාන පාසල් හා ක්රීඩා සමාජ කිහිපයක් අතර පමණක් එහි අයිතිය හා ඒකාධිකාරය පැවතිණි. 

එහෙත් 1982 දී අපට ටෙස්ට් තත්වය ලැබීමත් සමඟම තත්වය ටිකින් ටික වෙනස් වන්නට පටන් ගති. ඒ අතරම 1982 රූපවාහිනියේ සම්ප්රාප්තියත් ක්රිකට් ගම් දනව් සිසරා ජනතාව අතරට යාමට පිටිවහලක් විය. එතෙක් සමාජයේ ඉහළ පැලැන්තිය එනම් රිචඩ්ලා සොලමන් ඩයස්ලා පමණක් විලාසිතාවකට මෙන් පුංචි රේඩියෝවක් කනේ තබා ගෙන ඉංග්රීසි බසින් ඇසූ ක්රිකට් විචාර , ගමේ ගොඩේ පියදාසලා හා සිරිසේනලාටත් රූපවාහිනියෙන් සිංහල බසින් අසන්නට බලන්නට ලැබිණි. අපත් ක්රීඩාංගණයේ සිටිනවා මෙන්ම දැනෙන්නට සිංහල බසින් විස්තර විචාර ගෙනා ප්රේමසර ඈපාසිංහ හා පාලිත පෙරේරා වැනි විචාරක මහතුන් මම මේ අවස්ථාවේ ගෞරව පූර්වකව සිහිපත් කරමි. නගරයෙන් ගමට ක්රිකට් ගෙනයාමේ පුරෝගාමීන් වූයේ ඔවුන්ය. ඒ අතරම අපට වුන් චතුර ලෙස ඉංග්රීසි බසින් විචාර ගෙනා විචාරක මහතුන්ද අමතක කළ නොහැක. 

ක්රිකට් යනු හුදෙක්ම තරගයක් නරඹා විනෝද වී පහුවෙනිදාට එය අමතක කර දමන ක්රියාවලයක් නොවන බව මේ සටහන කියවන දහසකුත් රසිකයන් අත්දැකීමෙන්ම දන්නා සත්යක් බව මම දනිමි. නරඹනවාට වඩා අපි එහි ජීවත් වෙන්නෙමු. එහි අපට සිතා සැනසෙන්නට හදේ රැදුණු අතීත කාමයක් ඇත්තේ එහෙයිනි. 

මම මුලින්ම ක්රිකට් තරඟයකට සවන් දුන්නේ 1982 මුල් භාගයේ දිනක බව මට හෙඳින් මතකය. ඒ දිනවල අපට ටෙස්ට් තත්වය ලැබී තිබුණේ නැත. රූපවාහිනී සංස්ථාව අරඹා තිබුණෙද නැත. අනුරාධපුර නාච්චාදූවේ අපේ තාත්තා කළමනාකරු ලෙස සේවය කළ විශාල ගෙවිපලේ විසල් සියඹලා ගස යට තැනු බංකුවක හිඳ ඕස්ට්රේලියව හා ලංකාව අතර පැවති එක්දින තරඟයකට පුංචි රේඩියෝවකින් අප සවන් දුන්නෙමු. අසන්ත ද මෙල්ලා, වෙත්තමුනිලා, මඩුගල්ලේලා , මෙන්ඩිස්ලා හා ඩයස්ලා එදා මගේ වීරයෝ වූහ. 

ඉන්පසුව ඒ වසරේම එංගලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරඟය මා නැරඹුවේ රූපවාහිනියෙනි. එහිදී ඩේවිඩ් ගවර්ලා, මයික් ගැටින්ලා , බොබ් විලිස්ලා හා බොතම්ලා එදානම් අපව නැති කර දැමූහ. 

එහිදී සුදු හෙල්මටයක් පැළඳ පැමිණි අර්ජුන රණතුංග නම් කොලු ගැටයාගේ පිති හරඹය, කළු පෙරුම ගත් අරුම පුදුම උඩ පනදුව හා රෝයි ඩයස්ගේ හෙල්මටයේ පන්දුව වැදී එය කඩුල්ලේ බේල්ස් මත වැටීමෙන්,  හිට් විකට් වී දැවී ගිය හැටි අද ඊයේ වගේ අපට මතකය. මේ කිහිපයක් පමණි. වරක් ඩයස් හා මෙන්ඩිස් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියදී දෙදෙනා අතර අනොන්ය අවබෝධය බිඳ වැටී දෙදෙනාම එකම අන්තයක රැදීම නිසා රෝයි ඩයස් ලකුණු 77 කට දුවද්දී දැවී ගියේය. එදා අප බොහෝ සේ කම්පා වීමු. 

1996 දී අප ක්රිකට් ලෝක සූරතාව දිනා ගැනීමෙන් අනතුරුව ක්රිකට් වලට අසීමිත ජනප්රියතාවයක් ගලා එන්නට පටන් ගත් අතර එය මහා ධන සම්භාරයක් අත පත ගෑවෙන ව්යාපාරයක් බවටද පත්විය. එය අපේ ක්රිකට් වංශ කතාවේ හොඳකට මෙන්ම නරකටද හේතු විය. 

මේ අතර කාලයේ බොහෝ ක්රිකට් වීරයෝ අපට බිහිවූහ. සමහර වීරයෝ වීර කම දිගටම රැක ගත්හ. සමහරුන් ඉක්මනින්ම බලු වූහ. සමහරුන් ඉක්මනින්ම දැවී ගියහ. තවෙකෙක තුවාල සිදුකරගෙන ඉක්මනින්ම විශ්රාම ගත්හ. ( retired hurt). සමහරු හරි කලට තරුණ ක්රීඩකයන්ට තැන දීමට ඉසිඹු ලදහ. තවත් අය කාලය දික් කර ගනිමින් හැමටම වදයක්ම වෙමින් රැදී සිටියහ. මේ අතර ලෝක වාර්තා බිහිවුණි. තිබුණු වාර්තා බිඳ හෙළිනි. මෙසේ කරුණු කාරණා සිදුවෙමින් පවතිද්දී එක් අයෙකු පමණක් නොදැවී දිගටම ක්රීඩාවේ නිරත විය. වයස ඔහුට ප්රශ්නයක් නොවුණි. තිබුණේ එකම විශේෂත්වයක් පමණි. එනම් ඔහු ක්රීඩා කළේ හතරේ සීමාවෙන් පිටත සිට වීම පමණි.  ඔහු ක්රීඩා කළේ නරඹන්නන් අතර සිටය. එහෙත් ක්රිකට් පිත්ත වෙනුවට ඔහු අත වූයේ ලංකාවේ ජාතික කොඩියය. ලංකාවේ තරඟ අතරතුර නරඹන්නන් රඟන රංඟනයන්හී ප්රධාන නළුවා ඔහු විය. එහෙත් සමහර නළුවන් මෙන් ඔහු කළේ රඟ පෑමක් පමණක් නොවේ. එය හදවතින්ම තම රට දිනවීමට ඔහු දුන් සවියකි. රුකුලකි. උත්තේජනයකි. 

දැන්ටමත් මා මේ කියන්නට තටමන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඔබට තේරුම් ගොස් ඇතුවාට සැකයක් නැත. ඔහු අපේ ආදරණීය පර්සිය. පර්සි අයියාය. සමහරුන්ගේ පර්සි අංකල්ය. දැන්නම් පර්සි සීයාය. රටම පමණක් නොව ක්රිකට් ලෝකයම දන්නා පර්සි අබේශෙඛර මහත්තයාය. 

ඔහු තරම් ක්රිකට් ලෝලියෙකු ලංකාවේ තවත් නැත. ලෝකයේ ඉන්නා ක්රිකට් පිස්සන් අතර හොඳම පිස්සෙකි. ප්රතිවාදී තරඟ සහයකයන් සමඟ උරෙන් උර ගැටී , ඉංග්රීසි බසින් කතා කරමින් කොඩියක් ගෙන නටමින් ක්රීඩාංගණයේ නරඹන්නන්ට හා ක්රීඩකයන්ට නිරතුරුවම සවියක් වූයේ එතුමායි. 

තරුණ කල ක්රිකට් ක්රීඩකයකු වූ එතුමා ඉන්පසුව හැම තරඟයකම අපට සිටිනා නොඳැවුණු නරඹන්නා විය. ලංකා පිළ යන්නේ කොයි දීපංකරයකද එතුමා ජාතික කොඩිය ලෙලවමින් සිටියේ එතැනය. අද දින අසූ වියද ඉක්මවා සිටින මේ සහෘද මිනිසා තවමත් එදා මෙන්ම උද්යෝගයෙන් හා ජවයෙන් යුක්තව සිටීම ජාතියේ වාසනාවය. ටෙස්ට් වරම් ලැබී ගෙවී ගිය මේ අවුරුදු තිස් ගණනට විවිධ ක්රිකට් නායකයෝ, ක්රීඩකයෝ සහ ක්රිකට් තරු බිහිවූහ. සමහරුන් ඇත්තටම හදවතින්ම රටට ක්රීඩා කළහ. ඒත් සමහරුන් ක්රිකට් නිසා තමන් ලද ප්රසිද්ධිය , ජනප්රියතාවය සහ ආර්ථික ශක්තිය දේශපාලනය වැනි වෙන වෙන බල ලෝභී ව්යාපාරවලට යෙදවූහ. ඒත් පර්සි තවමත් හතරේ සීමාවට එපිටින් කොඩිය සුරත දරා එලෙසින්ම ලංකාව වෙනුවෙන් උඟුර ලේ රහ වනතුරුම කෑ ගසන්නේය. අප ඔහුව අගය කළ යුත්තේ එහෙයිනි. එතුමන්ට තව චිරාත් කාලයක් මෙලෙසින් නොදැවී ක්රීඩා කරන්නට අවශ්ය ශක්තිය හා දහිරිය ලැබේවා. ආදරණීය පර්සි , මේ සහෘද සටහන ඔබ වෙනුවෙනි. 

චන්දන ගුණසේකර